5/2/12

දූවිලි සිහින | Dreams of the Dust (Part 03)

පළමු කොටසට පිවිසෙන්න.
දෙවන කොටසට පිවිසෙන්න.


හුරුපුරුදු වෙලාව පන්නලා සෑහෙන වේලාවක් ඉර අවරට ගියා. කිරි වීදුරුවෙ යොදයත් මිදිලා. විලියම් තවමත් ආවෙ නෑ. විලියම්ට මොකක්ද වුණේ. මට විලියම් ව මඟහැරෙන්න විදිහක් තිබුණෙම නැහැ. මම හිඳගෙන හිටිය තැනට වෙනදා ඔහු යන එන පාර හොඳට පෙනෙනවා. ටිකෙන් ටික ඉර සේයාව නොපෙනී යන්න ගත්තා. මම කිරි වීදුරුව මේසෙ උඩින් අස් නොකරම පුංචි අට්ටාලෙට නැග්ගා.

ග්‍රෝ පිට්ටනිය එතනට සෑහෙන හොඳට පෙනෙනවා. චීස් කුට්ටි ටිකක් මැද කාමරේ මේස රෙද්ද උඩ අතුරලා තිබ්බා තරමෙ අපූරුවට බැටලුවො ටික තවම පිට්ටනියෙ පුරා වැඩුණ තණකොළ කනවා. තවම විලියම් උන් ටික අරගන්ට ගියෙ නැද්ද? ඒත් විලියම් ඒ පැත්තට යන්ඩ කන්ද බහිනවා මම දැක්කා. මම නා ගන්ඩ ගියෙ ඉන්පස්සෙ. මූකලාන පහු කරලා පිට්ටනියට ගිහින් වෙනදාටත් බැටලුවො ටික දක්කගෙන ඔහු කන්ද නගින වෙලාව පහු වෙලා දැන් හෝරා දෙකකට වඩා ගත වෙලා.

මම ආයෙත් අට්ටාලෙන් පහලට බැස්සා. ලෑලි මේසෙ හිල් අස්සෙන් කූඹි එකා දෙන්නා අනවසරයෙන් කිරි වීදුරුවට ඇතුළුවෙමින් හිටියා. මගේ හිතට කාන්දු වෙමින් තිබ්බ ඊට වඩා ලොකු බය නිසා මම ඒ ගැන තව දුරට හිතුවෙ නැහැ. විලියම්ට දෙන්න ඕනෙ තරම් කිරි, කල්දේරමේ තියෙනවා. මට හිතුණා කන්ද බහින්ඩ, ඒ විලියම්ගෙ නිවස කිට්ටුවට. හදිස්සියට ඔහු ගෙදරට යන්න ඇති කියලා මට හිතුණා.

මම හරි ම වේගයෙන් කන්ද බැස්සා. පුංචි කකුල් රිදි රිදී කන්ද බැස්සා. ඒ වෙලාවෙ හිත පුරාම හිටියෙ විලියම් නිසාද මන්දා මට අමතක වුණා සීයාට කියන්ඩ මම එළියට යන විත්තිය. මම විලියම්ගෙ ගෙදරට එනකොට මයිකල් වතුර අරන්, එයාගෙ තාත්තාගෙ, එහෙම නැත්තං හිත හොඳ අර්නස්ට් මාමාගෙ අශ්ව ඉස්තාලෙ හෝදමින් හිටියෙ. මගේ පැමිණීමට නිතරම ආසා කළත්, මම කිසි දවසක මෙලෙස නොඑන වග හොඳින් දැන හිටිය මයිකල් හරියට පුදුම වුණා. 

"තනියම කන්ද බහින්න එපා කියලා ඇලන් සීයා ඔයාට කියලා තියෙනවා නේද?"

මේ වෙලාවෙ මගෙ අවධානය තිබ්බෙ ඒ දේවල් වලට නොවන වග ඔහු දැන ගන්ට නැතිව ඇති.

" කෝ විලියම්? එයා ගෙදරද? "

මම විලියම් ගැන අසද්දී, මයිකල්ටද තම සොයුරා පිළිබඳව සැණෙකයෙන් ම ගැටලුවක් මතු වුණේ.

" ඇයි? බැටළුවො අරන් එන්ඩ ගියානෙ. මම හිතුවා පරක්කු වෙන කොට ඔයා එක්ක කතා කර කර ඇති කියලා."

මයිකල්ට ද මට මෙන්ම විලියම්ට වූ දේ සිතා ගන්ට බැරි වුණු වග මට තේරුණා. දෙවනුව මම කන්ද නැග්ගේ මයිකල් සමඟයි. මම කන්ද නැගගෙන එනකොට දොර ළඟ සීයා ඉඳන් බලා සිටියා. වොඩ්කා බොහෝ සෙයින් බොන දවසක මෙන් ඔහුගේ ඇස් රතු පැහැ ගැන්වී තිබූණා. වෙරි මත වෙනුවට කෝපය පුපුරා හැලෙමින් තිබුණා. සීයාගෙන් පිටවන කෝපය උරා ගත් අහසෙ පාවෙවී හිටපු වලාකුළු  හෙමි හෙමින් රත්පැහැ වෙලා ගොම්මන් යාමය නිර්මාණය කළේ විලියම් ගේ පැමිණීම තව තවත් අව්නිශ්චිත කරන්නට බවයි මට හිතුණෙ. සීයා මාව ඇදලා ඇරගෙන පිදුරු කාමරයට දාලා දොර වැහුවා.

ඇයි විලියම් ආවෙ නැත්තෙ? එයාට මොකද්ද වුණේ... මේ හැම ප්‍රශ්නයක්ම මගේ හිතට පෝලිමට වද දෙන්න පටන් ගත්තා. මයිකල් සෑහෙන වෙලාවක් කන්ද, කැලෑව, පිට්ටනිය අසල ගැවසෙනවා මම ජනේලයෙන් දැක්කා. ඒත් විලියම් ගෙ සලකුණක් නෑ. හවස් වෙන කොට ගම පුරාම හොඳ හිත දිනාගත්ත අර්නස්ට් මාමා තවත් ලොකු පොඩි කීප දෙනෙක් එක්ක කන්ද නැග්ගා. ඔවුන් අපේ ගෙදරට තට්ටු කළා.

සීයා දොර අරින හඬ මට ඇහුණා.

"ඇලන් මහත්තයා...මගෙ ලොකු එකා නෑ. හවස ගියාට පස්සෙ ගෙදර ඇවිත් නෑ. "

අර්නස්ට් මාමාගෙ හිතේ දුක මට දැණුනා. ඒත් සීයාට දැනුණෙ නැහැ. ඒක නම් මට අදටත් පුදුමයි.

"ඉතින් මං මක් කරන්නද?"

අර්නස්ට් මාමාගෙන් මෙහෙම අහන සීයා මනුස්සයෙක්ද කියලා මටත් හිතුණා. ඔහු කවදත් විලියම්ව ප්‍රිය කළේ නැහැ. මම ඒ වග දන්නවා. ඒත් එහෙම වෙන් නිශ්චිත හේතුවක් මම දන්නෙත් නැහැ.  කොහොම වුණත් එදා අර්නස්ට් මාමාට ආපු වැඩේ කරගන්න බැරි වුණා. ඇලන් සීයා හෝ ඔහුගේ ලැයිසන් තුවක්කුව විලියම් වෙනුවෙන් ගෙදරින් පිටට අඟලක් වත් හෙළවුණේ නෑ.

පස්සෙ දවසෙ පාන්දර සීයා මාව කාමරෙන් එළියට අරන්, මට ලස්සන කලු වෙල්වට් ගවුමක් දුන්නා. මම ඒක ඇඳ ගත්තාට පස්සෙ ඔහු මාත් එක්ක කන්ද බැස්සා. අපි කනත්ත තෙක් ගියා. වල දමන්න නියමිත පෙට්ටිය අසල වැළපෙන මයිකල් සහ අර්නස්ට් මාමා දැක්කාම මට කාරණය තේරුණා. මගෙ ඇස්වලින් කඳුලු කඩා වැටුණෙ නෑ... මම දන්නවා, විලියම් අම්මා ගාවට යන්න කැමැත්තෙන් හිටිය වග.

විලියම් ගෙ මල සිරුර හමු වෙලා තියෙන්නෙ ඇල ළඟදි. ඔහුට සර්පයෙක් දශ්ට කරලා. විලියම්ගෙ මරණෙන් මාසෙකට පස්සෙ මයිකල් විලියම්ගෙ වැඩ කොටසත් බාර ගත්තා. ඒත් මම මයිකල්ට විලියම් තරමට හිතවත් වුණේ නැහැ. විලියම්ට මම ආදරෙයි. මයිකල් ට මම ආදරේ නැහැ. ඒ නිසා වෙන්න ඇති.

කන්‍යාරාමෙන් මට ලියුම ආවෙ ඒ දවස් වල. මම අන්තිම වතාට විලියම්ගෙ සොහොන ළඟට ගිහින් ලිලී මල් තිබ්බා. ආයෙ මම ඔහු නිදාගත්ත කනත්තවත් දකින්ඩ ඒ පලාතට ගියෙ නෑ... මම කන්‍යාරාමෙකට ගිය මුල දවස් වල නිවාඩුවට එද්දි ගම වෙනස් වෙලා තිබුණා. ගමේ මිනිස්සු සීයාව අතහැරලා දාලා. ඔහුගෙ ඉක්මන් කෝපය නිසා එහෙම වෙන්න ඇති කියලා මට හිතුණා. වලියම් හොයන්න තුවක්කුව නොදුන්න එකම වෙන්න ඇති ඒකට හේතුව.

පස්සෙන් පහු මටත් ගමට එන්න හිතක් දුන්නෙ නැහැ. කොටින්ම ඇලන් සීයා මටත් අප්‍රිය වුණා. ඉතින් මම කන්‍යාරාමෙම දිගටම නැවතුණා. ඔය අතරෙ වසර කිහිපයක් ගෙවෙන එක දවසක මයිකල් කන්‍යාරාමයට ආවා.
 

තවත් කොටසක් ඉක්මනින්ම.....

16 comments:

  1. ඔන්න මගේ ෂෙන්යාගෙ ලස්සන ලොකු ඇස් කතාව කියනවා....ලස්සනයි මගෙ නංගො.ජයවේවා.........

    ReplyDelete
    Replies
    1. ඒ පාර.. මගෙ අක්කා.. බොරු කියනවාද මන්දා...මම මේක සෑහෙන කලක ඉඳන් සංවිධානය කළ කතාවක්

      Delete
    2. නැහැ නංගො.ඔයාගෙ පටන් ගැන්ම හරිම ලස්සනයි.ඒ ආර්ම්භය කියවපු කෙනාට ඊලග කොටස කියෙවුවම ඒ කතාව ගලාගෙන යන විදිහ හොඳ මදි කියා හිතුනා.මොකද ඔයා හුගාක් හොදට ලියන කෙනෙක් නිසා.නැතිනම් මටත් කියන්න තිබුන්නා ෂා නෙරංජි මරු කියලා.එත් එතන යම් හිඩැසක් දැක්ක නිසයි කිවුවෙ.සිදු විය යුත්තෙ ඔයාගෙ හැබැ දස්කම ඉස්මතු වීමයි.නමුත් මේ කොටස ආයිත් ඒ සුන්දරත්වය මතුකරලා තිබුනා.මං කිවුවෙ මට දෙනුන සැබෑව.දිගටම ලස්සනට ලියන්න.

      Delete
    3. මන්දා...ඒ මේ කතාවෙ හැටි

      Delete
  2. පරිවර්තනයක් කියවගෙන ගියා වගේ. ලස්සනයි.

    ReplyDelete
  3. ම්ම්...ලස්සනයි අක්කියෝ......ඊළඟ කොසත් දාන්න ඉක්මනට

    ReplyDelete
  4. කතාව ඉක්මනට ඉක්මනට දුවනවා වගේද කියලත් හිතුනා.. සිදුවීම් ගොඩක් එක ලග උන නිසා...

    ReplyDelete
    Replies
    1. ඒ සමහරක් කතා වල හැටි.....හෙට දවසසෙ සමහර විට කතාව එකම තැන තියෙන්න ඉඩ වැඩියි.

      Delete
  5. ලස්සනයි පැටියෝ..
    තව කියවන්න ඕන මට.. කෝ ඉතිරි කොටස

    ReplyDelete
    Replies
    1. තව ලියනවා අනේ... කොටස් තව හතක් විතර තියෙයි

      Delete
  6. හම් හම්....හිතන්න පුළුවන් ලස්සන කතාවක්.....

    ReplyDelete
  7. I don't have Sinhala fonts. Therefore, I am making my comments in English. Pl. don't misunderstand me.
    This story is very very nice. I really felt it. Thanks and wish that you can produce some more creations like this. Good luck.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.