
අහස එක් වරම අඳුරු වුණා.. කවුළුව ළගින් අහස දිහා බලාගෙන හිටපු මම පොඩ්ඩක් මෑත් වුණා.. අකුණක් කියන්නෙ ඊළඟට පැමිණිය හැකි නිමිත්ත.. මම විදුලියට බය නැතත් ගෙරවිල්ලට බයයි හරි පුදුම විදිහට.. මීට අවුරුදු දහ හතරකට උඩදිත්..
අඳුර ඇස් ඉස්සරහ විකාර හිතිවිලි හිතට අරන් එන්න පටන් ගත්තා.. තවම හතරයි. මම විදුලි බුබුල දැල්වුවා.. යාබද ගෙදර පොඩි සද්දයක් ඇහුණා.. නිතරම සද්ද ඇහෙන්නෙ ඒ නිවසෙ අයියෙක් සහ නංගියෙක් හිටිය නිසා.. එය එතරම් ගණන් ගතයුතු නැහැ...
මම පොතක් අතට ගත්තා.. එතකොට මට පොත් රාක්කයක් තිබ්බෙ නැහැ.. මංචි මාරි පෙට්ටියක තමා මගේ කතන්දර පොත් එක්කොම තිබ්බෙ.. මම එතකොට දෙක වසරෙ. .. පොත් පෙට්ටිය අම්මා රෑට අයින් කරනතුරුම තිබුණෙ ඇඳ උඩ.. පෙට්ටියෙ පොත් තිස් හතරක් තිබ්බා.
සමහර දාට මධුක එනවා පොතක් ඉල්ලන් යන්න කියවන්න.. අල්ලපු පන්තියෙ හිටියත්, අපේ අල්ලපු ගෙදරම හිටියත් මධුක ට පොත් දෙන්න මම අකමැතියි. ඔහු මගෙ වයසෙ.. මම ඔහුට ඉරිසියා කළේ ඔහුගෙ නංගි නිසා. මම කැමති වුණේ නැහැ.. ඒ දවස් වල ( සමහර විට අදටත් ) මට නැති සෙනෙහසක් අනෙක් අයට ලැබෙනවාට.. මට පොඩිකාලෙ ඉඳන් අයියා කෙනෙක්ගෙ වුවමනාව තිබ්බා.. ඇය මට වඩා පොහොසත්.. මම අවුරුදු 3ක වයසේ සිටි මධුමිණි ට මගේ ඉරිසියාව මුදා හරින්නෙ මධුක හරහා..
“නංගි පොත් ඉරන නිසා.. පොත් දෙන්න බැහැ".. මම ඔහුට කියනවා.. මම අපේක්ෂා කළා. එයින් නංගි ගැන ඔහුට තරහක් ඇති වෙයි කියලා.. එය සිදුවුණාද නැද්ද කියලා බලන්නට තරම් ඒ වයසෙදි මට හැකියාවක් නැතත්...
ටික ටික දවස කලුවර වුණා.. විදුලි, ගෙරවිලි එක්ක අහස පොළව බදාගත්ත වැහිකෝඩෙන් සෙසු සද්ද මැකිලා ගියා.. මහ ගොඩක් රාජකාරි නැති සිඟිති ජීවිතේට ඒ දවස් වල ඉක්මනින් රෑ වෙනවා.
විලාප සද්දෙකින් වත් ඇහැරෙන්නෙ නැති එකම හීනෙක නිදා හිටිය මම අනපේක්ෂිත කම්පනයකින් ඇහැරුණා.. හැර දමා ඇති ජනේලයෙන් එන ඉර කීතු කීතු සිමෙන්ති පොළවෙ රටා මවන්න පටන් ගත්තත්, කාමරයෙන් පිටත මිදුලේ එහා මෙහා ගිය සෙවණැලි ඊට බාධා කළා..
මම පෑල දොරින් උයන කුස්සියට ගියා.. අම්මා නැහැ. වට පිට බැලුවා.. කිරි අම්මා පැමිණ මා වඩා ගත්තා..
“පොඩි දරුවාව දාලා කොහෙද ළමයො යන්නෙ? දැන් මේ පේන දකින දේවල් මදිද?”
මම කිරි අම්මාගෙ අතින් අම්මාගෙ අතට මාරු වීමි.සිදුවී ඇත්තේ කුමක්දැයි විමසා දැන ගැනීමට තරම් මට එකල බුද්ධියක් විය.
“මධූ නංගි නැති වෙලා පුතේ”
එය ඇසූ මොහොතේ මම දුක් විණිද? සතුටු විණිදැයි නොදන්නා නමුදු මට නැතී වීම යන්නෙන් අර්ථ දෙකක් ගම්‍ය විය. මැරිලාද? හැංගිලාද? මම වැඩිමනත් අපේක්ෂා කළේ ඇය මියගිය බව අසන්නට හෙයින් ම මම පළවන පැනය පමණක් මව අභිමුව තැබීමි.
“නැහැ පුතේ හැම තැනම හොයනවා.. බිල්ලො අරන් ගිහින්”
එදින මා පාසල් නොගිය බව මතකය. උදෑසන එකොළහට පමණ අසල කැලෑ රොදක නිදා සිටියදි ඇයව සොයාගනු ලැබිණ. බිල්ලන් අතින් ඇය සිහිරී ඇති බවද.. ඇය බියවී ඇති බවද අම්මා මට කීවාය.
බිල්ලා කවුද කියා දැන ගත යුතු මය. මම වැඩිහිටියන් ගේ කතා වලින් යමක් දැන ගැනීමට උත්සා කළෙමි.
“ ළමයා නිදාගන්නෙ ජනේලෙ අයිනෙ.. ග්‍රිල් එකක් වත් නැහැනෙ”
“ ඔය මිනිහා වැස්ස වෙලේ තාත්තා එක්ක එකට බිබී ඉඳලානෙ”
“ලොකු කොල්ලාට වත් ඇහැරිලා නැහැ. ඒකනෙ පුදුමෙ”
එවැනි දෙබස් වලින් මා වටහාගත්තේ බිල්ලා බොහෝ හිත මිතුරෙකුව සිටි වගත් , කවුළුවෙන් පැමිණෙන්නෙකු වගත්ය.. සිදුවූයේ කමක්දැයි දන ගන්නටවත් මධුමිණි සනීප වනතෙක් සිටිය යුතුය. ඇය රෝහලෙන් ගෙදර ගෙන ඒමට පෙර .. ගෙදර සියලු දෙනා සියලු දෑ ලොරියක දමාගෙන කොහේදෝ ගිය බවත්, යළි ආසන්නයට නොආ බවත් මතකය.
මගේ ඇඳද තිබුණේ කවුළුවට ඉතා ආසන්න යේය. පසුදා පටන් අද වනතුරුම.. මම මගේ ඇඳ මත ඇති මදුරු දැල උඩින් ගණකම් රෙද්දක් අතුරමි... මදුරු දැලම රෙද්දකින් වසා ගන්නේ ඉන් පසු කාටවත් මා නොපෙනෙතැයි මගේ හිතේ ඇති ගුප්ත විශ්වාසය නිසාය.
අද වන විට මම සිදුවී ඇති සියල්ලත්, සිදුවන සියල්ලත් දන්නා නමුත් වැඩිවි පත් වූ පසු අනියත සමහර බිය ජනක දේ තුරන් වී ඇති නමුත්, මම මා සකසා ගත් ඒ අඳුරු ගුහාවට ප්‍රිය කරමි.
(නම්, ගම් කල්පිතය)




