මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/27/10

යතාර්ථය , ෆැන්ටසිය හා හෘද සාක්ෂිය



ඔබ මේ යුගයේ නවකතා එකක් හෝ කියවා ඇතයි, මම විශ්වාස කරමි.මේ යුගයේ ටෙලි නාට්‍ය එකක් හෝ දැක ඇතැයි විශ්වාස කරමි. මා හට මේ ලිපිය සඳහා වස්තු බීජය සපයන්නේ මා වැනිම සොයුරියන් දෙදෙනෙකි.මම දින දෙක තුනකට පෙර බීම බෝතලයක් බීමට කඩයකට ගොඩ වැදුණෙමි.කඩයට හදිසියේ දිව ආ ඉහත කී සොහොයුරියෝ දෙදෙනා..සතිපතා පළවන නවකතා සඟරාවක මංගල කලාපයත්, දෙවන කලාපයත් ඉල්ලා සිටියෝය.මංගල කලාපය විකිණී අහවර බව කණගාටුවෙන් පැවසූ වෙලඳ මහතා ,දෙවන කලාපය ගන්න යැයි ඔවුන්ට කියා සිටියේය.ඉන් සෑහීමකට පත් නොවූ සොයුරියෝ..සඟරා ද්විත්වයම එකම ස්ථානයකින් සොයා ගැනීමට හැකි වෙතැයි සිතා වෙනත් කඩයකට ගියෝය.


යුගයේ ජනප්‍රියම නවකතා කරුවෝ බොහෝ වෙති...යුගයේ ජනප්‍රිය ටෙලි නාට්‍ය කරුවෝද, චිත්‍රපටි කරුවෝද එසේමය. ඒවා නව රැල්ලේ කතා පුවත් යැයි සමහරු කියති..ඒවා මෙ ලෝ තලයේ සිදු නොවිය හැකි කතා පුවත් බව තවත් සමහරු කියති.කොයි කොහොම වෙතත් ඒවා ඉතා ඒකාකාරී බව පමණක් මම දනිමි....


මම නවකතා බොහෝමයක් කියවා ඇත්තෙමි..ටෙලි නාට්‍ය බොහෝමයක් නරඹා ඇත්තෙමි..චිත්‍ර පටද නරඹා ඇත්තෙමි..ඒවා කියවන මොහොතේද , නරඹන මොහොතේද අප සුන්දර ස්ථනයකට ගෙන යනු ලබයි...නමුත් අවසානයේ ඒ සාහිත්‍ය කෘතිය හෝ වීඩියෝ පටය තුළ සංවාදයකින් හෝ ආත්ම කථනයක් තුළින් රස විඳීමට යමක් ඇත්දැයි මට සිතුණු වාර අනන්තය...එකම වස්තු බීජ වළ, ස්ථාන හා නම් ගම් වෙනස් වී, සිධ්දීන් ගොඩ නැගීමක් පමණක් ඒවා තුළ තිබෙන බව ටික දුරක් කල්පනා කිරීමේදී පහසුවෙන් හැඟී යයි..


මේ යුගයේ ජනප්‍රිය නව කතා වල, නාට්‍ය වල, චිත්‍ර පට වල, ආදරය කරන්නේත් ආදරය ලැබෙන්නේත් එකක්ම කොටසකට අයත් වූ පිරිසක් පමණි.ආදර ලබන ගැහැණු ළමයා ලස්සන විය යුතුය.ඒ ලස්සන තුළ පහත සඳහන් ලක්ෂණ අන්තර්ගහ විය යුතුය.ඇය සුදු,පැහැපත් ,පුංචි, කෙට්ටු සහ සුන්දර කෙස් කළඹක් හිමි ගැහැණු රූපයක් විය යුතුය.....ආදරය කරන්නත්, ආදර ලබන්නත් ඔවුන් ට එය ප්‍රධානම සුදුසු කමක් වෙයි....


මෙය මම ලේකඛයන් බොහෝමයකගේ දකින් දුර්වල කමකි...ලස්සන යන්න සාපේක්ෂය...නමුත් යුගයක ලස්සනට අර්ථකථනයක් , එම යුගයේ සාහිත්‍ය හා කලාව විසින් ලබා දුනහූත් ඒ ලස්සන යැයි සම්මත වන කුලකයට අයත් නොවෙනා සර්වත්‍රයට සිදු වන්නේ කුමක්ද?


මා ගිය පන්ති වල, පාසල් වල කලු , මහත, ලස්සන හිස කෙස් නැති,ගැහැණු දරුවන්ට පිරිමි ළමයින් මෙන්ම ගුරුවරුන්ද අවඥාවෙන් සිනා සුණු අවස්ථා බොහෝ වෙති..වැදගත් කෙනෙක් පිළිගන්නට ඔවුන් කවදාවත් ගෙන යනු නොලබයි....ඔවුන්ට දිවියේ සොඳුරු අවස්ථා බොහෝ මඟ හැරී යයි..එය මම නිරන්තරයෙන් දැක තිබේ..ඔවුන් තුළ සිටින්නා වූ ආදරවන්තියට සමාජයේ ඉඩක් ලැබෙන්නේ කවදාදැයි ඔවුහූ නොදනිති.එක අතකින් මෙය සිතිවිලි වලින් කෙරෙන්න වූ දූෂණයකි..ලස්සන යැයි සම්මත කර ගත් දරුවන් වෙත ඉහත කී කැත යැයි සම්මත දරුවන්ගේ තරහව එල්ල වෙන්නේත් මේ හේතූ නිසාමය.


පිරිමි ළමයින්ටද මෙම තත්වය මේ අයුරින්ම බලපෑවත් කලා කරුවෝ මෙන්ම කලා කාරියෝද බොහෝ විට පුරුෂ පක්ෂයේ ලස්සන පිළිබඳ ස්ථිර නියමයන් ප්‍රකාශ නොකරති...


යුගයේ ලස්සන යැයි සම්මත කළ ලස්සන සොයා යෑමට බොහෝ කාන්තාවෝ සහ දැරියෝ වෙර දරති.අඩියක් අඩියක් පාසා පිහිටි බියුටි සැලෝන්ද, ව්‍යායාම ස්ථානද, එක එක වර්ගයේ සුදු වෙන ක්‍රීම් වර්ග ගැන කියවෙන වෙළඳ දැන්වීම්ද මෙයට හොඳම උදාහරණ සපයති.


ඉහත කී අයත් තම ආර්ථික වාසි නිසා මානසිකව අසරණ බවට පත් මේ අය තව තවත් ගොනාට අන්දති..වෙළඳ දැන්වීම්කරණය ඉගෙන ගන්න සිසුවියක වශයෙන් මම දන්නා කරුණක් ඔබට කීමට කැමැත්තෙමි...ඔය ඔබ ලස්සනට දකිනා ක්‍රීම් වර්ග වල පැකට් වල පෙනෙන්නට තියෙන සුදු වීමේ පියවර සියල්ල පරිගණකයෙන් ( පොටෝෂොප් ) ආධාරයෙන් නිර්මාණය කළ ඒවාය. වීඩියෝ වෙළඳ දැන්වීම්ද එවන්ම ඉෆෙක්ට්ස් භාවිතයෙන් කළ ඒවාය....ඒ මවා ගත් ලස්සන තුළ සිදුවන වෙළඳ දැන්වීම් කරණයට හසු නොවන මෙන් මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


සුද්දියෝ කලු වර්ණයට කැමති නිසා අවුව තැපීමට අපේ රට වලට එති. අපේ ඈයෝ සුදු වීමට කැමති නිසා නොයෙක් ක්‍රීම් ගාමින් සිටිති.කෙට්ටු වීමට ජිම් යති...පුංචි වයසක් පෙන්වීමට බෙහෙත් ගනිති.එපමණක් නොවෙයි...වයසින් බාල අයට අක්කා , අයියා කියති..යුගයේ ජනප්‍රිය සාහිත්‍ය කරුවෝ ද ,නාට්‍ය කරුවෝද ,චිත්‍රපට කරුවෝද,මේ මෝඩ ඔලු ගෙඩි සෑදීම පසෙක ලා මේ අගාධයටම වැටීමට තව තවත් උල්පන්දම් දෙති. ජන මාධ්‍ය වුවද මීට වඩා සුභ සෙතක් ඇති නොකරයි...ඔවුන් ද ඒ කාරියමය..මුදල් මත දුවන සමාජයේ ඔවුන් ද මොවුන් අන්දති.
මේ නොමග ගිය ඔලු යතාර්ථයෙන් පුරවනු වෙනුවට,...මෝඩ වූ , ෆැන්ටසියක හීන දකිනා මිනිසුන්ට සාහිත්‍ය ද ජනමාධ්‍ය ද සහෘදයෝ වී ඇත...


ඉතින් අප ගොඩ ගත යුතුව ඇත...යුගයේ සාහිත්‍යද, මීඩියාවද අනාගත පරපුර ගිලගැනීමට පෙර හිස් මොළ පිරවීමේ කැරැල්ල අප තුළින්ම ඇරඹිය යුතුව ඇත.

5 comments:

  1. නියමයි! කතාව සම්පූර්ණ ඇත්ත..! යුගයේ ජනප්‍රිය යැයි කියා ගන්න අය ගැන නම් කතා කරලා වැඩක් නෑ..පුදුම කතන්දර කියන්නේ එයාලා. එයාලාගේ කතාවල කෙල්ලෝ කොල්ලෝ මාර ලස්සනයි, මාර අහින්සකයි..! සුරංගනා කතා වල වගේ..! නියමයි නංගි මාර ලියමන..

    ReplyDelete
  2. ඔබ පවසන බොහෝ දේ කෘතිම දේවල්ය, එනම් යම්කිසි කථාන්තරයක්, යම් කිසි නාට්‍යයක් හෝ චිත්‍රපටියක්, වෙනත් කෙනෙක් විසින් හිතාමතා නිර්මානය කරන ලද දේවල්ය. ඒ නිර්මානය කරන්නේ යම්කිසි දෙයක් ඒ නිර්මානය කරන්නා බලාපොරොත්තු වන බැවිනි. එය, මිල මුදල් හෝ ජනප්‍රිය වීම හෝ වෙනත් ආත්මාර්ථකාමී බලාපොරොත්තු මත සිදු වන දෙයකි. සත්‍ය වශයෙන් එහි ඇති සත්‍යතාවයක් නොමැත. ඇත්තේ යමෙක් විසින් ගොතන ලද බොරුවකි. මේ අසත්‍යය වටා මුදල් කන්දරාවක් වැය කර ගෙන සමහරු කඳුලු හෙලති. සමහරු ප්‍රීතියෙන් උද්දාම වෙති. මේ අතර මේ මුසාවාදයේ පැටලෙන, මුසාවෙන් මුදල් උපයන 'නලු' 'නිලි' වශයෙන් සමාජයට පෙනී සිටින කොටසක්ද වෙති. ම්වුන් සමාජයේ අතිශයින් ජනප්‍රිය වෙති. කොටින්ම කිවහොත් අද පාර්ලිමේන්තුවට පවා ඔවුන් පිවිස ඇත. (රටට දෙවියන්ගෙම පිහිටයි ).අසත්‍යයක ඇති රසයක් මම නම් නොදනිමි. සැමවිටම ආස්වාදය සොයා යන මණසකට මෙහි ආස්වාදයක් ඇති වීමටද පිලිවන. කෙසේ හෝ සත්‍යය සොයා අපි බොහෝ දුර යා යුතුය..............

    ReplyDelete
  3. අසත්‍ය හෝ සත්‍යය වේවා!!...කලාව තුළ රසවින්දනය කළ හැක....නමුත් අභව්‍යය යමක් යතාර්ථකරණයේදී සාමාන්‍ය ලෝකයට සාධාරණයක් ඉටු විය යුතුය.මා පවසන්නේ අසත්‍ය පිළිබඳව නොව හුදී ජන සමාජය ෆැන්ටසිය තුළ නොමඟ යැවීම පිළිබඳවය.

    ReplyDelete
  4. නංගි 3 ඉඩියට් බලල තියනවද ඒකෙ තියෙන්නෙත් හද්ද බොරු ගොඩක් ඒත් බලන්න ඒක බලනකොට එකපාරට හිනායනව වගේම තත්පර ගානකින් කඳුලු ඇවිත් ඇස් තෙමෙන හැටි.....අපි හැමදාම විඳින ජාගර සමාජෙන් පොඩ්ඩක් එලියට යන්න තමා අපි කලාව භාවිතා කරන්නෙ..ඉතින් කලා ලෝකෙ තියෙන ගොඩක් චරිත අපි ආස කරන ඒව....කලාව මාකට් යනකොට ඔයාගෙ බඩුමල්ලටයි මගේ බඩුමල්ලටයි කලා කෘතිය ගියාම කොහොමද කලා කාරය ජීවත් වෙන්න කීයක් හරි හොයා ගන්නෙ.....මම අහල තියනව කාල් මාක්ස් කියන අධි යතාර්ථවාදී දාර්ශනිකය බෙහෙත් ගන්න සල්ලි නැති නිසා මියගිය තමන්ගෙ පුතාගෙ මිනිය වලදාල තියෙන්නෙ බල්ලෙක් වගෙ මිනී පෙට්ටියක්වත් නැතිව..මොකද ඔහුගෙ දර්ශනය එදා කවුරුත් පිලිගත්තෙ නැති නිසා...මට හෙට උනත් අධි යතාර්ථවාදී කවුරුත් නොදකින පීඩිත සිහින ගැන ලියන්න පුලුවනි.... ඒත් කවුද හලෝ සල්ලි දීල තියා නිකම් ඇඟේ ගැහුවත් ඔව්ව බලන්නෙ...කොටින්ම මගේ බ්ලොග් එකෙ දමපු අඩුම ගානක් බලපු පෝස්ට් වෙලා තියෙන්නෙ....සැබෑ ජීවිතය ගැන කියන අමු තිත්ත කතාන්තර....

    ReplyDelete
  5. අසත්‍යය රැඳී ඇත්තේ ඒ නොමග යැවීම තුලම මිස එයින් පිටත නොවේ.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.