3/8/17

-278- හයිය කෙල්ලෙක් වෙන්න

මේ ළඟදි ඇඳුම් කීපයක් ගන්න සාප්පු කිහිපයකම වගේ ඇවිදින්න මට සිද්ධ වුණා. ඒ වෙලාවෙදි මං දැකපු දෙයක් තමයි කාන්තා ඇඳුම් වලට අනවශ්‍ය තරමට මිශ්‍ර වෙලා තියෙන රෝස පාට. ඇඳුම් වලට විතරක් නෙවෙයි. බොහෝ කාන්තා භාණ්ඩ වල මේ ගතිය හැම වෙලාවෙම දකින්න ලැබෙනවා. සමාජය විසින් කාන්තාව එක්ක රෝස වර්ණය කියන සංකේතය එකට ගළපලා අනාදිමත් කාලයක ඉඳලා නිර්මාණ කරන්න පෙළඹිලා.  ඒක කවුරුත් වෙනස් කරන්නෙත් නෑ. ඒකට කවුරුත් විරුද්ධ වෙන්නෙත් නෑ. ගැහැණු පාවිච්චි කරන දේවල් රෝස පාටයි කියලා, ආච්චිගෙන් අම්මටත්, අම්මාගෙන් දුවටත් පරම්පරාවෙන් පරම්පරාවට නිහඬවම සන්නිවේදනය කරලා ඉවරයි. තවත් සෑහෙන්න කාලයකට ගැහැණු අයගෙ සුවඳ විලවුන්, උපන් දින සුබ පැතුම්, සුවඳ සබන්, රාක්ක, කොට්ට, හැන්ඩ් බෑග්, දිනපොත් කවර, ෆෝන් පවුචර් පවා වැඩි හරියක් රෝස පාට වෙලා තියේවි.. 

මේ සතිය ඇතුළෙ ලෝකයේ කාන්තාවන් බලගැන්වීම ගැන නිතරම කතා වෙනවා.කාන්තා දිනය තියෙන හින්දා. වැලන්ටයින් වගේම ඒකෙත් ඉස්ටයිල් එකක් නැතිවම නෙවෙයි. ඒත් ඉතිං එහෙමයි කියලා මේ වගේ මාතෘකාවක් ඈවර වෙන්නෙ දෙන්න පුළුවන්ද.  කෙල්ලෙක් විදිහට, මටත් හිතුණා කාලෙක පටන් හිතේ තියෙන දේවල් වලින් ටිකක්  ඔයත් එක්ක බෙදා හදාගන්න. හැබැයි මේ ලිපිය ලියන්නෙ අපි දෙගොල්ලන්ටමයි. ඒ කියන්නෙ, ගැහැණුන්ටයි කියලා නම් කරපු දවස වෙනුවෙන් ගැහැණු පිරිමි දෙගොල්ලන්ටමයි. 

එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් යම් පුද්ගල කොට්ඨාසයක් උදෙසා දිනයක් නියම කරන්නෙ, ඔවුන් සම්බන්ධව සමාජයට හෝ සමාජයෙන් ඔවුන්ට හෝ ගැටලුවක් තියෙන නිසයි. කාන්තා ජීවිතේ මෙච්චරට ගැටලුකාරීද? නැත්තම් කාන්තාව විසින්ම, කාන්තාවෝ ගැටලු වලට අතහැරලාද කියලා කල්පනා කරලා බලන එක වටිනවා. අපි පුංචි කාලෙ ඉඳං ඉතිහාසෙ ඉගෙන ගන්නවානෙ. ලෝකයේ දේශපාලනය සහ එය විචලනය වුණ විදිහ කළා මතක ඇතිනෙ. රටවල් නිර්මාණය වෙනවා. ජනගහණය සමාජයක් හදා ගන්නවා. සමාජය විසින් සංස්කෘතිය නිර්මාණය කරනවා. මේ තමයි සියල්ල කෙටි කළාම එන මූලික හරය. හැබැයි මතක තියා ගන්න මේ හැම නිර්මාණ කාරියක් ඇතුළෙදිම ගැහැණියට කවදාවත් පින්සල මුණ ගැහෙන්නෙ නෑ. ඈ තමා දියසායම. අඳින්නෙ පිරිමියා. ඇයයි සිතුවම. ඒ කියන්නෙ ඇය සංස්කෘතියේ පටන් ඉතිහාසයම දරා සිටිනවා කියන එක.

ලංකාව ගැන කියද්දි හමුවෙන මූලිකම ඉතිහාස පොත වෙන මහා වංශෙ කියවපු දාට, ඔබට මුණ ගැහෙයි සිංහලේ රාජාවලිය හරිගැස්සුවෙ ගැහැණු බව. ඇත්ත ඒකයි. ඒ නිසාමයි මැක්සිම් ගෝර්කි, අම්මයි ඉර එළියයි නැත්තං ලෝකය පවතින්නෙ නෑ කියලා කිව්වෙ.

ගැහැණු අයට සමතැන දෙන්න කියලා නානාප්‍රකාර කාන්තා සංවිධාන කෑ මොර දෙන යුගයක් වුණත්, සමතැන කිසිම කාන්තාවකට ඒ තරම් ඕනෙ කරන්නෙ නෑ. අපිට අවශ්‍ය දේ ලබන්න තරම් නිදහසක්, රැකවරණයක්  ලැබෙනවා නම්, ඒ හොඳටම ප්‍රමාණවත්. කෙටියෙන්ම, ඕනෙ කරන්නෙ පුංචි බලගැන්වීමක් සහ ශක්තියක් පමණයි. කෙල්ලෙක් පොඩි කාලෙ ඉඳන් ලෝකෙට බය නැති වෙන්න ඕනෙ. නර්සරියෙදි, හරි හරියට වේදිකා උඩ නටන කතා පවත්වන ගෑණු ළමයි, වැඩිවියට පත් වුණාට පස්සෙ ඩෙනිමක් ඇඳං එළියට බහින්න ලැජ්ජා තරමට සංවේදී වෙන මේ කොළඹ නගරෙ ඇතුළෙම මං දැකලා තියෙනවා කිව්වොත්, ඔයා පුදුම වෙයි.

තමන්ට ගැළපෙන විලාසිතාවක් තෝරාගන්න කෙල්ලකට නිදහසක් දෙන එකේ වරද මොකක්ද? ඇයි හැම වෙලාවෙම, වැඩිහිටි කාන්තාවන් සහ සමස්ත පුරුෂ සමාජයම තරුණ ගෑණු ළමයින්ගෙ විලාසිතා පාලනය කරන්න ඔච්චර උත්සාහ කරන්නෙ? වැඩිහිටි කාන්තාවො නම් එක අතකට, තමන් නොලද සතුට ගැන තියෙන ඉරිසියාවයත්, පුරුෂ සමාජයට තියෙන බියටත් ඇතැම් විලාසිතා තරුණ ගෑණු ළමයින්ගෙන් පාලනය කරවනවා කියලා හිතන්න පුළුවන්. ඒත් පුරුෂයන් එහෙම කරන්නෙ, තමන්ගෙ පරම්පරාව ගැනම තියෙන අවිශ්වාසෙ නිසයි. අනෙක් කාරණාව ලිංගික ඉරිසියාව. ඒත් මේ හැම කාරණාවකින්ම තැලෙන්නෙ අහිංසක තරුණ කෙල්ලකගේ ස්වාධීනත්වය. ඇය වැඩිහිටියෙක් වුණ දවසක, තව තරුණියක් ඒ අහිංසක ආශාවෙන් පාලනය කිරීම නොවැලැක්විය හැකි වෙන්නෙත් අන්න ඒ නිසාමයි. 

හැම දෙයක් වගේම, සතුට කියන්නෙත් රවුමක්. තමන් ලබන දේ තමයි තමන් අනෙකාට දෙන්නෙ. කෙල්ලෙක්ට ආසා කරන කෑමක් කන්න, විඳින්න ආසා නම්, තමන් අතේ සල්ලි තියෙනවා නම්, ඇයි තනියම කෑම කඩයකට යන්න බැරි. ඇයි නිදහසේ ඉඳගෙන කන්න බැරි. හුඟක් ගෑණු ළමයි පෙම්වතෙක් ගෙ සැමියෙක්ගෙ පිළිසරණ හොයන්නෙ, තමන් කැමති තැන් වලට තනියට එක්ක යන්න කියලා මං කිව්වොත් කලබල වෙන්න එපා. කුඩා කාලෙ ඉඳලාම යැපෙන්නියක් විදිහට දීන මනසකට පුරුදු කරපු නිසා, ඇය බයයි තනිවම සමාජයකට මුහුණ දෙන්න. මිනිස්සුන්ට මුහු වෙන්න. අනාරක්ෂිත නැතත්, අනාරක්ෂිතය කියන හැඟීමෙන් කෙනෙක් ගිලුණොත් එයාගෙ ආරක්ෂාව ගැන වගබලා ගන්න කාටවත් බෑ. 

යකෙක්ටවත් බය නැති කෙල්ලෙක් වෙන්න.  ඔයාගෙ බිල් ඔයා ගෙවාගන්න තරමට ක්‍රය ශක්තියකුත්, ඔයාට යන්න ආසා තැන්  ගවේෂණය කරගන්න තරමට සිහි නුවණකුත් හදා ගන්න. ඔයාගෙ ඉලක්ක තීරණය කරන්න. ඒවාට ළං වෙන්න. කවුරුවත් අත දෙනතරු බලා ඉන්න එපා. ඔයාගෙ අවශ්‍යතාවය ඔයා ඔවුන්ගෙන් ඉල්ලන්න. සටන් කරන්න. දිනන තෙක් අත් නොහැර ඉන්න. හිතුවක්කාර වීම ගැනම නෙවෙයි මේ කියන්නෙ. ඒත් ඔයා කැමති දේට, සම්ප්‍රදායිකව, පාරම්පාරිකව හෝ අහේතුකව කෙනෙක් අකමැති වෙනවා නම්, ඔයාට එ්කට සහේතුක හේතුවක් ඉල්ලා සිටීමට අයිතිය තියෙනවානෙ. හැබැයි මේ හැම සෙල්ලමක්ම කරන්න පුළුවන්. ඔයා ස්වාධීන නම් විතරයි. ආදරය විවාහය වගේ සංඝට්ඨන ඇතුළෙ කවදාවත් තමන්ගෙ ආදයම් මාර්ගය අතහරින්න එපා. බැංකු ගිණුම අතඅරින්නත් එපා. හයිය හත්තිය තියෙන ලස්සන කෙල්ලන්ට හැම දිනයක්ම සුබ වෙන්නෙ අන්න එහෙමයි.


3 comments:

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.