මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/10/17

-276- රතු වෙච්ච කොළඹ සහ වැලන්ටයින් වියරුව

දැන් කොළඹ වේගයෙන් රතු වෙන්න පටන් ගන්නවා. ඒ ලැජ්ජාවකට එහෙම නෙවෙයි. ඔයාට තියෙන ආදරේ වැඩිකමට. සති දෙකකින් ළඟා වෙන වැලන්ටයින් දවස සමරන්න ඔයාට නොයෙක් අදහස් දෙන්න නුවරක්ම මේ හැටි වෙහෙසෙන්නෙ ඇයි කියලා හිතනකොටත් වෙලාවකට හරිම පුදුමයි නේද? 

අද වෙනකොට කොළඹට විතරක් නෙවෙයි ආදරවන්තයන්ගේ දිනයක් නමින් නම් කළ වැලන්ටයින් ලංකාව පුරාම අරක් අරන්. හැම වෙළඳ සල්පිලක්ම රතු පාට හදවත්, රෝසමල්, කඩදාසි එල්ලගෙන තොරොම්බොල් ලෝකයක් මවලා. පහුගිය දශක එකහමාර තුළ වේගයෙන් ජනප්‍රිය වෙච්ච මේ රැල්ල ලංකාවට කොහෙත්ම ගැළපෙන්නෙ නෑ කියලයි අපේ වැඩිහිටියො නම් කියන්නෙ. ඒත් එහෙමයි කියලා සම්පූර්ණයෙන්ම මේ සිතිවිලි වලින් මිදිලා ජීවත් වෙන්න young generation එකේ ඉන්න ඔයාට බෑ කියලා අපි හොඳටම දන්නවා. ඒ නිසාමයි young අපි තීරණය කළේ ඔයාට වැලන්ටයින් දවසෙ ආදරේ හැබෑ තේරුම හොයාගන්න පොඩි සහයෝගයක් දෙන්න. 

ආදරය කියන්නෙ මුදාහැරීමක්. ඕනෙම මුදාහැරීමක් සිදු කරන්නෙ යම් ප්‍රකාශනයක් හරහා. ප්‍රකාශනයක් කියන්නෙ එක්තරා සියුම් කලාවකට. එහෙම කතා කළොත්, අර නවය වසරෙදි අපි ගණිතය විෂයට හදන සමීකරණ විදිහට ආදරය සමානයි කලාව කියලා සරල සමීකරණයක් අපට ගොඩනගාගන්න පුළුවන්. Earth is EH without ART කියා ප්‍රසිද්ධ ඉංග්‍රිසි කියමනක් තියෙන්නෙත් මේ හින්දයි. අපිට කලාව අවශ්‍ය වුණාට අපි හැමෝම කලාකාරයො නෙවෙයි. ඒ නිසා අපේ ආදරේ  මුදාහරින්න තවත් කාගෙ හරි ප්‍රකාශනයකට එකතු වෙන්න අපිට ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. නමුත් එය කාටවත් අපිව අන්දන්න හේතුවක් නිර්මාණය කරන්න ඉඩ දෙන්නක් නොවිය යුතුයි.

සරලවම කිව්වොත්, වැලන්ටයින් කාඩ් එකක් ,මිල අධික රතු රෝසමලක්, ආදරණිය live in concert එකක්, චිත්‍රපටියක්, සරාගී ඇඟලුමක් හෝ හදවතක් බදා ගත්ත වලස් පැංචෙක් දක්වා වූ හැම දෙයක්ම වෙනත් අය විසින් පෙන්වා දුන් ආදරය ප්‍රකාශ කිරීමේ කලාවන්. අපි ට තියෙන්නෙ අපි පෙන්වන්න කැමති ආදරය මිලට ගැනීම පමණයි. ඒ හැම කෙනෙක්ම කරන්නෙ, අපේ හීනය අපටම වෙළදාම් කරන එක කියලා තේරෙන දවසෙදි අපි සෑහෙන පරක්කුයි. සමහර වෙලාවට වයසට ගිහිං. 

ඒ හින්දයි  වෙළඳ පොළ සමාජය ඇතුළෙ තරුණ තරුණියො විදිහට හැදෙන හැදෙන රැල්ලෙ ගහගෙන නොයා ඉන්න තරම් අපි බුද්ධිමත් විය යුත්තේ. නමුත් එහෙමයි කියලා මාස ගාණක් සල්ලි එකතු කරලා එක දවසක පුංචි සතුටක් වෙනුවෙන් කෙනෙක් තමන්ගෙ අභිමතේට තමන්ගෙම සල්ලි වියදම් කිරීම ගැන, අපිට වපර ඇහෙන් බලන්න බෑ. ඒ එම පුද්ගලයාගේ අයිතිය. ඒත් ඔහු හෝ ඇය ඉන්නේ කෛරාටික ‍විකුණුම් කරුවන්ගේ රූකඩයක් වෙලා නම්, ඔවුන්ට තව දුර හිතන්න point එකක් දෙන්න අපිට යුතුකමක් තියෙනවා. 

හිතන්න. මිල අධික නැවුම් රෝසමලක් සුවඳයි. හරිම ලස්සනයි. ඒත් ඒ මල උපරිම ආරක්ෂා කරගන්න පුළුවන් කාලය දවස් තුනයි. ඔයා පෙබරවාරි 14 දෙන මල 17 වෙද්දි කුණු කූඩෙක තියේවි.සමහරවිට කෙනෙක් ඒක පොතක් අස්සෙ දාලා වේලලා ජීවිත කාලෙම අරන් තියා ගනීවි කියලා ඔයා තර්ක කරයි. ඒත් ඒකෙන් ඔයාටවත් එයාටවත් වැඩක් වුණාද? නැහැ නේද? ඇයි තේරුමක් තියෙන කල්පවතින යමක් වෙනුවෙන් අපිට වියදම් කරන්න බැරි. 

ජීවිතේ හැමදෙයක්ම කරන්න ඕනෙ තේරුමක් ඇතුවම නෙවෙයි කියලා තර්කයක් ඔයාට ඇති. ආදරයේදීවත් බොළඳ වෙන්න බැරි නම්, ආදරේ වටින කමක් නැහැ කියලා ඔයාට හිතෙනවා ඇති. ඒත් ඇත්තටම හිතුවොත් මේ වැලන්ටයින් රැල්ල ඇතුළෙ ඔයා බොළද වෙන්නෙ ආදරේ ඉස්සරහ නෙවී, ප්‍රදර්ශනකාරී සමාජය ඉස්සරහ. කපටි වෙළෙන්දො ඉස්සරහ. Facebook එකේ Instagram එකේ දිගින් දිගටම පළවෙන එක එක්කෙනාගෙ Selfie වලින් පෙන්නන්න දඟලන සින්තටික් ආදර කතා ඉස්සරහ.

ඔයාට ආදරේ ප්‍රකාශ කරන්න සුන්දර විදි කොයි තරම් තියෙනවාද? ඒකත් හැම දවසකම කරන්න පුළුවන් කම තියෙද්දි, එක දවසක් වෙනුවෙන් මේ හැටි වද වෙන්නෙ මොකටද? වෛද්‍යවරුන් ඉදිරිපත් කරලා තිබෙන වාර්තා අනුව අප්‍රේල්, මාර්තු මාස වල ලංකාව ඇතුළෙ නිත්‍යානුකූල නොවන ගබ්සා වීම් වැඩි වශයෙන් සිද්ධ වෙනවා. එයට ප්‍රබලම හේතුව, මේ වැලන්ටයින් කාලෙ සිදු වන අනාරක්ෂිත ලිංගික එක්වීම් කියලයි ඔවුන් කියන්නෙ. එයින් සංස්කෘතියට හා සදාචාරයට වෙන හානිය ගැන කතා කරන්න ඕනෙ තරම් අය ඉන්නවා. ඒත් එහෙම දෙයකින් ඔබට වෙන හානිය ගැන වගකීම දරන්න වෙන්නෙ ඔබටමයි. වැලන්ටයින් රැල්ල නිසා ඇති කරන සරාගී පෙළඹවීම් දුර දිග යන්නෙ ජීවිත කාලයටම බලපාන කැළඹීම් ඉතිරි කරලා වෙන්න පුළුවන්. මේ දේවල් වලටයි ඔබ වැඩියෙන් හිත යොමන්න ඕනෙ. මේ කාලෙට අඩු මුදලට ලංකාවෙ හැමතැනම පැය ගණන් වලට කාමර විකිණෙනවා. ඔබේ ආදරේ හැඟීම් සමහර වෙලාවට තව කෙනෙක් සජීවීව CCTV එකකින් බලාගෙන ඉන්න තරමට, පස්සෙ නිල් චිත්‍රපටි වෙලා විකිණෙන තරමට දුර දිග යන්න පුළුවන් නම්, ඒකද  ආදරවන්තයින්ගේ දිනය ඔයාට ලබා දෙන ගෞරවය?

අනුන්ගෙ හීන පැකට් කරලා ඔයාට මාකට් කරද්දි, ඒ හීන අස්සෙන් ඔයාට වැඩියෙන්ම ගැළපෙන හීනෙ අරගෙන ඔයාගෙ කරගන්න එක නරක නෑ. ඒත් ආදරය කියන්නෙ එක රැයක හීනයක් නෙවෙයි. ඊට වඩා ඈතට ගිය සුන්දර බන්ධනයක්. ජීවිත කාලය පුරාවටම එක්කෙනෙක් එක්ක ඒ පිවිතුරු හැඟීම පවත්වා  ගන්න උත්සාහ කරන්න පුළුවන් නම් ඉතාම ලස්සන දෙයක්. ඒත් තොරොම්බොල් හැඟීම් එක්ක විකිණි විකිණි දඟලන්න ගියොත්, අපිට කොයි යුගයේදී වුණත් ඒ සුන්දර හැඟීම කෙටි දුරක් වත් ප්‍රේමණීයව අද්දගන්න බැරි වේවි. 

ඉතින් ඇයි තවත් බලා ඉන්නෙ. ආදරය කාගෙවත් නෙවෙයි. ඒක අයිති ඔයාට. කාටවත් ඕනෙ දේවල් කරන්න ඕනෙ නෑ. ඔයාට ඕනෙ දේ කරන්න.. ඔයා ඔයාවෙන විදිහෙ ආදරේකට කැමති නම් එයා ඇත්තටම ඔයාට ආදරෙයි. වැලන්ටයින් දවසෙදි විතරක් නෙවෙයි හැම දවසකදිම ආදරෙයි. ආදරය කියන්නෙ ගෞරවණීය දෙයක්. හෝටල් කාමරයක් අස්සෙන් හදිසියෙන් ආදරය මතුවෙන්නෙ නෑ. සරාගී යට ඇඳුමකින් පෙනෙන ශෘරංගාරාත්මක රූපයකින් ආදරය හරියට දකින්නත් බෑ. ඒක හරියටම පෙනෙන වයස  මේකමයි කියලා අපිට හරියට කියන්නත් බෑ. මිල අධික දේවල් රැසක් දුන්න පලියට කෙනෙක් තව කෙනෙක්ට ඇත්තටම කාට හරි ආදරෙයිද කියලා කාටවත්ම තේරුම් ගන්නත් බෑ. ඔයාට ඇත්තටම ආදරය කරන කෙනා, ඒ ආදරේ කවදාවත්ම කියයිද කියලාවත් ඔයා දන්නෙ නෑ. වැලන්ටයින් කියන්නෙ එක දවසක් විතරයි. හැම දවසකම ආදරය පෙන්වන්න උත්සාහ කරන්න. අපි මැරෙන මිනිස්සු. ආදරේ කරන්න හෝ ආදරේ කියන්න බය වෙන්න ඕනෙ නෑ. ඒත් ආදරය නිසා කවදාවත් විකිණෙන්න එපා. ඔයාව යම් ආදරයක් විසින් විකුණනවා නම්, ඒ ගැනත් කල්පනා කරන්න වැලන්ටයින් දවසම යොදාගත්තාට කමක් නෑ. අවදියෙන් ඉන්න.ජීවිතේ ඇතුළෙත්, ආදරේ ඇතුළෙත් පෙරළි කරන දක්ෂයෙක් වෙන්න.

1 comment:

  1. හ්ම්ම්...
    කතාව නම් සහතික ඇත්ත..
    අපේ කොල්ලෝ කෙල්ලෝ කී දාහක් නම් මේ විකාර වැලන්ටයින් මගුල හින්දා තමුන්ගේ ජීවිත විනාස කරගන්නවා ද? කාලකන්ණි කරගන්නවාද ?

    ලිපිය නම් බොහොම කාලෝචිතයි කියලා හිතෙනවා..

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.