මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/6/17

-277- ආදරය වෙනස්වෙච්චි හැටි

වෙනස් වෙන ලෝකයේ වෙනස් නොවෙන එකම දේ වෙනස් වීම කියලා  පුංචි කාලෙ ඉඳන්ම අපේ අත්තම්මා නිතරම කියනවා. ඒ කියමන කොයි කාලෙටත්, එක තරමටම පොදුයි කියලා අපි කවුරුත් දන්නවා. ආදරය දැන් ඉස්සර වගේ නෙවෙයි. හරිම වෙනස්. අපේ අත්තම්මලා අත්තප්පලා ආදරේ කරපු විදිහට නෙවෙයි, අම්මලා තාත්තලා ආදරේ කළේ. එයාලාගෙ ආදරේ අපේ අයියලා අක්කලා ආදරේ කරපු විදියට වඩා හරි වෙනස්. අයියලා අක්කලාගේ ආදරේට වඩා අපේ ආදරේ වෙනස්. අපේ පහු පරම්පරාවල්  ඊටත් වඩා වෙනස් විදිහට ආදරේ කරයි. ඉතින් මේ අරුම පුදුම ආදරේ භාෂාව යුගයෙන් යුගයට එක එක අපූර්වතා එක්ක ආදරේම රැගෙන ඒවි.

ලෝකය පුරාම කොයි කොයි කාලයේදීත් ප්‍රේම සම්බන්ධතා නම් නොඅඩුවම තිබිලා තියනවා. ඒත් ඒ සාමාන්‍ය ප්‍රේමවන්තයන් හුවමාරු කරපු දේවල් ගැන නම්, ඉතිහාසයේ සඳහන් වෙන්නෙ ඉතාම අල්ප වශයෙන්. ඒත් ඓතිහාසිකව වුණත් සම්භාවනීය පුද්ගලයන් ගේ ආදරයේ භාෂාවන් නම් තවමත් කෞතුක වස්තූන් විදිහට ඉතිරි වෙලා තියෙනවා. වික්ටෝරියා රැජිණ පණ මෙන් ආරක්ෂා කරපු ඇලබට් කුමාරයාගෙ පින්තූරෙ, ෂා ජහාන් රජු මුම්ටාස් මහල් නිසා ගොඩ නගපු ටජ්මහල මේ අතර හරි ප්‍රසිද්ධයි. 

ඒත් ඉස්සර යුග වල හිටපු සාමාන්‍ය ප්‍රේමවන්තයන්ට තමන්ගෙ ආදරේ ඔය තරම් විසාලෙට, ප්‍රදර්ශනය කරන්න පුළුවන් වුණාද කියලා අපි දන්නෙ නෑ. ඒත් යම් කිසි නිර්මාණයක් තමන්ගෙ ආදරය කරන අයට දෙන්න ඇති කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. සමහරවිට, පෙම් ලියුමක් වගේ දෙයක් පැපිරස්  පත්‍රයක හරි පුස් කොළයක හරි ලියලා දුන්නා කියලා. ඒත් ලිඛිත භාෂාව ඒ තරම්ම දියුණු වෙලා නොතිබ්බ යුගයක, සමහර විට, තමන්ගෙ පෙම්වතියට දඩමං ගිහින් රැගෙන ආපු මස් කැබැල්ලක් හරි, සත්ව ඇට වලින් තනපු මාලයක් හරි දුන්න ප්‍රේමවන්තයො හිටියා වෙන්න පුළුවන්. ඒ වෙනුවට ඇගෙන් මොනා ලැබෙන්න ඇතිද? සමහර විට පුංචි හම් පලඳනාවක් ලැබුණා වෙන්න පුළුවන්. ඈ විසින්ම පරණ සත්ව හමකින් ගොතාපු අපූරු තිළිණයක් ඔහුට ලැබෙන්න ඇති. 

එක්දහස් අටසිය ගණන් වල ලංකාවෙ තොරතුරු අනුව, ගොවි පෙම්වතුන්ට පෙම්වතියන්ගෙන් වැඩියෙන්ම ලැබෙන්න ඇත්තෙ අමුඩ ලේන්සු කියලා තමයි තොරතුරු දන්න අය කියන්නෙ.. ඒ වෙනුවට ඇයට ඔහුගෙන් සිදාදියෙන් ගෙනන පට කම්බායක් හරි, හෙට්ටි වෙළෙන්දන්ගෙන් හදවාගෙන එන පබලු පොටක් හරි ලැබෙන්න ඇති. එකදහස් නවසිය මුල ගණන් වල බොහෝමයක් ආදරය උදෙසා එහෙට මෙහෙට හුවමාරු වෙලා තියෙන්නෙ කෑම බීම කියලා පොත පතේ සඳහන් වෙනවා. හකුරු මුලට, කිරි හට්ටියක්, අඹ ගෙඩියකට, මල් වට්ටියක් විදිහට පෙම්වතුන් ප්‍රේමය පිළිගන්වලා තියෙනවා. ඇපල් කියන්නෙ ඉතාම සුඛෝපභෝගි කෑමක් වෙච්ච ඒ කාලෙ, ඇපල් ගෙඩියක් දෙන පෙම්වතෙක්ට විශාල තත්වයක් පෙම්වතියගෙ ගෙදරින් පවා ලැබුණා කියලයි තොරතුරු තියෙන්නෙ.

ඒත් එක්දහස් නවසිය හතළිස් ගණන් වෙනකොට, අපේ අත්තම්මලාගෙ අම්මලා නම්, රේන්ද වලින් ගොතාපු බැනියම්, රටා දාපු පැදුරු, අත පිස්නා වගේ පුංචි පුංචි අත්කම් හුවමාරු කරගන්න පටන් අරගෙන. ඒ කාලෙ තමන්ගෙ පෙම්වතා ගේන මල් මල් චීත්ත රෙද්ද තමයි පෙම්වතියො තමන්ගෙ යෙහෙළියන්ට පෙන්වලා තියෙන්නෙ.  එක්දහස් නවසිය හැට ගණන් වල තරුණ වියේ හිටපු අපේ අත්තම්මලා හුවමාරු කරගෙන තියෙන්නෙ, සාරියක්,  සරමක් , කමිසයක්, මල් මහපු ලේන්සුවක්, ගුඩි නයිට් මහපු කොට්ට උරයක් වගේ දේවල්. අපේ අම්මලාගෙ යුගය වෙන අසූ ගණන් වල අග හරියෙදිත්, මේ ගුඩ් නයිට් කොට්ට උරේ හරි ජනප්‍රියයිලු. අනිත් පැත්තෙ ගුඩ් මෝනිං කියලත් සමහර පෙම්වතියො මහනවලු. දැන් වගේ sms නොතිබ්බ ඒ කාලෙ උදෑසනට රාත්‍රියට සුබ පතන්න හොඳම විසඳුමක් විදිහටයි එහෙම කරන්න ඇත්තෙ. සිංදු කෑලි ලියපු ලියුමක්, ඔටෝග්‍රාෆ් එකක්, අතින් ඇඳපු චිත්‍රයක්, ඇය වෙනුවෙන්ම ලියූ කවියක් ඇරෙන්න අලුත් තෑගි දීමේ ක්‍රමවේදයක් නම්, අසූව දශකයෙන් හොයා ගන්න අමාරුයි. සමහර විට අවසාන අවුරුදු තුන හතර පුරා ලංකාව පුරාම පැවති, තරුණ සංහාරය, ආදර රැල්ල මකන්න බලපාන්න ඇති. ඒත් ඒ කාලෙ ඉඳන් තමයි චොක්ලට් සහ බිස්කට්  ආදරයේ සංකේතයක් වෙන්න පටන් ගත්තෙ. 

හැත්තෑ ගණන් වල නම්, පෙම්වතියකට පෙම්වතෙක්ට දෙන්න පුළුවන් හොඳම තෑග්ග හාල් කූපන් එක කියලා ඒ කාලෙ තරුණයො ලෙස ජීවත් වෙච්ච අය අදටත් කියනවා. තමන්ගෙ පෙම්වතිය කොටට අඳිනවාට අකමැති වෙච්ච පෙම්වතුන්,  කොහොම හරි රෙදි කූපන් එකක් නම්, තෑගි දෙන්න උත්සාහ කරන්න ඇති කියලා ඇත්තටම හිතන්න පුළුවන්. 

විසි එක්වැනි සියවස ආරම්භයෙ අපි ළමා කාලෙ ඉද්දි, අපේ අයියලා අක්කලාගෙ ප්‍රේමකතා වල, අපිත් හවුල් කාරයො වුණා. පුංචි පුංචි තෑගි හුවමාරු කරන්න අපිත් තැපැල් කාරයො වුණා ඔයාට මතකද? ටෙඩි බෙයාර්ලා, චොක්ලට් බෝල, රෝසමල්, ආදර සුබ පැතුම්පත් , පුංචි පුංචි වීදුරු වලින් කරපු, මැටියෙන් කරපු නිර්මාණ ඒ කාලෙ සෑහෙන සංසරණය වුණා. ඒත් අද මේ තත්වෙ ඊට වඩා ගොඩක් දියුණු වෙලා. ඒ කාලෙ තෑගි හුවමාරුවට අයියලා අක්කලාට අපිව ඕනෙ කළාට, දැන් අපිට නම් නංගිලා මල්ලිලා ඕනෙ නෑ. අපේ තෑග්ග තීරණය කළාට පස්සෙ ඒක අපිට අවශ්‍ය කෙනාට ගිහිං දෙන්න අපිට බැරි නම්, ඒකට ආයතන ඕන තරම් අද රටේ තියෙනවා. අද වෙනකොටත්, ඉස්සර තරම්ම ජනප්‍රිය චොක්ලට්, විවිධ මිල ප්‍රමාණ වලට, විවිධ රසයෙන්, විවිධ මාදිලියෙන්, විවිධ සන්නම් නාම යටතේ වෙළඳ පොළේ ඕනෙ තරම් තියෙනවා. සුබ පැතුම් පත් පවා එහෙමයි. ඉස්සර දෙකට නවන දිග හරින සුබ පැතුම් පත් වෙනුවට, අද ගීත ඇහෙන, සුවඳ දැනෙන, විවිධ වර්ණ වල ලස්සන සුබ පැතුම් පත් විවිධ හැඩ තලයෙන් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, තමන්ට අවශ්‍ය විදිහට තමන්ට වුවමනා ප්‍රමාණයෙන් තමන්ට අවශ්‍ය කෙනා වෙනුවෙන්ම සුබ පැතුම් පතක් නිර්මාණය කරලා දෙන ආයතන අද ලංකාවෙ තියනවා. දෙන්නාගෙම රූප දාපු තේ කෝප්පයක්, පිඟානක් පවා නිර්මාණය කරගන්න දැන් කාටවත් බාධාවක් නෑ. තමන්ගෙ පෙම්වතියට පෙම්වතාට පුදුමයක් දෙන්න කැමති අය, අලුත් සමාජෙ නම්, ඇයව සුඛෝපභෝගී හෝටලයක දහවල් කෑම වේලක් වෙනුවෙන් හරි, සංගීත ප්‍රසංගයක් හෝ චිත්‍රපටයක් බලන්න හරි එක්ක යන්න පුරුදු වෙලා ඉන්නවා. ඔය අතරේ රෝස මල් වලට තියෙන අගයත් කිසි අඩුවක් වෙලා නෑ.

කොහොම වුණත්, ආදරේ නිතර නිතර අලුත් වෙන්නෙ තෑගි නිසයි කියලා හිතන අයටත්, ආදරය වෙනුවෙන් සිහිවටනයක් දෙන්න කැමති අයටත්, හැම යුගයකදීම ආදරය වෙනුවෙන් සමාජය විසින්ම තෝරා දුන්නු, තෑගි හොයාගන්න බැරි කමක් නෑ. ආදරයේ භාෂාව ඒකයි. වෙනස් වුණත්, වෙනස තුළ පවතිනවා. ඒත් ආදරය උදෙසා දෙන්න පුළුවන් හොඳම තෑග්ග ආදරයයි කියලා ආදරවන්තයින්ගේ දවසෙදි මං ඔයාට සිහිපත් කරනවා. ඒ ඇයි දන්නවාද? ආදරය පිරෙන්නේ ආදරයෙන්ම විතරයි කියලා අපි හොඳටම දන්න හින්දා.. 


No comments:

Post a Comment

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.