මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/25/13

-214- සිතිවිලි කොත්තුවක්!!



මට මේ දවස් වල හිතෙන එක එක දේවල් ඔක්කොම මෙතන එක දිගට ලියන්න හිතුණා. ඒ නිසා මම මේ පෝස්ට් එකට සිතිවිලි කොත්තුවක් කියලා කෙටි නමක් තිබ්බා..

ඔයාටත් දැනෙනවා ඇති, මේ දවස් වල රට ජාතිය ගැන හුඟක් දේවල් ෂෙයාර් වෙනවා. Face book එකේ.. Twitter එකේ.. කොටින්ම web වල blog වල පවා.. පුදුම ආවේගයකින්, රට ජාතිය ගැන කතා කරනවා... මත අනුව ගත්තම පක්ෂව හා විපක්ෂව මේ අදහස් ගොඩ නැගෙනවා..

මේ ලිපිය මා අතින් ලියවෙන මේ වෙලාවෙත්  මානුෂවාදී සහ ජාතිවාදී කියලා හදාගත්ත නම් දෙකකින් බෙදුණු දෙපිරිසක්, දෙපිරිසේම පහුගිය යටගියාවේ සහ වර්තමානයේ කුණු අදිමින් දෙපැත්ත වටේම ගඳ ගස්සගන්නවා.

ඔන්න ඔය ඔස්සේ මම දිගින් දිගටම කල්පනා කළා.. මම කොහොම කෙනෙක්ද කියලා....ඒ කියන්නෙ මම ජාති වාදියෙක්ද, මානුෂ වාදියෙක්ද කියලා. කල්පනා කරගෙන කරගෙන යනකොට ඔන්න.. මට හිතුණා එකපාරටම මම ජාති විදියෙක් කියලා...  ඒ වෙලාවෙ මම ඇහුවෙ මෙන්න මේ ගීතය...



එතකොට එකපාරටම මගෙ ඇඟේ ලේ වලට මහ පුදුමාකාර දෙයක් දැනුණා.. ඒ මම සිංහල නිසා වෙන්න ඇති...කියලා මට හිතුණා.



ඉන් පස්සෙ, මම ලොකු වතුර ජොග්ගුවක් බිව්වා... රත් වෙච්ච ඇඟ තත්පරෙන් තත්පරයේ, වතුර උගුරෙන් උගුරට හීතල වුණා... මට ඒ වෙලාවෙ මතක් වුණා.. දේවල් ගොඩක්.. පේළියෙන් ඵේළියට මම ඔයාට ඒවා කියන්නම්.

ඉස්කෝලෙ යන කාලෙ මට වැඩියෙන්ම ආදරේ කරපු... උදේ පාන්දර මාව හොයාගෙන දුව ගෙන එන, කොටින්ම හැම උපන්දිනේටම හැමෝටම ඉස්සල්ලා මට wish කරන මගෙ හොඳම යෙහෙළියව මට මුලින්ම සිහි වුණා. එයා ෆාතිමා සෆියා නිසාම්ඩීන්.. එයා මුස්ලිම්.. මම හිතන්නෙ, මොනම හේතුවක් නිසාවත්, මම එයාට හිරි හැර කරන එකක් නෑ.. අපේ පාසලේ මුස්ලිම් සිසුවියන් තවත් හිටියා... ඔවුන්ගෙ වරදක් මට පෙනුණෙ නෑ..

ගිය පාරට කලින් සැරේ.. මාව ඉස්පිරිතාලෙ නැවැත්තුවාම, එහා පැත්තෙ ඇඳේ හිටිය රෝගියාට මට තරම් අශක්තියක් තිබුණෙ නෑ.. එයා ඇන්දෙම සුදු.. සුව අතට හැරුණු  එයා  හැම වෙලාවෙම මගේ ළඟට ඇවිත් මොන මොනවාද හෙමින් මුමුණලා ආමෙන් කිව්වා... ටිකක්, ඇඟට පණ ඇවිත් එයා එක්ක කතා බහ කරද්දි තමා මම දැන ගත්තෙ ඇය කතෝලික සිස්ටර්වරියක් බව... ඇය කිව්වා.. දෙවියන්ට ආගමක් නැති බව.. දෙවියන් හැමටම ආදරය කරන බව.. ඉතින් මම ඇයට හිතවත් වුණා... මොනම හේතුවක් නිසාවත් මම ඇයට හිරි හැර කරන එකක් නෑ... කියලා මට හිතෙනවා.

මෙහෙම හිතද්දි මට දැනුණ එකම දෙය, තමයි.. මම මිනිසුන්ට පොදුවේ ආදරය කරනවා යන්න.. සිංහල ජාතියෙ වුණත් නොවුණත් මට ආදරේ අයට මම ගොඩක් ආදරෙයි. ඉතින් එතකොට මම මානුෂවාදියෙක්? ඔන්න ඒ වෙලාවෙ මට හිතුණා මේ සිංදුව අහන්න.. මම ඇහුවා වාගෙම ඔයත් අහන්න..



ඒත් තව මොහොතකට පස්සෙ මගේ රටට සිංහල නොවන කෙනෙක් ගෙන් විනයක් වන වග  ඇහුණොත්, මට ජාතිවාදි වෙන්න පුළුවන් වෙයි. ඒ වගේම.. ඒ වින කටින්නා සිංහලයෙක් නම් මම මානුෂ වාදී වෙයි.. මගෙ හදවතට වැඩියෙන්ම ආසන්න, හොඳ දේ කරන කොයි කෙනත් මට හොඳ අය.. කරක දේ කරන කොයි කෙනත් මට නරකයි. ඒ ක තීරණය වන්නෙ මම අනුව.

අපේ හිත නම් හරි පුදුමයි.. ඒක හිතාගන්න බැරි තරම්ම චංචලයි. ඒත් මම ඔයාට ආරාධනා කරනවා. කවුරුවත් කියන විදිහට නැතුව හිතට හිතෙන විදිහට හිතන්නට ඉඩ දෙන්න කියලා. කවුරු හරි කියන දෙයක්, ඒ ආකාරෙන්ම නැවත නැවත ස්වයංක්‍රීයව share කරන මනසක්, අද වෙනකොට අපිට ලැබිලා ඉවරයි.

දන්නවාද? මම පොඩි කාලෙ ඉඳන් පන්සල් යන්න වගේම, පල්ලියට යන්න ආසයි. මට නත්තල් ගස් හදන්න ආසයි. වෙසක් කූඩු හදන්න ආසයි. ඒ වගේම නෝම්බි අරින හැටි බලන්නත් ආසයි. ඒවායෙ දෙන කෑම කන්න ආසයි..කුර්තාටොප් අඳින්නත් ආසයි. මම කතෝලික පල්ලියක විවාහ වෙන්න ආසයි.. ඒ මුණට වේල් එක දාන්න ආසා නිසාද..අර සත්ප්‍රසාදයට දෙන, මාංශය කන්න ආස නිසාද කියලා.. ඔයාට හරියටම කියන්න මට තේරෙන්නෙ නෑ.. ඔය වගේ හිතිවිලි ගොඩක් එක්ක, මම එක එක වෙලාවට හැම දෙයටම ආස කරනවා. ඒ නිසාම සමහර වෙලාවට, මම බැනුම් අහනවා.. තවත් අයගෙන් හොඳ අහනවා.


ඔහොම ටිකක් කල්පනා කර කර ඉන්නකොට මට හිතෙනවා ඉන්දියාවෙ ජාතික ගීය අහන්න. මම ලංකාවේ ජාතික ගීයට වඩා එයට හුගක් ඇලුම් කරනවා.

ඒත් ඒ මොහොතෙම, මෙන්න මේ ගීතය.. මට ඇහුණොත්,





මට දැනෙනවා, මගේ රට ඇතුළෙ ඉන්න මම කොයිතරම් වාසනාවන්තද කියලා.. ඒ මොහොතෙම, හිම වැටිච්ච පින්තූරයක් දැක්කොත් මට එතනට යන්න හිතෙන්න පුළුවන්. හිත ඒ වාගෙයි.. ටිකක් හිතට තට්ටු කරලා බලන්න.. ඔයත් එහෙමයි.

ඒ වෙලාවෙම, හුළඟක් හමනවා.. මම මගේ පෙනහළු පුරා හුස්මක් ගන්නවා. ඒ වෙලාවෙ..මම මේ ගීය අහනවා.. මුහුණු පොතට ගිහින් අහන්නකො...

මෙතනින්


ඒ ගීතය ඇහුවාට පස්සෙ මට හිතෙනවා.. දේශපාලනික ලෙස , ජාතින් ලෙස එකිනෙකා කල්ප කාලාන්තරයකට පෙර බෙදාගත් මේ හැම රටටම වඩා.. මේ හැම රටක්ම දරා සිටින මහ පොළව හුඟක් උතුම් කියලා...වැඩිත් නොවෙන්න, අඩුත් නොවෙන්න, හැමෝටම හැමදෙයක්ම දීලා තියෙද්දි, දුන්නු දේ බෙදා ගන්න බැරිව අපි පොරකනවා කියලා.. මට හිතෙනවා මහ පොළව අපිට හිනා වෙනවා කියලා.. එතකොටම ඔන්න ලෝක මිහිතල දිනය ඇවිත්.. එතකොට මම හිතෙනවා මම පොළවට අයිති දැරියක් කියලා..

දාහක් දෙනා ප්‍රතික්ෂේප කළත්, කවදාවත්, මහපොළව අපිව ප්‍රතික්ෂේප කරන්නෙ නෑ.. කියලා... හිතාගෙන  මම මෙන්න මෙහෙම මහ පොළවට කියනවා...


ඒත්, ගහ කොළ සතා සීපාවා හොඳ අසන්නො වුණාට, ප්‍රතිචාරකයො නෙවෙයි. මම ලෑස්ති වෙන්නෙ ඔයාට දැන් ප්‍රතිචාරකයො ගැන කියන්න.. මතකද 21 අපි හමු වුණා.

අපි ඉස්සරහ හිනා වෙලා කතා කරන අය, අපි ගැන අනුන්ට කියන දේ සහ, ඒ අනුන් ගැන අපිට කියන දේත්, අහගෙන ඉඳලා, සමහරු ගැන හදවතින්ම කලකිරෙන්න එදා පුළුවන් වුණා.... සමහර අය සම්පූර්ණයෙන්ම අත්හැරිය යුතු මට්ටමක හිටියා. සමහරු තව තවත් ළං කර ගත යුතු මට්ටමක හිටියා. සමහරු මූණෙන් හිනා වෙලා, හිත යටින් එරෙව්වා... සමහරු හිත යටින් හිනාවෙලා, මුහුණින් හැඟීමක් පළ නොකර හිටියා..

ඒත් මම හැම වෙලාවෙම, නරක දාහක් තියෙන කෙනෙක්ගෙ වුණත් එක හොඳකට සලකන්න කැමතියි. මොකද මමත් වැරදි කරන, වැරදි වුණු සහ, අනාගතයේ දී වැරැද්දක් සිදුවිය හැකි කෙනෙක් නිසා.

ඔබ බලාපොරොත්තු වන සහෝදර කම් ඔබට ඔබ හා සිටින්නන්ගෙන් නොලැබෙනවා නම්, ඔබට ඔවුන්ගෙන් ඈත් වීම තුළ අලුත් සහෝදරයන් ලැබේවි. මට ඔබට ඒ ගැන කියන්න පුළුවන් එච්චරයි.

කොහොම වුණත් අපි මැරෙනකං ජීවත් වෙනවා. ඒ ජීවිත පැය ටික වෙන්නං වාලෙ ජීවත් වුණොත්, ලොකු අපරාදයක්. අපි හැම කෙනෙක්ම හැම කෙනෙක්ගෙන්ම වෙනස්. එහෙම වුණේ නැත්තම් අපි ඔක්කොම එකයි. අපි එකිනෙකාගෙ වෙනස අපි හුඟක් වෙලාවට අවබෝධ කරගන්නෙ නෑ.

මතක තියා ගන්න.. හැම කෙනාම අපි වාගෙ වෙන්න ඕනෙ නෑ.. නමුත් වැඩි නොගැළපීම තුළ මිත්‍රත්වය, ආදරය ගොඩ නැගෙන්නෙත් නෑ... නොගැළපෙන අය ටිකක් ඈතින් ඉන්න එක, ක්‍රෝධය වෛරය අඩු කරගෙන, ලේ පිරිසිදු කරගන්න ඉවහල් වෙනවා. හැබැයි.. ආත්මයෙන්, ආත්මයක් බද්ධ වෙන්න, DNA ගැළපෙන්න ඕනෙ නෑ.. සහජය සහ හුරුපුරුද්ද කියන දෙකට දැනුම ටිකක් එකතු වුණාම, අපි ට අනික් අයගෙ ජීවිත හොඳට තේරෙනවා.

කොහොම වුණත්, සිංහල බ්ලොග් කරණය ඇතුළෙ මේ විදිහට, මම අවුරුදු 4 ක් ගෙවලා නිම කරලා තියෙනවා.. මේ පස් වෙනි අවුරුද්ද, පරණම බ්ලොග් එකට ලොග් වෙන ඊමෙල් එකවත් මට මතක නෑ. හැබැයි.. මට බ්ලොග් ලිවීම මතකයි. නිසි නින්දේ වැඩුණු මගෙ සිතිවිලි මතකයි.


මම මේ බ්ලොග් එකෙන් ලබපු දේවල් හුඟක් තියෙනවා.. අද ඉන්න මගේ සහ එදා හිටි මගේ වෙනස තේරුම් ගන්නම මේ බ්ලොග් කරණය කොයි තරම් ඉවහල් වුණාද? ඒකම සතුටුවෙන්න දෙයක් හොයාගන්න හොඳටම ඇති නේද? සමාජීය හුදකලාවෙ 4 වැනි අවුරුද්ද ඉවරයි...

මම හිතන්නෙ, පස්වෙනි අවුරුද්දට නම වෙනස් වෙන්න ඕනෙ.. ඒ නීනු ගෙ බ්ලොග් වල හැටි.  හැම මාසයකටම එක පෝස්ට් එකක් හරි, අවමව මම ලිව්වා.. මොන දේ තිබුණත්, මම ලිවීම අතහරින්නෙ නෑ.. මම ලිවීමට ආදරෙයි.. මට හිතෙනකම් මම ලියනවා.. මම මැරෙනකම් මම හිතනවා..

නීනුගේ නිශාවෙන්, රෝස වලාකුළටත්, රෝස වලාකුළෙන්, සාෂා ගේ සටහන් වලටත්, සාෂාගේ සටහනින් ඉර ඇහැරෙන ඉසව්වටත් ආ.. නීනුවා, නීනු සත්‍යාංගනා, නද්යා, සාෂා, නෙරංජි සුලක්ඛනා, හෙටත් මේ බ්ලොග් එකම ලියනවා... අලුත් මුහුණුවරින්, අලුත් නම් වලින්, අලුත් විදිහකින්, එන්න එන්නම මම අලුත්... ඒ 89 ළමයින්ගෙ හැටි!!



18 comments:

  1. නීනු අක්කට කලින් දවස් ටිකේ හේනට හිතිලා වගේ , මමත් ඔය මතේම තමයි ඉන්නේ ආගම වාදය ගැන , අපේ අනිත් එවුනුත් ඔච්චර තමයි කොඡ්චාර ෆේස් බුක් එකේ බිරුවත් ,

    ReplyDelete
  2. ඔව් හැමදාම අලුත්. සුභ පතනවා!!!

    ReplyDelete
  3. තව තව නව අදහස් පහල වේවා!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. හ්ම්ම්. මම නීනුට වඩා සිංහල බ්ලොගිං වලට මාස දෙකයි සතියක් බාලයි.

    ReplyDelete
  5. ජීවිතයම අලුත් වේවා!

    ReplyDelete
  6. ජාතිය කියන්නෙ අපේ පවතින පරිණාමනය නොවූ ජානගත පුරුදු වලින් එකක්..දියුනු මිනිස්සු එක එක හේතුමත බෙදෙන්න උත්සාහ නොකොට එකතුවන්න තමය ිඋත්සාහ ගන්න ඕනි..

    ReplyDelete
  7. ස්තූතියි...... ඔයාලාට

    ReplyDelete
  8. සුබ පැතුම් මෙන්න මගෙනුත්... අදහස් වලටත්, බ්ලොග් එකේ ආපු ගමනටත්....

    ReplyDelete
  9. සදා නවමු අදහස් පහළ වේවා.සුබ අනාගතයක්

    ReplyDelete
  10. ලස්සන ලිපියක්... නීනුට මගේ සුබ පැතුම්...

    ReplyDelete
  11. සුභ පැතුම් නෙරෝ.
    මේ අර කේක් එක අපිට නෙවෙයිද?

    ReplyDelete
  12. සුභ පැතුම් නෙරංජියෝ.. ඒක නෙමෙයි අර දූවිළි සිහින කතාවට මොකද උනේ.. කෝ ඒක?

    ReplyDelete
  13. හොඳා හොඳා අලුත් පෙරළියකින් එහෙනම් හමුවෙමු :)
    මම නම් 92

    ReplyDelete
  14. සින්දු ඔක්කොමත් ඇහුවා...සමහර වෙලාවලදී කඳුලුත් ඉනුවා...
    මේක මම කියවපු ලස්සනම බ්ලොග් පෝස්ට් එකක් කියල විතරක් කියන්නම්කො :)

    ReplyDelete
  15. බොහොම වටින අදහස් ටික ... ජය වේවා !!!

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.