මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/23/12

විද්‍යාඥ විරිදු


අපෙ අප්පච්චි ගෙ අයිය මගේ ලොකු අප්පච්චි.හරිම කවිකාරයා..වැඩියෙන්ම කරන්නෙ පොතපත කියවන එක. මහාචාර්ය කෙනෙකුට වගේ හොඳ දැනුමක් තියෙනවා.පවුලෙ අයත් ඒ වග පිළිගන්නවා. උපාධියක් නම් තවම නෑ. ඒත් උපාධිකාරයො තුනක් පාලනය කරනවා...

අපිට පාඩම් වලට වුවමනා වෙන විද්‍යාඥයන්ගෙ නම් ලොකු අප්පච්චි අපූරුවට විරිදුවකට කැටි කරපු හැටි අද මම ලියනවා.මේ මගේ නිර්මාණයක් නොවුණත් ඔබේ අධ්‍යාපනයට මේක බොහොම වැදගත් වෙයි කියලා හිතනවා. අධ්‍යාපනයේදී සංගීත භාවිතාව ඇත්තටම ප්‍රාෙයා්ගික බව ලෝකෙම පිළි අරන් ඉවරයි.ඉතිහාසය ගීයකට ගන්න මම උත්සාහ කරන්නෙත් ඒ නිසයි. මට ලැබිලා තියෙන්නෙ ලොකු අප්පච්චිගෙ ආභාසය වෙන්නත් ඇති. මේ මම පොඩි දා පාඩම් කළ ලොකු අප්පච්චි ලියූ පුරෝගාමී විරිදුව.. මේක වැඩ සටහන් වල කීව. මාරුතී අයියා (ලොකු අප්පච්චිගෙ ලොකු පුතා) දැනට රජරට සරසවියෙ ඉගෙන ගන්න සිසුවෙක්. ඉතින් මේ පුංචි විරිදුව මට පොඩි කාලයෙ බොහෝ දේ මතක් කළ නිසා මතක හැටියට ලීවා.ඔබටත් කැමති නම් බලන්න. තව මේක දිගයි...මේ මතක හැටි...ලංකාවෙ සඳු ගැන.ගංගා ගැනත් ලොකු අප්පච්චි ලීවා...ඒ පොත මා ළඟ ඇති. ඒවාත් දමන්නම්කො....ඔයාලාට යමක් ඉගෙන ගන්න.

වහගන්න මගේ නොදන්න කම ප්‍රශ්න ඇහැව්වා
අහගන්න අපේ අප්පච්චිගෙ උතතර මෙව්වා
ගහ දන්න මහත්වරු කොළ කඩ කඩ බොරු කිව්වා
රහ දන්න අයම සරසවියගෙ ලැම කිරි බිව්වා

බුදුන් වඳිනෙමි, අවසර අරන් ගණදෙවි
වඩින් සරසවී,මගෙ හිස උඩින් කරකැවී
ගුරුන් මගෙ දිවී,සමකොට බැතින් බර වෙවී
කියම් රස කවී,මහතුනි අසන් දුරු නොවී

දැනුම සොය සොයා යන්නට බැරිය කිය කියා
අඬනවලු එයා පොත් ලොරි ගණන් ලිය ලියා
කිරි සුවඳ සොය සොයා රැක බැලු මම නුඹේ පියා
මුළු ලොවම ගැන කියා දුන්නේ උකුළ උඩ තියා

දැනුම ඇත පොතේ මුළු විශ්වයම හිස මතේ
මිනිස් කම හිතේ නැකිනම් මොනවටද පුතේ
අකුරු මලපොතේ නොදත් අම්මලා නෙතේ
උණු කඳුලු මත පුතේ ලෝකය ඉදිවෙලා ඇතේ

විදුනැණයෙන් ලොව වනසන මහ බලවත්තූ
පොදුජනයට සෙත සලසන හොඳ ගුණවත්තූ
පුදුම හිතෙන අපි නොහිතන වැඩ කළ පුත්තු
මතු බුදුවන අම්මලාගෙ කිරි බිව් පුත්තූ

බොනාසලා පොල්පොය්ලා මුසෝලනීලා
නැපෝලියන් හිට්ලර් ලොව ලේ විලක් කළා
රොබට් ඔපන් හයිමර් පරමාණුව හදලා
හිරෝෂිමා නාගසාකි සමතලා කළා

වානරයාගෙන් මිනිහා පැවතෙනවාලු
මෙන්න චාල්ස් ඩාවින් ඒ බව පවසනවාලු
ඉර වටේට මහ පෘථිවිය කැරකනෙවාලු
නිකලස් කොපර්නිකස් මත්පැන් බීවේ නෑ යාළු

ඇපල් ගසක් යට අයිසැක් නිව්ටන් යනකොට
වැටුණා ඇපල් ගැට මේ එයාගෙ ඔළුවට
නටුව කැඩෙන කොට ඇයි එන්නේ පහළට
පොළවෙ ආකර්ෂණයට කියලා දැනුණා මොළයට

මහ පොළවේ ඉන්න එකම නොවෙයි ඉරණම
හිතලා රයිට් සොහොයුරන් අහසට ගැහුවා කරණම
දිලී දිලී අහස් තලේ නම රැන්ඳෙව්වා
ගැලීලියෝ දුරදක්නෙන් විශ්වය සෙව්වා

ගැලීලියෝ ගැලීලි ගැන කියලා දෙන්න
අපි නගිමු ඉතාලියෙ පීසා කුළුණ බලන්න
ගුරුත්වයෙහි ඝණත්වයෙහි වෙනස සොයන්න
ගෝල දෙකක් අත ඇරියාලු උඩ සිට මෙන්න

කල් බල බල ඔරලෝසුවෙ කටු කැරකෙනවා
අපට සිල් වෙස්ටර් පාප් තුමා ගැන සිහි වෙනවා.
එන්න උඟුරු කකා වතුර බිබී පීලි දිගේ යං
මෙන්න මිතුරුතුමා අපේ ජෝන් ස්ටීවන්සන්

ගුග්ලි එල්මෝ මාර්කෝනි තමා ඔහු ඉතාලියේ
ලොව පූජිත පියා වුණේ ගුවන් විදුලියේ
තෝමස් අල්වා එඩිසන් නව නිපැයුම් සොයා ගියේ
ග්‍රැමෆෝනය විදුලි බුබුල ඔහු අතේ තියේ.

රූපවාහිනිය හෙව්වලු මොනවටද කතා
ජෝන් ලෝගි බෙයාර් ගැන දන්නවාද පුතා
විදු දැනුම හොයා ගිය ගමනේ ලැබුණු ඉඩ කඩ
ඩයිනමෝව මයිකල් ෆැරඩේගෙ වැඩකිඩ

මේන් පන්හිඳ පුස්කොළය අතීතෙට විසි කෙරුවා
ගුටන් බර්ග් මුද්‍රණ යන්ත්‍රය බිහි කෙරුවා
මල්ලි වීර පුතුන් අතර හිටියෙ හොඳ වැඩ කරුවෝ
එඩ්මන්ඩ් හිලරි මහා එවරස්ට් කඳු තරණය කෙරුවෝ

දැන් ගන්නවා සමු . අපි ආයෙත් හෙට එමු
අපි හරි පාරට එමු.පස්සෙ හොඳ වැඩ පෙන්නවමු
ගුරු දෙගුරුන් නමදිමු. අපි හොඳ මිනිසුන් වෙමු.
අපි හොඳ මිනිසුන් වෙමු. අන්න එතනින් නවතිමූ.






12 comments:

  1. බොහොම ස්තුති ... කොච්චර වටිනවද !

    ReplyDelete
  2. මාරම ලස්සන... ගොඩක් ස්තූතියි මේ වගේ වෙනස් දෙයක් ලිවුවට..

    ReplyDelete
  3. බුද්ධදාස කුමාරා හා ශ්‍රී පරාක්‍රම
    ශුද්ධ ශාස්තයෙන් ගත්තා පණ්ඩිත නාම

    ගැමුණු අබය මුටසීව පණ්ඩුකාභය
    එදැය නගා රට පාලන කරපු රජුන්ය

    ReplyDelete
    Replies
    1. ඕවා ගැනත් ලියා තියේ... මම ගෙනැවිත් දමන්නම්.

      Delete
  4. ලස්සනයි අක්කා... ජය වේවා!!!

    ReplyDelete
  5. ෂහ්..! ගොඩක් වටින දැනුමක් අක්කී.. අර ඉතිරියත් වෙලාවක දාන්න..
    ගොඩක් ස්තූතියි මේ වටින පෝස්ටුවට.. :)

    ReplyDelete
  6. හ්ම්ම් ගොඩාක් වටිනවා අක්කේ

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.