මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/22/14

- 238 - "18 - " ලෝකයේ සිට අමතමි



පෙරේදා උදේ අහස කලු කරගෙන වැස්ස මතක් කරන්න වාගේ රත් වෙච්ච දකුණු කොළඹ පොළව නොසෑහෙන්න රැව්ට්ටුවා. වෙලාව උදේ හතහමාරට විතර ඇති. කොහුවලෙ ඉඳන් නුගේගොඩටම තියෙන ලොකුම පත්තර කඩේ ඉස්සරහ බස් එක හයියෙන් බ්රේක් පාරක් ගැහැව්වා. අවට පරිසරයේ හඬ අහන්න තියෙන කැමැත්තට මම හැන්ඩ් ෆ්‍රී දෙක ගලවලා බෑග් එකේ පිට සාක්කුවට එබුවා. බස් එකෙන් බැස්ස ගමන් පදික වේදිකාවෙ පයට පෑගෙන්න නොපෑගෙන්න ඕනෑවට එපාවට තබා තිබුණු රන් තැඹිලි කැන් දෙක දිහා රස්නෙ වැඩිකම නිසාම මමත් බැලුවෙ තරමක පෙරේත ඇසකින්. රුපියල් හතළිහකට ඇටි තැඹිලි ගෙඩියක් කපාගෙන කඩේ අංකල්ට කියලා බෝතලේකට දාගත්තෙ රස්නෙ නිසා ඉස්කෝලෙට ගිහිල්ලාම නිදහසේ බොනවා කියලා හිතාගෙන.

උදේ පාන්දරම ඇවිත් සිරිකතක් ඇදලා ලංකාදීපෙ උඩට දාලා ගියා කියලා, ලංකාවෙ කාන්තාවකට බනින්න තියෙන උපරිම සැර වචන භාවිතා කරමින්, එතැනින් පාර පැනලා ගිය කලු මල් ගවුමක් ඇඳපු තලතුනා ඇන්ටි කෙනෙකුට පත්තර අංකල් බනින්න පටන් ගත්තා. ඒ හින්දාම මගෙන් වෙනදාට අහන පත්තර ප්‍රශ්න අහන්න ඔහුට අමතක වුණා. ඕනෙ කරපු පත්තර දෙකත් අරගෙන මමත් ලහි ලහියෙ කලර් ලයිට් වලට දුවගෙන ආවෙ මාර්ග නීති සහ කාලය අතර කවදත් තියෙන්නෙ රේඛීය ගැටුමක් හින්දමයි.

තව වෙලාව තියෙනවා වගේම, බඩෙත් ඉඩ තියෙන නිසා සුමනදිසියෙන් ඩෝනට් එකකුත් අරගෙන
පත්තර වලට හිර වෙලා තිබුණු බෑග් එක ඉහළින් එබුවා. මේ වෙලාවෙ බෑග් එක හරියට පාර්ලිමේන්තුව වගේ. එකකට එකක් නොගැළපෙන, අනවශ්‍ය වැඩක් ඇති සහ වැඩක් නැති දේවල් පිරිලා. අහක බලාගෙන පඩිය නැග්ග නිසා, ඇඟේ වැදුණු ලස්සනට ඇඳපු අක්කා කෙනෙකුගෙ රැවුමකට සිනාවකින් සංග්‍රහ කරලා..මම ඉක්මනින් පාර මාරු වුණා.

ලෝකෙ හැම තැනම නරක විදිහට වෛරය පිරිලා තියෙනවා. බස් එකේ. පත්තර කඩේ. බත් කඩේ. කෝච්චියෙ. ඉස්කෝලෙ මේ හැම තැනකම අපි අපිම අතර වෛරය පැටව් ගහලා. මට එහෙම හිතුණෙ බස් එකේ එක සීට් එකක ඉඳගෙන කතා කර කර හිටපු පාසල් යන යොවුන් දැරියක් සහ දරුවෙක් දැකීමෙන්. ඒ දෙන්නාගෙ  තමන්ගෙ අවධානය සම්පූර්ණයෙන්ම යොදවලා හිටපු වැඩිහිටියො කිහිප දෙනෙක්ගෙ කතා බහට සවන් සහ දෑස් යොමා සිටි පිළිකුල් සහගත හැඟීම් උල්ප්පපු වැඩිහිටි මුහුණු කිහිපය තාමත් මතක්වෙද්දි මගේ කම්බුල් ඇදිලා යනවා. ඉගෙන ගනිද්දි, වැඩක් කරද්දි හැම වෙලාවකම බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයාගෙ චරිතෙ ආදර්ශෙට ගන්න කියලා බල කරන අපේ වැඩිහිටියො ප්‍රේමය කියන කරුණෙදි විතරක් ඒ සියල්ල අමතක කරනවාද මන්දා. සිද්ධාර්ථ කුමාරයා අවුරුදු දහසයෙන් විවාහ වුණා කියලා දහම්පාසල් පොතේ වගේම ඉස්කෝලෙ බුද්ධාගම පොතෙත් තිබුණා. එහෙව් එකේ, අවුරුදු දහසයක දැරියක් දරුවෙක් කතා කර කර යාම දිහා අපුල විදිහට බලන එක ටිකක් පරස්පරයි. ඒත් එහෙම හිතන්න පුරුදු වෙච්ච ලෝකෙ වෙනස් කරන්න යන්න මට කිසිම ඕනෙ කමක් නැහැ. හොඳම දේ මම වෙනස් වීම. ඒ විදිහට ලෝකෙම හිතයිද නැද්ද කියන එක මම දන්නෙ නැහැ. ඒක මට අදාළත් නෑනෙ.

මම එකසිය විස්සෙ ජනේලයක් ඇරුණු ආසනයක නිදහසේ හුළඟ එක්ක කතා කරන්න ඉඳගත්තා. 
ළමා අධ්‍යාපනය සහ ළමා මනෝවිද්‍යාව ගැන හදාරන්න ඕනෙ තරම් උපාධි සහ පාඨමාලා අපේ රටේ වගේම පිට රටවලත් තියෙනවා. හිස් හිතක් පිරවීමේ කාරිය ලේසි නෑ කියලා එතැනට එන අය උගන්වනවා. ඒක හරි. පොඩි දරුවන්ගෙ හිත් වල වැඩි හරියක් හිස්. ඒවා නිවැරදි දෙයින් පුරවන්න අනිවාර්යෙන් පැහැදිළි විධිමත් ඉගෙනීමක් ඕනෙමයි. 

ඒකනෙ මොන්ටිසෝරි වගේම ප්‍රාථමික ඉස්කෝල වලටත් ගුරුවරු ගනිද්දි ඒ ඉගෙනීමට  අදාළ ඩිප්ලෝමා වගේම උපාධි වගේ දේවල් ඉල්ලන්නෙ. ඒත් පස්සෙන් පහු අධ්‍යාපන රටාව ඇතුළට බලහත්කාරෙන් පුරවන උපාධි ගුරුවරුන්ට මේ ගුරු මානසික අධ්‍යාපනය විධිමත්ව ලැබෙනවාද කියන්න මම දන්නෙ නෑ. මේ ගුරුවරු නරකයි කියලා නම් කොහෙත්ම කියන්න බෑ. ඒ අයට හොඳ උගත්කමක් තියෙනවා. ඒත් ඒ අය ළමයාව තේරුම් ගන්නවාද කියලා පොඩි ගැටලුවකත් මට තියෙනවා.

හැමෝම හිතන්නෙ දරුවෙක් රැකබලා ගැනීම ගැන සම්පූර්ණ අවධානය දෙන්න ඕනෙ ප්‍රාථමික සහ ළදරු අවධියෙ කියලනෙ. ඒත් මම නම් හිතන්නෙ, දරුවන්ට වැඩි අවධානයක් ඕනෙ කරන්නෙ අවුරුදු දොළහ ඉඳන් දහ අට වෙනතුරු කියලයි. දොළහ වෙනකොට දරුවාගෙ මොළේ කියන පොට් එකේ සැලකිය යුතු කොටසක් පිරිලා. ඒ වෙද්දි එයා විහින් මත ගොඩ නගා ගන්න පටන් අරන්. ඒ වෙලාවෙ එයා පොට් එකේ තියෙන සැලකිය යුතු ප්‍රමාණෙන් එයාට අනවශ්‍ය ටික හලලා දාන කාලෙ.. අලුත් දේවල් තියෙනවා නම් ඒවාට තමන්ගෙ මතයට සමරූපිව එකතු වෙන්න දෙන කාලෙ. මේ කාලෙදි එයාලගෙ මොළයට බලෙන් දෙයක් පුරවන්න හරි අමාරුයි. ඒක හරියට මල් වාස් එකක් තියෙන අනුන්ගෙ මේසයක් උඩට අපේ මල් වාස් එකක් තියලා ලස්සන බලන්න හදනවා වගේ වැඩක්නෙ. ඒ හින්දා ගුරුවරු සූක්ෂම වෙන්න ඕනෙ. නැතිනම් අත්‍යාවශ්‍ය වටිනකම් මේ කාලෙදි පුරවන්නෙ නැතිව, දහ අටෙන් පස්සෙ ඵලය පොට් එකේ තියෙන්නෙ ගොම කියලා දැනගෙන ඇඬුවට වැඩක් වෙන එකක් නෑ.

උපන්න ගමන් අර එන්නත, මේ එන්නත දෙන්න දුවන, පළවෙනි දත එන දවස, අඩිය පොළවෙ ගහන දවස පින්තූරත් එක්ක මතක පොත් වල සටහන් කරන, අපේ රටේ බහුතරයක් අම්මලා, අවුරුදු දහ හතරක් පහළවක් ගිය දරුවො දත් මැද්දද කියලාවත් බලන්නෙ නෑ. ඒත් ඒක හරි සාධාරණයි. තමන්ගෙ කකුල් දෙක හෝදගන්නවත් වෙලාවක් නැතිව දූවිලි පිරි දෙපයින්, සාරි ඉනේ පටලාගෙන , අවුල් හිස කෙස් වනාගෙන රැකියාවට දුවන මැදිවියේ අම්මලා බර දරන ආර්ථික ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒත් ඕනෙ කරන වෙලාවෙ ඕනෙ කරන දේ නොතිබුණොත් වැඩකුත් නෑ. 



අද අපේ රටවල්වල අම්මලා තාත්තලාගෙ සංස්කෘතික මුග්ධ භාවය ලොකු යුග පරතරයක් දෙගොල්ලො අතර ඇති කරමින් සිටිනවා. ඒ නිසාම දරුවො තමන්ගේ යුගයේ අයට ආකර්ෂණය වෙන එක ආරම්භ වෙනවා. ඒ වගේම දරුවන්ගෙ ඥාණය තිබෙන්නෙත්, විචක්ෂණශිලි මට්ටමෙන් ටිකක් ඈත නිසා, එයාලා හිතන විදිහ කොයි අතට හැරෙයිද කියලා පූර්ව නිගමන කරන්නත් බැහැ. ඒ අයට සමීප වෙන්න අපි හදවතින් තරුණ වෙන්න ඕනෙ. යොවුන් වයසෙදි ඇති වෙන විරුද්ධ ලිංගික ආකර්ෂණයට සියවස් ගාණක් පුරා දැඟලුවත් තිත තියන්න බැහැ වගේම, ඕනෙත් නෑ.. ඒක අවශ්‍ය නිසයි සොබා දහම ඒ දේ දීලා තියෙන්නෙ. සොබාදහම වෙනස් නොකර අපි බුද්ධිමත් වුණාම හරියටම හරි. 

දරා ගන්න හැකියාව සහජයෙන් ලැබිලා නැතිනම්, ඒ ශක්තිය දරුවන්ට දෙන්න ඕනෙ අපි. එයාලා තනිවෙලා නෑ කියන දේ එයාලාට පහදලා දෙන්න ඕනෙ අපි හැම ගුරුවරයෙක්ම අල්තිනායි ගැන කියවන්න දරන වෙහෙසම එලිසබත් ඇලන්, පොලියානා, ටොට්ටො චං, ඈන් ගැනත් කියවන්න දරනවා නම්, නව යොවුන් ජීවිත වල වටිනාකම ඥාණ සම්භාරය මීට වඩා ඉහළ යාවි..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අද ගුරුවරු අල්තිනායිව වත් නොදැනීමනෙ.  මම හුළඟට නිකමට නිකමට හිනැහුණා.

ලොකු ක්‍රිකට් බෑග් එකකුත් අරගෙන තමන්ගෙ දරුවාව එක අතකින් ඇදගෙන ගමන් කරන බස් එකෙන් පනින්න හදන කලබලකාරි අම්මෙකුට, ඩ්‍රයිවර් කෑ ගහන හඬින් මම ඒ කල්පනාවෙන් මිදුණා.



It is not enough for the teacher to love the child . She must first love and understand the universe. She must prepare herself and truly work at it.

Maria Montesoori 

x


6 comments:

  1. මං හිතුවා තවත් එක ප්‍රින්සිබල්ට බැනපු එක ඉස්ටොරියක් කියලා... :3

    ReplyDelete
  2. ප්‍රින්සිපල්ටයි, ගුරුවරුන්ටයි, දරුවන්ටයි බැන බැන ඉන්න සමාජෙක ඇත්තටම වෙන්න ඕන මොකද්ද? මේ ප්‍රශ්න හරියට තේරුම් අරගෙන අපි අපිව වෙනස් කරගන්න ඕන ඇයි කියන කාරණය ඔයාගෙ සිතුවිලි විවරණයෙ පැහැදිලි වෙනවා නගෝ.... අගේ ඇති සටහනක්...

    මට සතුටු හිතුණා එලිසබත් ඇලන්, ඈන්, පොලියානා, ටොට්ටෙ චං විතරක් නෙවෙයි විත්යා, ඩෙනිස්, මැටිල්ඩා, තිලකසිරි වගේ ගොඩක් අය මගේ පුංචි යාළුවො අතර ඉන්නවනේ කියල මතක් උණාම
    ...

    ReplyDelete
  3. ඔව් අක්කෙ.. ඒ අය ගුරුවරුන්ගෙත් ගුරුවරු

    ReplyDelete
  4. වෛරය පැටව ගහලා... ඒක ඇත්ත. මිනිස්සු ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා... ඒ නිසා එක එක ප්‍රශ්නයකට වෛරය පැටව ගානේ වත් හැදෙනවා..

    ReplyDelete
  5. ඇත්ත ටම වටිනා අදහස් පෙළක්.අනිත් හැමදේම වගේම generation gap එකත් හැමදාම සමාජයේ පවතින දෙයක්. එක අපිට කරදරයක් කර නොගෙන එය තේරුම් අරගෙන ජීවත් වීම බුද්ධිමත් අපි සැමගේම යුතුකමයි.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.