1/12/15
-252- ඔහුට පුංචි තෑග්ගක්
මගේ යෙහෙළියො හැමෝම හරිම සුන්දරයි. ඒ අතරින් ඇය හැමටම වඩා සුන්දරයි. කෙනෙක් දෙවරක් හැරී බලන ඇගේ සොඳුරු රුව දකින පිරිමි ළමුන් ඈට ඉතා වේගයෙන් ආකර්ෂණය වෙනවා. මේ නිසාම ඇගේ හිතේ ඈ ගැන කුඩා අහංකාරයකුත් නොතිබුණාම නෙවෙයි. ඇය පෙම්වතියක් වුණේ එකොළහ වසරෙදි. ඒ කාලෙ මං ඇයව දැනන් හිටියෙ නැතත් දැන් ඇය මගේ හොඳ ම යෙහෙළියක්. ඈ ජනාධි.
මම කියන මේ කතාව සිද්ධ වෙන්නෙ මීට සතියකට උඩ දවසක, සතියකට උඩ දවසකදි වුණු මේ කතාව අද කියන්නෙ, අද සිදු වුණු දෙයක්, මට පෙර සිදුවීම රිදව රිදවා මතක් කරන නිසා. ඇගේ නම සාරා. ඇය මා දන්නෙ කුඩා කල පටන්මයි. දෙවරක් හැරී බලන සුන්දරත්වයක් නැතත්, ඈ ළඟ ඉන් එහා ගිය කුමක්දෝ සෞන්දර්යක් තිබෙනවා කියලා මම කුඩා කල පටන්ම විශ්වාස කරනවා. ඈ පිරිපුන් යුවතියක්. පහුගිය දවස් කිහිපයේ සාරා හිටියෙ දුකින්. සාරා ඇඟිලි ගැන්නා ඇයට දුරකථන ඇමතුමක් එනතුරු. ඒ ඇමතුම ඈ බලාපොරොත්තු වෙන්නෙ ඇගේ පෙම්වතාගෙන් නෙවෙයි.
සාරාට පෙම්වතෙක් නෑ. ඇයට පෙම පෙන්වන හැමෝම, කුමක් හෝ අවශ්‍යතාවක් වෙනුවෙන් ඇය වටා ගැවසුණු අය නිසාම ඇය කාටවත් ළං වුණේ නෑ. කුලය, මුදල, ශරීරය පතමින් ඈ වටා සැරිසරන බඹරුන්ට ඈ බයයි. ඈ ආදරය කළ කවුරුත් ඇගේ පෙම්වතුන් වුණේ නැත්තෙ ඇයි කියලා මට පුදුමයි. ඈ ඒ තරමටම ආදරණීයයි. ඇයට ඕනෙ වුණේ ආදරයක්. ඇය ගැන සොයා බලන රැකවරණයක් දැනෙන තරම්, සුන්දර ආදරයක්. ඇය කවමදාවත්ම නොවින්ඳෙත් එයයි.. සාරා ට තිබ්බා ලස්සන ප්‍රාර්ථනා මල්ලක්. ඒත් අපි කවුරුත් දැනගෙන හිටියෙ නෑ . එ් ඇගේ අවසාන කැමැත්ත කියලා. ඒ වගේම මේ කාර්ය බහුල ජීවිතේ අපිට ඒවා ගණන් ගන්න තරම් හේතුවක් වත් වෙලාවක් වත් තිබ්බෙත් නෑ. ඈ ආසා කළා ඔහු ළඟට වෙලා කෝච්චියෙ යන්න. ඈ ආසා කළා ඔහුට තුරුළු වෙලා ඔහු ගයන ගීයක් අහන්න. ඈ ආසා කළා ඔහුගේ අතේ එල්ලිලා ඇවිදින්න. ඔය වගේ පුංචි ලස්සන ආසාවල් ඈ පුරා පිරිලා තිබුණා. ඒත් ඈ ආදරය කළේ ඇයට ආදරේ නොකරන අයට නිසා ඒ හැම දේම පැතුම් විදිහටම ඇගේ හිත ඇතුළෙ හැංගුණා.
ගිය සතියෙ, ඉස්කෝලෙ ගේට්ටුව ළඟ, දන්න හඳුනන පිරිමි ළමයෙක් කැරකුණා. ඔහු අවිශ්ක. අවිශ්ක කියන්නෙ ජානාධිගෙ පෙම්වතා. සරා ළඟ ඉඳන් එකපාරට ජනාධි ළඟට මම පීලි මාරු කළේ ජනාධිගෙ කතාවට වඩා සාරාගෙ කතාව ලස්සන නිසයි. ඉස්සල්ලා නරක දේ අහලා,පස්සෙ හොඳ දේ අහන්න කැමති එක ගෑණුන්ගෙ ගතිය. අවිශ්කව මට මුණ ගැහුණා. ජනාධිට කෝල් කරන්න හොඳටම හැකියාව තියෙද්දිත්, පාසල ඇරිලා තියෙද්දිත් ගේට්ටුව ගාවට වෙලා ඉන්න හේතුව මම අවිශ්කගෙන් ඇහුවා. එයා එන වෙලාවක ආපුවාවේ... අවිශ්කගෙ පිළිතුර වුණේ ඒක. මට තේරුම් ගන්න බැරි වුණා. වෙනදට යන්න හදිස්සි අවිශ්ක මෙතන ටැග් ගැහෙන්නෙ ඇයි කියලා.. ඉතාම කෙටියෙන් අවිශ්ක මට කතාවක් කිව්වා. අද ඔහුගෙ උපන්දිනය. ඔහු වෙනුවෙන් ඇය, පුංචි උපන්දි සුබ පැතුම්පතක් හදනවා කියලා ඇගේ මල්ලිගෙන් ඔහු දැනගෙන, ඔහුට ඕනෙ ඈ ඔහු සොයා එන්න කලින්, ඈ ළඟට ඇවිත් ඇය එය ඔහු අතට දෙනතුරු බලා ඉන්න. “ මට කවියක් වත් ලියාගන්න බෑ. මට පේපර් කියුලිං තියා චිත්‍රයක් අැඳගන්නත් බෑ. මගේ ඇඟේ කලාවක් පිහිටලාම නෑ.. මට එයාට දෙන්න වෙන්නෙ හැමදාම කවුරු හරි හදපු දේක මගේ නම ගහලා.. මොන දේ දුන්නත්, මම ආසා කරන දේ දීගන්න මට බෑ.. එයා මේ කරන පුංචි දේ වෙනුවෙන් මං මගේ කාලෙ කැප කරන්නෙ ඒ දේට පුංචි හරි ගෞරවයක් ආදරයක් එකතු කරන බව එයාට දැනෙන්න.. මෝඩ වැඩක් වගේ පෙනෙනවා ඇති. ඒත්.. එයා එදාට සතුටින් ඉන්නෙ..“
මම සිය දහස් වතාවක් දුක් වුණා.. ඇහැට කඳුළු එන තරමටම... ඔහුට කවියක් ලියාගන්නට බැරි වීම ගැන මම දුක් වුණා. ඇයට දෙන්නට කවියක් ඔහුට ලියන්න පුළුවන් වුණා නම්, ඔහුගෙන් කොහොම කවියක් ලියවේවිද? කියලා හිතන්න මම උත්සාහ කළා. ඒ කවිය තුළ කොපමණ ආදරය තියේවිද? ඒ ඇත්තම ආදරයක් ද කියලා මම හිතින් තර්ක කළා. ඒ ආදරය නොනැසෙන්නට මම ඔවුන්ට තුන් හිතින් සුබ පැතුවා..
මම හැමදාම දුක් වුණේ සාරා ට ලස්සනට හිතන්න පුළුවන් වීම ගැන. සාරාට ලස්සන දේ හිතන්න බැරි වුණා නම්, සාරා මෙච්චර දුක් වෙන්නෙ නෑ. සාරා ඔහු වෙනුවෙන් සකසපු කාඩ් එක පුංචි නෑ. සාමාන්‍ය උපන්දින සුබ පැතුමකට වඩා ටිකක් ලොකුයි.. හොඳම එක හදන්න.. ඇය කීවතාවක් හැදූ සුබ පැතුම් පත් විනාශ කළාද කියලා මට මතකයි. මං ඈ ළඟ සිටි නිසා.. ඔහුගෙ උපන්දිනයෙන් මාස හතක් ගත වෙලත්, ඒ සුබ පැතුම් පත, සාරා ගෙ පුංචි පුංචි තෑගි අරන් යන්න.. ඔහු ආවෙ නෑ..ඔහුට වෙලාවක් තිබ්බෙ නෑ.. ඔහුට අවශ්‍ය වුණෙත් නෑ.. ඔහු සාරාගෙ පෙම්වතා නෙවෙයි. ඔහුට සාරාගෙ පෙම් හැඟුම් වටින්නෙත් නෑ. ඇයට හා ඇගේ ආදරයට වඩා ඔහුට වෙනත් වටින බෙහෝ දේවල් තිබුණ නිසා පහුගිය මාස හත අටකට පුංචි කාලයක්වත් ඈ වෙනුවෙන් දෙන්න ඔහුට ලෝබ හිතෙන්න ඇති.
ඔහුගෙ උපන්දිනේ දවසෙ, ඈ ඔහු එනතෙක් බලා සිටිය බව, මට තවම මතකයි. ඔහුට එන්නට නොවෙන බව ඈ මා හා පවසද්දි, නෙත් තුළම උපන්න කඳුලක් නෙත් තුළටම ගිලුණෙ මහ කරුමක්කාර විදිහට. ඔයාට ආදරේ කරන කෙනෙකුට ආදරේ කරන්න. මම ඇගෙන් සිය දහස් වර ඉල්ලුවා. එහෙත් ඈ ආදරේ කළේ ඔහුටම විතරයි. තමන්ට ආදරය නොකරන බව පැහැදිළිවම කියන කෙනෙකුට ආදරේ කරන හේතුව මම ඇගෙන් ඇහුවා.
එයාගෙ නිදහස තුළින් එයා ආදරේ දකිනවා. මට නොලැබුණත්, මං දෙන ආදරය, වෙන කාට හරි එයා හරහා ලැබෙනවා ඇති. මේක තාවකාලික ගමනක්. අපි දේවල් දෙනවා විතරයි. ඔයාමනෙ මට කිව්වෙ, අපි සුරංගනාවියො වෙමු කියලා.. ඈ සිනාසුණා පමණයි. මම හිතන විදිහට ඈ සතුටින් ඉන්නා බව හැඟවීටම ඈ නිරන්තරයෙන් සිනාසීම පුරුද්දක් කරගත්තා වෙන්න පුළුවන්.
අන්තිමට මා දකිද්දි, මගේ යෙහෙළිය සාරා උන්නෙ ඇඳ උඩ. සාරාට සනීප නෑ. වෛද්‍යවරු ඇගේ නොදන්න රෝගය සොයමින් හිටියා. මට හුස්ම ගන්න අමාරුයි.. සිහින් කෙඳිරියකින් සාරා මට කිව්වා. ගෙනයන්නට නො ආ නිසාම ඈ දවස් කිහිපයකට පෙර ඔහුට තෑගි තැපැල් කරලා. පණිවිඩ පිට පණිවිඩ කිහිපයක් යැව්වත්, එයට ඔහු පිළිතුරු නොදුන් බව. දුන්නත් ඕනෑවට එපාවට බව. ඈ මට කිව්වෙ කෙඳරියෙන් එහෙත් සිනාසෙන දෑසකින්. තේරුම් ගත නොහැකි ගුප්ත බවක් එහි තිබ්බා.
මට ඔහුව ඇගේ හිතෙන් ඉවත් කරන්නට ඕනෙ වුණා. ඒ නිසාම මට හිතුණා ජනාධි ගැන ඇයට කියන්න. ඇය අසා සිටියා. තෑගි ගන්නට මඟ බලා සිටින ආදරවන්තයන් ට අපහාස නොවන්නට අතට තෑගි නොදී තැපැල් කළ එක , රැගෙන යන්නට නාවාට ඔහුට හොඳ දඬුවමක් බව කියමින් අපහසුවෙන් ඈ හිනා වුණා. එහෙත් අවසානයේ මෙහෙම කිව්වා.
ඒ අය ආදරවන්තයො. මම ඔහුට ආදරේ කළත්, මට ආදරය නොකරන එයාට මාව බලන්න එන්න හේතුවක් ඇත්තෙම නෑ. මං මේ යවපු තෑගිත්, එයාට නොවටින තවත් එක් හං කෑලි, කඩදාසි කෑලි ටිකක් වෙන්න පුළුවන්. ආදරයයි දරකෝටුවකට වුණත් ප්‍රතිමාවක වටිනාකම දෙන්නෙ. ඒ ගැන දුක් වෙන්න එපා. ඔයාට ආදරේ නොකරන අයට දෙන්න පුළුවන් හොඳම දඬුවම ඒ අයට ආදරේ කරන එක. ඈ මට කිව්වා..
වේදනාකාරීව පීඩා විඳින ඇගේ දෑස් දිහා බලන් ඒ කෙඳිරිලි හඬට මගේ ප්රශ්නය එකතු කරන්න මට අමාරුයි. ආදරේ නොකරන කෙනෙක්ට, අපි ආදරේ කරන බව දැනෙන්නෙ නැත්තම්, කොහොමද දඬුවමක් නිර්මාණය වෙන්නෙ කියලා මට සාධාරණ පැනයක් තවම හිත තුළ තියෙනවා.
මං කියපු කතාවලින් කෙනෙක්ට දුක හිතෙන්නෙ දෙවනි කතාවට වෙන්න පුළුවන්. ඒත් මං සතුටු වෙන්නෙ දෙවනි කතාවටයි. සාරා ගැන කතාවටයි. පළවන කතාව, ඒ කියන්නෙ ජනාධිගෙ කතාව කොයිතරම් ලස්සන වුණත්, කවදා හරි දවසක දෙවන කතාව බවට එය නොහැරෙන්නම පුළුවනි කියලා, සදාකාලයටම සර්වශුභවාදී වෙන්න මට පුළුවන්ද?මට සැකයි. ආදරය කියන හැඟීම ම විටින් විට සැක සහිතයි. එය නොදුටු අයට.
සාරා.. අවසාන වතාවට මා එක්ක හිනා වුණා. “මට එයාව පේනවා.“ සාරාගේ හඬින්, ඇගේ දුර්වල වූ දෑස මත එළියක් විහිදුණා. “එයා මාව බලන්න ඇවිත්..එයා මාව එක්ක යන්න ඇවිත්“ ඇගේ සිනාවෙන් මම දොර දිහා බැලුවා. වාට්ටුවේ එහෙ මෙහෙ යන හෙදියන් මිස, මම වෙනත් කිසිවක්ම දුටුවෙ නෑ. සාරාගේ අත මගෙ අතින් ලිහිල් වුණා. දෑස් දොර වෙත අයාගෙනම ඈ හුළඟ සමඟ එක්වුණා. සැනසීමක මන්දස්මිතයක් ඇගේ දෙතොල් මත ඉතිරි වෙලා තිබුණා.
මට ඇගේ සමු ගැනීමෙන් මම කම්පනය වුණත් මේ කතාව ගැන මට දුකක් නැත්තේ, ආයෙ සාරාට මේ ආත්මෙ, කවුරුත් එනතුරු බලා ඉන්න ඕනෙ නැති නිසයි. දුක් විඳින මිනිසුන්ව ඉක්මනට දෙවියන් ළඟට ගැනීම ගැන, මම දෙවියන්ට ස්තූති වන්ත වන නිසා. සාරා දෙවියන්ටයි උරුම. බොහෝ කල් ජීවත් විය යුත්තේ, සතුට හිමි මිනිසුන්, ආදරය හා තම ආදරයට ගෞරවය ලැබෙන මිනිසුන් පමණයි කියලා මට හිතුණා.
ඕෂෝගෙ පැරණි කියමනක්, සාරා ඇතුළු ආදරේ නොදකින නාඳුනන පෙම්වතියන් වෙනුවෙන් මගේ සිත පතුලෙන් ප්රශ්නකාරීව එළියට පැන්නා. ඕෂෝ දවසක් කියනවා ආදරය නිම්නයක් වගේ කියලා. අපි ගයන විට එය දෝංකාරයක් වගේ අපිටම ඇහෙනවා කියලා. ආපිට ලැබෙනවා කියලා. ඒත් එහෙම දෝංකාරය නෑසෙන නිම්න ඕනෙ තරම් තිබෙන වග ඕෂෝ කිව්වෙ නෑ. ඒකම වෙන්න ඇති, ඇත්තටම තමන්ට ආදරය කරන කෙනෙක් හිරු යට දී මුණ ගැහෙනතුරු රෑ කෙවිලියන් තරු වළල්ලට ගී ගයන බව, එකෝමත් කාලෙ ඉඳලාම කතන්දරයක් විදිහට, සාහිත්‍ය පත පොත් වල අකුරු වෙලා තියෙන්නෙ.
Nightingale sings to stars until she finds a true lover under the sun
1/5/15
-251- Beyond the Title | මාතෘකාවෙන් ඉක්බිති
2015 අවුරුද්ද ආරම්භ වෙන්නෙ ජනාධිපතිවරණ උණුසුම එක්කමයි. දේශපාලනය නම් තේමාව අද වන විට හැම තැනම කතාවෙනවා. හැබැයි අද රෑ දොළහෙන් පස්සෙ, ජනාධිපතිවරණය හෝ අපේක්ෂකයන් ගැන කතා කිරීම සියලු ජන මාධ්‍ය තුළින් හා සන්නිවේදනයන් තුළින් නීත්‍යානුකූලව අවසන් වෙන්න ඕනෙ. එහෙත් සමාජ ජාල වලට නම් මෙම නීතිය බලපවත්වන්න අමාරුයි. ඒ තොරතුරු ප්‍රකාශ කරන්නන් ස්වාධීන වීම නිසා සහ නියමිත මෙහෙයවන්නෙක් නැති නිසා. ඒත් නීතියට අනුකූලව ජනාධිපතිවරණය ගැන කතා කිරීම අද මැදියම් රැයෙන් නවතිනවා නම්, එය ඉතාම වටිනවා. මිනිසුන්ට හිතන්න කාලය ඕනෙ කියලා මම විශ්වාස කරන්නෙ නෑ. ඒත් සිතිවිලි වෙන් කරගන්න කාලයක් ඕනෙ. අද මැදියම් රැයේ ඉඳන්, 8 වෙනිදා පාන්දර වෙනතුරු අතර මැද දවස් දෙකේ, දැනුවත් අයට පුළුවනි නම් කියාදෙන්න" මිනිස්සුන්ට රට ගැන, දේශපාලනය ගැන, මෙතෙක් පැවති ඉතිහාසය ගැන, ලෝකය ගැන, සමාජයට ආර්ථිකයට දේශපාලනයට ජනාධිපතිවරණයක තීන්දුව බලපාන ආකාරය ගැන, එයයි වැදගත්ම මාධ්‍ය කාර්යභාරය වන්නේ.
8 වෙනිදා කුමන අපේක්ෂකයා දිනාවිද කියලා, තවමත් අපි දන්නෙ නෑ. ඒ එය තව දවස් දෙකකට එහා අනාගතයේ පැවැත්වෙන සිද්ධියක් නිසා. එහෙත් අද වෙනකොට ජෝතීර්වේදීන්, එක් එක් අපේක්ෂකයාගේ ජයග්‍රහණය අනිවාර්යෙන්ම සිදු වන බවට දෙපිල බෙදිලා මත පළ කරනවා. අද වෙනකොට ශ්‍රී ලංකාවෙ සමාජය පවතින ස්ථානය ගැන විවෘතව සලකා බැලුවොත් ජෝතිර්වේදියෙක්ගෙ මතයකට රටේ විශාල සිවිල් බලයක් තියෙනවා. බලන්න අද ලංකාවේ පුවත් පත් දිහා. එක පෙළට පිටු වල කොටු කර කර හිර කරමින් දැමූ නීච කුල වශී බන්ධන කරන යකැදුරන් ගැන දැන්වීම් අපි කෙතරම් දැක තිබෙනවාද? හැම ඉරිදා පත්තරයකම වගේ, ලග්න පලාපල වලට සහ භූතයන්ට වෙන්වුණු පිටුවක් හෝ කිහිපයක් තියෙනවාමයි. සමහර පුවත්පත් සමඟ වෙනම ජෝතිෂ්‍ය අතිරේකත් ලැබෙනවා. ජෝතිෂ්‍ය කියන්නෙ ගණිතයක්. එය ග්‍රහ තාරකා අනුව මිනිස් පදනම් කරලා කරපු එක්තරා ගණිත ක්‍රමයකින් තුන්කල් දැකීමක්, අනෙක් බලි බන්ධන ආදියෙ ත්, සත්‍ය අසත්‍යතාව අඩු වැඩි වශයෙන් ඇති. නමුත් මේ හැම අනාවැකියකින්ම කියවෙන්නෙ පවතින තත්වයක් මිස නිර්මිත තත්වයක් නෙවෙයි. නිර්මාණය කරන්නෙ මිනිසායි. මිනිසාගේ තීරණයයි. ජෝතිෂ්‍යට හෝ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩසටහන් වලට හෝ අපේ සිතීමේ ශක්තිය මොට කරන්නට දිය යුතුද?
දේශපාලන ප්‍රචාරණ කලාවක් නිර්මාණය විය යුත්තේ ෆැන්ටසිය මතින් හෝ හුදු වෛරය මතින් නොවෙයි. ඒවා නිර්මාණය විය යුත්තේ කරුණු හා ප්රපංචයන් පදනම් කරගෙනයි. මෙවර දුසිමකට අධික ව සිටින ජනපති අපේක්ෂකයන් අතර වැඩි ජනප්‍රියත්වයට පත් අපේක්ෂකයන් දෙදෙනා අතර තරඟය පමණයි මාධ්‍ය වලින් පවා අපට පෙනෙන්නේ. එය ඕනෑම රටක සාමාන්‍යය ලෙස සිදුවන බව උපකල්පනය කරමු. එහෙත්, එහෙත් ඇතැම් අපේක්ෂකයෙක් ප්‍රචාරණය කරන දැන්වීම් තුළ තමන්ගේ ප්‍රතිපත්ති සම්බන්ධව බොහෝවිට දකින්නට ලැබෙන්නෙ නෑ. රූකඩ නැටවීම්, ආඬි හත්දෙනාගෙ කැඳ හැලිය ආදී කතන්දර වලින් එකිනෙකාට අපහාස කරමින් එක් අයෙක් තම ප්‍රචාරණය මෙහෙයවනවා. මෙවන්, අපහාස නූගත් සමාජයක් අවරණය කිරීමට යොදාගන්නා උපක්‍රම මිස බුද්ධිමත් දේ නෙවෙයි.
නූගත් සමාජය තවමත් වෙසෙන්නේ, පශ්චාත් යටත් විජිත යුගයේ. උදාහරණයක් ලෙස, ඔවුන් තවමත් ප්රවේණි දාස මානසිකත්වය හිතෙන් අත්හැර නෑ. එවන් මිනිසුන් තවමත් බලාපොරොත්තු වන්නේ, සුද්දාට දොස් කියන, සරම අඳින, වෙලට බහින , උඩ රැවුල වවන රජෙක්. ශ්‍රී ලංකාවේ රාජ පාලනය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් අවසන් වෙනවා. අද වෙනකොට ලෝකයත් රජවරු කියන සංකල්පය සම්ප්රදාය තුළට මිස පාලනය තුළ ප්‍රතික්ෂේප කර අවසානයි. වර්තමානය වනවිට, ප්රජාතන්ත්රවාදය නැමති සංකල්පය මෙතරම් ප්රශ්නකාරී වීමට, වර්තමාන පාලකයන් පොළඹවන ලද්දේත්, අප තුළම පවතින සහ පැවති මේ “ මහරාජාණනි මානසිකත්වයමයි. වර්තමානයේ නායකයෙක් පත්කර ගැනීමේදී, පුද්ගලයන්ගෙ පුද්ගලික ප්රතිරූප කෙරෙහි විශ්වාසය තැබීමට අප ගන්නා මෝඩ තීන්දු යම් දවසක ඔවුන්ට සහ ඔවුන් නියෝජනය කරන කල්ලි වලට බලය අභාවිත කරන්න උදව්වක් වෙනවා. ඒ නිසා සැමවිටම පුද්ගලයන්ට වඩා ක්‍රමවේදය ගැන විශ්වාසය තැබිය යුතුයි. වැඩි සංවිධාන ගණනක එකමුතුවක් සැමවිටම පුද්ගල ඒක බල කේන්ද්‍රයකට වඩා ප්‍රබල වන්නේ මේ න්‍යාය නිසයි.
පුද්ගලයෙකුට ඇති ප්‍රබල කැමැත්ත හෝ අකමැත්ත නිසා පරමාධිපත්‍ය වැනි තීන්දුවක් ලෙහෙසියන් ගන්නා අපට, නිවීසැනසිල්ලේ දුක් විඳින්නට වෙන බව අප මතක තබාගත යුතුයි. අපි කෑමක් කනකොට, පිරිසිඳු මිල අඩු හොඳම කඩය හොයනවා. ඇඳුමක් ගන්නකොට, ඇඟට නියමිත, තැනට ගැළපෙන හොඳම ඇඳුම ගන්න උත්සාහ කරනවා. ඒ ද්‍රව්‍ය. අපි සේවාවන් ගැන හිතමු. අපිට ගුරුවරයෙක් වුවමනා නම්, නීතිඥයෙක් වුවමනා නම්, වඩු බාස් කෙනෙක්, කොන්තරාත්කරුවෙක් වුවමනා නම් අපි ඒ ගැන කොයිතරම් හිතනවාද? කොයිතරම් හොයනවාද? අපේ තාත්තාගෙ මේසෙ හදපු වඩු බාස් ගෙ පුතා වඩුවෙක් කියලා ඔහුට කියලා අපේ මේසය අනිවාර්යෙන් හදවා ගන්නවාද? නැහැ නේද? එහෙම නම් ඇයි දේශපාලනය වෙනුවෙන් පමණක් අපි වගකීම් රහිත තීරණ ගන්නෙ? එක පාරක්වත් අන්ධ විදිහට ලකුණු කරන පරම්පරා ඡන්දයෙන් වෙනස් වෙන්න අපි බය ඇයි?
අපි වෙනස් වෙන්න බය ඇයි? මේ බය අපේ ජාන හරහාම දිගින් දිගටම අපි එක්ක ආපු සාපයක්. රජුන්ගෙන් සුද්දාට යද්දි අපි ඒ වෙනසට බය වීම සාධාරණයි. ඒත් සුද්දාගෙන් අපට බලය එද්දිත් ඒ වෙනසට බය වුණ මිනිස්සු ලංකාවෙ හිටියා. අපි හැම වෙනසකටම බයයි. පවතින සම්ප්රදාය වෙනස් වෙනවාට මේ තරම් අපිව බය කරන්න මාධ්‍යත් ලොකු කාර්ය භාරයක් ඉටු කළා. වෙනස් වීම් නිසා දුක්ඛදායක ඉරණම් වලට පත් රටවල් සහ ඒ ආස්ථා අපිට පෙන්වලා අපි බය කරන්න ඔවුන්ට හැකි වුණා. එහෙත් ඔවුන් අපිට නොපෙන්වූ යහපත් වෙනස්වීම් වුණු රටවල් සිය ගණනක් තියෙනවා. අවස්ථා දහස්ගණනින් තියෙනවා. ක්‍රමවේදය සැමවිටම ප්‍රශ්න කරන්න තරම් නිර්භය ජනතාවක් ඉන්නවා නම් ඇයි වෙනස්වීම් වලට බය වෙන්නෙ? මිනිස්සු දේශපාලනිකව නූගත් වෙන තරමට, නොසැකිලිමත් වෙන තරමට ආණ්ඩු මිනිස්සුන්ව නටවනවා.
ආණ්ඩු තියෙන්නෙ වැඩකරන්න. පාරවල් හැදීම, පාලම් හැඳීම, පාසල්, රංග ශාලා, වරාය ,ගුවන්තොටුපොළ මේ කොයි දේ හැදීමත්, ආණ්ඩුවක සාමාන්‍ය කාර්යභාරය. ඒවා ඡන්දයකට කොහෙත්ම ආදාළ නෑ. මෙතෙක් පැවති ක්‍රමවේදයේ ප්රශ්නය තිබෙන්නේ, අත්‍යාවශ්‍ය දේ අවශ්‍ය තැනට, දූරින් අවශ්‍ය වන බොහෝ දේ ලබා දීමයි. උදාහරණයක් විදිහට, අපි හොඳටම බඩගින්නේ ඉන්න වෙලාවක, අපිට ඕනේ ආහාර මිසක් ලස්සන මල් බඳුනක් තියපු මේසයක් නෙවෙයි. සංවර්ධනනය වෙමින් පවතින රටක, පුංචි පුංචි අක්කර කිරිපයක තැන් කිහිපයක් සංවර්ධිත රටක හුරුවට හදනවාට වඩා, මූලික අවශ්‍යතා මුලින්ම ඉටු කිරීම කොයිතරම් වටිනවාද? ලංකාවෙ මිනිස්සුන්ට දේශපාලනිකව, සමාජීයව , ආගමිකව වෙනස් වීම සහ අන්‍ය මත ගරු කිරීම ඉගැන්විය යුතු තත්වයකයි ලංකාව තිබෙන්නෙ. මේ සඳහා පත්වෙන ආණ්ඩුවලත්, පත්කරන ජනාතාවගේත් දෙපිරිසේම මනා උනන්දුව ලැබෙන්න ඕනේ.
කොහොමවුණත්, යුද්ධය ඉවර වුණ බව අපි විශ්වාස කළත්, අපේ රට ආරක්ෂිත නෑ. යුද්ධය ඉවර කළාට ඉන් එහා ජාතික සමගිය සහ ඉතිරි සාධාරණතා ගොඩ නැගිලා අක්‍රමිකතා අඩු කරන්න තවමත් ක්‍රියාත්මක වෙලා නෑ. සමහරවිට එය තවත් ප්‍රබල අර්බුදයක අත්තිවාරම වෙන්න පුළුවන්. සිංහල අවුරුද්දට, චිත්‍රපට දෙකතුනකට, ඇඩ් හතර පහකට පෙන්වන ෆැන්ටසිවාදී ජාතික සමගියට එහා ගිය ගැටලුවක් මේ රටේ තියනවා. තවම මේ රටේ ප්රබලව භාෂා ප්රශ්නය තිබෙනවා. ඉඩම් ප්රශ්නය තිබෙනවා. මහ ජාතිය හා සුළු ජාතිය කියන වෙනස තිබෙනවා. හැමවිටම අනෙකා යැයි, වෙනත් ජාතින් කෙරෙහි අඩුවක් අපි කරනවා. නැහැ. මේ සිල්ලම අපි. වෙනස් විය යුත්තේ පාලකයන් නොවෙයි අපියි. අපි පාලකයන්ට බිය විය යුතු නෑ. පාලකයන් බිය විය යුත්තේ අපටයි. අපේ බදු මුදල් වලින් ඔවුන් කරන සියල්ල දැනගැනීමේ අයිතිය අප සතුයි. ඒවා විවේචනයේ අයිතිය අපි සතුයි. අපට අවශ්‍ය දේ ලබා ගැනීම් අයිතිය අප සතුයි. සැවොම එක් වී අවශ්‍ය සමාජය නිර්මාණය කරගතහොත්, ජාතීන් ලෙස කිසිවෙකුටත් වෙන වෙනම යුතුකම් ඉටුකරවා ගැනීමට අවශ්‍ය නොවේවි.
මහ බලයක් එක් තැනකට සංකේන්ද්‍රණය වීම වලක්වා, බලය විභජනය කර සෑම දෙනාම (මහ ජනතාවද ඇතුළුව) වගකීමක් සහිතව වැඩ කරන තරමට, අපේ රට නියමිත සහ සැබෑ සංවර්ධනයක් කරා ගෙන යන්නත්, ඒ සංවර්ධිත රටේ , සැබවින්ම සංවර්ධනය වූ පුද්ගලයෙක් ලෙස හැසිරෙන්නටත්, ඔබට හැකිවේවි. ඔබ 8 වෙනිදා ගනු ලබන තීරණය කුමක් වේවා, එය ඔබේ ඉදිරි වසර 6 හෝ 8 පිළිබඳවම තීරණය කරාවි. ඔබේ වයස ගණන් කර බලන්න. ඔබ තරුණ වියේ නම්, ඒ වන විට මැදිවියට කිට්ටු වී ඉඳීවි. ඔබ මැදි වියේ නම්, මහලු වියට කිට්ටු වී ඉඳීවි. ඔබ මහලු නම් සමහර විට මේ ඔබේ අවසාන ඡන්දය වේවි. අපි තීරණය ගත යුත්තේ, හෙට තරුණයක් වන, ළමයින් වෙනුවෙනුයි. තවමත් කුස තුළට පවා නොපිවිසි බිළිඳුන්ගේ හෙට දවස වෙනුවෙනුයි. ඔබේ ශක්තිමත් තීරණය වෙනුවෙන් ඔබේ පරමාධිපත්‍ය භාවිතා කිරීම ඔබ සතුයි. දේශයක පාලනය සහ දහම්පාසල් පොත පටලවා ගැනීමෙන්, අප අපට මෙන්ම රටට ද කරමින් සිටින සහ කරන්නට නියමිත අගතිය සුළුපටු නොවන වග පමණක් අපි මතක තබාගනිමු. නූඹේ තීරණය අවසාන තීරණයයි.
12/31/14
-250- අපි ඉන්නෙ හරි සතුටින්.
කොළඹට වැස්ස. පිටකොටුව වතුරෙන් සේදි සේදි තිබුණා. තමන්ව කොහේ හරි ගෙදරකට ගෙනියන තුරු පාර බලා ඉන්න නත්තල් ගස්, වැස්සෙන් තෙත් වෙලා. අනපේක්ෂිතව වහින දවසක වගේම බොහෝ දෙනෙක් බඩු භාණ්ඩ තෙමෙන්න ඇරලා දාලා තිබුණෙ, එක දිගට වහින වැස්සට විරෝධය පල කරන්න වෙන්න ඕනෙ. මහ වැස්සෙම කලුවර වුණු කොටුවෙන්, බසයක ගොඩ වුණ මම, මීදුම බැඳුණු ජනේලෙට හේත්තු වෙලා වැස්සෙන් සේදෙන මගේ රටේ අග නගරය දිහා බලාගෙන උළුඳු වඩේ කමින් හිටියෙ. ඉදරියට ඇදෙන බසය ආමර් වීදිය හරියෙදි නැවැත්තුවා, සෙනඟ නග්ගගන්න.
එතැන පෝස්ටර් රැඳවුමක කොළඹ නගරය එදා සහ අද කියලා ලොකු බැනර් එකක් තිබුණා. අපේ රටේ අපි සංසදනයේදි කරන ප්‍රබලම වැරැද්ද මං එතැනදි දැක්කා. එදා කියලා ටයිටල් දාපු පින්තූරෙ, මඩ වෙච්ච බොහොම කැත කොළඹක් පෙනුණෙ. ඇත්ත, ඒ වැස්ස දවසක ගත්ත පින්තූරයක්. අද කියන ටයිටල් එක යට තිබුණ පින්තූරෙ, බොහොම සිත් ඇදගන්න සුලුයි.. එළියෙන් පිරිලා, ඒ වාගෙම ලස්සන ගෑණු ළමයි දෙන්නෙක් දුවනවා රතු පැහැ පදික වේදිකාවෙ. ලස්සන කොළඹක් තමයි කාට වුණත් ඒ පින්තූරෙ දැක්ක ගමන් පෙනුනෙ. හැබැයි මං ඒ වෙලාවෙ හිටියෙත් අද නමින් පෙන්වපු ඒ පින්තූරෙන් පෙනුණු කොළඹමයි. හැබැයි මම මේ වෙලාවෙ උන්නෙ බොරලු කැට තරම් වතුර ඔටුණු මහපාරේ වැටෙන වැස්සක. මෙදා කොළඹත් වැස්ස වෙලාවට නම්, එදා වැස්සෙ කොළඹ වගේම අසුන්දරයි. කාණු පිරිලා.. මඩ වතුරෙන් පෙඟිලා. ඒ මදිවට පාරට වතුරත් ගලලා. ඇත්තටම, ඒ පොස්ටරේ සංසංදනය කරලා තිබුණෙ, එදා සහ මෙදා කොළඹද, නැත්තම් වහිනකොට සහ පායනකොට කොළඹද කියලත් මට නිකමට හිතුණා. කොහොම වුණත්, අපේ රටේ ආණ්ඩු කරන අය අපි හරිම සැපෙන් සහ සතුටෙන් ඉන්න අය කියලා කියලා අපිටම ඒත්තු ගන්වන්න ගන්න මේ පුදුම උත්සාහය ගැන එක අතකට පුදුමත් හිතෙනවා.
2014 - 12 - 24 ( මහජන පුස්තකාලය අසල විහාරමහාදේවි උද්‍යානයේ පුටුවක සිට)
මිනිස්සු බලයට ඇති කැමැත්ත ගැන කතා කරන්න පටන් ගන්න ප්රාග් ඓතිහාසික මානව යුගය තරම් දුරකට අපිට යන්න වෙනවා වුණත් එක් අයෙක් නොසෑහෙන බලයක් තියාගෙන තමන්ව ඔහුගෙ හිතුමනාපෙටම පාලනය කරන එක නරකයි කියලා පාලනය වන පීඩිත අයට අවබෝධ වුණ මුල් යුගයට යන්න ශිෂ්ටාචාරය පටන් ගත්ත තැනට ගියාම හොඳටම ඇති. ඒත් ශිෂ්ටාචාරය පටන් ගත්ත තැන කියන්නෙත්, තවමත් සාක්ෂි සාධක හමුවෙමින් පවතින නොදන්නා කාලරාමුවක්.
අතීතෙන් තොරව වර්තමානය කතා කරන්න බෑ. වර්තමානයෙන් තොර අනාගතයක් නෑ. එහෙමනම් අතීතය සහ අනාගතය අතර දරුණු සම්බන්ධකමක් තියනවා. ඒත් අතීතෙන්, පාඩම් ඉගෙන ගෙන අනාගතයට මුහුණ දෙන්න වර්තමානයේ නිසි තීන්දු ගන්න නොදන්නා මිනිස්සු ඉන්න රටකට අතීතය වර්තමානය වගේම අනාගතයත් වැඩක් නොවන කාරණා වෙන්න පුළුවන්.
ශිෂ්ටාචාරය විසින් තමයි මිනිසුන්ව බිහි කරන්නෙ. තමන් දඩයම් කරගත් ගොදුර, නැත්තම් තමා නෙළා ගත් ඵලය එම ස්ථානයේම අනුභව නොකර, තමන්ගෙ හිතවත් අයට අරගෙන යන්න ආරම්භ කරපු පළවෙනිම මොහොතෙ ඉඳන් ඩාවින් කියන විදිහට වානරයා ශිෂ්ටාචාර ගත වීම ආරම්භ කළා. ඒකියන්නෙ මනුස්සයා කියන සත්වයා බිහි වුණා. මනුස්සයා අනෙක් සතුන්ගෙන් වෙනස් වෙන්නෙ හිතන්න පුළුවන් නිසා. මනුස්සයා පරිණාමය වෙන්න බලපෑවෙත් මේ පරිකල්පන ශක්තිය..........
මම ඒ විදිහට, මගේ නෝට් එකේ ලිව්වා.
ඈත ත්‍රීවීල් පාක් එකෙන් ටිකක් සද්දෙට ඇහුණු බහින් බස්වීමක් නිසා, මගේ නෝට් එකේ පරිකල්පනය නම් බිඳුණා. එතැන් පටන් ඔවුන්ගෙ කතාව මට නිරුත්සාහකවම ඇහෙන්න ගත්තා. . එහි හරය කෙටි කරලා ඔබට කිව්වොත්, තවමත් කලගුණ සැලකීම වගේ හොඳ පුරුදු ලංකාවෙ තියනවා වගේම තමන්ගෙ පරමාධිපත්‍ය පවා ඒ වෙනුවෙන් භාවිතා කරන අති ශිෂ්ටාචාරවත් ජන කොටසකුත් ලංකාවෙ ඉන්නවා කියලා සාරාංශ ගත කරන්න බැරි කමක් නෑ .
2014 - 12- 30 (බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී)
ටොරින්ටන් වල ඉඳගෙන පාර්ලිමේන්තු පාර පහු වෙන තුරු මග දිගට දරාගත නොහැකි සංවර්ධනයෙන් අනූන මඟ දෙපස බලමින් , මහ පාරේ මම එමින් සිටියා. ඒ මොහොතෙදි හැඟුණ දැනුන දේවල් ටිකක් මේ විදිහට ලියා තබනවා.
ලංකාවෙ මිනිසුන්ට නැති ම දේ, තමන්ගෙ රට ගැන හැඟීම. ඒ හැඟීම බලෙන් ඇති කරවන්න බෑ. ඒ හැඟීම ඇති කරන්න රටේ සිනමාව, සාහිත්‍ය වගේම පාසල සහ ජනමාධ්‍ය දෙන දායකත්වයත් අප්රමාණවත්. තමන් ආසා නොකරන රටක ජීවත් වෙන මනුස්සයෙකුට , තමන් පය ගහන පොළව පස් ගොඩක් විතරයි. ජනමාධ්‍ය තුළින් වුණත් රට ගැන හැඟීම ඇති කරන්න ගන්න පුංචි උත්සාහයන් වලටත් දේශපාලඥයෙක් රිංගා ගන්නවා. අවශ්‍ය සන්නිවේදනය එතැනින් වෙන්නෙ නෑ. අපේ රටේ ඉන්න කම්මැලි ආත්මාර්තකාමි ජනතාවක්. කෙටියෙන්ම කිව්වොත් වැඩිපුරම ඒ අය කම්මැලි හිතන්නයි. දෙවනුවට කම්මැලි පවතින තත්වයෙන් වෙනස් වෙන්නයි. ඒ වගේම හිතන්නෙ තමන් සහ උපරිම තම සමීපතමයන් ගැන විතරයි. මිනිස්සුන්ගෙන් ඒ කැත පුරුදු ඒ අතරෙ ඉන්න නායකයන්ට බෝ වුණාම, රටකට කල දවස ගැන කවර කතාද?
2014 - 12- 31 (පොලීසියේදී)
අම්මාගෙ ජගම දුරකථනය නැතිවෙලා. එය තිබුණෙ මගේ නමට නිසා, මම ගියා පැමිණිල්ලක් දමන්න. පොතෙන් පොතට, පුටුවෙන් නැගිට ගිය පැමිණිලි ලියන පොලිස් නිලධාරීයා, අන්තිමේ ආයෙත් පෑනක් අරගෙන එන්න කියලා ඇතුළට ගියා. මට කල්පනා කරන්න සෑහෙන වෙලාවක් ඉතුරු වුණා. රට වෙනස් කරන්න පටන් ගන්න ඕනෙ අපෙන්. මම ඒ කල්පනාවෙ අන්තිමට හිතුවා... ඒ නිසා ඉන්න හෝ එන ඕනෙම ආණ්ඩුවකට කියන්න, මට තියනවා විසඳුම් වුවමනා කරන ඉල්ලීම් පත්‍රයක්.
ඉල්ලීම් පත්‍රය
- ලංකාවේ අප භාවිතා කරන ජාතික හැඳුනුම්පත, ඉස්කෝලෙ ශිෂ්‍ය වාර්තාපොත තරම්වත් ප්‍රබල නෑ. ඒ සඳහා සෑම මිනිසෙකුගේම සියලු තොරතුරු ඇතුළත්, වසර තුනකට වරක්වත් ස්වයංක්‍රීයව අයිතිකරු විසින් (පොලීසිය හරහා ) Renew කළ යුතු පරිදී ඉලෙක්ට්‍රෝනික ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි.
- පොලීසිය නව තාක්ෂණය භාවිතා කර, පැමිණිලි ලිවීම, ඇතුළු සියලු දෑ පැහැදිලිව සිදු කිරීම විය යුතු අතර, අත්සන් තැබීම, ඇඟිලි සලකුණු හරහාම සිදු කළ හැකි ස්වයං ක්‍රීය උපාංග ක්‍රමවේදයක් සැලසීම මඟින් ආරක්ෂක කටයුතු කාර්යක්ෂම කළ යුතුයි.
- ලංකාවේ මගී ප්‍රවාහන සේවය සඳහා (දැනට නාමිකව බස් වීදුරුවේ ස්ටිකරයක් ලෙස ඇලවී ඇත.) මුදල් මඟින් රීචාර්ජ් කළ හැකි කාඩ්පත් භාවිතය ජනතාවට අනිවාර්ය කළ යුතුයි.
- වැසි ජලය ආරක්ෂණයට හෝ පදිකයන්ට හා වාහන වලට කරදරයක් නොවන පරිදී බැහැර කිරීමට නගර මූලිකව සැලස්මක් ක්‍රියා කළ යුතුයි.
- කුණු කසල බැහැර කිරීමේ නීති සම්පාදනය කළ යුතු අතර, සැලකිය යුතු දුරකින් ස්ථීර කුණු කසල බැහැර කරන ස්ථාන සවි කළ යුතුයි.
- සෑම 18 ට වැඩි පුද්ගලයෙකුටම, රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්තාවට අනුව සැබෑ දේශපාලන ක්‍රමය, නීති පද්ධතිය සහ වර්තමාන සමාජයේ (රට තුළ ජීවත් වන විට) තමන්ගේ පැවැත්ම සිදුවිය යුතු ආකාරය සහ ආචාර ධර්ම සම්බන්ධ ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා දීමට විශ්ව විද්‍යාල හරහා ඉතා කුඩා ප්‍රමාණයේ හෝ අනිවාර්ය පාඨමාලාවක් වසර පහකට වරක් පැවැත්විය යුතුයි. සහ එය රට තුළ ජීවත් වීමට සැපිර යුතු අනිවාර්ය සහ මූලික අවශ්‍යතාවක් බවට පත් කළ යුතුයි.
- සංස්කෘතිය තුළ ඇති, වැදගත් කමක් නැති පුහු මත ඉවත් කිරීමට, ජනමාධ්‍ය හරහා දැනුවත් කිරීම් නිරන්තරයෙන් සිදු කිරීමට රජයන් පෙරමුණ ගත යුතුයි.
- තොරතුරු දැන ගැනීම් අයිතිය මීට වඩා පුළුල් කළ යුතුයි.
- අධ්‍යාපනයට අයවැයෙන් සැලකිය යුතු මුදලක් ලබා දෙමින්, නිබන්ධන මූලික අධ්‍යාපනය සඳහා දරුවන් මෙහෙය වීමට කටයුතු කළ යුතු අතර, සියලු විභාග ජාත්‍යන්තරීකරණය කළ යුතුයි.
- ස්වයං රැකියා සඳහා දිරිදීම් සිදු කළ යුතු අතර, සෑම රැකියා ස්ථානයකම සම්පත් නාස්තිය පිටුදැකීමට සහ කාර්යක්ෂම බව වැඩි කිරීමට ක්‍රමවේදයක් සැලසුම් කළ යුතුය.
- රටේ ණය සම්පූර්ණයෙන්ම ගෙවී, රුපියලේ අගය ඉහළ ගොස්, ආර්ථික වර්ධනයක් සැබෑවටම පෙන්වා, ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන තුරු, සියලුම ජන බදු වලින් වේතන ලබන පුද්ගලයන්ගේ සියලු අනවශ්‍ය සංචාර හා වියදම් මෙන්ම, අනවශ්‍ය සේවා පිහිටුවීම්ද කපා හැරිය යුතුයි.
- අවසානයේ රට ප්‍රධාන එකක කිහිපයක් යටතේ තරඟකාරීව සංවර්ධනය කිරීම ඒ ඒ පළාත්වල මහාමාත්‍ය වරුන්ට පැවරිය යුතු අතර, ඒ සඳහා දිරි දීම් සහ උසස් කිරීම් ලබාදිය යුතුය.
- තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය තරමටම භාෂා අධ්‍යාපනය විධිමත් කළ යුතු අතර, ඉන්දියාව සමඟ වන සබඳතා දියුණු කළ යුතුය. (වසර තිහක යුද්ධයේ වුව, මූලිකම ගැටලුව සන්නිවේදනයේ අප සහ අනෙක් භෘෂා කතා කරන්නන් අතර පැවති දර් සන්නිවේදනයන් ය.)
එහෙත්, මෙහෙම රටක් දකින්න අපි අලුත් පක්ෂයක් වෙනුවට අලුතෙන්ම ජනතාවක් පත් කරගැනීමයි වඩා කාලෝචිත. අපි සිතන ආකාරය වෙනස් නොවන තුරුම, අපිට සොඳුරු රටක් දැකීමේ සිහිනය අමතක කරන්න වෙනවා. වර්තමානයේ ඔබ වගේමම මමත් සිටගෙන සිටිනා මේ පස් ගොඩ, රටක් බවට පත්වීමට අප වෙනස් වෙමු. අපි ඉන්නෙ හරි සතුටින් බව, අපිට හැමදේම ලැබිලා බව, අපට බොරුවට පෙන්වලා අපිව රවටලා එයාලාගෙ හීන ඉටු කරගන්න දඟලන රට පාලනය කරන හා රට පාලනය අයදින නළුවන්ට නොරැවටී ඉමු.
******
250 වැනි ලිපිය සමඟ 2014 වසර අවසන් වෙලා යනවා. ඔබ හැමට අලුතෙන් හිතන්න පුළුවන් වන,
සුබ නව වසරක් වේවා!!
ඇත්තම සතුට හොයා ගන්නත්,
නියම රටක ජීවත් වෙන්නත්,
නොරැවටෙන්නත් හැකියාව ලැබේවා.
පරිසරය අපටත්, අපි පරිසරයටත් ආදරය කරන වසරක් අපට ලැබේවා!
11/19/14
-249- මල් වලට ගල් ගසන්නට කලින්
ලියන්නට සිත විසින් බල කරන හැඟීම්, එකිනෙක පැටලෙමින් සිත කුළම තෙරපෙයි. දැනීම උත්සන්න වූ යම් මොහොතක, ඇතුළතින් බුර බුරා නැගි කම්පනයක් ලෙසින්, එක් වර ම ඒවා වේගයෙන් එළියට පනී. ඒ හැඟීම් වල පිළිවෙළ පිළිබඳව සැබැවින්ම අවිශ්වාස වුවද, එකී හැඟීම් අකුරු ලෙස සංකේත කිරීමට හොඳම අවස්ථාව එ්වා පැන නගින අවස්ථාවම බව මම තරයේ විශ්වාස කරමි.
කුඩයක් යට හිර වෙන්නට පෙම්වතුන්ට බල කළ බව හැඟෙන, මඳ වර්ෂාවක් සමඟ තෙත් සහිත වටපිටාවක, නුගේගොඩ ගිලී තිබිණි. වෙලාව හවස හය පසුවී සුළු මොහොතක් ගත වී ඇති බව විසිතුරු කඩ සාප්පු වල හුමාලය බැඳී වීදුරු සිපගෙන මහ මඟට දෙනෙත් අයා සිටිනා විවිධ මාදිලියේ, විවිධ හැඩතල වල පහස ලද, හෝරා යතුරු දෙස් දෙති.
සිය දවසේ වෙහෙස, සුරත මත තද කළ මිටියකින් තෙරපා දහසක් ඇණ පහර වැද හිල්ව ගිය අවාසනාවන්ත පැතලි ලෑල්ලෙන් වාසනාව උදුරා දමන මැදිවියේ කතක් කුඩයෙන් වැහි පොද හා සෙල්ලම් කරන සිය නව යොවුන් දියණියට බැන වදී. ඔවුන් අසලින් පාර පැන, මම සරසවි පොත් සාප්පුව වෙත පියමනිමි.
ඒ තෙවන මහලයි. බිම් මහලේ අධ්‍යාපන පොත් වලටද, පළමු මහලේ මුදල් ගෙවීම් කවුන්ටර , වාර ප්‍රකාශන, සඟරා සහ විද්‍යුත් තැටි ආදියට ද ඉඩ දුන් සරසවි දේවී, දෙවන මහලට ඉංග්‍රිසී පොත් වල අයිතිය මුල් දවස් වලම පැවරීය. සිංහල පොත් සොයන අය තෙවන තට්ටුවට පිටුවහල් කරන අතර, රැජිණට හිමි කොළණි දෙකක්ම ඉන් උඩට විහිදී ඇත. ඉතින් මා දැන් සිටින්නේ තෙවන මහලේය.
එකිනෙකා පෙරට එන්ට පොරකන පොත් රාක්ක අතර මැද මඳක් සැඟවී පිහිටි රාක්කයක දෙපස සිදුවන, ඔවුන්ගේ කතා බහ දැන් මගේ නොමනා දෙකන්, ග්‍රහණය කර ගනී. ඔවුන් ඉතාම තරුණ දෙපළකි. ඔවුහූ පෙම්වතුන්යැයි මොහොතකින් අනුමාන කළෙමි. පිරිමි ළමයා, බර මුහුණක් මවා ගෙන ගැහැණු ළමයා දෙසට හැරෙයි.
“ මල් පොත් කියවන්න එපා..සරසි.. ඔයිට වඩා හොඳයි පොත් නොකියවා ඉන්න එක“
තමාට වඩා මඳක් වැඩිහිටි යැයි, සැලකිය හැකි සිය පෙම්වතා අත තිබූ, මඳක් සුවිසල් පොත් කිහිපය දෙස වරක් බලා ඇය (සරසි) සියත තිබූ පොත ( බොහෝවිට මල් පොත) නැවත රාක්කයේ සිටුවයි. දැන් ඇය ඔහු පසු ගමන් කරයි. ඔහුගේ වචන මට ඇසෙන්නට ඇතැයි, කළ අනුමානයෙන්, මා දෙස ලැජ්ජා සහගත සිනාවක් පා කර, යළි වරක් තමා සිටවූ පොත ඇතැයි ඈ අනුමාන කළ පෙදෙස දෙස වරක් බලා ඇසිල්ලෙන් සිය පෙම්වතා ගේ, පාද රටා අනුගමනය කරයි.
මෙවන් කුඩා සිදුවීම් සිතීමට ආහාර සපයයි. වැසි දවස් වල රාත්‍රී කාලයේ යෙදෙන මෙවන් හුදකලා ගමනකදී, හදිස්සියක් නැති , සංඥා එළිද, මාර්ග තද බදයන්ද කාලයට ප්‍රබලත්වයක් එල්ල නොකරති. එවන් වේලාවට සීතීම උත්සන්න කිරීමට මන්දගාමී කාලය බල කරයි.
මල් පොත් කෙරෙහි, ගැහැණුන්ට වඩා පිරිමින්ගේ විරෝධය දරුණුව නැගෙන යුගයක ජීවත් වෙමින් සිටින මට, මෙය සිතීමකටම අනවැසි සාමාන්‍ය සිද්ධියකි. ඒ පොත් වල සිටිනා පරමාදර්ශී පිරිමියාගෙ ෆැන්ටසියට, ගැහැණු පෙම් කිරීම කෙරෙහි, ඇති වූ ඉරිසියාව ඔවුන්ගේ විරෝධයට එක හේතුවක් යැයි අනුමාන කරමි. අනෙක් හේතුව නම්, තමාගෙන් එවැන්නෙකු අත් දකින්නට වෙර දරන සමීප ගැහැණුන් කෙරෙන් පිරිමියාගෙ මනසට එල්ල වෙන ප්‍රබල කරදරය විය හැක. මෙකී කාරණා ද්විත්වය නිසාම බහුතර පිරිමි විසින් මල් පොත් තද බලව පිළිකෙව් කරනු විය හැකිය. ඒ විනා එහි සාහිත්‍ය හෝ වින්තනමය හෝ වෙනත් දෝෂයක් ගැන බහුතර පිරිමි සිතනවා යැයි මට නොහැඟේ.
මින් මා කියන්නට වෙර දැරුවේ, පිරිමි නරක බව හෝ පොත් වල සිටින උන් හොඳ බව නොවේය. පිරිමි පරමාදර්ශී විය යුතු බවද නොවේය. මින් මා මවිසින් අත් දකින ලෝකය මට අනුව විග්රහ කරගත්තා ම පමණි. ඒ පොත් වල පෙම්වතා අරක්කු බොන්නේත් හොඳට වන අතර, දුෂ්ටයා පිරිත් වතුර බොන්නේත් අන්තිම නරකටය. එබැවින් සමාජ යතාර්ථය හෝ ඉන් එහා ගිය විදග්ධ කරුණු මෙකී පොත් වලින් දැකිය නොහැකි මුත්, සමාජයට යම් බලපෑමක් පොත් වලින් ඉටු නොවේ යැයි කිව නොහැක.
මිනිස්සු උපරිම සුඛ විහරණයේ දී ද, උපරිම දුක විහරණයේදීද, ඇදැහිලි හා විශ්වාසයන් ප්‍රශ්න කරති. එම ප්‍රශ්න නැගීම්, ඉතිහාසය තුළ අරගල බිහි කරති. එවන් අරගල ඇල් කර නිවාලන්නේ, මෙවන් අතිශය සරල අරුමැසිවාදී ප්‍රාර්ථනාවන්ය. එම ප්‍රාර්ථනාවන් සිහිනයන් ලෙසට ලඝුව ඔවුන්ගේ හදවත් තුළ තැන්පත්ව, දවසින් දවස සිරුරු පමණක් මහළු කරවති. අනතුරුව දිනෙක ඔවුන්ට සිය සිරුරු මහලු බව පසක් වද්දි, ඔවූහු එකී සිහිනයෙන් අනලස් ව අවදි වෙති. ඒ වන විට අරගලය ඔවුන්ගේ පරම්පරාවෙන් වියැකී ගොසිනි. මල් නවකතා ද, මෙගා නාට්‍යද, වාණිජ චිත්රපටද, ජාතික ලොතරැයිද, රියැලිටි සංදර්ශන ද, සමාජ ජාල ද මේ කුමන්ත්රණයේ ප්‍රධාන පාර්ශව කරුවන්ව සිටී.
දැන් මා මල් රසවින්දනය යැයි, මේ සියල්ලට එක නමක් පබඳිමින් යළිත් සිතීම අරඹමි.
වෙළඳ පොළ තුළ මෙම රසවින්දනයට, සරලවම මල් නවකතාවට, මෙගා නාට්‍යයට අනභිබවනීය බවක් මැද සමාජය තුළින් ලැබී තිබේ. පහළ මධ්‍යම පන්තියේ මෙන්ම ඉහළ මධ්‍යම පන්තියේ ද හදවත්, තවමත් ඒ පොත් සහ නාට්‍ය සංස්පර්ෂ කරමින් සිටී. ඒ ස්පර්ෂය ඔවුන් කෙරෙහි එතරම් මෘදුව බලාත්මක වනුයේ ත්, ඔවුන්| එතරම් ආදරයෙන් එ්වා වැළඳගනු අප දකිනුයේත් අප වෙසෙන සමාජ රාමුව තුළ පවතින ගැටලුවක් නිසාම වන්නට නොහැකිද? ගැටලුව ඇත්තේ අධ්යාපයේද? උපාධිධාරීන්ද සියත්ව දිවි තොර කරගන්නා සමාජයක ශූන්‍යතාව ඇත්තේ අධ්‍යාපනයේ ද නොවේය. අප , ඔබ , සමීපතමයන් වෙත පවා දක්වන ආදරයේ හා ස්නේහයේ ඌනතාවයන් සහ සංවේදනාවේ ඇති දුර්වලතාවයන් මේ ප්‍රබල ඛේදාන්තය හා අමිශ්‍ර බව ඔබට මට ඉඳුරාම කිව හැකිද?
කුඩයක් යට හිර වෙන්නට පෙම්වතුන්ට බල කළ බව හැඟෙන, මඳ වර්ෂාවක් සමඟ තෙත් සහිත වටපිටාවක, නුගේගොඩ ගිලී තිබිණි. වෙලාව හවස හය පසුවී සුළු මොහොතක් ගත වී ඇති බව විසිතුරු කඩ සාප්පු වල හුමාලය බැඳී වීදුරු සිපගෙන මහ මඟට දෙනෙත් අයා සිටිනා විවිධ මාදිලියේ, විවිධ හැඩතල වල පහස ලද, හෝරා යතුරු දෙස් දෙති.
සිය දවසේ වෙහෙස, සුරත මත තද කළ මිටියකින් තෙරපා දහසක් ඇණ පහර වැද හිල්ව ගිය අවාසනාවන්ත පැතලි ලෑල්ලෙන් වාසනාව උදුරා දමන මැදිවියේ කතක් කුඩයෙන් වැහි පොද හා සෙල්ලම් කරන සිය නව යොවුන් දියණියට බැන වදී. ඔවුන් අසලින් පාර පැන, මම සරසවි පොත් සාප්පුව වෙත පියමනිමි.
ඒ තෙවන මහලයි. බිම් මහලේ අධ්‍යාපන පොත් වලටද, පළමු මහලේ මුදල් ගෙවීම් කවුන්ටර , වාර ප්‍රකාශන, සඟරා සහ විද්‍යුත් තැටි ආදියට ද ඉඩ දුන් සරසවි දේවී, දෙවන මහලට ඉංග්‍රිසී පොත් වල අයිතිය මුල් දවස් වලම පැවරීය. සිංහල පොත් සොයන අය තෙවන තට්ටුවට පිටුවහල් කරන අතර, රැජිණට හිමි කොළණි දෙකක්ම ඉන් උඩට විහිදී ඇත. ඉතින් මා දැන් සිටින්නේ තෙවන මහලේය.
එකිනෙකා පෙරට එන්ට පොරකන පොත් රාක්ක අතර මැද මඳක් සැඟවී පිහිටි රාක්කයක දෙපස සිදුවන, ඔවුන්ගේ කතා බහ දැන් මගේ නොමනා දෙකන්, ග්‍රහණය කර ගනී. ඔවුන් ඉතාම තරුණ දෙපළකි. ඔවුහූ පෙම්වතුන්යැයි මොහොතකින් අනුමාන කළෙමි. පිරිමි ළමයා, බර මුහුණක් මවා ගෙන ගැහැණු ළමයා දෙසට හැරෙයි.
“ මල් පොත් කියවන්න එපා..සරසි.. ඔයිට වඩා හොඳයි පොත් නොකියවා ඉන්න එක“
තමාට වඩා මඳක් වැඩිහිටි යැයි, සැලකිය හැකි සිය පෙම්වතා අත තිබූ, මඳක් සුවිසල් පොත් කිහිපය දෙස වරක් බලා ඇය (සරසි) සියත තිබූ පොත ( බොහෝවිට මල් පොත) නැවත රාක්කයේ සිටුවයි. දැන් ඇය ඔහු පසු ගමන් කරයි. ඔහුගේ වචන මට ඇසෙන්නට ඇතැයි, කළ අනුමානයෙන්, මා දෙස ලැජ්ජා සහගත සිනාවක් පා කර, යළි වරක් තමා සිටවූ පොත ඇතැයි ඈ අනුමාන කළ පෙදෙස දෙස වරක් බලා ඇසිල්ලෙන් සිය පෙම්වතා ගේ, පාද රටා අනුගමනය කරයි.
මෙවන් කුඩා සිදුවීම් සිතීමට ආහාර සපයයි. වැසි දවස් වල රාත්‍රී කාලයේ යෙදෙන මෙවන් හුදකලා ගමනකදී, හදිස්සියක් නැති , සංඥා එළිද, මාර්ග තද බදයන්ද කාලයට ප්‍රබලත්වයක් එල්ල නොකරති. එවන් වේලාවට සීතීම උත්සන්න කිරීමට මන්දගාමී කාලය බල කරයි.
මල් පොත් කෙරෙහි, ගැහැණුන්ට වඩා පිරිමින්ගේ විරෝධය දරුණුව නැගෙන යුගයක ජීවත් වෙමින් සිටින මට, මෙය සිතීමකටම අනවැසි සාමාන්‍ය සිද්ධියකි. ඒ පොත් වල සිටිනා පරමාදර්ශී පිරිමියාගෙ ෆැන්ටසියට, ගැහැණු පෙම් කිරීම කෙරෙහි, ඇති වූ ඉරිසියාව ඔවුන්ගේ විරෝධයට එක හේතුවක් යැයි අනුමාන කරමි. අනෙක් හේතුව නම්, තමාගෙන් එවැන්නෙකු අත් දකින්නට වෙර දරන සමීප ගැහැණුන් කෙරෙන් පිරිමියාගෙ මනසට එල්ල වෙන ප්‍රබල කරදරය විය හැක. මෙකී කාරණා ද්විත්වය නිසාම බහුතර පිරිමි විසින් මල් පොත් තද බලව පිළිකෙව් කරනු විය හැකිය. ඒ විනා එහි සාහිත්‍ය හෝ වින්තනමය හෝ වෙනත් දෝෂයක් ගැන බහුතර පිරිමි සිතනවා යැයි මට නොහැඟේ.
මින් මා කියන්නට වෙර දැරුවේ, පිරිමි නරක බව හෝ පොත් වල සිටින උන් හොඳ බව නොවේය. පිරිමි පරමාදර්ශී විය යුතු බවද නොවේය. මින් මා මවිසින් අත් දකින ලෝකය මට අනුව විග්රහ කරගත්තා ම පමණි. ඒ පොත් වල පෙම්වතා අරක්කු බොන්නේත් හොඳට වන අතර, දුෂ්ටයා පිරිත් වතුර බොන්නේත් අන්තිම නරකටය. එබැවින් සමාජ යතාර්ථය හෝ ඉන් එහා ගිය විදග්ධ කරුණු මෙකී පොත් වලින් දැකිය නොහැකි මුත්, සමාජයට යම් බලපෑමක් පොත් වලින් ඉටු නොවේ යැයි කිව නොහැක.
මිනිස්සු උපරිම සුඛ විහරණයේ දී ද, උපරිම දුක විහරණයේදීද, ඇදැහිලි හා විශ්වාසයන් ප්‍රශ්න කරති. එම ප්‍රශ්න නැගීම්, ඉතිහාසය තුළ අරගල බිහි කරති. එවන් අරගල ඇල් කර නිවාලන්නේ, මෙවන් අතිශය සරල අරුමැසිවාදී ප්‍රාර්ථනාවන්ය. එම ප්‍රාර්ථනාවන් සිහිනයන් ලෙසට ලඝුව ඔවුන්ගේ හදවත් තුළ තැන්පත්ව, දවසින් දවස සිරුරු පමණක් මහළු කරවති. අනතුරුව දිනෙක ඔවුන්ට සිය සිරුරු මහලු බව පසක් වද්දි, ඔවූහු එකී සිහිනයෙන් අනලස් ව අවදි වෙති. ඒ වන විට අරගලය ඔවුන්ගේ පරම්පරාවෙන් වියැකී ගොසිනි. මල් නවකතා ද, මෙගා නාට්‍යද, වාණිජ චිත්රපටද, ජාතික ලොතරැයිද, රියැලිටි සංදර්ශන ද, සමාජ ජාල ද මේ කුමන්ත්රණයේ ප්‍රධාන පාර්ශව කරුවන්ව සිටී.
දැන් මා මල් රසවින්දනය යැයි, මේ සියල්ලට එක නමක් පබඳිමින් යළිත් සිතීම අරඹමි.
වෙළඳ පොළ තුළ මෙම රසවින්දනයට, සරලවම මල් නවකතාවට, මෙගා නාට්‍යයට අනභිබවනීය බවක් මැද සමාජය තුළින් ලැබී තිබේ. පහළ මධ්‍යම පන්තියේ මෙන්ම ඉහළ මධ්‍යම පන්තියේ ද හදවත්, තවමත් ඒ පොත් සහ නාට්‍ය සංස්පර්ෂ කරමින් සිටී. ඒ ස්පර්ෂය ඔවුන් කෙරෙහි එතරම් මෘදුව බලාත්මක වනුයේ ත්, ඔවුන්| එතරම් ආදරයෙන් එ්වා වැළඳගනු අප දකිනුයේත් අප වෙසෙන සමාජ රාමුව තුළ පවතින ගැටලුවක් නිසාම වන්නට නොහැකිද? ගැටලුව ඇත්තේ අධ්යාපයේද? උපාධිධාරීන්ද සියත්ව දිවි තොර කරගන්නා සමාජයක ශූන්‍යතාව ඇත්තේ අධ්‍යාපනයේ ද නොවේය. අප , ඔබ , සමීපතමයන් වෙත පවා දක්වන ආදරයේ හා ස්නේහයේ ඌනතාවයන් සහ සංවේදනාවේ ඇති දුර්වලතාවයන් මේ ප්‍රබල ඛේදාන්තය හා අමිශ්‍ර බව ඔබට මට ඉඳුරාම කිව හැකිද?
Subscribe to:
Posts (Atom)


