මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

12/12/12

[200] මගේ අරවින්ද | හොඳම යෙහෙළියගෙන්


අවුරුදු හතරක් මම අන්තර්ජාලයේ සිංහලෙන් ලිව්වෙමි. අකුරු කෝටියක් මා අතින් ලියවෙන්ට ඇත. ලියන්නට උදව් දුන් හැමට තුති පුදමින් අද ද මම ලියන්නට සිතුවෙමි. මේ මගේ වියුණු සටහනේ දෙසිය වෙනි ලියවිල්ලයි.. එය ඇයගේ ලියුම නමින් වෙන් කිරීමට මම සිතා ගතිමි. නැවතත්, අද වැනි දිනයක් පැමිණෙන්නේ තවත් වසර 98 කට පසු ව හෙයින් මම මෙම ලිපිය ඇයගේ ලිපිය පළ කරනු පිණිස වෙන් කිරීමට සිතා ගත්තෙමි.



ආදරණීය අරවින්ද,

එදා දවස වැහි දවසක්ද? ඉර තිබුණු දවසක්ද යැයි හරි කීමට මට හරි හැටි නුපුළුවන. නමුත් එය හරි අපූරු දවසක් යැයි මම සිතමි. නුඹ ඇඳ සිටියේ, කුමක් විය හැකිදැයි මම සිහියට නගා ගන්නට උත්සාහ කරමි. නුඹ දුටු මුල් දිනයේ මම නුඹට ආදරය නොකළෙමි. එහෙයින්, මට නුඹව එදින මතකයේ නැත. මා නුඹට ආදරය කළේ ඇයිදැයි මම තවමත් මගේ හදවතින් විමසමි. නුඹ මට මඳක්වත් ආදරය නොකරද්දී මම නුඹට ආදරය කළේ මන්දැයි මම නොදනිමි. බොහෝ විට එය විය යුත්ත වන්නට ඉඩ තිබිණි.

නුඹව අනෙක් අයට ලස්සනට පෙණිනි.. රූපයෙන් මට නුඹව හුරුපුරුදු වුවත් නුඹ ගැන අන් අය දිකන බාහිර ලස්සන කිසි විටෙකත් මම නොදුටුවෙමි. නමුත් විටෙක ඔබ අනෙක් අයට ලස්සන නොවුණා නම් යැයි, මට සිතුණු වාර අනන්තය. ඊටත් වඩා මා ඇය තරමට ලස්සන ට ඔබට පෙනුණා නම් යැයි මා සිතන්නට ඇත. ඒ ඔබ මගේ සිහිනය වූ නිසාම විය යුතුය. ඒ සිහිනය 
සදාකාලික සිහිනයට සීමා කර තබන්නට අද මට සිදු වී ඇතත්, මම එදිනද එය බලාපොරොත්තු වුණෙමි. ඒ සමස්තය හා ලෝක නිර්දේශය පරිදී මම අති ලස්සන නොවන කුලකයට අයත්ව සිටි බැවිණි.

එම නිසා නුඹව දැකීමට හා අසල ගැවසීමට මිස, නුඹ ලබා ගැනීමට අයිතියක් මා සතු නොවන බව මම නුඹට පෙම් කරන්නට පටන් ගත් දින සිටම දැන සිටියෙමි. එහෙනමි නුඹ ට පෙම් කළේ මන්දැයි ලෝකය මගෙන් අසනු ඇත. සංසාර චක්‍රයේ ආත්මයෙන් ආත්මයට රැගෙන එන බොහෝ සම්බන්ධතාවන් හී නිම නොවූ කර්තව්‍යයන් අප සතුව පවතින වග ඔබ මෙන්ම ලෝකය ද දැන ගත යුතුය. අප විසින් පසු ආත්ම වල ඒවා ගෙවා නිම කළ යුතුයැයි මම සිතමි. නුඹ ගෙන් සෙනහෙසක් නොලදමින් පවා මා මෙලෙස නුඹට බැඳෙන්නේ, ඒ භවාරණ්‍යයයේ පැමිණි ගමන් මඟ තුළ තවමත් මම මං මුලා වී හිඳින නිසා විය යුතුය. මම සිතට තව වරක් වීර්ය ගනිමි.

මට නුඹ ගැන සිතෙන හැම දේම, මෙසේ ලියා තියන්නට හැකි නම් යැයි විටෙක මට සිතේ. නමුත් ලිපිය හැකි තරම් කෙටි කළ යුතුය. මට එය කළ හැකි වේදැයි මම නොදනිමි. සමහරවිට මගෙ අතින්, සමහර දේ මඟ හැරේවි. එහෙත් මම නුඹ ගැන ලියමි. මන්ද යත් මේ ජීවිතයේ මා මිය යනතුරු ආදරය කරන්නේ නුඹටම පමණක්  බැවිනි.

මට නුඹගේ අතින් වත් අල්ලන්නට උවමනා නැත. අඩුම තරමේ නුඹ ළඟ වෙලී සිටීමට තරම් වත්  ශෘංගාරාත්මක සිතිවිල්ලක් කිසි දිනෙක ජනිත වී නැත. නමුත්, මම නුඹ අසල හිඳගෙන සිටීමට ප්‍රිය කළෙමි.. ඒ නුඹෙන් විහිදෙන නුඹට අනන්‍ය සුවඳකට අවිඥාණිකව ප්‍රිය කළ නිසාද, නැතිනම්, නිතර සීතල වන මා සිරුරට නුඹ අසල රැඳෙද්දී යම් උණුසුමක් දැනෙන නිසාදැයි මම නොදනිමි. 

මම නුඹ පුටුවෙන් නැගිට ගිය විගස, නුඹේ හිඳ සිටි පුටුවේ හිඳ ගනිමි. මම ඒ පුටුවේ මැකී නොගින උණුහුමට හදවතින්ම ප්‍රිය කරමි. මම නුඹට ආදරය කළේ, යම් පුරුද්දකිනි. නුඹට ආදරය කළ යුතුයැයි මට එක්වරම සිතිණි. ඒ නුඹ සමඟ කතා කළ පළමුවන දිනදීය.. එදා පටන් මම නුඹට ආදරය කරමි.. මම නුඹට ආදරය කිරීමට ඇබ්බැහි වී සිටිමි. ඒ අවිඥානික හැඟීම හදවත තුළින් සවිඥානික වී මාගේ ආත්මයේ අහු මුලු සිසාරා විහිද ගියේය. එය ඔබට විහිලුවක් විය හැකිය. නමුත් එය මට මගේ ආත්මය ම විය.

නුඹ සමඟ එක මඟ ඇවිද යන්නට මම ආසා කළෙමි. මම නුඹේ කට හඬ අසන්නට ප්‍රිය කළෙමි. නුඹ කතා කරනා බොහෝ දේ කාලාන්තරයක් මා අසන්නට බලා සිටි දේ වු බැවින් මම නුඹගේ වචන වෙත බැඳී සිටියෙමි. නුඹ පන්තියේ බිත්තියට පිට තබාගෙන අන් අය හා කතා කරන සැටිත්, කේන්ති ගන්නවුන් සමඟ තර්ක කරන සැටිත් මම ආසාවෙන් බලා හිඳිමි. අවසන කෙනෙක් තරහ ගෙන නැගිට ගිය පසු, ඔබගේ මුහුණේ මතුවෙන, සුන්දර හිනාවට මම තවමත් ආදරය කරමි. නුඹ පන්තියේ ගුරුවරයෙක් නැති විට නිරායාසයෙන්ම අපේ නායකයා වූයේ කෙලෙස දැයි මම නොදනිමි. 

නුඹ ලියූ දේ, නුඹ කතා කළ දේ තුළ මට ඉවත ලන්නට දෙයක් නොවූයේ ඇයිදැයි, මම තවමත් කල්පනා කරමි. මම ඒවාට එතරම්ම ආදරය කරමි. නුඹ ලියූ කටු කඩදාසියක්වත් ඉවත නොදමන්නට තරම් ඒ ආදරය බලවත් වූ බව මම දනිමි.

නුඹ ඇවිද්න්නේ පොළවටවත් බරක් නොදෙමිනි. නුඹ සැමවිටම සිනාසෙන්නේ අනෙකෙක් නොතලමිනි. නුඹ බලා සිටින්නේ, නුඹේ දෙනෙතටත් නොදැනෙන්නටය. එහෙව් නුඹගේ ආදරය කෙසේදැයි මම තවමත් නොදනිමි. නුඹ ආහාර ගන්නා විට නුඹේ ඇති සංයමය සහ නිහඬතාව දෙස මම බලා සිටිමි. නුඹට බත් කටක් කැවීමට මම ආසා කරමි. සංසාරයේ මේ අත්භවය මට මා මේ අතරම් ආදරය කරන ඔබව නොදුන්නේ මන්දැයි, මම තවම නොදනිමි.

මට මහ හුඟක් දේ නුවමනා කළ බව ඔබ දන්නවා දැයි තවමත් මම නොදනිමි.. මම ආසා කළේ ඔබ යමක් ලියන විට මේසය අසල හිඳ නුඹට තනි රකින්නට පමණි. ඔබ යමක් ගැන කල්පනා කරන විට ඔබට බාධා නොවෙන්නට, යාර ගණනක් ඈතින් හිඳ, ඔබ දෙස බලා සිටින්නට පමණි. නුඹ නිදිවරාගෙන යමක් කරද්දී නුඹට තේ කෝපයක් සාදා ගෙනත් දෙන්නට පමණි. නුඹ යම් දෙයක නිරත වන විට කෑම ගැන නොසිතන නිසා, වෙලාවට නුඹට බත් ටිකක් කැවීමට පමණි. නුඹ ලස්සනට ඇන්ඳ පැළැන්ද කල අන් අයගෙන්, නුඹ ලස්සන බව ඇසීමට මම ආසා කළෙමි. නුඹ අසනීප වූ විට නූඹව රැක බලා ගැනීමට, තනිකමට පාලුවට නුඹ අකමැති වූ විටක නුඹ හා කතා කිරීමට මම ආසා කළෙමි.. මට නුඹ සමඟ කතා කිරීමට බොහෝ දේ තිබිණි. මා කියනා දිගු කතන්දරයකට නුඹේ එක් වචනයක සියලු පිළිතුරු ගැබ්ව තිබිණි. 

ගැහැණියෙකුට පිරිමියෙකු වෙනුවෙන් බත් තම්බන ආශාවක් වේ යැයි, කෙනෙක් මට සිනා විය හැකිය. නුඹද එසේ සිනා සෙනු ඇත. මම ඒ සාම්ප්‍රදායික ගැහැණියට කැමැත්තෙමි. මන්ද යත් හදවතින් ඔබට අසාම්ප්‍රදායික වීමට රුකුලක් මට දිය හැකි වග මම හොඳින්ම විශ්වාස කරන බැවිනි. එමෙන්ම ජීවිතය පුරාවට නුඹ නොලබාම නුඹට  සදාකාලිකව ආදරය කිරීමට තරම් මම අසාම්ප්‍රදායික වී ඇති බැවිනි.

නුඹ එක්ක දළදා මාලිගාවේ, වලාකුලු බැම්ම වටා ඇවිද යාමට මම ආසා කරමි. කොන්ක්‍රීට් බංකු අසල කෑම සොයන පාත්තයන්ට පොරි ටිකක් කන්නට දෙන්නට, පුංචි පාන් කෑලි කඩා බෝගම්බර වැවේ මාලුවන්ට විසි කිරීමට මම මහත් සේ ආසා කරමි. නුඹ කියන දේ අසා සිටිමින් හැතැක්මක් දෙකක් හෝ කොතැන හෝ ඇවිදීම අමාරු නොවන බව මම දැනගෙන සිටියෙමි. පදික වේදිකාවේ ඉඳ සිටින තොරොම්බල් වෙළෙන්දෙකු විකුණන ප්ලාස්ටික් වලලුවක් නුඹේ අතින්, පලන්දා ගැනීමට ආසා කළෙමි. ඒ සියල්ල සිහින බව දැන දැනත් මම සිහින වලම ජීවත් වුණෙමි. අදද සමහර රැයක එවන් හීන දැක, ඇහැරෙන විට, මම අතරමං වූ හැඟීමක ජීවත් වෙමි. හීනය තුළම හැබැහින්ම මිය ගියා නම් යැයි සිතුණු වාර අනන්තය.

නුඹ ඇය ට ආදරය කරද්දි, තුන් හිතකවත් නුඹ ගැන වෛරයක් හෝ කලකිරීමක් මා සිත තුළ නූපන්නේ මන්දැයි මම අදටත් කල්පනවා කරමි. මම ඔබට මෙන්ම ඔබ ආදරය කරන ඇයට ද ආදරය කළෙමි. ඒ මම යැයි සිතා ගන්නට මගේ දුප්පත් සිත උත්සාහ කළ වාර කොපමණදැයි මම නොදනිමි. මම සමහරක් දින වල නිදා සිටිනා කොට්ටය තෙත් වන තුරු හඬමි.. මම මගේ වයසට ගැළපෙන කුඩා රූපයක් නොලද්දේ මන්දැයි මම මැවුම් කරුගෙන් ප්‍රශ්න කරමි. මම සමහර දින වලට මහ මුග්ධ ප්‍රාර්ථනා වලට යට වී නින්දට යමි. එක් දිනකට පමණක් වත ඇගේ රුව මට ලැබෙන්නැයි, මා පැතූ වාර අපමණය.

නුඹට, මා ආදරය කරන වග සඟවන්නට මම බොහෝ සේ උත්සාහ කළෙමි. නමුත්, මිට මොළවාගත් සුවඳ විලවුන් මෙන්, හංගන්නට නොහැකි ඒ හැඟීම නුඹ දැනගත් බව මම දනිමි. අඩුම තරමේ අනුකම්පාවක් වත් නොව නුඹේ මහා වියරුවකට මම යට වීමි. කිසිම වරදක් නොකළ මා සමාජයේ සිනාවට හසු වීමට ද නුඹ විසින් පාර කැපූ බව මම දනිමි. එය මම දුටුවෙමි. මම යම් තැනකට එන විට, නුඹ සර්පයෙක් දුටු ලෙස එතනින් ගිය බව මම දනිමි. අවසන මම මුලු සමාජයෙන්ම වෙන් වීමි. මට වඩා ඔවුන්ට නුඹ අවැසි බව මම දැන ගතිමි. නුඹට පිරිවර ලැබෙන්නට මිස මට ලබන්නට කිසි ම පැතුමක් නොවූයෙන්, මම පසෙකට වීමි. විහිලුවට ලක්වුණෙමි. නමුත් ඒ උප සංස්කෘතිය දෙස මෙන්ම, සියලුම ප්‍රාණීන් දෙසද මැදහත් සිතින් බලා සිටියෙමි. ආදරය නොහඳුනන්නන්ට ආදරය කිරීම ට දෙවියන් සැබෑ මිනිසුන්ට ඉගැන්වූ බව මම දනිමි. මෙතරම් උතුම් වූ නුඹ මෙසේ හැසිරුණේ මගේ පාපයෙන් බව අදටත් මම සිතමි.අවසන නුඹ චෝදනා විරහිතව මා පිළිකෙව් කරද්දීත්, මම නුඹට පෙමි කළෙමි.

නුඹගේ උපන්දිනය දා, නුඹව සතුටින් තැබීමට මම මහත් සේ ආශා කළෙමි. මම මාසයක් ඒ ගැන සිතුවෙමි. සතියක් සැලසුම් කළෙමි. මාසයක් පමණ එකතු කළෙමි. මම එදින, උදෑසන සූදානම් වී , හැමට පෙර නුඹේ පන්තියට ගියෙමි. නුඹේ මේසයේ නුඹේ උණුසුම වරුවකට එයින් මැකී නොයන්නේ නම්, නුඹේ හදවතේ උණුසුම ජීවිතය පුරාවට මගේ හදින් මැකේ යැයි මා අදහන්නේ කොහොමද? 

මං අනෙක් අය එනවාදැයි බලමින් හොර හොරෙන් මුලු පන්තියම සැරසුවේ, එය මා කළ බව දැනගතහොත්, ඔබ එයින් සතුටට පත් නොවන බව දන්නා නිසාවෙනි. මම මගේ නම කිසි තැනක නොලීවෙමි. එහෙත් උපන්දින සුබ පැතුමේ මගේ අත් අකුරු යෙදූ බව මට ඒ මොහොතේ අමතක වී තිබිණි. නුඹ පැමිණෙන විට අසලක සිටින්නට ආසා කළත්, නුඹ මා පිළිකෙව් කරද්දී මට ඔබ ගේ දසුනට මෙතරම් සුන්දර දිනකදී දුකක් එක් කරන්නට උවමනාවක් නොතිබිණි. ආදරය යනු හැකි තරම් ලබා දිය යුත්තක් මිස, ලබා ගත යුත්තක් නොවන බව මම ඒ වන විට හොඳින්ම තේරුම් ගෙන තිබිණි. නුඹ සතුටු බව මට ඇසිණි, නුඹ බොහෝ සතුටු වූ බව මට ඇසිණි. මගේ ඇසට කඳුලක් ඉනුයේ, “ඒක කළෙ මං“ කියා ඔබ වෙතට දිව එන්නට නොහැකි වූ නිසා නොව, මම කළ දෙයින් ඔබ සතුටු වූ හෙයිනි.. එහෙත් මගේ අත් අකුරු හැඳිනූ අන් අය ඔබට ඒ වග කියද්දී ඔබේ මුහුණ අඳුරු වූ වග මම දනිමි. මට එය දැනිණි. මිය යන්නටම තරම් වේදනාවක් දැනෙද්දී මම පන්තියට වී සිටියෙමි. ඔබ ඇවිත් අන් අයගේ ඉල්ලීම පිට මට ස්තූතියි කියූ හැටි තවම මට මතකය තුළ දෝංකාර දෙයි.. ඔබ එසේ නොකළා නම් මේ දුක අඩුයැයි මම සිතමි. මන්ද යත්, නුඹගේ ඇස් වල තිබූ කේන්තිය මා තවම පෙළන බැවිනි. මේ ටික ඇය විසින් කරන ලද්දේ නම් එය කෙතරම් නුඹ අගයයිදැයි මට සිතිණි. ඇය නුඹ වෙනුවෙන් එතරම් කැපවුණාදැයි මම නොදනිමි. මට එය අදාළ නැත. නමුත් ඒ මොහොතේ මට ඇය වන්නට ආසාවක් සිය දහස් ගුණයකින් පහළ විණි. මට ආදරය වුවමනා කර තිබිණි. 

නුඹ බොහෝ කරුණාවෙන් හැමටම සලකද්දී, මට එසේ නොකළේ කුමන හේතුවක් නිසාදැයි මම නොදනිමි. අඩුම තරමේ අනුකම්පා කරන්නට තිබිණි. නුඹ එදා හැමටම කේක් කැවූ බව මගේ මතකයේ විය. අවසන මා ඉතිරි විය. මට නුඹ කැවූ බව මට මතකය.. නොකවා සිටීමට වඩා අන්තිමට හෝ කැවීම කෙතරම් අගේදැයි මම අදත් කල්පනා කරමි. පුංචි දේවල් පමණක් ජීවිතයට ලැබෙන අපි වැනි අය එවන් දේවල් වලින් සතුටු විය යුතුය. නැතිනම් ජීවිතය තුළ අප මිය යන්නට පෙර සතුටු වීමට දිනක් එන්නේ නැත. නමුත් තමාගේ ආත්මයේ පළවෙනියා, ගේ ජීවිතය තුළ තමා අන්තිමයා වීම තරම් වේදනවක් මෙලොව කිසිවෙකුටත්, දරන්නට නොවේවායි මම දෙවියනගෙන් ඉල්ලමි. ඒ අසරණ කම කෙතරම් ඛේදනීයදැයි දන්නේ, එයට පත්වන්නා පමණි.

නුඹ විසින් ලියා.. තැන තැන දමා යන ලිපි, මම හවස් වරුවේ නුඹේ පන්තියට විත් එකතු කෙරුවෙමි. ඒ සියල්ල, කෙතරම් මා පරිස්සම් කළාදැයි නුඹ නොදන්නවා විය හැකියි. මම ඒ සියල්ල පරිස්සම් කොට නුඹට දුන්නෙමි. එහෙත් යළිත් ගෙනැවිත් නුඹට නොදුන් එක් කොළයක් තවමත් මම පණ මෙන් සුරකිමි. ඒ මට නුඹව සිහිවීමට ඇති එකම භෞතික සම්පත බැවිනි.

අප විද්‍යාලයට පැමිණි  මුල් දින වල පැවති බිග් මැච් එකේ අවසන් බෝලයට පෙර නුඹ දිවීමේ වරදට දැවී ආ වෙලාවේ, මා අසලක සිට ගත් හැටි නුඹට මතකදැයි මම නොදනිමි. එදා නුඹ පය පාමුල හිඳ සිටි මා, මා දුටු සොඳුරුතම මිනිසා ඡායරූපයට නැගුවෙමි. මා දුටු ආදරණීයම මිනිසා මගේ හදවතේ මෙන්ම, මා ළඟද සේයා රුවක්ව තවමත් සුරුකිව සිටින්නේය. එය මට ප්‍රමාණවත්ය. එය මේ අහිංසක හදවතට ඇති තරමට ප්‍රමාණවත්ය.

නුඹට මස් මාලු කෑමට නොහැකි දවස් තිබෙන බව මම දැන සිටියෙමි. ක්ෂේත්‍ර චාරිකාව ගොස් අප නවාතැන් ගනිද්දී, නුඹට කෑමට දෙයක් නැති බව මා දැනගත්තේ,මා කෑම බෙදා ගත් පසුයි. කෙතරම් කුස ගින්න දැනුණත් මට කන්න පිරියක් තිබුණේ නැත. අවසන මම බලෙන්ම නුඹට මගේ යෝගට් එක දුන් බව මම අදත් සිහි කරන්නේ අප්‍රමාණ ප්‍රීතියකිනි. මගේ බිස්කට් පැකට් එක, ඔබ දැන හෝ නොදැන කෑ බව අසා මම පත් වූ සතුට අපමණය. එය වෙන කිසිවෙකු කෙරෙහිවත් මෙහෙයිය නොහැකි වන ආත්මාර්තකාමී ආදරයකි. මට තවමත් මා ගැන පුදුමය. මම සදාකාලිකව ඒ පුදුම ආදරයේ ජීවත් වෙමි. මන්දයත් එය නුඹ වෙනුවෙන්ම පමණක් හෙයිනි. 

එහෙත් විඳි කප්පරක් දුක් ගැහැට නිසා ඔබව අමතක කරන්නට, මම උත්සාහ නොකළා යැයි මම නොකියමි. 

මට නුඹ ගැන කලකිරෙන්නට ඕනෑ විණි. මෙය පාපෝච්චාණයක් දැයි , නොදනිමි. මම වෙනෙකෙකු නමින් පෙනී සිටියෙමි. නුඹ දින හතරක් පමණ ඒ මා බව දැන නොසිටි බව මම දනිමි. නමුත් ඒ දින කිහිපයේ නුඹ හැසිරුණු ආකාරය මට මහා පුදුමයක් විය. නුඹ එක් දිනක් තුළ වෙස් වලා ගත් මට ජංගම දුරකථන අංකය පවා දීමට කෙලෙස නිබය වූයේ දැයි මා කල්පනා කළෙමි. මම සිතා සිටි අරවින්ද එසේ නොවේ. මට අපමණ දුකක් දැණිනි. ඒ වෙස්වලා ගත්තිය මා බව දැන ගත් පසු නුඹ හැසිරුණු ආකාරය මා දුකටත් පුදුමයටත් පත් කරවීය. ගණිකාව යැයි මා අමතන්නට තරම් , නිර්මල වදන් හසුරන නුඹ දරුණු වූයේ කෙසේදැයි මම නොදනිමි. එහෙත් සදාකාලික ප්‍රේමයක් යටපත් කරන්න ඒ පුංචි ගල් මුල් ඉතා ම කුඩා වැඩියැයි නුඹ යම් දිනක තේරුම් ගන්නේ, නුඹ මා විඳි දුකම විඳි පසුව පමණක් හෙයින්, නුඹ ඒ වේදනාව තේරුම් නෙගනීවා යැයි මම ප්‍රාර්ථනා කරමි. මා මෙතරම් ආදරය කරන ඔබ දුක් විඳිනවාට මම අකමැත්තෙමි.

අම්මා කෙනෙක් කුඩා දරුවෙකුට දක්වන අප්‍රමාණ මෙත් සිතින් මම සියල්ල අමතක කර දැමූවෙමි. මගේ ආදරයේ උරුමය නුඹට සර්වකාලීන වග නුඹ දැන ගත යුතුය. මට ඔබ ලබා ගන්නට තරම් හයියක් නැත. වුවමනාද නැත. එහෙත්, මතු ආත්මයේ දිනක නුඹ සමඟ දුකක් නොවිද එක් ආත්මයක් හෝ ජීවත් වන්නට මම පෙරුම් පුරමි. ඇය ගැන මම අද කිසිවක්ම නොදනිමි. නමුත් ඇය හා ඔබ එක් වනවාට මම කැමැත්තෙමි. එවිට ඔබ සතුටින් සිටී යැයි මට දැනෙන බැවිනි. 

ඔබේ කටින් ආදරේ යැයි අසන්නට හිතේ ආසාවක් තිබුණත්, බලාපොරොත්තුවක් නොමැත. නමුත් මා මිය යන යම් දවසක, නුඹේ දෑස මට පෙනෙන ඉසව්වකින් වේ නම්, මා නුඹේ දෑස දෙස බලා ගෙන මියැදීමට කැමැත්තෙමි. නුඹ නොඑන්නේ නම්, අසිහියෙන් හෝ එය මට පෙනේවායි.. මම ප්‍රාර්ථනා කරමි. මතු අත්භවයක නුඹ ලබන්නට මිය යන තුරු පෙරුම් පුරමි. නුඹට සුබ පතන්නට අදත් මට වාසනාව ඇති මුත්, ඉදිරිය ගැන මම නොදනිමි. නමුත් නුඹේ උපන් දිනයට මා කොහේ හෝ පන්සලක නුඹ වෙනුවෙන් බුඳුන් වඳිනු, නුඹ පැමිණියහොත් බලා ගත හැකි වේවි. මම නුඹට දක්වන ආදරයට ලෝකයා නමක් නියම කරාවි. මට මානසික අසහනයක් ඇතැයි කියා ලෝකය කියාවි. ඔබේ දෙනෙත් වල මේ මොහොතේ ලියවී ඇත්තේත්, මා වෙනුවෙන් උපන් බාල අනුකම්පාවක් හෝ උපහාසයක් බව මම දනිමි. එය ඔබ මේ ආත්මයේ සමාජයෙන් ලද්දක් මිස, මගේ අරවින්ද එසේ නොවන වග මම දනිමි.

එසේ නම් නුඹ මට උතුම් වන්නේ කෙලෙසදැයි සමහරු මගෙන් අසාවි.. මම නොදනිමි. නමුත් මේ ලොව මා දුටු වටිනාම මිනිසා, සොඳුරුතම මිනිසා සහ මා ආදරය කරන මිනිසා නුඹම පමණක් වග මම දනිමි. සමහර විට මේ ගෙවී යන්නේ, සංසාරයේ මා ඔබට කළ වරදක් විය හැකිය. නුඹව මට නිතර දකින්නට තවම පින් තිබීම, මාගේ වාසනාක් යැයි මම දනිමි. මම නුඹට මියෙන තෙක් ආදරය කරමි. මතු දිනෙක, නුඹට යම් මොහොතක දුකක් දැනුනොත්, මා කිනම් තත්වයක සිටියත්, නුඹ වෙනුවෙන් සිටින වග පමණක් මතක තබා ගන්නා ලෙස, ඉල්ලා සිටිමි. මන්ද යත් මා සදාකල් නූඹ නමින් ජීවත් වන බැවිනි. මගේ ශරීරය කෙනෙකු විසින් අයත් කර ගන්නට හැකියාව ඇති වුවද , නැති වුවද නමුත් හදවත නුඹ අසල සැරි සරාවි.. නුඹ සමාජ ධර්මතාවයන්ගෙන් හා ආඩම්බරයෙන්ද, මාන්නයෙන්ද, තෘෂ්ණාවෙන්ද වසා සිටිනා මගේ අරවින්ද ව නියම මනුෂ්‍යය වේසයෙන්, ඒ අප්‍රමාණ මිනිසා කොට, ලෝකයට දායාද කරන ලෙස මම මේ විශ්වයෙන් ඉල්ලමි.

වසර ගණනකට පසු, නුඹට මා එකතු කළ ලිපි, නුඹ වෙනුවෙන් සැදූ එක එක සැරසිලි. උපන්දින සුබ පැතුම්, සමහරු සටහන් හමු වූවහොත් (සමහර විට ඒවා කුණු ගොඩක විය හැකිය.) නුඹේ 23 වෙනි උපන්දිනය නුඹට යම් දිනක සිහිපත් වේ නම්, එතැන මා සිටි බව අමතක වූවාට කමක් නැත. 

ආදරණීය අරවින්ද නුඹ ලිවීම නතර නොකළ යුතුය. මන්ද යත්, මා ගොඩ නැගෙන්නේ, ඒ අකුරු තුළින්ය. මා ඒ අකුරු දෙස බලා සිටින්නේ, අපමණ ගෞරවයකිනි. ආදරයකිනි. 

අවසානයේ නුඹෙන් එක ඉල්ලීමක් කරමි. 

ගන්න නුඹ ට එදා අවසන් උත්සවයේ දී පාසලෙන් ලැබුණු සමරුව එහි එක් පිටක නුඹට බොහෝ ආදරය කරන්නාවූ යුවතියද අනෙක් පිට නුඹ බොහෝ ආදරය කරන යුවතියද සිටින්නීය. නුඹ ට අවසානයට කිව යුත්තේ, මම නුඹට සේම ඇයටද ආදරය කරන වග පමණි. මට අහිමි නුඹට කිසි දිනක වෛර නොකරමි. නුඹගේ නොලද ආදරය හීනයක් කොට ගෙන මම ගොඩ නැගෙමි. 

නුඹට යම් දිනෙක ජීවිතය හරිම පුදුමාකර බව දැනෙනු ඇත.. මන්ද යත් නුඹට ආත්මයෙන්ම ආදරය කරන යුවතිය තෙරුවන් සරණ පතද්දී , නුඹ ආදරය කරන ඇය අල්ලා දෙවියන්ගේ පිහිට ඔබට පතනු ඇත. 

නමුත් දෙදෙනාම දැරියෝය. 
දෙදෙනාම එකම ලෙයින් පණ ගැහෙනා යුවතියෝය. 
දෙදෙනාම මිහිකතගේ දියණියෝය...


Adarayada Me - W.D. Amaradewa ( Official HD Music Video ) by Neranji Ekanayake

57 comments:

  1. අද වෙනස්ම ශෛලයක්.

    සෑහෙන වෙලාවක් ගියා කියවන්න.
    ලස්සන අන්දරයක්

    ReplyDelete
  2. හරි ලස්සනයි අක්කෝ... ජීවමානයි වගේ...
    ජය!!

    ReplyDelete
  3. හ්ම්.. මට මේක කියවල ඉවරඋනාම සුසුමක් හෙලන්න උනා.. මට ඒක කියන්න තේරෙන්නේ නෑ.. අදයි ආවේ

    ReplyDelete
    Replies
    1. මහන්සියට වෙන්නැති. ලිපිය දිගයිනෙ.

      Delete
    2. හෙහ්. ඒකට නෙමේ කතා නායිකාවගේ දරාගැනිමේ ශක්තියට..

      Delete
    3. මං කියන්නම්කො මගෙ යාලුවාට එහෙනං

      Delete
  4. කතාව හින්ද සුභ පතන්න අමතක උනා.. උණුසුම් සුභපැතුම් සොයුරිය

    ReplyDelete
  5. අනේ කෙල්ලෙ මොහොතකට හිරවුනාදො මන්දා අතීතය තුළ මමත් ....... කියන්න වචන නෑ සුපිරියි......

    ReplyDelete
  6. i wish u oll the best dearrrrrr

    ReplyDelete
  7. සුබ පැතුම් නද්යා (නෙරංජි) !
    කෝ අර වෙඩින් ලිපි ටික ලියන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනෙ.. මේක පොඩ්ඩක් මැද්දෙන් දැම්මා.. එකම ලියන්න කම්මැලියි බං...මේ.. 200 ටිකක් සැරට දාන්න එපැයි.

      Delete
  8. කෙටි කරන්න ඕනෙ කියල ලියල තිබ්බට දෙන්නයේ මේක මාර දිගයිනෙ. ලස්සන පෙම් හසුනක්. :)
    ලොකු ආදරයක්....

    ReplyDelete
    Replies
    1. ඒක හරි.. එයා ලියපු එක එහෙම්ම දැම්මා..

      Delete
  9. අෆ්ෆට සිරි. මටත් අමතක උනානෙ මේ 200 වන ලිපියෙ කතාව.
    සුභ පතනවා සාර්ථක අනාගතයකට හා සාර්ථක බ්ලොග් දිවියකටත්.....
    ඔයාල ඉතින් බ්ලොග් කාල ඉන්න උදවියනෙ. :)

    ReplyDelete
  10. ඒම කියන්න එපා... අයියෙ.. අපි ඉතින් තාම ලියනවා...

    ReplyDelete
  11. සිරාවටම කතාව නිසා සුභ පතන්න අමතක උනා..
    200ට 2000ක් සුභ වේවා..
    නොනැවතී ලියන්න හැකිවේවා..

    ReplyDelete
  12. සුබපැතුම් ..දිගටම ලියන්න... ලිපියත් සුපිරියි..

    ReplyDelete
  13. 200ට සුබ පැතුම්...

    ලියුම නම් ලස්සනයි... හැබැයි මට ඔය කෙල්ලගේ හොම්බට දෙකක් අනින්න හිතෙනවා කියලා නම් ලියන්නම ඕනේ.. මොකද දන්නවද... ඔය වගේ ආදරයක් එයාගෙන් ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ට වෙනුවට, ඒ ආදරේ සත පහක වටිනාකමක් නැති කෙනෙක් වෙනුවෙන් නාස්ති කරනවට...

    හි හි...

    ReplyDelete
    Replies
    1. උඹ සාමාන්‍ය ලෝකයා ගොඩට වැටෙන්නෙ අන්න ඒ නිසයි අක්කෙ.

      Delete
  14. උඹ දන්නවා ඇතිනේ ෆිල්ම් වල යූස් වෙන dolly zoom effect එක. අන්න ඒක මගේ වටේ වෙන බවක් මට දැනුනා ලිපියේ අන්තිම හරියට කියවගෙන එද්දි.

    ReplyDelete
  15. 200ට සුබ පැතුම්... ජය වේවා අක්කේ..............

    ReplyDelete
  16. Unconditional love?

    Congratulations on the 200th post and 4 years of Sinhala blog writing!

    ReplyDelete
  17. 120ට 220ක් ආයුබෝවේවා !!!! 200ට 2000ක් ලිවීමට ශක්තිය ‍දිරිය ලැබේවා !!
    ලිපිය ලස්සනයි සුන්දරයි සුපිරියි

    ReplyDelete
  18. ඔයා‍‍ගෙ යාළුවට දැ‍නෙන හැගීම් මටත් ‍තේරුම් ගන්න පුළුවන්.. මමත් ඔය අත්දැකීම විඳල ති‍යෙන නිසා. ආදරය කියන්‍‍‍නෙ මො‍හොතකට හිත රවටන මායාවක් කියලයි මට තාමත් හි‍තෙන්නෙ. ‍පෙර කර්මයක් ඵල දීමක්ද? අ‍නේ මන්ද? ‍

    කො‍හොම උණත් නංගී ඔයා‍‍ගෙ බ්‍ලොග්කරණයට ම‍ගේ සුබ පැතුම්...

    ReplyDelete
  19. කෙල්ලේ මේක කොටන්න සැහෙන්න වෙහෙසක් ගන්න ඇතිනේ. නුඹේ උත්සාහයට මගේ සුබ පැතුම්

    ReplyDelete
  20. 200ට සුභ පැතුම් !!!

    ලිපිය නම් අපුරැයි. වෙනස්ම විදියක්. ලිපියේ ඇතුලාන්තය ගැන මොනා කියන්නද තවමත් හිතනවා. හිතට දැනුන ලිපියක්.

    ReplyDelete
  21. හෙන සීරියස් කේස් එකක් නේ...
    200ට මාගේ සුභ පැතුම්!!!!!!!!!!!

    ReplyDelete
  22. 200 ට මාත් සුභ පැතුම් එක් කලා ඔන්න...බොහොම අපූරැ පොස්ටුවක් වෙනදා වගේම...


    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  23. සුභ පතනවා හදවතින්ම බට්ටිත්....

    ReplyDelete
  24. 200ට සුභ පැතුම් නෙරංජි . අද වෙනස්ම ආරෙකට ලියලා . මමත් වැඩියම කැමති ඔයාගෙ වෙඩින් ලිපි මාලාවට . සෑහෙන්න වෙහෙසක් අරන් ලියපු ලිපි පෙලක් .
    …නැවතත් සුභ පැතුම් !. දිගටම ලියන්න .

    ReplyDelete
  25. 200ට සුභ පැතුම්. හරිම ආසාවකින් කියෙව්වා.

    ReplyDelete
  26. 200ට සුභ පැතුම්...

    ReplyDelete
  27. වියොවූ පසුවයි දැනෙන්නෙ පේමයෙ අබ්මන් සරදම්
    හැඩූදා කදුලයි දකින්නෙ සිනහාවෙ සරදම්

    ReplyDelete
  28. ව්යො වූ පසුවයි දැනෙන්නෙ පේමයේ අභිමන්
    හැඩූදා කදුලයි දකින්නෙ සිනහාවෙ සරදම්

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.