මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

4/13/13

-213- ඇජෙන්ඩාවක අපි



ඇජෙන්ඩා පිරුණ ජීවිතේ, අවුරුදු මාස ගත වෙනවා. අපි හුස්ම ගන්නවා..  ජීවිතේ කියන්නෙ අහම්බයක් කියලා වෙලාවකට කෙනෙක් කියනවා. කොහොම වුණත්, හැම කෙනෙක්ම පුරුදු කරපු ක්‍රමයක පැටළිලා ඇදිලා යනවා. ඉපදෙනවා මැරෙනවා.. ආදරය කරනවා.. තරහ වෙනවා.. මේවා සංසාරයේ සාමාන්‍ය දේවල්. කොහොම වුණත් තේරුම් ගන්න පුළුවන් එකම දේ, ඔයා වගේම මමත්, මම වගේම මේ හැමෝමත්, එක එක ප්‍රශ්න වලට උත්තර හොය හොය එකම රේඛාවක දුවනවා. මරණයෙන් පස්සෙවත් අපි කාටවත් විවේකයක් නෑ. කොටින්ම අපි විවේකයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ.

මම මට හිතෙන දේවල් බ්ලොග් එකේ ලියනවා. මම මට හිතෙන දේවල් රේඩියෝ එකෙන් කියනවා. 
එතකොට මට නිදහසක් දැනෙනවා. අපි හැමෝම නිදහස් වෙන්න එක එක දේවල් කරනවා. ඒත් ඒ නිදහස ඇතුළෙවත් අපි විවේකය ඉල්ලන්නෙ නෑ. අපි හිතන තරම් අපි නිදහසුත් නෑ. හැම දෙයක්ම කරන්න ඉස්සර, අපේ යට හිතට, පරම්පරාව, සංස්කෘතිය, අධ්‍යාපන මට්ටම ආදී තව හුඟක් දේ එක පෙළට එන්න පටන් ගන්නවා. අන්තිමට අපි කළ යුතු දේ තීරණය කරන්නෙ, අපි නෙවෙයි. 

ඒත් මේ තේරුම් අරගෙන අපිට ජීවත් වෙන්න බෑ. තේරුම් ගත්තත් හැකි ඉක්මනට, අපි ඒක අමතක කරනවා. ඒ අපි පුරුදු වෙලා තියෙන හැටි.

දැන් නොනැකතය. තව ටිකකින්, සිංහල අවුරුද්ද, හෙටින් පස්සෙ, ආයෙත් සුපුරුදු ජීවිත. අපි කනවා බොනවා ආදරේ කරනවා නිදා ගන්නවා ඉගෙන ගන්නවා.. මේ හැමදෙයක්ම බලෙන් පවරපු, එහෙම නැත්තම් බලෙන් පවරාගත්ත ගතියක් තියෙනවා. 

හුඟක් අයට රට ජාතිය ආගම ගැන තියෙන්නෙත්, තමන් වැඩ කරන තැන ගැන තියෙන්නෙත්, තමන්ගෙ පවුල ගැන තියෙන්නෙත්  බලෙන් පවරාගත්ත හැඟීමක් කියලා වෙලාවකට මට හිතෙනවා. හැඟීමක් නිරායාසයෙන්ම එනවා නම්, ඒ හැඟීම සදාකාලිකයි කියලා මට හිතෙනවා.
මේ ලෝකෙ වෙනස් කරන්න බැරි වුණත්, වෙනසට ගරු කරන්නවත් අපිට නම්‍යශීලි වෙන්න පුළුවන් නම් හුඟක් වටිනවා. කොහොමත් තමන්ට දෙයක් වෙනතුරු කෙනෙක්ට උපරිම සර්ව සාධාරණීය වෙන්න පුළුවන්.

කොහොම වුණත්, හැම වෙලාවකම, හිතය දැනෙන්න ජීවත් වෙන්න. මම නම් හැම වෙලේම සතුටින් ඉන්න කෙනෙක්. වෙන්න පුළුවන් නරකම දේ හොයා ගත්තාම ඒ දේ නොවීම ගැන උපරිමෙන් සතුටු වෙන්න. මං පොඩි කාලෙම ඉගෙන ගත්තා..

සතුට පිරි අලුත් අවුරුද්දක්!



මම බස්රේඩියෝවේ, සිහිනය දිගෙන් සහ Buzz Cope  වැඩසටහනෙන් ඔයාව හමුවණ නෙරංජි වුණත්, බ්ලොග් එකෙන් ඔයාව හමුවණ නීනු වුණත්, බයිස්කෝප් සිංහලෙන් සබ් දාන නෙරංජි සුලක්ඛනා වුණත් මං තුළ ඉන්නෙ කවුද කියලා හරියටම මම තවම හොයනවා. ඒ කවුද කියලා මට හමුවන තාක් කල්, ඔබට එය හොයා ගන්න බැරි බව පමණක් මම දන්නවා. ඒකයි ජීවිතේ කියන්න.



හෙටත් මේ ගඟ ගලයි මේ ලෙස
නමුත් අද ගඟ හෙට මෙතන නැත.
අලුත් ගඟ නරඹන්න එන ඔබ
පෙර දවස මෙහි සිටි ඔබම වෙද????


4/5/13

-212- අවුරුදු 6ක් ඉස්සර



මම මේ ලිපිය ලියනවා කියලා හිතුවෙ, කවදාවත් කාටවත් නොකීව, පුදුමාකාර කතාවක් එතැන තියෙන නිසයි. ඊයේ රෑ 2012 අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණා. අපේ නංගිත් විභාගෙ ලිව්වෙ 2012. එයා මගෙ මාමාගෙ දුව. එයා බොහොම ඉහළින් සාමන්‍ය පෙල සමත්.. ඉතින් ඔය ගැන කතා වෙවී ඉන්න අතරේ, අවුරුදු 6කට කලින් විභාගෙ කරපු මගේ ප්‍රතිඵලත් ආයෙ කතා බහට ලක් වුණා. මම සමාජ අධ්‍යනය හා ඉතිහාසය විෂයයන් කෙරෙහි දැක් වූ උනන්දුව පෙන්වලා, නංගිගෙ B එකට බනින්නත්.. එයාලා අමතක කළේ නෑ..
කොහොම කළත්, මගේ A 8 ට තාම නෑදෑයෝ අතර තැන වැඩියි වගේ... (පොර ටෝක් එකක්)

මෙතනින් එහාට කියන්න සුදානම් වෙන්නෙ.. ඉතාම සත්‍ය සිද්ධියක්. ඒක පාසලේ කවුරුවත් දන්නෙ නෑ.. හැබැයි අද දැන ගනී. මගේ හැම යාලුවෙක්ම. ගණිතය කියන්නෙ හැමදාටම සාමන්‍ය පෙළ විභාගෙ ඇතුළේ, බොහොම වටින විෂයක්. මොකද ගණං නැති වුණොත්, ඒ ලෙවලුත් නැති නිසා. දවස 2005 වසරේ දෙසැම්බර් 15 ( මතක විදිහට) එදා උඳුවප් පුර පෝය. පහුවදා ගණිතය නිසා අත්තාම්මාගේ සහ අත්තප්පාගේ වාර්ෂික දානෙට ගියෙ නෑ.. ඒත් ඊට සහභාගි වුණ අප්පච්චි, මට දානෙ ගෙදරින් බත් මුලක් ගෙනවා.

මම හරි ආසාවෙන් , ඒ බත් මුල කෑවා. පහුවදා උදේ, මට හදිස්සියෙ ආසාවක් ආවා.. පොල් රොටි කන්න. ගෙදර පිටි තිබුණෙ නෑ. අම්මා කවදාවත් නැතුව, අල්ලපු ගෙදර බැඳපු නැති ආච්චිලාගෙ ගෙදරින් පිටි ගෙනත් මට රොටි පුච්චලා දුන්නා.

මම රොටි කකා ඉද්දි ගෙදරට දුරකථන ඇමතුමක් ආවා. මාලා අම්මාගෙන්. කතා කළේ අප්පච්චිට..
" මල්ලි ඊයේ දානෙ මාලු ටිකක් හරි මදි වගේ.. පොඩි එකාට දුන්නෙ නෑ නේද? "

මොන පිස්සුද? පොඩි එකා බඩ ජාරියා වාගේ මාලු ටික කාලා. දැන් මොකක් කරන්නද? කෝකටත් කියලා අම්මා ග්‍රයිෆ්ෆෝටර්, ටිකක් දුන්නා..

දැන් බස් එකේ මරදානට වෙනකං ආවා.. පහසුවක් නැතත්, අපහසුවක් තිබුණෙ නෑ.. ඒත් බඩ නං හරි නෑ කියලා තේරුණේ, ටයර් කඩේ ගාවදි. මුලු අඟම දාඩිය දාන්න පටන් ගත්තා.. ඒක පුදුම වෙහෙසක්. මම ඉස්කෝලෙට ගිය ගමන් එක පාරක් වොෂ් රූම් ගියා. විභාගෙ 9 ට නෙ. ආයෙ. අටයි දහයටත් වොෂ් රූම් ගියා. මම පාචනයත් හැදුණ කෙනෙක් නිසා, අම්මා එදා ගේට්ටුව ළඟම හිටියා. කොහොම හරි එදා 16 වෙනිදා.

හරියටම දෙවනි පේපරේ දුන්නා. පළවෙනි ප්‍රශ්නය කොටස් 11 යි. අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නය ඇතුළුව, ප්‍රශ්න 8 ක් කරන්න තිබුණා. ව්‍යුහය මතක වුණාට ඉලක්කම් හරිද වැරදිද කියලා දැන් මතක නෑ. අවුරුදු හයක්නෙ. (දින පොත් නොබලා ලියන්න හිතුණෙ මතකයෙන්.)

පළවෙනි ප්‍රශ්නයෙ, පළවෙනි කොටසවත් ලියන්න, හිතා ගන්න බෑ... ඒක මහ පුදුමයක්. ගාන හිතනකොට, අනිත් පැත්තෙන් යනවා. ඒ තරම්ම අසාධ්‍යයි. මට බය හිතුණා. ගඳ දැනුණොත්, මාව එතනින් ඉවත් කරයි කියලා. ලැජ්ජාවක් නෑ. ඔක්කොම ගැහැණු ළමයි. ඒත් විභාගය. මම ගණිතය හරි ආසාවෙන් ඉගෙන ගත්තා.

මට ඒ වෙලාවෙ හිතුණා, පේපරේ කොහොම හරි ලියනවා. මේක හිතලා පරිස්සමට කරන්න ගියොත්, මට කරන්න වෙන්නෙ නෑ කියලා. පෑන තද කරලා අතින් අල්ල ගත්තා. මට ඒ වෙලාවෙ, මතක් වුණා.. ගණං පන්තිය. මම ආසාවෙන්ම ගිය පන්තිය ඒක. ගණිතයට ආසා වීම වාගෙම ඒකටත් හේතුවක් තිබුණා. ( වැඩිපුර හොයලා බලන පිරිමි ළමයෙක් ඉන්න එක.. එහෙම නැතුව, ප්‍රේමයක් නම් නෙවී.)

ගණං සර්.. අපේ සීයාගෙ යාලුවෙක්. එයා මට පුදුම ආදරෙයි. සර් ළඟට ගිහිං ගණං වලට B කියන්න මට බෑ. කොටින්ම එදාට එයා එන නිසා, ඒක කොහොමත් කියන්න බෑ. අනික මේම දෙයක් වුණා කියලා, එයා දැන ගන්න එක ලැජ්ජාවක්නෙ.. කොටින්ම පොදු පාසැල් එකට ආරංචිය ගියොත්, වස විළි ලැජ්ජාවක් වෙන්නෙ. මගෙ ඇස් දෙකට කඳුලු ආවා.

දැන් පැය තුනෙන් විනාඩි 35 ක් ගිහිං ඉවරයි. මට කියන්න කිසි කෙනෙක් නෑ. මට ගාණ කියවන්නවත් බෑ. මේක ස්ට්‍රෙස් එක නෙවෙයි. මට අපහසුවෙන් හරි වැඩේ කරන්න පුළුවන්. ප්‍රශ්නෙ අනිත් පැත්තෙන් යන එක. මොළය සහ බහිස්‍රාවීය පද්ධතිය අතර ඒ තරම් සම්බන්ධයක් තියෙනවා කියලා මට හිතුණෙ එදා.

හිතට වෙර ගත්තා. පෑන අතා ගත්තා.. මම මුලු ලෝකෙම අමතක කළා... එක දිගට මම ලිව්වා... පැයක් ඇතුළත, කිසිම ප්‍රශ්නයක් අත් නොහැර අත් ඇරිය යුතු ගණන් පවා හැදුවා. ඒක කළේ හිතට ආපු ආවේගයට.. පැයක් ඔලුව ගහන් හිටියා.. බඩ පෙරළවනවා.

පේපර් එකතු කළා. වෙනදාට පේපරේ ගන්න මොහොත වෙනකං හැඩ කර කර ගණන් හදන නෙරංජි ට මොකද වුණේ කියලා ළමයි හිතන්නැති. මම කාටත් උත්තර දෙන්න ඉස්සර වොෂ් රූම් දිව්වා.. ගවුම හෝදලා තෙත ගවුමම ආයෙ ඇඳගත්තා.. පළවෙනි පේපර් එක ලිව්වෙත් ඒ විදිහටම තමයි.

මගෙ වෙනස කාටවත් තේරුණේ නෑ.. මම විඵාගෙ ඉවරවුණ ගමන්, ගේට්ටුවට දිව්වා.. අම්මා, මාව එහෙම්ම ත්‍රීවීල් එකක දාගෙන ගෙදර ආවා.. අම්මා ඒ ඇඳුම් පවා පිච්චුවා. හිතා ගන්න බැරි කාටත් ඒක නොදැනිච්ච එක. බෙහෙත් ගත්තා.. දොස්තරලාත් ඉතා කාර්යක්ෂමව හොඳ වෙන්න බෙහෙත් දුන්නා..

දන්න කියන නෑයො සහ ගෙදර අය කිව්වෙ, ගණන් ආයෙත් ගන්න වෙයි කියලා. කවුරු නැතත් අප්පච්චි කිව්වා... පුතේ, ඔයා මේ සාමාන්‍ය පෙළ ගණිතය විභාගෙන් S එකක් ගත්තොත්, ඔයා ලංකාවෙන් පළවෙනියා වුණාට වඩා ආඩම්බර වෙන්න ඕනෙ කියලා.

රිසල්ට් ආවා මේ වාගෙම අප්‍රේල් මාසයක. හිතන්න මට ගණිතය A ... මට ම පුදුමයි. මම කර්ම ශක්තිය විශ්වාස කරන්න පටන් ගත්තෙ එදා. එතෙක් මෙතෙක් නොදන්න හැම කෙනෙක්ටම, මම උපරිමෙන් දන්න දේ කියා දුන්නා. ඒ වෙනුවෙන්, මට අමාරු වුණ වෙලාවෙ විශ්වයේ ශක්තියක් මං දිහා බැලුවා...

අදටත්, මම අනික් සබ්ජෙට් අටටම ගත්ත A වලට වඩා ගණිතය A එකට ගරු කරනවා. ආදරය කරනවා. හැම සාමාන්‍යෙපළ විභාගයකදිම, මම ඒ A එක ගැන හිතලා අප්‍රමාණව සතුටු වෙනවා.
අද එයාගෙ උපන්දිනේ. මම එයාට විශ් කරන්න ඕනෙ.. එයා මේ කතාව දන්නෙත් නෑ.. අදටත් අපි හොඳ යාලුවො. දැන් එයාට වඩා මං උසයි. අවුරුදු 6ක් අපි වයසට ගිහිං

ඒත් සාමන්‍ය පෙළ විභාගය තාම තරුණයි.

මම ගණිතය A එකට හැමදාම ආදරෙයි...

3/31/13

-211- අපමණ සතුටින් දන්වන වග නම්!!



මෙය ලියා තැබිය යුතු යැයි අදහස් කරමි. එමෙන්ම පබ්ලිෂ් කළ යුතු යැයිද අදහස් කරමි. මේ වන විට මම නිහඬවම සමාජ ජාල තුළින් බොහෝ දේ ඉගෙන ගෙන ඇත්තෙමි. ඒ ඉගෙන ගත් හැම දෙයකම පරීක්ෂණයක් අන්තර්ගත වූ අතර, ඒ සියල්ලම සහභාගී පරීක්ෂණ බව මම සතුටින් කියමි.

පසු ගිය කාල වකවානුව අතරතුර යමෙක් ගේ සිත් තැවුලට හේතුවෙන මොන යම් හෝ දෙයක් මා අතින් විණි නම් සමා වුව මැනවි. මම බ්ලොග් ලිවිල්ලටත්, වඩා මෙම සියලු සමාජ රටා අත්හදා බැලුවේ, මුහුණු පොතෙන්මය. එය අති සාර්ථක බව මට අද වන විට පසක් වී ඇත. වසර දෙකකට ආසන්න කාලයක් ක්‍රම ක්‍රමයෙන් සිදු කළ සියලුම කටයුතු වලින් අද එක්වරම මිදීමට තීරණය කළෙමි. එයට හේතුව, පරීක්ෂණ සියල්ලම නිමා වී තිබියදීත්, මසක් පමණ අධ්‍යනයෙන් ම පසුවීමයි. තවදුරටත් එය මට අනවශ්‍යය. වෙහෙස කරය. එහෙයින් නිමා කරමි.

මම දැන්, යළි මා තුළට පැමිණීම ඇරඹිය යුතු කාලය පැමිණ තිබේ.


හොයාගත් දේවල් වචනෙන් දෙකෙන් සාරංශ කරන්නම්, පොතක් ලෙස එය බිහිවීමට තව බොහෝ කල් ඉල්ලා සිටියි. අකුරු බුද්ධියට බර වැඩිය. තවමත් නිසි නින්දේ හදවත වැඩෙයි.

සමාජ ජාල භාෂාව -

යම් දිනෙක ඔබ සමාජ ජාලයේ පෙනී සිටින භාෂා ශෛලිය වෙනස් කර තිබේද? මම එය ක්‍රමයෙන් වෙනස් කර බැලිමි. රස්තියාදුකාර භාෂාවක් එක්වරම ඔබ භාවිතා කළහොත්, ඔබගේ මිතුරු පිරිස එක්වර වෙනස් කළ හැකිය. ඔබට වඩා ළංවී සිටින්නෝ ඈත්විය හැකි අතර, ඈත් වී සිටින යමෙක් ළං විය හැකිය. ක්‍රමයෙන් වන ක්‍රියාදාමයකදී මෙය සිදු වන්නේද ක්‍රමක්‍රමයෙනි. නුඹ නොතේරෙන දේවල් කියන කල තේරෙන බව පෙන්වා සිටින සමහරු, නුඹ ඒ දේම වැටහෙන බසින් කිවහොත් ඔබව අත්හැර යනු ඇත.

සමාජ ජාල මිතුරන් -

සාමාන්‍ය සමාජයට වඩා අතිශයින් භයානකය. ශරීරය සහ ආත්මය පරස්පරවිරෝධීය. නුඹ වර්චුවල් දකින ප්‍රතිරූපයට වඩා සැබෑ ප්‍රතිරූපය සම්පූර්ණයෙන් වෙනස් විය හැක. කෙළින් නොකියන පිට කොඳු නැති අයගේ සම්භාවිතාව වැඩි නමුත්, වැටෙන තුරු බලා සිටිනා බව හඟවන ප්‍රතිශතය ඉතාම ඉහළය. පිරිමි ළමුන් සමඟ හිතවත්ව කතා කිරීම තුළ නම කැත විය හැකි අතර, ගැහුණු  වේශයෙන් සිටින පිරිමි අධිකය. වැරද්ද අවම නම්, ප්‍රයිවට් මැසේජ් වලින් එවන අතර, වැරැද්ද විශාල නම් ප්‍රසිද්ධියේ ලැජ්ජා කිරීමට උත්සාහ කරති. පුද්ගලික ජීවිතය හා සමාජ ජාල ජීවිතය අතර වෙනසක් ඇතිබව තේරුම් ගත් අයට වඩා නොගත් අය වැඩි බැවින් ප්‍රශ්න නිරන්තරව මතු වෙයි. බොහෝ දෙනා තම මනස ක්‍රියා කරවන ආකාරය , අනුන්ගේ මනස ක්‍රියා කරන ආකාරය යයි වටහාගෙන ස්වයං තීන්දු වලට එළඹී කරන ක්ෂණික ප්‍රකාශ වලින් මිතුරන් නැතිකර ගනිති. සමාජ ජාල භාවිතාව තුළ ඉවසීම තදින්ම වර්ධනය විය යුතු සිද්ධාන්තයකි. මේ සියල්ල සමහරෙකුට පමණක් අදාළ නොවන අවස්ථාද ඇත. හැකි නම් නුඹ සියලු දෙනා මිතුරන් කර ගෙන බලන්න, නුඹට මිතුරන් වැඩි වන තරමට අනවශ්‍ය අපවාද වැඩි වනු ඇත. නමුත් තොරතුරු ද වැඩිවනු ඇත.

සමාජ ජාල ට්‍රෙන්ඩ්-

ට්‍රෙන්ඩ් පැමිණීම, නැගීම, බැසීම සහ මියයාමද, තවෙකෙක උපතද, සාමාන්‍ය සමාජයට අනුරූපව සිදුවෙයි. නමුත් බොහෝ දෙනා ස්වයං කැමැත්තෙන්, ආරෝපණය වී ඇත්තේ, නොදන්නා බළල් හස්තයන්ගේ දේශපාලන ක්‍රමවේද වලටය. එය වටහා ගන්නා දින ට්‍රෙන්ඩ් එක නිමා වන අතර අලුත් පැමිණීම, යට ගියාව ගැන සිතීම අමතක කරයි. අවශ්‍ය දෙයක් සඳහා නුඹට කිසි දිනෙක සමාජ ජාලයකින් පිළිතුරු ලබා ගැනීමට ස්ටේටස් හෝ ප්‍රසිද්ධ කිසිවක් භාවිතා කළ නොහැක. පුද්ගලික බව තුළ එන පිළිතුරට වඩා ප්‍රසිද්ධ බව තුළ එන පිළිතුර වෙනස් වන්නේ, එකිනෙකා නුඹ සමඟ පවත්වන සම්බන්ධය ලොවට පෙන්වීමට වෙර දරන ක්‍රමවේදයේ ලක්ෂණ වලට අනුරූපීවය.
නුඹ සමඟ පොදුවේත්, පුද්ගිකවත් සමාන ඇසුරක් පවත්වන්නෝ සැබවින්ම හොඳ සමාජ ජාල මිතුරන් බව මතක තබා ගන්න.

සමාජ ජාල වීරයෝ-

වර්චුවල් සමාජයෙන් සහ සත්‍ය සමාජයෙන් තොරතුරු ගෙන තම චරිතයකට ආරෝපණය  හිට්ස් උදෙසා මවා ගන්නා ඊනියා වීරත්වය ඔවුනොවුන් විසින්ම ඉතාම අකාරුණික ලෙස ඝාතනය කරගනී.
යළි එය ලබා ගනු වස් කරන්නා වූ ක්‍රියා වලිය තුළද ඔවුන් පෙර රසවිඳි අය අතරමං වනු ලබයි. එවිට අලුත් වීරයන් බිහිවීම මන්ද ගාමී වන අතර පැරණි වීරයන් අලුත් වීරයන්ගේ ගමනට කුහක ලෙස බාධා පමුණවයි. නමුත් සියලු දෙනාම ඊනියා වීරයන් බැවින් සියලුම මාර්ග අනතුරේ බව රසවින්දක ආතුරයෝ නොදනිති. පරණ වීරයෝ යම් අවස්ථා වල අලුත් වීරයන් බිහි කරති. නමුත් පරණ වීරයන්ගේ අවශ්‍යතා, සඳහා අලුත් වීරයන් නොගැළපෙන කළ හෝ, ඔවුන් අතින් ඒවා ඉටු නොවන කළ, එළි බහින කුහකත්වය ඉතාම දරුණුය.

තව බොහෝ දේ කියන්නට ඇතත්, ඒ සියල්ල ඔබට යම් දවසක පහදා දීමට වෙර දරමි. මේ ලබා දුන් තොරතුරු ඔබට ඉදිරි සමාජාල ජීවිතයට වැදගත් නොවනු ඇත. මන්දයත් නුඹත් මේ වන විට පවතින රාමුවේ එක්ක අංශුවක් පමණක් බැවිනි.

නුඹ මතක තබා ගත යුතු දෙයක්, නුඹට සිහිපත් කරන්නේ හැබෑම සෙනෙහසිනි. නුඹ මිතුරන් හඳුනා ගත් මාර්ගය කිසිවිටක වැදගත් නැත. නමුත් නුඹ මිතුරා තේරුම් ගත් ක්‍රමය ඉතා වැදගත්ය. ලොව හොඳ හෝ නරක යන සියල්ල, සාපේක්ෂය.  කෙනෙක් ගේ ඔබට වැදගත් වන්නේ, ඔබ සමඟ සම්බන්ධතා පවත්වන ක්‍රමය ඇසුරෙන් පමණක් හෙයින්, සියල්ලන්ම ආස්‍රය කරන්නට කැමති නම් හැකියාව ඇත.. එමෙන්ම ඔවුන් පුද්ගලික ජීවිතයට සම්බන්ධ කරගන්නා ප්‍රමාණය තීරණය කිරීමද ඔබේ බුද්ධියට අනුකූලය.

නමුත් සියලු වර්චුවල් සබදතා, සැබෑ මිතුරුකම් ලෙස පටලවා ගැනීම හෝ නොගැනීම හෝ එහි පරිධිය තීරණය කිරීම ඔබ සතුය. සියල්ල අවසන එක් දෙයක් ප්‍රත්‍යක්ෂව කියමි. වර්චුවල් සමාජයට කළ හැකි දේ සාමාන්‍ය සමාජයට කළ හැකි දේට වඩා ප්‍රබලය. නමුත් එය යහපත් කාර්යයන් උදෙසා යොදාගන්නේ, ඉතාම සුළුතරයකි. අසනීපයට පත් අය සුව කිරීමට, පාසල් සඳහා උදව් කිරීමට කැපවන මෙවන් කණ්ඩායම් ඉහළින් අගය කෙරෙන අතරම
නොයෙක් මව් පක්ෂයන්ගේ බළල් හස්ත ලෙස නොදැන ක්‍රියාත්මක වන බොහෝ දෙනා කෙරෙහි, අනුකම්පාවද ප්‍රබලව හිමි විය යුතුය.

වෙනස් වන ලෝකයේ වෙනස් නොවනා එකම දෙය වෙනස් වීම බව තේරුම් ගත්තෙමි. මම ජයග්‍රහණය කර ඇත. මන්ද මම සමාජ ජාලය තුළින් බොහෝ ඉගෙන ගතිමි. ඔබ ජයග්‍රහණය කර තිබේද? නැත්නම් පරාජය වී තිබේද? එසේත් නැත්තම් තවමත් ගන්ධබ්බ සීමාවේ දෝලනය වන්නේද?





3/8/13

-210- අපි අපි ගැන නොලියා ඔබ ගැන ලියන්නෙමු


අද අපේ දිනය යැයි, එක්සත් ජාතින් ගේ සංවිධානය නම් කළ නිසාද, අපි අපූර්වයැයි කියන නිසාද, අද කාන්තා සංවිධාන වෙනුවෙන් බොහෝ දෙනා පෙළපාලි උත්සව පවත්වමින් කාන්තාවන් ගැනම කියන නිසාද, දවස් තුන්සිය හැට හතරේදී අයිතිවාසිකම් නොපතන ඔබ ගැන ලිවිය යුතුයයි මම සිතමි.

ලොව සියලු පිරිමින් වෙනුවෙන්, මෙසේ කාන්තා දිනය දා ලියා තබමි.

කඳුලු දෑසින් පිරී ඉතිරී
ගිලී යලි හදවතට පැන නැග
ළය පලා සුසුමකින් වෙර ගෙන
අවට ලොව වෙත සිනා සෙන සඳ

අතීතය සහ අනාගතයක
සරණ දෙනෙතක බර දරා
වර්තමානය දිවි ගෙවයි ඔබ
සහක් දොස් කන්දක් ආසා..

පැතුමකට ඉඩ නොමැති දිවියක
හීන කන්දක් වල දමා
සද්දන්ත ජීවිතය මිරිකා
විඳියි සහසක් වේදනා...

වටාපත මත කඩුව සඟවා
පවුල රට දැය සමය රකිනා
සහක් පරපුර ලොවට දෙන්නට
මුල් අණුව ගැහැණියට පුදනා

නොලද විවරණ නොදුටු පැසසුම්
අතර පරපුර හිසින් දරනා
ලොවක කරුමය ලොවක උරුමය
සැණයකින් දෙනෙතකින් කියනා

විනිසුරෙකි ඔහු,

පියෙකි.. සැමියෙකි.. සොහොයුරෙකි... පුතෙකි
සතුට දුක සම හදැති මිත්‍රයෙකි...