මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/13/12

තාරුණ්‍යය සහ පොටෝග්‍රැෆි

අවසරයකින් තොරව උපුටාගත් ඉන්ද්‍රනාම


ඡායාරූප ගැනීම කලාවකි. එයට භාවිතා කරන කැමරාවෙන් 5%ක දායකත්වයක්ද? ඇසින් 45% ක දායකත්වයක්ද හදවතින් 50%ක දායකත්වයක්ද ලැබේ. නමුත් මෙහි ඇති පුදුමය නම් ඇස නැත්නම් ඉතිරි 55% න් පැහැදිළි ඡායාරූපයක් ගත නොහැකි වීමයි. කැමරාව නැත්නම් 95%ක් තිබ්බත් ඡායාරූපයක් ගත නොහැකි අතර, හදවත නැත්නම් ඉතිරි 50%ම තිබුණත් එහි කිසිම අර්ථයක් ගම්‍ය නො‍වේ. කොහොම වුවත් මගේ පුද්ගලික හැඟීම නම්, කැමරාව කුමක් වුවත් පෙනීමේ මට්ටමක් සහිත ඇසකට, හොඳ හදවතක් (නිර්මාණාත්මක දෘෂ්ටියක්) ඇත්නම් හොඳ ඡායාරූපයක් ගතහැකි බවයි.

මා කුඩා කාලයේ එස් එල් ආර් කැමරා මා දුටුවේ ස්ටුඩියෝ එකේ දී පමණි. වෙඩිං වලට පැමිණි එක් අයෙක් අත එවන් කැමරාවක් බොහෝවිට දුටුවෙමි. සාමන්‍ය පවුල් අතර ෆිල්ම් රෝල් දාන කැමරා පවුල් දෙක තුනකට එකක් තිබුණි. ඒ කැමරා වලට වඩා වැඩි වේගයෙන් ශිෂ්ටාචාරය විසින් ඩිජිටල් කැමරාව මිනිසුන්ට පුරුදු කළ බව සිහිපත් කළ යුතුය.

ජංගම දුරකථන වල තෙවනි යුගය වන විට දුරකථනයට ම සවි වූ කැමරා සුලබ දසුනක් විය. ඩිජිටල් කැමරාව සාමාන්‍ය ජන ජීවිතයේ සාමාන්‍ය අංගයක් වූ අතර, ස්ටුඩියෝ වල එස් එල් ආර් කැමරා, ඩී එස් එල් ආර් විය.

ශිෂ්ටාචාරය තවත් පියවරක් ඉදිරියට තිබියදී, ඩී එස් එල් ආර් කැමරා ස්ටිඩියෝ අත්අඩංගුවෙන් නිදහස් විය. අද වන විට ලංකාව් තාරුණ්‍යය විසින් යුග යුග පාසා පිලිවෙළින් සිගරට්ටුව, ඩෙනිම, ඩෙක්ෂුස්, අව්කණ්ණාඩිය, ජංගම දුරකථනය හා උකුල් පරිගණකය වැළඳ ගත්තා සේ ඩී එස් එල් ආර් කැමරාවද වැළඳ ගනිමින් සිටී.

තවත් වසර කිහිපයකින් එය තාරුණ්‍යයේ සාමාන්‍ය අංගයක් වීම වැලැක්විය හැක්කෙක් වේ නම් තවත් ශූක්ෂ්ම නිර්මාණකරුවෙක් පමණි. එය සිදුවීමට ඇති ඉඩ කඩට වඩා සිදු නොවිමට ඇති ඉඩකඩ වැඩිය.

කොහොම නමුත් කැමරාව තාරුණ්‍ය යේ සාමාන්‍ය අංගයක් වීම තුළ මම බොහෝ දේ දකිමි. පරිගණක ගත වෙමින් පවතින තරුණ සිතිවිලි සොබාදහම හා සමාජය සමඟ බද්ධ වීම සැබවින්ම අගය කළ යුතු අතර, ඒ තුළ නිර්මාණය වන මානව හැඟීම් මත අනාගත සමාජයක පීතෘත්වය නිතැතින්ම සවිබල ගැන්වෙයි.

එහෙත් ඡායාරූපකරණයට ඩී එස් එල් ආර් කැමරාවක් ම ඕනෑ නම්, එතනින් පුංචි ගැටලුවක් මතුවෙයි. හැමෝටම මූල්‍යමය වශයෙන් එවන් කැමරාවක් ගත හැකිද? සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් පොටෝගන්නා අයෙක් සාමාන්‍ය සමාජය විසින් පොටෝකරුවෙක් විදියට පිළි නොගැනීම මත ඩී එස් එල් ආර් නැති පින්තූර ගන්නෝ අධෛර්යවත් වෙති.

මට අනුව ඇස සහ සිත ප්‍රබල නම් කැමරාව හෝ කාචය 5%කට වඩා වැදගත් නොවෙයි. කවදා හරි ඩී එස් එල් ආර් එකක් ගත හැකි නම් හොඳය. එහෙත් සාමාන්‍ය කැමරාවකින් බොහෝ දේ කළ හැකිය.

ලංකාව තුළ ඩී එස් එල් ආර් කැමරාවකට වඩා අනික් කැමරා ආරක්ෂිතය. ලංකාවේ බොහෝ ලොකු ලොකු පුවත් පත් වල ඔබ දකින ඡායාරූප නිකංම ඩිජිටල් කැමරා වලින් ගත්ත ඒවාය. ඩී එස් එල් ආර් යන්නට බැරි තැන් වලට කැමරා ෆෝන් ළඟා විය හැකිය.

කොහොමවුණත් කැමරාවට වඩා ඡායාරූපය තීරණය වන්නේ ඇස සහ දෘෂ්ටිය මත බව අප සිහිපත් කර තැබිය යුතුයි. එවිට කුඩා කැමරා වලින් නිර්මාණ බිහිවීම තුළ දක්ෂයන් නිරන්තරයෙන් බිහිවෙතැයි මම අපේක්ෂා කරමි.   එවිට ඩී එස් එල් ආර් එකක් ගැනීමට කවදා හෝ ලැබෙන දිරියක් මිස ...එය ලැබෙන තුරු ඡායා රූප කරණය ඇණහිටීමක් නොවෙනු ඇත.

33 comments:

  1. කැමරාව මොකක් වුනාම මොකද දක්ෂයෙක්ට

    ReplyDelete
    Replies
    1. ඕනා තරම් දක්ෂයෝ ඉන්නවා ෆොටෝ ගන්න DSLR camera නැතුව දුක වෙන

      Delete
  2. මගෙත් ඔහොම කැමරාවත් අරං තිබිල මීට මාසෙකට උඩදි වික්ක. රත්තරන් ලඟ තියං ඉන්නව වගේ තමයි. හදිස්සියෙ සල්ලි ඕන උනොත් ටස් ගාල විකුනන්න පුලුවන් මේ දවස් වල හැමෝටම ඔය උණ තියන නිසා.

    ReplyDelete
  3. ලඟදි ෆුඩ් සිටියට ගියාම දැක්කා, කොඩැක් කැමරාවක් 24 ෆිල්ම් රෝලත් එක්කම රුපියල් 799. ෆිල්ම් රෝලම 400ක් විතර වෙනවා. ඒ කාලේ ඒ කැමරාවක් කිව්වමත් හෙන ලොකු දෙයක්. ඡායාරූප වලට අදාල මෘදෘකාංග වලිනුත් සැලකියයුතු දායකත්වයක් දෙනවා කියලා මට නම් හිතෙන්නේ

    ReplyDelete
  4. ඒත් ඡායාරූපයේ ගුණාත්මක භාවය කියන එක DSLR කැමරාවකදී හුඟාක් ඉහල යනවා සාමාන්‍ය point and shoot කැමරාවකට වඩා. කොච්චර දක්ෂ වුනත් ඡායාරූපයේ realistic ගතියට ගන්න බැරිව ගියොත් ඇහැට දකින ලස්සන ඡායාරූපයේ නැතිවෙනවා.ඒ නිසා DSLR කැමරාවල තිබෙන ගුණාත්මක භාවය සාමාන්‍ය කැමරාවකින් ගන්න නම් සෑහෙන්න පෝස්ට් ප්‍රොෙසසන් කරන්න වෙනවා.ඒත් 100% ඒ තත්වය ගන්න බැහැ.අනිත් දේ සාමාන්‍ය කැමරාවල තියෙන්නේ auto modes. නමුත් manual settings හැදීම මඟින් ගුණාත්මක භාවයෙන් ඉතාම ඉහළ ඡායාරූපයක් ගත හැකියි.(ඡායාරූපශිල්පියාගේ ශීල්පීය ඥානයද මේකට බලපානවා).ඒ වගේම සමහර ඡායාරූප සාමාන්‍ය කැමරාවලින් ගන්න බෑ. උදා star trails, Light Trails වගේ එව්වා. (Long Exposure).

    ReplyDelete
  5. අනික ඔය කියන ලොකු ලොකු කැමරා වලින් ගන්න ෆොටෝ සහ මගේ වගේ දුප්පත් ෆෝන් කැමරා වලින් ගන්න ෆොටෝ වල පැහැදිලි වෙනසක් තියනවා..... බොඳ වෙලා, හරියට ෆෝකස් වෙලා නැති බාල ෆොටෝ එක්ක කොහොමද ඔය කියන DSLR වලින් ගන්න ෆොටෝ එක්ක කම්පෙයාර් කරන්නේ? ඇසක් තිබ්බත් වැඩක් නැහැ හොඳ කැමරාවක් නැත්තම්...... උදාහරණ ඇති මගේ FB එකේ ඕනේ තරම්

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය කැමරා ෆෝන් එකකින් ගන්න ඡායාරූපයි, යම් ප්‍රමාණයකට මැනුවල් සෙටින්ග්ස් හදන්න පුලුවන් කැමරා ෆෝන් එකකින් ගන්න ඡායාරූපයක වුනත් පැහැදිලි වෙනසක් තියනවා.

      Delete
    2. මේ අපේ Deeps නේද? මොකද ඔයා බ්ලොග් එක අතෑරලා දැම්මෙ අර සාරිය ගැන ලිව්වට පස්සෙ?
      henryblogwalker the Dude

      Delete
  6. I dont see any point of this writing than the jealousy to the people with a DSLR Camera.. Pathetic

    ReplyDelete
  7. ඔය ඔක්කොම හරි වෙන්න පුළුවන්. ඇයි සාමානෟ්‍ය කැමරාවකින් හොඳ පොටෝ එකක් ගන්න අපේ ගොඩක් අය උත්සාහ නොදරන්නෙ

    ReplyDelete
  8. වැඩකාරයටනම් කොයි කැමරාවත් එකයි.....

    ReplyDelete
    Replies
    1. කොයි කැමරාවත් එක වුනාට ගන්න ඡායාරූපය එකද ?? නැහැනේ ගුණාත්මකභාවයේ පැහැදිලි වෙනසක් තියනවා.

      Delete
  9. මම නම් හිතන්නේ කැමරාවට වඩා එකේ පිටිපස්සේ ඉන්න පුද්ගලයා තමයි වැදගත් කියලා. කැමරාමන්ලා නම් ඕන තරම් ඉන්නවා. ඒත් හොඳ ඡායාරූප ශිල්පීන් හරි අඩුයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි. මම පාසල් වියේදීම කැමරා අතපතගෑවා. බොක්ස් කැමරාවෙන් පටන් ගත්තේ. බොහොමයක් දැන් මතක නැහැ. මේ වනවිට මම ම්ම කැමරා දෙකක් කලක් පාවිශ්ෂි කර අතහැරලා සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් අවශ්‍යතා ඉටුකරගන්නේ. ඒ කැමරාව ගැන මම සෑහීමට පත්වෙනවා. මේ ලඟදි මට හමුවූ පවුලේ පැරණි ඡායාරූපයක තාක්ෂණික තොරතුරු මම තවම හොයනවා. මගේ බ්ලොග් එකට ඇවිත් බලන්න. යුද හමුදාවේ කියමනක් තියනවා ලෝකයේ හොඳම තුවක්කුව තිබුනත් වැඩක් නැහැ ඒ තුවක්කුව පිටිපස්සේ පුහුණු සොල්දාදුවෙක් හිටියේ නැත්නම් කියලා. කැමරා සෙල්ලමත් එහෙමම තමයි. ඔබ හරි.

      අසමි දකිමි සොයමි ලියන විචාරක

      Delete
  10. photography කිව්වාම මට මතක් වෙන කතාවක් මේක.

    කැම්පස් එකෙන් කරන photography course එකේ මුල්ම දවසේ අපිට සර් කිව්වා "ඇයි මේ photography course එක කරන්න ආවේ?" කියලා චිට් එකක ලියලා සර්ට එවන්න කියලා. චිට් ටික සර් ඒ වෙලාවේම කියෙව්වා.

    එකෙක් ලියලා තිබුණා "වයිෆ් එක්ක ට්‍රිප් එකක් ගියාම photos ගන්න" කියලා :D

    ReplyDelete
  11. සමහර පින්තූර ගන්න උගන්වන ගුරුවරු ඩී එස් එල් ආර් කැමරාවක් නැත්තම් ළමයි පංතියට ගන්නෙ නැහැලු. ඒ ළමයි පින්තූර ගන්න ඉගෙන ගන්න ඕනෙ නැද්ද?

    ReplyDelete
  12. ඡායාරූපශිල්පයේ ඉගන ගන්නවා නම් කැමරාව සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පාලනයෙන් මුදවලා මැනුවල් පාවිච්චි කරන්න ඕන. ඒ දේ තියෙන්නේ DSLR වල සහ High End Compact කැමරාවල පමණයි. සාමාන්‍ය කැමරාවකින් ඡායාරූපකරණය ඉගනගන්නවා කියලා ඉගන ගන්න වෙන්නේ rule of third වගේ දේවල් කීපයක් පමණයි. අඩුම ගානේ exposure triangle වගේ මූලිකම දේවල් ඉගන ගන්නත් ISO,Aperture සහ shutter ස්පීඩ් මැනුවල් පාලනය කරන්න හැකියාව තියෙන්න ඕනා. ඉතින් ඒවා නැති සියල්ල ඔටෝ කැමරාවකින් ඡායාරූපකරණයේ ඉගනගන්න තියන දේවල් හුඟක් අඩුයි.

    ReplyDelete
    Replies
    1. රැල්ලට DSLR ගන්න කීයෙන් කීදෙනෙක් ඔය කියන manual mode පාවිච්චි කරනවද කියල නං සැකයි. මොකද DSLR එකෙත් තියෙනවනේ fully automatic (Green) mode එකක්!!

      Delete
  13. කැමරාව බලපානවා පින්තුරයේ ගුණාත්මක බවට.... ඒත් කෙනෙක්ට , නිවැරදි තාක්ෂණික සහ ශිල්පීය ඥානයක් නැතුව, මොන තරං හොඳ කැමරාවක් තිබුනත් පලක් නැහැ....

    ReplyDelete
  14. හොද ඇහැක් තියෙනවනම් ඕනම කැමරාවකින් වැඩ ගන්න පුළුවන්..

    ReplyDelete
  15. එතකොට හොඳ කැමරාවක් නැති වුන්ට පොටෝ ගන්ඩ උගන්වන්ඩ පුලුවන් කෙනෙක් නෑ???

    ReplyDelete
  16. මා කුඩා කාලයේ එස් එල් ආර් කැමරා මා දුටුවේ ස්ටුඩියෝ එකේ දී පමණි. වෙඩිං වලට පැමිණි එක් අයෙක් අත එවන් කැමරාවක් බොහෝවිට දුටුවෙමි.

    නංගිගෙ ගෙවල් කොහෙද ?
    හද්ද දොටෙත් අවුරුදු 15කට විතර කලින් ඔය කියනවාට වඩා නම් කැමරා තිබ්බා

    ReplyDelete
  17. මමත් හෙන ආසයි පොටෝග්‍රැෆි වලට...
    කෝ ඉතින් අපිට කැමරා.. :( :(

    ReplyDelete
  18. ඔව් නංගි ඔයා තමා හරි.

    ReplyDelete
  19. කැමරා ගැන දන්නේ නැත !!! ආසාවක්ද නැත.

    ReplyDelete
  20. කැමරාවක කොලිටියෙන් විතරක් හොඳ පින්තූරයක් ගන්න බැහැ. මමත් දැනට පාවිච්චි කරන්නේ පොඩි PS කැමරාවක්. ඒකෙන් මම කරන වැට ටික ගැන මම සෑහිමකට පත් වෙනවා. DSLR එකක් ගැන ආසාවකුත් හිතේ කොනක නැතූවාම නෙමේ!

    ReplyDelete
  21. මුං ඔක්කටම පිස්සු.. චන්දික අයියා තමයි ඉතින් හරි යමක් කියන්නෙ...

    ReplyDelete
  22. ඔයා කියන අදහසට එකඟ නැති අයට පිස්සු. ඔයා කියන අදහසට එකඟ අය හරි. මට පේන්නේ ඔයාට පිස්සු වගේ

    ReplyDelete
  23. කාලෙකට කලින් මගේ බ්ලොග් එකේ මම ලිපියක් පල කලා, පුවත්පතකින් උපුටාගත් යමක්. එහි තිබුනේ එක්තරා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකුගේ අදහස්. ඒ ලිපියට අනුව ඡායාරූප ශිල්පය පටන් ගන්න කුඩා කැමරාවක් හොඳටම ඇති. ලොකු ලොකු කැමරා මුලින් අවශ්‍ය නැහැ. නමුත් ඒ ලිපිය ලියපු පුද්ගලයා තමන්ගේ පංතියට බඳවාගන්නේ DSLR සහිතව එන අය පමණයි කියලා අද අහන්න ලැබුනා. කාට කියන්නද ඉතින්!!

    ඡායාරූපයේ ගුණාත්මක භාවයට කැමරාවේ ගුණාත්මක භාවය සෑහෙන්න දුරකට බලපානවා. (ගිරිය පුප්පගෙන ‘කැමරාව නෙමේ වැදගත් වෙන්නේ ඊට පිටුපස තියෙන ඇස‘ කියලා බෙරිහන්දෙන ප්‍රවිණයෝ හැමෝම පාවිච්චි කරන්නේ ලක්ෂ ගණන්වල කැමරා!!) නමුත් කැමරාව කියන්නේ එකම සාධකය නෙමෙයි. මිල අධික කැමරාවක් අතටගත් සැනින් ඉන් ගුණාත්මක ඡායාරූප උපදින්නේ නැහැ. ප්‍රශ්නය තමයි මෙන්න මේක අද තරුණ පරපුරේ බොහෝ දෙනෙක් තේරුම් නොගැනීම. ගොඩක් දෙනාගේ අදහස “හොඳ පින්තූර ගන්න නං dslr එකක්ම ඕනි, මේ පොඩි කැමරාවෙන් කරන්න පුලුවන් මගුලක් නැහැ“ කියන එක. ඉතිං බඩට නොකා නොබී තියෙන සේසතම විකුණලා ගන්නවා DSLR. ඒ අරගෙන කරන්නෙත් කලින් point-and-shoot එකෙන් කරපු හරියමයි. කිසිම අලුත් දෙයක්, කලාවක් නැහැ. ඉතිං ඒ අර්ථයෙන් මොකටද DSLR??

    ReplyDelete
  24. මේ ලිපිය පළ කළෙත් ඔහොම දෙයක් ගැන දැනිච්ච නිසාම තමයි. ඉන්දරේ අයියෙ. මම ලියලා තියෙන විදිහෙ අවුලක් මම දකින්නෙ නැහැ.ඒත් ඒක කෙනෙක්ට අපැහැදිළි නම් මට කියන්න ඕනෙ කළේ ඉන්දරේ කියපු ටික තමා

    ReplyDelete
    Replies
    1. oya liyala tiyenne indare kiyana eka nevey. oya kiyala tiyenne photography walata compact camera tibunama hodatama ati kiyala. oya pattara walata lipit liyanawa neda. tamanta ona arthe enna lipiyak wath hariyata liyaganna barida ??

      Delete
  25. මෙච්චර කතිකාවක් ගොඩනගන්න නෙරංජිගෙ පෝස්ට් එක සමත් වුනා කියන එක ගැන නෙරංජිට සතු‍ටු වෙන්න පුලුවන්.

    :)

    henryblogwalker the Dude

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.