මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/6/13

-224- කලු ලෝගු


එකිනෙකා පරයා රජ වන්නට තතනන කුහකත්වය මුසු මාවත් දිග මම ඇවිද යමි. පන්සල සහ පල්ලිය අතර පටු බිම් තීරයේ කහ ඉර මාරු වෙමි. වාතය තුළ පවා ඇත්තෙ, නොහඳුනන කඳුලකි.
තමා පිළිබඳව උපන් නොදන්නා වෛරයකි.

අවසන මම හිස් අහස දෙස බලමි. අහස වසාගත් තුඟු වෘක්ෂයෝ පියස්ස කරා ඉහළ නැඟී මිහිකත දෙස බලා සිටිති. එකී පත්‍ර වල පවා පහතින් ගමන් කරන්නවුන් පිළිබඳව උපන් අනුකම්පාව තැවරී වී ඇතැයි විටෙක මට සිතෙයි.

ප්‍රේමය සහ වෛරය අතර වෙනස වටහා ගත නොහී අතරමං වූ ජීවීත තමන්ගේ විනිශ්චය තවෙකෙකු ලබා දෙනතෙක් ඇසිපිය නොහෙළා බලා සිටිති.

සියල්ලෝම මිනිස්සු වූ කල්හී, කෙනෙක් කෙලෙස අනෙකාගේ ජීවිතය විනිශ්චය කරන්නට සුදුසු වන්නේදැයි මම තවම නොදනිමි. එකිනෙකා කෙරෙහි හටගත් සමාජ සහතිකයන් මත සිටගෙන ඔවුනොවුන් කෙරෙහි තීන්දු දෙන සමාජයෙන් මිදී මම මඳකට ඔහු දෙස බලමි.

හිනාවක් හෝ සතුටක් නොදකින එම මුහුණ මත, මම කඳුල හෝ ශෝකයද කිසි දිනක නොදකිමි. නමුත් ඒ තුළ මැදහත් බවක් ඇතැයි ඔබට කියන්නට තරම් මගේ සිත ඉඩනොදෙයි.

කෙනෙකුගේ බැල්ම, ශක්තිය සහ සුසුමද ක්ෂණිකව උරා ගත හැකි වන ලෙස තීක්ෂණ දෙනෙතකින් ඔහු ඔවුන් දෙස බලා සිටී. ඒ දෙනෙත් මත බොහෝ දෙනෙත් අවතැන්ව ගොස් පරඬැල්ව වියැකෙන අයුරු ඔහු විසින්ම නෙතින් උරා බොන කළ දැනෙන රසය කුමක්දැයි මම තවම නොදනිමි.

එනිසාම මම එතැනින් නිකම යමි. දිගු කාමර පේළි අතරින්, වට රවුම් තරප්පු පෙළ බසිමින්, බේකරි සුවඳ රජයන ආපන ශාලාව වෙත දැන් මම පිය නගමි. විත්තියටත්, පැමිණිල්ලටත් එකසේ පොදු බඩගින්න කහපාට  මේස මත, උඩ බැලි අතට නිදා සිටිනා පිඟන් මතුයේ හුරතල් වෙමින්, ඇති කෙටි ආහාර සමඟ කවලංව අතුරුදහන් වනු මම දකිමි.

අනුන්ගේ සුසුම් මැද, තම මඩිය තබා තලු මරන මිනිසුන්ගේ ආත්මයට කිඳා බසින්නට මම මඳක් වෙර දරමි. ඉදින් මම අයෙක් ළඟ නවතිමි. ඒ වෙහෙසට පත් මුහුණු පිරික්සමි. ඒවා තුළින් සටහන් තැබීමට දෙයක් ශේෂ වී ඇත්දැයි තවමත් මම නොදනිමි. එහෙත් සටහනට යමක් සොයා ගත යුතු බැවින් මම ඔවුන්ගේ වචන පිටපත් කරමි.

තවත් දවසක් අවසන හිරු මුදුනින් මම එළියට බසිමි. ඉදරියට ඇවිදිමි. ඇවිදීම කෙළවර වූ තැන පැන්නුම් පාලම දකිමි. පා වෙහෙස නොබලා එය නගිමි.

සුපුරුදු සුනඛ ධේනුව දහවල් බත් කිස නිමා කර සුව නින්දකට ගොස් ඇත. මම සෙමෙන් එතැන පසු කර යමි. රාමු කළ පින්තූර එල්ලා ඇති පහළ වීදියේ කඩ අතර, සර්ව පිත්තල ආත්මයන්ගේ වෙනසත්, කලු ලෝගු වල වෙනසත් තේරුම් ගත නොහැකිව මම වම් පස බලමි.

තවම ජීවිත දුම්රිය ප්‍රමාදය.



2 comments:

  1. ප්‍රමාද වී හෝ ජීවිත දුම් රිය ගමන් කළ යුතුය.අවසන නැවතුමට එන විට පසු කර ආ රූස්ස ගස් ,වැල් ,කටු පඳුරු ඇත්තේ ඒවා පමණක් බව අප සිතනු ඇත.තවත් බොහෙ දේ ඇති නමුත් නැවතුමට ආ පසු ඒවා දැකගත නොහැක.ජාතිවාදය ,ආගම්වාදය,කුලවාදය මනසින් හීන වූ මිනිසුන් ඉදිරියට ඇදගෙන යන පුහු මතයන් පමණකි.නැවතුම ලඟ නම් තව ඇත්තේ කුමක්දැයි වහා බලන්න.

    ReplyDelete
  2. දුම්රිය යන නිසා අපිත් යනවා .

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.