දවස් දෙක තුනක් රතුවට දිලිසි දිලිසි හිටපු ඇන්තූරියම් මල් ටික එක පාරටම අතුරු දහන්. අල්ලපු ගෙදර නංගි එක්කලා කට්ටියම ඉස්කෝලෙ යන්න ඇති. පෑල දොර කිට්ටුව නිදන කාමරේ කවුලු දැල් අස්සෙන් පර වෙච්ච කඩුපුල් මල් වල තැවරිච්ච පිනි බිංදු ගැන ගැන හිටපු මට හිතුණා.
මට මඟ හැරුණා නෙවෙයි. .... සෑහෙන්න මතක තියන් හිටපු තරමටම පාන්දර නැගිටිද්දි හදිස්සියට අමතක වුණා. අද ඔක්තොම්බර් 6 වෙනිදා.. “ ලෝක ගුරු දිනය“
සුමාන දෙකක ඉඳලාම ලෝක ගුරු දිනයට මුළු ලෝකයම අඩු වැඩි වශයෙන් සූදානම් වෙනවා!. මව්වරුන්ගෙ දිනය, කාන්තා දිනය, ආදරවන්තයින්ගෙ දිනය වගේම, පහු ගිය ළමා දිනයටත් කාර්ය බහුල ජීවිත වලින් පැයක් දෙකක් වෙන් කරන එක බොහෝ දෙනෙකුට හරිම සාමාන්‍යයි.
අද හැම ඉස්කෝලෙකම උදේ වරුවෙ රැස්වීමක් නම් අනිවාර්යයි.. මල් වලින් සිහිවටන වලින් ගුරු මේස පිරිලා යනවා ඇති.
ඇයි බුලත් අතක් දීලා.. වඳිනවා එහෙමත් ඇති.. ගුරු දිනය එක දවසකට විතරක් සීමා කළ යුතු නැහැ ...ගුරුවරු අපේ දෙවනි මව්පියො කියලා. ලොකු ලොකු කතා පවත්වනවාත් ඇති.. එහෙම කියලා හෙටින් පස්සෙ ලබන ඔක්කොම්බර් හය වනදා වෙනකම් සියල්ල අමතක වෙලා යනවත් ඇති.
දන්නවාද? ආර්ෆිකෝ සුපිරි වෙළඳ සැලට ලොකු තොරණක් ඇවිත් “happy teacher’s Day” ... ආර්ථික වශයෙන් ගුරු දිනයත් වාණිජමය අංගයක් වෙලා.. මම නිකමට වගේ සාප්පුව ඇතුළෙ ඇවිදගෙන ගියා.. එක එක ගණන් වල විවිධ සිහිවටන.. ලීයෙන්, වීදුරුවෙන්,මැට්ටෙන්, පිත්තලෙන්.. හැඩරුවට ඔප දමපු නොයෙක් ලස්සන නිර්මාණ. හුරු පුරුදු රුවක් රාක්කයක යට තට්ටුවක තිබිලා මම පරිස්සමින් අතට ගත්තා..
දුයිෂේන් සහ අශ්වයාගෙ හිස.. රුපියල් එක්දහස් පන්සීයයි.. මගෙ ළඟට ආපු වෙළඳ සහායිකාවක් මට කතා කළා.. “ මිස් ඕකද බැලුවෙ? ඕක බිදෙන්නෙ පුලුවන්.. වීදුරු නිසා .. ඊට වඩා මේක ලස්සනයි! “ වෙන ලී අනුරුවක් මා අතට දී ඇය යන්න ගියා.. මට මුලු සුපිරි වෙළඳ සලටම ඇහෙන්න කෑ ගහන්න හිතුණා.. කවදාවත් දුයිෂේන් බිඳෙන්නෙ නැහැ කියලා.. සමහරවිට ඇය දුයිෂේන් ව නොදන්නවා ඇති... ඇය ට මේ තවත් එක මිනිහෙකුගෙ හිසකුයි.. අශ්වයෙකුයි විතරක්ම වෙන්න ඇති. කියලා ඊළඟ මොහොතෙ මට හිතුණා.
මම නැවත සාප්පුවෙන් එළියට ආවා... එක එක ගණන් වල මල් කිණිති එක එක පාටින්.ළමයින්ගෙ අතින් අත යනවා .. වීදුරු අස්සෙන් වීදිය දිහා බලා ඉන්න සුබ පැතුම් පත් සාප්පු වීදුරු වලට ඇලිලා ඉන්නෙ එළියට පනින්න වගේ... ළඟට කිට්ටු වෙලා බැලුවොත් තියෙන්නෙ එකම ඉංග්‍රිසි කවි පද කිහිපයක් විතරයි..පොඩි පොඩි වෙනස් කම් නිසා එක එක ගණනට විකිණෙනවා...මියුසික් ඇහෙනවා නම් ගණන ඊට ටිකක් වැඩියි.
කල්පනාව අවසන මම කවුළුව අත ඇරලා ආයෙත් කවුළුවටම හේත්තු වුණා... ඊයෙ කියව කියව ඉඳලා එහෙම්ම මාව නිදි කරවපු ටෙට්සුකී කුරුයොනාගි ගෙ “ කවුළුව ළඟ සිඟිති දැරිය“ තවමත් ඇඳ උඩ දිග හැරිලා..
දරුවෙක්ට ඈනුමක්වත් නොහැර පැය දෙකහමාරක් සවන් දෙන්න පුළුවන් ගුරුවරයෙක්... කොබයාෂි මහත්තයා.. ඒක හුඟ දෙනෙක්ට හීනයක්.. පුදුමෙනුත් පුදුමයක්...
දරුවන් වෙනුවෙන් අත පය කඩාගෙන, ගුටි කාගෙන ,දුක් විඳපු ගුරුවරයෙක් දුයිෂේන්... ඒ මනුස්සයා මුළු ලොවටම පුදුමයක්..හීනයක්..
එහෙත් එහෙම ගුරුවරු ලොව සිටිය යුතුයි කියලා ලොවක්ම යටි හිතින් පිළිගන්නවා නමුත් තම තමන් සාධාරණීකරණය වෙන්නට මේ සියල්ල සාහිත්‍ය කෘතීන් කියලා ඉවත දමනවා..
එක දවසක් විතරක් ගුරුවරු පිදීම වැරදියි වගේම එක දවසක් වත් පුදන්න තරම් කමකට නැති ගුරුවරුත් ලෝකෙ නොඉන්නවා!... නෙවෙයි..කියන එක හැමකෙනෙක්ම මතක තියා ගන්න ඕනේ..
ගුරුවරයෙක් සිසුන් හට බොහෝ දේ ඉගැන් විය යුතුයි.. එබ්‍රහම් ලින්කන් නම් හිටපු ඇමරිකා එක්සත් ජනපද ජනපති වරයා තමන්ගෙ පුතාගෙ මුල් ගුරුතුමාට මෙන්න මෙහෙම ලිපියක් ලියනවා..ඒ ලිපිය අදටත් මුළු ලොවක් අගයන ලිපියක්....
උපුටාගැනීම...
මුල් ගුරුතුමනි,
සෑම මනුෂ්‍යයෙක්ම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන වග,කරුණාකර මගේ පුතාට උගන්වනු මැනවි. සෑම අයහපත්, කපටි දුර්ජනයෙකු පාසාම ගුණ යහපත් වීරවරයකු ජීවත් වන බවද ඔහුට කියා දුන මැනවි.
ආත්මාර්ථකාමි දේශපාලනඥයින් යැයි හංවඩු ගෑසූවන්ගේ හදවත් තුළද රටක සුබ සිද්ධිය උදෙසා කැපවු දේශහිතෛශින් සිටින වග ඔහුට වටහා දුන මැනවි.
සෑම හතුරෙකු තුළම..තමා වෙනුවෙන්ම කැපවූ මිතුරෙක් සිටින බව වටහා දෙනු මැනවි. නොමිලේ ලැබෙන දෙයකට වඩා .. මහන්සියෙන් උපයන දේ අගනා බව ඔහුට ඒත්තු ගන්වනු මැනව. ඒ සඳහා කාලය වැය වුවත් ඒ සත්‍ය ඔහුට පහදා දුන මැනව.පරාජය විඳදරා ගැනීමටත්.. ජයග්‍රහණය නිහතමානීව බුක්ති විඳීමටත් ඔහු පුරුදු කරනු මැනව.
ඇතැමුන් තම ඊර්ෂ්‍යාවෙන් ඔහු යටපත් කරන්නටත්, ඈත් කරන්නටත් ක්‍රියා කරන අවස්ථාවන් හීදී, සන්සුන් වෙමින්, කළකිරීමට පත් නොවී සිත යටින් සිනා සෙන රහස ඔහුට හෙළි කර දුන මැනව.
තම ශක්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නෝ පරාජය කිරීමට ඉතාම පහසු අය බව ඔහුට පසක් කර දුන මැනව.
පොත පතේ ඇති චමත් කාරය පෙන්වා දුන මැනව. ඉන් නොනැවතී, ගගන සරනා සියොත් කැළ ගයන ගීයක මිහිරියාවද, ඉර එළිය යට පියාඹන මීමැසි සේනාවකට, නිල් වන් කඳු බෑවුමක, මිටියාවතට නුදුරේ යාය පුරා පිපුණු මල් කිණිති, කියන්නට වෙර දරන සොඳුරතම රහසද ඔහුට සැනසිල්ලේ සිතන්නට ඉඩ හළ මැනව.
මෘදු මිනිසුන්ට,මුදු ලෙස ද දැඩි මිනිසුන්ට දැඩිවද සලකන්නට ඔහුට උගන්වනු මැනව.තමා වටේ සිටින අය කරන කියන දෙය අන්ධානුකරණයෙන් පිළි නොපැද බුද්ධිය මෙහෙයවන අයුරුද, යුතුකම් හා අයුතු කම් හඳුනාගෙන ක්‍රියා කරන්නට ශක්තිය ද ඔහුට ළඟා කර දුන මැනව.
සියල්ලන්ට සවන් දෙන්නටද, ඉන් සත්‍ය තිබෙන්නේ කොතැන කොයි අයුරින්දැයි සොයාගනීමට ඔහු ඉගෙන ගතයුතු බව, ඔහුට පහදා දුන මැනව.
සෑම දුකක් අභියස ම සිනාසෙන්නටද, කඳුළු හැලීම ලැජ්ජාවට කරුණක් නොවන බවද ඔහුට වටහා දුන මැනව. හැම දෙයකම වැරදි පමණක් සොයන්නන් ගණන් නොගැනීමටද, මිහිරි බස් පමණක් දොඩන්නන්ගෙන් ප්‍රවේසම් වීමද ඉතා යෝග්‍ය බව ඔහුට උගන්වනු මැනව.
තම ගත සහ මොළයේ ශක්තිය... ලොව ඇති ඉහළම මිලට ඉහළම ඉල්ලුම් කරුට විකුණුවද, හදවතට මිලක් නියම කළ නොහැකි වග ඔහුට උගන්වනු මැනව. බොරු ඝෝෂා කරන ජනකාය මධ්‍යයේ නිශ්ශබ්ද වීමටද, තමන් සත්‍යය යැයි පිළිගන්නා දේ වෙනුවෙන් සටන් කිරීමටද ධෛර්ය අවශ්‍ය බව ඔහුට පහදා දුන මැනව.
ඔහු සුරතල් නොකළ මැනව. නමුත් ඔහුට මහත් වූ සෙනෙහස දැක්වුව මැනව.වානේ හොඳින් පන්නරය ලබන්නේ රත් කර තැලූ විට බව ඔහුට වටහා දුන මැනව. ජීවන ගමනේ.. සියලු හැඩි දැඩි රස්නයෙන් සුරක්ෂා වීමට නැවත වෙනස් කළ නොහැකි මිනිසෙක් ලෙස දියුණු වීමටද,ඉගෙනුමෙන් ලබන අත්දැකීම් වැදගත් බව ඔහුට හඟවනු මැනව.
නොඉවසිල්ලට අවැසි ධෛර්යද, නිර්භීත කමට අවැසි ඉවසීමද ඔහුට ප්‍රගුණ කරවනු මැනව.
තමා ගැන උදාර අයුරින් , උසස් අන්දමින් සිතන්නත්... ඒ ඇසුරින් තමන් උපමා කොට මිනිස් වර්ගයාටම ගරු කරන්නත්,ආදරය කරන්නත්..ඔහුට උගන්වනු මැනව. ඔබට හැකි හැම දෙයක්ම ඔහු වෙනුවෙන් කරනු මැනවි..එය අතිශය බාරදූර කාර්යයක් වග ඉඳුරාම දනිමි. නමුත් මෙය ඔබතුමා විසින් ඉටු කළහොත් මගේ දරුවා අනිවාර්යයෙන්ම පන්නරය ලබන බව පමණක් විශ්වාස කරමි.
ජය!!
ඒබ්‍රහම් ලින්කන්
උපුටා ගැනීම අවසන්..
මගේ පියාට කිසි දිනෙකත් මෙවන් ලිපියක් මගේ ගුරුවරයාට යැවීමට නොහැකි විය.යළි යළි ගුරුවරයා යන්නෙහි නියම අරුත පවා මට බොහෝ කලක් ප්‍රශ්නකාරී විය.
ගුරුවරයා මගෙන් ඉතාම දුරස් චරිතයක් බවට පත් වී තිබූ බව මට හොඳින් මතකය. (මගේ මවද ගුරුවරියක්)
ගුරුවරයා ස්ත්‍රියක් නම්.. ඇය සාරියක් හෝ ඇයගේ සංස්කෘතියට ගැළපෙන සභ්‍ය ඇඳුමකින් සැරසුනු, විනීත ලලනා පැවතුම් ඇති.. සභ්‍ය ..සුමට හා අවශ්‍ය විටක තදින් ද කතා කළ හැකි අයෙක් විය යුතුයැයි..කුඩා කල මට සිතිණි. (අම්මා ඇසුරෙන් විය හැක)
පිරිමි ගුරුවරුන් පාසල් වල නොසිටිය යුතු බවද, ඔවුහු ඉතා සැර පරුෂ, වේවැල් වලින් ළමයින්ට පහර ගසන්නට බලා සිටින.ඉතාම නපුරු... දරුවන් නිරන්තරයෙන් රිදවන....දුර්වල තැන් හී හිනා වෙන .. සෙනඟ අසල ලැජ්ජාවට පත් කරන ...කොහෙත්ම බාලිකා විද්‍යාල වලට නොගැළපෙන අය විය යුතු යැයි මම සිතුවෙමි. ( උසස්පෙළ ගුරුවරු ඇසුරෙනි)
ඒ දිනක් මා ඉදිරිපිටදීම ගුරුවරයෙක් අතින් පිරිමි ළමයෙකු තැලුම් කෑ නිසා මම බොහෝ බියට පත්වීමි..
මම කැමති විදිහේ ගුරුවරු මට සිහිනයක්ම විය.
පාසලේ දී ගුරු දිනයට නොයෙක් උත්සව සංවිධානය කෙරෙද්දි මම එම උත්සව වලට සහභාගි වීමි. එහි මිහිරක් මට නොදැනුණේ පාසල් ගුරුවරුන්ගේ සමස්ත අවධානයෙන් මා බැහැර පත් වූ චරිතයක් හෙයිනි. එකල මම මෙය හෙළි කරන්නට මඳක් ලජ්ජා වුවද, අද වන විට මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා ඇතැයි මම විශ්වාස කරමි. එහෙයින් අද දින මම සියල්ලන්ගේම අවධානයෙන් මුක්ත වූ චරිතයක් යැයි කීමෙන් මට කිසිම දුකක් උපදින්නේ නැත.
ලියන විලාසයේ සිට, කවි කියන විලාසයේ සිට, සිතීමේ විලාසයේ සිට, ඔවුහු මා සැලකුවේ යම් අංගවිකල ස්වරූපයකිනි..එයින් නිරන්තරයෙන් පීඩාවට පත් වූ නිසාදෝ මම ගුරුවරුන්ට වෛර කරන්නට පටන් ගතිමි.
මම කවියක් ලියුවොත්, එය මා ලියූ බවට පිළිගන්නට තරම් ගුරුවරු මා අවිශ්වාස කළේ මන්දැයි මම අදටත් මගෙන්ම ප්‍රශ්න කරමි...ඔවුන්ට මා නොසලකන්නට තරම් හේතු තිබුණා විය හැක.
පුංචි පන්ති වලදී කලු කැහුටු නිසාද, මැද පන්ති වල කලුම කලු නිසාද , ලොකු පන්ති වලදී කලු මහත නිසාද මගෙන් බොහෝ අවස්ථා මඟහරවන්නට ඔවුන් කටයුතු කළද අද වන විට ඉහත කී කිසිවක් නිසා මා සිතේ ඔවුන් කෙරෙහි වෛරයක් උපදින්නේ නැත.
මගෙන් බොහෝ මාර්ග අහුරා දැමූ ඔවුහූ ...මට නොපෙනෙන මාර්ග විවර කර දුන් බව පමණක් මම දනිමි.
ලෝක ගුරු දිනය දවස වෙනුවෙන් මා මේ ලිපිය ලියන්නේ ඇයි දැයි දැන් ඔබට පැනයක් ඇතැයි මම සිතමි.
දුයිෂෙන් , කොබයාෂි මහත්තයා සහ මිස්ටර් ලුවිස් යන තිදෙනාටම වඩා හොඳ ගුරුවරු ලෝකයේ ජීවත් විය හැකියැයි මම කිසිදිනකත් නොසිතීමි. නමුත් එය බොරු කිරීමට සමත් එක් ගුරුවරයෙක් පමණක් මට මගේ ජීවිත කාලය තුළ හමුවී ඇත.
ගුරුවරයා යනු ඇඳුම හෝ රූපය හෝ නොව හුදු මනුෂ්‍යත්වය දෑතින්ම පෙරටුකොට තමා දන්නා දේ ඊට වඩා සුන්දරව ලෝකයට දානය කරන්නෙකි.
මගේ ගුරුවරයා පිළිබඳව කීමට සුදුසුම පුද්ගලයා මම නොවියහැකි වුවද ඒ වෙනුවෙන් වෙන එකෙකු ඉදිරිපත් වන තුරු කල් මැරීම මම නොකරමි..එය බොහොම ගෞරවයෙන් කළ සියලු අවස්ථා හීදී මම දෝෂ දර්ශනයට හසු වුවද... අදත් මම එයම බලාපොරොත්තු වෙමි.
නිවැරැද්දෙන් වැරැද්ද හඳුනා ගන්නා සැටි ද, ලෝකයේ කපටි කම්ද, ගුණයහපත් කම්ද, එබ්‍රහම් ලින්කන්ගේ ඉහත ලිපියේ උපුටා ගැනීම පරිදි තම පුතුට ඉගැන්වීමට ඕනෑවූ සියල්ලම ද මගේ පියාගේ ලියමනක් නැතිව වුවද මට උගන්වන්නට එතුමා ගත් උත්සාහය මම කිසි දිනෙක ලගු කොට නොතකමි.
විටෙක තරවටු කරමින්ද, විටෙක බොහෝ කරුණාවෙන්ද, විටෙක රිදවමින්ද, විටෙක උපහාසයෙන්ද, විටෙක දඬුවම් කරමින්ද, විටෙක විහිලු තහලුවෙන්ද, එතුමා අපට ඉගැන්වූ හා අදටත් උගන්වන ආකාරය සූක්ෂමය.විශිෂ්ටය.සිත්ගන්නසුළුය.
අප කරන ලද බොහෝ අකටයුතුකම් මැදහත් සිතින් ඉවසමින් අප වෙනුවෙන්ම සෑහෙන දුක් උහුලමින් අප ආරක්ෂා කරන්නට හැකි වූ මා හඳුනාගත් ගුරුවරයෙක් වී නම් ඒ අපේ ගුරුවරයා ම පමණි.
අප යා යුතු මග පිළිබඳව නිශ්චිතව කිසිම බලපෑමක් කිරීමට ඔහුට කිසිවිටෙකත් වුවමනා නොවීය. ලෝකයට මෙතෙක් වැරදුණු තැන් බොහෝමයක් අපට උගන්වා, නිවැරදිව විශ්වාස කටයුතුව ලෝකය දෙස බැලීමට අපට ඉගැන්වීමට ඔහු දැරූ වෙහෙස වචන වලින් විස්තර කිරීමට මම සදාකාලිකවම අපොහොසත් වෙමි.
කාඩ්බෝඩ් වීරයන්ගෙන් සැබෑ වීරයා ආරක්ෂා කර ගත යුතුව ඇති බවද, පෙනෙන ගොදුරු සොයන්නාට වඩා නොපෙනී එන ගොදුරු සොයන්නාට අප ග්‍රහණය විය හැකි බවද, සබැඳීන් බහුතරයක් මඟ හැරුණු අධ්‍යාපන රටාවක දැනටමත් අප වල්මත් වී ඇති බවද, අනාගතයට පිය නගන වාරයක් පාසා එය දෙගුණ වන බවද, අනාගත පරපුරට සියල්ල මුල සිට ඉගැන්වීමෙන්...යළිත් ලෝකය දුවන්නංවාලේ දිවීම පසෙක තබා කල්පනා කරනු ඇති බවද, සියල්ල පිළිගැනීම පසෙක ලා සත්‍ය වෙනුවෙන් මියෙන මොහොත දක්වා තර්ක කළයුතු බවද, පිළි නොගන්නන් ඉදිරියේ නිහඬ විය යුතු බවද,ඔවුන්ට විහිලු කළයුතු බවද ගුරුවරයා අපට ඉගැන්වූ බව සාරංශ කරන්නේ ඔබේ ඉගෙනීමට එයින් පිටිවහලක් වෙතැයි මම සිතන හෙයිනි.
කිසිවෙක් කිසිම මොහොතක අත් නොහැරිය යුතු බවද, නතර වුණු ඔරලෝසුවක වුව දිනකට දෙවරක් හරි වේලාව පෙන්වන බවද ඔහු අපට ඉගැන්වූ බව මතකය.. ප්‍රායෝගික ලෝකයට පිවීසීමට ඉගෙන ගතයුතු බවද, ඉගෙනීම පමණක් කොට එය ප්‍රයෝගිකත්වයට නොගෙන යාමෙන් ලොවට කිසිඳු ඵලයක් නොලැබෙන බවද, ඉගෙනීමෙන් තොරව ක්‍රියාවට නංවන බොහෝ දේ භයානක ප්‍රතිඵල ගෙනවිත් ලොවක් විනාශ කරන බවද ඔහු අපට ඉගැන්වීය.
දැන් ඔබ පවසාවි... මේ කිසිවක් මුලින් කීවේ ඔහු නෙවී... මේ සියල්ල මහා විද්වතුන් පැවසූ දේ කියා... නමුත් එතුමා මේ දේ දැන ඉගෙන අපට පැවසූ හෙයින් අප අදහන්නේ මේ ඔහුගේ වාක්‍ය ලෙසයි.. බොහෝවිට දේව වාක්‍ය ලෙසිනි.
නීතිය ඉගෙන ගත් වුන් හේතු ප්‍රකාරව නීති කැඩුවාට කමක් නැතැයි අපට ඉගැන් වූ නිසාම අපි නිවැරදිව විය යුත්ත සොයා ගියෙමු ... එය පුදුමාකාර ඉගැන්වීම් රටාවකි..
අප කළ වැරදි තරමටම ... මා කර ඇති වැරදි වැඩි විය හැක... ඒ කිසිවකට ගුරුවරයාගෙන් සමාව ඉල්වන්නට තරම් මම නුසුදුස්සෙකු බව අද මම දනිමි... නමුත් ඒ වෙනුවෙන් එතුමාගේ සදාකල් අනුකම්පාව ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කරන්නෙමි.
විරුද්ධ මානසික කැරැල්ලකට හසු වී මතවාදීමය ප්‍රකම්පනයකට හසුවූ කෙනෙක් සියල්ලෙන් මිදී ලෝකය දකින සේ අද මම ලෝකය දකිමි....
මම ටෙට්සුකී හෝ එළිසබත් ඇලන් හෝ අල්තිනායි නොවෙමි... මම දන්නා වූ අග්‍රම ඵලය බුද්ධ යන්න පමණකි.. යම් බුද්ධ සසුනක නිර්වාණය අවබෝධ කොට ගෙන අප සැනහෙන දිනකදීත් ඔබ අපගේ ගුරුවරයාම විය යුත්තේය... මම සංසාරය විශ්වාස කරමි.
මා අතින් යළි කිසි දිනෙක ගුරුවරයෙකු ගැන නොලියවේවි. මන්ද හිමාලය ගැන ලියන අතර නමුණුකුල කිසිවෙකුටත් නොපෙනෙන හෙයිනි.
ඔබට ඇති ණය ගැති බවින් මිදීමට කළ යුතු එකම දෙය ඔබට වඩා හොඳ ගුරුවරයෙක් වී සමාජයට දායාද වීම පමණක් යැයි මම තීරණය කළෙමි.. එහෙත් ගුරුතුමනි , ඔබ අභිබවන්නට මට හෝ මා වැනි කිසිවෙකුට මරණ මංචකයේදීවත් හැකීවේද? ඒ සඳහා ද එකම එක පිළිතුරකි.. නැත.
එහෙත් මම හැකි පමණ උත්සාහ කරමි. මා පතන ලද සියලු ජයග්‍රහණයන් අත් පත් කර ගත් දිනට මා ඔබ වෙතට එමි. එදිනට මම නියම ගුරුවරයා යනු කවුදැයි ලොවටම හඬඟා කියමි... එදාද අදද හෙටද....එදිනටද මට සිනාසෙන එවුන්ට හා මා වට්ටන්නට එන එවුන් කිසිවෙකුටත් මම තව දුරටත් බියනොවෙමි.
මන්ද යත් මට එදිනටත් ගුරුවරයෙක් සිටිනා බවට මම අදහන බැවිනි...
දීර්ඝායූ!!!!
දැන් ගොඩක් දේවල් වාණීජකරණය වෙලා... ගුරු දිනේ විතරක්ම නෙමෙයි දැන් ගොඩක් දේවල් එහෙම වී ගෙන එන්නේ... ලොකු සමරු පලක වලට වඩා තමන්ම හදපු දෙයක් දෙන්න තියෙනවනම් ඒක සෑහෙන්න වටිනවා...
ReplyDeleteඅනේ මන්දා ඉස්සරනම් ආදරවන්තයන්ගෙ දිනයක් විතරයි බදා ගෙන තිබුනේ. දැන් දැන් ඕන එකයි එපා එකයි ඔක්කොම අල්ලගෙන මිනිස්සුන්ව ගරා ගන්නවා.
ReplyDeleteහම්....මොනා කියන්නද නංගා.....හැමෝටම නියම ගුරුවරු ලැබෙන්නේ නැනේ.....
ReplyDeleteඔබේ ඒ ගුරුතුමාට මමත් දීර්ඝායු පතනවා...........!!!
ස්තූතියි හැමදෙනාටම.... සිතුවිලි අක්කෙ.. ස්තූතියි..
ReplyDeleteඅපූරු ලියමන පුතේ..ඔබ මාත් එක්කත් රණ්ඩු උන හැටි මට තාම මතකයි..කියන ඕනෙ ම දෙයක් ඔලුව පාත් කරගෙන අහගෙන ඉන්න කෙනාට වඩා රණ්ඩු අල්ලමින් යමක් ලබා ගන්නා කෙනා තමයි වටින්නෙ..!!
ReplyDeleteඋඹේ නැට්ටිච්චිට වඩා උඹ තුළ යමෙක් ඉන්නවා දැක්කෙ ඒ නිසයි..!!
ස්තූතියි තේනුවර මාමේ.....
ReplyDeleteඔබේ ගුරුවරයා හරිම අපුරු කෙනෙක් වෙන්න ඇති. මේ තරම් සොඳුරුව ලියවෙන්න තරම්....
ReplyDeleteඅනුරාධා අක්කා
ලිපිය එල... ලියල තියෙන හැටි සුපිරි !!
ReplyDelete