මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/25/13

-226- නයිටිංගේල් කිරිල්ලියගෙ කතන්දරය


ඉර හැන්දෑවට මූහුදු පතුලින් අරගෙන බටහිර අහසට විසි කරන වර්ණාවලියෙ ලස්සනම පාට රෝස පාට කියලා පුංචි නයිටිංගේල් කිරිල්ලිය දැනගෙන හිටියා. ඒ නිසාම හරිත තුරු මුදුන් වලින් මිදිලා හැම හැන්දෑවකම අහස බලන්න ඇය වෙරළ සීමාවට එනවා. 

නයිටිංගේල් කිරිල්ලි, ජීවිතේ පුරාවටම බලාපොරොත්තුවෙන් හිටියෙ, පපුවට රෝස කටුවක් ඇනිලා සිදුවෙන අගේ වේදනාකාරී මරණය ගැන. ඒ නිසාම හැම වෙලාවකම රෝස මල් පදුරු මඟ හරින්නත් තරුණ ශිෂ්‍යයන් සහ ඔවුන්ගේ හිත ගිය පෙම්වතියන් සිටින අහලකටවත් නොයන්නත් ඇය කුඩා කල සිට තීරණය කරලා තිබුණා. 




ඒත් ආදරයක් නැතිව ඉන්න නයිටිංගේල් කිරිල්ලියටත් පුළුවන් සීමාවක් තියෙනවා. ඉර කැරකෙන කැරකෙන වාරයක් වාරයක් ගනණෙ අඩුවෙන්නෙ, ඇගේ ඉවසීම බව ඇය හොඳින්ම දැනගෙන හිටියා.

ඉතින් දවසක් තුරු මුදුනක් ළඟින් පියාඹගෙන යනකොට, කිරිල්ලිය දුටුවා, තම සුරූපිණිය හැර දමා ගිය දුකින් හඬා වැලපෙන විරූපී රාක්ෂයෙක්ව.  

මේ වෙලාවෙ පුංචි නයිටිංගේල්ට කාරණා දෙකක් නිසා පුදුම හිතුණා. රාක්ෂයන් ට අඬන්න පුළුවන් කියලා ඇය කවදාවත් දැනගෙන හිටියෙ නැහැ. මෙතෙක් වෙලා මේ භයානක රාක්ෂයා ළඟ සුරූපිණියක් හිටියෙ කොහොමද කියලත් ඇය හිතා ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ..

නයිටිංගේල් හැමදාම අහලා තිබුණෙ, කතන්දර පොත් වල ඉන්න  ලස්සන තරුණියන් සහ කතන්දර පොත් වල ඉන්න  කඩවසම් කුමාරවරුන්ට පමණයි ආදරේ දැනෙන්නෙ කියලා. අනික කුමාරිකාවන් පැහැරගෙන යන රාක්ෂයො ගැන මිසක් ඔවුන්ට ආදරය කරන රාක්ෂයො ගැන ඈ දැනගෙන හිටියෙ නෑ.

ඒ නිසාම ඇයට විරූපී රාක්ෂයා ගැන හරියට පුදුම හිතුණා. නැති වුණ රූමතිය හොයන්න, රාක්ෂයාට උදව් කරන්න ඇත්නම් කියලා කිරිලිලියට හදිස්සියෙම හිතුණා. රූමතිය පිළිබඳව රාක්ෂයා විස්සෝප වෙන හැටි දැක්කාම නයිටිංගේල් කිරිල්ලියට ටිකෙන් ටික මේ රාක්ෂයා ගැන ප්‍රේමයක් උපන්නා. 

ඉර බහින තුරු ආයෙත් නගින තුරු රාක්ෂයාට පුංචි නයිටිංගේල් ප්‍රේම කළා.

රතු රෝස මලක් දුන්නොත් හැර ගිය රූමතිය නැවත හාද වේවි කියලා, නොහිතූ මොහොතක ඔහුගෙ මුවින් පිටවෙන තුරුම, නයිටිංගේල් කිරිල්ලිය ඔහුට ප්‍රේම කළා.


ඉර හිරිමාවට මූහුදු පතුලින් අරගෙන නැගෙනහිර අහසට විසි කරන වර්ණාවලියෙත් ලස්සනම පාට රෝස පාට කියලා පුංචි නයිටිංගේල් කිරිල්ලිය හොඳටම දන්න නිසා,සුරූපි වුණත් විරූපි වුණත්, කුමාරයා වුණත් දුෂ්ටයා වුණත්  හැම කතන්දරයක්ම එකම විදිහට අවසාන කරන එක පිරිමි ගතිය කියලාත් තේරුම් ගන්න  පුංචි නයිටිංගෙල් කිරිල්ලියට වැඩි වෙලාවක් ගියෙ නෑ.


13 comments:

  1. බොගේ ඇදුම වෙනස් කරලා නේද...හරිම හැඩයි දැන් නම්..රාක්ෂයාට ප්‍රේම කල නයිටිංගේල්...ඇත්තටම අලුත් ආකෘතියක කථාවක්...

    ReplyDelete
    Replies
    1. අලුත් ඇඳුම් ඔක්කොම ගලවලා... පරණ රෙද්දකින් අලුත් ඇඳුමක් මහලා ඇඳ ගත්තා.. නෙරංජි කොයිතරම් වෙන නම් ගන්න හැදුවත්, රෝස වලාකුළු කියන්නෙ මගෙ ID එක. පරණම ID එක

      Delete
  2. වෙනස් විදියේ කතාවක් අක්කෝ. අන්න පොත් වල කතාවට වගේ ඔන්න මම මෙකටත් කැමති. ^-^

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියො

      Delete
    2. බොලා මොකද දැන් පේන්න නැත්තෙ මදාරො ?

      Delete
  3. අපි විරුද්දයි එකම විදිහට හැම පිරිමියම කතාව ඉවරයක් කරන්නෑ හරිය.... එතකොට අර බබායි යකින්න ශොක් ඇති නේද...මොනා උනත් කතා ස්වරූපයේ ගතියක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. බබායි යකින්න එන්නෙ වසිලිස්සාගෙ කතන්දරේ නේ.. ඒක මීට වඩා වෙනස්නෙ

      Delete
  4. නයිටිංගේල් කිරිල්ලියගෙ කතාව මරු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චින්තක

      Delete
  5. එහෙම තේරුම් ගත්ත එකත් ලොකු දෙයක්. නැත්නම් තවත් බලාපොරොත්තු තියන් ඉන්නවනේ...

    ReplyDelete
  6. නයිටිංගේල් කියන්නෙ මොක්කුන්ටද? අහස් මල වාගෙ මෙව්වා එකක්ද...

    හා අපි වෙනස් කරන්න එපයි කියද්දි කොරේ... එක එකාගෙ කිවුම් අහලා වෙනස් කරලා ආයෙත් පරන එකටම ඇවිත්.. :D

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.