මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/28/17

-275 - තාරුණ්‍ය වීදියේ ගොදුරක් නොවන්නට.

අපේ young ‍generation එක ඒ තරම්ම සැලකිළිමත් නොවන, එහෙත් දැනගෙන සිටිය යුතුම තේමාවන් ගැන කතා කරන්න අපි අමතක කරන්නෙ නෑ. අදත් අපි සූදානම් වෙන්නෙ ඒ වගේ වැඩකට. රැකියාවට යන්න, කැම්පස් යන්න, ඉස්කෝලෙ යන්න හෝ ටියුෂන් යන්න ආදී එකී මෙකී නොකී ඕනෑම කටයුත්තකට මහ මඟට බහින්න වෙන ඔබට උදෑසන පටන් රාත්‍රිය වනතුරු විවිධ වෘත්තිකයන් හමුවෙනවා. වෛද්‍යවරු, හෙදියො, ගුරුවරු, ව්‍යාපාරිකයො, රියදුරුවරු, කොන්දොස්තරවරු, කම්කරුවන් ආදී ලෙස අපට මේ සියලු වෘත්තිකයන් සඳහා නමක් ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අපි යොදාගනු ලබන්නේ ඔවුන් සමාජයට ලබාදෙන ශ්‍රමයේ ස්වරූපයයි. බොහොම මෑත කාලයක් වෙනතුරු සංස්කෘතික කාරණා නිසා ග්‍රාම්‍ය ව්‍යවහාරයේ හඳුන්වා දීම් වලින් පීඩාවට පත් වුණත්, අද වන විට පිළිගත් හඳුන්වදීමක් ලබන වෘත්තිකයන් කොටසකුත් අපේ රටේ ඉන්නවා. ඔවුන් තමයි ලිංගික ශ්‍රම සපයන්නන් සහ සපයන්නියන්. ඔවුන් ගැන පුවත් පත් වල පිටු ඇති තරමට පිරෙනවා. නමුත් අද අපි කතා කරන්න සූදානම් වන්නෙ ඉන් මඳක් ඔබ්බට පියවරක් තබමින්. කොහොමද මේ ලිංගික ශ්‍රම සපයන්නෝ ලංකාවේ තාරුණ්‍යට බලපාන්නේ යන්න පිලිබඳව.

බොහෝ අවස්ථා වලදි මෙම ලිංගික ශ්‍රම සපයන්නන් තමන්ගෙ වෘත්තියට පැමිණෙන්නෙ සිය කැමැත්තෙන් නෙවෙයි. ඉතාම අසරණ තත්වයට පත් වූ විටක හෝ අහම්බයකින් හෝ මෙම රැකියාව ඔවුන් තෝරාගත්තා වෙන්න පුළුවන්. ගමක සිට නුහුරු නුපුරුදු කොළඹට රැකියාවකට එන තරුණියක්, නාඳුනන පිරිමි ඇසුරක් දුරදිග යෑමෙන් මෙවන් තත්වයකට පත්වෙන්න පුළුවන්. දුප්පත්කම විසින්, අධ්‍යාපන මට්ටම පහළ තිබීමෙන්, රැකියාවක් නැති කම නිසා මෙවැන්නකට පත්වෙන්න පුළුවන්. රැවටීමක් නිසා මෙවන් තත්වයකට පත්වුණා වෙන්නත් පුළුවන්. අධ්‍යාපන වාසි වැඩියෙන් ලබා ගැනීමේ අල්ලසක් ලෙස මෙය ආරම්භ වුණා වෙන්නත් පුළුවන්. ඒ ආරම්භය කුමක් වුණත්, ඉන් සමාජයට වන බලපෑම කතාබහට ලක්නොකර බැහැ.

ශ්‍රී ලංකාව තුළ ලිංගික ශ්‍රම සපයන්නන් ප්‍රධාන කොටස් තුනකින් අපට හමුවෙනවා. ඉන් එක් වර්ගයක් සුපිරි වර්ගයේ ලිංගික ශ්‍රම සපයන්නියන්. මොවුන් මෙම වෘත්තිය සඳහා යෙදෙන්නෙ අර්ධකාලීනව. ඔවුන් යම් ආයතනයක රැකියාව කරමින්, ඒ අතරතුර සිය සේවාදායකයන් සමඟ කටයුතු සිදුකරනවා. ඔවුන් සම්බන්ධ කරගැනීම සඳහා වෙහෙසක් දැරිය යුතු අතර, වගකීම් සහගත බවක් පාර්ශව දෙක අතරම රැඳී තිබෙනවා. සෞඛ්‍ය මෙන්ම පිරිසිදු කම අතින් ඔවුන් පිළිබඳව ඔවුන්ගේ තැරැව්කරුවන් රෙකමදාරු කරනවා. ඔවුන් ඉතා ඉහළ මිලක් අය කරන අතර, ඔවුන් සපයන තැරැව්කරුවන් ද අතරමැද සිට විශාල ආදායම් ලබනවා. මොවුන් සිය සමාජ ජීවිතය කිසිම ගැටලුවකින් තොරව ගෙවා දමනවා. සාමාන්‍ය ලිංගික ශ්‍රම සපයන්නියන් අයත් වන්නේ දෙවැනි කොටසට. ඔවුන් තැරැව්කරුවන් සමඟ සිය සේවාදාකයා හමුවට ගොස් සිය කාර්යය ඉටුකර මුදල් ලබාගන්නවා. මෙවන් කාන්තාවන් සඳහා පැයකට දෙකකට යම් මුදලක් අය කර කාමර ලබාදීමට කැමති හිමිකරුවන් බස්නාහිර පළාත තුළ බොහෝ සෙයින් සිටිනවා. මේ අතර අපට හමුවෙන තෙවන කොටස වීදි ලිංගික ශ්‍රම සපයන්නියන්. ඔවුන් මේ දෙපාර්ශවයටම වඩා වෙනස්. ඔවුන් සිටින්නෙ වීදියේ වාගෙම සේවාදායකයා හමුවන්නෙත් වීදියෙන්මයි.

වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ඔබ නිරන්තරයෙන් දැක ඇති. එක් එක් කාල වලදී ඔවුන් සෙසු කාන්තාවන් අතරින් තමන් විශේෂ කර හඳුන්වාදීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරනවා. එක් අතක සුළැඟිල්ලට පමණක් තද රතු නිය ආලේපන භාවිතා කිරීම, එක් පයකට සළඹක් පැළදීම, කුඩය පටියෙන් පහලට එල්ලා කරකවමින් සිටීම, විශාල වශයෙන් පුයර ගෑම මින් කිහිපයක්. අද ඔවුන් තමන් පිළිබඳව සේවාදායකයන්ට සන්නිවේදනය කරන්නේ විනිවිද පෙනෙන හෝ යට ඇඳුම් කැපී පෙනෙන ආකාරයේ ඇඳුම් වලින්. මේ හේතුව නිසාම වර්තමානයේ තරුණියන් සිය ඇඳුම් තෝරා ගනිද්දි මඳක් සූක්ෂ්ම විය යුතු වෙනවා. එවන් ඇඳුම් ඇඳ වීදි වල සිටීම නිසා නිසා ලිංගික ශ්‍රම සපයන්නියන් සොයා එන සේවා දායකයන්ගෙන් සාමාන්‍ය කාන්තාවන් පවා අපහසුතාවයට පත් වූ අවස්ථා අප දැක තිබෙනවා.

එමෙන්ම, මෙම වීදි ලිංගික ශ්‍රමික කාන්තවන් තරුණ පිරිමි ළමයින් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වනවා. එයට හේතුව දිගු කාලයකට නිරෝගී සේවාදායකයන් සොයාගැනීම සහ කුඩා කල ඇබ්බැහි කර ගැනීමට ඇති පහසුවයි. එනිසා ඔබට එවැන්නන්ගේ සේවය අනවශ්‍ය නම්, වෙනස් ආකාරයේ වැඩිමහල් කාන්තාවක්, වීදියකදී ඔබ අසලට අනපේක්ෂිතව වැඩි වාර ගණනක් ළංවේනම් මඳක් කල්පනා කාරී විය යුතු වෙනවා.

තව දුරටත් මෙම වෘත්තියේ යෙදෙන අනෙක් කොටස් වලට වඩා සමාජ රෝග වාහකයන් ලෙස වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් දස ගුණයක් වේගයෙන් ක්‍රියා කරනවා. අරපරිස්සමක් නොමැති, ලිංගික කටයුතු සහ තෝරා බේරා ගැනීමක් නොමැතිව යහන් ගත කරගන්නා සේවාදායකයන් මෙම ගැටලුවට හේතු සපයනවා. ඔවුන් සමහර අවස්ථා වල සාමාන්‍ය සමාජ පද්ධතියටත් බාධා කරනවා. පිරිමි ළමයෙක් වැරදීමකින් හෝ වීදියේදී සිරුරක ගැටුණොත්, ඔහුට ඉතා අශික්ෂිත වචන වලින් බැණ වදිනවා. එයට එකතු වීමටම ඇයට පදික වේදිකා වෙළඳ මිතුරු සමූහයක් සිටින බවත් අමතක කරන්න එපා. වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ක්‍රියාත්මක වෙන්නේ ජාවාරම් ස්වරූපයෙන්. ඔවුන්ට ඉහළින් මේ කටයුත්තේ පළපුරුදු, තලතුණා ප්‍රාග්ධනය හිමි කාන්තාවක් හෝ පුරුෂයෙක් සිටිනවා. මෙවැනි ජාවාරම් කරුවන් තම තමන්ට අයත් ප්‍රදේශ බෙදාගනිමින් සිය සේවක සේවිකාවන් මෙම වෘත්තියේ යොදවනවා.

බස්නාහිර පළාත තුළ පසුගිය දශක තුන තුළ ඉතා වේගයෙන් වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ව්‍යාප්ත වී තිබෙනවා. එයට හේතු කිහිපයක් බලපෑවා. 1987 න් පසු බස්නාහිර පළාතේ සාමාන්‍ය සමාජ ශාලා බොහෝමයක් නොයෙක් හේතු නිසා වැසී යාම නිසා ඒවායේ සිටි කාන්තාවන්ට ස්ථාවර තැන් නැතිවීම ඉන් එකක් . තවත් හේතුවක් ලෙස ආර්ථික මධ්‍යස්ථාන හා වෙළඳ කලාප බිහිවීම නිසා ඒවාට ගම් වල සිට පැමිණි කතුන් මෙම වෘත්තියට පැමිණීම හඳුන්වන්න පුළුවන්. තවද, වීදි ආශ්‍රිතව සිය ජීවන වෘත්තියේ යෙදෙන සමහර වෘත්තිකයන් තම සේවාදායකයන් ලෙස යොදා ගැනීමේ පහසුවත් මෙහිදී විශේෂයි. වැඩියෙන්ම කාර්ය බහුල පදික වේදිකා ඔබට දැකිය හැක්කේ බස්නාහිර පළාත තුළයි.


මේ ලිපිය අරමුණ , තරුණ ඔබ මේ කරුණ පිළිබඳ දැනුවත් කිරීමයි. මෙම වෘත්තිය කිසිසේත් පහත් කොට සැලකිය යුතු නැහැ. ලොව ඉතාම පැරණි වෘත්තීන්ගෙන් එකක් වන මෙය, එක්තරා ආකාරයකින් අපට තේරුම් ගත නොහැකි මානුෂික ස්පරූපයකින්ද යුක්තයි. සේවාදායකයාද, සේවා සපයන්නාද අනාරක්ෂිත බව දැන දැනම සේවාදායකයාගේ මොහොතක සතුට මුදල් කරගැනීමට වෙහෙසන ඔවුන් ද මේ සමාජයේ යම් පවුලක කොටසක්. ඔවුන්ගේ වෘත්තිය නිසා ඔවුන්ටම අවසානයේ අත්වන කායික මානසික ගැටලු වෙනස්ම සමාජ කතිකාවක්. එහෙත් ඔබේ තාරුණ්‍ය ආතතීන්ගෙන් අනාරාක්ෂිත කිරීමටත්, කායිකව රෝගී කිරීමටත් කිසිවෙකුටත් අයිතියක් නැහැ. එනිසා පරීක්ෂාවෙන් සිටින්න. අනාරක්ෂාවෙන් දුරස් වන්න


1/12/17

-274- හරි හපන් පෙම්වත්තු

විශ්වයකට එක්වරක් පහළ විය හැකි ගණයේ අසහාය නිර්මාණකරුවකු වන විලියම් ෂේක්ස්පියර්  රෝමියෝ ජුලියට් ජීවිතේ එක් වතාවක් හරි ඔබ කියවලා තිබෙනවා නම්, රෝමාන්තික ප්‍රේමය ගැන ඔබට අමුතුවෙන් කියාදෙන්න දෙයක් නෑ. රෝමියෝ ජුලියට් කතාව පුරාම රෝමාන්තික හැඟීම් ඉපදෙන දෙබස් වලින් පිරිලා. ආදර හසුනක් කියන්නෙත් හරියටම රෝමියෝ ජුලියට් පිටපත වගේ හැඟීම් පිරුණු කඩදාසියකට

Technology එක බදා ගෙන ජීවිතේ ගෙවෙන විට, සමහර සියුම් ප්‍රහර්ෂයන් අපෙන් නොදැනීම මිදෙන්න පටන් ගන්නවා. අලුත් පරම්පරාවක තත්‍ය අවකාශික බැඳිම් අතරෙ ජීවත් වෙන අපිට අතීත කාමයට බැඳී මිඩංගු කරන්න කාලය ඉතා අල්පයි. ඒත්  සුන්දර තාරුණ්‍ය අපේ ජීවිත වලින් සදහටම මැකිලා යන්න ඉස්සරින් අප එය විඳගත යුතුයි. සමාජ ජාලා වලට හිර වීම එක්කම අපෙන් ගිලිහිලා ගිය චමත්කාර ජනක බොහෝ දේවල් තිබෙනවා. ඉන් එකක් තමයි අද young අපි කතා කරන්න සූදානම් වෙන ආදර හසුන්.

වික්ටර් රත්නායක මහත්මයාගේ තරු අත් අකුරින් ලියන පෙම්පත පිළිබඳ ගීය, මිල්ටන් මල්ලවාරච්චි මහත්තමයාගෙ කොහොම පටන් ගෙන, මොනවා ලියන්නද කියා නොවැටහෙන පෙම්පත ගැන ගීය අහන වෙලාවට මීට දශක කිහිපයකට එහා ගීත වලට  නිරතුරුව වස්තු විෂය වුණු මේ ආදර හසුන් පිළිබඳ පුංචි අවබෝධයක් ලබන්න පුළුවන්. සෙනෙහෙ කොළයක් කියන්නෙ එකිනෙකාගේ ප්‍රේමය කියාපාන ආඩම්බරකාර සැමරුම් විශේෂයක්. ප්‍රේමයක අනුරාගය, ප්‍රේමයක ප්‍රාර්ථනා, ප්‍රේමයක සිහින මෙන්න අනාගතය මේ ලියුම් වල සැඟවෙනවා.

තම ළබැඳියන් වෙනුවෙන් කාලය, සහ හැඟීම් මිඩංගු කර කරන මෙම ආදර අකුරු හුවමාරුව සැබවින්ම යම් මට්ටමක සාහිත්‍ය නිර්මාණයක්.
සුවඳ ගැල්වූ කොළයක, රෝස පෙති හෝ ඕකිඩ් පෙති අතුරලා තමන්ට පුළුවන් ලස්සනම අත්අකුරෙන්, සුවඳ පෑන් තුඩකින් හැඩ මවලා ලියන ආදර ලියුමක් කියවපු කෙනෙක් අපේ පරම්පරාවෙන් නම් හොයා ගන්නත් නැති තරම්. අද වන විට ඉතා වේගවත් පණිඩිඩ හුවමාරු ක්‍රම ජංගම දුරකථන, අන්තර්ජාල හා සමාජ ජාලා නිසා ලැබිලා තිබුණත් ඒ කිසිවක් මෙවන් හසුනක ඇති ශක්තියට  සමාන කරන්න බැහැ. සමාජ ජාල පණිවිඩයක් වගේ ටයිප් කළ සැණින් යැවිය හැකි මට්ටමක් නොමැති නිසා, ආදර ලියුම බොහෝ විට කඳුලු වියලාගත් කඩදාසියක්. කෝපය නිවා ගත් අකුරු පෙළක්. ප්‍රේමණිය වදන් වැලක්.

ආදර  ලියුම් සාමාන්‍ය පුද්ගලික ලියුමකින් එහා ගිය නිර්මාණ හරඹයක්. සුන්දරම ආදර හසුනක් නිර්මාණය වෙන්නෙ අත්දැකීම් බහුලම ප්‍රේමවන්තයන් අතින්. පුංචි ගීත ඛණ්ඩ , තමන් විසින්ම කුරුටු ගෑ  කවි, එක් එක් ලෝ ප්‍රකට සාහිත්‍යධරයන් ආදරේ පිළිබඳ පෑ කියමන් තමන්ගෙ පෙම්බර නිර්මාණයට එකතු කරන්න  සමහරු ආසා කළා. තවත් අය එය වෙනම සාහිත්‍ය නිර්මාණයක් ලෙසම ගොඩ නැගුවා.
හැම මොහොතකදිම, තමන් ආදරණීයයාට, තම හැඟීම උපරිමෙන් සංජානනය කරවීමයි ලියුම ලියන්නාගේ සැබෑ අරමුණ. කවුරුවත් මේ ආදර ලියුම් කියවලා විසි කළේ නම් නෑ. ඔබට මතකද ගම්පෙරළියෙ නන්දා? ඇය පියල් දුන් ලියුම් විසි කළේ අල්මාරියට. අල්මාරියක් කියන්නෙ කෙතරම් වටින තැනක්ද? අලුමාරියට විසි කළ වචනයෙන් කියවෙන්නෙම එය ආරක්ෂා කළ බව. තම ආදරණීයයා තමාට එවන ලද මේ සෙනෙහෙ කොළ  යුග ගණන් පුරා පෙම්වතුන් අතින් එකතු වුණා. වයසට ගිය දවසක, දරු මුණුපුරන් සමඟ රසවිඳින්න තරම් පෙම්බර බවක්, ගෞරවණීය බවක් ඒ ලියුම් තුළ එකතු වී තිබුණා. තමන්ගෙ පෙම්වතා පෙම්වතිය ගැන අනෙකාට ආඩම්බරයෙන් පෙන්විය හැකි ප්‍රාකිහාර්යයක් ආදර ලියුම් අස්සෙන් නිර්මාණය වුණා. ඒ නිසාම ඒ යුග වල ආදරයත් ශක්තිමත් වුණා. අද අපි දකින බොහෝ ප්‍රශ්න එදා නොතිබ්බෙ, නිවී සැනසිල්ලෙ අදහස් ප්‍රකාශ කරගත්ත පරම්පරාවක් හිටිය නිසා.

ආදර හසුන් නිසා සංකේත භාෂාවන් පවා නිර්මාණය වී තිබුණා. ඉතා රහසිගතව ලියුම් හුවමාරු කරගන්න එකල පෙම්වත්තු හරි හපන්නු.  තමන් කියවපු පොත පත, තමන් ආ ගිය තැන්, තමන් බලන්න ආසා කරන චිත්‍රපට, තමන්ගෙ විනෝදාංශ ආදී දේවල් තමන් ආදරය කරන කෙනා එක්ක බෙදා ගන්න ආදර ලියුම් පහසුවක් වුණා.

මේ සෙනෙහෙ කොළ වළ බාහිර ස්වරූපය යුගයෙන් යුගයට පුංචි වෙනස් කම් එක්කම සුන්දර වුණා. යම් යුගයක තාරුණ්‍යය එම යුගයේ නිර්මාණ වලින් සංකේතවත් වෙන ආකාරයෙන් ආදර හසුන් තුළිනුත් පෙනෙන්න තිබ්බා. අසූව දශකයේ අවසන් භාගයේ ආදර ලියුම් සාමාන්‍ය සිංදු කෑලි වලින් අත්මිදුණෙත් මේ හේතුව නිසා. එකල තිබුණු දේශපාලන වාතාවරණය සමඟ එම ලියුම් මඳක් රැඩිකල් පැත්තට බර වුණා. ඒවායේ කැටි වුණු පුංචි පුංචි කරුණු තුළින් තමන්ගෙ මතයට තමන් ආදරය කරන අය නම්මා ගන්න මේ ආදර හසුන් උපකාරි වුණා.

අනූව දශකය විසින් අපේ තරුණයන් අතට ජංගම දුරකථන ගෙනවිත් දුන්නා. වෙහෙස විඳලා ලියන ආදර ලියුම් යල්පැන ගිය දෙයක් බවට පත් වුණා. අද වෙන විට අතිමහත් ජනප්‍රිය ප්‍රේමය හුවමාරු කෙරෙන මාධ්‍යයක් වන සමාජ ජාල  පසු ගිය යුග ගණනක් සාහිත්‍ය නිර්මාණයට ආනුභූතින් සැපයූ  ආදර ලියුම් තරම් කවමදාවත් ඉහළට ආවේ නැහැ. කඩදාසියක හැඟීම් ගොනු කිරීමේ පුරුද්ද දැන් අපෙන් දුරස්වයි තිබෙන්නෙ. වින්දනීය මිනිසෙක් නිර්මාණය කරන්නට, පිරුණු තාරුණය්‍යක් ගොඩ නගන්නට, ප්‍රේමය රසකාමී කරන්නට නැවත වරක් නිවාඩු පාඩුවේ ප්‍රේමණීය තෙලි තුඩකින් ලියුම් කැබැල්ලක් ලියන්න හැකි නම්, එය ඉතා ප්‍රීතිමත්  දෙයක් වේවි. බොහෝ මහානාර්ඝ සාහිත්‍යකරුවන් ගේ මුල් අත්තිවාරම, ඔවුන් සිය ආලවඩන්නන්ට ලියූ පෙම් ලියුම් බවයි ලෝකයේ බෝහෝ සාහිත්‍ය විශ්ලේෂකයන් පවසන්නේ.


12/25/16

-273- ජිවීතේ උතුරන්න ඉඩ දෙන්න.

තුරුලතාවෝ මහ පොළවට ප්‍රේම කරති. මහපොළොව තුරු ලතාවන්ට ප්‍රේමකරයි. තුරුලතා සියොතුන්ට ප්‍රේම කරයි. සියොත් කැළ තුරුලතාවන්ට ප්‍රේම කරයි. පොළව සැම විටම අහස ගැන ආල ලීලාවෙන් පසුවෙයි. අහස නිරතුරු පොළව ගැන ප්‍රේමයෙන් වෙලෙයි. වැස්සක් සේ මහපොළොව මතට වසින්නේ එයයි. එපමණක් නොව නීල ජල කඳක් දරා හිඳින මහ මුහුද කිසිවකට නොදෙවෙනි උපරිම ප්‍රේමයකින් සියලු මහද්වීප බදා වැළඳ සිටියි. ඒ මහද්වීප මහ මුහුද ගැන අපරිමිත විශ්වාසයෙන් ලෝකය දරා හිඳි. සොබාදහම  මෙතරම් ප්‍රේමයෙන් ඇලලෙන්නේ නම්, එය වන්දනාවක් විය නොහැකිද? එය පිරිතක්, ගීතිකාවක් සේ පූජනීය විය නොහැකිද? ආදරය යනු මෙලොව පවතින ඉසියුම්ම දර්ශනය නොවන්නේද?

ඕෂෝ කියන විදිහට, ආදරය තුළින් එක් පාර්ශවයක් පමණක් පිරී ඉතිරෙන්නෙ නැහැ. ආදරය කලාවක් නම් එය එහෙම වෙන්න ඉඩක් පවතිනවා. හිතන්න. මම ඔබ වෙනුවෙන් කවියක් ලියනවා. ඔබ එය විඳිනවා. මම කතාවක් කියනවා. ඔබ එය අසා සිටිනවා. කලාවක් කියන්නෙ ඒක පාර්ශවික පරිශ්‍රමයක්. අනෙකා උදෙසා නිර්මාණය කරන විස්මය ජනක පරිශ්‍රමයක්. නමුත් ආදරය කලාවක් නොවෙයි. ආදරය මැවෙන්නෙත් ගොඩනැගෙන්නත් කිසිම වෙහෙසකින් තොරවයි . ආදරය කියන්නේ හදවත් පිරී ඉතිරී යාමයි. කුසලානයක පිරවූ රතු වයින් වගේ චමත්කාර මිහිරකින් පිටාර ගැලීමයි. ඔබේ සිතිවිලි මාළිගාව ඔබ නොදැන සිටින අරුම මොහොතකදී ඔබ ඉදිරියේ ආඩම්බරයෙන් විවර වීමයි.

ඔබ ආදරයට ආදරය කරන තරමට, ආදරය විසින් කවදාවත් ඔබ පය නොතැබූ සුන්දර ඉසව් ඔබ ඉදිරියට රැගෙන එනවා. ඒ මොහොතේ ඔබට රැස් වළල්ලක් ‍ඔබ වටා මැවෙන අයුරක අරුම පුදුම ප්‍රහර්ෂයක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ආදරය සැමවිටම ප්‍රීතියට පමණක්ම ඉඩ තියන්නෙ නැහැ. එය එක් අතකින් වේදනාව මිට මොළවා ඔබ සමඟම ඇවිද එනවා. ඔබට ඉන් මිදෙන්නත් බැහැ.

සමහර ප්‍රීතිමත් මොහොතවල් ජීවිතය ඔබෙන් උදුරාගන්නවා. ඉතින් ඔබ කඳුළු සලන්නෙ ඇයි? යමෙක් ඔබේ ප්‍රීතිය ‍ඔබෙන් සොරාගත්තා නම්, ඔබ එයට ස්තූතිවන්ත විය යුතුයි. ජීවිතය සිනමාපටයක් නොවන වග ඔබට පහදා දෙන්නේ එවන් අයයි. ඒ සොඳුරු සතුට සොරාගත් අය ගැන  අනුකම්පා කරන්න. එය ආදරයකට හරවන්න උත්සාහ කරන්න. ඔවුන් වේදනාවෙන් ලෙඩ වුණ අය. ජීවිතය මඟ ඇරුණ අය. ජීවත් වෙන අතරෙදිම හදවත් වලින් මිය ගිය. ප්‍රීතිමත් හැඟීම් වලට ඉතාම ආගන්තුක අය. ඔවුන් ඔබ ලද ජීවිතය ගැන ඉරිසියාවෙන් මිරිකිලා. ඔවුන් හදවතට හොරෙන්ම විඳවන ජීවිත තෝරගෙන.

ඔබේ මිහිර, ඔබෙන් හොරාගන්න අමානුෂික, කුහක අදහස් වලින් ආදරය කැටගරි කරන්න ඔවුන් පෙළඹෙනවා. මේ ඔබේ පවුල. මේ අය පවුලෙන් පිට. මේ අයට ආදරය කරන්න. මේ අයට ආදරය නොකරන්න. මේ අය ඉවත් කරන්න. මේ අය වැළඳගන්න. ආදරයට කොහේ තියෙන කැටගරියක්ද? ආදරය කියන්නෙම ආදරයටයි. සංස්කෘතිය විසින් සමහර වෙලාවට ආදරය මරලා දානවා. ඔබත් මමත් සංස්කෘතිය නාමයෙන් ආදරය ඝාතනය කරන්න එකතු වෙන්නෙ ඇයි?

ආදරය සීමා මායිම් දමා බැඳ දමන්න පුළුවන්ද? ආදරය යන හැඟීම උපදින තැනවත් නොදැන හිර කරන්නෙ කොහොමද? සීමා නැතිවූ තැන ගොඩනැගෙන සහෘදත්වයට ලෝකය ඉතා බියක් දක්වනවා. ඒනිසයි මෙතරම් සීමා පනවන්නේ. ආගමික සීමා, දේශ සීමා ආදී සියල්ල අතර පවුල තුළ පවා සීමා නිර්මාණය වෙනවා. ඒ නිදහසට ඇති අප්‍රමාණ බිය නිසා නේද?

ඔබ ආසයි නටන්න. ඒත් අනෙක් අය කැමති නෑ ඔබ නටනවාට. සමහරවිට ඒ ඔවුන්ට නැටුම් බැරි නිසා. නැත්නම් ඔවුන් නැටුම් නොදන්න නිසා. සමහරවිට හැබෑවටම ඔවුන් නැටුම් වලට අකමැති නිසා. මේ හේතු තුනෙන් නිවැරදි හේතුව කුමක් වුවත් ඔවුන් ඔබේ නැටම නවත්වන්න උත්සාහ කරාවි. ඔබ නටන අවස්ථාව පිළිබඳ, ඔබේ සිත තුළම වරදකාරී සිතුවිල්ලක් මවන්න වෙරදරාවි. ආදරය කරද්දි ලොව එරෙහි වන්නේ මේ ආකාරයෙන්මයි. ඔබට ඔබ ආශා කරන විදිහට ආදරය කරන්නට ඔවුන් ඉඩ නොදේවි. ආත්මය විසින් රෝගී වූ ඔවුන්ට ඉන් එහා යමක් කළ හැකිද? ඔවුන්ට අවශ්‍ය ලෙස ඔබේ ආදරය පුරන්නට ඔවුන් බලකරාවි. ඉතින් මෙවන් පරිසරයක් ඉදිරියේ ශක්තිමත්වම සිටිය යුත්තේ ඔබයි.

ඔබේ ජීවිතය ඔබ විසින් අල්ලාගන්න. සෑම මොහොතකම ජීවිතය සාදයක් සේ සිතා ප්‍රීතිමත් වෙන්න. ඔබට සැමවිටම උගන්වන්නට බලා සිටින සමාජය ඔබට ගෙන එන්නේ වේදනාව නම්, එවන් දේ නොතකා සිටින්නට පුහුණු වෙන්න. ඔවුන්ටත් ආදරය කරන්න. ආදරය බෝවන රෝගයක් වගේ. වේගයෙන් පතුරන්න පුළුවන් දෙයක්.

බලන්න, මේ අවට ඇති ගහකොළ දිහා. ඔවුන් බුම්මාගෙන ඉන්නවා කවදාවත් දැක තියෙනවාද? මඳ සුළඟට ඔවුන් ගීත ගයනවා. බලන්න, මේ පුංචි කුරුලු රංචු දෙස, ඔවුන් නිහඬද? ඔවුන් සුන්දර ගීතයක් සොයනවා. ඒ ගයන්නෙ ඔබටයි. ගංගා වල සරැළි අතර, ඇළ දොළ මැද ගලන පෙණ කැටි අතර හැම තැනකම රැඳී ඇත්තේ සතුටයි. විනෝදයයි. ජීවිතයේ ආලෝකයයි. ඔබත් මේ හැම දෙයකම කොටසක්. ලෝකයට ඔබ පිවිසියේ ලොවට ආදරය කරන්නයි. ජීවිතය විඳින්නයි. උත්තරීතර ආදරය, ප්‍රීතිය ඔබ තුලින්ම හොයාගන්නට වාසනාවන්ත වෙන්න. ජීවිතය මෙන්ම ආදරය තියෙන්නෙත් ඔබේ දෙපා පාමුල.


12/20/16

-272- වේදනාවේ උල්පත් පෑන

ප්‍රීතියට පත් වෙච්ච මිනිස්සු ඉන්න යුග වලදි සාහිත්‍ය සහ කලාව ඉතා ඉහළින් දියුණු වුණා කියලා, යුරෝපීය ඉතිහාසය සහ ආසියානු ඉතිහාසය ගැන මුලාශ්‍ර වලදි කරුණු පෙනෙන්න තියෙනවා. ඒ වුණත් බොහෝ අග්‍ර කෘතින් බිහි වෙන්නෙ වේදනාව පිරුණ යුග වලදි. මැක්සිම් ගෝර්කි, නිකොලයි ගොගොල් , අර්නස්ට් හෙමිං වේ වගේ ලේඛකයො ගැන අදටත් මුළු ලෝකයම කතා කරන්නේ ඔවුන් මනුෂ්‍ය වේදනාවේ උල්පත් තමන්ගෙ පෑනෙන් අකුරු කරපු නිසයි.
පුද්ගලයො වශයෙන් ගත්තත්, ඉතා සුරම්‍ය කලා නිර්මාණ මේ ලෝකෙට දායාද කරපු බොහෝ දෙනා තමන්ගෙ හදවතේ වේදනාව හිර කර ගත්ත අය. සමහර වෙලාවට නිර්මාණ කියලා එළියට ආවෙම ඔවුන්ගේ හදවත් වලින් පිටාර ගලපු මහා වේදනාවේ නිවිච්ච කඳුළු බිංදු කියලා, ඔවුන්ගෙ පුද්ගලික ජීවිත ගැන දන්න කියන කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.
අපි උසස්පෙළට ඉගෙන ගන්න මළවුන්ගේ අවුරුදු දා නවකතාවෙ, දෙවෙන්දරෝ සං මනංකල්පිත කෙනෙක්ද? සැබෑ කෙනෙක්ද? එහෙමත් නැත්තම් මහාචාර්ය එදිරිවීර සරච්දන්ද්‍රයන්ගෙ පෑන නිර්මාණය කළ මායාවක්ද? ඒ මුකුත් නෙවෙයි නම්, ඇත්තෙන්ම ජපන් තරුණියකට පෙම් කළේ අපේ එදිරීවීර සරච්චන්ද්‍රයන්ද? ඔයාට කවදාවත් මෙහෙම හිතිලා නැද්ද?
ලේඛකයෙක් කියන්නෙ ඕපපාතිකයෙක් නෙවෙයි. ඔහු මේ සමාජයේ අපිත් එක්කම ගැටෙන, කතා බහ කරන තවත් එක මනුස්සයෙක්. අපි දකින ලෝකයම, අපි විඳින සතුටම අපි විඳින දුක ම විඳින කෙනෙක්. ඔහුගෙ හෝ ඇයගේ සැබෑ ජීවන දැක්ම, අත් දැකීම් සහ ඒ වයේ පිරුණ වේදනාව සහ සතුට ඔවුන්ගෙ නිර්මාණයන් විදිහට එළි දකිනවා.
අපි තව දුරටත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය භාවිතාවට දෙසටම හැරුණොත්, ඔහුගේ අග්‍ර නාට්‍ය යුගලය වන මනමේ සහ සිංහබාහු හුදු ඓතිහාසික කතා දෙකක් නාට්‍ය වලට හැරවීම නෙවෙයි කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ජීවිතයේ තමන්ගේ පහසේ රැඳුණ ස්ත්‍රී ජීවිත තමන්ගෙන් වෙන්ව යාමේ විප්‍රයෝගය සාධාරණීකරණය කරන්න ඔහු නිර්මාණ කළා වෙන්න බැරිද? "නොදනිමි කාගේ දෝසා" ඔහු මනමේ අවසාන කරන සැටි බලන්න. සාමාන්‍ය මිනිසා සහ සාහිත්‍යකරුවා අතර වෙනස එයයි. සාහිත්‍යකරුවා , කලා කරුවා ප්‍රකෝපයට පත්වන්නෙ නෑ. වේදනාව නිසා කඳුළු වගුරන්නෙ නෑ. ආදර ලියුමක් ලියන, ඔයාට ඒ ලියුම ඇතුළෙ බනින්න පුළුවන්, කේන්ති ගන්න පුළුවන්. හඬන්න පුළුවන්. ඒත් කලා නිර්මාණයක් කියන්නෙ, කඳුලු වියලාගත්, කේන්තිය නිවාගත් හදවතක් වගේ තැනක්. මේ කාරණාව ගැන කතා කරන්න තවත් හොඳම කෙනෙක් තමයි "සේකර".
මහගමසේකර කියන්නෙ ලංකාවේ හිටිය විස්මකර්ම කලා කාරයෙක්. ඔහු කවි, නවකතා, චිත්‍රපට, චිත්‍ර ආදී බොහෝ ක්ෂේත්‍ර වල විවිධ පරාසයෙන්ගෙන් දක්ෂකම් පෑවා. ඒ හැම කලා නිර්මාණයක් තුළම ඔහුට අනුභූතිය සැපයුවේ ඔහුගේම ජීවිතය. මිනිහෙකුගේ ජීවිතේ ඇදවැටීම්, බිඳ හෙලීම්, හැරයාම් ඒ මනුෂ්‍යයාව වෙනස් කෙනෙක් බවට පත් කරනවා. ඒ වෙනස් වෙන පුද්ගලයා විසින් නැවත සමාජය වෙත ඔසවන්නේ ආයුධයක්ද, පෑනක්ද කියන කාරණාව ඉතාම වැදගත්.
බොහෝ කලා කරුවො වගේම, බොහෝ දුෂ්ට ත්‍රස්තවාදියො බිහිවන්නෙත් වේදනාව තුළින්මයි. කලාව තුළ ඉහළම නිර්මාණය කරන්නෙ වේදනාව සමඟම ජීවත් වෙන මිනිස්සුයි. ඒ අය අවුරුදු ගණනක අනාගතය එක මොහොතකින් සිහිනයක දකින්නට තරම් දක්ෂ වෙනවා. ඔවුන්ගෙ වේදනාවත්, සොබා දහමත් දෙකක් නොවී එකක් බවට පත් වෙනවා. සේකරයන් අතින් "සත්සමුදුර" චිත්‍රපටයට මෙම ගීය ලියවෙන්නෙ ඒ නිසයි.
"සිනිඳු සුදු මුතු තලාවේ පිපෙන පෙණ පිඬු සිනා සේ සැලෙන රළ මත ගිලී ඉපිලී ගලන සිතුවිලි මුලාවේ
ගැඹුරු සත් සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරී වියරු දළ රළ තුමුල මහ මෙර දෙදරවයි බුර බුරා නැගි කුරිරු ජල කඳ දෙරණ සම්පත ගිල ගනී"
මිනිසෙකුගේ මුලා වූ සිතුවිලි සමුදායක්, උඩු හිත සහ යටි හිත කළඹවන ආකාරය කිසි දවසක හැබැහින් ඔහුට දකින්නට නොලැබුණු සුනාමියක් සමඟ එකතු කරලා ඔහු මේ පද වැල අමුණනවා. මේ ස්වභාවික ව්‍යසනය සිද්ධ වෙන හැටි ඔහු කවදාවත් ඇසින් දැකලා දැනගෙන හිටියෙ නෑ. ඔහු සොබාදහම තමන්ගේ මුලා වූ සිතිවිලි හරඹය අකුරු කරන්න සංකේත විදිහට යොදාගත්තා විතරයි. සිංහල සාහිත්‍යයේ දි අපි මේ කාරණාව "උත්ප්‍රාසය" කියන නමින් හැඳින්නුවත් සේකර වගේ සාහිත්‍යධරයො හදවතේ ඒ මොහොතෙ පැවතිච්ච නිර්ව්‍යාජ රටාවයි අකුරු කරන්නෙ. ඒ නිසයි මේ නිර්මාණ යුග ගණනාවක් එළිය කරන්නෙ.
වේදනාව තුළින් බිහි වුණ මේ වගේ අග්‍රගන්‍ය කලාකරුවො සෑම රටකම පාහේ ඉන්නවා. අපි ප්‍රධාන වශයෙන් කතා කළේ දෙදෙනෙක්ට ආනුභූතීන් වුණා කියා සැක කළහැකි තැන් ගැන පමණයි. දැන් අවස්ථාව තියෙන්නෙ young ඔයාටයි. එක රැල්ලට පහු ගිය කාලෙ පොත් ප්‍රදර්ශන වලට එහෙම ගිය හින්දා, ගෙදර ගොඩගැහුණ පොත් පත් ටික මුලින්ම අපි කියවන්න පටන් ගමු. නත්තලට පොඩි නිවාඩුවකුත් ලැබෙයිනෙ. ඔය අතරෙ facebook අස්සෙ, Social Media පැත්තෙ රවුමක් යනකොට share වෙන කවි කුරුටු දිහාත් පොඩ්ඩක් අවධානයෙන් බලන්න අමතක කරන්න එපා. වේදනාව අකුරු කරන්න පුරුදු වෙන අංකුර නිර්මාණකරුවො වගේම විශිෂ්ටයොත් ඔයාට මුණ ගැහේවි. නිර්මාණය දෑස මානෙට ගෙනෙන මාධ්‍ය මොකක් වුණත් එය බිහි කරන්න නිර්මාණ කරුවො වින්ද වේදනාව අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන්න විඳින ශාරීරික වේදනාවට සමාන මානසික වේදනාවක් කියලා එතකොට ඔයාට දැනෙන්න පටන් ගනීවි. අන්න එතනදි ඔයා කලාවේ ස‍හෘදයෙක් වේවි. කලාකරුවෙකුට සමාන හදවතක් ලැබෙනවා කියන්නෙ ලේසී පහසු වැඩක්ද?