මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

11/17/12

රෙජිස්ට්‍රේෂන් එක ගන්න හැටි



මුලින්ම ස්තූති වෙන්න ඕනෙ යහපත් ඔවදන් දෙන ඇනෝලාට. මම මෙච්චර කල් රෙජිස්ට්‍රේෂන් එකයි එන්ගේජ්මන්ට් එකයි එකක් කියලා හිතා හිටියෙ, කලින් ලිපිය එක්ක මේක එකතුවක් නිසා නොතේරෙන කෙනෙක් ඒ ලිපිය බලලා ආවාට වරදක් නෑ. අපි කතා කළා ඒ ලිපියෙන් රෙජිස්ට්‍රේෂන් ඇඳුම ගැන, ඒවාගෙම මල්කළඹ ගැනත්... මේ ලිපිය ලියවෙන්නෙ එහෙම ඒවා ගන්න ඕනෙ අයට විතරක් නිසා, ඒවා ගන්න එකේ වැදගත් අවැදගත් කම් කියලා නම් වැඩක් නෑ කියලා මුලින්ම කියන්න ඕනෙ. මොකද මේ ලිපිය ලියන්නෙ රෙජිස්ට්‍රේෂන් එක වෙනම ගන්න අයට ඒක ලස්සනට ලාබෙට කරන්න මඟ පෙන්වන්න.

දැන් අපේ ඇඳුම් පැළඳුම් හරි. අපි මේක ගන්නෙ කොහෙද? ඔබට මේ වගේ දෙයකට ගෙදර සාලය ප්‍රමාණවත්. විශේෂ  සැරසිලි කිරීමක් ඔබට අවශ්‍ය නම් සාරියේ පාටට හෝ ඔබ අඳින ගවුමේ පාටට ඒ මල් තෝරාගන්න. නව යුවලට ඉඳගන්න පුටුවක්. ඒ වාගේම පොතේ අත්සන් කරන ස්ථානය මෙහිදි පිළි වෙළට සකසා ගත යුතුයි. මේ සඳහා ඔබේ ළඟම නෑ හිතවතුන් හට පමණයි ආරාධනා කළ යුත්තේ, ඔබේ මූල්‍ය හැකියාව පමණට එය ඔබට තීරණය කළ හැකියි. ඔබ ඔසරියක් අඳිනවා නම් කිරිබත් කැපිය හැකියි. සාරියට හෝ ගවුමට නම් පුංචි කේක් එකක් පිළියෙළ කරගන්න. සැරසිලි කරනවා නම් රටාවක් අනුගමනය කරන්න. එවිට ඔබට පුංචි සාදය ලස්සන කරගන්න පුලුවන්.

පොල්තෙල් පහන ලස්සන අංගයක්. හැබැයි ඒ සඳහා ඔබ භාවිතා කරන පහන හැරෙන්න වෙන පහන් තිබේ නම් ඒවා එම ස්ථානයෙන් ඉවත් කරන්න. ළඟදි අපි ගිය මඟුල් ගෙදරක, හෝල් එකේ වතුරෙ දාපු ඉටු පහන් පත්තු කරන්න තිබුණෙ. ඒත්, ඒ පොටෝ වලට හැම වෙලේම දැලි පෙරිච්ච කුකුලා ඉහළ ඉන්න පොල් තෙල් පහනක් අහුවෙනවා. හෝටලේ අය ඒක ඉවත් කරලා නෑ. ගෙදරක මේ දේ වෙන්න පුලුවන් ඉඩ වැඩියි. ඒ නිසා අපි ලස්සන ගැන සැලකිලිමත් වෙද්දි අදාළ දේට හිත යොමන්න ඕනෙ.

ඔබ දෙදෙනාගෙම ජාතික හැඳුනුම්පත ළඟ තබා ගැනීමන්, එදාට රෙජිස්ට්‍රේෂන් එක කරන්න එන නොතාරිස් නොනා මහතුන් ට ලොකු පහසුවක් වේවි. ඔවුන්ව වෙලාවට ගෙන්වන ගෙනිය ක්‍රමයකුත් ලෑස්ති කරගන්න එක නුවනට හුරුයි.

කෑම බීම පිලියෙළ කිරීමේදි, මත්පැන් අතහැරීම දුම්වැටි අතහැරීම, සෞඛ්‍යට වාගෙම, සාක්කුවටත් හොඳයි. රෙජිස්ට්‍රේෂන් එක දවසට වෙඩිං කේක් දෙන්න වුවමනා නෑ. හොඳ කේක් හෝ කිරිබත් නෑ හිතවතුන්ට දීම දමයි වටින්නෙ. වර්ග හතරක් හෝ හයක් අතර ප්‍රමාණයේ වෑංජන සැදුවාම හොඳටම ඇති. මැල්ලුම් හදන්න එපා...සලාද හදන්න. අල හෝ පරිප්පු දෙකෙන් එකක් ඇති. හැකියාවක් තියෙනවා නම් කජු මාලුවක් හදන්න. එය ප්‍රමාණවත් නම් අල හෝ පරිප්පු වුවමනා නැහැ. මාලු මස් දෙවිදිහකට හදන්න. හරක් මස් නම් ගේන්න එපා. ඇත්තටම මස් උවමනාවක් නෑ.. ගැළපෙන විදියට කෑම ටික හදන්න. ඕඩරයක් වුණත් හොඳ තැනක් බලලා දෙන්න. ඒක කෙනෙක්ට පහසු වෙන්න පුලුවන්.

දැන් රෙජිස්ට්‍රේෂන් එක පින්තූර ගන්න දෙයක් නිසා, ඒක කැමති විදිහට ඔබට කරගන්න පුලුවන්. ඒක ඔබට වියදම් කරන්න හැකි මුදල මත තීරණය වෙන්නෙ. ඒත් සාමාන්‍ය කැමරාවකින් කවර් කරගන්න පුලුවන් දෙයක් නිසා මේවාට අනවශ්‍ය මුදල් වියදම් කිරීම නම් අපරාදයක්. ඒත් ඉතින් අපේ හොඳ ඡායා රූප ශිල්පියො නැතිවාම නෙවෙයි... මේ හොඳ පරණ බ්ලොග් කරුවෙක් ගත්ත ඡායාරූප ස්ටෝරියක්... අයිතිකාරයා කුෂාන් වන්නිආරච්චි. පුද්ගලිකව මම මහත් සේ අගය කරන ඡායා රූප ශිල්පියෙක්. තව ඕනෙ තරම් උදාහැණ ඔබට හොයා ගන්න පුලුවන්. කුෂාන් නම් අවස්ථාව කවර් කරපු හැටි මෙතන දාලා නෑ...

සැරසිලි වලදි හැමදාම බැලුම් වලටයි ක්‍රේප්වලටයි නොගොහින් අලුත් දෙයක් කරන්න බලන්න.

අපි ඊළඟ සැරේ කතා කරමු වෙඩිං එකක් ගන්න හැටි.


29 comments:

  1. අනේ නිනුවෝ ඔයා මේව ලියනකොට මට ආයිමත් කසාදයක් බදින්න හිතෙනවා.....
    බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  2. Great post nishi Appreciate you. can you mention in same manner what are the requirement of wedding

    ReplyDelete
  3. දෙන්නාටම ස්තූතියි. මම සමකයටත් ගොඩ වැදුනා ඔන්න නලීන් අයියෙ.

    තව දෙයක් කියන්න තියෙනවා. මම කමෙන්ට් කිහිපයක්ම ඩිලීට් කළා. ඇත්තටම කෙනෙක් ලියන දෙයකින් ඔබට ගත හැකි යමක් නැත්තම්, එයට පර්භව කරන්න එපා. උපේක්ෂා සහගත වන්න. අඩුපාඩු ඇති තරම් පෙන්වන්න. හැමෝම රට වෙනස් කරන්න යන්නෙ නෑ... මේ ලිපි පෙළ ලියන්නෙ මිනිස්සුන්ට තේරෙන විදිහෙ වෙඩිං එකක් ගන්න හැකි උදව්වක් මගෙ සීමිත දැනුමෙන් ලබා දෙන්න. වෙන ලොකු කමකට නම් නෙවෙයි. මම තවම විවාහ නොවුණාට, නිතරම මඟුල් උත්සව වලට යනවා. මගෙ සොයුරියන්ගෙ සොයුරන්ගෙ අඩුපාඩු ඇසුරෙන් ඔබට මට වැදගත් යමක් දීම පමණයි මගෙ අරමුණ. ඇති තරම් වෙඩිං ගැන යන වැඩ සටහන් වල මැද පන්තියෙ අපි ඕනෙ දේවල් නොයන නිසයි මේ ලිපි පෙළ ලියන්නෙ... වැදගත් කෙනෙක් කියවන්න. අනෙක් අය කාලය නාස්ති නොකරගෙන වෙන දෙයක් කරන්න.. අවසන ඉන්න මට හා එන යන ඔබට වැදගත් යමක් මෙහි ඉතිරි කර යන්න...

    ReplyDelete
  4. සමහර දේවල් ලියන්න අවශ්‍යද ? කියන තැන තමයි මමත් ඉස්සර හිටියේ. ඒත් අන්තර්ජාලය කියන්නේ ඕනෑම පොඩි ප්‍රශ්නෙකට වුනත් පිළිතුරු තියෙන තැනක්. ඒ නිසා තමන්ට හිතෙන දේ ලියා තැබීම වටිනවා. අනික මේවා මෙහෙම සාකචාවට බඳුන් වුනාම හරි දේ මොකක්ද කියලා එලියට එනවා.

    ReplyDelete
  5. ආ...ඊලඟට වෙඩින් එක නේ...ඒකත් අනිව කියවන්න ඕන..ඉක්මනට දාන්න අක්කේ............

    ReplyDelete
  6. අදයි මේ පැත්තට ගොඩවුනේ. නියමයි. . ජයවේවා...

    ReplyDelete
  7. ඇත්තටම නඟෝ රෙජිස්ට්‍රේෂන් එක ඉස්සර නම් හරිම චාම් උත්සවයක්.. දැන් නම් ටිකත් ටිකක් ලොකුවට කෙරෙනවා.. නමුත් මේ ඔයා කියලා තියෙන සිස්ටම් එක තමයි රෙජිස්ට්‍රේෂන් එකක් කරන්න ඕනෙ කියලා හිතෙන කෙනෙකුට කරන්න පුළුවන් ලස්සනම, චාම්ම විදිය.

    දැන් ගොඩක් අය ගොක් කොළ වගේ දේවලිනුත් සැරසිලි නම් කරනවා... ගස් වලට ආදරේ අයට නම් ටිකක් දුක හිතෙන වැඩක්... ඒත් පේපර් රිබන්, ලාබ නෙට් වර්ග, පබලු වර්ග වලින් එහෙම උනත් හරි ලස්සන සැරසිලි කරගන්න පුළුවන් නිර්මාණශිලී තරුණියෝ අපි අතර ගොඩක් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ තරම් වියදම් නොකරනවා නම් තමා හොඳ නේද?..

      Delete
    2. මම මගේ යාලුවෙක්ගේ වෙඩින් එකක් කළා සම්පූර්ණයෙන්ම අරලිය මල් වලිනුයි හාතවාරිය වැල් වලිනුයි නඟා.. හැබැයි ඒක පොඩි වෙඩින් එකක්.. නෑයෝ 50ක් විතර තමා හිටියේ.. පොඩි හෝල් එකක කළේ.. අපිට කම්බි වලටයි, වෙට් ෆොම්ස් වලටයි පොඩි ගානක් ගියා විතරයි... හැබැයි ඉතිං අරලිය මල් උදේ ඉඳන් හවස් වෙනකම්ම තියෙන වෙඩින් වලට හරි යන්නේ නෑ.. උදේ වරැවේ වැඩ වලට තමයි හොඳ...

      වියදම නම් පුළුවන් තරම් අඩුවෙන් කරගන්න ඕනේ.. ( එහෙම කිව්වට ඉතිං මටත් බැරි උනා... අම්මලා නිසා..එයාලගේ උවමනාවලුත් බලන්න එපැයි.. හි හි)

      Delete
    3. අරලියා මල් වලට, කොණ්ඩ ස්ප්‍රේ ගැහැවා නම් දවස් දෙකක් වුණත් තියාගත හැකි නේද?

      Delete
    4. මම අහලා තියෙනවා.. ඒත් ඒක කරලා බලලා නම් නෑ... මම කරන්නේ තෙත පුළුන් තියලා ඔතලා, වෙට් ෆොම්ස් වල ඇරෙන්ජ් කරන එක..

      Delete
  8. //රෙජිස්ට්‍රේෂන් එකයි එන්ගේජ්මන්ට් එකයි එකක් කියලා හිතා හිටියෙ//
    මමත් එහෙමනෙ හිතාගෙන හිටියෙ.. තව ටිකක් පැහැදිලි කලොත් මේ වෙනස.. ස්තූතියි ගොඩක් නංගි.. මේ කරුණු ගොඩක් වැදගත්.. මං හිතනවා වෙඩින් එකේ චාරිත්‍රවාරිත්‍ර පිළිවෙලකට අපිට දැනගන්න ලියාවි කියලා.. ඒ දේ ගොඩක් වටිනවා.. :)

    //ජාතික හැඳුනුම්පත ළඟ තබා ගැනීමන්, එදාට රෙජිස්ට්‍රේෂන් එක කරන්න එන නොතාරිස් නොනා මහතුන් ට ලොකු පහසුවක් වේවි.//
    මේ දේනම් හොඳ මතක් කිරීමක්.. අකුරු වැරදිලාවන කාලෙ නාස්තිකිරීම් වලට තිතක්.. :)

    මේ වටින උත්සහයට ජයවේවා..!

    ReplyDelete
    Replies
    1. අහ්..! පසුවටනෙ ගිය පෝස්ට් එකේ කමෙන්ටුව දැක්කෙ රෙජිස්ට්‍රේෂන් එ‍කෙයි එන්ගේජ්මන්ට් එකෙයි වෙනස.. :)
      ස්තූතියි..!

      Delete
    2. මේ දිරිමත් කිරීමට හුඟක් ස්තූතියි...ඔයාලා ට

      Delete
    3. මගේ නම් ඔය දෙකම එකටනේ තිබ්බේ.. ඒක නිසාද දන්නේ නෑ රෙජිස්ට්‍රාර්තුමිය ඔය ඔක්කොම විස්තර කලින්ම අහලා ලියාගෙන තියාගත්තා.. ඒ වගේම අපි කලින් එයාගේ ගෙදරටත් ගිහින් ඇඩස් එකත් කන්ෆර්ම් කරගත්තා.. ඒක කරගත්තෙ හොද වෙලාවට... නැත්තම් එදා උදේට එයාව එක්කන් එන්න පාරවල් හොයන්න ගියානම් අපි විනාසයි.. හි හි..

      Delete
    4. අපේ අම්මල්ලාත් එහෙමලු. ඒ ක්‍රමය හොඳයි....සමහර අයට.. වැඩ වැඩිය අනන, අයට ටිකක් ඕක අවුල්..එයාගෙ නීතියි.. අපේ නැකතුයි අතර කේස් ඇති වෙනවා..සමහර වෙලාවට..අපේ එකකදි එහෙම වුණා..

      Delete
    5. මගේ අම්මලගේ රෙජිස්ට්‍රාර්මයි මගේ එකත් කළේ.. හි හි..

      අපෝ ඔව්.. එයාලගේ නීති රටෙත් නෑ... හරියට ජීවිතේට වෙඩින් එකකට ගිහින් නැති ගානට නීති දාන්නේ... එයාලට ලේසි විදියට අපි නැකත් වෙනස් කරන්න ඕනේ..

      Delete
  9. අප්පේ මට නම් බඳින්නත් එපා වෙනවා.

    ReplyDelete
  10. කියන්ඩ තියෙන සේරම ටික වෙඩිමෙදි කියන්නම්... :)

    ReplyDelete
    Replies
    1. මධුවට නම් මේක අල්ලන්නෙම නෑ.. ඔන්නොහෙ කියවපං බං...මේ දවස් වල මම රිසච් කරන්නෙ මේ පැත්තෙන්!!

      Delete
  11. ලබන අවුරුද්දේ මේවා ඕන වෙනවා.. මේ හොරෙන් රෙජිස්ටාර් ලගට ගිහින් මදින විදිහත් කියන්නකෝ නිනුවෝ... :)

    ReplyDelete
    Replies
    1. බදින විදිහ * වෙන්න ඕන.. හදිස්සියට අකුරුත් වරදිනවා.. ;)

      Delete
    2. ඒක වෙනමම එකක්!! නේද? ඒකටත් බලමු

      Delete
  12. වැදගත් කරුණු අඩංගු පෝස්ට් එකක් . හරි වටිනවා. අද කාලේ ගොඩොක් අයගේ වියදම් වැඩියි මේ වගේ උත්සව වලට හරියට මුදල් නාස්ති කරනවා . වියදම් අඩු කරගන්න අකාරය ගැන ලියනව අඩුයි ඒ නිසා මේ ලිපිය ගොඩක් අගය කරනවා .

    ReplyDelete
  13. ගොඩාක් ස්තූතියි ගිම් අක්කා...

    ReplyDelete
    Replies
    1. දන්න කියන කීප දෙනෙක්ට එන්න කියල
      පොතේ ලියල ගේන එක ලේසියි නේද ?

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.