මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/13/13

-213- ඇජෙන්ඩාවක අපි



ඇජෙන්ඩා පිරුණ ජීවිතේ, අවුරුදු මාස ගත වෙනවා. අපි හුස්ම ගන්නවා..  ජීවිතේ කියන්නෙ අහම්බයක් කියලා වෙලාවකට කෙනෙක් කියනවා. කොහොම වුණත්, හැම කෙනෙක්ම පුරුදු කරපු ක්‍රමයක පැටළිලා ඇදිලා යනවා. ඉපදෙනවා මැරෙනවා.. ආදරය කරනවා.. තරහ වෙනවා.. මේවා සංසාරයේ සාමාන්‍ය දේවල්. කොහොම වුණත් තේරුම් ගන්න පුළුවන් එකම දේ, ඔයා වගේම මමත්, මම වගේම මේ හැමෝමත්, එක එක ප්‍රශ්න වලට උත්තර හොය හොය එකම රේඛාවක දුවනවා. මරණයෙන් පස්සෙවත් අපි කාටවත් විවේකයක් නෑ. කොටින්ම අපි විවේකයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

මම මට හිතෙන දේවල් බ්ලොග් එකේ ලියනවා. මම මට හිතෙන දේවල් රේඩියෝ එකෙන් කියනවා. 
එතකොට මට නිදහසක් දැනෙනවා. අපි හැමෝම නිදහස් වෙන්න එක එක දේවල් කරනවා. ඒත් ඒ නිදහස ඇතුළෙවත් අපි විවේකය ඉල්ලන්නෙ නෑ. අපි හිතන තරම් අපි නිදහසුත් නෑ. හැම දෙයක්ම කරන්න ඉස්සර, අපේ යට හිතට, පරම්පරාව, සංස්කෘතිය, අධ්‍යාපන මට්ටම ආදී තව හුඟක් දේ එක පෙළට එන්න පටන් ගන්නවා. අන්තිමට අපි කළ යුතු දේ තීරණය කරන්නෙ, අපි නෙවෙයි. 

ඒත් මේ තේරුම් අරගෙන අපිට ජීවත් වෙන්න බෑ. තේරුම් ගත්තත් හැකි ඉක්මනට, අපි ඒක අමතක කරනවා. ඒ අපි පුරුදු වෙලා තියෙන හැටි.

දැන් නොනැකතය. තව ටිකකින්, සිංහල අවුරුද්ද, හෙටින් පස්සෙ, ආයෙත් සුපුරුදු ජීවිත. අපි කනවා බොනවා ආදරේ කරනවා නිදා ගන්නවා ඉගෙන ගන්නවා.. මේ හැමදෙයක්ම බලෙන් පවරපු, එහෙම නැත්තම් බලෙන් පවරාගත්ත ගතියක් තියෙනවා. 

හුඟක් අයට රට ජාතිය ආගම ගැන තියෙන්නෙත්, තමන් වැඩ කරන තැන ගැන තියෙන්නෙත්, තමන්ගෙ පවුල ගැන තියෙන්නෙත්  බලෙන් පවරාගත්ත හැඟීමක් කියලා වෙලාවකට මට හිතෙනවා. හැඟීමක් නිරායාසයෙන්ම එනවා නම්, ඒ හැඟීම සදාකාලිකයි කියලා මට හිතෙනවා.
මේ ලෝකෙ වෙනස් කරන්න බැරි වුණත්, වෙනසට ගරු කරන්නවත් අපිට නම්‍යශීලි වෙන්න පුළුවන් නම් හුඟක් වටිනවා. කොහොමත් තමන්ට දෙයක් වෙනතුරු කෙනෙක්ට උපරිම සර්ව සාධාරණීය වෙන්න පුළුවන්.

කොහොම වුණත්, හැම වෙලාවකම, හිතය දැනෙන්න ජීවත් වෙන්න. මම නම් හැම වෙලේම සතුටින් ඉන්න කෙනෙක්. වෙන්න පුළුවන් නරකම දේ හොයා ගත්තාම ඒ දේ නොවීම ගැන උපරිමෙන් සතුටු වෙන්න. මං පොඩි කාලෙම ඉගෙන ගත්තා..

සතුට පිරි අලුත් අවුරුද්දක්!



මම බස්රේඩියෝවේ, සිහිනය දිගෙන් සහ Buzz Cope  වැඩසටහනෙන් ඔයාව හමුවණ නෙරංජි වුණත්, බ්ලොග් එකෙන් ඔයාව හමුවණ නීනු වුණත්, බයිස්කෝප් සිංහලෙන් සබ් දාන නෙරංජි සුලක්ඛනා වුණත් මං තුළ ඉන්නෙ කවුද කියලා හරියටම මම තවම හොයනවා. ඒ කවුද කියලා මට හමුවන තාක් කල්, ඔබට එය හොයා ගන්න බැරි බව පමණක් මම දන්නවා. ඒකයි ජීවිතේ කියන්න.



හෙටත් මේ ගඟ ගලයි මේ ලෙස
නමුත් අද ගඟ හෙට මෙතන නැත.
අලුත් ගඟ නරඹන්න එන ඔබ
පෙර දවස මෙහි සිටි ඔබම වෙද????


7 comments:

  1. අනේ මංදා...මගේ හිත කියෙවුවා වගේ ඔයා ලියලා තියෙනවනේ-ඇත්තටම අපි හැමෝම මැරෙනකන් අපි කවුරුද කියල තෙරුම් ගන්න උත්සහ කලත් එක තේරුම් ගන්න බැරිවේවි-

    ReplyDelete
  2. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම samakayawate බ්ලොග ලියන නලින්

    ReplyDelete
  3. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් වාසනාවන්ත නිදුක් නිරෝගී සුභම සුභ ගෙනේවා....!

    ReplyDelete
  4. පියවරක් හෝ ඉදිරියට යන්න ලැබේවා !!!!

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා

    ReplyDelete
  6. මොකද්ද නිනූ මේ නිනූ යෙලෝ කතාව ?

    ReplyDelete
  7. කොතෙක් කෙලෙසක පැවසුවත් අප
    අද ගලන ගග හෙට ගලනු නැත
    පෙර දිනේ ඔබ මම නොවනු ඇත
    අද දිනේ ගග වෙතට එන අප

    එහෙත් දිවියත් ගගකි නිබදව
    ගල ගලා රැලි නගයි මිහිරට
    ඇජෙන්ඩානක සිර වෙලා හරි
    විදගනිමු අපි ලැබූ මෙදිවිය

    නිදුක් නිරෝගී සුවපත් වසරකට අක්කා ඇතුළු පවුලේ සියලුම දෙනාට සුබපැතුම්!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.