මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/5/12

සුභාවිත ගීතය සෙවීම | Part 1


ගීතය යනු ලෝකයේ නොයෙක් කලාවන් අතරින් කලා කරුවා විසින් සොයාගත් පුදුමාකාර දෙයක් විය යුතුය යන්න මගේ හැඟීමය. ගීතය තුළ ශබ්දය, සංගීතය, හඬ සහ අර්ථයද අසීමාන්තිකව ගැබ් කළ හැකි බව ඔබ දන්නවා ඇත. එපමණක් නොව අද වන විට ගීතය තුළ රූපයද සුන්දරව ගැබ් කළ හැක.

ගීතය නම් වූ කලා මාධ්‍ය  සියලු දෙනාටම අතිශයින් ම සමීපයැයි මම කිවහොත් ඔබ එය ප්‍රතික්ෂේප නොකරාවි. මවගේ නැළවිල්ලේ පටන්, කුඩා කල නි.ර ගයන කෙළි ගීයේ පටන්, විවාහයේ අෂ්ටක හා තහංචි කවි, ජය මඟුල් ගීතවල පටන්, මරණයේ දී ගැයෙන වෙස්සන්තර කාව්‍යයේ පටන්, වචන සමඟ සංගීතය මුසුව පැමිණි ගමන් මඟ තුළ කොහේ හෝ තැනක ගීතය නම් දෙයක් බිහි වන්නට ඇතැයි සිතමි.

ගීතය කවියකට තාලයක් දැමීම ම නොව ඉන් එහා ගිය දෙයක් වග වර්තමානය පිළිගෙන ඇත. ලංකාව සැම විටම චූල සම්ප්‍රදායේ සිටින වග අපි කවුරුත් කියන දෙයකි. ගීතයේ මහ සම්ප්‍රදාය උත්තර භාරතයයි කියන අපේ බොහෝ සංගීත විශාරදයන්ට, පෙරදිග, බටහිර මිටකට ගෙන සිංහල සංගීතය සමඟ එකට හනා පෙවූ කේමදාස මාස්ටර් මේ මොහොතේ සිහිපත් කළ යුතුය.

සංගීතය විශ්වයේම භාෂාව වී හමාරය. එයට ජාති වර්ග පාට හෝ භූමි බේදයක් නැත. ලොව පහල වූ සොඳුරු සංගීත කණ්ඩ බොහෝ තිබිය හැක. මම ගීත අසා ඇත්තේ බොහෝ අල්පයක් බව මම දනිමි. නමුත් ඒ ප්‍රමාණයද අසා නැති, එකම ගීයේ ගැලී... කොලවර් ඩී පමණක් රස විඳින අය වෙනුවෙන් ගී කිහිපයක් මතක් කරමි.

මේ දේවල් හෙමින් හෙමින් කියන්න, මට පෝස්ට් කිහිපයක් ම යාවි. ඒ නිසා මම යම් පිළිවෙළක් භාවිතා කරනවා. මම ගායකයා හෝ රචකයා හෝ සංගීතඥයා ආදී වශයෙන් නම් කර කර ගීත ගැන ඔබට කියන්නම්.

අපි අමරදේව මාස්ටර්ගෙ ගීත වලින් පටන්ගමු. ඔබ කැමති නේද?

පළවැනි ගීතය

මුහුද යනු ස්වභාවධර්මයේ අති උත්කෘෂ්ට නිමැවුමකි. ගොඩබිමට වඩා බොහෝ ඉඩ කඩක් මුහුදට ලැබී ඇත.එනම් මුහුදුට සුළු වේලාවකින් මුලු ගොඩබිමම ආක්‍රමණය කළ හැකිය. අප මෙම අත්දැකීමට 2004 දී මුහුණ දෙනතුරු අප මෙය දැක තිබුණේ, කැළණි විහාරයේ සෝලියස් මැන්දිස් මහතා ඇඳ තැබූ චිත්‍ර වලින් පමණි. නමුත් 2004 ට පෙර එයද බොහෝ විට සිදුවිය නොහැකි හිතලු ගොඩට අයත්ව තිබිණි. නමුත් මහගමසේකර රචිත මේ ගීතය හා එහි යොදා ඇති සංගීතය දෙස බලන්න. ඔබට දැනේවී. ගීතය සුනාමිය දුටුවේ කෙතරම් පෙර සිටද යන වග.

Amaradeva-Sinidu Sudu Mudu by Neranji Ekanayake


දෙවැනි ගීතය

අපි අපේ රට ගැන හිතන්නෙ පුදුම ආදරයකින්. ඒත් හැමදාම අපි එකම තැන පල්වෙන ජාතියක් නිය යුතුද? අපි අලුත් දේ හිතන්න ඕනේ.ඒ හිතන හැමදෙයක්ම නිවහල් වෙන්න ඕනෙ.හැම වෘත්තියකම කාටත් යටත් නැති චින්තනයක් පහළ විය යුතුයි. ඒ නිසා අපි අලුත් උදෑසන දෙස ප්‍රබෝධමත්ව බැලිය යුතුයි. අලුත් ගොයමක් දකින්නට, හදවතේ ප්‍රීතිය දකින්නට  මේ ගීතයත් ඔබ වෙනුවෙන්. අහලා නැත්තම් අහන්න. 

Niwahal Sithuvili by Neranji Ekanayake


එක දිගට නැතිව හෙට අනිද්දාම ඔබට තවත් සුභාවිත ගීත කිහිපයක් මම අහන්න දෙන්නම්. හරියටම මේ සද්කාරය බාර ගන්ඩ ඕනෙ ගුවන් විදුලියෙන් තමා..ඒත් අපේ සහෝදරයො කරන බස් රේඩියෝ එක තරම් තවමත් මහ ගුවන්විදුලි නාලිකා එම මග තෝරගෙන නැති එක දුකක්. කව ගීත එක්ක හමුවෙම්.

22 comments:

  1. සීයට සියයක් එකඟයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පුංචි කුමාරිහාමී

      Delete
  2. මහ ගුවන් විදුලි නාලිකා සුභාවිත ගීතය ශ්‍රාවකයා වෙත සමීප නොකරනාවායැයි චෝදනා කිරීම වැරදියි. දෙරණ ගුවන් විදුලියේ සිකුරාදා රෑ 7 ට විකාශය වන අනන්ත ගී රස සහ ඉරිදා රාත්‍රී 7 ට විකාශය වන රෑ ඉරපාන අතිශය සෞන්දර්යාත්මක සංගීත වැඩසටහන්...

    මේ අයුරින් ගීත ගැන කතා කරන විට හැකි සෑම විටක ම අදාල ගීතයේ පද රචකයා සහ සංගීත අධ්‍යක්ෂකවරයා ගැන ත් සඳහන් කරන්න පුළුවන් නම් තවත් වටිනවා...

    ඔබේ වෑයමට සුභාශිංශන!!!

    ReplyDelete
    Replies
    1. ඒත් සාමාන්‍ය චාර්ට් ෂෝ වලට සමාන ජනප්‍රියත්වයක් එයට දැන්වීම් මඟින් ලබා නොදෙන්නෙ ඇයි?

      Delete
    2. වර්තමානයේ කිසිඳු ගුවන් විදුලි වැඩසටහනකට ලබා නොදුන් ආකාරයේ ප්‍රචාරයක් රෑ ඉරපානට ලබා දුන්නා... කිසිම චාර්ට් ශෝ එකක් ප්‍රචාරයට දැවැන්ත කටවුට් යොදා ගෙන නැති වුවත් රෑ ඉරපාන ප්‍රචාරයට කටවුට් පවා යොදා ගන්නවා.. පුවත්පත් දැන්වීම් මෙන්ම දෙරණ රූපවාහිනී නාලිකාවේ දැන්වීම් යොදා ගන්නවා... පුවත්පත්වල ලේඛකයෝ, රූපවාහිනී වැඩසටහන්වල නිවේදකයෝ රෑ ඉරපාන අසා ඔද වැඩී එයට ස්ව කැමැත්තෙන්ම ප්‍රචාරයක් ලබා දෙනු දැකගත හැකි උනා... (ජැක්සන් ඇන්තනි වෙනත් රූපවාහිනී නාලිකාවක පවා ඒ ගැන කිව්වා) අන්තර්ජාලයේ බ්ලොග්වලම කීදෙනෙක් ඒ ගැන ලිව්වද? ඉතින් ප්‍රචාරය මදි යැයි චෝදනා කරන්නත් බෑ...
      www.fmderana.lk/index.php?route=programs/reeirapana

      රෑ ඉරපාන වැඩසටහන අතරේ ප්‍රචාරය වන දැන්වීම් සංඛ්‍යාව එහි ජනප්‍රියතාවය පිළිබඳ සාක්ෂි දරනවා... ජනප්‍රියතාවය නිසාමයි සෙනසුරාදා උදේ 8.00ට නැවත විකාශයකුත් යන්නෙ...

      ඔබත් මමත් සුභාවිත සංගීතයට කැමති වුවත්, හැමෝටම ඒක දිරවන්නෙ නැති වීම තමයි ඕකට හේතුව... ඉල්ලුමට අනුව සැපයුම න්‍යාය අනුව වැඩිපුර ඉල්ලන එක දෙන්නෙ.. නමුත් දෙකයි පනහෙ ගායකයෝ කරලියට ගෙනැල්ලා ශ්‍රාවකයාගේ රසවින්දනය මොට කළේ නම් fm ගුවන්විදුලි නාලිකා තමයි...

      Delete
  3. ඇත්ත කථාව. රේඩියෝ සේරම රැල්ලකට අහුවෙලා ඒකයි එහෙම වෙන්නේ. සේරම වාණිජකරණය වෙලා. සල්ලි විතරයි දැන් වටින්නේ. සල්ලි හම්බෙනවනං ටකරං වලට තට්ටු දාල හරි අහන්න දෙයි

    ReplyDelete
  4. පැල් බැඳගෙන කතා කරන්ඩ පුළුවන් අගේ ඇති පුළුල් මාතෘකාවක්. ගීත එකින් එක උදාහරණ ලෙස ගැනීම අපූරුයි. ඒත් දිගටම ලියද්දි සමස්ථයක් වශයෙන් යම් ගොනු කිරීමක් කරල කතා කරන්නත් ඉඩ හදාගන්න කියල යෝජනා කරන්න කැමතියි.

    මුල්ම ගීතයට සිනිදු සුදු මුදු තාලාවේ ගීතය තෝරාගැනීම හොඳම ආරම්භයක්. මගේ පෞද්ගලික රුචිකත්වය අනුව මේ ගීය සිංහල සංගීතයේ අග්‍රඵලයක්. මෙහි ගායනයටත් පද රචනයටත් වඩා අවධාරණය කළ යුත්තෙ සංගීත නිර්මාණයටයි. මුහුදු රළ ගැටෙන බිඳෙන හැටි රළුවී යළිත් මුදු වෙන හැටි සංගීතයෙන් චිත්ත රූප මවාපාන්න තරම් උසස්. ඒ විශිෂ්ඨ නිර්මාපකයා, සොමදාස ඇල්විටිගල මහතා ගැන මා මෙහි සඳහන් කරන්නෙ ලිපියේ සඳහන් නොවන නිසා.

    විවිධ ගුවන්විදුලි නාලිකා වල සුභාවිත ගීත ප්‍රචාරය කරන්න වෙන්වු වැඩසටහන් තියනව. ලක්හඬේ මියුරු පෙම්මදිරා සහ වෙළඳ සේවය (හෝ ස්වදේශීය සේවයේ) ආරාධනා ස්වර දැහැන මං ඉස්සර නිතර ඇහුවා. (කරුමෙට මේ දෙකම යන්නෙ එකම වෙලාවට, ඒ වැඩසටහන් තාම යනවද දන්නෑ.) ඒත් පැයක් දෙකක් විතරක් කරන ඒ ප්‍රචාරයෙන් ශ්‍රාවක රසවින්දනය උසස් කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ශ්‍රී ශානු කාලෙකින් දැක්කෙ.අපිව මතකද මන්දා..දැනුම බෙදා ගන්න දිගටම එක්වෙන්න...අපිටත් දැනුම ගෙන එන්න.

      Delete
  5. ගීත දෙකම ලස්සනයි !

    ReplyDelete
  6. ගීත දෙකම ලස්සනයි. ඒ වගේම සත්සමුදුර චිත්‍රපටියේ ගීතය ඉතාම අනර්ඝ සංගීත නිර්මාණයක් අනික් එකට වඩා. සෝමදාස ඇල්විටිගල මත්මයාගේ සුපුරුදු පිරුණු බවක් තියන, එත් එහෙන් මෙහෙන් සංගීත කෑලි අමුණපු ගතිය තියනවා. මේ කාණ්ඩයටම දාලා කතා කරන්න පුලුවන් අලුත් සංගීත නිර්මාණත් නෑ කියන්න බෑ. හැබැයි ඉතින් අලුතින් එන වැඩිහරියක් ඒවාගේ සංගීතය, පදරචනය වගේම ගායනයත් අන්තිමයි. අලුත් සින්දු වලින් මට හිතට අල්ලපු ඒවා ටිකක් තියෙන්නේ, හිනාවෙන්න බැරි තරමට, ඉළන්දාරියෝ, තනි රැක්ක තනිරෝස මල්, මතකද හැන්දෑවේ. අන්න ඒ වගේ විශිෂ්ට නිර්මාණ කරන අය අදටත් ඉන්නවා. ඒත් වැඩි දෙනෙක් සින්දුවක් කරන්නේ තමන්ගේ ජනප්‍රියත්වය උදෙසා තමයි. දැනට තියන තත්වය අනුව සල්ලි තියනවා නම් ගොඩ. රු. 25000ක් පදරචකයාට, 25000ක් විතර සංගීතයට, ස්ටූඩියෝ එකට 30000ක් විතර, වීඩියෝ එකක් කරනවානම් තව ලක්ෂ 2ක් විතර. එතකොට මේ සින්දු කරන අය හිතන් ඉන්නේ හරි දැන් මමත් ගායකයෙක් කියලා. ඔන්න දැන් තත්වේ.

    ReplyDelete
  7. ලස්සන සින්දු දෙකක්.ලියපු අයයි, සංගීතවත් කරපු කෙනාත් දැම්මානම් හොදයි.

    ReplyDelete
    Replies
    1. මම ගීත වල අයිතිකාරයෝ දන්නෙ අඩුවෙන්.. පළවන ගීය ලීවෙ මහගමසේකර මහත්මයා.. දන්න කෙනෙක් පිළිවෙළින් කියාදෙන්න.. මම දමන්නම්.සෝමදාස ඇල්විටිගල සංගීතය හරිද?

      Delete
    2. සත් සමුදුර චිත්‍රපටයේ තමා ඔය ගීතය තිබුනෙ. ඒකෙ සංගීත අධ්‍යක්ෂකවරයා සෝමදාස ඇල්විටිගල මහතා තමයි. :)

      Delete
    3. මෙන්න විකීපීඩියා එකේ විස්තර චිත්‍රපටය ගැන: http://en.wikipedia.org/wiki/Sath_Samudura

      Delete
    4. ස්තූතියි ශ්‍රී ශානු

      Delete
  8. ඉතාම හොඳ වැඩක්. මීට කලින් මම ඇවිල්ල නෑ වගේ කනගාටුයි ඒකට. මුළු සමාජයම ජාරාජීර්ණ වේගෙන යන්නෙ. ගුවන් විදුලි නාලිකා වලින් විතරක් හොඳ බාලාපොරොත්තු වෙන්න බෑ. හැමෝම දැන් තමන්ගෙ දේ කරගෙන පාඩුවෙ ඉන්න තත්වෙට පත්වෙලා. කාඩේකට ගියොත්, බස් එකකට නැග්ගොත්, වැඩිය ඕන නෑ. අපේම දරුවො යන පාසල් වෑන් රථ වල පවා අද ඇහෙන්නෙ හරසුන් ගීත. මේක මහා ඛේදවාචකයක්. කොතනින් කෙලවර වේවිද කියල කියන්න බෑ. පාසලේ සිංහල ගුරුතුමා උනත් අද දරුවන්ට හොඳ ගීතයක් අහන්න පොළඹවනව අඩුයි. විභාගය පස්සෙ වේගයෙන් දුවනව. දුකත් හිතෙනව දරුවො ගැන. ඔබට ස්තුතියි මේ කරන කාර්යයට. ලේන් අම්මට පැටවු ටික ලැබුණෙ වලිගෙන් මූද ඉහළ කියල එයාට හිතුනට ඒක එහෙම නෙවෙයි නේ. ඔයාගෙ වැඩේට සක්‍ර දෙවියො නැති උනත් හොඳ රසවින්දනයක් තියෙන මිනිසුසු ටිකක් ඉන්නව සතුටු වෙන්න ඒ ගැන. ජය වේවා.

    ReplyDelete
  9. ගෑඹුරු සත් සුමුදුර පතුල බිද................සොයා ගන්න වින්දනයේ රස මතක.
    …බෙදා ගන්න අප සමග.අනන්තයටම නොවුනත්,සුබාවිත ගීතයට මම ප්‍රියයි.
    …හොද දෑ ඊයෙ විතරක්ම නොවෙයි අදත් තිබෙනවා. සමහර විට ප්‍රචාරනය මදි නිසා
    …අපි අතර බාවිතා වෙන්නෙ අඩුවෙන්. කොහොම නමුත් ඔබගේ උත්සාහය අගය කරනවා.
    …ඊයෙ.. අද.. මෙරට.. නොරට.. හොද ගීත අපට ගෙන එන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.