මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/7/12

නළල සහ බැංකුව හා ජීවිත



මේ දිනවල ඉතාම කාර්ය බහුල නිසා නවකතාවට හදවතේ සාහිත්‍ය කාමරයට වී සිටින්නට ලෙඩ නිවාඩු දුන්නත්, හදවත පුරා ඇවිදින ආත්මයක් කාර්යබහුල බව පසෙක තබා යමක් ලිවීමට  මසකට ආසන්න කාලයක් පුරා මට බල කරයි. මේ වෙලාවෙ මට මා කියවු කෙටි කතාවක් සිහිපත් වේ. ඒ නත්තල් ගස සහ විවාහ මඟුල නම් ෆියදොර් දොස්තයෙව්ස්කි ලියූ රුසියානු කෙටි කතාවයි. මගේ කතාවට රුසියාව සම්බන්ධ වන්නේ කෙලෙසදැයි දැන් ඔබ සිතාවි. එම කෙටි කතාව ලියන ලේඛකයා තමන් මුලින් ලිවිය යුත්තේ නත්තල් ගස ගැනද විවාහ මඟුල ගැනද යන්න හිතමින් වික්ෂිප්ත වෙයි. මමත්, මුලින්ම මගේ කතාව පටන් ගැනීමට  ලිවිය යුත්තේ ලහිරු ගේ නළල ගැනද? නොඑසේනම් බත්තරමුල්ලේ බැංකුව ගැනද යන්න පිළිබඳව වික්ෂිප්ත වෙමින් සිටිමි. නමුත් දොස්තයෙව්ස්කි සේ මම අතීත සිද්ධිය මුලින් නොකියමි. මම එහෙයින් වර්තමාන සිද්ධිය තෝරාගනිමි.

ඒ ජූනි 13 වැනිදාය. උදෑසන දෙකහමාර යනු, නින්ද මිනිසුන්ව හරි හැටි ග්‍රහණය කරගත් මොහොතකි. බත්තරමුල්ල මඳක් කලබල විය. සෙත්සිරිපාය නිවස්නය වූ ලංකා බැංකු ශාඛාවක මංකොල්ල තැතක් වැරදිණ. බොහෝ පුවත් සේම එයත් තටු ලැබ පැමිණ නිදි ඇඳෙන් පිබිදි විගසම උණුවතුර සමඟ මුවෙහි තැවරිණ. එය තවත් සාමාන්‍ය මංකොල්ලයක් විය. පුද්ගලයෙක් මරු මුවට පත් වුවත් එය තවත් මරණයක් විය. හමුදාවේ කෙනෙක් පලා විත් මෙවන් දෙයක් කළ බව ආරංචි වුණත් එයද සුලබ කතන්දරයක් බැවින් 15 වැනිදා තෙක් එයත් මුල්ලකට තල්ලු විය.

ජූනි 15 වෙනිදා මට කෙනෙක් හමු විය. ඔහු නමින් ශෂික. මගේ වයසේම පසුවූ ඔහු දුක් විඳි බව සටහන් කරන කර්කෂ බවකින් උපන් වෙහෙස මඟ හරවා සුපුරුදු ලෙස සිනා විය. ශෂික මට මුලින්ම මුණ ගැසුණේ එක වසරේ දී ය. නිතරම පන්තියේ දඟ වැඩ කරන ශෂික ගැන සමහර අවස්ථාව වල ගුරුවරු හිටියේ අධික තරහකිනි. එහෙත් නිතර පන්තියට එන , ළදරු පාසල් ගුරුවරියක වූ මගේ මව සහ ශෂික අතර අද වනතුරුත් ඇත්තේ ඉතා සුහද බවකි. මම පහ වසරෙන් ගමේ පාසලෙන් ඉවත්ව ගෝතමියට ගියත්, වසරකට දෙකකට වරක් මඟ තොටදී හමුවන ඔවුන් සමඟ පසුගිය සියල්ල කතා කිරීමට තරම් එකතු වන්නේ ඉතාම සතුටිනි.

මෙදා ශෂික හමුවී සිනා මුසු මුහුණින් කී දෙයක් මගේ සිත බොහෝ දුර සිතන්නට පෙළඹීය.
දන්නවද සුලක්කනා... ලංකා බැන්කු කේස් එකෙන් වෙඩි වැදිලා මැරිලා තියෙන්නෙ අර කෙට්ටු මහේෂ්...

පැරණි අහකට විසි කළ සිදුවීම තවමත් මගෙ හදවතේ උණුසුම් සිදුවීමකි. අද මහේෂ් බැංකුව කඩන්නට ගොස් මැරුම් කන බව එදා ඔහු නොසිතන්නට ඇත.

එදා ඔහුගේ වයස අවුරුදු නවයකි. මහේෂ් ගේ කෙට්ටු මුහුණේ හකු ඉලිප්පි කන් දෙකට හිරවී තිබිණි. දින දෙකක් පමණ නොසෙදූ කමිසයේ පෙරදා පෑන් ඉරි බලියක් එලෙසම විය. දහඩියත් සමඟ පෙර දවසක සෝදද්දී දැමූ නිල් දියර තැනින් තැනට එකතු වී තිබිණි.

ලහිරු සංඛනාත් සෙල්ලම් කරමින් සිටියේ සී සෝ එක ළඟ ය. මම පුරුදු පරිදී සෙල්ලමට යාමට තහනම් ලද්දෙන් පන්තියේ ජනේලයෙන් අවට නරඹමින් සිටියෙමි. ලිස්සන ලෑල්ලේ සිට දිව ආ මහේෂ් ගලක් උඩ විසි කරනුත්, අනතුරුව කෑගසමින් සංඛනාත් බිම ඉඳගනුත්, අවට සිටි අය එතෙන්ට රැස් වෙනුත් මට මතකය. ගල විසි කරනු මිස ඔහු ගල දමා ගසනු දුටු කෙනෙක් නැතත්, එදා ඒ දුගී වෙසට මැර කෛරාටික පෙනුමක් දුන් ගුරුවරු යක්ෂාවේසයෙන් හැසිරුණ හැටි මගෙ මතකයේ වෙයි.

පන්තියේ නායිකාව ලෙස මමත් එදා විදුහල්පති තුමා ළඟ සිටියෙමි. ඔහුව උරහිසින් අල්ලා ගුරුවරියක් දණහිස් පොළවේ වදින්නට තල්ලු කල හැටිත් ඔහුගේ දණහිස් වල නැගිටිද්දී ලේ තැවරී ඇති සැටිත් මම දුටුවෙමි. එදා ඔහු මැරයෙක් අපරාධකරුවෙක් බවට පාසලේ දී පත් වූයේ අත් වැරදීමකිනි. ඔහු මැරයෙක් වූයේ අත්වැරැද්දකිනි. අද වුවමනාවෙන් අපරාධයක් කළ ඔහුගේ දිවි තොර කරවූයේද අත් වැරදීමකින් යැයි මම සිතමි.  එය හරිම පුදුමයක් යැයි මට සිතේ.

වැරදීමකින් වත් ඔහුව පහේ පන්තියෙන් පස්සෙ මට මුණ ගැහුණෙ නෑ.. එහෙම වුණා නම් මට ඔහු එක්ක කතා කරන්න තිබුණා. එක වරක් ඒ ළමයාගෙ හිත සනසන්න තිබ්බා. ජීවිතේ කවදාවත් ඒ ළමයා මවකගෙ සෙනෙහසක් නොලබපු කෙනෙක් වග සමහරවිට කවුරුවත් නොදන්නවා ඇති. සමහර විට කාටවත් ඒක වැඩක් නැතිව ඇති...


23 comments:

  1. ජීවිතේ තමා ජීවිතේ

    ReplyDelete
  2. දුක හිතෙන කතාවක්. හරිම පුදුම අහම්බ සිදුවීම් වැලක් මේ ඇත්තම කතාවක්ද නෙරංජි.

    ReplyDelete
    Replies
    1. සත්‍ය ම කතාවක් අයියෙ.. නම් ගම් පවා සත්‍යයයි

      Delete
  3. මේක ඇත්ත කතාවක් උනත් බොරු කතාවක් උනත්.. ඔයා කියන්න හදන යටි අර්තය නෙරන්ජි මේක අත්වරදි වලින් සිද්ද වෙච්ච දෙයක් කියල නම් මම ඒකට එකග නැහැ... මොකද එදා ඒ ටීචර් මේක ගැන හරියට හොයල බලපු නැති වැරද්දෙන් තමයි මේක වෙලා තියෙන්නෙ.. අත් වරදි කියන්නෙ නෙරන්ජි මිනිස්සුන්ගෙ කාලකන්නි කම්.. ලැජ්ජ නැති කම් වහගන්න කියන බොරු වචනයක් විතරයි... හැබයි ගොඩක් හොන්දයි මේව ගැන කතිකාවක් ඇතිකරන්න උත්සහ කරපු එක... මොකද ගුරුවරු කියන අයගෙ වැරදි ගැන ගොඩක් කතා කරනව අඩුයි...මොකද අද ලමයි ගොඩක් විනාස වෙලා තියෙන්නෙ මේ වගේ ගුරුවරු නිසා තමයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ...... මේක ඇත්තක්

      Delete
    2. කතාවට හොඳ එකතුකිරීමක්...100/% එකඟයි.

      Delete
  4. ඇත්තටම මේ ප්‍රබන්ධයක්ද?

    ReplyDelete
    Replies
    1. මේ තනිකරම සත්‍ය නම් ගම් වලින් රචිත මගේම ආත්මය කතා කිරීමක්. මේ සත්‍යක්!! මහේෂ් ජීවතුන් අතර නෑ.. ශෂික සහ සංඛනාත් තවම ඉන්නවා....

      Delete
  5. Replies
    1. නම් ගම් සහිතවම මේක ඇත්තක් හිරූ

      Delete
  6. Minissunge jiwethawala harila balana kota penawa kohenda waradinna patan gatte ...monawada life eke turning point kiyala..ada eyata ema nouna nam ada hoda tanaka innath tibuna .. gud lcuk akki digatama liyanna

    ReplyDelete
  7. මොනා කියන්නද කියලා හිතා ගන්න බෑ..

    ReplyDelete
    Replies
    1. මටත් මේක දැක්ක වෙලාවෙ එහෙම හිතුණා

      Delete
  8. අයියෝ :( මිනිස්සු නරක වැඩ කරන්නේ කවදාහෝ ඔවුන්ගේ අතීතයේ ඔවුන්ට සිදුවුණු අපරාදක ප්‍රතිපලයක් නිසා කියලා මමත් පිළිගන්න සත්‍යක්

    ReplyDelete
  9. පවු... කාගේ උනත් අහිංසක දරුවෙක් අපරදකාරයෙක් වෙලා !

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ අහිංසක දරුවන්ව තමන් අපරාදකාරයෙක් කරන්න දායක වෙන අවස්ථාත් තියෙනවා

      Delete
  10. වැරදිකාරයන් බිහිකරන්නෙත් සමාජය විසින්මයි කියන එකට හොද උදාහරණයක්.
    සොරි පරක්කු උනාට

    ReplyDelete
    Replies
    1. සොරි නෑ... ඊළඟ එකේදි ගහනවා

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.