මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/10/11

ආදරණීය චේ සීයා සහ වෙනත් අත්‍යවශ්‍ය කතාවක් !






ලියාගෙන ලියාගෙන යද්දි ඒ දේට නිකන්ම ඇතිවෙන්නෙ පුදුමාකාර ආසාවක්... ඉස්සර තරම්ම දැන් මම මුහුණු පොතට කිට්ටු නැහැ. මුහුණු පොත කියන්නෙ මහ නපුරු දෙයක් කියලා වෙලාවට හිතෙනවා... මුහුණු පොතේ වසීලිස්සා වගේම බාබයිගා යකිණ්ණියොත් ඉන්නවා....හැබැයි අපිට හොයාගන්න බැහැ... ඒ අය ඉන්න තැන..මොකද ඒ අය ඉන්නෙ කුකුල් කකුල් උඩ තියෙන පිදුරු මඩුවක නෙවීනෙ...
සාමාන්‍ය සමාජය වගේම විසෙන් පිරි ගිය තැනක් අද මුහුණු පොත... හොඳ අය ගොඩක් දෙනා මැද්දෙ නරක අය ඉන්නවානෙ.. කොහොමත් මගේ යාළුවො නම් ඔක්කොම වගේ හොඳයි... මම කියන්නෙ බ්ලොග් කියවන ලියන අය ගැන .... ඒ යාලුවන්ගෙ ශක්තිය නිසා තමයි මම දිගටම ලියන්න හිතුවෙත්... ඉතින් ඔයාලාට කියන්න ඕනෙ මගේ බ්ලොග් එකේ පදිංචියට ආපු ගාන මේ වෙන කොට 200 පැනලා... පෝස්ට් 120කට ආසන්න ගණනකට මේ තරම් සංඛ්‍යාවක් සිටීම කොයි තරම් නම් සතුටක්ද?.. කමෙන්ට් දමන අයට වගේම ඇවිත් කියවන අයටත් ගොඩක් ස්තූතියි.. මේ කමෙන්ට් දමන පිළිවෙළ සමහර අයට තේරුම් මදි වගේම හදිස්සියට කාර්යක්ෂම මදි.. ඉතින් මුහුණු පොතට මේ වෙනුවෙන් කමෙන්ට් දමන අයටත් ස්තූතියි...
කාටවත් නොපෙනෙන්න දිරි ගන්වන පිරිසටත්... නිහඬව ආශිර්වාද කරන සියල්ලන්ටමත් ස්තූතියි.... ( ඒ කට්ටිය දන්නවා එහෙම කිව්වාම ඒ තමන් වග)
තාක්ෂණයේ මහා පෙරළියක් කළ ස්ටීව් ජොබ්ස් මහත්මයාට මුලින්ම නිවන් සුව හෝ එතුමා බලාපොරොත්තු වන ස්වර්ගයකට යන්න ලැබේවා කියලා මම පතනවා... ඒ පුද්ගලයාට කළගුණ දැක්වීමෙන් අපේ මිය ගිය කලා කරුවන්, විද්වතුන් කිසිම අවතක්සේරු කිරීමකට ලක් වෙන්නෙ නැහැ...
කිසිම දෙයක් තව දෙයක් සමඟ සසඳන්න ඕනෙ නැහැනෙ... මම කියනවා මේ ලෝකය නිරපේකෂයි කියලා.. අඩුම තරමෙ මේ මොහොතෙ සිටින “මම “ ඊළඟ මොහොතේ “මම “ නොවන විට “මම“ හා සැසඳිය හැකි කිසියම් යමක් මේ විශ්වයේ තිබිය හැකිද? කිසියම් කෙනෙක් මෙම විශ්වයේ සිටිය හැකිද? දුක, සතුට පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවේද?... සමීප බව, දැනුම, හැඟීම,අධ්‍යාපන මට්ටම එකිනෙකාට අනුව වෙනස් වෙනවා.... එකම විෂයකට “ඒ “ සාමාර්ථ ගත්ත ළමයි දෙදෙනෙකු අතර වුණත් එම විෂයටම ඇති දක්ෂතාවය හරිම වෙනස්....
ඒ නිසා කවදාවත් කිසිවෙක් තවත් කිසිවෙක් සමඟ සැසඳීම මම නම් කරන්න යන්නෙ නැහැ... කේ ජයතිලක මහත්තයා වගේම , ජෝ අබේවික්‍රම මහත්තයා වගේම, ස්ටීව් ජෝබ් මහත්තයා වුණත් රටට ලෝකෙට වැදගත් කෙනෙක්....
“ස්ටීව් ජෝබ්ස් සර්කිට් කෑල්ලක් අටවලා ... ෆෝන් කෑලී විකුණුවා“ කියලා කේ ජයතිලකට මහත්මයාට කැමති “අපි “ කියනකොට... ස්ටීව් ජෝබ්ස් මහතාට කැමති අය කියාවි “කේ ජයතිලක පත්තර පොත් කුරුටු ගෑවා විතරයි“ කියලා...ඒ නිසා මිය ගිය විද්වතුන් එකිනෙකා සාපේකෂව නොහිතා සියලු දෙනාගේම ආත්මයන්ට සුගතියක් පතන්න පුළුවන් නම් හොඳයි... මේක පුංචි ඉල්ලීමක්.... ( මෙයට එකඟ නොවන අය නාමිකව සංවාදයට එනවා නම් තමා මම කැමති... නිර්නාමික හා වටෙන් ගැහිලි නම් එපා වෙලා...)







ඇත්තටම අද දවසෙ මේ ලිපිය ලියන්න ඕනෙ වුණේ, මට මේ සහෝදර හීන නිසා මඟහැරුණු ලොකු වරදක් නිවැරදි කරන්න... විශ්වයේ සදාකාලික සොහොයුරා මිය ගියෙ...ඊයෙ වගේ දවසක.... ඔහු පුදුමාකාර මිනිසෙක්..
සමහර දේශපාලන පක්ෂ ඔහුව තමන්ගෙ තනි අයිතියට ගන්න හැදුවාට ඔහුගෙ න්‍යායට ළං වන්නට නම් ඔවුන්ට තව බොහෝ වෙහෙස වන්නට සිදුවේවි....ඔහු වගේ තව අයෙක් නැවත බිහි වන්නෙ නැහැ.. ඔහු නිරපේක්ෂයි...
ආදරණීය චේ ග්වාරා සීයාට නිවන් සුව අත් වේවා.... ( දැන් හිටියා නම් කොයි තරම් වයස කෙනෙක් ද? .... හරියට 83ක් වයස සීයා කෙනෙක් වගේනේ.... මටත් ඒ වගේ සීයා කෙනෙක් හිටියා නම් මෝට බයිසිකලේ නැගලා සීයා එක්ක රවුම් ගහනවා....ඇත්තමයි!!!..)
මම මේ පුංචි වැඩසටහන ලෑස්ති කළේ වේ ග්වාරා නැමති සියවසේ පරිපූර්ණ මිනිසා සිහි කරන්න.... තවත් පර්පූර්ණ අය ඇති... ඒත් මම චේ සීයාට හරීම ආදරෙයි.... හැබැයි චේ සීයාව විකුණලා.. සමාජවාදෙත් විකුණන අයව නම් මට පෙන්නන්න බැහැ... මට පෙන්නන්න බැරි වුණා කියලා ලෝකෙට කමක් නැහැ.... මොකද මම කියන දේ නෙවී වෙන්න පුළුවන් වෙනත් කෙනෙකුට ඇත්ත..



10/9/11

176 බසයේ දී සිදුවූ සිද්ධිය..| සහෝදර සිහිනය


මම එතකොට 6 වසරෙ.... හරිම දඟ....කාටවත් ඒ හැටි හිතට අල්ලන්නෙ නැති ( කලුයි.. කෙට්ටු) පොඩි කෙල්ලෙක් ..... අපේ පන්ති වල ඒ කාලේ කොණ්ඩ දෙක ලස්සනට කරල දෙකට ගොතපු ළමයි හිටියා... මම දැම්මෙ පුංචි කුරිච්චි දෙකක්...කර කපපු සුදු ගවුමෙ වටේටම දාඩිය ගෑවෙනවා.... ඒ කාලෙ මම දාන්නෙ ඕඩි කොලොන්...ඒ නිසා පොඩි එකෙක් වගේ... ඉස්කෝලෙ හයෙන් ඉහළ විතරක් තියෙන නිසා... කට්ටියම දන්නවා වුණත් වයස එකොළහ වග නැත්තම් සයිස් එකෙන් ඇබිත්තං...
හයවසරෙ දි හැමෝම සංගීතෙට එක එක පන්ති යන්න පටන් ගත්තා... අපේ සංගීත මිස් මට කතා කරන්නෙ “අටපට්ටං” කියලා.. මම ලියන විදිහ අටපට්ටමට හොඳයි කියලා ළමයි එක්ක හිනා වෙනවා. ඉතින් මම ඒ මිස්ගෙ ප්‍රයිවට් පන්තියට යන්න අකමැති වුණා...
ඒ නිසාම අම්මා මාව බුලත්සිංහල මිස් ළඟට එක්ක ගියා....ඒත් එදා ඒ මිස් හිටියෙ නැහැ.. රට ගිහින්... ගිහින් ආවෙත් ප්‍රාණවත්ව නෙවීනෙ....ඒ නිසා අන්තිමට මාව නන්දා මිස්ගෙ ආශ්‍රමයට තමා දැම්මෙ...
නන්දා මිස් ගෙ ආශ්‍රමය තියෙන්නෙ 176 පාරෙ යද්දි කැම්පස් එකට පස්සෙ හෝල්ට් එක කිට්ටුව. ඇතුළට යන්න තියෙන පාරෙ .... මම සංගීත පංති ගියෙ හරි කැමැත්තෙන්... හේතු දෙකක් තිබ්බා....
පළවෙනි කාරණාව අපේ පන්තිය පටන් ගන්නෙ හතරට.. තුනට තියෙන පන්තියෙ ඉන්නෙ අයියලා අක්කලා.... ඒ අය පන්තියට ගියාම එළියෙ බංකු හිස් වෙනවා.... ක්‍රිස්ටි අංකල් අපේ කාඩ් එක බලන්නෙ අපේ පන්තිය පටන් ගන්න විනාඩි දහයක් තියෙද්දි... ඉතින් මට පැයකට කිට්ටු කාලයක් බංකු උඩ නැගලා බලාගෙන ඉන්න අයට කතා කරත හැකි... මගේ යාළුවො..එක එක ඉස්කෝල වල අය... මම එයාලාට එක එක චරිත කරලා පෙන්වනවා.. කතන්දර කියනවා....සංගීතය ඉගන ගන්නවාට වඩා මම ඒ වැඩේට ආසයි..
දෙවෙනි හේතුව.. මාසෙට දවස් දෙකක් මිස් උගන්වද්දි තව දවස් දෙකක් ඉගැන්නුවෙ කාලිංඝ සර්... ඒ සර් අමුතු සටන් ක්‍රම දන්නවා.... සර්පිනාවෙන් පොල්ලෙන් රිදෙන්නෙ නැතිවෙන්න සද්දෙ ඇහෙන්න පිටට ගහලා පෙන්වනවා.... කලින් ගියොත් ඒවා බලන්න පුළුවන්... ඒක තමා දෙවන හේතුව...
දැන් ඔන්න මම පන්ති යන කාල පරාසෙ තමා මේ සිදුවීම වුණේ.... 176 ට අපි නගින්නෙ අර ඉස්කෝලෙ ළඟින්..අපි කිව්වෙ අම්මයි.. මමයි... අම්මා මා බස් එකට නග්ගපු ගමන් මම හොයන්නෙ ජනේලෙ ළඟ සීට්..ඒකෙ ඉන්න පතබරියන් කොල්ලො එක්ක සීට් හොයනවා කියන්නෙ හරිම අමාරු වැඩක්....
දවසක් මම බස් එකට නැග්ග ගමන් බස් එක ඇද්දුවා.. බස් එකේ රියදුරු අංකල් ගාව තියෙන ලොකු පෙට්ටියෙ වැදිලා..මාව ඇතුළට විසි වුණා... එතකොට හාමුදුරුවො ඉඳගන්න සීට් එකේ මෙහා පැත්තෙ ඉඳන් හිටියෙ...අර ඉස්කෝලෙම පපුව මැද්දෙ බැජ් එකක් ගහපු අයියා කෙනෙක්.... ඒ අයියා මාව ටග්ගාලා අල්ලගෙන ...ඒ අයියා නැගිටලා මාව ඉන්දුවා....
අපේ අම්මා බස් එකට නැග්ගෙ මේ සිදුවීමට පස්සෙ... බස් එක ඒ වෙද්දි ඕවර් ටේක් කරන්න ගිය වරදට පොලීසියෙන් අල්ලලා...( වෙලාවට පොලීසියෙන් ඇල්ලුවෙ...නැත්තම් අම්මා මරදානෙ.. මම නුගේගොඩ) ඔන්න ඩ්‍රැයිවර් අංකල් එක්ක වලියක් දාපූ පොලීසිය... ඉන් පස්සෙ බස් එකට උන්දෑව එව්වා... දැන් බස් එක යනවා... අම්මා ගිහින් පිටි පස්සෙ ඉඳගත්තා....
බොරැල්ලෙන් සෙනඟ අඩු වුණා.... හාමුදුරු සීට් එකේ හිටපු අනෙක් ඇන්ටිත් බැස්සා...මම ටග්ගාලා ජනේලෙ අයිනට ගියා... අර අයියා හිනා වෙලා නැවත මගේ ළඟින් ඉඳගෙන... “අයියෝ ඔයා හරි චූටිනේ... එක තමා වැටෙන්නෙ.... ගෝතමියෙ කැන්ටිමක් නැහැ නේද? “
ඔන්න දැන් මට තද වුණා... මම වැඩ්ඩා වගේ..... “ මම හයේ....අපිට හොඳ කැන්ටිමක් තියෙනවා“ කියලා අහක බලා ගත්තා.... පපුව මැද්දෙ බැජ් තියෙන අයියාට හරි හිනා.... ඔන්න දැන් බස් එක යනවා.... ඉන් පස්සෙ මට මතක අම්මා මගෙ ළඟ ඉන්නවා විතරයි... මට හොඳටම නින්ද ගිහින්....ඒ ටිකට....අර අයියාත් නැහැ...
අම්මා කියපු විස්තර අනුව තමා මේ ටික..... අම්මා.... පිටිපස්සට ගිහින් ඉඳගත්තානේ... මට එහෙම්ම නින්ද ගිහින්.... ටික වෙලාවක් බලද්දි මම ජනේල්ලෙටම වැටිලා නිදිලු....හොඳටම නිදිලු...මගෙ ඔලුව ජනේලෙ වදින නිසා අර අයියා මාව අරන් ඒ අයියාගෙ බෑග් එක තියලා හේත්තු කරලා.... අපේ අම්මා එතකොටම ටග්ගාලා මගෙ ළඟට ඇවිත්... අයියා නැගිටලා අම්මා ට ඉඩ දීලා... එතකොට අම්මා මාව කූද්දන්න හදද්දී....
“එපා ඇන්ටි... නංගියාට ඇහැරෙයි..... පව්“ කිව්වාලු..... බහිනකොට තමා අම්මා මාව කූද්දලා ඒ අයියාට අයියාගෙ බෑග් එක අරන් දීලා තියෙන්නෙ....
අදටත් ඒ විස්තරය මතක් වෙද්දි මට හරි පුදුමයි.... ඇත්තටම කවුරු නමුත් ඒ මගේ සහෝදරයෙක් වෙන්න ඇති ගිය ආත්මෙක හරි.... නැත්තම් එක දවසක දුටුව... කිසිම ගතියක් නැති පොඩි දරුවෙකුට තරුණ වයසෙ ළමයෙක් සෙනෙහසින් සලකයිද? මම ඉන්පසු හැමදාම 176 බස් වලදි මොහොතකට මගේ සහෝදරයා වුණ ඔහුව සොයනවා... තවමත් මම ඔහුව ඉන්පසු දැකලා නැහැ.....
අපේ අම්මා කියන්නෙ....ඒ අයියාට මම වගේ නංගි කෙනෙක් ඉඳලා මැරෙන්න ඇති කියලා... නැහැ... මම නම් හිතන්නෙ ඒ අයියාට හුඟක් ලස්සන නංගියෙක් ඇති....ඒ නිසා කලු කෙට්ටු පොඩි එකා දැකලා අනුකම්පාවක් ඉපදෙන්න ඇති....එහෙම අනුකම්පාව ඇතිවෙන අය ලෝකෙ ඉන්නවා...
මොනා වුණත් එක දවසකට මට අයියා කෙනෙක් ලැබුණා...ම් ම්... පැය බාගෙකට විතර.....ඒත් ඇති .....හොඳටම ඇති... නන්නාඳුනන සොහොයුරා.... ලබන ආත්මයේ හුමුවන තුරු.... සුබ ගමන්..!!!
Something is Better than Nothing

10/8/11

අනේ මටත් අයියා කෙනෙක් හිටියා නම්!!


මම තව දුරටත් ලියන්න හිතුවා.... ලිවීමෙන් හිතේ තියන සතුට වැඩිවෙනවා වගේම ...බර අඩු වෙනවා.. සඳරු තමන්ගෙ නංගි ගැන ලියපු ලිපිය, දුකා අයියා තමන්ගෙ නංගි ගැන ලියපු ලිපිය දකිද්දි මට මහ ඉරිසියාවක් දැනෙනවා. මටත් අයියා කෙනෙක් හිටියා නම්, මා ගැනත් අනිවාර්යයෙන්ම ලියයි කියලා හිතෙනවා. ඇත්තටම එහෙම වුණා නම් අද මම කොයි තරම් ප්‍රීතිමත් කෙනෙක් වෙයිද?
මට අයියා කෙනෙක් හිටියා නම් කියලා මුලින්ම හිතුණෙ අප්පච්චි නැති රෑ වල අහස ගොරවන කොට. ­­­ඉස්සල්ලාම පාසලේ දී මාව නිතර බය කරපු අමාලිට මම “ මම අයියාට කියලා ගස්සනවා“ කියලා කොයිතරම් කියන්න ඇත්ද? පාසලේ පවුල ගැන ලියන්න දුන් හැම රචනාවකටම මම නිතරම මනංකල්පිත සොහොයුරෙක්ව එක් කළා.
ප්‍රාථමික වසර වල අම්මා නිතර පාසලට එන යන නිසා මගේ සහෝදර සිහිනයට එල්ල වුණේ දරුණු බාධාවක්.. අමාලි මට ගැහැව්වා... මට අයියා කෙනෙක් නැති වග අම්මාගෙන් දැනගෙන. එදා මම ඇඬුවා..
ඒත් ගෝතමියට ගියදා ඉඳන් මගේ හීනයට ඉඩ තිබ්බා.. රස රස කෑම ජාති ඔක්කොමල්ලා එකතු වෙලා...හදලා තම තමන්ගෙ පංගු ගෙදර ගෙනියනවා.. මේක නංගිට , මේ ටික මල්ලිට , අක්කාට නම් ඕනෙ නැහැ....මේ ටික අයියාට “ ඔය වගේ දෙබස් වලට සම්බන්ධ වෙන්න ඕනෑවට මමත් අයියා කෙනෙක් හදාගෙන උන්නා ... මගේ අයියාට මම නමක් තිබ්බා.. “විමුක්ති“ කියලා... හතේ අටේ පන්ති වලින් පස්සෙ නවයට එනකොට යාබද මිතුරියො තම මිතුරියන්ගෙ අයියලා ගැන හරි උන්නදුයි. ඒ නිසා ඒ සිහිනයත් යටපත් වුණා.
මගේ හිතේ තිබුණු සහෝදරයාට තිබුණෙ සාමාන්‍ය රූපයක්... මම කලු නිසා... අයියත් කලු වෙන්න ඕනේ.. මට වඩා අඟල් දෙක තුනක් උස වෙන්න ඕනේ....( මම කැමතියි මගේ අයියාගෙ මුහුණ, මට පෙනෙන නමුත් මට වඩා ඉහලින් තිබෙනවාට) ඔහුට තිබෙන්නට ඕනේ ලෝකෙ වෙනස් විදියට දකින්න පුළුවන් ඇහැක්..ඕනෙම දෙයක් සැහැල්ලුවෙන් බාර ගන්න සිනාවක් හා විශ්වාසවන්ත ඇස් දෙකක්. මම එහෙමයි මගේ සොයුරාව හදවතේ මැව්වෙ..
මට අයියා කෙනෙක් හිටියා නම්, අනිවාර්යයෙන් ආනන්දෙ හරි නාලන්දෙ හරි වෙන්න ඕනේ..නැත්තම් මා එක්ක ඉස්කෝලෙ එක්ක යන්න බැහැ. අපි නිතරම එක එක වැඩ වලට ආනන්දෙට ගියාම උන් අපිට දාන සමහර සවුත්තු, අයියලා ඉන්න එවුන්ට දාන්නෙ නැහැ...
මම දවසක් කොල්ලෙක් මට අනං මනං කියලා... උගෙන් ඇහුවා... “ වැඩියෙන් ගුටිකන්න කැමති 13 වසරෙන්ද? 11 වසරෙන්ද කියලා?“ එතකොට අයියායි, මල්ලියි දෙදෙනෙක් ඉන්නවා වගේ...නැද්ද?
තවම මම ළඟ තියෙනවා... මම අයියාටත් එක්ක එකතු කළ බොහෝ දේ... එදාට වඩා මට අද අයියා කෙනෙක්ගෙ වටිනා කම හොඳින් දැනෙනවා. .. නොයෙක් ආකාරයේ අවමාන, දුක් ගැහැට, නොසැලකීම් එනකොට අම්මාට ,අප්පච්චිට වඩා රැකවරණයක් සොයුරෙකුගෙන් ලැබෙනවා....ඒක මිල කරන්න බැහැ... පෙම්වතෙක්ට වත් ස්වාමිපුරුෂයෙක් වත් සොයුරෙකුට ළං වෙන්න වත් බැහැ. .... එහෙම කරන්න හැකි නම් එය අභියෝගයක්.. එයට හේතුව හැඟීමේ වෙනස හා සෙනෙහසේ වෙනස....සහෝදර සිහිනය ගැන මම දිගටම ලියනවා... හිතෙන හිතෙන වෙලාවට... මතක් වන මතක් වන වෙලාවට...එය මගේ හිතට සතුටක්....

නමුත් මට අමතක නොවෙනම රසවත් සිදුවීම හෙට ලියන්නම්.. 176 බසයකදි 6 වසරෙ සිදුවුණු සොඳුරු සිදුවීමක්...

10/6/11

අද ඔක්තොම්බර් 6 | දයාබර ගුරුතුමනි දීර්ඝායූ



දවස් දෙක තුනක් රතුවට දිලිසි දිලිසි හිටපු ඇන්තූරියම් මල් ටික එක පාරටම අතුරු දහන්. අල්ලපු ගෙදර නංගි එක්කලා කට්ටියම ඉස්කෝලෙ යන්න ඇති. පෑල දොර කිට්ටුව නිදන කාමරේ කවුලු දැල් අස්සෙන් පර වෙච්ච කඩුපුල් මල් වල තැවරිච්ච පිනි බිංදු ගැන ගැන හිටපු මට හිතුණා.

මට මඟ හැරුණා නෙවෙයි. .... සෑහෙන්න මතක තියන් හිටපු තරමටම පාන්දර නැගිටිද්දි හදිස්සියට අමතක වුණා. අද ඔක්තොම්බර් 6 වෙනිදා.. “ ලෝක ගුරු දිනය“

සුමාන දෙකක ඉඳලාම ලෝක ගුරු දිනයට මුළු ලෝකයම අඩු වැඩි වශයෙන් සූදානම් වෙනවා!. මව්වරුන්ගෙ දිනය, කාන්තා දිනය, ආදරවන්තයින්ගෙ දිනය වගේම, පහු ගිය ළමා දිනයටත් කාර්ය බහුල ජීවිත වලින් පැයක් දෙකක් වෙන් කරන එක බොහෝ දෙනෙකුට හරිම සාමාන්‍යයි.
අද හැම ඉස්කෝලෙකම උදේ වරුවෙ රැස්වීමක් නම් අනිවාර්යයි.. මල් වලින් සිහිවටන වලින් ගුරු මේස පිරිලා යනවා ඇති.

ඇයි බුලත් අතක් දීලා.. වඳිනවා එහෙමත් ඇති.. ගුරු දිනය එක දවසකට විතරක් සීමා කළ යුතු නැහැ ...ගුරුවරු අපේ දෙවනි මව්පියො කියලා. ලොකු ලොකු කතා පවත්වනවාත් ඇති.. එහෙම කියලා හෙටින් පස්සෙ ලබන ඔක්කොම්බර් හය වනදා වෙනකම් සියල්ල අමතක වෙලා යනවත් ඇති.

දන්නවාද? ආර්ෆිකෝ සුපිරි වෙළඳ සැලට ලොකු තොරණක් ඇවිත් “happy teacher’s Day” ... ආර්ථික වශයෙන් ගුරු දිනයත් වාණිජමය අංගයක් වෙලා.. මම නිකමට වගේ සාප්පුව ඇතුළෙ ඇවිදගෙන ගියා.. එක එක ගණන් වල විවිධ සිහිවටන.. ලීයෙන්, වීදුරුවෙන්,මැට්ටෙන්, පිත්තලෙන්.. හැඩරුවට ඔප දමපු නොයෙක් ලස්සන නිර්මාණ. හුරු පුරුදු රුවක් රාක්කයක යට තට්ටුවක තිබිලා මම පරිස්සමින් අතට ගත්තා..

දුයිෂේන් සහ අශ්වයාගෙ හිස.. රුපියල් එක්දහස් පන්සීයයි.. මගෙ ළඟට ආපු වෙළඳ සහායිකාවක් මට කතා කළා.. “ මිස් ඕකද බැලුවෙ? ඕක බිදෙන්නෙ පුලුවන්.. වීදුරු නිසා .. ඊට වඩා මේක ලස්සනයි! “ වෙන ලී අනුරුවක් මා අතට දී ඇය යන්න ගියා.. මට මුලු සුපිරි වෙළඳ සලටම ඇහෙන්න කෑ ගහන්න හිතුණා.. කවදාවත් දුයිෂේන් බිඳෙන්නෙ නැහැ කියලා.. සමහරවිට ඇය දුයි‍ෂේන් ව නොදන්නවා ඇති... ඇය ට මේ තවත් එක මිනිහෙකුගෙ හිසකුයි.. අශ්වයෙකුයි විතරක්ම වෙන්න ඇති. කියලා ඊළඟ මොහොතෙ මට හිතුණා.

මම නැවත සාප්පුවෙන් එළියට ආවා... එක එක ගණන් වල මල් කිණිති එක එක පාටින්.ළමයින්ගෙ අතින් අත යනවා .. වීදුරු අස්සෙන් වීදිය දිහා බලා ඉන්න සුබ පැතුම් පත් සාප්පු වීදුරු වලට ඇලිලා ඉන්නෙ එළියට පනින්න වගේ... ළඟට කිට්ටු වෙලා බැලුවොත් තියෙන්නෙ එකම ඉංග්‍රිසි කවි පද කිහිපයක් විතරයි..පොඩි පොඩි වෙනස් කම් නිසා එක එක ගණනට විකිණෙනවා...මියුසික් ඇහෙනවා නම් ගණන ඊට ටිකක් වැඩියි.

කල්පනාව අවසන මම කවුළුව අත ඇරලා ආයෙත් කවුළුවටම හේත්තු වුණා... ඊයෙ කියව කියව ඉඳලා එහෙම්ම මාව නිදි කරවපු ටෙට්සුකී කුරුයොනාගි ගෙ “ කවුළුව ළඟ සිඟිති දැරිය“ තවමත් ඇඳ උඩ දිග හැරිලා..

දරුවෙක්ට ඈනුමක්වත් නොහැර පැය දෙකහමාරක් සවන් දෙන්න පුළුවන් ගුරුවරයෙක්... කොබයාෂි මහත්තයා.. ඒක හුඟ දෙනෙක්ට හීනයක්.. පුදුමෙනුත් පුදුමයක්...
දරුවන් වෙනුවෙන් අත පය කඩාගෙන, ගුටි කාගෙන ,දුක් විඳපු ගුරුවරයෙක් දුයිෂේන්... ඒ මනුස්සයා මුළු ලොවටම පුදුමයක්..හීනයක්..

එහෙත් එහෙම ගුරුවරු ලොව සිටිය යුතුයි කියලා ලොවක්ම යටි හිතින් පිළිගන්නවා නමුත් තම තමන් සාධාරණීකරණය වෙන්නට මේ සියල්ල සාහිත්‍ය කෘතීන් කියලා ඉවත දමනවා..

එක දවසක් විතරක් ගුරුවරු පිදීම වැරදියි වගේම එක දවසක් වත් පුදන්න තරම් කමකට නැති ගුරුවරුත් ලෝකෙ නොඉන්නවා!... නෙවෙයි..කියන එක හැමකෙනෙක්ම මතක තියා ගන්න ඕනේ..

ගුරුවරයෙක් සිසුන් හට බොහෝ දේ ඉගැන් විය යුතුයි.. එබ්‍රහම් ලින්කන් නම් හිටපු ඇමරිකා එක්සත් ජනපද ජනපති වරයා තමන්ගෙ පුතාගෙ මුල් ගුරුතුමාට මෙන්න මෙහෙම ලිපියක් ලියනවා..ඒ ලිපිය අදටත් මුළු ලොවක් අගයන ලිපියක්....
උපුටාගැනීම...
මුල් ගුරුතුමනි,

සෑම මනුෂ්‍ය‍යෙක්ම සත්‍යවාදී හා සර්ව සාධාරණ නොවන වග,කරුණාකර මගේ පුතාට උගන්වනු මැනවි. සෑම අයහපත්, කපටි දුර්ජනයෙකු පාසාම ගුණ යහපත් වීරවරයකු ජීවත් වන බවද ඔහුට කියා දුන මැනවි.

ආත්මාර්ථකාමි දේශපාලනඥයින් යැයි හංවඩු ගෑසූවන්ගේ හදවත් තුළද රටක සුබ සිද්ධිය උදෙසා කැපවු දේශහිතෛශින් සිටින වග ඔහුට වටහා දුන මැනවි.

සෑම හතුරෙකු තුළම..තමා වෙනුවෙන්ම කැපවූ මිතුරෙක් සිටින බව වටහා දෙනු මැනවි. නොමිලේ ලැබෙන දෙයකට වඩා .. මහන්සියෙන් උපයන දේ අගනා බව ඔහුට ඒත්තු ගන්වනු මැනව. ඒ සඳහා කාලය වැය වුවත් ඒ සත්‍ය ඔහුට පහදා දුන මැනව.පරාජය විඳදරා ගැනීමටත්.. ජයග්‍රහණය නිහතමානීව බුක්ති විඳීමටත් ඔහු පුරුදු කරනු මැනව.

ඇතැමුන් තම ඊර්ෂ්‍යාවෙන් ඔහු යටපත් කරන්නටත්, ඈත් කරන්නටත් ක්‍රියා කරන අවස්ථාවන් හීදී, සන්සුන් වෙමින්, කළකිරීමට පත් නොවී සිත යටින් සිනා සෙන රහස ඔහුට හෙළි කර දුන මැනව.
තම ශක්තිය පෙන්වා මිනිසුන් බිය ගන්වන්නෝ පරාජය කිරීමට ඉතාම පහසු අය බව ඔහුට පසක් කර දුන මැනව.

පොත පතේ ඇති චමත් කාරය පෙන්වා දුන මැනව. ඉන් නොනැවතී, ගගන සරනා සියොත් කැළ ගයන ගීයක මිහිරියාවද, ඉර එළිය යට පියාඹන මීමැසි සේනාවකට, නිල් වන් කඳු බෑවුමක, මිටියාවතට නුදුරේ යාය පුරා පිපුණු මල් කිණිති, කියන්නට වෙර දරන සොඳුරතම රහසද ඔහුට සැනසිල්ලේ සිතන්නට ඉඩ හළ මැනව.

මෘදු මිනිසුන්ට,මුදු ලෙස ද දැඩි මිනිසුන්ට දැඩිවද සලකන්නට ඔහුට උගන්වනු මැනව.තමා වටේ සිටින අය කරන කියන දෙය අන්ධානුකරණයෙන් පිළි නොපැද බුද්ධිය මෙහෙයවන අයුරුද, යුතුකම් හා අයුතු කම් හඳුනාගෙන ක්‍රියා කරන්නට ශක්තිය ද ඔහුට ළඟා කර දුන මැනව.

සියල්ලන්ට සවන් දෙන්නටද, ඉන් සත්‍ය තිබෙන්නේ කොතැන කොයි අයුරින්දැයි සොයාගනීමට ඔහු ඉගෙන ගතයුතු බව, ඔහුට පහදා දුන මැනව.

සෑම දුකක් අභියස ම සිනාසෙන්නටද, කඳුළු හැලීම ලැජ්ජාවට කරුණක් නොවන බවද ඔහුට වටහා දුන මැනව. හැම දෙයකම වැරදි පමණක් සොයන්නන් ගණන් නොගැනීමටද, මිහිරි බස් පමණක් දොඩන්නන්ගෙන් ප්‍ර‍වේසම් වීමද ඉතා යෝග්‍ය බව ඔහුට උගන්වනු මැනව.

තම ගත සහ මොළයේ ශක්තිය... ලොව ඇති ඉහළම මිලට ඉහළම ඉල්ලුම් කරුට විකුණුවද, හදවතට මිලක් නියම කළ නොහැකි වග ඔහුට උගන්වනු මැනව. බොරු ඝෝෂා කරන ජනකාය මධ්‍යයේ නිශ්ශබ්ද වීමටද, තමන් සත්‍යය යැයි පිළිගන්නා දේ වෙනුවෙන් සටන් කිරීමටද ධෛර්ය අවශ්‍ය බව ඔහුට පහදා දුන මැනව.

ඔහු සුරතල් නොකළ මැනව. නමුත් ඔහුට මහත් වූ සෙනෙහස දැක්වුව මැනව.වානේ හොඳින් පන්නරය ලබන්නේ රත් කර තැලූ විට බව ඔහුට වටහා දුන මැනව. ජීවන ගමනේ.. සියලු හැඩි දැඩි රස්නයෙන් සුරක්ෂා වීමට නැවත වෙනස් කළ නොහැකි මිනිසෙක් ලෙස දියුණු වීමටද,ඉගෙනුමෙන් ලබන අත්දැකීම් වැදගත් බව ඔහුට හඟවනු මැනව.

නොඉවසිල්ලට අවැසි ධෛර්යද, නිර්භීත කමට අවැසි ඉවසීමද ඔහුට ප්‍රගුණ කරවනු මැනව.
තමා ගැන උදාර අයුරින් , උසස් අන්දමින් සිතන්නත්... ඒ ඇසුරින් තමන් උපමා කොට මිනිස් වර්ගයාටම ගරු කරන්නත්,ආදරය කරන්නත්..ඔහුට උගන්වනු මැනව. ඔබට හැකි හැම දෙයක්ම ඔහු වෙනුවෙන් කරනු මැනවි..එය අතිශය බාරදූර කාර්යයක් වග ඉඳුරාම දනිමි. නමුත් මෙය ඔබතුමා විසින් ඉටු කළහොත් මගේ දරුවා අනිවාර්යයෙන්ම පන්නරය ලබන බව පමණක් විශ්වාස කරමි.

ජය!!

ඒබ්‍රහම් ලින්කන්

උපුටා ගැනීම අවසන්..

මගේ පියාට කිසි දිනෙකත් මෙවන් ලිපියක් මගේ ගුරුවරයාට යැවීමට නොහැකි විය.යළි යළි ගුරුවරයා යන්නෙහි නියම අරුත පවා මට බොහෝ කලක් ප්‍රශ්නකාරී විය.

ගුරුවරයා මගෙන් ඉතාම දුරස් චරිතයක් බවට පත් වී තිබූ බව මට හොඳින් මතකය. (මගේ මවද ගුරුවරියක්)
ගුරුවරයා ස්ත්‍රියක් නම්.. ඇය සාරියක් හෝ ඇයගේ සංස්කෘතියට ගැළපෙන සභ්‍ය ඇඳුමකින් සැරසුනු, විනීත ලලනා පැවතුම් ඇති.. සභ්‍ය ..සුමට හා අවශ්‍ය විටක තදින් ද කතා කළ හැකි අයෙක් විය යුතුයැයි..කුඩා කල මට සිතිණි. (අම්මා ඇසුරෙන් විය හැක)

පිරිමි ගුරුවරුන් පාසල් වල නොසිටිය යුතු බවද, ඔවුහු ඉතා සැර පරුෂ, වේවැල් වලින් ළමයින්ට පහර ගසන්නට බලා සිටින.ඉතාම නපුරු... දරුවන් නිරන්තරයෙන් රිදවන....දුර්වල තැන් හී හිනා වෙන .. සෙනඟ අසල ලැජ්ජාවට පත් කරන ...කොහෙත්ම බාලිකා විද්‍යාල වලට නොගැළපෙන අය විය යුතු යැයි මම සිතුවෙමි. ( උසස්පෙළ ගුරුවරු ඇසුරෙනි)

ඒ දිනක් මා ඉදිරිපිටදීම ගුරුවරයෙක් අතින් පිරිමි ළමයෙකු තැලුම් කෑ නිසා මම බොහෝ බියට පත්වීමි..
මම කැමති විදිහේ ගුරුවරු මට සිහිනයක්ම විය.

පාසලේ දී ගුරු දිනයට නොයෙක් උත්සව සංවිධානය කෙරෙද්දි මම එම උත්සව වලට සහභාගි වීමි. එහි මිහිරක් මට නොදැනුණේ පාසල් ගුරුවරුන්ගේ සමස්ත අවධානයෙන් මා බැහැර පත් වූ චරිතයක් හෙයිනි. එකල මම මෙය හෙළි කරන්නට මඳක් ලජ්ජා වුවද, අද වන විට මේ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නවා ඇතැයි මම විශ්වාස කරමි. එහෙයින් අද දින මම සියල්ලන්ගේම අවධානයෙන් මුක්ත වූ චරිතයක් යැයි කීමෙන් මට කිසිම දුකක් උපදින්නේ නැත.

ලියන විලාසයේ සිට, කවි කියන විලාසයේ සිට, සිතීමේ විලාසයේ සිට, ඔවුහු මා සැලකුවේ යම් අංගවිකල ස්වරූපයකිනි..එයින් නිරන්තරයෙන් පීඩාවට පත් වූ නිසාදෝ මම ගුරුවරුන්ට වෛර කරන්නට පටන් ගතිමි.
මම කවියක් ලියුවොත්, එය මා ලියූ බවට පිළිගන්නට තරම් ගුරුවරු මා අවිශ්වාස කළේ මන්දැයි මම අදටත් මගෙන්ම ප්‍රශ්න කරමි...ඔවුන්ට මා නොසලකන්නට තරම් හේතු තිබුණා විය හැක.

පුංචි පන්ති වලදී කලු කැහුටු නිසාද, මැද පන්ති වල කලුම කලු නිසාද , ලොකු පන්ති වලදී කලු මහත නිසාද මගෙන් බොහෝ අවස්ථා මඟහරවන්නට ඔවුන් කටයුතු කළද අද වන විට ඉහත කී කිසිවක් නිසා මා සිතේ ඔවුන් කෙරෙහි වෛරයක් උපදින්නේ නැත.

මගෙන් බොහෝ මාර්ග අහුරා දැමූ ඔවුහූ ...මට නොපෙනෙන මාර්ග විවර කර දුන් බව පමණක් මම දනිමි.
ලෝක ගුරු දිනය දවස වෙනුවෙන් මා මේ ලිපිය ලියන්නේ ඇයි දැයි දැන් ඔබට පැනයක් ඇතැයි මම සිතමි.
දුයිෂෙන් , කොබයාෂි මහත්තයා සහ මිස්ටර් ලුවිස් යන තිදෙනාටම වඩා හොඳ ගුරුවරු ලෝකයේ ජීවත් විය හැකියැයි මම කිසිදිනකත් නොසිතීමි. නමුත් එය බොරු කිරීමට සමත් එක් ගුරුවරයෙක් පමණක් මට මගේ ජීවිත කාලය තුළ හමුවී ඇත.

ගුරුවරයා යනු ඇඳුම හෝ රූපය හෝ නොව හුදු මනුෂ්‍යත්වය දෑතින්ම පෙරටුකොට තමා දන්නා දේ ඊට වඩා සුන්දරව ලෝකයට දානය කරන්නෙකි.

මගේ ගුරුවරයා පිළිබඳව කීමට සුදුසුම පුද්ගලයා මම නොවියහැකි වුවද ඒ වෙනුවෙන් වෙන එකෙකු ඉදිරිපත් වන තුරු කල් මැරීම මම නොකරමි..එය බොහොම ගෞරවයෙන් කළ සියලු අවස්ථා හීදී මම දෝෂ දර්ශනයට හසු වුවද... අදත් මම එයම බලාපොරොත්තු වෙමි.

නිවැරැද්දෙන් වැරැද්ද හඳුනා ගන්නා සැටි ද, ලෝකයේ කපටි කම්ද, ගුණයහපත් කම්ද, එබ්‍රහම් ලින්කන්ගේ ඉහත ලිපියේ උපුටා ගැනීම පරිදි තම පුතුට ඉගැන්වීමට ඕනෑවූ සියල්ලම ද මගේ පියාගේ ලියමනක් නැතිව වුවද මට උගන්වන්නට එතුමා ගත් උත්සාහය මම කිසි දිනෙක ලගු කොට නොතකමි.
විටෙක තරවටු කරමින්ද, විටෙක බොහෝ කරුණාවෙන්ද, විටෙක රිදවමින්ද, විටෙක උපහාසයෙන්ද, විටෙක දඬුවම් කරමින්ද, විටෙක විහිලු තහලුවෙන්ද, එතුමා අපට ඉගැන්වූ හා අදටත් උගන්වන ආකාරය සූක්ෂමය.විශිෂ්ටය.සිත්ගන්නසුළුය.

අප කරන ලද බොහෝ අකටයුතුකම් මැදහත් සිතින් ඉවසමින් අප වෙනුවෙන්ම සෑහෙන දුක් උහුලමින් අප ආරක්ෂා කරන්නට හැකි වූ මා හඳුනාගත් ගුරුවරයෙක් වී නම් ඒ අපේ ගුරුවරයා ම පමණි.
අප යා යුතු මග පිළිබඳව නිශ්චිතව කිසිම බලපෑමක් කිරීමට ඔහුට කිසිවිටෙකත් වුවමනා නොවීය. ලෝකයට මෙතෙක් වැරදුණු තැන් බොහෝමයක් අපට උගන්වා, නිවැරදිව විශ්වාස කටයුතුව ලෝකය දෙස බැලීමට අපට ඉගැන්වීමට ඔහු දැරූ වෙහෙස වචන වලින් විස්තර කිරීමට මම සදාකාලිකවම අපොහොසත් වෙමි.

කාඩ්බෝඩ් වීරයන්ගෙන් සැබෑ වීරයා ආරක්ෂා කර ගත යුතුව ඇති බවද, පෙනෙන ගොදුරු සොයන්නාට වඩා නොපෙනී එන ගොදුරු සොයන්නාට අප ග්‍රහණය විය හැකි බවද, සබැඳීන් බහුතරයක් මඟ හැරුණු අධ්‍යාපන රටාවක දැනටමත් අප වල්මත් වී ඇති බවද, අනාගතයට පිය නගන වාරයක් පාසා එය දෙගුණ වන බවද, අනාගත පරපුරට සියල්ල මුල සිට ඉගැන්වීමෙන්...යළිත් ලෝකය දුවන්නංවාලේ දිවීම පසෙක තබා කල්පනා කරනු ඇති බවද, සියල්ල පිළිගැනීම පසෙක ලා සත්‍ය වෙනුවෙන් මියෙන මොහොත දක්වා තර්ක කළයුතු බවද, පිළි නොගන්නන් ඉදිරියේ නිහඬ විය යුතු බවද,ඔවුන්ට විහිලු කළයුතු බවද ගුරුවරයා අපට ඉගැන්වූ බව සාරංශ කරන්නේ ඔබේ ඉගෙනීමට එයින් පිටිවහලක් වෙතැයි මම සිතන හෙයිනි.

කිසිවෙක් කිසිම මොහොතක අත් නොහැරිය යුතු බවද, නතර වුණු ඔරලෝසුවක වුව දිනකට දෙවරක් හරි වේලාව පෙන්වන බවද ඔහු අපට ඉගැන්වූ බව මතකය.. ප්‍රායෝගික ලෝකයට පිවීසීමට ඉගෙන ගතයුතු බවද, ඉගෙනීම පමණක් කොට එය ප්‍රයෝගිකත්වයට නොගෙන යාමෙන් ලොවට කිසිඳු ඵලයක් නොලැබෙන බවද, ඉගෙනීමෙන් තොරව ක්‍රියාවට නංවන බොහෝ දේ භයානක ප්‍රතිඵල ගෙනවිත් ලොවක් විනාශ කරන බවද ඔහු අපට ඉගැන්වීය.

දැන් ඔබ පවසාවි... මේ කිසිවක් මුලින් කීවේ ඔහු නෙවී... මේ සියල්ල මහා විද්වතුන් පැවසූ දේ කියා... නමුත් එතුමා මේ දේ දැන ඉගෙන අපට පැවසූ හෙයින් අප අදහන්නේ මේ ඔහුගේ වාක්‍ය ලෙසයි.. බොහෝවිට දේව වාක්‍ය ලෙසිනි.

නීතිය ඉගෙන ගත් වුන් හේතු ප්‍රකාරව නීති කැඩුවාට කමක් නැතැයි අපට ඉගැන් වූ නිසාම අපි නිවැරදිව විය යුත්ත සොයා ගියෙමු ... එය පුදුමාකාර ඉගැන්වීම් රටාවකි..

අප කළ‍ වැරදි තරමටම ... මා කර ඇති වැරදි වැඩි විය හැක... ඒ කිසිවකට ගුරුවරයාගෙන් සමාව ඉල්වන්නට තරම් මම නුසුදුස්සෙකු බව අද මම දනිමි... නමුත් ඒ වෙනුවෙන් එතුමාගේ සදාකල් අනුකම්පාව ලැබෙනු ඇතැයි ද අපේක්ෂා කරන්නෙමි.

විරුද්ධ මානසික කැරැල්ලකට හසු වී මතවාදීමය ප්‍රකම්පනයකට හසුවූ කෙනෙක් සියල්ලෙන් මිදී ලෝකය දකින සේ අද මම ලෝකය දකිමි....

මම ටෙට්සුකී හෝ එළිසබත් ඇලන් හෝ අල්තිනායි නොවෙමි... මම දන්නා වූ අග්‍රම ඵලය බුද්ධ යන්න පමණකි.. යම් බුද්ධ සසුනක නිර්වාණය අවබෝධ කොට ගෙන අප සැනහෙන දිනකදීත් ඔබ අපගේ ගුරුවරයාම විය යුත්තේය... මම සංසාරය විශ්වාස කරමි.

මා අතින් යළි කිසි දිනෙක ගුරුවරයෙකු ගැන නොලියවේවි. මන්ද හිමාලය ගැන ලියන අතර නමුණුකුල කිසිවෙකුටත් නොපෙනෙන හෙයිනි.

ඔබට ඇති ණය ගැති බවින් මිදීමට කළ යුතු එකම දෙය ඔබට වඩා හොඳ ගුරුවරයෙක් වී සමාජයට දායාද වීම පමණක් යැයි මම තීරණය කළෙමි.. එහෙත් ගුරුතුමනි , ඔබ අභිබවන්නට මට හෝ මා වැනි කිසිවෙකුට මරණ මංචකයේදීවත් හැකීවේද? ඒ සඳහා ද එකම එක පිළිතුරකි.. නැත.

එහෙත් මම හැකි පමණ උත්සාහ කරමි. මා පතන ලද සියලු ජයග්‍රහණයන් අත් පත් කර ගත් දිනට මා ඔබ වෙතට එමි. එදිනට මම නියම ගුරුවරයා යනු කවුදැයි ලොවටම හඬඟා කියමි... එදාද අදද හෙටද....එදිනටද මට සිනාසෙන එවුන්ට හා මා වට්ටන්නට එන එවුන් කිසිවෙකුටත් මම තව දුරටත් බියනොවෙමි.

මන්ද යත් මට එදිනටත් ගුරුවරයෙක් සිටිනා බවට මම අදහන බැවිනි...

දීර්ඝායූ!!!!