මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/22/10

ව්‍යාකූල සටහනක්? නැහැ සටනක්?

මේ නිකිණි මාසයයි....
අපිට එනම් ශ්‍රී ලංකාවට දළදා ආශිර්වාදය ලැබෙන මාසයයි...
පෙරහැර ලකේටම පැවැත්වෙයි...
අවසාන රන්දෝලිය අනිද්දා වැඩම කරනු ඇත.
දැන් බය සැක නැතුව එහෙ මෙහෙ යන්නට පුළුවන.ඒ දැන් ත්‍රස්ත බිය නැති හෙයිනි..ත්‍රස්ත බිය දුරු වී වසරක් ගෙවී ගිය බව කියමින් අප උදම් ඇනූ බව ඔබට මදක් හෝ මතක ඇතැයි සිතමි.නමුත් අපි සිටින්නේ තවමත් එදා සිටි තැනම නේදැයි තවම ගැටළුවක් පවතී. මගේ සහෘද ලාංකිකයන්ගේ මතකයේ අඩුපාඩුව පිළිබඳව කණගාටු වෙමින් මම ලංකාවෙන් මදක් ඔබ්බට යමි.

මේ අති රමණීය ජර්මනියයි...මීට දශක ගනනාවකට පෙර නිම වූ යුද්ධයක අලු මතින් තැනුණු රාජ්‍යයයි...මම සිතින් ගෑස් කාමර ගණනාවක් පසු කළෙමි....ඇයව සොයා ගැනීමට මට වුවමනා විය...

මීට වසර හතකට පෙර ..එනම් මට වයස දහ තුනේදී මම ඇය දැන හැඳින ගතිමි...මාගේ ජීවිතය පුරා මේ තාක් ඇය බොහෝ බලපෑ චරිතයක් විය....ඇය කිසි දෙනෙකත් මට සොයා ගත නොහැක.ඒ ඇය මා විසින් සොයා ගන්නා විටත් මලවුන් අතර සිටි නිසාවෙනි...

ඇය උපන්නේ 1929 සයවන මාසයේදීය... මා උපන්නේ 1989 එකොළොස් වන මාසයේදීය.මට වඩා අවුරුදු 60කට වඩා ඇය වැඩි මහළු වුණත්..මා එදා ඇය කියවූයේ ඈ මගේ සොයුරියකැයි සිතාය....ආදරණීය ඈන් ෆ්‍රෑන්ක්.මට ඔබව අමතක් වන්නේ නෑ...ඔබ මිය ගියේ වයස දහ තුනේදී...මම ඔබව කියෙව්වෙත් වයස දහතුනේදී..අපි දෙන්නාගෙම සිතුවිලි තිබුණෙ එකම වයසෙ...ඔයා එදා හිටියෙත් අඳුරු යුගයක...මම එදා හිටියෙ අවිනිශ්චිත යුගයක.....ඔයා ඇඳුරු යුගයක් එක්කම යන්න ගියා....ඒත් ඔයාව කියවපු මම තාම ඉන්නවා.සංකේතාත්මකව අපේ අඳුරු යුගය ඉවර වුණත්, පුංචි ගැටළුවක් තියෙනවා.කළු වලාකුළක් ඈත එනවා පේනවා....කරත්ත රෝදයක් පෙරළෙනවා වගේ....මම හිතන්නෙ නෑ යුදෙව්වෝ වෙච්චි පළියට නාසිවරු ඔයාලාව මැරුවා වගේ ඒ පාට තුනේ අන්ධකාරය අපිව මරා දමාවි කියලා ....හැබැයි අපේ ලොකු ලොකු අය කියන ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය නම් ඒ කරත්ත රොදේට පෑගේවි....සමහරක් විට...
ආදර ඇන්,
බෑන්කි මූන් මහත්තය මේ අගෝස්තු හය ජපානෙට ගියා...නිකන් නෙමෙයි...හිරෝශිමාවෙ කඳුළු වලට මල් අරන්.....ලංකාවෙ කටයුතු දැන් ඒ වගේමයි....මුළු ලෝකෙම එක වගෙයි....හිනා වෙනවද ?අඬනවා ද ? කියලා හිතා ගන්න බෑ.. දිව්‍ය ලෝකෙම ඉන්න ඔයා ...මෙහෙ එන්න එන්නම ව්‍යාකූලයි....

දැනට ආයුබෝවන්

5 comments:

  1. නීනු,
    ඈන් ගැන නිවැරදි කිරීමක් කරන්න මට පුළුවන් නේද..??
    ඇය ඉපදුනේ 1929 ජූනි මාසයේ 12 වෙනිදා ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් ඇම් මෑන් කියන නගරයේදී.ඈන්ට, ඇය ලියා අපි කියවූ දින පොත ලැබුනේ ඇගේ දහතුන්වන උපන්දිනයට තිළිණයක් ලෙසින්.ඒ 1942 වසරේදී.ඒ වන විට ඇය සිටියේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩැම් නගරයේ. ඒ වසරේම ජූලි 10 වනදා ඇය තමන්ගේ පවුලේ සියලු දෙනා සමඟ 'ප්‍රින්සන්ග්‍රාච්ට් 263' කියන ලිපිනයේ තිබු ඇගේ පියාගේ කාර්යාලයේ රහස් ඇනෙක්සියට ගියා හිට්ලර්ගේ එස් එස් හමුදාවන්ගෙන් දිවි බේරා ගන්න. ඉන් වසර දෙකකට පසුව 1944 අගෝස්තු 4 වනදා උදේ ඇය ඇතුළු පවුලේ සියලු දෙනා තවමත් හදුනානොගත් පුද්ගලයෙක් දුන් ඔත්තුවක් නිසා අත් අඩංගුවට පත් උනා ඇය මියගියේ ජර්මනියේ බ්‍රීමන් නගරය ආසන්නයේ ඇති බර්ජන් බෙල්ස්න් කදවුරේදී 1945 මාර්තු මාසයේ දිනකදී උණ රෝගයකින්. ඒ වගේමයි ඇය මියගිහිං සති කීපයකින් අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍ය හමුදා එම කදවුර නිදහස් කර ගත්තලු.

    ReplyDelete
  2. ඇත්තටම නගේ මං නම් ඈන් ෆ්‍රෑන්ක් ගැන දැනගත්තේ මේ බොහොම මෑතකදි. ඒකත් මේ සයිබර් අවකාශයේදිමයි. ඇගේ දිනපොත කියැවීමේ නොනිත් ආශාවෙන් පසුවෙමි.

    නිමන්ති අක්කේ,
    පවුලේ අය අත්අඩංගුවට පත් වුණත් ඇගේ පියා ඉන් ගැලවුණා නේද?
    පසු කලෙක ඇගේ ආදරණීය දිනපොත ප්‍රකාශනයට පත් කරන්නේ ඇගේ පියා විසින් නේද?

    ReplyDelete
  3. nimanthi....
    අනේ ඔව් මම වැරදියි....මගේ හදිස්සියට සමා වෙන්න...මම වහාම නිවැරදි කරන්නම්...

    ReplyDelete
  4. @sansarasidu
    ඇත්තටම ඔව් ඇගේ මව පෝලන්තයේ අවුට්ස්විච් කඳවුරේදී මිය ගියත් පියා දිවි බේරා ගන්නට සමත් වෙනවා.ඒ 1945 ජනවාරි 27 වනදා එම කඳවුර රුසියානු හමුදා නිදහස් කරගන්නා නිසාවෙන්.
    අද ඇගේ මේ ඇම්ස්ටර්ඩෑම් හී පිහිටි නිවස කෞතුකාගාරයක්.බර්ජන් බෙල්සන් කඳවුරේත් ඇගේ සමරුවක් තියෙනවා.
    @නීනු
    ඔයා ඈන් ගැන සටහන් කරමින් කරලා තියන පසු සටහනට මම ගොඩක් කැමතියි.ඒකමයි මම නිවැරදිම තොරතුරු ලියලා ගියේ.මොකද බොහෝ දෙනෙක් ඇත්තටම මේ දේවල් ගැන නොදන්නා බව මට වැටහිලා තියනවා.අනිත් කාරණය තමා මම මෙච්චර දවස් නවත්තලා තිබුන මේ වගේ තොරතුරු ලියන සටහන ආයෙමත් පටන් ගන්න ඕන කියලා මට හිතුනා.මේ පරණ ලියු සටහන ..ඒත් ආයෙමත් අලුතෙන්ම පටන් ගන්න ඕනේ.
    http://pruthuwi.wordpress.com

    ReplyDelete
  5. මගේ සාමාන්‍ය දැනීමනම් එච්චර හොද නෑ.. ඒත් ඈන් ගැන කියවන්ඩ ආසා හිතුනා... බලන්ඩ ඕනේ පීරලා..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.