මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/16/14

-247- කවුළු වලින් එබීමේ විපාක

 සමනල්ලු පස්සෙ දුවන කෙල්ලෙක්ව කිඹුලෙක් අරන් යයි කියලා කවුද හිතන්නෙ. ඒ වචන ටිකට මම පුදුම විදිහට බැඳිලා. 


මේ කතන්දරේ කොහොම තොතැනින් පටන්ගන්නවාද කියන එක ටිකක් විතර ප්‍රශ්නයක් තමයි. ඒත් ඉතින් කොතැනින් හරි පටන් ගන්න වෙනවා. මේ ලියාගෙන යන විදිහ වුණත් කෙනෙක්ට විදග්ධ  නෑ කියලා හිතෙනවා නං මම කියන්නෙ මින් එහාට කියවන එක ඇත්තටම එහෙම හිතන කෙනෙක්ගෙ කාලය නාස්ති කිරීමක් කියලායි. කොහොම වුණත් මම තීරණය කරනවා මෙන්න මේ විදිහට පටන් ගන්න.

මුලින්ම කියන්න කැමතියි. මේ මම ලියන්නෙ විචාරයක් නෙවෙයි. රසාස්වාදනයක් ? නෑ.. එහෙම එකක් වෙන්නත් බෑ. මම ලියනවා දෙයක්. ඒක කිට්ටු මොකකටද කියලා මට මේ වෙලාවෙ කියන්න බෑ. සමහරවිට ඉවර වෙද්දි කියන්න පුළුවන් වෙයි. ඒත් ඒක එච්චර වැදගත් නෑ. මේ පොත මම ගත්තෙ සැප්තැම්බර් 11 වැනිදා. බුක්ෆෙයාර් එකෙන්. B-100 ස්ටෝල් එකේ හිටිය හුරුපුරුදු විදර්ශන කවුන්ටර් එකේ සොහොයුරිය
( මම දන්නෙ නෑනෙ අක්කාද නංගිද කියලා) මට මේ පොත ගන්න කිව්වා. එහෙම කිව්වෙ ඒක හරියට මම ගත්තෙ නැත්තං මම අපරාධකාරියක් ගාණට වැටෙනවා වගේ මූඩ් එකකින්. “ ඔයා හැමදාම අලුත් පොත් ඉල්ලනවා. දැන් ඔන්න අලුත් පොතක් තියෙනවා අරගන්න.“   ඒකෙන් එයා අදහස් කළේ අනිවාර්යෙන්ම මම පොත ගන්න ඕනෙ ක‍ියන එක. ඔව් ඒක පිටු ගොඩක් තියෙන පොතක්. ඇත්තනේ අපි දැන් කියවන්නෙ ලොකු පොත්.

ඒත් මුලින්ම මම දැක්කෙ කවරය.

කවරෙ මඩ පාට ලේ තැවරිච්ච ගතියක් එක්ක පාවෙන ඉරිච්ච සළුවක් තිබ්බා. ඒ සළුවෙන්ම දුමාරයක් වගේ සමනල්ලු පා වුණා. ඇත්තටම උන් ලේ පාටයි. ඒ සමනල්ලු කුරුල්ලො වෙලා ඉගිලිලා ගියා. හැබැයි කුරුල්ලො ඒ පාට නෙවෙයි. නිම්නයක අහසට දෑත විහිදලා නිදහස් මුද්‍රාව තුළ ගිලුණු පිරිමියෙක්. කොපුලට කොපුල තියාගෙ සැනසිල්ලෙ ඉන්න කපල් එකක්. රතු සලුවක් දෙපා වල පැටලිච්ච කලු ඇඳුමක් ඇඳපු ගැහැණු කෙනෙක්ගෙ පසු ඉරියව්වක්. හැබැයි ඇයට උඩින් අතක් ඈතට දික් කරපු ප්‍රතිමාවක්. හරියට සැබෑ ගැහැණියක් ක්‍රමයෙන් ප්‍රතිමාවක් වෙනවා වගේ. ඒ ගෑණු ප්‍රතිමාවෙ අතේ තිබ්බ කවාකාර වලල්ල අස්සෙන් අර කුරුල්ලො පියඹලා යයි කියලා නිකමට හිතෙනවා. හැබැයි ඒකට ටික වෙලාවක් බලා ඉන්න ඕනෙ. ඒ එක්කම තව ප්‍රතිමාවක් තිබ්බා.  ඒකෙ සර්පයෙක් එතිලා. ඒ පත්තිනිද, මරිය මව්තුමීද, ඇත්තටම මම දන්නෙ නෑ. කොහොම වුණත් අර වලල්ල සළඹක් වෙන්න බැරිකමක් නෑ.

පොතේ නම කම්පියුටර් අකුරෙන් හදලා දුවනවා වගේ ඇදලා තිබ්බා. ඒ නමෙත් කුරුල්ලො පියෑඹුවා. ඒ වගේම ර අකුරෙන් ගැහැණියකට තිලක තියලා.එතන රේන්ද සමනළයෙක්. අර නිදන ඇඳුම් වල තියෙන්නෙ.  ඕක තමයි මුල් කවරෙ.

පොත ලියලා තියෙන්නෙ කෞෂල්‍ය කුමාරසිංහ. එයා තමයි කර්තෘ.  පිටිපස්ස බැලුවෙ ටික වෙලාවයි. රතු නිල් ක්ලිප් දෙකයි. කරාබු දෙක ගාණෙ දාලා පිට හරවගෙන ඉන්න ගෑණු ළමයයි. පරණ වලව් ගතිය තියෙන පිත්තල දොර අඟුලයි, උඩ යට ගහපු ටවර්ස් දෙකයි, මුහුද දිහා බලං ඉන්න කාල තුවක්කුවයි හැරෙන කොට...   නැහැ ඇයි අර කාන්තා රෑ ඇඳුම සහ ඒ අසල උන්න අනෙක් ජෝඩුව. එහා පැත්තෙ ජනේලය.. ඒ ජනේලයෙන් පෙනෙන පිටත..මම ඒ ටිකත් හොඳින්ම දැක්කා.

කතාවක් ගැන හිතන්න පිටින් පටන්ගන්න තරමට කතාව අවබෝධ වෙනවා වැඩියි. මම පොත ගෙදර ගෙනාවෙ නිකමට. තාරා මගේ දෙව්දුව කියවලා, මේ පොත කියවන්න ගත්තෙත් නිකමට. ස්තූතිය මිසක් පෙරවදන දැක්කෙ නැති නිසා කෙලින්ම මට සිද්ධ වුණේ පොත කියවන්න. ඇත්තටම සමහර පෙරවදන් කියෙව්වාට පස්සෙ කියවන්න නොහිතෙන පොත් වුණත් නැතිවම නෙවෙයිනෙ.

මේ රහස් කවුළුවෙන් එබෙන්නෙ කෞෂල්‍ය. මම හරිම කැමතියි එයා බොහොම පරාර්ථකාමී විදිහට අපිත් එක්කම එබෙන එක ගැන. එයා දකින දේ අපිට කියනවාට වඩා, අපිත් එයා එක්කම යන එකේ ගතිය වැඩියි. පොත පටන්ගත්ත විදිහට මම ඇත්තටම කැමති වුණා. ඒකෙ මම හොඳට දන්න තැනකින් පටන්ගත්ත නිසා මට කතාව දිගේ ඇවිදින්න ලේසි වුණා. ඒ වගේම මං ඇත්තට දැකපු දේවල් එකක්වත් බොරු කරන්නෙ නැතිව ලියපු එකට මම කෞෂල්‍ය ගැන පැහැදිලා හිටියෙ. එහෙම වුණාම එයාව විශ්වාස කරන්න සිද්ධ වෙනවානෙ. පොත ලියපු කෙනා විශ්වාස කළාම එයා අපේ කෙනෙක් වෙනවා. හොඳම වැඩේ තමයි එහෙම වුණාම එයා අන්තිමට මොනා කළත්, අපි හිතන දේම කරයි කියලා ඇතිවෙන හැඟීම. එහෙම වුණාම පොතේ අන්තිම හොරෙන් වත් බලන්න හිතෙන්නෙ නෑ.  මම වෙන හැම පොතම එහෙම කළා එකක් දෙකක් හැරෙන්න. කෞෂල්‍ය තමන්ට හම්බවෙන එක්කෙනෙක්වත් අත අරින්නෙ නෑ. හැම කෙනෙක් ගැනම අපි එක්ක කතා කරනවා. හැබැයි එක්කෙනෙක්ගෙවත් මනස ගැන එයා අපි එක්ක කතා කරන්නෙ නෑ. එයා කතා කරන්නෙ පිට ඉඳන්. සමහරවිට ඇත්තටම ඇතුළ හිස් නිසා වෙන්නත් බැරි කමක් නෑ.

මේ පොතේ චරිත ගොඩක් ඉන්නවා. තිවංක, කේෂානි, අසී , උවනි, නේත්‍රා, පද්මි , සඳා , කමල්, කමල්ගෙ ගෙදර අය (විශේෂයෙන් පොඩ්ඩි සහ අම්මා තාත්තා ), ටානියා, උඩින් වැටෙන ආච්චි, එයාගෙ මිණිබිරි, දසුන්, සිගරට් අහුලන ගෑණු කෙනා රාලියා , ත්‍රීවිල් කාරයා. ඇයි ටානියාගෙ මිස් ශ්‍රී ලංකා වෙන නංගි, ලෝයර් ඩිලාන්, තිවංක ගෙ නංගි, හරිනි..ටානියාගෙ මොංගල් අක්කා.. ඔව් එක සැරේ පෝලිමට හිතට එන්නෙ ඔය අය.. මේ හැමෝම එක්කෙනෙක්ට එක්කෙනෙක් මුණ ගැහි ගැහි අපූරු කතාවක් ඇතුළෙ එහාට මෙහාට පෙරලෙනවා. කතාව කියන එකෙන් කෙනෙක් පොත නොකියවන්න හිතුවොත් ඒක අපරාදයක් නිසා මම කතාව කියන්නෙ නෑ. ඒත් මට හිතෙන දේවල් කියන්න මට හරි හදිස්සියක් දැනෙනවා.

මේ කතාව අපේ වර්තමාන නාගරික සමාජය එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. මේ තනිකරම කොළඹ. කොළඹ කියන්නෙ හැම තැනින්ම එකතු වුණ මික්ස්චර් එකක්. ඒත් මේ හැම සමාජ සම්බන්ධයක්ම එකින් එක මුණ ගැහි ගැහි මකුළු දැලක් වගේ අපි වටේම පැටලෙනවා. . ඒ වගේම පන්තීන් අනුව අවශ්‍යතා හා වුවමනා, ප්‍රශ්න සහ ගැටලු එකිනෙකට වෙනස්. හැබැයි හැම කෙනෙක්ම අනෙකා එක්ක කොතනින් හරි සම්බන්ධ වෙලා.

දරුවන් නැති තරුණ න්‍යෂ්ටික පවුල් වටා ප්‍රධාන වශයෙන් කැරකෙන මේ කතාව ගමෙන් කොළඹට එන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ ගැටලුත් ඒ අස්සෙන්ම පෙන්වනවා. නගරයේ තරුණ කාන්තාවක් තුළ නැති හැඟීමක්  ගමේ තරුණ කාන්තාවක් තුළ ගලා යනවා. ගමට නගරයට වඩා හීන තියෙනවා. ගමේ වතු වල පියා සලන සමනල්ලු, නගරයේ ඉන්නෙ පත්තර බරු අස්සෙ හිර වෙලා. නැත්තං ටීවී ඇතුළෙ. ඒත් ගමෙන් ආපු කෙනෙක්ට නගරයෙත් පියාඹන සමනළයෙක් බැලිය හැකි විරලමය ඉඩක් තියෙනවා.

අපි නොහිතන පුංචි දෙයක් හෝ කෙනෙක් අපේ ජීවිතය තුළ කොයි තරම් කලබැගෑණියක් ඇති කළ හැකිද කියන දේ මේ නවකතාව පුරාම ඇදිලා යනවා. කමල්, දසුන් වෙනුවෙන් තිබ්බ ප්‍රොටෙස්ට් එකට කඳුළු ගෑස් නොගැහැව්වා නම්, අසී හෝ කේෂුට සීඩී යන එකක් නෑ. කමල් පෝස්ටර් අලවන්න නොගියා නම්, සුදු වෑන් නොඑන්න තිබ්බා. ඔහොම ගොඩක් දේවල් මේ පොත කියවද්දි දැනෙනවා. 

කතාව ඇතුළෙ විශාල අවසානයන් නෑ. ඒත් ජීවතුන් අතර ඉන්න චරිත ඉන් එහාට මොනවා කරයිද කියලා අපි දන්නෙ නැති නිසා අවසාන කළා නම් ඒක සාධාරණයි. අනික සුදු වෑන් එකකින් අරන් ගිය  කමල්ගෙ චරිතෙ වගේ දෙයක් ගැන ඉන් එහාට කතා කරන්න බෑ කියලා  බව අපි අත්දැකීමෙන් දන්නවාන‍ෙ. කොහොම වුණත් ඉහළ හෝ පහළ මධ්‍යම පාන්තික ජීවිත ගැන කතා කරන එක තමයි මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ. ඒ වගේ දේකට අතගහපු එක ගැන කෞෂල්‍ය නැමති ලේඛකයාට ස්තුති කරනවා.

පොත අවසන් වෙන විදිහට නම් අනිවාර්යෙන් කෞෂල්‍ය අපිට වෙනස්ම සමාජයකට ආරාධනා කරනවා කියලා මට දැනෙනවා. ආගමක් නැති සමාජයකට හෝ සර්ව ආගමික සමාජයකට. මට ඒක තේරෙන්නෙ නෑ. ඒත් දේශපානමය වශයෙන් ගෝත්‍රික සමාජයට කිට්ටු පශ්චාත් කොමියුනිස්ට් සමාජයක් වගේ එකක්ද කියලාත් හිතෙනවා. තමන්ට තමන්ගෙ බිරිඳ ගැන වුණත් අයිතියක් නොපතන විදිහෙ සමාජයක්. ඒක කිට්ටු ගෝත්‍රික සමාජයකටද කියලාත් හිතෙනවා. මොනා නමුත් ඔහු අපිට අලුතින් හිතන්න ආරාධනා කරනවා.

කොයි කොහොම වුණත්, මේ පොත කියවන්න ආසා හිතෙනවා එක හුස්මට. තව පාරක් සෝදු පත් බැලුවොත් හොඳයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒත් මේ පොතේ නීලංකාර දර්ශන ඕනෙවට වැඩියිද  කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒක කියවගෙන යද්දි නම් එහෙම දැනෙන්නෙ නෑ කියලා ස්ථිරෙට කියත හැකි. මේ පොතේ අනවශ්‍ය දේවල් නැතිම තරම්. එකකට එකක් බැඳගෙන ඉන්නෙ ජීවී අජීවි සමනළුන්ද කියලා හිතෙන තරමට මේ සොඳුරු වියමනක්. පද්මිගෙ ලිව්වා කියන කවියක් ගැන පොතේ තිබුණාට, ඒ කවියෙ එකපදයකට වඩා පොතේ තිබුණෙ නෑ. ඒ නිසා, මම ඒ කවිය සම්පූර්ණ කළා. කොහොම වුණත් මේක කියවද්දි මට බාබෙල් කියන චිත්‍රපටිය සෑහෙන වතාවක් මතක් වුණා. හනේ මංදා!

බොහොම දුර පියඹද්දි
වෙහෙසයි
මඳ සුළඟ වුණත්
හරි කටුකයි
අප දුටුව අප ද
හරි අමුතුයි
හිතට පාවෙන්න
බැරි ඒකයි!
වැස්ස දැක රඟන
තුණු මොණරු
ගල් තලා මත
සොයන නුහුරූ
ආනන්දයෙන්
පොවා මියුළු
කොහාටද යන්නෙ 
සමනල්ලු!!


10/4/14

-246- සාරා | Tousand Unknown Flowers


ලියන්නම කියලා හිත බලකළත්, ලිවිය යුතු දේ තේරුම් ගන්න බැරි තරමට හිත ඇතුළෙ සිද්ධීන් සහ හැඟීම් කැළඹිලා. ඒ කැළඹීමට එදා වගේම අදත් මම හරි බයයි. ආවේගයන් විසින් කියන ලියවන දේ, හදවතට මිසක් බුද්ධියට අනුකූල නොවෙන අවස්ථා ජීවිතේ වැඩියි. ඒ අවස්ථාවන් තම ආත්මය වගේම අන් ආත්මයන් විනාශ කිරීමේ සම්භාවිතාව ඉහළයි. ඒත් ඔබට  සාරා ගැන කිසිවක් නොකියා සිටියොත්, එය මට හමුවූ හොඳම යෙහෙළියකට කරන ලොකුම අසාධරණය වේවි.
*******
සරෝජිනී නායිදු ලියූ Indian Weavers , ඇය රිද්මයානුකූලව පන්තියටම ඇසෙන ලෙස කියෙව්වාය. අපේ පන්තිය හැර කාමර වලින් වෙන් නොවී තිබුණු අවට පිහිටි පන්ති හතරම ඇගේ හඬට ඒ මිනිත්තුව දෙක නිහඬ විය. ඒ කියුම්කාරී මා ආදරණීය යෙහෙළිය සාරා ය. ඇය කවිය කියවා අවසාන වී ලෑලි අසුනේ හිඳගනී. නින්නාද වන මගේ සිතිවිලි එකතැනකට කොටු කර මම ඇය දෙස බලමි.  අනතුරුව ඈ මගේ කනට කර මෙසේ පවසන්නීය. 

“ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ
මිය ගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ“

සරෝජිනීගෙන් සේකරට, සේකරගෙන් තවත් කෙනෙක්ට ජීවිතය වගේම කවියත් පෙරළි පෙරළි ඇදෙනවා. 
ඒ තමයි ජීවිතයෙ වගේම කවියෙත් හැටි. වචනයක් දෙකක් තේරුම් කිරීම ආරම්භ වන විටම කාලපරිච්ඡේදය හමාර බව සටහන් වුණා. ඇය ඈත වැවත්, එපිටින් පෙනෙන පාලමත්, බුදු මැදුරත් දෙස හැඟීම් තේරුම් ගත නොහැකි දෙනෙතකින් බලා සිටීනවා. මේ තමයි විවේක කාලය. ‘බඩගිනියි. මම ඇයට කියනවා. ‘ පෑන් කේක් ඇති බෑග් එකේ අරගෙන කන්න. ඇය මා දෙස නොබලාම උත්තර දෙනවා. සාරා ඉස්සරට වඩා දැන් වෙනස් . තනි වුණ බොහෝ වෙලාවට ස්නායු අඩපණ වුණ කෙනෙක් වගේ හැඟීම් විරහිතව අනන්තය දිහා බලා ඉන්නවා. වැඩි වෙලාවක් එහෙමයි , සිදුවණ කිසිවක් ඇගේ මතකයේ නැහැ. සමහර දවස් වලට ඇය බසයට පවා නගින්නේ අප මතක් කළ පසුවයි. දැන් ඈ, ඈ දිහාව නෙත් නොහෙළා බලා හිඳිනා මා දිහාව බලා සිටිනවා. ‘අපි අද හවසට පත්තර සුවඳ බලන්න යමු ද?  ඈ තද දුඹුරු පැහැ ඇස් මගේ නෙත් වලට ඔබමින් මගෙන් අහනවා. ‘සුවඳක්  බලන්නෙ කොහොමද සාරා.. මම ඇයගෙන් ප්‍රශ්න කරනවා. ‘ මට පුළුවන්.. ඈ ඇගේ  කතාව ඒ කෙටි වචනයෙන් අවසාන කරනවා.

මේ ලෝකය පුරා ඇය කැමතිම සුවඳ වර්ග ලැයිස්තුවක් ගන්නට මින් පෙරදිනක මම වැර වෑයම් කළා. වතුරෙන් එන පල් සුවඳ, පරණ ගබඩා කාමර වලින් හමන සුවඳ, පත්තර තීන්ත සුවඳත , භූමිතෙල් සහ ඩෙටෝල් සුවඳ ඒ අතර ඉහළින් තිබ්බා. එහෙත් ඈ කිසිදා නොකියූ සුවඳක් ඇගේ සුවඳ ලැයිස්තුවෙ තිබුණා. “ඒක ෆර්ෆියුම් එකක සුවඳක්, ඒත් නම අහන්න එපා. ඇය බාග උත්තරයක් දීලා මාරු වෙනවා. ‘ ඇයි මම ඒක ගන්නවාට බයද? මම ඇගෙන් නෝක්කාඩුවට අහනවා. ඇය සිනා වේවී මා දිහා මොහොතක් බලා ඉන්නවා. හරියට මං ගැන දුකෙන් වගේ. ‘ ඒ සුවඳ ඔයාට ගන්න බෑ. මොකද ඒ සුවඳ එන්නෙ ෆර්ෆියුම් එකෙන් විතරක් ම නෙවෙයි. ඈ මා නොදන්න ඈ හඳුනන සුවඳ ගැන එහෙම කියලා මාව සනසවනවා.

සාහිත්‍ය සමිතියේ ඉදිරිපත්කිරීමේ නම් ලැයිස්තුව අතින් අත එනවා මට පෙනෙනවා. ‘ නම ලියන්නද? පුටුවකට හේත්තු වී කපුටු ජෝඩුවක් දෙස බලා සිටිනවා යැයි සැක කළ හැකි ඉසව්වක දිහා දෑස් රැඳුණු සාරා ගෙන් මං අහනවා . ඈ කිසිවක් නොකියා මා දිහාව එක පාරක් බලලා ආයෙ ඇස් ඇරගෙන භාවනාවෙ. එහෙත් ඈට අනිවාර්යෙන් ම ගායනාවක් කරන්නම වෙනවා. පළවැනිම දවසෙ ඇගේ ගායනාවෙන් වසඟ වූ සාහිත්‍ය අනුශාසක ගුරුතුමා හැමදාම අැගෙන් ගීයක් ඉල්ලනවා. ඉතින් මං හැමදාමත් ඇගේ නම ලයිස්තුවෙ ලියනවා.

ඉතිරි කාල පරිච්ඡේද කිහිපයම ඈ අපි එක්ක නොඉඳ, වෙන ලෝකෙක හිටිය බව මට දැණුනා. සිරුර විතරක් එහා පුටුවෙ ඔහේ තිබුණා. වෙලාවකට දිලිසෙන තව වෙලාවකට කඳුළු පිරෙන ඒ ඇස් දුටුවේ මා පමණකැයි මං විශ්වාස කරනවා. ලුවිස් ලෝරන්ස් නම් කිවිඳිය එයාගෙ පෑනට අමුණපු , Children of the dust  නවකතාවේ ඉන්න සාරා , මගේ හිතවත් සාරාගෙන් මං මවා ගන්නවා.  කාමරයක හිර වෙලා තමන් එක්ක  ජීවත්ව වෙන අයගෙ අනාගතය , ආරක්ෂාව ගැන හිත හිත ඒ අයට කොන්දේසි රහිතව ආදරේ කරපු සාරා මට මතක් වෙනවා. ඒ සුන්දර මිනිස් දියණිය සාරා මේ මොහොතේ සිනා කඳුලු සහ වේදනාව මෙන්ම ජීවිතය හිරවුණ සාරාගේ නෙත් තුළින් මම දකිනවා.

මගේ දැහැන බිඳගෙන සාහිත්‍ය සමිතියේ පුරුදු හඬක් සාරා ට කතා කරනවා. ඈ දෙනෙත් බිමට හරවා නැගිටිනවා. නැවත ඇගේ දෙනෙත් මට පමණක් නොව අප හැමෝටම සැණෙකින් හමුවනවා. ඈ අප හැමට ඉදිරියෙන් අපට මුහුණලා අපේ මුහුණු දෙස බලා ඉන්න හැටි මට පෙනෙනවා. දැන් ඒ නෙත් වල බලාපොරොත්තුවම විතරක් දිලිහෙනවා. ඈ හරිම  සෞම්‍ය හඬකින්..  අද ඔක්තොම්බර් 4 බව අපි හැමටම කියනවා. කැලැන්ඩරෙත් ඒ බව පෙනෙනවා. හැමෝම ඒ බව දන්නවා. ඒ නිසාම පුදුමයෙන් අපි ඈ දිහා බලනවා. ඒ ඇයිදැයි කිසිවෙක් ඇසුවේ නෑ වගේම, අපිට හේතුවක් කියන්නට වුවමනාවක් ඈට තිබුණෙත් නෑ. දැන් ඇය ගායනා කරනවා. අපේ පන්තියද, අවට පන්තිද හමා යන හුළඟ සමඟ ඇගේ ගායනයට ඒකාත්මික වෙනවා. ඈ වටා දහසක් නොදන්නා මල්ද, ඉටිපන්දම්ද මවා ගන්නට මම උත්සාහ කරනවා. 

********
Edelweiss, Edelweiss
Every morning you greet me
Small and white, 
Clean and bright
You look happy to meet me
Blossom of snow may you 
bloom and grow,
Bloom and grow 
forever
Edelweiss, Edelweiss
Bless my homeland forever

9/30/14

-245- රෝස වලාකුළු

දොවා කඳුලින් මලක් ඉකිලන
වසා පෙම්බර නිල් නුවන්
දමා හැර යන හිතාදර
බඹරිඳුනි මේ කවි පද අසන්..

අහස මත තවමත් විසුල
සුදු වලාකුළකින් මඟ අසන්
නුඹ නමින් පණ අදින
අසරණ මල් සිඟිත්තිය සොයා එන්..

ඇගේ දුක් බර සිහින හිනැහෙන
ජීවිතෙන් බිඳුවක් අරන්
පාට වේවා මේ වලාකුළු
රෝස පාටින් සෑම කල්..

2014 සැප්තැම්බර් 30

-----
රෝස වලාකුළ ලියන්න අරගෙන අදට හරියටම අවුරුදු හයක් ගෙවිලා ඉවරයි. කියවපු අයට ස්තූතියි.

8/8/14

-244- ආදරණීය තුවක්කුකරු | Dear Gunman

“අහස“. අකුරු තුනක, හරි පුංචි වචනයක්. ඒත් ඉහළ බැලුවම, පුංචි නෑ කියලා කෑ ගහල අඬන්න හිතෙන තරමට මහා විශාලත්වයක් ඒ අපූර්ව අහසට තියනවා. අහස තරමටම නැතත් පොළවත් ඒ තරම්ම විශාල ඇති කියලා හිතන්න, ලිහිණියන්ට දැනුමක් තිබුණා.

තමන්ට කවදාවත් එකතු වෙන්න බෑ කියලා දැනගෙන හිටි අහසෙයි පොළවෙයි උහුල ගන්න බැරි ආදරයට මොහොතකට එක්වෙන්න ඉඩක් දෙන්න පුංචි වැස්සක්  අහඹු සිප වැළඳ ගැනීමක් අරගෙන සැරින් සැරේ කඩා වැටුණා.

මේ ආදර පණිවිඩය හැමෝටම ඇහෙන්න ගායනා කිරීම , වැහි ලිහිණියන්ගෙ පාරම්පරාවේ රාජකාරිය.

මෙරු පිරිස  ඔය කාරිය  බලෙන් පවර ගන්න නිතරම උත්සාහ කළා. ඒත් සර්ව සාධාරණ දෙවියන් වහන්සෙ තමන්ගෙ තීරණය කිසිම වෙනස් කළේ නෑ.

හැම වැහි ලිහිණියකටම මේ ආදර කතාව කියන්න, සහකාරයෙක් ලැබෙනවා. ඒත් අනුන්ගෙ ආදර කතාවක් තමන්ගෙ කරගෙන ගායනා කරන එක කොයි තරම් අමුතු, එපා කරපු  කම්මැලි වැඩක් ද කියලා ඒ හැමෝටම හිතුණෙ නෑ. සමහරවිට හිතුණත් ඒක ඔල්මොරොන්දං සිතිවිල්ලක් කියලා කාටවත් නොකියා හංග ගන්න ඒ අය පුරුදු වුණා. කුරුල්ලො වුණාම ගී ගයන එක නම් කොහොමත් සිද්ධ වෙන්නම එපැයි.

මුහුදට කිට්ටුව, කිඳුරු ගීත ඇහෙන මානෙ ගල් දෙබොක්කාවෙ පුංචි කූඩුවක හැදුණු සුන්දර වැහි ලිහිණියක් උන්නා. හැම වෙලාවෙම ඇය ගොඩ නැගුවෙ එයාගෙම කතාවක්. ඒවා වැඩියෙන් කිට්ටු සුරංගනා කතා වලටද නැත්තම් ඇත්ත කතා වලටද කියලා හිතන්න ඇයට වගේම වෙනින් කාටවත් උවමනාවක් තිබු‍ණෙත් නෑ. ගල් දෙබොක්කාවෙන් මුලින්ම දොරට වඩපු දවසෙදි ලිහිණි කුරුල්ලො ඇයව වට කරගන්න තුරුම.

කොයි ලිහිණියා එක්කද තමන් පාරම්පරික ගීතය ගයන්නෙ කියලා තෝරාගැනීමක් කරන්න ඇයටත් සිද්ධ වුණා. රසත් එක, ප්‍රමාණයත් එකම වගේ ටොෆි ගොඩකින් කැමති ටොෆිය තෝරනවා වගේ මහ අප්‍රභංශ කම්මැලි එපා කරපුම වැඩක් වුණත්. ඒක නියතියක්. අහඹු ලෙස තෝරා ගත්ත එක ලිහිණියෙක් ඇයට හොඳයි කියලා නිකමට හිතුණා. එක්කො සමහර විට හොඳයි කියලා හිතන්න ඈ උත්සාහ කළා.

කොහොමහරි ටික දවසක් යද්දි ගීත ගයන සෙල්ලම ඉක්මනටම ලිහිණි කිරිල්ලියට එපා වුණා. එකම වගේ අය වුණත්, එක වගේ දේවල් වලින් සතුටු වෙන්නෙ නෑ කියලා දැන ගත්ත පුංචි වැහි ලිහිණිය තනියම කාලය ගත කරන්න පටන් ගත්තා. කාලය කියන්නෙත්, ගත වෙන දෙයක්නෙ. ඉතිං තත්පර, පැය, දවස් අවුරුදු එකතු වෙලා ටික ටික කාලය ගත වුණා. ටිකෙන් ටික පාරම්පරා ගීතයත් වැහි ලිහිණියට අමතක වුනා. එක්කො ඇය අමතක කළා වෙන්නත් පුළුවන්..

මම මේ කතන්දරය කියන ඔයාට කියන දවසෙ, ඉර නිදියනවද නැද්ද කියලා අහසෙ ගැට්ටට වෙලා කල්පනා කරන වෙලාව. අලුත් ගීතයක් හොයාගෙන, නමක් නොදන්න මුහුදු කරයේ ඈත ඈත ගල් පර අස්සෙ, ඉගිල ගිය පුංචි වැහි ලිහිණි කිරිල්ලි, පැතිරුණු විරල රතු පැහැයක් දැක්කා. අහස වතුරට දිය කරන දේදුනු පාටින් මතුවෙන රත් පැහැයට වඩා අමුතු තද පැහැයක් මේ රතු පාට ඇතුළෙ පෙනෙන්න තිබුණා. ළඟට එනවිට ඒ සුන්දර දසුන බොහොම අසුන්දරව ඇගේ ඇස් වෙලා ගත්තා. ලේ වැකුණු පියාපත් ගල් තලාව පුරාම විසිරිලා තිබුණා.

වට පිට විමසිල්ලෙන් බලද්දි, පැත්තක වෙහෙස කාරී මුහුණෙන් ඉන්න තුවක්කු කරුවෙක් දකින්න ඇයට වැඩි වෙලාවක් ගියෙ නෑ. ඈ පියඹා නොගිහින් තුවක්කුකරු දිහා බලා හිටියා.. මුලින්ම පුදුමයෙන්...ඉන්පස්සෙ බියෙන් අවසානයේ කුතුහලයෙන්. මොහොතකින් ඇය ඔහු ළඟටම ගියා.

තුවක්කු කරුගෙ නිශ්ශබ්ද දුඹුරු පැහැති ඇස් වල අප්‍රමාණ නිශ්චලත්වයක් තිබුණා. හැඟීමක් දැනෙන නොදැනෙන සේයාවක ඔහු අතරමං වෙලා හිටියා වගෙයි. ඈත පෙනෙන රළ නැගෙන මුහුද දිහා ඔහු එක එල්ලේම බලං හිටියාද, එහෙම නැත්තං මුහුදත් ඔහුත් පමණක් දන්නා රහසක්, මුහුද සමඟ නිහඬව ම ගිල ගනිමින් හිටියාද කියලා තේරුම් ගන්න ඇයට අපහසු වුණා.

ඔහුගේ තුවක්කුවෙන් පැමිණි එකම උණ්ඩයක්වත් ඒ කිසිම පියාපතක් දැවටිලා තිබුණෙ නෑ කියලා පෙනී යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ ඇයට . එක එක සෘතූන් වලදි වැහිලිහිණියො විහින්ම කොටලා, ඈත ගල් පර අස්සෙ මිහිදන් වුණ වැහි ලිහිණි කිරිල්ලියන්ගෙන්,තවත් කිහිපදෙනෙක් විතරයි මේ. වැහි ලිහිණි කිරිල්ලියන් වෙනුවෙන්, උපන්න කඳුලක්  තුවක්කු කරුගෙ දෙනෙත් වලින් හිර වෙලා ඇතුළට ගිලුණා. ඒ දීප්තිය දිහා රෑ ගෙවෙනකම් බලා ඉන්න තරම් හිතුවක්කාර ආසාවක් ඇයට දැනුණා. රෑ පුරාම එතැනින් පියාඹා යමින් අනතුරු අඟවන ලිහිණියො ගැන තවත් කුමට ඇය විශ්වාසය තියන්නද?

තවත් උදෑසනක් ඉර අරගෙන ආවා. පුංචි වැහිලිහිණි දරුණු වෙඩික්කාරයෙකුට ආදරය කරන්න පටන් අරගත්තා කියලා එදායින් පස්සෙ ධීවර ගම්මාන වල කට කථා ඇති වුණා.

ඇත්තම කතාව ගැන තමන් දන්න බව කියන ගොඩක් අය  කියන්නෙ, වැහි ලිහිණියො මෝඩයි කියලායි.   ඒත් පහුගිය කාලෙ පුරාවටම ඈත මුහුදෙ නගින බහින ඉර ළඟ රෝස පැහැ වලාකුළු මවන රටා දිහා නිවී හැනහිල්ලෙ බලාගෙන ඉද්දි මට හිතුණෙම තුවක්කුකාරයාගෙ තුවක්කු බඳත් වැහි ලිහිණි කිරිල්ලත් අතර කවුරුවත් නොදන්න ප්‍රීතිමත් “ජීවිතය“ තියෙනවා කියලායි. කොහොම වුණත් ආදරය කියන්නෙ මේකමයි කියලා හරි නිර්වචනයක් කොතැනකවත් නැති නිසා, වෛරයක් නොවන ඕනෑම ළෙංගතු කමක් ආදරයයි කියලා හිතන්න කාටවත් බැරි කමක් නෑ කියලා පුංචි කාලෙ ඉඳන්ම මට විශ්වාසයක් තියෙනවා.