මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/8/10

දෙදහස් දහයේ සැප්තැම්බර් මස අට වෙනි දින සිහි වීම පිණිසයි!



අද ලංකවට විශේෂ දවසක්..අද දහ අටවෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වුණා.මේ වෙනකොට ඡන්ද 161ක් පක්ෂව ලැබී එය සම්මත වී තිබෙනවා.. ..ඒ වෙනුවෙන් හුඟාක් ජනතාව එක එක ප්‍රදේශ වලින් කොළඹට ආවා.18 වෙනි සංශෝධනය ගැන ආඩම්බරයෙන් ඔවුන් කතා කළා..සහය පළ නොකරන අයට සහය පළ කරන්න කියලා විශාල උද්ඝෝෂණත් කළා. නමුත් අපි ඔවුන් සියලු දෙනා ගෙන් අහඹු ලෙස විවිධ වෘත්තීන්ගෙ යෙදෙන සිය දෙනෙක් අරගෙන එක ප්‍රශ්නයක් අහමු...
18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ඔබ සහය පළ කරන්නෙ ඇයි?
මම හිතන්නෙ නැහැ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට ඒ පිළිබඳව දිය හැකි සාර්ථක පිළිතුරක් ඇතියි කියලා.
මිනිස්සු මේ ගැන නොදැනුවත්.වගන්ති වල අන්තර්ගතය තබා අඩුම තරමෙ ඔවුන් සංශෝධනයේ එක වාක්‍යකවත් හරි හැටි තේරුම අරන් තියෙනවාද යන්න සැක සහිතයි.
මිනිස්සු බොහෝ දෙනා තමන් පාලනය වන ආකාරය කුමක්දැයි දන්නේ නැත. එකිනෙකා විසින් කුප්පවනු ලැබූ කළ ඒ ඒ පැත්තට හූ මිටි තැබීම ලංකාවේ බහුතරයේ සාමාන්‍ය ක්‍රමවේදයයි...ලංකාවේ සියලුම පක්ෂ තම තමන්ගේ උවමනා එපාකම් අනුව ජනයා හසුරවනවා මිසෙක ජනතාවගේ විමුක්තිය ගැන සිතනවාදැයි තවමත් ගැටළු සහගතය.

සෝදා පාළුවේ පාළු මකන අපේ රටේ මීඩියාද මේ ක්‍රමයට අනුගත වී ඇති සෙයකි.ඔවුන්ගේ පුවත් වල බොහෝ ඉඩක් ගන්නේ කොළඹ නගරයයි. ආර්ථික මරමස්ථාන තුළ පුවත් මැවෙන නිසා එය සාධාරණයැයි මොහොතකට සිතමු. නමුත් පුවත් තුළ හැමදාම හිට් වන්නේ එකම පිරිසකි.වැදගත් දේ නොව හිට් වන දේ පෙන්වන වර්තමාන නාලිකාද ජනතාවගේ මොළ තුළ පවතින නොදැනුවත්කම ගැන වගකිව යුතුය.

තමන් පාලනය වන්නේ කොහොමද? කියා වත් හරි හැටි නොදන්න මිනිසුන් ලෝකය තුළ ජීවත් වීමේ පලක් ඇත්ද?වැදගත් වන්නේ දැනුවත් වීම නොවේද?... පෞද්ගලිකව මට පෙනී යන පරිදී 18 වෙනි සංශෝධනයේ කිසිම අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට ඇති බවක් පෙනෙන්නේ නැත...එයින් සිදුවන්නේ එක් පුද්ගලයෙකු තුළට විශාල බලයක් කේන්ද්‍ර ගත වීමක් බව පමණක් මට කියමි.. දැනීමක් නැතිව ඇයි අපි කවුරුත් කියන පළියට ඕනෙම දෙයකට එකඟ වෙන්නෙ ? එහෙමත් නැත්තම් විරුද්ධ වෙන්නේ?..

ආදරණීය මිනිසුනේ..ආදරෙන් කියන්නේ...ඔබ දැනුවත් වෙන්න...ඔබ දැනුවත් නොවුණොත් ඔබව ආරක්ෂා කරන්න කාටවත් බැරි වේවි...ඒත් මගේ ආයාචනය කියවන්න අන්තර්ජාලයට එන්නෙ ඔබෙන් කීයෙන් කීයද?..එයිනුත් මේ බ්ලොග් එක කියවන්නේ කීයෙන් කීයද? කමක් නැහැ... දන්න හැමෝටම කියන්න...ජීවත් වෙන වාලේ ජීවත් නොවී තමන් ජීවත් වන රටේ තත්වයට බුද්ධිමත්ව මුහුණ දෙන්න කියලා..නැත්තම් කවදා හරි අසරණ වෙන්නේ ඔබේ දරුවො! හරියට අපි වගේ...

12 comments:

  1. නීනු, එකසිය දහසයක් නෙවෙයි. එකසිය හැට එකක්.

    මේක අපේ ලංකාවේ මූලික මිනිස් අයිතීන් නැහැයි කියන අයට දුන්න පැහැදිලි උත්තරයක්නෙ.

    මේකෙන්, එක්කෙනෙකුට දෙවරකට වඩා ජනපතිවෙන්න බැරිවෙන විදිහට දාල තිබුණු අසාධාරණ නීතිය අයින් කලානෙ.

    රතිඤ්ඤා පත්තු කරල කිරිබත් කන්න වැඩක්‍ නෙවෙයිද ඉතින්...?

    ReplyDelete
  2. මාත් හිතනව ඒක හරි කියල. ප්‍රජාත්‍රන්තවාදීව මංත්‍රී කෙනෙකුට ඕන තරම් වාරයක් චන්දය ඉල්ලන්න පුලුවනි නම් ජනාධිපති කෙනෙකුට බැරි ඇයි....
    ඕකට බය වෙන්නෙ ඇයි...
    එයාට අකැමැති නම් මිනිස්සු එයාව පරද්දාවිනෙ.

    ReplyDelete
  3. පාර්ලිමේනතුවට ගිය උන් කරන කියන දෙයට අප විසින් ප්‍රථිචාර දැක්වීම අපේ රිස්ස යවා ගැනීම පමණි. එහෙත් එසේ කිරීමට ඕනෑම මිනිසෙකුට අයිතියක් ඇති බව සිහි කළ යුතුය. සෑම මිණිසෙකුම ක්‍රියාකරන්නේ සියළුම දේ කියවා දැනගෙන නොවේ. තමන්ට හැඟෙන දැනෙන හැටියට ඔවුන් ක්‍රියා කරන බව ඔබම කියා සිටියි. (-එයින් සිදුවන්නේ එක් පුද්ගලයෙකු තුළට විශාල බලයක් කේන්ද්‍ර ගත වීමක් බව පමණක් මට හැ‍ගේ!..මට එහෙම කියන්න පුළුවන් මට ඒ ගැන එහෙම දැනෙන නිසා.-)එබැවින් ඔබ කරන දෙය මිනිස්සුන්ට කරන්නට එපා යයි කියන විට ඔවුන්ට කකුළුවා මතක් වනු ඇත. එහෙත්, නිවැරදිව හා සාධාරණ අයුරින් මේවා පිළිබඳ දැනුවත් කිරීම ජනමාධ්‍යයේ වගකීමක් බව පිළි ගත යුතුය.

    කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා ඉල්ලුම් කිරීමට හැකි වාර ගනන වැඩි කිරීම එතරම් ගැටළුවක් නැති බව මගේ පෞද්ගලික මතයයි. ඒ මොකද කී වාරයක් ඉල්ලුවත් තේරී පත් වන්නේ දක්ෂයා බව අප අත් දැකීමෙන් දන්න නිසාය. එක් වරක් දෙවරක් නොව හත් අට පාරක් ඉල්ලුවත් බැරි එකාට බෑමය. ඉල්ලුවොත් දිනන නිසා ඉල්ලන වාර ගනන අඩු කර දක්ෂයා ගෙදර යවා අදක්ෂයා පෙරට ගෙන ඒමට දඟලන අය මේ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙතැයි මගේ හැඟීමයි.

    ReplyDelete
  4. ආයුබෝවන් නීනු දුවේ, ඔබ වැනි (මගේ අදහසේ හැටියට ) ලාබාල ලමයෙක් මේ තරම් අපක්ෂපාත දෙයක් ප්‍රකාශ කරනව නම් මමත් නිශ්ශබ්දව සිටීම හොඳ නැහැ. ප්‍රතිපත්තියක් වශයෙන් මම දේශපාලනය පිලිබඳ සාකච්ඡා වලට සහභාගි වෙන්නෙ නැහැ. දේශපාලනය කියන්නෙ මහ ජරාම ජරා කටයුත්තක්. මට ලංකාවෙ දේශපාලනය දැක්කකම් තිත්ත වෙන්න ඕන තරම් කරුනු තියෙනවා. මම හිතන හැටියට දේශපාලනයෙ හරි දේවල් ඇත්තෙත් නැහැ, වැරදි දේවල් ඇත්තෙත් නැහැ. එක් එක් මත එක එක්කෙනා ගේ දරන අදහස්. කෙනෙකුට හරි කියල හිතෙන දෙයක්, වෙන කෙනෙකුට වැරදි වෙනවා. ඒක තමයි දේශපාලනයේ හැටි. ඔබේ වයසත්, මගේ වයසත් සසඳා බලන කොට, අද ඔබ ඉන්නා වගේ යුගයක් 70 දශකයේ මමත් හිටියා. මම දැක්ක JVP එක දැන් කියන අමන කතාවක් පත්තරේ. "දේශපාලනයේ අවසන් කටයුතු සිදු කල බවක්..." තවද UNP එක හොඳට තිබුන පරිපාලන කටයුතු ආත්මාර්ථකාමී පාලකයෙකුගේ ඕනෑ එපා කම් සඳහා වෙනස් කල හැටි, ...

    මම 1971 කාලයේ යන්තම් ජීවිතෙ පටන් ගත්තු රජයේ නිලධාරියෙක්. මම ඇස් දෙකෙන් දැක්ක JVP එක කල වැඩ. උන් මිනිස්සු මැරුව විතරක් නෙවෙයි, මලගම පවා කරන්න දුන්නෙ නැහැ. මානුශික අයිතිවාසිකම් උදුරා ගත් නිසා. අද අමන කථා කියනව. රනිල් මහත්මයගෙ මාමා කල දේ යලි යථා තත්වයට පත් කරන කොට ඒ මහත්මයත් 'උද්ඝෝශන පවත්වනව.'

    අනේ අපට ගිය කලක්!!!

    ඉතින් දුවේ ඔන්න ඔහොමයි අද තත්වය. මම ඉන්න රටේ දේශපාලන කරදර තියෙනව, නමුත් ඔහොම නැහැ. ම ර්වින් මහත්මය වගේ රජවාසල කවටයො නැහැ. නමුත් මේ රටවල් දෙක සංසන්දනය කරන්න බැහැ. ඒක තමයි දේශපාලනයෙ සත්‍යතාවය............. ඒ නිසා මම සිදුවන දේවල් බලාගෙන සිටියා මිසක් කට අරින්න ගිහින් කරදර හදා ගත්තෙ නැහැ...
    ඔබ වැනි ලාබාල ලමයෙක් ඔය වැනි උදාර අදහස් දරන්නෙක් වීම ගැන මම සතුටු වෙනව, අපේ රටට හොඳ කලක් ලංවෙනව කියල හිතෙන නිසා...

    තෙරුවන් සරණයි

    ReplyDelete
  5. @kumaraya...
    මම කිව්වෙ ඔයා හිතන කතාවම නම් නෙවි ඉතින්...
    අපේ රටේ බිඳවැටුන මානුෂික අයිතිවාසිකම්, ඒ කියන්නේ මිනිසුන්ට මිනිසුන් ලෙස ජීවත් වීමට ඈති හා ඈතිකර ඈති බාධාවල් අතර ඉතාම ඉතාම අසාධාරණ එක මේ රජ්ජුරුවන්ට ආයෙ පාරක් සිංහාසනේ විල්ලුද මෙට්ටෙ තට්ටම් අතුල්ලන්න බැරිවෙන එකය කියන විහිළුව ගැනයි.

    ඔයා නම් නියම ලාංකිකයෙක් කියලා හිතුණා ​ඉතින්...

    ReplyDelete
  6. අපි පුලු පුලුවන් විදිහට මිනිසුන් අවදි කරවන්න අපිට කල හැකි දේ කරමු සහෝදරී . . . . මැරෙන්න කලින් එක මිනිහෙක් ව හරි මේ මුලාවෙන් මුදවන්න ලැබුනොත් ඒ ගැන අපිට මැරෙන මොහොතක හරි සතුටු වෙන්න පුලුවන් වෙයි . . .පක්ෂ බදාගෙන මුලාවෙලා ඉන්න අය බැන්නත් ඉවසගෙන හර්දය සාක්ෂියට අනුකූලව වැඩ කරන්න උත්සාහ ගනිමු සහෝදරී . .. .

    ReplyDelete
  7. මෙහි කලින් කමෙන්ට් කල කිසිවෙක් පක්ෂ බදාගෙන සිටින්නන් ලෙස මා නොසිතූ බව කියනු කැමැත්තෙමි. . ඒ කමෙන්ට් මා දුටුවේ මගේ කමෙන්ට් එක දැමූ පසුවයි.

    ReplyDelete
  8. අනේ මම ලිය ලිය හිටපු පිටුව ආං බාං කරගන්න බැරුව වැහුන. හොඳවෙලාවට මම ලියපුව මැකුනෙ නැහැ.

    ඔබේ අදහස් වලින් එකක් පැහැදිලියි.. " අපි මේව කරනවා... කියන දේශපාලනයට වඩා දැනට මොනවද වෙලා තියෙන්නෙ කියන දේශපාලනයක් දිහා ඔබ බලන බව පේනවා. අවුරුදු ගනනකට පෙර තිබුන තත්වයට වඩා අද පවතින තත්වය දිහා බලන එක වඩා ගෝචර බවඔබට දැනෙන එක.

    තීරන ගන්න ඉස්සෙල්ල රට දිහා බලන එක.. ඉතාම වැදගත් දෙයක්. දැන් දින පහකට පෙර නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර විශාල භූමි කම්පාවක් තිබුන. කෝටි ගනනක් රටට පාඩුයි. වාසනාවකට කවුරුත් මැරුනෙ නැහැ. අගමැත් වගේම විරුද්ධ පක්ෂයෙ නායකයත් රට වෙනුවෙන් කථා කලේ. පුද්ගලික ලාභයන් වෙනුවෙන් 'උද්ඝෝශන" තිබ්බෙ නැහැ. නමුත් අපට මේ රටවල් සංසන්දනය කරන්න බැහැ. ඒක තමයි ලෝක දේශපාලන නියාමය. මම හිතන හැටියට මේ කරුණු හරි හැටි තේරුම් ගන්න කෙනෙකුට ඕන තැනක ජීවත් වෙන්න පුලුවන්. මම කොපමන කල් පිටරටක ජීවත් වුනත්, මම ලාංකිකයෙක් බව මම විශ්වාස කරනව. දේශපාලන වශයෙන් මම අනාථයෙක් වුනෙත් අපේ සිරි ලංකා දේශපාලුවෙක් නිසා.

    නීනු ඔබේ අදහස් හරිම උදාරයි, ඒ ගැන මම සතුටු වෙනවා. අපේ රටට හොඳ කලක් යනව කියන්නෙ ඒක නිසා.

    ReplyDelete
  9. මෙහි කලින් කමෙන්ට් කල කිසිවෙක් පක්ෂ බදාගෙන සිටින්නන් ලෙස මා නොසිතූ බව කියනු කැමැත්තෙමි. . ඒ කමෙන්ට් මා දුටුවේ මගේ කමෙන්ට් එක දැමූ පසුවයි.

    ReplyDelete
  10. ගණන් පැටළුනා ...ලොකූ ස්තූතියි....කමෙන්ට්ස් එවපු හැමෝයම ස්තූතියි...සරත් මාමාට,දුකා අයියාට අනික් හැමෝටමත් ...මේකත් තව ටික දවසකින් අතීතෙට එක් වුණු සිද්ධියක් වෙයි.. ඊයේ නටපු කවුරුත්, රතිඥ්ඥ පත්තු කරපු කවුරුත් පාරේ හිටියෙ නැහැ අද... ඒක සරල දෙයක්... හෙට අනින්ද්දා වෙදිදි ඔක්කොම අමතක වෙයි...

    ReplyDelete
  11. "පෞද්ගලිකව මට හැගෙන පරිදී 18 වෙනි සංශෝධනයේ කිසිම අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාවට ඇති බවක් පෙනෙන්නේ නැත..."
    ඉතා පරිණත දේශපාලන අත්දැකීම් නැහැ කියලා මම හිතන ඔබ වගේ කෙනෙකුට හැඟෙන මේ ඇත්ත මේ රටේ බහුතරයකට වටහා ගැනීමට නොහැකි ඇයි කියලා ඇත්තටම මට හිතාගන්න බැහැ.
    මේ විදියට එක් පුද්ගල තනතුරක් වටා අසීමිත බලයක් ඒකරාශි වීමේ අනතුර කොයි තරම්ද කියනවා නම්, ඒකට ගන්න පුලුවන් හොඳම උදාහරණය තමයි 1942 ජනවාරි මාසයේදී පැවැත්වූ මහජන ඡන්දයෙන් තේරී පත්වූ පාලකයකු වූ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් නිසා සිදුවූ මහා විනාශය.
    මීට මාස කීපයකට පෙර අහිමිවූ ජීඑස්පී+ සහනය ලබාදීම සඳහා යුරෝපා සංගමය ඉදිරිපත් කල කොන්දේසි අතර තිබූ එක් ප්‍රධානම කොන්දේසික් උනේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමයි.ඒ මොහොතේ බොරු පුරාජේරු කියමින් එය මඟ හැර මේ හදිසියේ සම්මත කරගත් යෝජනා තුල ඇති අවධානම අපට දැනෙන විට අප දුර ගියා වැඩි වනු ඇත.
    හරකා තමන්ගේ ගෙවත්තට ඇතුලුවූදා කාගෙ කාගේත් මේ මෝඩ චූන් එක අවසන් වනු ඇත.

    ප.ලි.
    මෙය කියවන්නේ ටික දෙනෙක් උනත් එක් අයෙකු හෝ මේ ඔස්සේ සිතා තමන් නිවැරදි වුවහොත්..,අඩුම තරමින් තමන් මෙතෙක් සිතූ දේ ගැන යලි සිතා බලන්නටවත් පෙළඹුනොත් එයින්ම ඔබට සතුටු වන්නට පුළුවන්.ඉතිං ඒ පිළිබඳව කණගාටු නොවන්න.
    ඔබට සුභ පැතුම්..!!
    මල්කි

    ReplyDelete
  12. මම මගේ පෝස්ට් එකේ වචන දෙකක් වෙනස් කළා.ඒ ගැන සමාවෙන්න.ඊයේ රාත්‍රී හදිසියේ මගේ භාෂා භාවිත කිරීමේ දෝෂයක් නිසා ෆැන්ටා මහතා හෝ මහත්මිය එහෙමත් නැතිනම් මෙනවිය එය වරදාවා තේරුම් ගෙන මගේ ලිපියට මෙසේ කොමෙන්ටු දමනවා.
    """""""""""
    . තමන්ට හැඟෙන දැනෙන හැටියට ඔවුන් ක්‍රියා කරන බව ඔබම කියා සිටියි. (-එයින් සිදුවන්නේ එක් පුද්ගලයෙකු තුළට විශාල බලයක් කේන්ද්‍ර ගත වීමක් බව පමණක් මට හැ‍ගේ!..මට එහෙම කියන්න පුළුවන් මට ඒ ගැන එහෙම දැනෙන නිසා.-)එබැවින් ඔබ කරන දෙය මිනිස්සුන්ට කරන්නට එපා යයි කියන විට ඔවුන්ට කකුළුවා මතක් වනු ඇත.
    """"""""""
    ඔබේ කොමෙන්ටුව ගැන මාගේ කිසිම ගැටළුවක් නෑ. නමුත් මගේ භාෂා භාවිතය නිසා ඔබ නොමඟ ගියා නම් ඒ වෙනුවෙන් සමා වෙන්න.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.