මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

3/22/14

-239- සහෝදර කෝපි කොප්පය



ඔහු ආයෙත් ලියන්න පටන් ගත්තා. පැයක් දෙකක් පුරා නිහඬව කඩදාසියක සටහන් කළ පුංචි ඉරි කෑලි කිහිපය ගැන කිසිම අර්ථයක් නොතේරුණත්, ඇය ඒ දිහා බලාගෙන හිටියා. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් ඔහුට නැති බව කියා පාන්නා වගේ, ඔහු එකම සිතිවිල්ලක හිරවෙලා, දිගින් දිගටම ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්. බිඳෙන් බිඳ ලියවෙන අපූරු ලියවිල්ලක්. ඇඳ පසෙක නිදා ඉන්න සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක් ලියනවා. ඔව්! ඒක පෙම් කතාවක්.

***

සුපුරුදු විදිහටම දෙවනි කෝපි කෝප්පයත් ඉවරයි. ඒ එක්කම මේසයට සිහින් තට්ටුවක් සමඟ, නුහුරු බසක හුරු ගීයක මුණු මුණුවක්. තව කෝපි කෝපයක් අවශ්‍යය බව කියනා මෘදු සංඥාව දැන් ඇයට හොඳටම හුරුයි. ශබ්ද නොනැගෙන්නට පියෙන් පිය තබා යහනතින් මිදෙන ඈ, මේසය මත ඇති හුරු පුරුදු සහෝදර කෝපි කෝප්පය අතට ගන්නවා. හඬක් පිට නොවෙන්නට අඩවන් කළ දොරින් එළියට නික්මෙනවා.

දැන් ඇය නිදහස්. අඩිය පොළවෙ තියන්න පුළුවන් පමණට නිදහස්. හුස්ම ළය පුරා පිට කළ හැකි පමණට නිදහස්. දිගැටි පිඟන් ගඩොල් මේසය අද්දර කවුළු තිර, නිල් අඳුරේ පාවෙලා එන සීත සුළං රැලි සමඟ පුංචි පහේ හාද කතාවක. මේසය කෙළවරේ පුංචි තනි ලිප දැල්වෙන්නට ආසාවෙන් මඟ බලාගෙන. තව මිනිත්තු පහකින්, හයකින් යමැස්සේ වෙලෙන මිදෙන කවුළු තිර දික්කසාද කරන හීන් සුළං රැළි කේතලේ දෙයදර සිපගනිමින් ඉහළ නගින බව ඇය හොඳටම දන්නවා.  කේතලේ ප්‍රේමය කවුළු තිරයේ ප්‍රේමය තරම්ම, නිහඬ නැතත්, මේ මොහොතේ විශ්වය මත පවතින හැම දෙයක්ම අතිශයින්ම පෙම්වත් නිසා කෝපි කෝප්පයටත් ආදරය නොඅඩුව ලැබෙනවා. කරාමය කෙමෙන් කෙමෙන් එකම අයුරේ දිය තලයක් මුදාලමින් කෝප්පය පැරණි ප්‍රේමයෙන් මුදාලනවා. තව මොහොතකින් අලුත් ප්‍රේමයක්.. 


කෝප්පය වෙනස් නොවුණත්, මේ අලුත් කෝපි. 


ඔහු තවම ලියනවා.


උණු වතුර සීනි සහ කෝපි. එකම කෝප්පයක තද දුඹුරු පැහැයෙන් තරඟයට කලවම් වෙනවා. මේ ඔහු කැමතිම කෝපි කෝප්පය නෙවෙයි. එහෙත් මේ මොහොතේ කෝපි, ඔහුගෙ අවශ්‍යතාවයක්. කෝපි කෝප්පය ප්‍රාර්ථනාවක් වුණු බොහෝ වෙලාවට ඔහු සුපුරුදු කෝපි අවන් හලට යනවා. අන්තර්ගතය නොදන්නවා වුණත්, ඇය හදන කෝපි කෝප්පයට වඩා ඒ රසට ඇයත් කැමතියි. 


ඒක එහෙම හැඟෙන්නෙ, මේ කෝපි කෝප්පය ඔහුට විතරක් නිසා වෙන්නත් පුළුවන්. 


තුන්වෙනි කෝපි කෝප්පය පිළිගන්වන්න නැවතත් ඇය දොරෙන් කාමරයට එබිකම් කළා. ඇඟිලි තුඩු වලටත් බර නොදී සුපුරුදු තැනින් අංශකයකවත් හෙලවීමක් නොකර කෝපි කෝප්පය ස්ථානගත කෙරුවා. 


ඇත්තටම කෝපි කෝප්පය සුන්දර වන්නෙ ඔහුගෙ දෑත මත ඇගේ දෑත තබා ඔහුගේ නෙත් දිහාවෙ එක එල්ලේ බලා හිඳීමෙන්. ඔහුගේ නොනවතින ආලවන්ත වැකි සීරු මාරුවෙන් දරා හිඳීමෙන්. සුන්දර සහ මෘදු හාදු වැස්සක කිමිදීමෙන්. 


මේ වෙලාව එහෙම කෝපි කෝප්පයකට අයිති නෑ. ඒ බව තේරුම් ගන්න දැන් ඇය දන්නවා. ඇය යහන මත එකම ඉරියව්වක හිඳ ඔහු දෙස බලා ඉන්නවා. ඔහු තවමත් ලියනවා. 


අද රෑ තව හුඟක් දිගයි. එහෙත් හෙට උදෑසන කෙටියි. සිහින තව සෑහෙන දුරයි. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් මේ මොහොතේ ඔහුට නැති බව සහෝදර කෝපි කෝප්පයටත් පැහැදිළියි. ඔහු එකම සිතිවිල්ලක ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්.  සෑහෙන දුරක් නිමා කළ ලියවිල්ල තවමත් බිඳෙන් බිඳ ගළපන්න ඔහු වෙහෙසබර දෙනෙතින් වෙර දරනවා. යහනේ කෙළවර නිදා සිටිනා සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක ලියනවා.


අඳුනන ආදරියකගේ නන්නාඳුනන ප්‍රේමයත්, නාඳුනන ආදරියකගේ දන්න හඳුනන ප්‍රේමයත් සම සමව ඒ සුන්දර ලියවිල්ලේ අවසානයට ගැබ් වන බව ඇය දන්නවා. 


හැම ආදර කතාවක්ම එක වගේ කියලා, නම අමතක ලේඛකයෙක්, කොහේදෝ පොතක පළමුවැනි පරිච්ඡේදයෙ අගම පෙළ ලියලා තිබුණු බව පමණක් සිහිපත් වෙලා, ඇයගෙ මුහුණට සිනා රැල්ලක් වඩිනවා.. ඒ මොහොතෙම, විදුලි පවන් පත් එක්ක හෙමි හෙමින් රෑ ගවුම දඟ කරනවා..


කුමක් කරන්නද? ඔහු තවම ලියනවා.



2/22/14

- 238 - "18 - " ලෝකයේ සිට අමතමි



පෙරේදා උදේ අහස කලු කරගෙන වැස්ස මතක් කරන්න වාගේ රත් වෙච්ච දකුණු කොළඹ පොළව නොසෑහෙන්න රැව්ට්ටුවා. වෙලාව උදේ හතහමාරට විතර ඇති. කොහුවලෙ ඉඳන් නුගේගොඩටම තියෙන ලොකුම පත්තර කඩේ ඉස්සරහ බස් එක හයියෙන් බ්රේක් පාරක් ගැහැව්වා. අවට පරිසරයේ හඬ අහන්න තියෙන කැමැත්තට මම හැන්ඩ් ෆ්‍රී දෙක ගලවලා බෑග් එකේ පිට සාක්කුවට එබුවා. බස් එකෙන් බැස්ස ගමන් පදික වේදිකාවෙ පයට පෑගෙන්න නොපෑගෙන්න ඕනෑවට එපාවට තබා තිබුණු රන් තැඹිලි කැන් දෙක දිහා රස්නෙ වැඩිකම නිසාම මමත් බැලුවෙ තරමක පෙරේත ඇසකින්. රුපියල් හතළිහකට ඇටි තැඹිලි ගෙඩියක් කපාගෙන කඩේ අංකල්ට කියලා බෝතලේකට දාගත්තෙ රස්නෙ නිසා ඉස්කෝලෙට ගිහිල්ලාම නිදහසේ බොනවා කියලා හිතාගෙන.

උදේ පාන්දරම ඇවිත් සිරිකතක් ඇදලා ලංකාදීපෙ උඩට දාලා ගියා කියලා, ලංකාවෙ කාන්තාවකට බනින්න තියෙන උපරිම සැර වචන භාවිතා කරමින්, එතැනින් පාර පැනලා ගිය කලු මල් ගවුමක් ඇඳපු තලතුනා ඇන්ටි කෙනෙකුට පත්තර අංකල් බනින්න පටන් ගත්තා. ඒ හින්දාම මගෙන් වෙනදාට අහන පත්තර ප්‍රශ්න අහන්න ඔහුට අමතක වුණා. ඕනෙ කරපු පත්තර දෙකත් අරගෙන මමත් ලහි ලහියෙ කලර් ලයිට් වලට දුවගෙන ආවෙ මාර්ග නීති සහ කාලය අතර කවදත් තියෙන්නෙ රේඛීය ගැටුමක් හින්දමයි.

තව වෙලාව තියෙනවා වගේම, බඩෙත් ඉඩ තියෙන නිසා සුමනදිසියෙන් ඩෝනට් එකකුත් අරගෙන
පත්තර වලට හිර වෙලා තිබුණු බෑග් එක ඉහළින් එබුවා. මේ වෙලාවෙ බෑග් එක හරියට පාර්ලිමේන්තුව වගේ. එකකට එකක් නොගැළපෙන, අනවශ්‍ය වැඩක් ඇති සහ වැඩක් නැති දේවල් පිරිලා. අහක බලාගෙන පඩිය නැග්ග නිසා, ඇඟේ වැදුණු ලස්සනට ඇඳපු අක්කා කෙනෙකුගෙ රැවුමකට සිනාවකින් සංග්‍රහ කරලා..මම ඉක්මනින් පාර මාරු වුණා.

ලෝකෙ හැම තැනම නරක විදිහට වෛරය පිරිලා තියෙනවා. බස් එකේ. පත්තර කඩේ. බත් කඩේ. කෝච්චියෙ. ඉස්කෝලෙ මේ හැම තැනකම අපි අපිම අතර වෛරය පැටව් ගහලා. මට එහෙම හිතුණෙ බස් එකේ එක සීට් එකක ඉඳගෙන කතා කර කර හිටපු පාසල් යන යොවුන් දැරියක් සහ දරුවෙක් දැකීමෙන්. ඒ දෙන්නාගෙ  තමන්ගෙ අවධානය සම්පූර්ණයෙන්ම යොදවලා හිටපු වැඩිහිටියො කිහිප දෙනෙක්ගෙ කතා බහට සවන් සහ දෑස් යොමා සිටි පිළිකුල් සහගත හැඟීම් උල්ප්පපු වැඩිහිටි මුහුණු කිහිපය තාමත් මතක්වෙද්දි මගේ කම්බුල් ඇදිලා යනවා. ඉගෙන ගනිද්දි, වැඩක් කරද්දි හැම වෙලාවකම බෝධිසත්ව සිද්ධාර්ථ කුමාරයාගෙ චරිතෙ ආදර්ශෙට ගන්න කියලා බල කරන අපේ වැඩිහිටියො ප්‍රේමය කියන කරුණෙදි විතරක් ඒ සියල්ල අමතක කරනවාද මන්දා. සිද්ධාර්ථ කුමාරයා අවුරුදු දහසයෙන් විවාහ වුණා කියලා දහම්පාසල් පොතේ වගේම ඉස්කෝලෙ බුද්ධාගම පොතෙත් තිබුණා. එහෙව් එකේ, අවුරුදු දහසයක දැරියක් දරුවෙක් කතා කර කර යාම දිහා අපුල විදිහට බලන එක ටිකක් පරස්පරයි. ඒත් එහෙම හිතන්න පුරුදු වෙච්ච ලෝකෙ වෙනස් කරන්න යන්න මට කිසිම ඕනෙ කමක් නැහැ. හොඳම දේ මම වෙනස් වීම. ඒ විදිහට ලෝකෙම හිතයිද නැද්ද කියන එක මම දන්නෙ නැහැ. ඒක මට අදාළත් නෑනෙ.

මම එකසිය විස්සෙ ජනේලයක් ඇරුණු ආසනයක නිදහසේ හුළඟ එක්ක කතා කරන්න ඉඳගත්තා. 
ළමා අධ්‍යාපනය සහ ළමා මනෝවිද්‍යාව ගැන හදාරන්න ඕනෙ තරම් උපාධි සහ පාඨමාලා අපේ රටේ වගේම පිට රටවලත් තියෙනවා. හිස් හිතක් පිරවීමේ කාරිය ලේසි නෑ කියලා එතැනට එන අය උගන්වනවා. ඒක හරි. පොඩි දරුවන්ගෙ හිත් වල වැඩි හරියක් හිස්. ඒවා නිවැරදි දෙයින් පුරවන්න අනිවාර්යෙන් පැහැදිළි විධිමත් ඉගෙනීමක් ඕනෙමයි. 

ඒකනෙ මොන්ටිසෝරි වගේම ප්‍රාථමික ඉස්කෝල වලටත් ගුරුවරු ගනිද්දි ඒ ඉගෙනීමට  අදාළ ඩිප්ලෝමා වගේම උපාධි වගේ දේවල් ඉල්ලන්නෙ. ඒත් පස්සෙන් පහු අධ්‍යාපන රටාව ඇතුළට බලහත්කාරෙන් පුරවන උපාධි ගුරුවරුන්ට මේ ගුරු මානසික අධ්‍යාපනය විධිමත්ව ලැබෙනවාද කියන්න මම දන්නෙ නෑ. මේ ගුරුවරු නරකයි කියලා නම් කොහෙත්ම කියන්න බෑ. ඒ අයට හොඳ උගත්කමක් තියෙනවා. ඒත් ඒ අය ළමයාව තේරුම් ගන්නවාද කියලා පොඩි ගැටලුවකත් මට තියෙනවා.

හැමෝම හිතන්නෙ දරුවෙක් රැකබලා ගැනීම ගැන සම්පූර්ණ අවධානය දෙන්න ඕනෙ ප්‍රාථමික සහ ළදරු අවධියෙ කියලනෙ. ඒත් මම නම් හිතන්නෙ, දරුවන්ට වැඩි අවධානයක් ඕනෙ කරන්නෙ අවුරුදු දොළහ ඉඳන් දහ අට වෙනතුරු කියලයි. දොළහ වෙනකොට දරුවාගෙ මොළේ කියන පොට් එකේ සැලකිය යුතු කොටසක් පිරිලා. ඒ වෙද්දි එයා විහින් මත ගොඩ නගා ගන්න පටන් අරන්. ඒ වෙලාවෙ එයා පොට් එකේ තියෙන සැලකිය යුතු ප්‍රමාණෙන් එයාට අනවශ්‍ය ටික හලලා දාන කාලෙ.. අලුත් දේවල් තියෙනවා නම් ඒවාට තමන්ගෙ මතයට සමරූපිව එකතු වෙන්න දෙන කාලෙ. මේ කාලෙදි එයාලගෙ මොළයට බලෙන් දෙයක් පුරවන්න හරි අමාරුයි. ඒක හරියට මල් වාස් එකක් තියෙන අනුන්ගෙ මේසයක් උඩට අපේ මල් වාස් එකක් තියලා ලස්සන බලන්න හදනවා වගේ වැඩක්නෙ. ඒ හින්දා ගුරුවරු සූක්ෂම වෙන්න ඕනෙ. නැතිනම් අත්‍යාවශ්‍ය වටිනකම් මේ කාලෙදි පුරවන්නෙ නැතිව, දහ අටෙන් පස්සෙ ඵලය පොට් එකේ තියෙන්නෙ ගොම කියලා දැනගෙන ඇඬුවට වැඩක් වෙන එකක් නෑ.

උපන්න ගමන් අර එන්නත, මේ එන්නත දෙන්න දුවන, පළවෙනි දත එන දවස, අඩිය පොළවෙ ගහන දවස පින්තූරත් එක්ක මතක පොත් වල සටහන් කරන, අපේ රටේ බහුතරයක් අම්මලා, අවුරුදු දහ හතරක් පහළවක් ගිය දරුවො දත් මැද්දද කියලාවත් බලන්නෙ නෑ. ඒත් ඒක හරි සාධාරණයි. තමන්ගෙ කකුල් දෙක හෝදගන්නවත් වෙලාවක් නැතිව දූවිලි පිරි දෙපයින්, සාරි ඉනේ පටලාගෙන , අවුල් හිස කෙස් වනාගෙන රැකියාවට දුවන මැදිවියේ අම්මලා බර දරන ආර්ථික ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒත් ඕනෙ කරන වෙලාවෙ ඕනෙ කරන දේ නොතිබුණොත් වැඩකුත් නෑ. 



අද අපේ රටවල්වල අම්මලා තාත්තලාගෙ සංස්කෘතික මුග්ධ භාවය ලොකු යුග පරතරයක් දෙගොල්ලො අතර ඇති කරමින් සිටිනවා. ඒ නිසාම දරුවො තමන්ගේ යුගයේ අයට ආකර්ෂණය වෙන එක ආරම්භ වෙනවා. ඒ වගේම දරුවන්ගෙ ඥාණය තිබෙන්නෙත්, විචක්ෂණශිලි මට්ටමෙන් ටිකක් ඈත නිසා, එයාලා හිතන විදිහ කොයි අතට හැරෙයිද කියලා පූර්ව නිගමන කරන්නත් බැහැ. ඒ අයට සමීප වෙන්න අපි හදවතින් තරුණ වෙන්න ඕනෙ. යොවුන් වයසෙදි ඇති වෙන විරුද්ධ ලිංගික ආකර්ෂණයට සියවස් ගාණක් පුරා දැඟලුවත් තිත තියන්න බැහැ වගේම, ඕනෙත් නෑ.. ඒක අවශ්‍ය නිසයි සොබා දහම ඒ දේ දීලා තියෙන්නෙ. සොබාදහම වෙනස් නොකර අපි බුද්ධිමත් වුණාම හරියටම හරි. 

දරා ගන්න හැකියාව සහජයෙන් ලැබිලා නැතිනම්, ඒ ශක්තිය දරුවන්ට දෙන්න ඕනෙ අපි. එයාලා තනිවෙලා නෑ කියන දේ එයාලාට පහදලා දෙන්න ඕනෙ අපි හැම ගුරුවරයෙක්ම අල්තිනායි ගැන කියවන්න දරන වෙහෙසම එලිසබත් ඇලන්, පොලියානා, ටොට්ටො චං, ඈන් ගැනත් කියවන්න දරනවා නම්, නව යොවුන් ජීවිත වල වටිනාකම ඥාණ සම්භාරය මීට වඩා ඉහළ යාවි..ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ අද ගුරුවරු අල්තිනායිව වත් නොදැනීමනෙ.  මම හුළඟට නිකමට නිකමට හිනැහුණා.

ලොකු ක්‍රිකට් බෑග් එකකුත් අරගෙන තමන්ගෙ දරුවාව එක අතකින් ඇදගෙන ගමන් කරන බස් එකෙන් පනින්න හදන කලබලකාරි අම්මෙකුට, ඩ්‍රයිවර් කෑ ගහන හඬින් මම ඒ කල්පනාවෙන් මිදුණා.



It is not enough for the teacher to love the child . She must first love and understand the universe. She must prepare herself and truly work at it.

Maria Montesoori 

x


2/5/14

-237- ජීවිතයට Title (නො)සොයනු පිණිස



උදේ පාන්දර බස් එකට ගොඩ වෙලා බලෙන්ම පත්තරයක් ඇඟේ ගහපු කහ පාට මල්ලි, ඉරි ටී ෂර්ට් එකක් ඇඳලා හිටපු අංකල් ට පුදුමාකාර වදයක් බව පසුපස ආසනේ ඉඳගෙන හිටපු මට දැනුණා. ඔහුට ඒ වදකාර හැඟීම උත්සන්න වෙන්න ඇත්තෙ, හිර වෙච්ච අසුනක පත්තරයක් කොහොම වෙතත්, පුංචි කඩල ගොට්ටක් දිග හරින්නවත් නිදහසක් නැති බව, අත්දැකීමෙන් දන්න නිසා වෙන්න ඇති. කොහොම වුණත්  පත්තරේ සීට්ටු ගණනට නවාගෙන, මුලින්ම ලග්න පිටුව පෙරළ ගන්න අංකල් සමත් වුණා.

ඔහුගෙ ලග්නෙ මොකක් වුණත්, බලහත්කාරයෙන් ඉදිරියේ පෙරළා තිබූ පිටුවෙන් නිරායාසයෙන් මම මගේ ලග්නෙ කියවන්න පටන් ගත්තා. 

“ ඉවසීමෙන් වැඩ කළොත් කටයුතු සාර්ථක කර ගත හැකියි.“

සමහර වෙලාවට එකපාරට කේන්ති ගියත්, දිගු කාලීනව පුරුදු කරපු එකම දේ ඉවසීම නිසා, මට ඒ වාක්‍යයෙන් ලොකු බලපෑමක් වුණේ නෑ. 

කොන්දොස්තර මහත්මා ලීලාවෙන් නොදී අමතක කළ, රුපියල් පහක් ගැන කට කියවමින් විඳවන අත්තම්මා ගැන සිතෙහි උපන් ප්‍රබල අනුකම්පාවත්, පෙරදැරිව මම කොහුවලින් බැහැ ගත්තා.
නැවත වරක් පය නොගසන්නට තීරණය කළ පත්තර කඩේ අසලින්, ඉදිරියට ගිහින්, කලර් ලයිට් ගාව හිටගෙන ඉන්න මිනිස්සු අතරට මමත් එකතු වුණා. වාහනයක් දෙකක් අතරින් හොරෙන් පනින්න උත්සාහ කරන මැදිවියේ ඇන්ටි කෙනෙක් දෙන්නෙක් හැර, දැන් හුඟක් අය මාර්ග නීති වලට අවනතයි.

කොහුවලින් එකසිය විස්සක ගොඩවෙද්දි, බස් එකේ පෙම් මුල්ලත්, පොදු දර්ශන මුල්ලත් දෙකම බුක් වෙලා. කතාව හරියටම පටන් ගන්නෙ මෙතැනින්. පෙම් මුල්ලෙ හිටියෙ, මැදිවියේ පෙම් යුවලක්..  පොදු දර්ශන මුල්ලෙ හිටියෙ පන්ති යන දෙන්නෙක්. ඉස්සල්ලා නැගපු මැදිවියේ දෙපළ පෙම් මුල්ල කොල්ල කා ඇති නිසා, පන්ති යන යුවළට අනාරක්ෂිතව පොදු දර්ශන මුල්ලට වෙන්න සිද්ධ වෙලා. දෙගොල්ලොම සෑහෙන්න ආදරණීයයි.. ඒත් බස් එකේ හැමෝම වගේ පෙම් මුල්ලට අමාරුවෙන් ඇහැ දාලා නිල් චිත්‍රපටියක් වාගේ මැදි වියේ ආදර දසුන රසවිඳින්න පටන් අරන්. 

යුවළට ඒක අපහසුවක් වුණත්, මිනිස්සු දිහා හොරෙන් බල බල, දොඩමළු වෙන ඒ දෙන්නා දකිද්දි, මට ඇත්තටම දැනුණෙ දුකක්. මම බස් එකෙන් බැස්සෙ, පිටිපස්සෙ දොරින්. මට ඕනෙ වුණා. ඇගේ අත දැක ගන්න. මම හිතුවා හරි, පාළු නෑ.. රත්තරන් රවුමක් හිර වෙලා තියෙනවා. එහෙත් මේ ඇගේ සැම්යා විය නොහැකියි කියලා මට යන්තමට හිතුණා. ප්‍රති ආදේශකයක් නැති කෙනෙක් තෝරා ගන්න ඇයට බැරි වෙන්න ඇති. ඒ ඇරියස් එක පිරි මහන්න, තව ආදරේකට ළං වෙන්න ඇති. පරම පිවිතුරු ආදරේ, තවමත් හොයා ගන්න බැරි වුණු නිසා ඒ ගැන නොහිතා ඉන්න මම හිතුවා.

මම ඉන්ස්ටිටියුට් එකට ගියා. එඩියුකේශන් ඇන්ඩ් ඩිවලොප්මන්ට් එකේ, මට හිමි අගුල අහිමි, ලොකර් එකට, බෑගය හිර කරලා.. පුටුව උඩ ඉඳගෙන හුස්මක් ගන්න හැදුවා.. එතකොටම ස්ටුඩනට් කවුන්සිලිං එකෙන් කෝල් එකක් ආවා. අපේ ආයතනයේ වැඩිපුරම ඉන්නෙ, සල්ලි ගොඩක් තියෙන, ඒ වාගෙම ප්‍රශ්න ගොඩකුත් තියෙන ළමයි. මගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තව කෙනෙක් ඕනෙ වුණත්, ළමයින්ගෙ ප්‍රශ්න වලට උත්තර මම දන්න නිසා..මගේ දවසෙ සැලකිය යුතු කාලයක් එතැන ගෙවෙනවා.

හිමිදිරි පාන්දර ආවෙ කොහොම ප්‍රශ්නයක්ද කියලා හිතා ගන්න බැරි වුණත්, ඒ දිලාෂ් නොවන බව මම දැනගෙන හිටියා.. උස මහත මහ දරුණු, මට වඩා වයසින් වසර හයක් බාල දිලාෂ්ගෙ අම්මා භූමිකාවත්, අක්කා භූමිකාවත් දෙකම මම රඟපාන්න පටන් ගත්තෙ ගිය මාසෙ ඉඳන්. දිලාෂ් මම එන විට ඉන්ස්ටිටියුට් එකේ උන්නා නම්, මගේ පස්සෙන් එන බව මම දන්නවා. මම එයාට පොරොන්දු වෙලා තියෙනවා. කලින් දවස හොඳට හිටියොත්, පසුවදා උදේට එයාට හග් එකක් දෙන බව. මේ මාසෙම එයාගෙන් කවුරුවත් ගුටි කෑවෙ නෑ.. ඒ වගේම වේගවත් අධ්‍යාපන වර්ධන වේගයකුත් පෙනෙන්න තියෙනවා. 

ඉතිං ප්‍රශ්නෙ මගෙ පුංචි දිලාෂ් නිසා වෙන්න නම් කොහෙත්ම බෑ.. 

මිලන ගේ හිතේ වේදනාවත් ඊයෙ ඉඳන් අඩු වෙන්න පටන් අරන් ... එයාගෙ තාත්තාගෙ දෙවන විවාහය මිලන ගේ ලෝකෙ ගිනි බත් කරලා. සුන්දර ජපන් යුවතියක් වන අලුත් කුඩම්මා, මිලනව රුස්සන්නෙ නෑ වගේම, මිලනටත් ඇයව රුස්සන්නෙ නෑ. ඒ හිත හදන්න  බත් කටවල් සැලකිය යුතු තරමක් වගේම, පුංචි කැමරාවකුත් ගොඩක් උපකාරි වුණා. ට්‍රිප් එක යද්දිත් මට වෙන ගුරුවරියන්ගෙන් ඈත් වෙලා මිලන ළඟ ඉඳගන්න වුණා. 

ඉතිං දැන් සියල්ල හොඳ තත්වෙක නිසා ප්‍රශ්නෙ මගේ පුංචි මිලන වෙන්නත් බෑ..



මම දොරෙන් ඇතුළු වුණා. මම ඇයව දැක්කා. ඇත්තටම මම පුදුම වුණා. ඔව් ඒ ඇය තමයි. ඈ මගේ දිහා මොහොතක් හැඟීම් විරහිත, විසල් දෑසින් බලා සිටියා. ඉන් පස්සෙ හඬ අවදි කළේ, ඉදිරිපිට අසුනේ සිටි උපදේශන අංශයේ වැඩ බලන උපදේශකවරයාට. 

“ මම ආවෙත්, මේ මිස් ආපු බස් එකේ. මට බහින්න යද්දි වැරදුණා“

බහින තැන පමණක් නොවේ. ඇගේ ජීවිතය කිහිපපොළකින්ම වැරදිලා බව, මට දැනුනත් නිහඬව මම මට හිමි අසුනේ හිඳ ගත්තා. මගේ අසුන තියෙන්නෙ, සම්මුඛව වුණත් මඳක් දකුණට බරව.. ඇයගේ දෙනෙත් අධ්‍යනයයි මේ මොහොතේ මට පැවරෙන රාජකාරිය.. දිග කතාවක් අප ඉදරියෙ දිග හැරුණා.. ඒ අෂිනි ගෙ අම්මා. හෙළිකළ කොටසෙන්, නිර්මාණය කළ කොටස සහ, හැංගු කොටස් සියල්ල පසෙක දමලා සාරංශයේ සත්‍ය ගත්තොත්, තව සුමාන දෙකකින්,  ස්වාමියා හැර දාලා... ඔහු එක්ක ඈ ඉතාලි යනවා. 

එතකොට අෂිනි සහ ඇගේ අක්කා තනි වෙනවා. දැනටත් දුරුවල අෂිනි, තවත් කඩා වැටෙන්න පටන් ගනීවි කියන මහා බය මගේ හදවතේ දෝංකාර දෙන්න ගත්තා. හැමෝම තම තමන්ගෙ ජීවිත හොයා ගනිද්දි, වටේ පිටේ එල්ලුණු ආත්ම අතහැරෙන බව හිතන්න පෙළඹෙනවා නම් කියලා මට හිතුණා...අම්මා ගැන තරහක් මට ආවා.. ඉවසන්න කියලා පත්තරෙත් කියලා තිබුණු නිසාම මම ඇයට පිළිතුරු දුන්නෙ නෑ... ලෝකෙට අණ කරන්න අපිට බෑ.. අපිට අයිතියකුත් නෑ..

අෂිනිගෙ හෙට දවස සනසන්න, මිලන ගෙ ක්‍රමයවත් , දිලාෂ් ක්‍රමයවත් වැඩක් වෙන එකක් නැති නිසා, අලුත් ක්‍රමයක් හිතමින් මම කාමරෙන් එළියට ආවා.. මා පසුපස පැමිණි ඇය, මා දෙස යටැසින් බලා, ඇගිල්ලට හිර වූ මුද්ද ලිහිල් කරමින්, පඩිපෙළ බැස්සා. ඒ මුද්ද ඇඟිල්ලට හිර බව මෙවර මම හොඳින්ම දැක්කා. 

1/25/14

-236- ආදර ගෝතමීය



ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් අදටත් හෙටටත් මට දෙන්න තියෙන එකම සහ හැබෑම උත්තරය, නවය වසරෙ ඉඳන් උසස්පෙළ නිම වනතුරු ඉස්කෝලෙ ගත කළ කාලය කියලා කියන එක. අදටත් කෙරෙන සමහර විහිලු, ඔච්චම්, රැවිලි ගෙරවිලි වල ඉස්කෝලෙ අලගිය මුලගිය තැන් වල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන නොසෑහෙන්න තියෙනවා. තාමත් පරණ කරපු වැඩ වලට හිනා වෙන අතරෙම, එදා දැකපු දඟකාර ඇහැට වඩා මව්වත් ඇහැකින් ඉස්කෝලෙ පෙනෙන්න අරන්.

අපේ ආරම්භක දිනය සිහිපත් කෙරෙන්නෙ, ජූනි මාසෙ 17 වෙනිදා. මීට අවුරුදු 67 කට කලින් 1946 අවුරුද්දෙ නිදහස් අධ්‍යාපනයේ පියා වුණු ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්මයාට කාන්තා පාසල් පටන් ගන්න වුවමනා වුණා. මුලින්ම මේ භූමියෙ රාජකීය කාන්තා පාසල ආරම්භ කරන්න කතිකා කෙරුණත් එවකට තිබුණු ඉංග්‍රීසි ප්‍රමුඛ අධ්‍යාපනය සලකලා, රජයේ ඉංග්‍රීසි බාලිකා විදුහල යන නමින් අපේ පාසල ආරම්භ කළා. ග්ලැඩියස් පෙරේරා නෝනමහත්තයා සමඟ, ගුරුවරු තුන්දෙනෙකුත් , ගැහැණු ළමයි පහළොවකුත් මුලින්ම ඉස්කෝලෙ හිටියාලු. ඉස්සරම පාට පාට ඇඳුම් ඇඳන් ආවාට පස්සෙ ටයි පටියක් සහිත යුනිෆෝම් එකක් තිබුණූ බව, අතීත කතා පුවත් වල අහන්න ලැබෙනවා. සෝමා ප්‍රේමරත්න මැඩම් හිටපු කාලෙ තමයි, අපේ ඉස්කෝලෙ සිංහල මාධ්‍යට හැරෙන්නෙ..එදා ඉස්කෝලෙ නම වෙනස් කරනවා. ඒ වගේම වර්තමාන පවතින නිල ඇඳුමටත් වෙනස් වෙනවා.. ඒ ඉස්කෝලෙට තෝරාගැනුණ නම තමයි.. ගෝතමී.



ගෝතමී කියන වචනය සිංහල වචනක් ලෙස අපේ භාෂාව තුළ භාවිතා නොවෙන තරම්. ගෝතමී යනු ඉන්දියානු වචනයක්. එහි අර්ථය බාලිකාවන් යන්නයි. කොහොම වුණත් ඉතිහාසයේ අමතක කළ නොහැකි ගෝතමියන් දෙදෙනෙක් නාමිකව සිටිනවා. එක් අයෙක් මහා ප්‍රජාපති ගෝතමි. අනෙකා කිසා ගෝතමී. ඒ නම් දෙක සිහිකරන වාරයක් පාසා යටි හිතට ආරෝපණය වන්නේ පුදුමාකාර ආඩම්බරයක්.

මහා ප්‍රජාපතී ගෝතමිය, අනුන්ගේ දරුවෙකුට මවක් වූ තැනැත්තියක්. බුද්ධ මාතා ලෙස ලොවම පිළිගත් තැනැත්තියක්. නොසැලෙන වීර්යෙන් අන්තිම මොහොත දක්වාම උත්සාහය අත් නොහළ තැනැත්තියක්. තම අවශ්‍යතා වෙනුවෙන් සියල්ල කැපකළ කාන්තාවක්. අවසන බුදුන්ගෙන්ද පසු ගමන් ලත් කන්තාව සහ එකම කාන්තාව.

කිසා ගෝතමිය, මහා පුරුෂයෙකුට අරමුණක් දෙනු පිණිස නිබ්බුත පද කී ගැහැණියක්, අප්‍රමාණ මාතෘ ස්නේහය උදෙසා දරුවාගේ මලකුණ පවා රැගෙන බෙහෙත් සොයා ගිය ගැහැණිය. උපරිම වීර්යෙන් අවසන් මොහොතේ සත්‍ය පසක් වන තුරු බලාපොරොත්තු අත් නොහැරි මවක්. කාන්තාවකගේ සිතක පවතින ශක්තිය පෙන්නූ අපූර්ව ස්ත්‍රියක්.

ඉඳින් දයාබර ගෝතමිය, ඔබට ආදරය නොකර කොහොමද?

ගෝතමියෙ අපි හැමෝම ගොඩක් දුරට එක වගෙයි. හුඟක් ගති ගුණ සමානයි. එහෙම වුණේ කොහොමද කියලා හිතා ගන්න බැරි වුණත්, ඒක එහෙම තමයි. ඒ සමහරවිට අපිව හැදු වැඩූ හර පද්ධතිය වෙන්න පුළුවනි. අපි අපේ ඉස්කෝලෙ තියෙන තැන ගැන හිනාවුණු සමහර අයට,
“අපි මරදානෙ තමයි“ කිව්වෙ හරි ආඩම්බරයෙන්. ඒක එදාට අදට වාගෙම හෙටටත් එහෙමයි. අපි මරදානෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තිබුණා. ඒ දේවල් වෙන තැනක හිටියා නම් අපිට ඉගෙන ගන්න ඉඩ නොලැබෙන්න තිබුණා. අපි ඉතිරි කරන්න පුරුදු වුණේ, ලෝකයටම ආදරය කරන්න පුරුදු වුණේ, සරළ ජීවිතය පුරුදු වුණේ අපේ ඉස්කෝලෙන්. ගින්දර මහ පොළව උඩ පැවතෙන්න ඉගෙන ගත්තෙ, වේදනාව දරන්න ඉගෙන ගත්තෙ අපේ ඉස්කෝලෙන්.


මුළු ලෝකෙටම වුණත් ගුරුවරියක්, මවක් වෙන හැටි, දුරුවලයන්ටත්, වැඩ්ඩන්ටත් සමානව ආදරය කරන හැටි අපි ඉගෙන ගත්තෙ මේ අපූරු ඉස්කෝලෙන්. සොබාදහම අහස පොළව එක්ක අපිත් හිනාවෙනවා අපිත් අඬනවා කියලා අපි දැනගත්තෙ ඉස්කෝලෙන්. මුළු ලෝකෙම තමන් ඉස්සරහ රඟපානවා නම් ඒ හැමෝටම වඩා හොඳට රඟපාන්න අපි තේරුම් ගත්තෙ ඉස්කෝලෙන්. ඒකයි මම මගේ ඉස්කෝලෙට මෙච්චරටම ආදරේ.

කවදාහරි මට දුවක් උපන්නොත් ඇය මේ ලෝකෙ හොඳමයි කියලා නම් දරණ පාසල් සියයක් ඉස්සරහදි වුණත්, ගෝතමිය තෝරාගන්නා බවට මහා අධිතක්සේරුවක් මට තියෙනවා. මම ඇයට බල කරන්නෙ නෑ. නමුත් ඇය එහෙම කරාවි. ඔබ ඒ ගේට්ටුවෙන් එක වරක් ඇතුළට ගිහින් තියෙනවා නම්, එකම එක දවසක් හරි, එහෙම කරන්න ඇයට ඇති හේතුව හොයා ගන්න පුළුවන්..



ටැම්පිට පිහිටි වැඩ හිටින බුදු හාමුදුරුවන්ගෙ සිවුරු එළියෙන් නික්මෙන රන් පැහැයත්, මරදන් අහසේ වලාකුළක පහසක් වත් සිඟා නොයදින හිරුත් එක් වර ඒ බිමට අරුණෝදය ගෙන එනවා. රළු බොරළු වැල්ලේ එක්වර පිපෙන තුන්දහසකට ආසන්න දැරියන්ගේ පුංචි පා සලකුණු  ඇහැල මල් සුවඳින් සහ නොනිමි සෙනෙහසකින් හැමදාම දිලෙන හැටි ඔබ එක් වරක් හරි දකින්නම ඕනෙ. ඔව් ඔබ ඒ සුන්දරම පාසල දකින්නම ඕනෙ.

She always produce well mannered young ladies who are enriched with wisdom and knowledge for the well being of motherland.

හිමගිර දැහැනට සම වැදිලා මෙනි
කලබලයක් නැත දිස්වන්නේ...
මේ මගෙ පාසල මට මගෙ පුදබිම
භක්ත්‍යාදරයෙන් නමදින්නේ...