"අපි තමයි අන්තිමටම පාරේ ක්‍රිකට් ගැහැව්වෙ, ඒ විතරක්ද අපි තමයි අන්තිමටම සුවඳ බේරෙන love letters ලිව්වෙ, අපි තමයි අත්තිමටම පාකර් තීන්ත පෑන් වලට පිස්සු වැටිලා හිටියෙ,ඇයි school colours දාලා friendship bands ගෙතුවෙත් අපිනෙ, ඒ විතරක්ද කැසට් පටි වලට රේඩියෝ එකෙන් සිංදු අල්ල අල්ල mix tape අන්තිමටම හැදුවෙත් අපි තමයි. වී එච් එස් ටේප් වලින් ෆිල්ම් බලපු අන්තිම පරම්පරාව වගේම DVD වලින් ෆිල්ම් බලපු මුල්ම set එකත් අපි. ඒ වගේම මුලින්ම චැට් රූම් වලින් යාළුවො අඳුන ගත්තෙත්, ජූක් බොක්ස් එකෙන් සිංදු ඩවුන්ලෝඩ් කළෙත් වෙන කවුරුවත් නෙවෙයි, අපිම තමයි. අපේ Generation එක තරම් පට්ට Generation එකක් ලොවෙත් නෑ යාළුවෙ. අපි හරි මාරයි."
නිතරම සමාජ ජාල ආශ්‍රයෙ ඉන්න ඔයාට මේ පුරසාරම අනන්ත වාරයක්, නොයෙක් නොයෙක් විදි වලින් අහන්න ලැබිලා ඇති. 1980 දශකයත්, 1990 දශකයත් අතරෙ ඉපදිලා වර්තමානය වෙන විට, සංස්කෘතික, තාක්ෂණික, සමාජීය මෙන්ම දේශපාලනික වශයෙන් අන්ත දෙකක ජීවත් වෙන්න ලැබුණ අය ලෙස සලකන, මේ මාර කට්ටියට අපි බොහෝ දෙනෙකුත් අයිතියි. මේ යුග වල උපන් අයව හඳුන්වන්නෙ Generation Y කියන නමින්. මේ කට්ටිය යම් යම් කාරණා කිහිපයක් අවසානයට භූක්ති වින්දා වගේම තවත් කාරණා කිහිපයක් මුලින්ම භුක්ති විඳපු අය අතරටත් අයිති වෙනවා. මේ නිසාම Generation Y එකේ අය අනෙක් පරම්පරාවල් වල අයටත් වඩා අතීතකාමයෙන් ඔද්දල් වෙලා ඉන්නවා කියලා කිව්වොත් වැරැද්දක් නෑ. ඒ නිසාම Y Generation එකට මුණගැහිලා අනෙක් Generation වලට මඟ ඇරිච්ච " මාරම මාර දේ" පිළිබඳ අති සුන්දර කතන්දරය දැන ගන්න එක,කොයි Generation එකටත් වැදගත් කියලා අපි හිතුවා.
පරම්පරා අතර ගැටුම කියන කාරණාව කොයි කොයි යුගයේදිත් ඕනෑතරම් උදාහරණ එක්කම ඔයාට හොයාගන්න පුළුවන් මාතෘකාවක්. සරලම උදාහරණයක් විදිහට, එක්දහස් නවසිය හතළිස් ගණන් වල අග හරියෙ අපේ අත්තම්මලා ගැටිස්සියො කාලෙ ඩබ්ලිව් ඒ සිල්වා මහත්තයාගෙ "විජය බා කොල්ලය" එහෙම කියවලා තියෙන්නෙ කොට්ටෙ යට හංගගෙන. ඒත් අපේ අම්මලාගෙ කාලෙ වෙනකොට, විජය බා කොල්ලය පාසල් අච්චු පොතේ පවා තිබුණාලු. ඒත් එහෙමයි කියලා අපේ අම්මලා අච්චු පොත කොට්ටෙ යට හැංගුවෙ නෑ. ඒ කාලෙ අපේ අම්මලා රහසින් හුවමාරු කරගෙන කියවලා තියෙන්නෙ කරුණාසේන ජයලත්ගෙ "ගොලු හදවත". අද වෙනකොට, "ගොළු හදවත නවකතාව" ශ්‍රී ලාංකීය පාඨකයා විසින් ඉහළින් පිළිගත්ත සම්මානනීය සිනමාවකට පවා අඩිතාලම දැමූ සිංහල සාහිත්‍ය කෘතියක් . හැබැයි තාමත් අලුත් පරම්පරාවත් කොට්ටෙ යට හංගං නවකතා කියවන එක නතර වෙලා නෑ. වෙනස් වෙනස් නම් ඇති අලුත් ලේඛකයන්ගෙ ශෘගාරාත්මක මල් නවකතා වලින් අද පරම්පරාව රසවින්දනය ලබනවා.
ආත්තම්මාගෙ අම්මා, අත්තම්මා විජය බා කොල්ලය කියවනවාට විරුද්ධ වුණෙත්, අම්මලා ගොළු හදවත කියවනවාට අම්මගෙ අම්මා විරුද්ධ වුණෙත්, ඔයා දැන් තියෙන මල් කතාවක් කියවද්දි අම්මා නෝක්කාඩු ගහන්නෙත් සමාන කාරණාවක් නිසයි කියලා ඔයා මොහොතකට හරි හිතුවාද?
ඒ තමයි "පරම්පරාව පිළිබඳ පැන නගින ගැටුම. "
"දැන් කාලෙ හැදෙන උන් අපේ කාලෙ වගේ නෙවෙයි." ඒක තමයි හැම Generation Gap එකකදිම ලේසියෙන් ඉස්සරහට එන එදිරිවාදි ප්‍රකාශය. " අපිට තිබ්බ ළමා කාලෙ දැන් ඉන්න දරුවන්ට අහිමි වෙලාය.. උන් හරිම අසරණය.." කියලා නානාප්‍රකාර කියමන් ඔයාටත් අනන්ත ඇහිලා ඇති. දැන් ඉන්න ළමයි කොස් කොළ ඔටුන්නක් දාගෙන, ටින් කඩන්න, චක්ගුඩු පනින්න නොයන නිසා ඒ ළමයා අසරණයි කියලා තමයි ඊට කලින් ජෙනරේෂන් එකේ ජීවත් වෙන අය හිතන්නෙ. අපි බලපු ටයිමාමාගෙ දොස්තර හොඳ හිත, ඉඟුරු පාන් මල්ලි, ඔෂින්, රොබින්සන් අන්දරය වගේ කතා වෙනුවට, ඒ ළමයා බලන්නෙ බෙන් ටෙන්, ඩිස්පෙකබල් මී, කියන කාරණාව නිසා ඔහුට සුන්දර ළමා කාලයක් අහිමියි කියලා කලින් ජෙනරේෂන් එක හිතන එක කොච්චර දුරට සාධාරණද?
මෙහෙම හිතන කෙනාට ඉස්සරින් හිටපු කෙනෙක් මේ කෙනාගෙ ජෙනරේෂන් එක ගැනෙ හිතන්නෙත් ඔය සමානම අසරණයො ටිකක් ගැන හිතන විදිහටමයි නේද? " අනේ මේ ළමයි ටී වී එකක හෙල්ලෙන පින්තූර දිහා ඔහේ බලං ඉන්නවා. ඒ වගේද අපි..වැල් වල එල්ලිලා වැවට පැන්නෙ.කුඹුරෙ ඇලේ දෝලේ සෙල්ලං කළේ. විනෝදෙට කළේ සකලයො ඇඹීම. අපේ කාලෙ තමයි කාලෙ " කියලා ඒ අයත් හිතනවා කියලා අමතක කරන්න නරකයි. හැබැයි තවමත්, වෙල් එළියෙ දුව පැනපු, හේන් කොටපු X පරම්පරාව නමින් හඳුන්වන ඔවුන්ට අලුත් Smart තාක්ෂණයත් එක්ක මුහු වෙන්න සෑහෙන අපහසු වෙලා තියෙන බවත් අමතක කරන්න නරකයි. ජංගම දුරකථනෙ හඬ වැඩි කරගන්න, වයිබ්‍රෙෂන් එක අයින් කරන්න අම්මලා අපිව හොයන්නෙ අන්න ඒ නිසයි.
කොහොම වුණත්, Y Generation එක විසින් ඉතාම පහතට හෙළලා අසරණ බැල්මක් දාන Z Generation එක පැත්තට ආයෙ හැරුණොත්, ඔවුන් තාක්ෂණය උපතින්ම බදාගත්ත අය විදිහට හඳුන්වන්න පුළුවන්. Y Generation එක වගේ ඔවුන්ට පරිණාමය වෙන්න ඕනෙ කරන්නෙ නෑ. ඔවුන් සහජයෙන්ම අයිති වන්නේ නව සහශ්‍රයටයි. X Y Z විදිහට, දැනට සප්‍රාණිකව ලෝකයේ ජීවත් වෙන මේ හැම පරම්පරාවකටම ඔවුන්ටම ආවේණික ලක්ෂණ තියෙනවා. X පරම්පරාවෙ අය සම්ප්‍රදායන් ගරු කළ, පවතින දේ ඒ ලෙසින් නොනසා පවත්වා ගැනීම ගැන වද වෙන, පවුල මූලික කරගත්ත ලක්ෂණ තිබුණු පරම්පරාවක්. නමුත් Y පරම්පරාව ඊට වෙනස්. ඔවුන් නිදහස ගරු කරනවා. ඒ වගේම සමාජය තුළ සාධාරණත්වය පැවතිය යුතු බවටත්, සමානාත්මතාවය තිබිය යුතු බවටත් විශ්වාස කරනවා. ඔවුන් ධනාත්මකයි. ඒ වගේම සමාජය කේන්ද්‍ර කරගෙන ජීවත් වෙන්න කැමතියි. කල්ලි ගැහෙන කැමතියි. අරගල කරන්න කැමතියි. Z පරම්පරාව මීට සහමුළින් වෙනස්.ඔවුන් තාක්ෂණය එක්ක වැඩියෙන් සම්බන්ධ, හැකි තරම් නිදහස ගරු කරන, ආත්මාර්ථය කේන්ද්‍ර කරගත්ත පිරිසක්. ඔවුන් කල්ලි ගැහෙනවාට වඩා තනියම ඉන්න ප්‍රිය කරනවා.
මේ සංසංදනය අන්තිමේදි කියන්න තියෙන්නෙ එක දෙයයි. මේ අයගෙන් කවුද වැඩියෙන්ම " මාර සෙට් " එක කියලා කාටවත්ම තර්ක කරන්න බෑ. හැම යුගයකම, සතුට ඒ ඒ පුද්ගලයන්ට සාපේක්ෂව ඇති වෙන්න තිබිලා තියෙනවා. දැන් යුගයටත් එහෙමයි. ඉස්සරහටත් එහෙමම වේව්. ආදර ලියුමක් නොලිව්වාට, කොට්ට උරයක් තෑගි නොකළාට, SMS එකකින් ආදරේ ලැබෙන ප්‍රතිශතය මෙච්චරක් අඩුයි කියලා තහවුරු කරන්න කාට හරි පුළුවන් කමක් තියෙනවාද? හැම හෝමෝ සේපියන් මානව පරම්පරාවකම ප්‍රබලතා වගේම දුබලතාත් තිබිලා තියනවා.එහෙමයි කියලා කිසිම දෙයක් මොන විදිහකින්වත් අනෙකට වඩා උසස් වෙන්නෙ නෑ. අදට වඩා එදා හොඳයි කියන හැඟීම අපේ හිත් තුළ පවතින අතීත කාමය නිසා ඇති වුණු නිකම්ම හැඟීමක් පමණයි කියලා හිතන තරමට, හැම පරම්පරාවකටම ආදරය කරන්නත් ගරු කරන්නත් අපිට පුළුවන් වේවි. ඒකෙන් වාසි වෙන්නෙ අපේම දරුවන්ට.
මේ ඕනෑම ජෙනරේටර් එකක් එක්ක කලවං වෙන සර්වකාලින ලයිට් ඇන්ජිං ඔය අතර තියෙනව. නොම්බරේ 1 ශ්‍රී වුනාට ඉංග්‍රීසි අකුරු තුනේ හයිබ්‍රිඩ් එක්ක එකට ට්‍රිප් යනවා. ඉස්සර ඉස්කෝලෙ යද්දි ගල් ලෑල්ලෙ අකුරු ලියපු සමහර වයස හැත්තෑ ගනංවල "අයියලා" අද අපිටත් බාල දහ අටේ විස්සෙ පරම්පරාව එක්ක කොම්පියුටර් ෆෝමැටින්, හාඩ්වෙයාර්, සොෆ්ට්වෙයාර් ගැන කතා වෙනවා. අන්න එහෙම කෙනෙක් වෙන එක මගෙත් එක හීනයක්.
ReplyDeleteඅද තමා ඉස්සරලාම මේ බ්ලොග් එකට ආවේ. අකුරු වල ප්‍රමාණය ටිකක් වැඩි කලා නම් පහසුවෙන් කියවන්න පුළුවන්.
ReplyDelete