11/4/11
අඳුරුය | ඉර පායා ඇත ( කෙටි කතාව)
ජනේලය ඇරියාම උදේ පාන්දරම එන හීතල සුළඟින් හිත පිරුණා කියලා ස්ටේටස් අප්ඩේට් කළාට බෝඩිං කාමරයටම තිබුණෙ එකම එක දොර පලූවක් විතරයි. හරහට වැටිච්ච රීප්ප හිල් අස්සෙන් හිරු එළිය ඇවිත් ඇඳටත්, සිමෙන්ති කැඩිලා පුංචි වලවල් හැදුන පොළවටත් පාත් වුණේ හීන් ඉරි කෑලි වගේ..
ඊයෙ රෑ බත් කද්දි සිමෙන්ති කුහර අස්සට වැටුණු බත් ඇට තුන, හතරක්, නිදි මතේ කොස්සට මඟ ඇරිලා..
දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. කුහරයට උඩින් වැටෙන රවුම් හිරු ලපය නිසා දැන් උන් පේන්නෙ රත්තරං පාටට..
මම දැන් තව ස්ටේටස් එකක් අප්ඩේට් කළා.. අඩු ගාණට ගත්ත චයිනීස් ෆෝන් එකත් නැති වෙන්න, ජීවිතේම මහා පාලූවක් වෙන්න ඉඩ තිබ්බා.. මම මම නෙවෙයි වගේ මුහුණු පොතේ හැසිරුණා අවුරුදු දෙකක්... ඇත්ත නම ශ‍්‍රීමා වුණාට , මම එතන ඉන්නෙ සමනළී කියලා.. මේ දවස් වල ජනප‍්‍රියම නමක් නිසා රික්වෙස්ට් කෝටියයි..
වැඩ කරන්නෙ ගාමන්ට් එකක බව ඒකෙ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරුත් දන්නෙ නැහැනෙ... දාලා තියෙන ප්‍රොෆයිල් පින්තූරෙ නිසා මඟුල් යෝජනා තුනක්ම ආවා....
අක්කටත් ගමේ ගියාම කියන්න ඕනේ, මෙයින් එකක් හදා ගන්න කියලා ....
ඇයි දෙයියනේ නිකන් ගෙදෙට්ට නාකිවෙන එකේ කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක්වත් ගන්න බැරියෑ.....අනික හරියට කාව හරි අල්ලගත්තොත් පරම්පරාවම ගොඩ... මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කොනෙ.. එක සොක්කෙක් වත් නැහැ... මාර වැඞ්ඩො
අද හවසට කෙනෙක් වෙලාවක් ඉල්ලූවා. මාව දකින්න ආසලු . කටුනායකදි හම්බවුණොත් ඔක්කොම ඉවරයි. මම ඒ හින්දාම ලයිබ්‍රියට එන්න කිව්වා..අද නම් තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යන්න වෙයි.. හිතයි මම තාම ඉගෙන ගන්නවා කියලා.. හාඩ් වෙයාර් ඉන්ජිනේරුවෙක්ලූනෙ...පෙනුමට බර අත්තක්
මම නැගිට්ටා. දොර අගුල පැන්නුවා.. පයිප්පෙ ළඟ පෝළිමට ටින් බෙලෙක්, තීන්ත බාල්දි, කෑන්..
කපුටො රංචුවක් ෂම්මාගෙ සයිවර් හෝටලේ ඉස්සරහ විසි කරපු පිලූණු වඩයකට පොර කනවා.... අනේ මුන් කොයි තරම් මෝඩද?
අර හවසට එනවා කීව කෙනා හාඞ්වෙයාර් ඉංජිනේරුවෙක් නොවී ත‍්‍රීවිල් ඩ‍්‍රයිවර් කෙනෙක් වෙනවා නම් කියලා මට හදිස්සියෙ ම හිතුනා...
ඒ හිතිවිල්ලත් එක්කම විසාකා ගෙට ගොඩ වුණා.. ඊයෙ රෑ නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා උදේ කෑමත් නැතිව ගාටපු ඒකීගෙ ඇස් ආවේ සිංගල් ඇඳ බදාගෙනමයි.
”අන්න ඉක්මනට ලෑස්ති වෙලා පලයන්. සුපයිසරය කිව්වා.. අද උඹට හත වෙනකන් වැඩ කියලා.. අපේ වැඩ තමා පහට ඉවර”
ඇගේ මුහුණෙ තිබ්බෙ අනුකම්පාවක්ද, ඉරිසියාවක්ද කියලා හිතා ගන්න බැරි වුණත්, අද මට හිතපු ගමන යන්න වෙන්නෙ නැති වග විතරක් තේරුම් ගියා.සිද්ධ වෙන්නෙ එකම දේ නම් පාර්ක් එකද, ගාමන්ට් එකද කියලා හිතන කුහක සිතිවිල්ල මම අත් හැරියෙ අම්මා බාප්පාව බැන්ද දාට පස්සෙන්දා.
මම ආයෙත් උලූවස්සෙන් එපිට බැලූවා.. ටැප් එකේ වතුර නිදහසේ ගලා ගෙන ගිහින් කොන්ක‍්‍රීට් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා. කාණුවට ඉහලින් ඉර පායනවාද කියලා බලන්න මට අමතක වුණා.
--------------------------------------------------------------------------------------------
ප.ලි
සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා... අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)
10/24/11
චූ දැමීමට ගිය කෙල්ලෝ
එදා සිකුරාදා දවසක්... මතක හැටියට හොඳටම වැස්ස..වැස්ස ට සමානුපාතිකව මුත්‍රා පිටවීම වැඩියි කියන එක බොහෝ දෙනෙක් දන්න කරුණක් නෙ... මගෙ ඉස්කෝලෙ මොකද්ද කියලාත් අපේ කට්ටිය දන්නවානෙ..ඔව් ඔව් ඔබ හිතුවා හරි මේ අපේ ඉස්කෝලෙදි සිදුවුණ පුංචි සිද්ධියක් තමයි..
අපිට හිටියා කෙල්ලො ගැන්සියක්.. එකෙක්ට එකෙක් දෙවෙනි නැති කටවල්...සහ චණ්ඩි කම් කරපු. (සියලු දෙනාම පස්සෙ අවුරුද්දෙ කථික සංගමේ මුල් පුටු ) අනික් සංගම් ඔක්කොම රන් කළෙත් මේ කට්ටිය මාරු වෙලාම තමයි...පොඩි පොඩි වෙනස් කම් තිබ්බෙ.. ඒ කියන්නෙ.. ඒකේ කැටේ ..මේකේ සභාපති.. එකේ සභාපති මේකේ රයිටර්.. වගේ තමා...ශිෂ්‍ය නායිකාවොද? අහ් ඒ අයම තමයි... ඒ පුරාජේරුව පොඩ්ඩක් පැත්තක තියමුකො..
ඔන්න අපි හැමෝම දැන් 11 පන්තියෙ.. අනික් උන් ඔක්කොටම 16 පිරිලා තිබ්බා.. මට 15 යි..(අයිඩින්ට්ය නැති නිසා “බාල වයස්කාරයා“ කියන විරුධාවලියෙන් මම පිදුම් ලබලා හිටිය කාලෙ...ෂික්... චාටර් නේද? ) මම තැපැල් අයි.ඩි එකෙන් සා .පෙළ ලිව්ව වග දන්නෙ ඔයාලා විතරයි හොඳඳ? කාටවත් කියන්න එපා.. ආයෙත් පුරා ජේරුව..
ඔන්න දැන් තමා කතාව... වැස්ස නිසා නිතරම කට්ටිය පොඩ්ඩ පොඩ්ඩ ටොයිලට් යනවා.. හැබැයි යන උන් එන්න ටිකක් පරක්කුයි..එක්කො මුන් කැන්ටිම ගාව නතර වෙනවා. එහෙමත් නැත්තම් දෙළුං,පිනි ජම්බු කඩනවා..(වැස්ස කියලා ගාණක් නැහැ.ඉතින් .කොල්ලො වගේ නෙවීනෙ..කෙල්ලෝ කොතෙනට ගියත් මල් මල් කුඩ ගේනවානෙ)
හරි ආයෙත් පිට ගියා..දැන් නැවත කතාව
අපේ පන්තිය බාර වෙලා තිබුණෙ අපේ ඉංග්‍රීසි මිස්ට.. අල්ලපු පන්තියට සමාජ අධ්‍යනය කරපු මිස් ට තමා ඒ පන්තිය බාර.. අපි 11 වසර එෆ් කියමුකො.. එතකොට අල්ලපුවො 11 වසර ජී... අපේ මේ අල්ලපු පන්තිය බාර මිස් ගෙ නම ...නන්දා... අපේ පන්තියට කිසි දවසක උගන්වන්නෙ නැතත්..නිතරම අපේ පන්තියෙ වැරදිමයි හොයන්නෙ.. විශේෂයෙන්ම අර උඩ කිව්ව කෙල්ලො සෙට් එකේ වැරදි...ඒ නිසාම අපි ඇයට කීවෙ “නැන්දා “ කියලා...ආදරේට
ඔන්න දැන් පන්තියෙ ළමයි බොහෝ දෙනා වැහි වෙලාවෙ නැහැ... පන්තියෙ මොනා නැතත් කාලෙකට පස්සෙ අපි ටික හිටියා..සංගම් වැඩ නැති නිසා ඒ දවස් වල..
මෙන්න එතන වුණු දෙබස -
මේනකා - මචං.........නැන්දා නැන්දා.... නදී.. බහනවා යකෝ මේසෙන්...
ඔන්න දැන් කට්ටියම හරිම උපශාන්තයි.. නන්දා මිස්ට සතුටු හිතෙන්න ඇති... අයියෝ නෑ.. මේ පැන්නෙ ඇඟට..
නන්දා මිස්- කෝ මේ පන්තියෙ ළමයි..
අපි හමෝම බැලුවෙ කලු ලෑලි බිත්තිය දිහා... ළමයි තිහක්ම බැහැර ගිහින්...
නන්දා මිස්- ළමයි 30කට වඩා බැහැර ගිහින්.. මේ කොයි බෑරක්ද අපි දන්නෙ කොහොමද?.. පැහැදිලිව ගිය තැන ගිය හේතුව ලියන්න...අනික මෙහෙ ඉන්නෙ ළමයි නෙවීනෙ.ළමයි කියන්නෙ දෙගොල්ලෝ.මෙතන ඉන්නෙ ස්ත්‍රී පාර්ශවය විතරයි...ඒ විදිහට වැඩ කරන්න.ස්ත්‍රීන් විදිහට..මම ඊළඟ පාර එනකොට මේක පිළිවෙළක් කරනවල්ලා...
අපිත් ඔළුව නවාගෙන හිටියා... මිස් ගිය ගමන් නදීරා ක්‍රියාත්මක වුණා... අයෙ වහාම “බැහැර ගිය ළමයි “ කියන මතෘකාව සැණින් මකා දැම්මා..ඒ වෙනුවට “ චූ දැමීමට ගිය කෙල්ලෝ“ කියලා වෙනස් කළා... ස්ත්‍රී පාර්ශවය කියන එකත් හැඟවෙනවානෙ දැන්... ඔන්න ටිකකින් නන්දා මිස් නැවතත් එනවා..
නන්දා මිස්- ෂික්.. මෙහෙමත් ළමයි..මීට වඩා සභ්‍ය වචනයක් තිබ්බෙම නැද්ද? ඉන්නවකො මම මේ පන්තිය මිස් හම්බුණාම කියන්න.. වෙනස් කරනවල්ලා ඕක..ලැජ්ජා නැති හැටි... ඔයිට වඩා හොඳයි“ චූ කෙල්ලෝ“ කළා නම්..
මුහුණෙ තරහකුත් මවා ගෙන මිස් ගියා...ඉන් පස්සෙ ක්‍රියාක්මක වුණෙ ධෂිකා....ධෂි කොහොමත් පඬියා...ධෂිගේ ඉඳිකට්ට අරුණි.. කෙවිනි,ධෂී,අරුණි,මම,මල්ෂා,මේනූ එකට කන්නෙ...හරි ඉතින් ධෂී මෙහෙම කීවා..
ධෂිකා- ඇත්තනෙ බං..මේක සභ්‍ය නැහැනෙ ..අපි මෙහෙම ලියමු “ මුත්‍රා කිරීම පිණිස වැසිකිලියට ගිය ගැහැණු ළමයි“ දැන් කොහොමද? එළ නේ...උඹලාටත් මමම ඉන්න ඕනේ...
දැන් මාතෘකාව එලෙස වෙනස් විය . ඔය අතර අනෙක් ළමයින් වැසිකිලියෙන් පන්තියට නැවත පැමිණීම්ද , තවත් අය වැසිකිලිය වෙත පිටවීම්ද සිදු විය.. නැවතත් නන්දා මිස් පන්තියට පැමිණියාය.. අගේ මුහුණ මෙවර පෙරට වඩා දරුණු වූයේ ධෂීගේ මුහුණේ දුකක් ද ,පරාජයද සටහන් කරමිනි..
නන්දා මිස්- ෂිකේ මේ ළමයි ට නම් කිසිම රහක් නැහැ... ඔක්කොම මෙතන ලියලානෙ...
පන්තිය වෙනුවෙන් මම ඉදිරිපත් වීමි..
මම- මිස් ම නෙ මිස් හේතු ඇතුව ලියන්න කියුවෙ..ඒකනෙ අපි මෙහෙම කළේ..?
කවදාවත් මම ආදරේ කෙනෙකුට මම ඉස්සරහ බනින්න මගෙන් ඉඩක් නැහැ..ඒ නිසාම මම ඒ වෙනුවෙන් ඉදිරිපත් වුණා..ධෂිකාට බනින්න දෙන්න බැහැනෙ..ඒකී මගෙ ෆිට් එක...
නන්දා මිස් එවර ආවේගශීලී බව මඳක් බැහැර කළාය..
නන්දා මිස්- මෙහෙමම ලියන්න එපා..පොඩ්ඩක් ව්‍යංගය භාවිතා කරන්නවකො...සිංහල සාහිත්‍ය සංගමේ ලබන අවුරුද්දෙ බාර ගන්න නේද කට්ටිය දැන් බලා ඉන්නෙ.. හනේ මන්දා...මෙහෙම ගියොත්.
ඇය යන්න ගියාය... දැන් මොකද කරන්නෙ කට්ටියටම බර හර පැනයකි....
මේ අතර පොඩි කළණි වහාම.. “අනේ මට නම් තවත් මේ බර උහුලං ඉන්න බෑ“ කියා වැසිකිලියට ගියාය...
ඇගේ වචනය නිසාම ව්‍යංගයෙන් උපන්..උත්ප්‍රේක්ෂයක් මට හදිසියේම පහළ විය..
මම මේනකා අත තිබූ හුණු කූර උදුරා ගතිමි.. කලු බිත්තිය වේගයෙන් මැකිණි... “බාර ඔප්පු කිරීමට ගිය ළඳුන්“ ලෙස එහි මගේ අතින් සටහන් විය..
අප සියලු දෙනා සිනාසුනෙමු..උඩ පැන පැන හිනා වුණෙමු..කඳුලු එනතුරු හිනා වුණෙමු...දැන් වැස්ස පායා ඇත..කළණි හැරෙන්න සියලු දෙනා පන්තියේය..නම් බොහෝමයක් කලු ලෑල්ලෙන් මැකී ඇත....අපේ සිනාවේ සැර මැකී යන්න ප්‍රථම කළණි හැරුණු විට එළියට ගිය අන්තිමයාද පැමිණෙන ලදි..
අපේ සද්ද ඇසී නැවතත්...
හම්.. හිතුවා නේද? නන්දා මිස් ම එයි කියලා.. නෑ ආවෙ අනුලා මිස්...අනුලා මිස් කියන්නෙ බෞද්ධ සංගමේ අනුශාසක මිස්..
අනුලා මිස්- ළමයි අපේ සංගමේ ඔයාලාගෙ පන්ති නියෝජිත කළණි නේද? කෝ මේ කළණි..
අපි උත්තර දෙන්නත් ප්‍රථම ඇයට කලු බිත්ති ලෑල්ල ක්ෂණිකවම ඇස ගැටිණි..
අනුලා මිස්- මොකක්? බාරයක්? බාර ඔප්පු කරන්න ගියා... මොන බාරද මේ මහ වැස්සෙ..අනික කොයි දෙයියන්ට වුණ බාරද?
මෙසේ කියමින් අපෙන් පිළිතුරක් හිතා ගන්නත් මත්තෙන් අනුලා මිස් තමන්ටම මුමුණමින් පන්තියෙන් නික්ම ගියාය..
ඉන් පැය භාගෙකින් පමණ පසු කළණි නැවතත් පන්තියට මාරාවේශයෙන් එනුද, අපි ඇගේ දරුණු යකඩ ෆයිල් කවරයේ මාරාන්තික පහරින් බේරීමට මේස උඩින් පුටු උඩින් පනිමින් සිටිනුද ..ඉන්පසු ආරක්ෂාව පතා සදාකාලික අපගේ අධි ආරක්ෂක බංකරය වූ මාධ්‍ය ඒකකයේ කාමරය වෙත පලා යනුද ඒ අවස්ථාවේ පන්තිය අසලින් ගමන් ගත් සියල්ලෝම දුටු වග පසුව තැන් තැන් වලදී ප්‍රකාශයට පත්විය.
10/18/11
කවි නොලියන ළමයින්ගෙන්...ටයි මාමාට කවි කුසුමක්....
බොහෝ දේ බොහෝ දෙනා අතින් ලියවිණි... යමක් නොලියා බැරි හෙයින් ලිවිය යුතුමය... ළමා කාලයක් නැතිව හිර කරපු ජීවිත බාර ගත්තාට පරිකල්පනය හදවතට දීලා අපිව හුස්ම වැටෙන මිනිස්සු කළාට ස්තූතියි මාමේ... මට ඔබතුමාව මතකයි...හුඟාක් පුංචි කාලෙ එක් වරක් දැකලා තියෙනවා... ඒත් ඔබතුමාගෙ කාර්ටූන්... කටපාඩම්... මට විතරක් නෙවී.. හැමෝටම.. අද තරුණ වයසෙ ඉන්න.. බොහෝ අය...ඔබගෙ කාර්ටූන් බැලූ ළමයි... ඒකයි ඔබ ගැන හැමෝම ලියන්නෙ... ටයි මාමාව නොදන්න අපේ වයස් පරාසෙ කෙනෙක් මේ දූපතෙන් හොයන්න හරි අමාරුයි ටයි මාමෙ..ඒ නිසාම මුහුණු පොතම පිරිලා ගිහින්.. මටත් හිතුණා ටයි මාමාට ලියන්න... පුංචි කවියක් ... අපිට කවිලියන්න බැහැයි කියලා තමා ගොඩ දෙනා කියනවා තමා... බැහැයි කියන්න එපා කියලා මාමා කියපු නිසා මෙන්න ලිව්වා!!!
බැහැයි කියලා බැහැයි කියලා
බැරි බව ලොවටම කියලා.....
අපි හැඳුණේ රට වෙනුවෙන්
කියා අපට පහදවලා.....
උඩට නගින හැමකෙනාම
නිති පහළට ඇද දමනා
මිනිස් කැළට ඔවදන් දී
බෘම් ව තනියට තියලා....
කළ කළ දේ පළ දෙන වග
පුංචි අපට කියාදෙමින්..
අවි ගත් අය අවියෙන්
වැනසෙන බව තේරුම් කරමින්
ලිලිපුට්ලා මැද ගලිවරයකු
නොවෙනට දී ඔවදන්..
නිතරම ළඟ සිටියා අපේ
සෝරෝ යුක්තිය රකිමින්
දිරියෙන් ලොව ජය ලබනා
ඔෂීන් සේ සතුට ගෙනා
විරුවෙක් දුටුයේ නම් අප
රොබින් හුඩ්ට සම කෙරුවා
දියරකුස්ලා බුරුතු පිටින්
අල්ලා ගෙන ගෙනවිල්ලා
පිස්සු වුණත් පූස් ගොල්ලො
සාජන් හට බාර කළා..
උදේ සුරංගනා කතා
හවසට කුස්සියේ කතා
බඩගින්නට මෙන්න ඇවිත්
ඥාන කතා මලණ්ඩියා
ඉඳගෙන කන කාලා හැඳෙන
ඉඟුරු පාන් පාන් මල්ලි
අද බොහෝම විස්සෝපෙන්
සද්ද බද්ද නැහැ හෙල්ලිලි
ඔබේ පුංචි ගම්බිරිස්සො
තවමත් අපි ටයි මාමේ...
හාරලක්ෂයක් දුන්නත්
මරුවා නපුරුයි මාමේ...
දොස්තර හොඳ හිතටත් බැරි
සසර චක්‍රෙ වලක්වන්න
කැස්පර් හොඳ වුණත් කෙතෙක්
ඒ ලෝකෙට එපා යන්න.....
අනාගතේ මතු දවසක
අපි එනතුරු ඔබ බලන්න..
හීන නොමැති සුව නින්දක
තව ඩිංගක් නිදාගන්න...
10/11/11
නීනුගේ පොඩි අයියා
මම අද ඉඳන් පුළුවන් පුළුවන් වෙලාට බ්ලොග් ලෝකෙ මගේ හිතට අල්ලලා හිටපු චරිත ගැන ලියන්න හිතා ඉන්නෙ... ඉතින් මම ඒක ලියන්න පටන් ගන්නෙ... අපේ ගෙහාන් චන්දික අයියාගෙන්.. කවුරුත් ආදරේට ඔහු අමතන්නේ කෝච්චියා කියලා.. අපේ ගෙදර අය නම් ඔහු හඳුන්වන්නෙ හොරණ දරුවා කියලා..මම මුලින්ම ගෙහාන් අයියා ගැන ලියන්න හේතු වෙන කරුණු කීපයක් තියෙනවා.
- මට බ්ලොග් කලාවේ හමුවුණ ප්‍රථම සිත් ගත් චරිතය වීම.
- සරළ සැහැල්ලු, සිනාමුසු මුහුණින් සියලු දේ දිහා බලන , නමුත් සෑහෙන්න සංකීර්ණ චරිතයක් වීම.
- මම ජීවිතයේ වැඩිම කලක් ආශ්‍රය කළ අදටත් ආශ්‍රය කරන හොඳම සොහොයුරන් තිදෙනා ගෙන් කෙනෙක් වීම.
- මට ගුරුහරුකම් ලබා දෙන අයෙක් වීම.
- සුන්දර පුද්ගලයෙකු වීම.( නමුත් මගේ අයියාට තියෙන්න ට ඕනෙ ශරීර ලක්ෂණ නියම ආකාරෙන් අපේ කෝච්චයියා ට නැහැ... මට ටොකු අනින්න පුළුවන් මට්ටමට අයියණ්ඩියා උසයි.... ලැබෙන සෑම අවස්ථාවකම මට ටොක්කක් ඇනීමට එකල සිට කෝච්චි අයියා ප්‍රිය කළේය..)
- බොහොම සුන්දර පෙම්වතියක් ඔහුට සිටී.... එය ගැන මුලින්ම දැනගත්තේ ද මමයි... (නමුත් තාරක අයියා ගැන මුලින්ම දැන ගත්තේ දිලු අක්කායි.... ඒ වගේ වැඩ වලදී කෝච්චි අයියාට වඩා අයියාගේ කෙල්ල අක්කාට මම ඉතා සමීපය.)
දිනක් ඒ කියන්නේ එකෝමත් එක කාලෙක මම මුහුණු පොතට එන විට එහි poke බොත්තම ගැන දැන සිටියේ නැත... දිනක් හදිසියේ මොකද්ද එකෙක් මට පොක් කර නෝෆිකේසමක් එවා තිබිණි.. මම වහාම මධුර ශබ්ද කෝසය පෙරලා එහි තේරුම ගෙන මට අනින එකා හොයා බැලීමට ගියෙමි. ඔහු නමින් ගෙහාන් චන්දික වික්ස් ( සම්පූර්ණ සර් නේම් එකට අකමැති හෙයින් එය නොදාන්නට සිදුවිය.) විය. මම ද පෙරළා ඇන්නෙමි... මේ පෝක් සෙල්ලම මාසයක් විතර ගිය පසු ගෙහාන් අයියා චැටට සෙට් විය... ඉන්පසු බුදු ෆිට්ටෝ වුණු අතර ගෙහාන් අයියා ඒ දිනවල කැම්පස් ගිය අලුතය.
නිරන්තරයෙන් කෙණෙහිලි කම් දරාගෙන සංවේදී චරිතයට හිනාවුණු දහසක් වුන් ගෙන් සැඟවෙමින්...පරිගණකය තම ආත්මය කරගැනීමට ඔහු සැරසිණ... ගෙහාන් අයියා ගේ මල්ලි අයියා ගේ වියෝව එකල ගෙහාන් අයියාගේ ජීවිතයට ඇති කළේ මහා කාන්සියකි..දුකකි... එයින් ඔහු මුදවා ගැනීමට ඔහුට මා එකල ඔහුගේම සොයුරියක් විය...
ගෙහාන් අයියා බොහෝම සරළ ජීවිතයක් ගත කළේය. නිතරම සිනාසුනේය.. රහසින් හැඬුවේය. කැම්පස් ගිය මුල් කාලේ ඔහු සිටියේ ගෙදර එන තදියමේය. දැන් එය වෙනස් වී ඇත.
අද වන විට සතුටේ මුදුනටම ඇයගේ ජීවිතය රැගෙන යාමට අහම්බෙන් හමුවූ මලිතිගේ බ්ලොග් සිත්තම ලියන දිලු අක්කිට හැකි විය... මම මුලින්ම මම තාරක අයියා ගැන කීවේද දිලු අක්කා සමඟය... ඇය එයට ආශිර්වාද කළා සේම...ගෙඩි පිටින් අයියාට කියාද නැත.. පසුව ද දැන්ද මා සමඟ මේ වන විට කොච්චයියා ඔරෝප්පුව සිටින්නේ එය නොකී නිසාය..ඔහු මට බැන්නේ... වෙඩිං එකම කීවා නම් ඇති කියාය...
නොකීවේ ලැජ්ජාවට මිස, වෙන මක්කටවත් නොවන වග පසු දිනෙක අයියා දැනගන්නවා ඇත.
නිතරම සවාරි යන කෝච්චයියා නිතර ඔහු ගන්නා ඡායා රූප අප හමුවට ගෙනෙයි... දැන් බ්ලොග් ලෝකයේ විසාල චරිතයක් බව පෙනෙන්නට තිබෙන අතර... ඔහු මගේ සොයුරෙකු වීම ගැන මම ආඩම්බර වෙමි.. කෝච්චි මස්සිනා පිළිබඳ තාරු අයියාද නිතර මතක් කරන අතර... කෝච්චයියාගේ වෙඩිමට කේක් ඇල්ලීම සඳහා ...හෝම් කමිමේ දී ඉඩ ලබා දෙන බවට ත් පසුව කේක් කෑලි පහක් ගෙදර ගෙනයාමට දෙන බවටත් මා කුඩා කළ කෝච්චයියා පොරොන්දු විය...
මම අපේ පොඩි අයියාට සහ අක්කාටද සුබ අනාගතයක් පතමි....කෝච්චයියා ලබන ආත්මයේ මගේම පොඩි අයියා වේවා යැයි ද, මම පොඩි අයියාට ටොකු ඇනීමට නොහැකි මට්ටමට ටිකක් උස වේවා යැයිද ප්‍රාර්ථනා කරමි...
Subscribe to:
Posts (Atom)



