9/23/13

-225- ජීවත් වීම පිණිස ජීවිතයට

ශරීරය සප්‍රාණිකව තබා ගැනීම, සම්පුර්ණ වශයෙන් රැඳී ඇත්තේ හුස්ම මතයැයි මම විශ්වාස කරමි. නමුත් මා කිසි දින ජීවත් වනු පිණිස හුස්ම ගත්තා දැයි මගේ මතකයන් තුළ නැත. මම දෑස පියාගෙන සබුද්ධිකව එක හුස්මක් ගනිමි. ඒ තුළ අන්ධකාරයේ මා දකින්නේ හුස්ම මත පවතින ශරීර ස්කන්ධය මුදා හැරීමේ නිදහස ද ? දෙනෙත් විවෘත කළ පසු, මා විඳිය යුතු වෙහෙසට පදනම් වූ ඛේදය ද? යන්න මට ගැටලුවකි.

මම මෙන්ම ඔබද බසයකට ගොඩ වූ විගස සොයනුයේ, කිසිවෙක් හිඳ නොගත් ආසනයක් යැයි මම සිතිමි. තව මොහොතකින් අයෙක් එම අසුනේ හිඳ ගන්නා බැව් දැන දැනම, මොහොතක නිදහස පතා මම හිස් අසුනක හිඳ ගනිමි. ක්ෂණිකව නිදහස සොයා ගැනීමේ ආහ්ලාදය මාගේ සිත තුළ ඒ මොහොතේ පිරි යන බව මම දනිමි. ඔබටත් එසේම විය හැකිය.



මම කොළඹින් පිට ලෝකය දැක ඇත්නම් ඒ ඉතා අල්ප වශයෙනි. ඒ නිසාම මා කුඩා කල සිට කොළඹ තුළ ලෝකය ගොඩ නගා ගැනීමට උත්සාහ කළෙමි.

ඒකාකාරීව දිවෙන, අමිහිරි නීරස ජීවිත, තම ජීවිතයන්ගේ සෞන්දර්ය සොයා කරනු ලබන, පැය කිහිපයක විනෝද චාරිකා දෙස, උපේක්ෂා ඇසින් බැලීමට හුරු කළේ ජනේලයෙන් එපිට ලෝකයම බව මම ඔබට කියමි.

නිදහස ඇත්තේ, ඈත ගවු සිය දුර අයාලේ ඇවිද යාම තුළ හෝ විනෝද සාද සහ චාරිකා තුළ නොවන බව මට පැවසීමට ඇති අයිතිය ගැන සමහරවිට ඔබ මගෙන් ප්‍රශ්න කරනු ඇත.

නිදහස් කළ යුත්තේ හදවතයි. හදවත නිදහස් කර දමන තැන ආත්මය සංතෘප්ත වන බව පමණක් පෙනෙන්නට තිබෙයි. මිනිස්සු තමාට ආවේණික ආකාරයන්ගෙන් ජීවිතය වින්දනය කරයි. එය දැකිය නොහැකි තැන උපන් ඉරිසියාව මඩනා හිත් ස්වකීය ආත්මයේ නිදහස පමණක් නොව බොහෝ දෙනෙකුගේ ස්වයං නිදහසට සීමා පනවා ඇතැයි මට හැඟෙයි.

නිදහස් වීමේ අවශ්‍යතාවය සියල්ලන්ටම තිබුණත්, අවශ්‍යතාවයෙන් මුක්ත වී නිදහස ගැන සිතන තුරු එය ලැබෙනු ඇතැයි, මම විශ්වාස නොකරමි.

කෝන්ක්‍රීට් වනාන්තරයක් තුළ වුවද, නිදහස සොයා ගත හැකිය. කල යුත්තේ හදවතට අත්තටු දීම පමණි.



දෙනෙත් පියාගෙන මොහොතක් කල්පනා කරන්න. නිදහස සොයා හදවතට හිම දිය නොවුණු, තුරු මුදුන් සහිත පාරවල් වල අපිට යන්නට නොහැකිද? ගලා බසින ගංගා වල සිහිල විඳින්නට නොහැකිද? පෙම්වත් මහ පොළව මත දෙපා තබා ඇවිදින හැඟීම රැඟෙන එන්නට නොහැකිද?

පරිකල්පනික ලෝකය තුළ, සොබාදහමේ සත්‍ය රූප මත හදවත විසින් නිර්මාණය කර ගත් කල්පිතයක් දිනකට වරක් හෝ දෙනෙත් පියාගත් අන්ධකාරය තුළ හදවතින්ම මසැසට ප්‍රක්ෂේපණය කළ හැකි නම්, ජීවිතය මෙතරම් වෙහෙසකාරී නොවනු ඇතැයි මම සිතමි.

විවේක ගැනීමටද මහා වෙහෙසක් දරන අද ලෝකය තුළ මම මා මේ මොහොතේ පය ගසා සිටින මහ පොළවේ කුඩා අඟල් කිහිපයට මහත් සේ පෙම් කරමි. මන්දයත් ඒ හැඟීම පමණක් මා කිසිදිනක මට යා නොහැකි වේගයකින් සුන්දර කඳු මුදුන්, දිය ඇළි, වන රේඛා වෙත මනෝමූලිකව රැගෙන යන බැවිනි.

ඒ හැඟීම නන්නාඳුනන ඇවිද යන්නන් දහස් ගණනක් කෙරෙහි මාගේ ප්‍රේමයද රැගෙන යන බැව් මම අදහමි. ප්‍රේමය යනු හුදු මුග්ධ වචනාර්ථය පමණක් නොවන බව තේරුම් ගැනීමට සොබාදහම, හුස්ම සහ ප්‍රාණියා අතර ඇති මේ ශ්‍රිතයම පමණක් ප්‍රමාණවත්ය.



Look deep into nature, and then you will understand everything better.

Albert Einstein






12 comments:

  1. ලක්ෂණට ලියලා තියෙනෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමිල

      Delete
  2. කියවගෙන යද්දී හිතට දැනුනේ හරි අපූරු හැඟීමක්.. ඇත්තටම ලස්සනට අකුරු කරලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්..

      Delete
  3. මම කවදත් කැමති අක්කාගේ මේ වගේ කතා කියවන්න. අර පොත් වලින් එලියට පැනලා කට්ටිය ගැන ලිවුව කතාව තමයි වඩාත්ම කැමති. සමහර වේලාවට තෙරෙන්නෙ නැති බර වචන තිබුනත් මම කැමති මේ ලියවිල්ලට ;)

    ReplyDelete
    Replies
    1. බර වචන අඩුම කලා ලියන්න උත්සාහ කරන්නම් නංගො.. ස්තූතියි ගොඩක්

      Delete
  4. ලද දෙයින් සතුටුවීම කියන්නෙ ඉතා හොඳ ගුණයක්. හැබැයි අපි හොයාගෙන යන්නෙම අපි ලඟ නැති දේවල්නෙ. මොකද කවුද මංද කියල තියනවනෙ බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරවන්නෙ කියල.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. ඇත්ත... ඒ පැත්තෙන් ගත්තොත් ඒ කතාවත් හරි නෑ කියන්ඩ බෑ :)

      Delete
  5. බලාපොරොත්තු නැති ජීවිතයක් හරියට පරිප්පු නැති හෝටලේ වගේ ජීවත් වෙද්දි බලාපොරොත්තු ඇති වෙනවා ඇති කරනවා. ඒ හැම එකකට එකවගේ මුණ දෙන්න අපිට බෑ අපි මිනිස්සු නිසා රහත් වත් වුනා නම් උපේක්ෂාවෙන් බලන්න තිවුනා..

    ReplyDelete
    Replies
    1. ඒත් ශූන්‍ය වන තැන බලාපොරොත්තුවට ඉඩ නෑ

      Delete
  6. අනේ මන්ද. නීනුට මොකක් වෙලාද කියල. :(

    ReplyDelete
    Replies
    1. මට මුකුත් වෙලා නෑ :)

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.