මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

2/4/12

යහපත් ආකල්ප සඳහා ඇබෑර්තු ඇත



අන්ධකාරෙන් දහස් වසරෙක
මෝහයෙන් තව දහස් වසරෙක
මානයෙන් යළි පන්සියක් කල්
වසා සෑඟ වු මුත් කුවේණිය,

සැබැවින්ම ලිපිය ආරම්භ විය යුත්තේ කුවණ්ණා ගෙනි. ඇය දැනට හමු වී ඇති ජන ඓතිහාසික මුලාශ්‍ර වලට අනුව රාවණා ගේ මිණිපිරියක් බව ප්‍රකාශිතය. අපට සියලුම ලිඛිත ඓතිහාසික වාර්තා හමුවන්නේ කුවණ්නාගේ සිටය. මහාවංශය (බුද්ධ වංශය) සැමවිටම වරදක් කර ඇති වග ඔබ නොදන්නවා විය හැකිය. එනම් එවක රජයට (මාධ්‍යක් ලෙස) අති පාක්ෂික බවක් දැක්වීමයි. එහි වරද කෙසේ වෙතත්, එමගින් ඉතිහාස ගත විය යුතු බොහෝ කරුණු අතුරුදහන් කර ඇති වග අකමැතිව වුව අපට පිළි ගැනීමට සිදුවේ. කුවණ්ණා වශිකෘත වූ හෝ වශී කර ගත්තා වූ විජය දරු දෙදෙනෙකුට පීතෘත්වය ලබා දී ඔවුන් අනාථ කර දැමූ වගද, විජායි නම් ඉන්දියානු ස්ත්‍රිය රාජත්වය පිණිස විවාහ කොට ගෙන දරුවන් නොමැති වූ වගත් මහාවංශය දුක සඟවාගෙන සටහන් කර ඇත.

මුලින්ම වරද්දා ගත්තේ කුවණ්ණාය. විජයට රජකම දීම සඳහා සමූලඝාතන තැතක් (ආදරය හා යුද්ධය යන ද්විත්වයේ දී සියලු අපරාධ සාධාරණීකරණය කළහැකිය.) ගත් ඇය මා සලකන්නෙ දන්නා ඉතිහාසයේ පළමුවන පාවා දෙන්නිය ලෙසයි. ඇගෙන් පසු යක් පරපුරට ,එනම් හෙල පරපුරට අයිති වූ මේ සිහල දීපය . සිංහ ගොත්තන් හට අයත් විය. නැවත වරක් යක් සිහ පරපුර සමාදාන වන්නේ පණ්ඩුකාභය කැරැල්ලෙන් පසුවය. (මමත් අදහන සත්‍යක් නම්...එක්ටැම් ගෙට පිටින් ආ අය නිත්‍යානුකූල පියවරු වෙද්දී..නියමිත ශුකාණුව භාරකරුගේ වීමේ සම්භාවිතා වැඩිය යන්නය.) ඉතිහාසය අකමැත්තෙන් අත් හළ කොටසක් විය හැකිය.

අනතුරුව වසර 60ක් රජ කර බුදු දහමට වට පිට සකසා කලුරිය කළ මුටසීව රජ ගැන පිටු භාගයට ලඝු කොට ... පුත් දේවානම් පියතිස්ස ගැන පරිච්ඡේද ගණන් ලියා වර්ණ ලබාදුන් මහ වංශයට අනුව හා අනෙක් මුලාශ්‍ර වලට අනුව දේවානම් පියතිස්ස ගේ සොයුරු අසේල ට පසු මෙරට ප්‍රථම සොළී ආක්‍රමණය සිදු වී ඇත.

ගැමුණු රජ ද පියාගේ ව්‍යායාමය තුළින් බොහෝ වර්ණ ලාභී පුතෙකු (ඔහු වීරයෙකි) වූ වග මහාවංශය සඟවද්දී ඉතිහාසය දශක කීපයක් නිරවුල්ව ගමනේ යෙදී ඇත.

ආක්‍රමණ බර ගණනක ගොදුරක් වූ රටේ ඉතිහාසය අනුරපුර යුගයෙන් පසු පුලතිසිපුර දී ජාම බේරා ගත් නමුත් ඉන් පසු සාර්ථකත්වයට වඩා අසාර්ථක වූ වාර ගණන වැඩිය. (මේ පද ටික පරණ කැසට් පටයකින් හමු වූ එකකි. ගයන්නේ කටහඬ අනුව නම් දීපිකා ප්‍රියදර්ශණි මහත්මිය විය යුතුය.) මේ කවි පෙළ
ඡේද ගණනාවකට වඩා ප්‍රබල හෙයින් එය දක්වමි.

 යුද හරඹ, බල හරඹ
වැට කඩුළු කඩා බිඳ
ඉන්පසුව මගේ ගත
කොටස් කර බෙදාගෙන

ගම්පළින්,කෝට්ටෙන්
නුවර සීතාවකින්
රජ පදවි මාරු විය
උනුන් ඇන කොටාගෙන

සොළි කේරළ පාඬි
දෙමළ හා පෘතුගීසි
ලන්දේසි පසුපසින්
හඹා ආ ඉංග්‍රිසී

වරින් වර මෙහි පැමිණ
සටන් කළ හැම විටම
අපේ අසමගිය තුළ
ලබාගෙන ඇත වාසි

සිංහලේ අවසාන 
රජු විලස බුහුමනින්
පුදලැබූ රාජසිහ 
රජතුමා එළවමින්

ඉංගීරිසින් අතට
මාව පවරා දෙමින්
දැන නොදැන හෝ වැරදි
කළා සමහර දනන්..

1815 මාර්තු 18 වනදා කන්ද බන්දේසියේ තබා දුන් මුත්තන් ගැන මහා ලැජ්ජාවක් ඇතත්,එය හදා ගනීමට උත්සාහ කළවුන්ගේ පරපුරත් එයම වන බැවින් අකමැත්තෙන් වුව හැඟීම් නිෂප්‍රභ විය යුතුය. මාතලේ, සෙංකඩගල තෑග්ගක් විලස අතට දුන්නාම මිස ඉංග්‍රීසින්ට ලෙහෙසියෙන් අල්ලා ගත නොහැකි දේශයන් වි තිබිණි.

1848 පුරන් අප්පු දෙවියෙක් සේ කන්දට වැඩ, අවි සටන් කොට , රට බේරා ගනු නොහී නමුදු අභීතව ඉංග්‍රීසින් අතින් සුර ලොවට ප්‍රදුර්භූත වන්නේ ද අසමගි සිංහලයාට අනුකම්පා කරමින්ය.
අද වනවිට වීරයන් භාගත කරන සමාජයක ජීවත් වන අප මේ ගැන අමතක කර ඇති වග අකමැත්තෙන් වුව පිළිගත යුත්තේමය.

ඉන්  සියවසකට පසු, ඉන්දියාවට නිදහස ලබා දුන් පසු ද, අලියා නැති තැන හෙණ්ඩු කුමටදැයි සිතූ මහා රාජිණිය අපට නිදහස තෑගි දුන් නමුත්, 1972 වනතුරු අපව පැහැදිළිව රවටා ඇති වග ඔබ දන්නවා ඇත. ඉන් පසුව වුවද අපේ රටට උදා වුයේ යහපත් කාල පරිච්ඡේදයක් නොවන වග ජීවත් වූ අයට මතක ඇත.පසු උපන් උන් අසා ඇත. දකුණේ තුරුණු විරෝධයකින් අනතුරුව නැගුණු උතුරේ තුරුණු විරෝධය ජාතිබේදය යන ප්‍රබල වචනය නිසා වසර 30ක් ම රටක් ලෙස වන්දි ගෙවීමට අපට සිදුවූ බව ඔබට මතක ඇත. ඒ දශක තුන හා මේ අකුරු අමුණන මොහොත තුළද නොදන්නා නොසිතන,එක්කෝ පෙනෙන හඬක් නොනැගෙන, නැත්තම් බිය නිසා වසන් කරගත් සමහර විදෙස් කූට බලපෑම් අප වටා ක්‍රියාත්මක වේ. අද වන විට බුදු දහම ද දේශපාලනීකරණය වී ඇති ආකාරය හා සන්සන්දනයේදී ඊට වඩා සිය ගුණයක් එදා ටිබෙට් මහින්ද හිමිගෙ දේශපාලනය ජාතිවාතසල්‍යෙයන් පිරිපුන් වග මඟේ හැඟිමයි.

සහන ලැබෙන තුරු ලංකා දීපය            ට
ගහන ගැහිලි හමුවෙහි සිහ වෙසින් සි     ට
නහන රැපුන් නඟමින් යමි ඉදිරිය          ට
මහණ කමත් බණ දහමත් එයයි ම        ට


අද වනවිට නොදැනී නොදැනී අපි යළිත් ආක්‍රමණය වෙමින් සිටිමු. උතුරේ යුද්ධය භෞමිකව හා නාමිකව අවසන් ය. එහෙත් හදවත් තුළ තවම ගිනි අඟුරු නැතිවා නොවේ.. අඟරු දැවෙන විට මතුවන ගින්න නිවීම අපහසුය.යුද්ධය සිත් වලින් අවසන් කිරීමට කිසිම දවසක අපට ජාත්‍යන්තරය ඉඩක් නොදෙන වග අප තේරුම් ගත යුතු සත්‍යතාව වෙයි.හොද්ද බොර කර ඒ බොර දියේ මාළුන් සොයනා උන් අද සමාජයේ බොහෝ සිටිති.

සාගර පළන්සූරිය මහත්තයා ගෙ උතුරෙන් කව් පන්ති‍යෙ අවසන් කවි දෙක මම මෙහෙම සටහන් කරන්නෙ...මේ කවි වල විය යුත්ත පැහැදිළිව දක්වා ඇති නිසාය.

මිනිසා වෙතින් මිනිහා වෙන් කරන         රිසින්
බැඳ ඇත පවුරු පදනම් කිසි කෙනෙකු    විසින්
ඒවා කඩා බිඳගෙන එහි පිරුණු              පසින්
පාලම බැඳෙනු ඇත දවසක උතුරු        දෙසින්

පැයක දි එකට හමුවන දුර ඇත              දෙතැන
මෙය වෙන් කරනු හැකි කිසිවෙකු වෙද     කොතැන
සුරුට්ටුවට එක් වී උතුරේ                         ඔතන
බේදය පිළිස්සී හමු වේවා                        දකුණ

හෙට එළිදකින පුරන් අප්පු මුද්දරය මුද්දරයකට පමණක් සීමා නොකොට, කොඩියට , ගීයට ජාතික දිනයට ජාතික හැඟීම සීමා නොකොට රට වෙනුවෙන් සංවර්ධනයට උරදිය හැකි, ආකල්පමය වෙනසක් ඇති ප්‍රජාවක් බිහි කිරීමට ලංකාව වෑයම් කළ යුතු කාලයයි මේ. ඉතිහාසය කෙතරම් ස්වර්ණ මතක වලින් ගහණ වුවද, වර්තමානය සකසන අය අනුව අනාගතයේ ඉතිහාසය නිර්මාණය වන වග අප මතක තබා ගත යුතුය. සාහිත්‍යට කලාවට තාක්ෂණයට හා මිනිසාට සේවය කිරීමට ඇල්මක් තිබෙන සුභාවිත පරපුරකට නව ආකල්ප තුළින් දීන බව නැති කළොත් යා නොහැකි යහ සංවර්ධනයක් නැත.. සංවර්ධනය අප එනතුරු බලා සිටින වග සිහි තබා ගන්න.

ඇමරිකාව ,ඉන්දියාව ,වීනය වපර ඇස් වලින් සිනා සෙන්නේ කුමකටදැයි අප ට තවමත් ගැටලුය..සමහරවිට මේ සංවර්ධනය තවත් වසර ගණනක දී ඵල සහිත විය හැකි ය. නමුත් එය අද සිටම වේගවත් නොකළොත් අපි පසු පස්සේ තබා ලෝකය බොහෝ ඉදිරියට ගොස් සිටිය හැකියි.

අප නිදහසෙන් පසු වසර 64ක දී උපරිම ප්‍රයෝජන ගෙන නැත. නිදහසේ සියවස සමරන දිනට තව වසර 36 ක් අනාගතයට, හොඳ ඉලක්කයක් ලබා ගතහොත්, අපට අප රට යහ සංවර්ධනයකින් ලොව බැබළවීමට හැකි වනු ඇත. බතින් පිරි රටක්,දැනුමෙන් පිරි රටක්,තෘප්තියෙන් පිරි රටක්,යුද්ධ නැති රටක්,දිළිඳුන් අඩු රටක්, ලොවක් පිළිගන්නා රටක්,මිනිසුන් ආදරය කරන රටක්, රටට රටම ආදරය කරන රටක් අපට තැනිය හැකි නම්,එදිනට අප සමරන්නේ සැබෑම නිදහස යි.

මිනිසුන් නිදහසේ හිතන,නිදහස දකින රටකට අපේ රට ගෙන යන්න අපි පමා නෑ.
කෝ රාවණ ජාන? කෝ පුරන් අප්පු දරුවො? කෝ කැප්පෙටිපොළ ලේ? තව කල් නෑ මිතුරනි, යහ ආකල්ප සඳහා බොහෝ ඇබෑර්තු ඇත. ලක් මව යළි නින්දෙන් නැගිටවිය යුතු හොඳම කාලය පැමිණ තිබේ.


මුළු වැර යොදා වැඩ කරතොත් ඇතිව     සිත
පුළුවනි අපට බිඳුමට ලොකු අයගෙ           මැත
කුළු ගෙඩි පහර එක පිට එක හෙළන         මත
පළු පළු නොවන කොරසැඩි කළු ගලක්     නැත

26 comments:

  1. නිදහස ලැබෙන නිදහස් දවසක් වේවා!!!!

    ReplyDelete
  2. //අප නිදහසෙන් පසු වසර 64ක දී උපරිම ප්‍රයෝජන ගෙන නැත. නිදහසේ සියවස සමරන දිනට තව වසර 36 ක් අනාගතයට, හොඳ ඉලක්කයක් ලබා ගතහොත්, අපට අප රට යහ සංවර්ධනයකින් ලොව බැබළවීමට හැකි වනු ඇත. බතින් පිරි රටක්,දැනුමෙන් පිරි රටක්,තෘප්තියෙන් පිරි රටක්,යුද්ධ නැති රටක්,දිළිඳුන් අඩු රටක්, ලොවක් පිළිගන්නා රටක්,මිනිසුන් ආදරය කරන රටක්, රටට රටම ආදරය කරන රටක් අපට තැනිය හැකි නම්,එදිනට අප සමරන්නේ සැබෑම නිදහස යි.//

    සහතික ඇත්ත අක්කේ!!!!

    ReplyDelete
  3. ගැහැනු ලමයකුන් ලියවුන ඉතා හොඳ ලිපියක්... සතුටුයි ගොඩාක්... ! බොහොම බරයි.. ඒත් හරිම රසයි! ජය!

    ReplyDelete
  4. ගොඩක් ස්තූතියි අක්කෙ.

    ReplyDelete
  5. හරවත් නිර්මාණයක් නංගි.....
    තව තවත් මෙවන් නිර්මාණ කරන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.....

    අනුරාධා අක්කා

    ReplyDelete
    Replies
    1. නෙරන්ජි,ඔයා ලිවීමට දක්සයි.ඒත් මොනාද මේ මූණු පොතේ දාන බොරු හුරතල්.ඔයා හිතන්නෙ දිල්ශාරා ඔයාගෙ ස්ටේටස් අප්ඩේට් එක ගැන මාර සන්තෝස වුණා කියලද.ඔය තරම් මෝඩ විදිහට හැසිරෙන්න එපා.දැන්වත් පොළවෙ පය ගහලා ජීවත් වෙන්න උත්සහ කරන්න.බොරු හුරතල් එපා තවදුරටත්.ඔයා ගැන සමාජයෙ වැරදි ප්‍රතිරූපයක් ගොඩ නැගෙන්න ඉඩ දෙනවද කියන එක ඔයාම තීරණය කරන්න.සුබ ගමන්.
      -හිතවතෙක්-

      Delete
    2. ස්තූතියි අනුරාධා අක්කෙ....

      Delete
    3. මම මුල මැද අග මා ගැන තෘප්තිමත්.ප්‍රතිරූප ගැන තැකීමක් නෑ...ඔබ කවුරු වුණත් වැරැද්දකට විතරක් එසවෙන ඇඟිලි වලට ස්තූතියි. මම හිතවතුන් කියන දේ අහන්නෙ නෑ.

      Delete
  6. හැබෑම නිදහස් දිනයක් වේවා !!!

    ReplyDelete
  7. ඇත්ත.... හිතුවොත් කරන්න බැරි දෙයක් අපිට නෑ...
    සැබෑ නිදහස් දිනයක් වේවා!

    ReplyDelete
    Replies
    1. අයිස් හරි.හිත ඇත්නම් පත කුඩාද

      Delete
  8. ඉතිහාසයේ ඉදන්ම අපේ රට හුගාක් ආක්‍රමණවලට මුහුණදුන්නා දරුවෝ. එත් අපි ආපහු හැමතිස්සෙම නැගිට්ටා.

    හැබෑ නිදහස දිනාගන්න අපිට බැරි කමක් නැහැ.අනිවාර්යයෙන්ම ආකල්පමය වෙනසක් වෙන්න ඕන.නමුත් ඒ වෙනස ඉබේ වෙන්නේ නැහැ.ඒ වෙනස වෙන්නනම් අපි ඒවෙනුවෙන් අපිට හැකි පමණින් වැඩ කරන්න ඕන.

    ReplyDelete
  9. හරවත් ලිපියක් නඟා......
    නිදහස් දවසේ නිදහස ගැන හිතන්න යමක්....හ්ම්....

    ReplyDelete
  10. etha wadagath lipiyak satutui...

    ReplyDelete
  11. නියමයි නංගී... මේ වගේ හොද ලිපියක් කියන්න පරක්කු උන එක ගැන දුක් වෙනවා..

    ReplyDelete
  12. හරිම අර්ථවත් ලිපියක්. ඔයාට තව තව ශක්තිය ලැබෙන්න ඕන මේවගේ අකුරු කරන්න. ඊයේ නිදහසේ ගෙදර හිටිය නිසා අද තමයී ලිපිය කියෙව්වේ.

    ReplyDelete
  13. අදයි මේක දැක්කෙ. දැන් දිග බ්ලොග් ලිපි කියවන්න වෙන්නෙ කලාතුරකින්. හැබැයි නීනු ලියපු එකක් නම් අනිවා කියවනවා. නියමයි!
    --
    ප.ලි. 1818 නෙවෙයි 1815 නේද? 

    ReplyDelete
    Replies
    1. ලොකූ සොරි එකක් ඕනෙ තමීර අයියා..1818 යි 1815 යි පැටලුනා...පළවෙනි කැරැල්ලයි.ගිවිසුමයි... සොරි සොරි

      Delete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.