2/21/13

-207- සිංහල සයිබර් අවකාශයේ ඔන්ලයින් ටීකාව | අංක 1

සියලු සහෘදයන්ගේ දැනුමෙන් හා දායකත්වයෙන් ලියවෙන,
සිංහල සයිබර් අවකාශ වංශයේ ඔන්ලයින් ටීකාව



අවකාශය අතට හසු නොවන්නේය. නමුත්, අවකාශයේ නවාතැන් වන්නා වූ සිතුවිලි හදවතට හසු වන්නේය. සිතුවිලි නිසා ජීවිතය හඳුනා ගැනීමට හැකි වන අතරම, සමාන සිතුවිලි නිසා සමාන ජීවිත හඳුනා ගැනීමටද හැකි වන වග ඔබ දන්නවාට සැක නැත. පරිණාම වාදය තවමත් සම්භවයේ නිල විකාශනය ලෙස හඳුන්වන අපට මිත්‍රත්වය නැමති සංස්කෘතික සාධකය හමුවූයේ කෙදිනදැයි, නිශ්චිත වශයෙන් කිව නොහැක. එය හෝමෝ හැබැලිස් මානවයා තෙක් දිව යනු ඇතැයි අප විශ්වාස කරමු. අද වන විට නූතන මිනිසා තෙක් පැමිණි ශිෂ්ටාචාර මග තුළ මිනාසාගේ මානසික වර්ධනය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරන ලද්දේද සාමූහික සත්වයෙක් ලෙස එකිනෙකා කෙරෙහි පැවති මිත්‍රත්වය බව අවිවාදිතය.

මුල් යුගයේ, තමා අවට සිටින අය කෙරෙහි මිත්‍රත්වය දැක්වූ අය, පසුව විශාල කණ්ඩායම් සමඟ මිතුරු කම් පැවැත්වූහ. ඔවුන් සමීපයෙන් ඉවත් වූ පසුව ලියුම් හරහා මිතුරු ගනුදෙනු කළහ.
ප්‍රාරම්භක ඉතිහාසයේ දී රජවරු තවත් විදේශයන් හී රජ මැති ඇමතිවරු හා තම දේශපාලනික ආර්ථික හා සංස්කෘතික සබඳතා වෙනුවෙන් නාවිකයන් හරහා, දූතයන් හරහා මෙවන් මිතුරු කම් තබා ගත් අතර, පසු කාලීනව සාක්ෂරතාවය ලද පොදු ජනයාද, ගතින් දුර අය සමඟ මිත්‍රත්වය ලියුම් හරහා ඇරඹීය. 19 වන සියවස වන විට පෑනේ මිතුරන් සංඛ්‍යාව බහුල වූ අතර, කිසි දින එකිනෙකා නොදැක ඔවුහු සිතිවිලි වලින් ගනුදෙනු කළහ. මෙවන් අය කලාතුරකින් මුණ ගැසුණු විට, ඔවුන්ගේ මිත්‍රත්වය පුදුමාකාර ලෙස ශක්තිමත් විය.  දුරකථනය හරහා හඬ තුළින් නොදකින මිත්‍රත්වයන් තව තවත් දියුණු වූ අතර, අන්තර්ජාලයේ ආගමනය මිත්‍රත්වය උදෙසා දෙවියන් දුන්  වරප්‍රසාදයක් ම විය.

පාසල් වලින් පසු තමන්ට මඟහැරුණ මිතුරන්, නිවෙස් හැර යාම නිසා පිටරට යාම නිසා මඟ හැරුණු මිතුරන්, සිරුරෙන් නැතත් හදවතින් සමීප වීමට මනා පිටිවහලක් විය. එමෙන්ම ලාබදායි ක්‍රමයක්ද විය.

දැන් ලෝකයම තනියායක් ය. මුල් කාලයටත් වඩා වැඩියෙන් ලොව පුරා මිතුරන් එකතු කරන ශ්‍රව්‍ය දෘෂ්‍ය සමාජ ජාල බිහි වී ඇත. සයිබර් අවකාශයේ සංවාද ඇති විය. 21 වන සියවස විසින් උඩුගුවනේ සවි කළ චන්ද්‍රිකාවන් හරහා, ලොවකම මිත්‍රයන් එකම නවාතැනකට සේන්දු කරවීය. එහෙත්, අකුරු විසිහයක් උඩ හිතන ජීවීත පමණක්, එම භාග්‍යට හිමිකම් කීවෝය. ඉංග්‍රීසි හෙවත් ජාත්‍යන්තර භාෂාව නොදත් අයට තම භාෂාව ඉංග්‍රීසි අකුරු ඇසුරෙන්ම ලියන්නට සිදුවිය.

එදා ග්‍රීක රෝම දේව පුරාණ වල සඳහන් වන පරිදී, අහස උසට තනන්නට ගිය බාබෙල් කුළුණ නිසා හෝ, දැන නොදැන වූ මොනයම් හේතුවක් නිසා හෝ අද වන විට භාෂා සිය ගණනිකින්  වින්තනයේ, භාෂණයේ සහ ලේඛණයේ යෙදුන, මානව මානවිකාවෝ, මෙම ඉන්ද්‍රජාලික අන්තර්ජාලය දෙස පුදුමයෙන් ටික කලක් බලා සිටියෝය.

කොතරම් හරඹ කලත්, ඉදිරියට දුවන කාල රේඛාව, අපූර්ව වසර කිහිපයක් ඇතුළත ඉන්ද්‍රජාලය පුපුරවා හැරියේය. තම තමන්ට උරුම භාෂාව පිළිබඳව තම තමන් විසින් ම ජාතීන් වශයෙන්, විද්වතුන් වශයෙන්, පර්යේෂකයන් වශයෙන් කරන ලද බොහෝ ජාතිකයන්ගේ පරීක්ෂණ සාර්ථක කරවමින්, භාෂා සිය ගණනක්, සකල අන්තර්ජාලය වසර කිහිපයක් ඇතුළත ආක්‍රමණය කළෝය.
ඉන්පසුව ටිකෙන් ටික, ලොව පුරා සිටිනා දහසක් අතරින්, තම භාෂාව කතා කරනා අය සොයා ගැනීම මදක් පහසු විය..ඒවා මුලින් උකටලී ලෙස ඉවත දැමිය හැකි දැනහැඳුනුම් කම් පමණක් වුවද අද වන විට අත් හැර දැමිය නොහැකි වූ භාෂාව නැමති රුධිරයෙන් බන්ධනය කළ සහෝදර කම් තරමටම වර්ධනය වී ඇත්තේය.

ඉදින් මෙතැන් පටන් සෙසු තනියායක, ලෝකාවකාශයෙන් මිදෙන අපි සිංහල අන්තර්ජාල අවකාශය ගැන කතා කිරීමට පිඹුරුපත් සකසා ගන්නෙමු.

-ඉතිරිය ඉදිරියට-

[මේ ලිපිය සඳහා ඔබේ දැනුම ඉතාම වටිනවා. පරණ බ්ලොග් කරුවන්ගේ දායකත්වය නොමසුරුව ලබා දෙන්න.]

6 comments:

  1. ඔය කියන තරම්ම දේකුත් නැහැ නෙරන්ජි .සමහරු පටු
    වාසි බලාපොරොත්තුවෙන් එක එක චරිත රඟපානවා .
    ඒ රංගනේට පුළුවන් මුළු රටම උනත් පාවල දෙන්න..

    ReplyDelete
    Replies
    1. අපි කතා කරන්නෙ පුද්ගල චරිත ගැන නෙවී...සමස්ත ඉතිහාසය ගැන. තාක්ෂණිකව

      Delete
  2. අපිට හොදයි මේක....
    බලමු ඊලග ටිකත් කියෝලා...

    ReplyDelete
  3. මට හිතෙන්නෙ නම් එන අයට වඩා කලකිරීමෙන් යන අය වැඩියි. සමහර දේ සිදුනොවිය යුතුයැයි හිතෙන වාර අනන්තයි. මේ පුංචි රටේ පුංචි බාසාවක මෙච්ච්ර හැල හැප්පිලි මොනවා බෙදා ගන්නද කියලා වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
  4. දත්ත එහා මෙහා ප්‍රේෂණය වෙන්නේ චන්ද්‍රිකා හරහා පමණක්ම නොවේ. මුහුදු පතුල තුලින් ඇදී යන "SEE ME WE" කේබලය හරහාත් දත්ත බොහෝ ප්‍රමාණය සම්ප්‍රේෂණය වනවා. එය දැනුමට පමණයි එක් කලේ.

    යුනිකේත බිහි වීමට පෙරත් සිංග්ලිෂ් මගින් බොහෝ දෙනා තම අදහස් එහා මෙහා කර ගත්තා.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.