මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/26/12

කවි නොලියන ළමයින්ගෙ කවි


මම මේ ලියන්නෙ කවි නොවෙන්න පුළුවන්. ඒත් මේ කවි ටික මෙතන ලියන්න හිතුණා...කැමති කෙනෙක් කියවන්න... (මේක ඇත්තටම සංරක්ෂණය කරගන්න...දැම්මෙ.. මුහුණුපොතේ දාපු ස්ටේටස් වලින් කීපයක් කීවත් නිවැරදියි)

උදානය

ගඟක් වෙමි ගලා යන
උල්පතක හැඟුම් ගෙන
සුසුදු පෙණ අතුරමින
ඉවුරු සිඹ සනසමින

ගං දෑල වෙත පෙමින
මල් පොකුරු විසිකරන
තුරු වැලක ඉකිබිඳින
වියළි පත් තුරුළු වන

ඇල අසල මඟ බලන
ගොයම් ගස් නිල් නිලන
නිවා ගන්නට පවස
කරයි ඇරයුම් සවස

හතර කණිසම වදින
සොරොව්වෙන් හද රැගෙන
සරුබිමක් වෙත ගලන
දියවරකි සිනාසෙන

පුරන් බිම් තෙත් කරන
ඇළ වේලි මං තනන
සරු බිමට යා කරන
පැතුම් අරගෙන වඩින

එපා සමුදුරු විනිස
කලපු අව සඳ පහස
නැත පැතුම් මෝය අස
හැරෙමි ලෝ වැඩ පිණිස


අප්පචිචිගෙ කමිසය


ඒ කාලෙ හොර හොරෙන්
වටරවුම් වල පිපුණ
මැයි මලක සිරිගත්ත
අප්පච්චිගේ කමිසෙ

ළඟදි අල්මාරියෙන්
ගත්තා එළියට අම්මා..
කිට්ටුවට අහැ දමා
බැලූවෙමි ඒ දිහා

තෝර බේරා ගන්ට
නොහැකි වූ පාටකින්
කමිසෙ අවපැහැ වෙලා..
නිල් ටිකක් වැඩි වෙලා..!



 පේ නොවුණු ප්‍රේමය

පේ වෙච්ච දවස් වල
ඒ කාලෙ පෙරහැරට
නුඹ මාලු පිනි නොකා
උන්නු යස අපූරුව

සිහිවුණා ආයෙමත්
එළවලු බත් බාගෙ‍
ඉල්ලද්දි කැන්ටිමෙන්
මගේ උරය කිට්ටුවෙන්..



 වීදුරු / දාසී

තුරුළට “ඈ “ රැගෙන
වෙනත් අඟනන්ගේ
සුවහසක් රූ මහිම
දෙනෙතින් රසවිඳින

පෙම්වතකුගෙන් ඇසී...
ඇයි එවන් අඟනක්
පතිකුලයට නොගන්නේ...
සුන්දර ජය මඟුල් මැද

“විදුරු බඩු ලෙසින්
කබඩ් ඉබි යතුරු දා
සුරැකෙන්නියක කුමටද?
මගේ කුල ගෙදරට

අහෝ මට වැටහිණි
දැන්ම සිහිපත් කර ඇත
“ඈ “ තවත් හෙට ඔහුගෙ
දාසියක වන වග




ඉන්දරේ අයියාගේ හයිවේ බස් ගීය

අසුනක් හිමියි ගෙවලා තිහක්
බැඳ ගත්තා උදයෙම බත් මුලක්
මං හිතුවෙ ලක්ෂරි බස් දෙකක්
ඇයි ආවේ වයිකං බස් එකක්

අංකල් කෙනෙක් යයි තරහයෙන්
කොන්දත් ඇඟිල්ලක් දික් කරන්
ආසා නෑ වගේ ඇන්ටිලත්
මං ගත්තා හොරෙන්ම ෂොට් දෙකක්

ඕනැ තරම් වැරදී වෙතත්
ආ එකම ඇති මේ බස් එකත්
සලකා බැලූයෙමි මම තවත්
සාධාරණයි තුන්සීයටත්......



පෙම්වතියක් ව

එක බින්දු
මැද සරණ
නුඹේ program වල
තිතක් හෝ කොමාවක්
නොවෙමි මං

නිරන්තර හුදකලා
හීනයක තනි රකින
සොඳුරු සිරකාරියක්
වුණත් මං










18 comments:

  1. හරිම ලස්සනයි ඔක්කෝම කවි ටික..

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි.. ඒත් මින් පස්සෙ ඔයිට වඩා වැඩි යමක් කියන්න.. මම කියන්නෙ බනින්න.

      Delete
    2. ඔන්න මම නම් බැන්නා

      Delete
  2. ලස්සනයි.. //පෙම්වතියක් ව// කියන කවිය ඇත්තටම ලස්සන නිර්මාණයක් කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි...............ගොඩාක්...විචාරයට ඉඩ තියෙනවා....

      Delete
  3. අපරාදෙ ඔක්කොම එකට දැම්මෙ එක එක වෙනම දැම්මනම් රසවිදීමෙ ඉඩ වැඩියි . ඔක්කොම එකපාරටම කියවලා රසවිඳින්න දාන එක වැඩ බහුල බ්ලොග් කියවන්නන්ට කරන අසාධාරනයක්

    ReplyDelete
    Replies
    1. එහෙමද? මින් පස්සෙ එක එක දමන්නම්.....ඒත් මම එිතුවෙ නෑ.. මේක බලන්න කවුරුවත් එයි කියලා..

      Delete
  4. මමනං ආසම ඉන්දරේ අයියගෙ හයිවේ බශ් කවි පංතියට.... ඒක සෝක් ඈ...

    ReplyDelete
    Replies
    1. ඕකට ඉගිලෙන්න තහනම් දාලා කීව හැකි!!

      Delete
  5. මට වැඩියෙන්ම හිත ගියේ "උදානය" කවි පන්තියට.. අනිත්වත් ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. මගෙ හිත ගියේත් ඒකටමයි... බලන්න ඒකෙත් හැටි... නේද? අයියා

      Delete
  6. හම් ඇත්තටම කවි ලස්සනයි. ඔබට ජය දිගටම කවි ලියන්න,අපිට බලන්න.

    මගේ කැමැත්ත අනුව මළමු කවිහ හැර අන් සියල්ලම මගේ කැමැත්ත ගත්ත. කවියකින් ලොකු සමාජ කතාවක් හංගල ගහන එක නියමයි මම කැමතියි. ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. පළමු කවිය ට මම කැමතියි....
      ඒත් ඔබ කියන දේ හරි....මම දිගටම ලියන්නම්.. ස්තූතියි

      Delete
  7. වීදුරු දාසි තමයි ලස්සනම ! මේවා කවි ම විතරයි නේද! !!!

    ReplyDelete
    Replies
    1. මෙව්වා කවි ද දන්නෙ නෑනෙ....

      Delete
  8. සුපිරි කවි ටිකක්.......

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්ඩ එපා ටිකක් බනින්න..

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.