මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

8/2/13

-221- වතුර මල



ඉස්සර අට පට්ටම කිව්වාම, අපි පුංචි කාලෙ තිබුණ ලස්සනම වැඩසටහන. නෝතේරුම් කාලෙ බලපු නමයයි පහ සහ කදමල්ල අමතකම කරවන්න අට පට්ටමට එදා පුලුවන් වුණා. එදා අට පට්ටමේ හැමදාම අලුත් අලුත් දේවල් පෙන්නුවා. ඒ නිසාම අපි නොවරදවා අට පට්ටම බැලුවා.

එක දවසක් අට පට්ටමේ හරි අපූරු වතුර මලක් පෙන්නුවා. ඒ වතුර මලේ හැම තැනින් ම එළිය විහිදෙනවා. හරියට මල් වෙඩි වගේ. ඒක ගැන අපි ඉස්කෝලෙත් සතියක් පුරාම කතා කළා. ඒ තරම්ම ඔපේට නැතත්, ඒ වතුර මලට ටිකක් හුරු වතුර මලක්, දැන් දියවන්නා උයන එකේ හදලා.
ඉතින් දවසකට වතාවක් රෑ අඳුරෙ.. උජාරුවට දිලෙන වතුර මල දැක්කාම කවි සිතිවිලිත් පහල වෙනවා.

රට පුරාම ලස්සන වතුර මල් තියෙනවා. ඒ අතර මම ළඟදි දැකපු ලස්සනම වතුර මල තියෙන්නෙ, නුගේ ගොඩ මල් කාට් එකේ. දිය ඇල්ලක් ගලනවා වාගේ, හරි අපූරුවට කෘතිමව පැතලි තහඩුවක, තට්ටු තුනක් පහළට වතුර ගලන් එනවා. හයිලෙවල් ඉඳන්, බත්තරමුල්ලට එන පැත්තෙ, ඔසුසල ළඟ බස් නැවතුමේ හිට ගත්තොත්, ඔයාට ඉස්සරහින් ඒ ලස්සන නිර්මාණය පෙනේවි.

කොහොම වුණත් අපේ රට වතුර මල් කර්මාන්තෙට රාවණා යුගයෙ ඉඳන්ම දක්ෂයි. සීගිරියෙ පළවෙනියා කුවේරද කාශ්‍යපද කියලා තාම හොයා ගත්තෙ නැතත්, සීගිරියෙ වතුර මල් ගැන දැකපු අහපු නැති අය ලංකාවෙ ඉන්නවා නම්, ඒ අත දරුවෙක්.

අද වෙනකොට උත්සව සැරසිලි වලත් වතුර සැරසිල්ලට ප්‍රධාන තැනක් ලැබෙනවා. වතුරට එක එක පාට දාලා.. ඒවාට මල් දාලා.. හරි අපූරු නිර්මාණ කරනවා.

ඒත් මේ හැම දේම කරන අතරෙ, අපිට අමතක වෙලා යනවා, අපේ මූලිකම අවශ්‍යතාවය වාතයට පස්සෙ වතුර කියලා. ලෝකයෙ මුලින්ම ජීවය බිහි වුණේ වතුරෙ. වතුර නැතුව කිසිම කෙනෙකුට ජීවත් වෙන්න බෑ. ඒත් අද සශ්‍රීක මගෙ රට වතුර ඉල්ලද්දි හුස්ම හිර කරන රටක් වෙලා.

කොළඹ වතුර මල් වල සීරාව ඒ අවට කාණු වැළඳ ගනිද්දි.. ඒ ආසන්නෙම බොන්නවත් වතුර නැති පිරිසක් ඉන්නවා කියන එක, වතුර ඉල්ලලා කෑ ගහනකොට වෙඩි තියනවාට වඩා හිතට අමාරුයි.
අද වතුර නැත්තෙ රතුපස්වලට විතරයි. හෙට කාට නැතිවෙයිද කියලා කවුද හරියටම දන්නෙ?
වතුර වීදුරුවත්, රුපියල් දාහකට විකිණෙන කාලෙ තව පරම්පරා දෙකක් වත් ඈත නෑ කියලා. මගෙ හිත කියනවා.

හිත රිදුණා නම් සමාවෙන්න.


8 comments:

  1. ශ්‍රී ලංකාව තුළ තිබහට වතුර ඉල්ලීම මරණිය දණ්ඩනය ලබෙම වරදකි!

    ReplyDelete
  2. වතුර වෙනුවෙන් හරි වෙනත් දෙයක් වෙනුවෙන් හරි හෙට දවසේ තුවක්කුව අපේ දිහාට හැරවෙන්නෙ නෑ කියලා කියන්න පුළුවන්ද?

    ReplyDelete
  3. වතුර විතරමයි ඉල්ලුවේ පුතේ-----වියපත් මාතාවක් දුරකථනයෙන් කිවු වචන හතර.

    ReplyDelete
  4. ඇත්ත ලෝකය වටේටම මහ මුහුද වට කරන් තිබ්බත්බිමට සහා මිනිස් පරිබෝජනයට සුදුසු වතුර තියෙන්නේ ඉතාම අල්ප ප්‍රමාණයක්

    ReplyDelete
  5. වතුර නැත්නම් පුංචිම පුංචි පැය දෙකක් අපි විඳින අමාරුව කොච්චරක්ද කියලා දැනෙනවද? එහෙම නොදැනෙන උදවිය තමයි සොල්දාදුවව ඉස්සරහට දාලා මේ වගේ දේවල් කරන්න අණ කරලා තියෙන්නේ.

    ReplyDelete
  6. වතුර ? කව්ද වතුර ඉල්ලන්නේ ? වතුර නැත්නම් බීම බීපන් ! වෙඩි තියනවා රබර් උණ්ඩ වලින් හරි !
    අහ්හ් සොරි සොරි ඕක කඩාකප්පල්කාරීන්ගේ වැඩක්.
    මේවා අහලා පණ පලයන් පෙරේදා

    ReplyDelete
  7. බුදු අම්මෝ බයේ බෑ වතුර!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.