මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/11/13

-227- හොඳම ලේලි

ඔබේ උකුලත මා නොවේ
මගෙ පුතු පමණි සුරතල් වුණේ
ඔබේ දෙතනේ එරන් කිරි
මගෙ හිමිට පමණයි හිමි වුණේ
එහෙත් ඔබ මගෙ දිවිය සරසන
මලක් මෙනි නැන්දණියනේ.................

විශාරද නන්දා මාලනියගේ හඬින් හැඩ වුණ මේ සිංදුව අහලා තියෙනවාද? මේ සිංදුව අහපු ගමන් හිතට එන්නෙ පොඩි කාලෙ ඉඳන් අපි අහපු නැන්දම්මා ලේලි ඝට්ඨනය.



අපි තවම යුවතියන් තමයි. ඒත් අපෙන් සියයට අනූ පහක් ම කවදා හරි බිරිඳක් වෙනවානෙ. ඉතින් නොමිලේම හැමෝටම නැන්දම්මලා කෙනෙක් ලැබෙනවා. හස්බන්ඩ්ගෙ අම්මා ජීවතුන් අතර නැති වුණත්, නෑනලා හෝ ඒ පාර්ශවයේ කවුරු හරි කාන්තාවක් සමඟ අපිට වසන්න වෙනවාමයි. ඒ හැමෝම නියෝජනය කරන්නෙ නැන්දම්මාව.

මේ අතර අපේ කෙනෙක් කියයි, අනේ මම නම් බැඳලාත් ඉන්නෙ අපේ ගෙදර. අපේ මහත්තයාව මගේ ගෙදර තියා ගන්නවා කියලා. එහෙම කිව්වත්, පස්සෙ එහෙම කළ හැකි වුණත්,  ප්‍රායෝගික ලෝකෙ චාරිත්‍රයට හරි ටික දවසක් මහත්තයාගෙ පැත්තෙ (මහ ගෙදර) ඉන්නම වෙනවා. අඩුම සතියක්වත්. ඒක ලංකාවෙ සාමාන්‍යයි.

නැන්දම්මා දිනා ගැනීම අමුතු කලාවක් කියලා හිතාගෙන ඉන්න අය වෙනුවෙන් ලියන්න හිතුණෙ ඒකයි. මඟුල් ගෙදර තරම්ම මේකත් මුලු ජීවිත කාලයටම වැදගත්.

බුදු හාමුදුරුවන්ගෙ කාලෙටත් කලින් ඉඳන්, නැන්දම්මා ලේලි ගැටලුව තියෙනවා. ඉතින් මේ වගේ වට පිටින් අතීතෙ පිළිබඳ සහ හිතෙන් මවා ගත්ත කතන්දර සීයක් දෙසීයක් විතර හිස පුරවගෙන තමයි අපේ යුවතියන් කුලගෙට යන්නෙ. ඒක ලොකු වරදක් වුණත්, ඒක වලක්වන්න ටිකක් අමාරුයි.
මේ ජීවත් වෙන සිස්ටම් එක එක්ක.

නුහුරු නුපුරුදු අලුත් තැනකට ගියාම සුපුරුදු ක්‍රමයෙන් මිදීමේ තෝන්තු ගතියක් ඕනෙම කෙනෙක්ට තියෙනවා. කාමර, ජනේල් රෙදි, ඇඳ රෙද්ද, මෙට්ටෙ විතරක් නෙවෙයි දොරින් දොර පවා වෙනස්. ජීවත් වෙන මුහුණුත් වෙනස්. අවට අසල් වැසියොත් වෙනස්. ඒ වගේම වටේ අය ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ හැම වෙලාවෙම බලනවා. එතන එකවරම අපේ ගෙදර කියලා නොදැනෙන්න පුළුවන්. ඒ ගෙදර පුරුදු වුණ සමහර පිළිවෙල වල් අපිට පුරුදු නැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්.

උදාහරණයක් හිතමු. අපි උදේට හැමදාම කිරි තේ බොන අය කියලා. හැබැයි ඒ ගෙදර හැමදාම උදේට බොන්නෙ කොළ කැඳ. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම කෙනෙක්ට ලොකු ගැටලුවක් තමයි. ඒත් ඒක නැන්දම්මාගෙ ගැටලුවක් නම් නෙමෙයි. ඒක ඒ ගෙදර අයගෙ විදිහ. මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රශ්න ගොඩක් අඩුයි. ප්‍රශ්නය අපි තේරුම් නොගැනීම.

නැන්දම්මා ලේලි සිත් රිදවීමට බලපාන මුලිකම හේතුව පරම්පරා ගැටුම. ඒ කියන්නෙ දෙන්නා කාලයෙන් යුග දෙකක් නියෝජනය කරනවා. එතකොට ගොඩක් දේවල් කරද්දි මත දෙකක් යුග දෙකක් නිසා ගැටෙන්න ගන්නවා. ඒ වෙලාවෙදි අවස්ථානුකූල වීම තමයි අපේ දක්ෂ කම.

ලේලි විදිහට අපි අලුත් තැනකට ගියත්, එතන පිට තැනක් නෙවෙයි. හස්බන්ඩ්ගෙ අම්මා කියන්නෙ අපෙත් අම්මා. අපෙ අම්මාගෙ පරම්පරාවමයි ඒ අම්මාත් නියෝජනය කරන්නෙ. ඉතිං අපෙ අම්මා අපිට බැන්නම අපි ආයෙ ආයෙ රණ්ඩුවට යනවාද? ගස්සනවාද? දමල ගහලා කොහෙ හරි යනවාද? නැහැනෙ.

ඇත්තම හිතුවොත් අපෙ අම්මලා තරම් නම් හස්බන්ඩ්ලාගෙ අම්මලා කවදාවත් අපිට බනින්නෙ නෑ. අපෙ අම්මලා එක්ක උයද්දි හොද්දෙ ලුණු ඩිංගක් වැඩි නම් අපි කොච්චර බැණුම් අහනවාද? ඒත් හස්බන්ඩ්ලාගෙ අම්මලා කියයි, මේකෙ ලුණු වැඩියි දරුවො කියලා. එච්චරයි. එයා පිට කෙනෙක් කියලා හිතුවාම තමයි අපිට තරහ යන්නෙ. එයා හොඳින් කියන දේ පවා ගොඩක් ඇදේට පෙනෙන්නෙ.

ගිය ගමන් ඒ ගෙදර සම්ප්‍රදාය සහ මූලිකත්වය අතට ගන්න යන එක අපේ තරුණ යුවතියන්ට වෙන ලොකු වරදක්. අපි අම්මා කෙනෙක් වුණ දවසට තමයි තේරෙන්නෙ අම්මා කෙනෙක්ගෙ ආත්මාර්ථකාමි කම. අම්මා කෙනෙක් ගෙ ආදරය හරිම ආත්මාර්ථකාමි. විශේෂයෙන් පුතාලා කෙරෙහි. ඒක කොයි තරම් ප්‍රශ්න කාරී වුණත්, ප්‍රශ්න කරන්න සංස්කෘතික අයිතියක් අපිට නෑ. ඒක අවශ්‍යයත් නෑ. අපි  ඒ නිවසට යන්න කලින් අපේ හස්බන්ඩ්ගෙ තේ එක උදේට ගිහිං දුන්නෙ එයාගෙ අම්මා නම්, ඒ දේ ඇයට දිගටම කරන්න ඉඩ දෙන්න. මොකද මවට දරුවා ගැන විශාල සංස්කෘතිකමය අයිතියක් තියෙනවා. ඒක බලෙන් බිඳින්න ගියොත් ඇයගේ වෛරය වගේම නොසන්සුන් බව තිව්ර වෙනවා. හස්බන්ඩ් වුණත් ගැටලුවට පත් වෙනවා.

සාධාරණව පිළි ගන්න ඕනෙ තමයි අපි ඒ වගේ සුළු දේවල් වලට හරිම ආසයි. ඒත් ඒ සුළු කැපකිරීම නුදුරු අනාගතයෙ ලොකු සංහිඳියාවකට මඟ පාදනවා.

අම්මා තේ එක ගෙනියනවාද? කියලා අම්මාගෙ අතට තේ කෝප්පෙ දුන්නොත්, ඇය සියයට අනුවක් දුරට.. දුවම පුතාට ගිහින් දෙන්න.. ඔයා එයාව බලා ගන්න කියලා අයිතිය ඔබටම දෙනවා. ඒ වගේම, දුන්න ගමන් පාරට්ටු නොකර වගකීම ගන්න. වැඩිය අදින්න පදින්න ගියොත් නැතිවෙන්නත් පුළුවන්. වැඩි පුර ලකුණු දාගන්න ගිහින් නා ගන්න අය ඉන්නවානෙ.

කාන්තාවක් හැම වෙලාවෙම ආසයි, අනෙක් කාන්තාව තමන්ට යටින් ඉන්නවාට. ඒත් ඒ යටින් සිටීම තුළ යට ඉන්න කෙනාට වැඩි පුර මානසික වරප්‍රසාද ලැබෙන බව මතක තබා ගන්න.

ඉවුම් පිහුම් වලදි ඇයට සහය වෙන්න. මූලිකත්වය ඇයට දෙන්න. නිවස අස් කරද්දි, සැමියාගෙ ඇඳුමක් ඔබේ ඇඳුමක් ගැන පවා ඇගෙන් අදහස් විමසන්න. එවිට ඇය සතුටු වෙනවා. සමහර වෙලාවට ඔබව හැඩ කරන්න ඇය උදව් වෙනවා. ඇයත් අම්මා කෙනෙක්නෙ.



කවදාවත්, ඇයට අඟුණයි කියලා කෑම ගෙනත් හංගගෙන නම් කන්නෙපා. අම්මා මේවා කනවාද කියලා අහන්න. ඇයව හදන්න යන්න එපා. පසු කාලිනව ඇයට හොඳ නෑ කියලා පේන්නම කෑවාට කමක් නෑ.

අපේ පෙම්වතාව සිටි අවධියේ අප සැමියාගේ නොදුටු ගුණාංග, ඔහුගෙ හැසිරීම්, රුචි අරුචි කම්, ලෙඩ රෝග ගැන පවා අපට හොඳින්ම දැන ගත හැක්කෙ නැන්දම්මාගෙන්. අනේ බැන්දට පස්සෙ සැමියා  වෙනස් වෙලා කියන බිරින්දෑවරුන්ගෙන් සියයට අනුවක්ම තම නැන්දම්මා සමඟ යහ සහ සම්බන්ධයක් නොමැති අය.

හැකි තරම් නම්‍යශීලි චරිතයක් වුණොත්, ඉන්න තැන සතුටින් ඉන්න චරිතයක් වුණොත්, අපට ඕනෙම තැනක සතුටින් හිටිය හැකි. මේ කිසිම දෙයකට අනුගත නොවන නැන්දම්මලා නැතුවම නෙවෙයි. ඉවසිල්ලෙ හිතන්න. ඇය හැම කෙනා සමඟම අඩදබර කරන, කිසිම සුමුදු බවක් නැති කතක් නම් අපට ඇය හා සාමදාන වීමට කළ හැකි දේ අල්පයි. ඒ සඳහා ස්ථානෝචිත ක්‍රමයක් ඒ මොහොතේ සිතන්නටම වෙනවා. ඉවසීමයි වැදගත් ම.

ඇගේ වැරදි පිට තැන් වල කියන්න එපා. ඇයට පිට කෙනෙක් විදිහට සලකන්න එපා. අනිත් අය ඉදිරියෙත්, තනිව සිටියදීත් ඇයට ගරු කරන්න. අපිව අත් හැරියත් මව අතහරින්න මනුස්සයෙකුට බැරි බව සැම විටම මතක තබා ගන්න. ලේලිය මේ තරම් නම්‍ය ශිලි ඉවසිලි වන්ත සුහද කෙනෙක් නම්, නැන්දම්මාට ලොකු තරඟයක් දෙන්නම වෙනවා ගෙදර තමන්ගෙ තැන රැක ගන්න. නෑනලාට වුණත් එහෙමයි. හැමෝම හොඳ වෙන්න උත්සාහ කරනකොට දියුණු වෙන්නෙත් සතුටු වෙන්නෙත් එකම ගෙදර අය. ඔබේම පවුල.

ජීවත් වීම අමුතු කලාවක් නෙවෙයි. සරල සුන්දර කලාවක්. ඔබ ඔබේ පෙම්වතාට ආදරය කරනවා නම්, ටිකක් මේ ගැන හිතන්න.. බිරිඳක් වුණ දාට මේ දේවල් වැදගත් වෙයි. නැන්දම්මා එක්ක එකතු වෙලා හස්බන්ඩ්ව පොඩි එකා කරගන්නත් බැරි වෙන එකක් නෑ.


සදා දී නිති පැතූ සෙනෙහස
දුවක මෙන් මා සරසලා
මගේ දිවියේ දෙවනි මව වී
දෙවනි වර මා බිහි කළා....


24 comments:

  1. සිංදු ගැන නම් ඉතිං නෙරංජි තමා:)

    ReplyDelete
  2. හප්පා නේරංජි.. පපුවටම වදින්න ලියලා තියෙනව.. මොකද මාත් නැන්දම්මත් එක්ක විතරක් නෙවෙයි ඒ ගෙදරත් එක්කම මරා ගත්ත එකානෙ... හැබැයි ඒ එයාලා නරක අය නිසා නං නෙවෙයි.. මට අලුත් ජීවිතයක් ඕනෙ නිසා... ( තාම එහෙමයි තමයි.. ඒත් ඈතට වෙලා ඉන්න තරමට ෂේප් එකේ ඉන්නව.. හි හි) ඒත් ඒ ගෙදරින් අයින් වෙලා වෙනම ආපු දවසේ ඉඳලා දැන් නැන්දම්මට මං පොඩි එකා වෙලා... මං හිතන්නෙ වෙනම ආපු එකෙන් ගොඩක් දුරට එයා මං කවුද කියන එක තේරුම් අරන් තියෙනවා කියලා...

    ඔයා කියන දේවල් සේරම ඇත්ත..

    මට ඔතන තියෙන්නෙ එක කේස් එකයි..

    අලුත් ජීවිතයක් පටන් ගන්නේ බඳින ගෑණු ළමයා විතරද...? පිරිමි ළමයට අලුත් ජීවිතයක් ඕනෙ නැද්ද...?

    මම නම් බැන්දෙ අපි දෙන්නටම අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනෙ උන නිසා.. ඒක එයාගේ පරණ ජීවිතයත් එක්කම විතරක් නෙවෙයි මගේ පරණ ජිවිතයත් එක්කත් කරන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ... අපිම තීරණ අරන් වැරදි වැරදි හරි අපේ ජීවිතයක් හදාගන්න.. ඒකට එක්කෙනෙක් විතරක් කැප කිරීම් කරලා වැඩක් නෑ... දෙන්නම කැප කිරීම් කරන්න ඕනෙ... එහෙම නැතුව එතන අලුත් පවුල් ජීවිතයක් ඇති වෙන්නෙ නෑ.... ඔන්න ඕකයි මං වලි දාගන්න හේතුව...

    ReplyDelete
    Replies
    1. ඔබේ බිරිඳ ඔබේ ළඟට කැන්දා
      වැරදි ඇතොත් ඇයට දෙන්න පහදා
      ඇය හට ආදරෙන් ඉන්න සැමදා
      මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හින්දා...

      Delete
  3. නැන්දම්මටත් තමන්ගේ අම්මා වගේ සලකගෙන ඉන්ඩ ඕන.... නැත්නං ඊලඟ ආත්මේ බැල්ලියක් වෙලා ඉපදෙන්න සිද්ද වෙනවා.
    මතකනේ නැන්දම්මට කන්න නොදී කුඩු තලප දීපු ලේලිව... උන්දෑ ඊට පස්සේ ආත්මේ බැල්ලියක් වෙලා ඉපදුන කතාව මතකනේ ?

    ReplyDelete
    Replies
    1. ඔන්න දැක්කද? ලොකු සර් බණ කිව්වා

      Delete
    2. මම ඕක අහපු විරිඳු පන්තියක් :)

      Delete
  4. මම නම් කියන්නේ ඔය ඔක්කොටම වැඩිය හොදයි බැඳලා වෙනම ජීවත් වෙන එක.. කිසිම අවුලක් නෑ එතකොට..

    ReplyDelete
    Replies
    1. ටික කාලයක් හරි වෙනම ඉන්න එක හොඳයි. නැත්නම් ස්වාධීන වෙන්න ඉගෙන ගන්නේ නැහැ.
      හැබැයි කවද හරි අම්මල අපි ළඟට ගන්න ඕනේ කියන තැන තමයි මම නම් ඉන්නේ. නැත්නම් එයාල පව් නේ. එයාලව බලාගන්ඩ ඕනේ නේ

      Delete
    2. වෙනම ඉන්න එක හොඳයි.. ඒත් චාරිත්‍රෙට අරෙහෙ ඉන්ඩම වෙනවා

      Delete
  5. //අපි ඒ නිවසට යන්න කලින් අපේ හස්බන්ඩ්ගෙ තේ එක උදේට ගිහිං දුන්නෙ එයාගෙ අම්මා නම්, ඒ දේ ඇයට දිගටම කරන්න ඉඩ දෙන්න.//

    ඔන්න මම නම් ආයේ තේ හදන්න ඉල්ලුවේ නැහැ ලු...අම්මල එක්ක හිටි ටික කාලේදී, අපි නැගිටිද්දී අම්ම තේ හදල සාලෙන් තියලා නේ :) මට ඒක කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ.

    තේ බොනවද? කැඳ බොනවද? කෝපි බොනවද? වතුර බොනවද?
    ඕවා හරිම සරල දේවල්. මොකටද ඕනෙවට වඩා හිතල සංකීරණ කර ගන්නේ? තේ බොන්න කැමති කෙනාට තේ බොන්නත්, වතුර බොන්න කැමති කෙනාට වතුර බොන්නත් පුළුවනි.

    මොනා උනත් ඔයාගේ කතාව ඇත්ත. ඕනෑවට වඩා පොඩි පොඩි දේවල් බදාගන්න නිසා ප්‍රශ්න ඇති වෙන්නේ කියල හිතෙනවා. හැම දේම තමන්ට හරි කියල හිතෙන විදිහට කරන්න යන්න හොඳ නැහැ. ඒ වගේම අනික් කෙනා ව නිතරම 'හදන්න' යන්නත් හොඳ නැහැ.

    හැබැයි ඉතිං හොඳ ලේලි කෙනෙක් වෙන්ඩ නම් හොඳ නැන්දම්මා කෙනෙකුත් ඉන්න ඕනේ. අනිත් පැත්තටත් එහෙම්ම මයි. මොකද අපි කවුරුත් රහත් වෙලා නෑනේ.

    ReplyDelete
  6. මම මෙක කලිනුත් කොහෙහරි කිවුවද මන්ද.මෙතන තියෙන්නෙ නැන්ද ලෙලි කෙස් එකක් නෙමෙයි.බහුතරයක් ගැනුඅයට තවත් ගැනු කෙනෙක් එක්ක හොදින් එකලග ඉන්න අමාරුයි.එක අම දුව අක්ක නන්ගි උනත් එකයි.හැබැයි අම්ම දුව කෙස් එකෙදි අම්ම ඉවසනව තමන්ගෙ දුව නිසා.අනිත් එවගෙදිත් වැඩිය එලියට දානෙ නැ.එත් නැන්ද ලෙලි.නෑනල නෑනල අත්‍රෙ උනාම හැමොටම කිය කිය බනිනව තමන්ගෙ කම නැති නිසා.එකනිසා තමයි ඔක එලියට ඇවිල්ල තියෙන්නෙ.

    ReplyDelete
  7. ගොඩක් වෙලාවට කට්ටිය පටන් ගන්නේමා ගන්නෙම " මම මොකටද එයට සෙකන්ඩ් වෙන්නේ" කියල හිතාගෙන වලිවලට එක හේතුවක් ඒක .... මට පෙන ප්‍රදානම වැරැද්ද කරන්නේ පිරිමි අය ..... අලුතෙන් එන කෙනාට නිසි පුර්ව දැනුවත් කිරීම කරලා ගෙනවානම් ප්‍රශ්න ගොඩක් අඩුයි..... මොකද පුතෙක් තරම් හොදට මම හිතන්නේ නැ කාටවත් තමන්ගේ අම්මව අනික් කෙනෙක්ට තේරුම් කරලා දෙන්න පුළුවන් කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් මැලේ රාළ ඔයා හරියටම හරි... මේ ප්‍රශ්නෙ තව පැත්තක් තියෙනවා..

      Delete
  8. හොද ලිපියක් යාලු අද ආවේ මේ පැත්තේ ,,,දිගටම එන්නම්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔයාගෙ නම හරි ලස්සනයි අපුර්වි

      Delete
  9. අඩේ ඒ සිංදුව මං අද මයි අහුවේ.. :D

    ReplyDelete
  10. අද තමයි ඉස්සෙල්ලම ආවෙ... නියමයි....

    ReplyDelete
  11. නේරංඡි ඔයා ගැන ආඩම්බරයි. මෙම ලිපි කියවන්න ප්‍රමාද වීම ගැන පසු තැවෙනව. නමුත් ලියන්න හොද දවසක් නෙවේ අද මන්ද මගේ යාලුවෙක් හදිසි අනතුරකින් අප අතරින් දැන් පැය තුන හතරකට කලින් සමු ගත්ත. යාලුවන්ට මේල් කරන්න ආවමයි ඔයාගේ ලිපි දකින්න ලැබුනේ යමක් සටහන් නොකර යා නොහැකි නිසා සටහනක් තබමි. ඔබේ ලිවිම හරි ප්‍රියයි පසුව දවසක ඔබට ලියන්නම් මම දිලිප්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිලිප්

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.