මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/18/12

චුම්බන කන්ද කියවීම | Part 1

ඔයාලා පොත් කියවන්න කැමතියි නේද? මම ඒ නිසාම අද ඔයාලාට ලස්සන පොතක් ගෙනාවා. මේ පොතේ නම චුම්බන කන්ද. මට හිතෙනවා ගොඩක් අය මේ පොත කියවා ඇති කියලා. කියවලා නැති අය හොයාගෙන කියවන්න. මෙවර විදුදැය සම්මානයෙන් වගේම රාජ්‍ය සම සම්මානයෙනුත් මේ පොත පිදුම් ලැබුවා. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙත් නිර්දේශිත වූ මෙම පොත හුඟක් පාඨක ප්‍රතිචාර ලැබුවා.ඉතින් මම හිතුවා මේ පොත මට දැනෙන විදියට විචාරය කරන්න. විචාරයක් කියන්නෙ නිකම්ම ආ ගිය තොරතුරු කියනවා වගේ නෙවී නිසා මම ඒක ලිව්වෙ ලියන බසින්. කොටසයි පළ කළේ. ඉතිරිය තවත් දවසක පළ කරන්නම්. හේතුව දිග වැඩි නිසා කියවන්න කම්මැලි හිතෙන්නත් වෙලාව මදි වෙන්නත් පුළුවන් නිසා. ඉතින් ඔබත් මේ පොත කියවා හිතෙන අදහස් ලියන්න. අපි මේ පොත හොඳින් විචාරමු.



කලකට පසු නවකතාවක්‌ රචනා කළ ජයතිලක කම්මැල්ලවීර නිර්මාණකරුවා තම හය වැනි  නවකතාව  නිර්මාණය කළේය. ඒ විඡේසූරිය ග්‍රන්ථකේන්ද්‍රයෙන් ප්‍රකාශනය ට පත් කළචුම්බන කන්දය. කම්මැල්ලවීරයන් යනු අප අතරසිටින්නා වූ විශිෂ්ට ශෛලියක්‌ පවතින අතිශූර කෙටිකතාකරුවෙකි. ඔහුගේ කතා කලාව සමාජීය වශයෙන්ද, කාලීන වශයෙන්ද, මානසික වශයෙන්ද, සංස්කෘතිකමය වශයෙන්ද ප්‍රබල කාරණා බොහෝමයක් පාඨකයාට පැහැදිළි කරයි. "චුම්බන කන්ද" ආරම්භයේ පටන් චිත්ත රූප මැවීම මුල් කරගෙන සංකේත රූප ගුණයේ බහුල ප්‍රබල භාෂා භාවිතයකින් ගෙතුණු වියමනක්‌ ලෙස ගලා එයි. එපමණක් නොව එය කෙනෙකුට එකවර කියවා නිම කළ හැකි ගතියකින්ද යුක්තය. හැම දයක් අවසනම අනික් ඡේදය කියවීමේ අත්‍යාවශ්‍යතාවය ලබා දී ඇත්තේ ලේඛකයා විසින්මය.

මෙම කතා වස්තුවට අයත් කාලය නිරවද්‍ය වශයෙන් පැවසිය හැකිය. 1971 සිට 1992 පමණ වකවානුව දක්වා ලංකාවේ සිදුවූ දේශපාලනික වෙනස්කම් මූලික කොට ගෙන වෙනස්කම් වලට භාජනය වූ, සමාජමය, ආර්ථික හා මනෝභාවයන් ගේ ක්‍රියාකාරකම් මෙම පොත තුළ විග්‍රහවේ. කර්තෘ කෘතියේ පෙර වදනේ මෙවන් සඳහනක් කරයි.

උපුටාගැනීම (කර්තෘ සටහන)

කතාව තුළ සමාජ, දේශපාලනික කාරණා ඇතත් ඒවායේ දිග පළල ගැන ඕනෑවට වඩා සිත නොවෙහෙසා මෙය පුහුදුන් මිනිසා පිළිබඳ ප්‍රබන්ධයක් බව සිහි තබා කියවන්නැයි පාඨක ඔබෙන් ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

උපුටා ගැනීම අවසන්

මෙවන් ප්‍රකාශයක් ඔහු සිදු කරන්නේ ,මෙය හුදු දේශපාලන අරමුණක් නොවන වග කීමට මිස, දේශපාලය නම් සාධකයෙන් විනිර්මුක්තව මෙම නවකාතාව කියවිය හැකි වගක් ඔහු සිතන නිසා යැයි නොසිතමි. කෙසේ වෙතත් මෙම නවකතාව පුරාම බොහෝ දේශපාලනික කරණු සංඛ්‍යාවක් සාකච්චා වේ.

මෙම නවකතාවේ පළමු කොටසේ පළමු වන පරිච්ඡේදය මෙන්ම දෙවන කොටසේ අවසාන පරිච්ඡේදයද ආරම්භ වන්නේ එකම ඡේදයකිනි. එමගින් හැඟෙන්නේ තමා කෘතිය ලේඛකයා විසින් පටන් ගන්නා ලද්දේ යම් තැනකින් ද අවසානයට පෙර එම තැනටම නැවත එය ලේඛකයා විසින් රැගෙන පැමිණ ඇති බවයි. සරලවම පාඨකයාට හැඟෙන පරිදී එය අතීතාවර්ජනයකි. හුදු අතීතාවර්ජනයකින් තොර ගම්භීර අතීත පුරාවෘත්තයක් තුළ සැරිසැරීමකි.

වර්තමානයෙන් අතීතයට ගමන් කර, විටින් විට වර්තමානය හා සම්බන්ධතාවක් පවත්වා ගන්නා මෙම කතාව අනාගතය කරා යම් අවිනිශ්චිත හැඟීමක් එකතු කර අවසන් වේ. වර්තමානය හා සම්බන්ධ වන සෑම අවස්ථාවකදීම එකම සිද්ධියක් පමණක් හිතට නැගේ. 

එනම්,

සිංහයා(විජේසිංහ සහෝදරයා) තමාට බදු ඔප්පුවකින් පැවරුණු ඉඩමක පිහිටි ගල්තලාවක හිඳ වැඩී එන තේක්ක ගස් දෙස බලමින් තම අතීතය සිහිපත් කරයි.
පැය කිහිපයක් තුළ ඔහු සරන්නේ වසර විසිපහක පමණ අතීතයකය.

උපුටා ගැනීම (පිටු අංක 09 හා පිටු අංක 171)

සිංහයා වනඅරණ මධ්‍යයේ පිහිටි ගල්තලාව මත තේජාන්විතව නැගී හිඳ අවට සිසාරා බැලුවේය.ඔහු ඉදිරිපස පෙනෙන තෙක් මානයේ අහසට සිනාසෙන ළමා තේක්ක හිස් මුදුන්ය. ඒවායේ ළා කොළ පැහැති පළල් පත්‍ර ඉඳ හිට යන්තමින් සෙලවෙන්නේ සෞභාග්‍යය නම් මේ යයි රහසින් කියන්නාක් මෙනි.

අද අහස ඊයේ තිබුණු අහසම දැයි සැක හිතෙන තරමට වෙනස්ය. ඊයේ එය, සැමියාගේ මළගමට පසුදින වැන්දඹු බිරියගේ මුහුණ මෙන් අඳුරුව තිබිණ. අද, ප්‍රේමසමිබන්ධතාවකින් විවාහයට එළැඹෙන මනාලියකගේ වත මෙන් පැහැපත්ව බබළයි.සුළඟ නම් ඊයේ මෙන් ම අදත් අලසය. තේක්ක දල්ලක් යන්තමින් සොළවනවාට වඩා වැඩි දාංගලයක් එහි නැත.

උපුටා ගැනීම අවසන්

1971 වසරේ දී ලංකාව තුළ සැබෑවටම දේශපාලන ඝට්ටනයක් සිදුවිය. සිංහයාගේ අතීත මතකය ආරම්භ වන්නේ එම ස්ථානයෙන් යැයි කිවහොත් නිවැරදිය. එම අතීතය එලෙස ආරම්භ වීමට බල පෑ හේතු සාධකද ඊට පෙර විග්‍රහ කළයුතුය.

එතරම් මිල මුදල් නොමැති, ගමේ අය විසින් අත් හරින ලද පවුලක සාමාජිකයෙක් වූ සිංහයා ට සැම විටම මිනිසුන් විසින් පහත්කොට සැලකීම, තරුණ විය වන විටම මහා ගැටලුවක් වන්නට ඇත. එය වෛරයක් බවට පෙරළි, තරුණ කණ්ඩායම් හා එක්වූ ඔහු එම උස් පහත් සමාජය බිහි කළ අයගෙන් දේශපාලනික වශයෙන් පළිගැනීමට උත්සාහ කරන්නට ඇත.

උපුටා ගැනීම (පිටු අංක 57)

මම ඉස්කෝලෙ යන කාලෙ උණත් යාළුවො ආශ්‍රට කරපු කෙනෙක් නෙවෙයිනෙ. මම ඉපදුණේ ගමේ කොන් වෙච්ච පවුලක නිසා ගමේ වුණත් යාලුවො කියලා මට හිටියෙ කවුද?

උපුටා ගැනීම අවසන්

දේශපාලනික විප්ලවය, ගරිල්ලා කැරැල්ලක් බවට පත්වීම නිසා අවසන ඔහුට ඉතිරි වූයේ නොණ්ඩියක් ද හිමි කකුලකි. එම කකුලට වෙඩි වැදුණු දින තමාට සෙවන දුන් චුම්බන කන්ද ට ඔහු මහත් ආදරයක් දැක්වීය. එය අයිති කරගැනීමේ ආශාව එයට හේතු වන්නට ඇත. මේ කන්ද චුම්බන කන්ද වීමට හේතු වන්නට ඇත්තේද සිංහයා මෙන්ද තව තව මෙහි පැමිණෙන බොහෝ අය මේ කන්දට ආසක්ත වීම යැයි හැඟේ. ඒ සෑම ආසක්ත වීමක්ම තමන්ගේ අරමුණු අනුව වෙනස් විය.

සිංහයා පොලීසියෙන් වෙඩි වැදී කන්දේ ලෙනක සැඟවී සිටින විට ඔහු වෙත පැමිණෙන ලොකු විජේ සහ පියල්, ඔහුගේ ආරක්ෂාව තම උර මතට ගනී. ඔහු ඔසවාගෙන යයි. කිහිලි කරු කපා දෙයි. රෝහලට ගෙන යයි. රෝහලට ගෙන යාම සඳහා වනයෙන් එළියට ආ නිසා සිංහයා සමඟ ඔවුන්ද විරුද්ධ පාර්ශවයට කොටු වේ. සිරබත් කයි. මේ නිසාම සිංහයාට පියල් හා ලොකු විජේ සහ ඔවුන්ගේ මත ද ප්‍රතික්ෂේප කළ නොහැක. ඔවුන් දෙදෙනා වෙනුවෙන් ඒ තරමටම සිංහයා සංවේදී වෙයි. ඔවුන් නැති විණි නම් සිංහයාට කුමක් සිදු වේවිදැයි පවා කිව නොහැක.

ඉතිරිය ඉදිරියට 

17 comments:

  1. මම නම් පොත් කියවන්න ආසයි. ඒත් මේ පොත කියෝලා නෑ.

    චුම්බන කන්දක් කියලා කිව්වම සුලුපටු දෙයක් යෑ. උම්මා කන්දක් නේ !!!

    ReplyDelete
    Replies
    1. කියෙව්වෙ නෑ නේද විචාරය.. හික්

      Delete
  2. පොත කියෙව්වා...විචාරය තවම එක කොටසයිනෙ, හොඳින් ලියවිලා තියෙනවා..මට හිතෙන විදියට කොටස් දෙකකිනුත් විචාරය ඉවර කරන්න බැරිවෙයි වගේ....

    ReplyDelete
  3. මමත් පොත් කියවන්න ආසයි මේ පොත හෙව්වා හම්බුනෙ නෑ අද ලයිබ්‍රි එකේ බලනන් ඔනේ.

    ReplyDelete
    Replies
    1. කියවලා එන්න විචාරය කරන්න.

      Delete
  4. දැන්නම් පොඩ්ඩ පොඩ්ඩ පොත් කියනව එකෙන් ඈත් වෙනවා වගේ දැනෙනවා මම

    ReplyDelete
  5. මාත් කියෙව්වා මේ පොත.විචාරෙත් නියමයි... :))

    ReplyDelete
  6. කාලෙකින් කියවන්න ලැබුන හොඳ පොතක්

    ReplyDelete
  7. බොරු කියන්නෙ මොකටද විචාරෙනම් කියෙව්වෙ නෑ... ඔක්කොම දැම්මාම එකපාර කියෝලා දාන්නම්..

    මම් දැක්කා පොත් ප්‍රදර්ශනේට ගිය ගොඩක් දෙනෙක් ඔය පොත අරන් තිබ්බා..

    හොයාගෙන කියවන්නම්...

    --
    හරී
    http://dreamsofharee.blogspot.com/
    --

    ReplyDelete
  8. මම කියවපු පොත් අතර උඩින්ම නම තියෙන පොතක් මේක.

    විචාරය ඉවර උනාම ඒ ගැන කියන්නම්

    ReplyDelete
    Replies
    1. හොඳයි. අනිද්දාට දමන්නම් ඉතිරිය

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.