මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/12/17

-282- ජීවිතේ sHaPe කරගන්න

රස්සා, ඉගෙනීම්,පෙම් පළහිළව්, facebook group, insta upload ආදී එකී මෙකී නොකී හැම දෙයක්ම එක්ක හැමදාම ඔයාගෙ ජීවිතේ ගෙවෙන්නෙ එකම විදිහට නම් වරද ඇත්තෙ ජීවිතේ නෙවෙයි. ඔයාගෙයි. ඔයාගෙ ජීවිතේ එකාකාරීව ගලාගෙන යන්න බලපාන්නෙ ඔයාගෙම  අති දරුණු කම්මැලිකම. ආත්මයට හදවතෙන් විතරක් රස්තියාදු ගහන්න දීම ඉතාම අසාධාරණයි. අපි හුඟ දෙනෙකුට කකුල් ලැබිලා තියෙන්නෙ අපි හිතනවාට වඩා වැඩක් ගන්න කියන කාරණාව වයස යන්න යන්න අපිට අමතක වෙනවා. ඒ නිසා මේ නිවාඩුවෙ පොඩ්ඩක් ගෙදරින් එළියට බහින්න. උද්ඝෝෂණයකට, පිකටිං එකකට එහෙම නෙවෙයි, ඒකාකාරි ජීවිතේට එරෙහිව එළියට බහින්න.

"ඉස්කොලේ යන කාලේ වගේද, දැන් අවුරුද්දටම තියෙන්නෙ නිවාඩු 21යි අයියෝ" කියලා නහයෙන් අඬන අයට, මේ අවුරුද්ද හරිම සුබයි. ඒ නිසා නිවාඩු නෑ කියන එක නිදහසට කාරණාවක් නම් නෙවෙයි. ඔයාගෙ පුංචි නිවාඩු 21 න් දවස් දෙකක් කැප කළොත්, අප්‍රේල් 7 වැනිදා රැයෙන් පටන් අරන්, අප්‍රේල් 16 රෑ වෙනතුරු, දවස් 9ක නිවාඩුවක් හදා ගන්න 2017 අවුරුද්ද ඔයාට අවස්ථාව දීලයි තියෙන්නෙ. ඉතිං දවස් 10කට කිට්ටු මේ නිවාඩුවෙ ඔයා මොනවාද කරන්නෙ කියලා, ඔයා කල්පනා කරන්න ම උවමනායි.

පොත් බලන්න, චිත්‍රපට බලන්න, ගෙදර අය එක්ක සාප්පු සවාරි යන්න, රෙදි ටික සෝදන්න, අවුරුද්දට ගෙදර  මකුළු දැල් කඩන්න, නැත්තං ගමේ තියෙන හැම අවුරුදු උත්සවේටම සහභාගි වෙන්න ආදී විකල්ප ගාණක් දැන් ඔයාගෙ හිතට ටැප් එකක් ඇරියා වගේ එනවා කියලා මං දන්නවා. ඒත් young අපි යෝජනා කරනවා මේ පාර ඔය ඔක්කොම අත ඇරලා ට්‍රිප් එකක් යං කියලා.

අපි මේ කතා කරන්නෙ දැනුවත්ව යන අපූරු රස්තියාදුවක් ගැන. ඔයාට අතේ තියෙන මුදල් ප්‍රමාණය අනුව, චාරිකාව සංවිධානය කරගන්න පුලුවන්. සල්ලි ටිකක් වැඩියෙන් තියෙනවා නම්, පිට රටක ඇවිදලා එන්න. අලුත් සංස්කෘතියක්, අලුත් මිනිස්සු වගේම , අලුත් කෙනෙක් විදිහට හිතන්නත් ඒ වගේ චාරිකාවක් පිටිවහලක් වේවි. මේ රටේ හිර වෙලා ඉන්න තෙක්, අපිට ලෝකය අත්දකින්න බෑ. ඒ නිසා දවස් දෙක තුනක සංචාරයකට හරි වෙනත් රටකට යන්න පුලුවන් නම්, ඒක මේ නිවාඩුව අර්ථවත් කරාවි. ඒ වගේ අවස්ථාවක් ලැබුණොත්, කොහෙත්ම මඟ අරින්නත් එපා.

ඒත් හැමෝටම ඒ තරම් වියදම් කරන්න මුදල් නෑ. අපේ සීයා , මුත්තාගෙ කාලෙ ඉඳන්ම ලංකාව සංවර්ධනය වෙන රටක්නෙ.ඒත් එහෙමයි කියලා ගෙදරට වෙලා ඉන්න ඕනෙ නෑ. ලංකාව කියන්නෙ පිටරට වල මිනිස්සු පවා වරක් දෙවරක් වුණත් එන්න බොහෝම  ආශා කරන රටවල් අතර මුල් පෙළේ තියෙන රටක් කියන එක, ප්‍රසිද්ධ කාරණාවක් නෙ. තවමත් ඔයා මුලු ලංකාවම කවර් කරලා තියෙන්න විදිහක් කොහෙත්ම නෑ.

එක option එකක් විදිහට , දකුණු වෙරළ ට ගියොත්, නැවේ නැගලා ගිහින් තල්මසුන් දකින්න. සර්ෆිං කරන්න, මුහුදෙ නාන්න, මඩොල් දූව වගේම විකුම්සිහ කටුගෙදර ත් නරඹන්න, විතරක් නෙවෙයි, පොල් රුප්පාවක අව්ව තපින්නත් ඔයාට හැකිවේවි. මඩකලපුව පැත්තෙදි උණුසුම විඳිමින්, කලපු ජීවිතේ විඳිමින්, තරමක් ලාබයක්ද අත්විඳගෙනම අපූරු නිවාඩුවක් සැපට ගත කරන්න, ඔයාට පුළුවන්.

දකුණ විතරක් නෙවෙයි. මධ්‍යම පළාතත් පුංචි නිවාඩුවකට කියාපු පැත්ත. නුවර , නුවර එළිය සුන්දර නිවාඩුවකට වගේම, සෑහෙන කාලයක් upload කරන්න පුලුවන් photos ගන්නත් හොඳම පැති තමයි. සුන්දර දිය ඇළි , කඳු , තැනි තලා,මල් වතු වගේම ඓතිහාසික වැදගත් කමක් තියෙන තැන්  පවා මධ්‍යම පළාතේ බොහෝම තිබෙනවා. කැමති කෙනෙක්ට, ලෝකෙ ලස්සනම සරසවි වලින් එකක් වෙන පේරාදෙණි සරසවිය බලලා, හවස් වරුවෙ වලේ පෙන්වන නාට්‍යක් බලන්නත් තහනම් නෑ.

සීතල විතරක් නෙවෙයි, කර වෙන උණුහුමත් ජීවිතේ උගන්වනවා. ඔයා ආසා නැද්ද යාපනේ යන්න. දෙමළ සංස්කෘතිය එක්ක පොඩ්ඩක් එකතු වෙලා, රියෝ අයිස්ක්‍රීම් එකක් කාලා, නල්ලූර් වැඳලා, අලුතෙන් හදපු පුස්තකාලයට ගිහිල්ලා, යාල්දේවියෙන් ආයෙ ගෙදර එන්න දැන් පුලුවන්. යුද්ධය ඉවර වෙලා අවුරුදු හතක්ම ගෙවිලා ගිහින් නිසා, දැන් එහෙත් හුඟක් දියුණුයි.

අපි කොයිතරම් යන්න තැන් කිව්වත්, විභාග, ගෙදර කටයුතු සහ අත්‍යාවශ්‍ය වෘත්තීන් වලින් මිදෙන්න තියෙන නොහැකියාව නිසා මේ ඔක්කොම සමහර කෙනෙක්ට ආඬිරැලේ කැඳ කෝප්පෙ වගේ දැනෙනවා ඇති. එහෙම අයට වුණත්, එක දවසකට හරි පුංචි picnic  එකක් යන්න ඕනෙ කරන්නෙ වුවමනාව විතරයි. 

කොළඹ ජීවත් වෙන කෙනෙක්ට කොළඹ  වටේ පොඩ්ඩක් ඇවිදලා ගෝල්ෆේස් එකේ සීතල  සුළඟ හවස් වෙනතුරු විඳලා, නානා ගෙ කොත්තුවක සුපිරි රස බලලා, ඉස්සො වඩයක් කකා ගෙදර එන්න, ලොකු සැලැස්මකවත්, සල්ලියක්වත් ඕනෙ කරන්නෙ නෑ. හැම ඉසව්වකම ජීවත් වෙන ඕනෙම කෙනෙකුට මේ වගේ පුංචි රස්තියාදුවකට ඉඩ ඕනෙ තරම් තියෙනවා. අවශ්‍ය කරන්නෙ පොඩ්ඩක් හිතන්න විතරයි.

ඉතිං මේ නිවාඩුවෙ, පරණ විදිහටම කාමරේ අස්සෙ ජීවත් නොවී එළියට යං . එළියෙ නිදහස අතවිඳිමින් ජීවිතය අහුලගෙන අලුත් අවුරුද්දට අලුත්ම young කොල්ලෙක් කෙල්ලෙක් විදිහට රස්සාවට, සරසවියට, පාසලට යං.


2 comments:

  1. 4 මාසේ ඉවර වෙලා දැන් ගොඩක් කල් නේ ??

    ReplyDelete
  2. ඔව් මේ පරණ ලිපි

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.