මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

10/24/12

අපි කාවද බඳින්නෙ?




ගැහැණු ළමයෙකුට හය හතර තේරෙන දා ඉඳන් සාරි අඳින ආසාව තියෙනවා.. වැඩි විය පැමිණි දා ඉඳලාම තියෙන්නෙ, මනමාලියක් වීමේ ආසාව.. මේ ආසාවේ ප්‍රමාණය එකිනෙකා අනුව වගේම පවුල් පසුබිම අනුවත් වෙනස් වෙනවා. ගැහැණු ළමයි ගොඩක් ඉන්න පවුලකට වඩා , තනි ගැහැණු ළමයෙක් ඉන්න පවුලක මේ දේවල් වල පොඩි පොඩි වෙනස්කම් වෙනවා. කොහොම නමුත් මනමාලියට ඇඳීම එක දවසක දෙයක් වුණත්, පවුලක් ගෙන යාම දීර්ඝ කාලීන දෙයක් නිසා.. විවාහ වෙන්න අපිට ගැළපෙන කෙනෙක් ඕනෙ කරනවා.

ආදර සම්බන්ධ වලින් විවාහ වෙන අය වගේම තවමත් යෝජිත විවාහත් අපි අතරෙ තියෙනවා. ඔය යෝජිත විවාහ වලත් කාලයක් යෝජනා කරලා තිබිලා.. ඒ අය තම තමන්ට ආදරය කරලා  අඳුරගෙන බඳින අයත් ඉන්නවා.. බඳින්නම කෙලින්ම යෝජනා කරන අයත් ඉන්නවා..නමුත් මම යෝජිත විවාහ ගැන ඉන්නෙ පතෝල මතයක.

යෝජිත විවාහයක් වුණත්, වඩා හොඳ අවුරුද්දක් වත් ආස්‍රය කරලා බලන එක කියලා මට නම් හිතෙනවා. සමහරු යෝජනා ස්ථිර කරගත්ත ගමන්ම බඳිනවා.. ඒත් ඒක ටිකක් භයානකයි.. සමහර අය එක්ක නම් පැයක් කතා කළත් එයාව දැන අඳුන ගන්න පුළුවන්. ඒත් හැමෝම එහෙම බෑ..අපිට කෙනෙක්ව ජීවිත කාලටම කාලා බැලුවා වගේ තේරුම් ගන්න බෑ. ඒත් යම් තාක් දුරකට තේරුම් ගැනීම කසාද බැඳිල්ලෙදි වැදගත්.

යෝජිත මඟුල් ගේන්නෙ පත්තරෙන් හරි, කපූ කෙනෙක් හරි කපු ගෑණු කෙනෙක් හරි, නැත්තම්, මංගල සේවයක් හරි තමයි.. අපි, අපිට ඕනෙ විදිය කීවාම..ඒ විදියට ගැළපෙන අයව ඒ අය සම්බන්ධ කරනවා. පත්තරේ නම් පොටෝ එක දාන්නෙ නෑ. ඒත් කපුවො නම් පොටෝ ගෙනියනවා. සමහරු පොටෝ දෙන්න අකමැති අය ඉන්නවා..

හැබැයි ගෙන්වන්නම් වාලෙ මනමාලයො ගෙන්වීම හෝ මනමාලියො බලන්න යාම හොඳ නැහැ. යෝජිත විවහයක් නම්, අතාරින්න අමාරු කම් නෑනෙ.. ඒ නිසා කේන්දර විශ්වාස නම් ඒවා බලලා, මනමාලයාගෙ හෝ මනමාලිගෙ පොටෝ එකක් බලලා... අපි යවපු පින්තූරෙටත් ඒ පැත්තෙ අය කැමතිද බලලා.. දෑවැද්ද ( එපාම කරපු දෙයක්)  එහෙම ඕනෙ නම් ඒ ගැනත් කතා කරලා, හැම අතින්ම තමන්ට ගැළපෙනවා නම් විතරක් ඒ ඒ අය මුණ ගැස්වීම හොඳයි.. නැත්තම් මනමාලයන්ට යන්නං වාලෙ හෙප්පු දික් කරලා, කෙල්ලො නාස්ති වෙනවා වාගේම.. නිකං ම ශූන්‍ය භාවයට පත්වෙනවා. මනමාලයන්ටත් එහෙමයි. ඔය විහිලුවට කන්න විතරක් මනමාලියො බලන්න යන ජාවාරම් තියෙනවා. ඒ වාගේම යෝජිත විවාහ වලින් හිතා ගන්න බැරි භයානක අපරාධ පවා වෙලා තියෙනවා.

මනමාලයාගෙ පැත්තෙන් හොඳට හොයනවා .. වාගෙම මනමාලිගෙ පැත්තෙනුත් හොයනවානෙ.. ඒකට කියන්නෙ ඔත්තු බලනවා කියලා.. කවදාවත් මොලේ ඇති කෙනෙක්, අල්ලපු ගෙදරින් අහන එක හරි නෑ.. මොකද හුඟක් වෙලාවට ගෙවල් ගෙවල් ඉරිසියයි. ඔය ගැන දැන ගන්න හොඳ නම්, ඇත්තටම පොඩි ළමයින්ගෙන්....

හරි ඒ ඔක්කොමත් හොයා ගත්තා කියමුකො එහෙනං දෙගොල්ලො කැමති නම් තීන්දු කරලා ටිකක් ආස්‍රය කරන එක හොඳයි.. ඒත් ඉතිං අද කාලෙ මඟුල් හොයන්නෙත් ඉක්මන් විවාහ වලට නිසා කාලෙ නම් හැබෑවටම මදි...

මේ ඔක්කොම අලකලංචි එක්ක අපිට ගැළපෙන කෙනා තෝර ගත්තා කියමු. දැන් තමා උත්සව සිරි පටන් ගන්නෙ.

ආදර සම්බන්ධයක් මූලික කොට ගත්ත විවාහයක නම්, කොල්ලාගෙ ගෙදරින් කට්ටිය කෙල්ල බලන්න ආවා.. ඒ දෙම්පියො කතා කළා.. කෙල්ලගෙ දෙමව්පියන්ට කොල්ලාගෙ ගෙදර එන්න ආරාධනා කළා.. ඒ අයත් පුලුවන් දවසක ගියා..කොල්ලාගෙ ගෙදර අයත් හොඳට සලකලා..
(@ තාරක- කෙල්ලට බත් එකක් එහෙම එවන එක වෙන්න නැන්දම්මාගෙ වගකීම.)  එච්චරයි... ඉතිං..

ඒත් යෝජිත විවාහයක නම් මනමාලිය බලන්න ගිහින්.. එයාට කැමති නම් ඒ පැත්තෙ නෑයන්ට මනමාල පාර්ශවයෙන් එන්න කියනවා. ඒ අය ගිහින් බලන් ආවාට පස්සෙ, තීන්දුවට කියලා නැවත වරක් මනමාලයාගෙ පැත්තෙන් එනවා. ඒ එනකොට රසකැවිලි තෑගි බෝග එහෙම ගේනවා.. ඒවා නම් ඉතිං ඒ තරම් වැදගත් දේ නෙවෙයි.. ගෙදරකට එනකොට අත වන වන කවුරුවත් එන්නෙ නෑනෙ.


විවාහයේ නීතිමය පැත්ත

කසාදයක සිරිත් විරිත් කටයුත්තට වඩා නීතිමය පැත්ත වැදගත්. එදා හෙළදිව පොතේ රොබට් නොක්ස් කියලා තියෙන විදියට එදා ලංකාවෙ විවාහ එකක්වත් නිත්‍යානුකූල නෑ. එහෙත් අද වෙනකොට ලංකාවෙ විවාහ නීත්‍යානුකූල වීම අනිවාර්යයි. වෙන කෙනෙක් එක්ක කලින් විවාහ වුණ කෙනෙක් නම් දික්කසාදය තිබිය යුතුමයි. බහු විවාහය වරදක්. අනික් ලොකුම දේ තමයි විවාහය ලියාපදිංචි කරන නොතාරිස් ගෙ, වලංගු භාවය.. විශේෂයෙන්ම යෝජිත විවාහයකදි දෙපැත්තම හොඳින් හඳුනන රෙජිස්ටාර් වරයෙක් ගේන්න කියන එකයි මගේ මතය නම්.. ඔවුන්ට වාගෙම ඔබටත් ඒ කෙනා විශ්වාස වෙන්න ඕනෙ..

මගේ තව උපදෙසක් තමයි.. ඔබේ චරිත්‍ර උත්සවයයි මේ උත්සවයයි පටල ගන්න එපා. ඒක අමතර වෙහෙසක් වෙන්න ඉඩ වැඩියි. රෙජිස්ටාර් එක්ක එන්න.. ඒ මනුස්සායට මුදල් ගෙවලා වෙලාවට යවන්න ඕනෙ..එයාගෙ වාහන බලන්න ඕනෙ... ඔය රෙජිස්ටාර්ලා අමුතු ජාතියක්. ඒ නැකත සහ පෝරු නැකත අතර ගැටලු.. මතුවෙන්න පුලුවන්. අනික ඒ විවාහයෙන් පස්සෙත් රටට ම ප්‍රසිද්ධ කරලා කරන චාරිත්‍ර විවාහය ට ඉස්සල්ලා දෙන්නාට තව ටිකක් ආස්‍රය කරන්න පුලුවන්. ඒකයි ලොකුම දේ.. ඒ වෙලාවක හරි අවුලක් දැනුනොත් කන්‍යාභාවය වාගේම පිරිමි භාවය පරිස්සම් කරගන්න හැකි වෙයි.. (පේන්නෙ නැද්ද නීතියට පමණක් වෙන් වූ විවාහ වලින් දික්කසාද වෙච්ච කීදෙනෙක් පත්තරේ ආයෙ මඟුල් හොයනවාද කියලා..)

 හැම විවාහය වාසනාවන්ත වේවා කියලා පැතුවාට ඕක සුවිප් එකක් වාගෙ තමයි. මුල් දිනුම ඇදෙන්න පුලුවන්. දිනුමක් නැති වෙන්නත් පුලුවන්.. සැනසිලි තෑගි තියෙන්නත් පුලුවන්.. ආදරේ කරලා බැඳලාත් රණ්ඩු වෙන අය ලෝකෙ කොයි තරම්ද? යෝජිත ව හදිස්සියෙ බැඳලාත් ආදරෙන් පවුල් කන අය කොයි තරම්ද? ඒ වාගෙම ටික කාලයක් ආදරෙන් ඉඳලා.. රණ්ඩු වෙලා.. ඒවා සමාදාන කරන් ආයෙ හොඳින් ජීවිතේට මුහුණ දෙන ඇත් ඉන්නවානෙ..බැරි තැන දික්කසාද වෙන අය වාගෙම.. ඒ දෙන්නාම ආයෙ බඳින වෙලාවල් පවා මම නම් දැකලා තියෙනවා..

ඔබට ගැළපෙනම කෙනා විවාහයට ලැබෙයිද නොලැබෙයිද කියන එක නම් කියන්න අමාරුයි.. ඒත් කර්ම ශක්තිය අනුව ලැබිය යුතු කෙනා ලැබෙයි. නැත්තම් ඔබ නොබැඳ ඉඳී.. බඳන්නෙ නැත්තම් මින් එහාට මේ පෝස්ට් ටික කියවනවාට වඩා.. ඔබ වෙන පොතක් කියවීම හොඳයි... ඔබ බඳිනවා නම්, ඔබට මේක වැදගත් වෙයි...

(මම මේ ලිපි පෙළ ලියන්නෙ... කසාද දහ පහළොවක් දැකපු පළ පුරුද්දෙන්...මට වරදින්න පුලුවන්.. අනික මේක වයස 23 ක තරුණ දියණියක් (ඒ කියන්නෙ මම) ලියන්නෙ.. තාම බැඳලා නැති..)

19 comments:

  1. යෝජිත විවාහ ගැන මටත් ඒ තරම් හොඳ ආකල්පයක් නෑ... ඒ වගේම ගෙදරින් කසාද බැදපන් කියලා වද කරනවාට මොකෙක් හරි කසාද බදින එකත් අන්තිම නරකයි.... තමන්ට හොඳයි කියලා හිතෙන කෙනෙක් වෙන්නම ඕනේ.... ඒ වගේම වෙන කෙනෙක්ගෙන් ගැලවෙන්න හිතාගෙන බඳින එකත් හොඳ නෑ...

    වැදගත්ම දේ.... බැන්දට පස්සේ වැරදි හදාගන්නවා කියලා හිතාගෙන නම් කාවවත් බඳින්න එපා... ඒක සාර්ථක නෑ... තමන්ට හරියන්නේ නැත්තම් ඔලුව කල්පනා කරලා තීරණයක් ගන්න ඕනේ..

    ඔන්න මගෙනුත් කෑලි ටිකක්.... හි හි

    ReplyDelete
  2. ඔහොම දාන එක හොඳයි... මට ඔය ටික කියන්න අමතක වුනා..

    ReplyDelete
  3. proposed marriage is the best

    ReplyDelete
  4. ආදරය කරල ඒ වෙනුවෙන් කැප කිරීම් කරලා අනවශ්‍ය ගානට බිරිඳ වෙනුවෙන් මහන්සි වෙලා හොඳටම ඇනගෙන ඉන්න කෙනෙක් වශයෙන් මට කියන්න තියෙන්නෙත් විවාහය කියන්නේ ස්වීප් එකක් කියල තමයි. වාසනාව 70%ක් විතරම. මගේ කර්මය විසින් අද මා ගැහැණු දරුවෙක් ලොකු මහත් කරන්න වෑයම් දරන පියෙක් බවට පත් වෙලා. මේ වගේ අය තව කීයක් ඉන්නවද කියල මං දන්නේ නෑ. වඩාම කටුක දේ තමයි හොඳට ආශ්‍රය කර කර ඉන්න ගැහැණු ළමයිත් දික්කාසාද වූ කෙනෙක් බව දන ගත් වහාම ඈත් වීම. විවිධ හේතු දක්වමින් සදහටම තරහ වීම. මම බැඳලා හිටිය කෙනා මේ දවස් වල ප්‍රසිද්ධිය හඹා යනවා. මම ඉඟියක් දෙන්නම් එයා නෝරා ජෝන්ස් ඇත අරිය එක ඇහිඳ ගත්ත කෙනා.

    ReplyDelete
    Replies
    1. එයා කාවද, මොකක්ද අතෑරියෙ? නෝරා ජෝන්ස්!! මොනාද ඔයාගෙ දික්කසාද වුණ බිරිඳ ඇහිඳගත්තෙ?

      Delete
    2. ඇනෝ කමෙන්ට් එක දැකලා මට පුදුමාකාර දුකක් ආවා... මොකද මගේ යාලුවෙකුත් මේ දවස්වල ඔය වගේම ප්‍රශ්නෙකට මූණ දීලා ඉන්න නිසා... හැබැයි එයාලා නං වෙන් උනේ තරහා වෙලා නෙවෙයි.... අසාර්ථක වෙච්ච ( හඳහන් උපරිමේටම ගැලපිච්ච) යෝජිත මඟුලක ප්‍රතිඵලයක් විදියට... ළමයිනුත් නෑ හොඳ වෙලාවට...

      මගේ යාලුවා මට බොහොම හිතේ අමාරුවෙන් කියපු දෙයක් තමයි ඉස්සර හොඳට එයා එක්ක කතා කරපු ගෑණු ළමයි කිසි කෙනෙක් දැං ඒ වගේ කතා කරන්නේ නෑ ලු... ඇත්ත කියනවා නම් මගේ මහත්තයත් මට කියන්නේ කෝකටත් පරිස්සමෙන් ඕවට කතා කරන්න කියලා... ඒ ඉතිං මගේ හොඳට නේ... මොකද අනුකම්පාව භූමිකම්පාව වෙන්න ඉඩ තියෙනවනේ....

      ඒත් ඇත්තටම අපේ සමාජයේ දික්කසාද වෙච්ච ගෑණු කෙනෙක් දිහා බලන්නේ හරියට කඩේක විකුණන්න තියෙන බඩුවක සාම්පල් එකක් දිහා බලනවා වගේ.... හැමෝම චෙක් කරලා බලලා අයින් කරන දෙයක්.... දික්කසාද වෙච්ච පිරිමියෙක් කියන්නේ නම් රකුසෙක් වගේ කියලයි හිතන්නේ.. විශේෂයෙන් ගෑණූ ළමයි.. මොකද හැමෝම තමන්‌ෙග් අනාගතේ ගැන හිතනවනේ... ඒහෙම කෙනෙක් යාලුවෙක් වශයෙන් හරි ඉන්නවා කියලා දැනගත්තාම ගෙවල්වල අයත් ලෙඩ දානවා... ඕක සාමාන්‍යයි... ඇත්තම කියනවා නම් දික්කසාද වෙච්ච ගෑණියෙක් ඉන්න ගේකට පොඩි පිරිමි ළමයෙක්ට වත් යන්න දෙන් නැති සමාජයක් මේක.. ඉතිං පිරිමි ගැන කවර කතාද...?

      කොහොම උනත් ඇනෝ කවුද, කින්ද මන්ද කියලා දන්නැති උනත් කියන්න තියෙන්නේ මේ සමාජයේ ජීවත් වෙන එක ලේසි නෑ කියලා තේරෙනවා ඇතිනේ... (කමෙන්ට් එකෙන් නම් තේරැණේ පුදුමාකාර කළකිරිමකින්, තරහකින් කියලා ඉන්නේ..) ඒක නිසා පුළුවන් තරම් හිත තදකරගෙන ඉන්න උත්සාහ කරන්න කියලා.. මොකද කියලා තියෙනවා වගේ ගෑණු දරුවෙක්ගේ පියෙක් නිසා..... කවුරු වැරදි කළත්, මොනවා වැරදි උනත් අන්තිමට දුක් විඳින්‌ෙන් දරවෝ....

      මගේ යාලුවා අන්තිම කාලේ කිය කිය හිටියේ දරුවෙක් හැදුවොත් මේ ප්‍රශ්න හරි යයි කියලා... මම කිව්ව එකම දේ තමයි කසාදේ රැකෙයි කියලා හිතලා නං දරුවෝ හදන්න එපා, කසාදේ හරියනවා කියලා ෂුවර් උනාම විතරක් ඒ තීරණේ ගන්න කියලා... එහෙම නොවුනනං අද තවත් දරුවෙක් දෙමවුපියෝ දෙන්නා අතර අතරමං වෙනවා....

      නෙරංජිගේ පෝස්ට් එකට අදාළ නොවුනත් මට මේ ටික කියන්නම හිතුනා....

      Delete
    3. අඩේ.. මේක කමෙන්ට් එකක් ද පෝස්ට් එකක්ද? කොහොම වුණත් ඇත්ත කතාව!!

      Delete
    4. @නෙරංජි: හෙට අනිද්දා ගායිකාවක්. නමේ කොටසක්. ඔව් නොරා ජෝන්ස් කියන්නේ රවී ශාන්කර්ගේ දියණියක්. නෝරා ජෝන්ස් භාවිතා නොකරන නමේ (ඉන්දීය) කොටස. මේ දවස් වල මාධ්‍යට සවන් දුන්නොත් තේරෙයි.

      @හිරු : මගේ කතාව වඩාත් පුළුල්ව ඔබ විග්‍රහ කරලා. පුදුම කලකිරීමක් ඇති වෙන්නේ. මගෙන් ආදරය සම්බන්ධව උපදෙස් ගත්තු. මමත් කිසිම අහිතක් නැතිව උපදෙස් දීපු. (දුවකුගේ පියකුට කාටවත් කුරිරු වෙන්න බෑ) අය දැන් මාව මග අරිනවා. මගේ නැන්දම්මත් වයිෆ්ගේ කෙස් මාට්ටු වෙත්දී මට කිව්වා තව දරුවෙක් හදන්න කියලා. මම දැඩි සේ විරුද්ද වුනා. එහෙම වුනානම් එක්කෝ මම දරුවෝ දෙන්නෙක් බලාගන්න කෙනෙක් නැත්නම් මගේ ඒක දරුවෙක් මට දකින්න නැති වේදනාවෙන් දුක් විඳින කෙනෙක්. මගේ අනන්‍යතාව මම එලි නොකරන්නේත් ඒ නිසා. ඔයාලත් මට අහිමි වූ මිතුරියන් විය හැකි නිසා.

      Delete
  5. බහු විවාහය වරදක්. ඒ ඇයි ?

    ReplyDelete
  6. අපෝ යෝජිත විවහා ගැන නම් මතක් කරන්ඩ එපා. උන් මාර මාර දේවල් හොයන්නේ.
    කෙල්ල කැමති උනොත් නැන්දම්මා කොස්ස දානවා. නැන්දම්මා කැමති උනාට කෙල්ලගේ බර බරේ...

    මොනා උනත් මම බලන්ඩ ගිය කෙල්ලන්ගේ තාත්තලා නම් කිසි කරදරයක් නෑ... වැඩිම උනොත් අහයි "පුතා බොනවද " කියලා. තාත්තගේ හැටියට උත්තරේ දීලා නිකා හිටියම හරි.. :)

    ReplyDelete
    Replies
    1. ඇහ්.. මධුැංග මඟුල් බලන්න යනවැයි?

      Delete
    2. නැතුව නැතුව...

      Delete
  7. බ්‍ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් .....ගොඩක් හිතන්න ඕන හොඳට බඳින්න කලින් නම්..මට නම් වැදගත් මේ ලිපි පෙළ ඉතින් :) :) ජය වේවා අක්කෝ :)

    ReplyDelete
    Replies
    1. ඔයා මොකටද දැම්ම කලබල වෙන්නේ?

      Delete
    2. ඔයා ඉස්සෙල්ලම උපාධිය අරගෙන කැම්පස් එකෙන් අවුට් වෙන්නකො :)

      Delete
  8. adare kiyanne boruwak..mayawak..pissuwak

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.