6/5/13

-216- ත්‍රීවීල් අංකල්



ජයවර්ධනපුර සරසවියට එකසිය තිස් අටේ යන ඕනෙම කෙනෙක් විජේරාම හන්දියෙං බහිනවා.
දූවිලි පිරුණ විදූරු අස්සෙන් පැන්සල් පෙට්ටි හිනාවෙන ඡායාව පත්තර කඩේ ළඟ ඉඳන්ම පේනවා. පාරෙ බෙන්ඩ් එකක් තියෙන හින්දා, වාහන කොහොමත් එන්නෙ ටිකක් විතර හෙමින්. කොහොමත් එක පොකුරට පාර පනිනකොට කැම්පස් ළමයි කියලා දැනගෙනම, වාහන හෙමින් අරන් යනවා කියලාත් වෙලාවකට හිතෙනවා. එකෙක්ගෙ හරි ඇඟේ සයිඩ් කණ්නාඩිය හරි ගෑවෙනවා කියන්නෙ, එතන තුන්වන ලෝක යුද්ධෙ පටන් ගැනීම බව ඒ මිනිස්සුත් අපි වාගෙම ඉවෙන් වාගෙ දන්නවා.

හැමදාම උදේට පාර එකම වගෙයි. හමුවෙන්නෙත්, වෙනදා හමුවෙන අයමයි. හුළඟ වුණත් එකම පේස්ට්‍රි සුවඳයි.

ඒත් මේ කියන දවසෙ මම, ඔරලෝසුවට අනුව ටිකක් පරක්කුයි. ඒ නිසාම වෙනදා දකින පුරුදු මුහුණු පාරෙදි මම දැක්කෙ නැහැ. පෙස්ට්‍රි සුවඳත් ටිකක් විතර බැහැලා.. දවල් මස් හොද්දට තුන පහ බඳින සුවඳ වැඩියෙන් දැනෙන්න පටන් අරන්.

එකසිය තිස් අටෙන් බැස්ස ගමන් පාර පැන්නත්, අපේ සරසවිය තිබුණෙ කිලෝමීටර් බාගෙකට ආසන්න දුරින්. ඒ නිසාමයි, මම හන්දියෙ ගාල් කරපු ත්‍රීවීල් රථයකට ගොඩ වුණේ.

මට පුංචි හිනාවකින් සංග්‍රහ කරන ගමන්ම ත්‍රීවිල් අංකල් ස්ටාර්ට් කරන්න හැන්ඩල් එකේ දෙපැත්ත තද කරලා.. ඒ මැද්දෙ ගහලා තිබ්බ හඳුන්කූරූ තුන, දකුණු පැත්තෙ සයිඩ් කණ්ණාඩිය යට ගැහුවා.

හරි බරි ගැහිලා ඉඳගෙන උගුර පාදපු විදිහට, අංකල් කතා කරන්න සූදානම් බව මට තේරුණා. මම ආසයි කතා කරන්න. නමුත් කෙනෙක් පටන් ගන්නකං කතාව පටන් ගන්න මම කැමති නැහැ. කොහොම වුණත් අංකල් පාරට දානකොටම එයාගෙ හඬ අවදි කළා.

අපි කරන්නෙ මිසී, මිනිස්සු ගණන් ගන්නෙම නැති රස්සාවක් තමයි. ඒත් මේ රෝද තුන උඩත් රටේ ලෝකෙ ගණන් ගන්න මිනිස්සු යනවා. ඒත් අපිව දැක්කම සිකුරුටි උන්නැහෙලා සලකන්නෙ, මහ පොළව උඩ ඉන්න අනික් මිනිස්සුන්ට වාගේ නෙවෙයි.

ඊයේ මෙහෙ ලොකු මහත්තයෙක්ගෙ වාහනයක් නුගේගොඩ හයිලෙවල් හරියෙදි කැඩිලා. මම හයර් එකක් යන ගමන් එහෙන් දාලා ආවෙ, මෙතන අවුරුදු ගාණක් ත්‍රීවිල් පාක් කරන මට, මේ පාරෙ යන හැම මූණම වාගෙ හොඳට හුරුයි. ඉතින් මම නවත්තලා ඇයි කියලා බැලුවා. අනේ ඒ මහත්තයාට හොඳටම පරක්කුයි. ඉතින් ඔය රක්ෂණේටත් කෝල් කරලා. වාහනේ උන්ට දුන්න ගමන් මගේ වාහනේට නැග්ගා. කෙටි පාරකින් දාලා මමත් ආවා. කැම්පස් එක ඇතුළට දාන්න හදන කොටම, මොකද මේ කියාගෙන මහ සද්දෙන් කඩං පැන්නෙ,  නැද්ද සිකුරුටිලා. අර මහත්තයා එබිලා බැලුවා විතරයි. කටවල් වැහුණා.

මම තවම වචනයක්වත් කතා කළේ නෑ. අංකල් දන්නවා මම කැම්පස් එකට යන්නෙ කියලා. පාර හරි නිසා මම සද්ද නැතුව අහගෙන හිටියා.

මිසී, නීතිය තියෙන්න ඕනෙ තමා. ඒත් සල්ලි තියෙන මිනිස්සුන්ටයි, නැති මිනිස්සුන්ටයි දෙවිදිහක් ඇයි? එහෙම කරන එක හරිද? දැන් කැම්පස් එක ළඟටම ත්‍රීවීල් එක ඇවිත්. සිකුරුටි කුටිය පේන මානෙ ත්‍රීවීල් එක නැවැත්තුවා. මම බැහැලා රුපියල් පහනක් ඇද්දා. තවම අංකල් කතා කරනවා.

මම ආයෙ ඕකුන්ගෙ මූණ බලන්නෙ නෑ මිසී. 

නිල්පාට කොළය අංකල් ට දිගු කරන ගමන්, මම මෙතෙක් පැවතුණ සිනහව ටිකක් වැඩි කළා. 

“ අංකල්, අර තරාදිය අල්ලන් ඉන්න උසාවි අක්කාගෙ ඇස් දෙක බැඳලා. එයා දන්නෙ බර කිරන්න විතරයි. අංකල් ඕවා ගණන් ගන්නෙපා. මං කියනවාට අයිස් ක්‍රීම් එකක් කන්න. මේ හරි රස්නෙ දවස්.“

ඔහුගෙ තරහින් පුපුරන මුහුණට එක පාරටම හිනා රේඛාවක් ආවා. සමහරවිට ඔහුට හිතෙන්න ඇති මෙච්චර වෙලා මා එක්ක කතා කළේ අපරාදෙ කියලා. ඒත් තරහක් හෝ කහටක් හිතේ නැතුවම අංකල් මට, බුදුසරණයි දුවේ කියලා කිව්වා. අන්න ඒ වෙලාවේ, ලෙක්චරර්ලාත් එහෙමම කියනවා නම් කියලා විතරක් මට හිතුණා. ඒ එක්කම පොඩි ඇරුණ ගේට්ටුවෙන් මම ඇතුළට ගියා

හැමදාම පුරුදු විදිහටම සිකුරුටි අයියා මගෙ අයි ඩී චෙක් නොකරම හිනා වුණා. 

13 comments:

  1. බුදු සරණයි දුවේ!!!

    ReplyDelete
    Replies
    1. එහෙම කීමට මට සුදුසු කම් තියේය..

      දේශකයා = lecturer (හැබැයි පජාත) හැක් හැක්..

      Delete
    2. හම්!! හම්!!!!

      Delete
  2. ටික දවසකින් මේ පැත්තට ගොඩවුනේ.. හැම දෙයක්ම වෙනස් වෙලානේ.. දැන් මේ ඉර ඇහැරෙන ඉසවුවමද වෙනස් කලේ?

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ් අයියෙ... හැම දෙයක්ම වෙනස් වෙනවා... ඒක ලෝකෙ හිටිනෙ

      Delete
    2. මට කාලෙන් කාලෙට අලුත් දේ කරන්න ඕනෙ. හරියන්නත් පුලුවන්. වරදින්නත් පුලුවන්. ඒත් කරලාම බලනවා.

      Delete
  3. පහත් තැනින් යයි ගලා ජලේ...කියා පැරණි කියමනක් තියෙන්නෙ...ඒ අනුව මේ සංසිද්ධියක් අද ඊයේ ඇති වූවක් නොවන බව පැහැදිලියි. ලංකාවෙන් සමුගෙන දියුණු රටකට ගියාම තමයි අපේ රට ඇයි හැමදාමත් තෙවන ලෝකයේම රටක් විදියට පවතින්නෙ කියන කාරණේ මට පසක් වුනේ...ඉන් වැඩි කොටසක් නියෝජනය කරන්නෙ පුද්ගල ආකල්ප...රැකියාවේ ස්වරූපය දෙස බලා පුද්ගලයන් අතර උස් මිටි කම් ගොඩ නැගීම...මේ කඩුළු පැනගෙන අපිට ඉදිරියට යන්න පුලුවන් වෙච්ච දවසක තමයි රටක් විදියට අපි සංවර්ධන මාවතට එළඹෙන්නෙ....

    ReplyDelete
  4. බුදු සරණයි නොකිව්වට ළමයින්ට ඇත්තටම ආදරේ කරන ගුරුවරුත් ඔය ගේට්ටුවෙන් එහා පැත්තෙ ඉන්නවා... ඔයාගෙ කතාව නම් මරු! අංකල්ට ආදරේ හිතෙන්න ඇති!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්!!! වර්ෂා

      Delete
  5. // අන්න ඒ වෙලාවේ, ලෙක්චරර්ලාත් එහෙමම කියනවා නම් කියලා විතරක් මට හිතුණා. //
    The best damn quote,And the same thing I'm expecting.........................
    ps, Sorry,No Sinhal kb on Lab machines (:

    ReplyDelete
  6. ස්තූතියි මධුෂාන්

    ReplyDelete
  7. සිරාම පෝස්ට් එකක්.

    හැබැයි ත්‍රීවීල් රියැදුරෝ ඔය ගානට වැ‍ටුනේ නිකම්මත් නෙවෙයි.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.