මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/29/12

චුම්බන කන්ද කියවීම | Part 2


 මීට පෙර ලිපියක චුම්බනකන්ද නවකතාව විචාරය කිරීමේ පළමු ලිපිය පළවිය. මේ එම ලිපියේ ඉතිරි කොටසයි.
චුම්බන කන්ද කියවූ පසු මගේ හැඟීම මෙසේ සිතුවම් කළෙමි.

හිරෙන් නිදහස් වන සිංහයා ගෙදර ආවේ , එකම එක බලාපොරොත්තුවක් සිතේ ඇතිවය. ඒ බලාපොරොත්තුව අන් යමක් නොව කන්ද ය. කන්ද යනු ඔහු ගේ ජීවිතයේ විප්ලවීය තාරුණ්‍යය අඩපණ කළ ස්ථානය යි.  මේ කන්ද අයිති කරගැනීමට ඔහුට වුවමනා විය.  සැබවින්ම කන්දේ රජ වීමට ඔහුගේ සිතට වුවමනා විය. එය එසේ වන්නට ඇත්තේ තමාට කියා කිසිවක් නැති අයෙක් ලෙස ඔහුට සිතෙන්නට පටන් ගත් නිසා විය යුතුය. නිවසට පැමිණි පසු සිටි අඩියට වඩා පහළ අඩියකට තමා වැටී ඇති වග, එයින් තමා ගොඩ නංවීමට තම පවුලට නොහැකි වග ඔහුට ඒත්තු ගිය නිසා විය යුතුය.

පියල් ට පෙරැත්ත කර කන්දට යන සිංහයාට ඔහු සමඟ දිනක් හෝ කන්දේ සිටීම රිසි වෙතත්, පියල්ගෙන් ඊට කිසිඳු අනු බලයක් නොලැබෙන්නේ ඔහු ඒ වන විටත් යා යුතු කාමසුකල්ලිකානු ප්‍රතිපදාව තීරණය කර තිබූ හෙයිනි. වනගත ජීවිතය තුළම නවතින සිංහයා, වනය තමාට වුවමනා අයුරින් වෙනස් කර ගන්නේය. භාවනා කරන්නෙකු වග පෙන්වමින් එය තමාගේ සම්පතක් බවට පත් කර ගැනීමේ අභිලාසයක් හා ජනතාව අතර ඉහළින් සිටීමේ ආසාවක් සිංහයා තුළ පවතී.

ඔහු ඉතා ශීඝ්‍රයෙන් වනය අත්පත් කර ගත්තද, තනිකම ඔහු නිරන්තරයෙන් පෙලු අවිය විය. ඔහු හුදකලා වූයේ මිනිසුන් නැති කමිනි. කුඩා කළ කොන් වීමද, දේශපාලන ජීවිතයේ සටනින් තොර බැමි නැති වීමද, ඇති වූ බැඳීම් වෙතොත් උවමනාවෙන් හෝ නුවමනාවෙන් ඒවායෙන් ඈත් වීමට සිදුවීමද, සිංහයාගේ ජීවිතයේ විශේෂයකි. 

සිංහයාගේ සටහන් පොතින් පවා අපට හැඟෙන්නේ ඔහු සතු වූ තනිකමය. ඔහු කන්දට වී ගත කළ මුල් කාලරාමුව තුළ එකදිනක් පමණක් රමණය කළ අහිකුණ්ඨක ස්ත්‍රිය වුව, යළි ඔහු වෙත පැමිණෙන්නේ කාලාන්තරයකට පසුවය.

ඒ අතර කාල සීමාව තුළ ඔහු බොහෝ පිටස්තර බලපෑම් වලට මුහුණ දුන්නේය. බවුන් වඩන අසපුවකට පමණක් සීමා කර සඟවා තිබූ කන්ද ඔසු උයනක් බවට පත්වීම. සාරවත් වගාවක් වීම. කරුණා සේවකයා වීම. පියල් ගේ ආගමනය හා බාවනා වැඩමුළුවක් පැවැත්වීම. පියල්ගේ අනුදැනුමින් එක් හිමි නමකගේ පැමිණීම නිසා කන්දෙ පන්සලක් බිහිවීම. ලොකු විජේ කන්ද දැකීමට පැමිණීම හා කන්දට විදුලිය ලැබීම. ලොකු විජේ විසින් නිවාඩු නිකේතන යෝජනාව ගෙනඒම හා ජංගම දුරකථනයක් මගින් කන්ද හා නගරය සම්බන්ධ කිරීම. ලොකු විජේ මරන්නට ගෙදරට ආ විප්ලවවාදියා කන්දට පැමිණීම හා පැවිදිවීම. සිංහයා රෝහල් ගත වීම. පන්සල ගිනිබත් වීම. ඒ සිද්ධීන් හී සාරංශයයි.

කොයිතරම් දෙගිඩියාවෙන් ජීවත් වුවද, කරුණා, විප්ලවවාදි තරුණයා හා අසපු හාමුදුරුවෝ නැමති ප්‍රාණීන් තිදෙනා කෙරෙහි සිංහයාගේ දැඩි ඇල්මක් වූ බව, ඔවුන් ආගිය අතක් නොමැති වග දැනගත් සිංහයාගේ හැසිරීම කියාපායි. සිංහයා ජංගම දුරකථනය ගින්නට දමන්නේ ඒ තරහ කරණ කොට ගෙනය. හදවත තුළ රික්තය ලැගුම් ගත් මොහොතේ, සිංහයා කන්දෙන් පහලට බසී. නැවත ජීවිතය ඔහු වෙතට පන්සලේ නටඹුන් අතරින් පැමිණෙයි. පුතා සහ බිරිඳක් ලෙස සිතිය හැකි ගැහැණිය වසර පහළවකට පසු මුණ ගැසුණු පුදුමය යම්තාක් දුරට ස්ථාවර වද්දී අනාගත පරපුරක බලාපොරොත්තුව ඔහු සිත තුළ පැළ වන මොහොතක සිදුවන ( ලොකු විජේ නිසා ඉවසිය යුතු, වගකීම බාරගතයුතු ) කාන්තා මරණය  ඔහුගේ සැනසුම නැති කරනු ඇතිද? සටහන් පොත ගිනි තබන්නට නියමිතය. තේක්ක ගස් වැඩෙන්නට නියමිතය. කෝටි ගණනක් ඉපයෙන්නට නියමිතය. පරපුරක් සිංහයා නමට බිහිවන්නට නියමිතය. එසේ නම් රහස් වැළලෙන්නට නියමිතද? හෙළිවන්නට නියමිතද? 

උපුටා ගැනීම (පිටු අංක 175)


  ගොඩ දා තිබූ පස් සමඟ තනපටත් අනෙක් රෙදි කැබලිත් උදැල්ලෙන් වළට තල්ලු කරන තරුණ කුමාර දෙස බලා හිඳින විට කවදා හෝ මොහු මෙහි සිදුවූ සියල්ල අනාවරණය කර ගනු ඇතැයි සිංහයාට සිතෙන්නට විය. ඒ හා සමඟ ම ඔහුට තමා කලබලයෙන් නැගිට එද්දී සටහන් පොත ගල්තලාව මත දමා ආ බව සිහිපත් විය.
  
 ඔහු නැවත හැරී තලගොයියාගල දෙසට කඩිනමින් ඇවිදින්නට වූයේ ඒ සටහන් පොත පුළුස්සා දැමීමේ අරමුණ ඇතිව ය.

උපුටාගැනීම අවසන්


මෙම නවකතාවේ සැලකිය යුතු කරුණක් නම් ලොකු විජේ හා පියල් සහ සිංහයා යන මේ ප්‍රධාන චරිත ත්‍රිත්වය විසින් මනස තුළ පවතින විවිධ ස්වාභාව තුනක් දක්වා තිබීමයි. සාමාන්‍ය මනසක් හා අධි මානසිකත්වය මෙන්ම සියල්ලට ලොබ බඳින මනස ක්‍රියා කරන අයුරු මේ තිදෙනා ඇසුරෙන් කතුවරයා පහදා දෙයි.  පියල් ළඟාවීමට උත්සාහ කරන්නා වූ අධ්‍යාත්මයද, සිංහයා සොයන සාමාන්‍ය ජීවිතයද, ලොකු විජේ සොයන කාමභෝගී දිවිපෙවතද මෙහිදී ඒ මනස් ස්වභාවයන් තුන ඕස්සේ විස්තර වේ. 


මෙම කතාවේ අතුරු පස ලෙස දුන් කාන්තා ප්‍රකාශ තුන අතිශයින් ම වැදගත්ය. ඒ මනොභාවයන් හා බද්ධව ජීවත් වූ කාන්තාවන් නිසාම පමණක් නොව සමාජයේ ස්ථර තුනක කාන්තාව මැනවින් මේ පිටු කිහිපය ඔස්සේ විස්තර කර ඇත. 


උපමා, රූපක ආදියට අවධානයක් නොයෙදෙන මට්ටමක කතාව මිනිසා හා බද්ධ කරගැනීමේ සියුම් ඥාණයක් සහජයින්ම කෙටිකතා කරුවකුට හිමිය. කම්මැල්ලවීර යනු ද එවන් කෙටිකතා කරුවෙකි. භාෂාවේ සුන්දරත්වය, තම කතාව සමඟ හනා පාඨකයාට ඔහු ලබා දී ඇති අයුරු නම් අපූරුය. 


මධ්‍යම පන්තික කාන්තවගේ ජීවිතය සකල කලා මාධ්‍යනට ෆැන්ටසියක් වී, නවකතාවද එයම අනුකරණය කරමින් සිටිනා මෙවන් යුගයක කම්මැල්ලවීරයන් දුන් පිළිතුර අගය කළ යුතු බව පමණක් විචාරය අවසානයේ සිහි කැඳවිය යුතුය.

11 comments:

  1. කියවන්න ගත්තම පිස්සු වැටෙනවා!කෝම හරි හොයාගෙන කියවන්න ඕන

    ReplyDelete
  2. මේ පොත් මට දැන් කියවන්න වෙන්නේ නැති එක ගැන ඇත්තටම දුකයි.. ලංකාවට ගියාමවත් හොයන්න ඕන කියලා හිතන් හිටියට ගියාම මේ ඔක්කොම අමතමයි..

    ReplyDelete
  3. අමතක වී හොඳ ලෙඩක් නෙවෙයි...

    ReplyDelete
  4. ඔයා හිතාමතාම නේද මේක කෙටි කළේ ?
    බස් එකේ යා යුතුම අය මග දාලා යන C T B බස් ඩ්‍රයිවර් කෙනෙක් වගේ පිම්මෙ ලියාගෙන ගිය හින්දා අවශ්‍යයෙන්ම විචාරයට ලක්විය යුතු තැන් ඔයාගෙන් මග හැරිලා...
    සමහරවිට එහෙම වෙන්න ඇත්තෙ පාඨකයින් බහුතරයක් පොත කියවලා නැති හින්ද වෙන්න පුළුවන්....

    චිත්‍රය නම් මට පැහැදිලි මදි..(තවමත් ඒක කියවනවා, චිත්‍ර කොහොමත් බට ලයිට්නෙ)

    ReplyDelete
  5. මට මෙලෝ හසරක් තේරුණේ නැ පොත කියවලා නැති නිසා....

    ReplyDelete
  6. මම ඔය පොතත් එක්ක ගිය පාර ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ උන පොත් ඔක්කොම කියෙව්වා.මුලදි ටිකක් අංජිබචල් වගේ උනාට අගට එනකොට පට්ටයි.මට තේරුනේ නෑ මුලින් මොනාද වෙන්නෙ කියල.ලොකු ව්‍යංගාර්ථයක් දෙන පොතක්.මට මතක විදියට කවිකඳුරටද කොහෙද සම්මානය ලැබිල තිබුනේ.නමුත් කියවද්දි ඊට වඩා මගේ හිතට අල්ලපු පොතක් තිබ්බා වගේ මතකයි.නම නම් මතක නෑ,පොත් ප්‍රදර්ශනෙන් ගත්තු පොත් ඔක්කොම එක හුස්මට කියවල දාපු නිසා.

    ~ආදී~

    ReplyDelete
  7. Ko meke kalin daapu comment1?????

    ReplyDelete
  8. ඔයාගේ විග‍්‍රහය අති විශ්ෂට යි යාළුවා. මේ පොත කියවන්න හරිම ආසාවෙන් හිටියත් මට තාම කියවන්න බැරි වුණා.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.