මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/28/17

-275 - තාරුණ්‍ය වීදියේ ගොදුරක් නොවන්නට.

අපේ young ‍generation එක ඒ තරම්ම සැලකිළිමත් නොවන, එහෙත් දැනගෙන සිටිය යුතුම තේමාවන් ගැන කතා කරන්න අපි අමතක කරන්නෙ නෑ. අදත් අපි සූදානම් වෙන්නෙ ඒ වගේ වැඩකට. රැකියාවට යන්න, කැම්පස් යන්න, ඉස්කෝලෙ යන්න හෝ ටියුෂන් යන්න ආදී එකී මෙකී නොකී ඕනෑම කටයුත්තකට මහ මඟට බහින්න වෙන ඔබට උදෑසන පටන් රාත්‍රිය වනතුරු විවිධ වෘත්තිකයන් හමුවෙනවා. වෛද්‍යවරු, හෙදියො, ගුරුවරු, ව්‍යාපාරිකයො, රියදුරුවරු, කොන්දොස්තරවරු, කම්කරුවන් ආදී ලෙස අපට මේ සියලු වෘත්තිකයන් සඳහා නමක් ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අපි යොදාගනු ලබන්නේ ඔවුන් සමාජයට ලබාදෙන ශ්‍රමයේ ස්වරූපයයි. බොහොම මෑත කාලයක් වෙනතුරු සංස්කෘතික කාරණා නිසා ග්‍රාම්‍ය ව්‍යවහාරයේ හඳුන්වා දීම් වලින් පීඩාවට පත් වුණත්, අද වන විට පිළිගත් හඳුන්වදීමක් ලබන වෘත්තිකයන් කොටසකුත් අපේ රටේ ඉන්නවා. ඔවුන් තමයි ලිංගික ශ්‍රම සපයන්නන් සහ සපයන්නියන්. ඔවුන් ගැන පුවත් පත් වල පිටු ඇති තරමට පිරෙනවා. නමුත් අද අපි කතා කරන්න සූදානම් වන්නෙ ඉන් මඳක් ඔබ්බට පියවරක් තබමින්. කොහොමද මේ ලිංගික ශ්‍රම සපයන්නෝ ලංකාවේ තාරුණ්‍යට බලපාන්නේ යන්න පිලිබඳව.

බොහෝ අවස්ථා වලදි මෙම ලිංගික ශ්‍රම සපයන්නන් තමන්ගෙ වෘත්තියට පැමිණෙන්නෙ සිය කැමැත්තෙන් නෙවෙයි. ඉතාම අසරණ තත්වයට පත් වූ විටක හෝ අහම්බයකින් හෝ මෙම රැකියාව ඔවුන් තෝරාගත්තා වෙන්න පුළුවන්. ගමක සිට නුහුරු නුපුරුදු කොළඹට රැකියාවකට එන තරුණියක්, නාඳුනන පිරිමි ඇසුරක් දුරදිග යෑමෙන් මෙවන් තත්වයකට පත්වෙන්න පුළුවන්. දුප්පත්කම විසින්, අධ්‍යාපන මට්ටම පහළ තිබීමෙන්, රැකියාවක් නැති කම නිසා මෙවැන්නකට පත්වෙන්න පුළුවන්. රැවටීමක් නිසා මෙවන් තත්වයකට පත්වුණා වෙන්නත් පුළුවන්. අධ්‍යාපන වාසි වැඩියෙන් ලබා ගැනීමේ අල්ලසක් ලෙස මෙය ආරම්භ වුණා වෙන්නත් පුළුවන්. ඒ ආරම්භය කුමක් වුණත්, ඉන් සමාජයට වන බලපෑම කතාබහට ලක්නොකර බැහැ.

ශ්‍රී ලංකාව තුළ ලිංගික ශ්‍රම සපයන්නන් ප්‍රධාන කොටස් තුනකින් අපට හමුවෙනවා. ඉන් එක් වර්ගයක් සුපිරි වර්ගයේ ලිංගික ශ්‍රම සපයන්නියන්. මොවුන් මෙම වෘත්තිය සඳහා යෙදෙන්නෙ අර්ධකාලීනව. ඔවුන් යම් ආයතනයක රැකියාව කරමින්, ඒ අතරතුර සිය සේවාදායකයන් සමඟ කටයුතු සිදුකරනවා. ඔවුන් සම්බන්ධ කරගැනීම සඳහා වෙහෙසක් දැරිය යුතු අතර, වගකීම් සහගත බවක් පාර්ශව දෙක අතරම රැඳී තිබෙනවා. සෞඛ්‍ය මෙන්ම පිරිසිදු කම අතින් ඔවුන් පිළිබඳව ඔවුන්ගේ තැරැව්කරුවන් රෙකමදාරු කරනවා. ඔවුන් ඉතා ඉහළ මිලක් අය කරන අතර, ඔවුන් සපයන තැරැව්කරුවන් ද අතරමැද සිට විශාල ආදායම් ලබනවා. මොවුන් සිය සමාජ ජීවිතය කිසිම ගැටලුවකින් තොරව ගෙවා දමනවා. සාමාන්‍ය ලිංගික ශ්‍රම සපයන්නියන් අයත් වන්නේ දෙවැනි කොටසට. ඔවුන් තැරැව්කරුවන් සමඟ සිය සේවාදාකයා හමුවට ගොස් සිය කාර්යය ඉටුකර මුදල් ලබාගන්නවා. මෙවන් කාන්තාවන් සඳහා පැයකට දෙකකට යම් මුදලක් අය කර කාමර ලබාදීමට කැමති හිමිකරුවන් බස්නාහිර පළාත තුළ බොහෝ සෙයින් සිටිනවා. මේ අතර අපට හමුවෙන තෙවන කොටස වීදි ලිංගික ශ්‍රම සපයන්නියන්. ඔවුන් මේ දෙපාර්ශවයටම වඩා වෙනස්. ඔවුන් සිටින්නෙ වීදියේ වාගෙම සේවාදායකයා හමුවන්නෙත් වීදියෙන්මයි.

වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ඔබ නිරන්තරයෙන් දැක ඇති. එක් එක් කාල වලදී ඔවුන් සෙසු කාන්තාවන් අතරින් තමන් විශේෂ කර හඳුන්වාදීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරනවා. එක් අතක සුළැඟිල්ලට පමණක් තද රතු නිය ආලේපන භාවිතා කිරීම, එක් පයකට සළඹක් පැළදීම, කුඩය පටියෙන් පහලට එල්ලා කරකවමින් සිටීම, විශාල වශයෙන් පුයර ගෑම මින් කිහිපයක්. අද ඔවුන් තමන් පිළිබඳව සේවාදායකයන්ට සන්නිවේදනය කරන්නේ විනිවිද පෙනෙන හෝ යට ඇඳුම් කැපී පෙනෙන ආකාරයේ ඇඳුම් වලින්. මේ හේතුව නිසාම වර්තමානයේ තරුණියන් සිය ඇඳුම් තෝරා ගනිද්දි මඳක් සූක්ෂ්ම විය යුතු වෙනවා. එවන් ඇඳුම් ඇඳ වීදි වල සිටීම නිසා නිසා ලිංගික ශ්‍රම සපයන්නියන් සොයා එන සේවා දායකයන්ගෙන් සාමාන්‍ය කාන්තාවන් පවා අපහසුතාවයට පත් වූ අවස්ථා අප දැක තිබෙනවා.

එමෙන්ම, මෙම වීදි ලිංගික ශ්‍රමික කාන්තවන් තරුණ පිරිමි ළමයින් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වනවා. එයට හේතුව දිගු කාලයකට නිරෝගී සේවාදායකයන් සොයාගැනීම සහ කුඩා කල ඇබ්බැහි කර ගැනීමට ඇති පහසුවයි. එනිසා ඔබට එවැන්නන්ගේ සේවය අනවශ්‍ය නම්, වෙනස් ආකාරයේ වැඩිමහල් කාන්තාවක්, වීදියකදී ඔබ අසලට අනපේක්ෂිතව වැඩි වාර ගණනක් ළංවේනම් මඳක් කල්පනා කාරී විය යුතු වෙනවා.

තව දුරටත් මෙම වෘත්තියේ යෙදෙන අනෙක් කොටස් වලට වඩා සමාජ රෝග වාහකයන් ලෙස වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් දස ගුණයක් වේගයෙන් ක්‍රියා කරනවා. අරපරිස්සමක් නොමැති, ලිංගික කටයුතු සහ තෝරා බේරා ගැනීමක් නොමැතිව යහන් ගත කරගන්නා සේවාදායකයන් මෙම ගැටලුවට හේතු සපයනවා. ඔවුන් සමහර අවස්ථා වල සාමාන්‍ය සමාජ පද්ධතියටත් බාධා කරනවා. පිරිමි ළමයෙක් වැරදීමකින් හෝ වීදියේදී සිරුරක ගැටුණොත්, ඔහුට ඉතා අශික්ෂිත වචන වලින් බැණ වදිනවා. එයට එකතු වීමටම ඇයට පදික වේදිකා වෙළඳ මිතුරු සමූහයක් සිටින බවත් අමතක කරන්න එපා. වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ක්‍රියාත්මක වෙන්නේ ජාවාරම් ස්වරූපයෙන්. ඔවුන්ට ඉහළින් මේ කටයුත්තේ පළපුරුදු, තලතුණා ප්‍රාග්ධනය හිමි කාන්තාවක් හෝ පුරුෂයෙක් සිටිනවා. මෙවැනි ජාවාරම් කරුවන් තම තමන්ට අයත් ප්‍රදේශ බෙදාගනිමින් සිය සේවක සේවිකාවන් මෙම වෘත්තියේ යොදවනවා.

බස්නාහිර පළාත තුළ පසුගිය දශක තුන තුළ ඉතා වේගයෙන් වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ව්‍යාප්ත වී තිබෙනවා. එයට හේතු කිහිපයක් බලපෑවා. 1987 න් පසු බස්නාහිර පළාතේ සාමාන්‍ය සමාජ ශාලා බොහෝමයක් නොයෙක් හේතු නිසා වැසී යාම නිසා ඒවායේ සිටි කාන්තාවන්ට ස්ථාවර තැන් නැතිවීම ඉන් එකක් . තවත් හේතුවක් ලෙස ආර්ථික මධ්‍යස්ථාන හා වෙළඳ කලාප බිහිවීම නිසා ඒවාට ගම් වල සිට පැමිණි කතුන් මෙම වෘත්තියට පැමිණීම හඳුන්වන්න පුළුවන්. තවද, වීදි ආශ්‍රිතව සිය ජීවන වෘත්තියේ යෙදෙන සමහර වෘත්තිකයන් තම සේවාදායකයන් ලෙස යොදා ගැනීමේ පහසුවත් මෙහිදී විශේෂයි. වැඩියෙන්ම කාර්ය බහුල පදික වේදිකා ඔබට දැකිය හැක්කේ බස්නාහිර පළාත තුළයි.


මේ ලිපිය අරමුණ , තරුණ ඔබ මේ කරුණ පිළිබඳ දැනුවත් කිරීමයි. මෙම වෘත්තිය කිසිසේත් පහත් කොට සැලකිය යුතු නැහැ. ලොව ඉතාම පැරණි වෘත්තීන්ගෙන් එකක් වන මෙය, එක්තරා ආකාරයකින් අපට තේරුම් ගත නොහැකි මානුෂික ස්පරූපයකින්ද යුක්තයි. සේවාදායකයාද, සේවා සපයන්නාද අනාරක්ෂිත බව දැන දැනම සේවාදායකයාගේ මොහොතක සතුට මුදල් කරගැනීමට වෙහෙසන ඔවුන් ද මේ සමාජයේ යම් පවුලක කොටසක්. ඔවුන්ගේ වෘත්තිය නිසා ඔවුන්ටම අවසානයේ අත්වන කායික මානසික ගැටලු වෙනස්ම සමාජ කතිකාවක්. එහෙත් ඔබේ තාරුණ්‍ය ආතතීන්ගෙන් අනාරාක්ෂිත කිරීමටත්, කායිකව රෝගී කිරීමටත් කිසිවෙකුටත් අයිතියක් නැහැ. එනිසා පරීක්ෂාවෙන් සිටින්න. අනාරක්ෂාවෙන් දුරස් වන්න


4 comments:

  1. ^_^ ඒක මරු නෙරෝ <3

    ReplyDelete
  2. ඇත්ත ඇති සැටියෙන් ලියල තියෙනවා..
    ඔන්න සින්ඩියටත් දා ගත්තා.
    දිගටම එන්නම්. ජය !

    ReplyDelete
  3. වෘත්තියක් ලෙස නීති ගතකොට නියාමනය කිරීම හැම අතින්ම හොදයි

    ReplyDelete
  4. ස්තූතියි.. <3 හැමෝටම

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.