12/24/13

-233- ඒක එහෙම වෙන්න ඕනෙ..

ගොඩක් මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ ඒක එහෙම වෙන්න ඕනෙ හින්දා. එහෙම නැතිව තමන්ට ඒක කරන්න ඕනෙ නිසාම නෙවෙයි. ඒක මොකක් වුණත් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ එහෙමයි. අපේ ලොකු අයට එයාලාගෙ ලොකු අයත්, එයාලාගෙ ලොකු අයට එයාලාගෙ ලොකු අයත් කියලා දීලා තියෙන්නෙ එහෙමයි. ඒකට තමයි සම්ප්‍රදාය කියන්නෙ.

තව අඩ පැයකින් නත්තල ලබනවා. එක, එක රටට රෑ දොළහ වෙන, වෙන, වෙලාවට ඒ  ඒ රටවල් වල ඉන්න කාට කාට වුණත් ළඟම පල්ලියෙ ඝාන්ඨාරය නාද කරනවා අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රතිඥ්ඥා පත්තු වෙන හඬත් අහන්න පුළුවන්. ඒවා හැම නත්තලටම  එහෙම වෙනවා. කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. හැම නත්තලටම නත්තල් ගහ වුණත් එහෙමයි... ගව ලෙනත් එහෙමයි.. වෙනස් වෙන්නෙ, විලසිතා විතරයි.

කොහොම වුණත් නත්තලට තෑගි ලැබෙන එක හොඳ දෙයක්. නුගේගොඩ බොරැල්ල කොටුව පිටකොටුව වගේ නාගරික තදාසන්න ඉසව් වල ඇවිද්දා නම් තමන්ටම පුළුවන් තමන්ට ඕනෙ කරන තෑගි මිලට ගන්න. මොකද කියනවා නම්, හරියටම වෙනින් කවුරුවත් දන්නෙ කොහොමද හරියටම අපිට ඕනෙ කරන්නෙ මොනවද කියලා. 

ඒත් අනුන් මත පවතින දේවල් වලත් සුන්දරත්වයක් නැතුවාම නෙවෙයි. මිනිස්සු ගොඩක් දෙනෙක්ගෙ අත්‍යාවශ්‍යම දෙයක් තියෙන්නෙ, අනුන් මත. මොකක්ද මේ අත්‍යවශ්‍යම දේ කියලා ඔයා දැන් හිතනවා ඇති. ඒ තමයි ප්‍රහර්ෂය. සතුට, ප්‍රීතිය ,උද්දාමය , තෘප්තිය වගේ නොයෙක් වචන දුන්නත්, ඒ හැඟීම නිර්වචනය කරන්න.. සද්ද කරන්න තියෙන ලස්සනම වචනය ප්‍රහර්ෂය.
ඒක තියෙන්නෙ ගොඩක් වෙලවට වෙන අය මත. හැබැයි පුදුමය කියන්නෙ හැඟීම අයිති අපට.

මට හැම වෙලාවෙම ඒක දැනෙන්නෙ පුංචි නිදිකුම්බා මලක් වගේ. පොළවට ඉතාම කිට්ටුවෙන් පොළවට නොගැවී.. මුලෙන් විතරක් පොළවට සම්බන්ධ වුණ .. හැම වෙලාවෙම විසිරිලා යන්න බලාගෙන ඉන්න, පුංචි ගැස්මකටත් අවිනිශ්චිත වෙන, කොළ අතර හැංගුණ පුංචි නිදිකුම්බා මලක් වගේ. 

ඒත් ඉතින් වේදනාව හරියට ඉහළ අහස වගේ.. වැඩිපුරම පේන්න තියෙනවා. මිදෙන්න අමාරු තරමටම හැම තැනකම පැතිරිලා තියෙනවා.

දැන් පුංචි ප්‍රශ්නයක් මතු වෙනවා. පුංචි නිදිකුම්බා මල් කොහොමද, මහ පොළවත් අහසත් අතර ඉඳගෙන අහසින් මහ පොළව ආවරණය කරන්නෙ කියන එක ගැන. ඇත්තටම කවදාවත් ඒක කරන්න බෑ. ඒත් අහසට වඩා සමීපයෙන් තියෙන්නෙ නිදිකුම්බා මල් බව පොළව හොඳාකාරවම දන්නවා. අනනුකම්පීය අහස කොයි තරම් විශාල වුණත්, නිදිකුම්බා මල් වල හදගැස්ම සමීපවම මහ පොළවට සදාකාලිකව දැනෙනවා..

මම දන්නවා ඒරියල් සුරදූතයා කවදාවත්, මගේ ජනේලයෙ පඩිය උඩ ඉඳගෙන මට ජීවිතේ ගැන ඔය විදිහට කියාදෙන්නෙ නැහැ කියලා. එහෙමයි කියලා ඒ ගැන දුක් වෙන්න කිසිම හේතුවක් මට පේන්න නැහැ. නත්තල් සුවඳවල් නැතත්, නත්තල් ගහක් ගෙදර නැතත්, මට තව ටිකකින් පල්ලියෙ ඝන්ඨා සද්දය අහන්න පුළුවන්.. ඒ එක්කම මට පුළුවනි, ගෝඩර් ලියපු සිසිලියාගෙයි ඒරියල් සුරදූතයාගෙයි කතන්දරය කියවන්න. ඒක හොඳ තෑග්ගක් නෙවෙයිද? නත්තලත් උපන්දිනයත් අතර ලැබුණ හොඳම පොත නිසා, ඒක උපන්දින තෑග්ගක් කියලා සතුටු වෙන්න පුළුවන් වගේම නත්තල් තෑග්ගක් කියලා සතුටු වෙන්නත් පුළුවන්... බලන්න ප්‍රහර්ෂය කොයි තරම් සැහැල්ලුද කියලා. හරියට සමනළ තටුවක් වගේ. 


“ The inner fire is the most important thing mankind possesses.” 
-Edith Sodergran-



6 comments:

  1. මං එක! :D බොරු කියන්න ඔනෑ බං නත්තල ගැන මගෙ කිසිම හැගීමක් නෑ!

    ReplyDelete
  2. ඕ.. මොකද උපන්දිනේ එදානෙ ඔයාගෙ

    ReplyDelete
  3. නත්තල... නැතත්.... නත්තල තියෙන අයත් එක්ක සතුටු වෙන එක දැන් පුරුද්දක් වෙලා...

    ReplyDelete
  4. හොද හිත පතුරනතාක් හැමදාම නත්තල් වගේ තමා

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්තම ඇත්ත

      Delete
  5. මගේ නත්තල දුගියා බත් කන දාය
    මගේ නත්තල වැරහැලි නැතිවෙන දාය
    මගේ නත්තල ඔබේ දුක සැනසෙන දාය
    මගේ නත්තල පව පල්ලියේ යන දාය

    ගරු මර්සලින් ජයකොඩි පියතුමා (පන්සලේ පියතුමා)

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.