මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

7/25/14

-243- වාසනාවන්තයන් අතර සිටිමි

"අද මළවුන් පිදීමත් විලාසිතාවකි. එක පෙළට එක එක කණ්ඩායම් පැමිණ බලහත්කාරයෙන් තාප්ප වල ගිල්ලූ පොස්ටර් දෙස බලමින් ඉදිරියට ඇවිදගෙන යන අතර මට සිතුණි. මේ ජූලි මාසයයි. පින්තූර , නවකතා , පත්තර ලිපි සහ ගෙදර අය නිසා දැනගත් යමක් හැරෙන්නට, මම කළු ජූලිය දැක නැත. එය එක් අතකට වාසනාවකි. එහෙත් මා යුගයෙන් යුගයට ඒ පිළිබඳව සම්ප්‍රේෂණය වූ වේදනාවකත් ඛේදයකත් විවිධ තලයන්ගෙන් දැක තිබුණි. සෑම මිනිසෙක්ම යළිත් එවැන්නක් නොවන්නට ගෝත්‍රගත සිතිවිලි වලින් අනාගතය එළියට  ඇදිය යුතු කාලයක් උදාවෙමින් තිබේ."

පෙරේදා ඉතාම කුඩා වෙලාවක් විහාරමහාදේවි එළිමහන් රඟහලේ  එකෙල මෙකෙල වූ මට එසේ සිතුණු බවට මම ඊයේ කළ සටහන නැවත වරක් කියවා බැලීමි. හදිසියේ එකිනෙකා පරයන වේගයෙන් පැමිණි එකසිය හැත්ත හත සිය සගයාට ඉදිරියෙන් තිරිංග තද කළේය. දැන් බසය නෙළුම් පොකුණ අසලය. ඉන් බැසගත් මම, වේගයෙන් ඇදෙන බසය කලා භවනට දුමාරයක් මුදා හැර වේගයෙන් කොල්ලුපිටිය දෙසට යන අයුරු බලා සිටියෙමි.  නෙළුම් පොකුණේ වීදුරු හිරු එළිය සමඟ ආලිංගන කරමින්, එහි ප්‍රහර්ශය පොළවට මුදාලමින් රටා මවයි. එහි ශ්‍රී විභූතිය දරා ගැනීමට නොහැකිව හිරුට තමා නොපෙනෙනු පිණිස තුරු අතරට මුවා වූ විහාරමහාදේවි එළිමහන් රඟහලෙහි ගල්බැම්ම මූසල පෙනුමකින් දිස්විය. කපුටන් ගේ වසුරු පිස හමා එන සුළඟට එකතු වූ කැපුණු තණකොළ සුවඳ මිහිර අමිහිර අතර වෙනස්ම තැනකට සිතිවිලි රැගෙන යයි.

උදෑසන සිටම පුරුදුකාරයන් අල්ලාගත් ආසන අතර ක්ශේෂ වූ පුටුවක් හොයන යුවලක් දෙස අනුකම්පාවෙන් බලා සිටි යාචකයෙක් තමා හිඳ සිටි පුටුවෙන් නැගිට පදික වේදිකාවට ආවේ මේ මොහොතේය. කකුලේ තුවලයක් මත දැමූ බැන්ඩේජ් පටියත්, දුහුවිලි වැකුණු ඇඳුම් සහ ටින් බෙලෙක්කයත්, ඔහු පරිපූර්ණ යාචක රූපයක් බවට කර තිබුණි. යාචකයන් ගේ හිඟා කෑමද විලාසිතවකි. තමාටම අනන්‍ය වූ ප්‍රතිරූපයක් ඇති හිඟන්නන් බොහෝ දුලබය. එකසිය තිස් අටට නගිනා  මල් සකසන හිඟන්නා ඒ අතර අනන්‍යතාවක අැති චරිතයක් බව මගේ මතකයේ ඇත.

මම මහජන පුස්තකාලය දෙසට ගියෙමි. ඒ මගේ එක් ගමනාන්තයකි.අද එහි පොත් ප්‍රදර්ශනයකි. එය බොහෝ පොත් ඇති, අනර්ඝ වට්ටම් ඇති, සෙනඟ නැති පොත් ප්‍රදර්ශනයකි. පොත් කියවීම විලාසිතාවක් වන්නේ සැප්තැම්බර් මාසයේ බැවින්, මේ දින වල ජනතාව පොතපතින් ඈත් වූවා විය යුතුය. සැප්තැම්බර් මාසය පොත් කියවන්නන්ගේ නොව පොත් එකතුකරන්නන්ගේ මාසය යැයි දැන් මම මටම පැහැදිළි කර ගනිමි.  එයට ආසන්නම හේතුව, සරසවි පොත් හලේ ලොකු බැනරයේ ලියා තිබූ පරිදී කොටි දියණියකගේ පාපෝච්චාරණය ප්‍රකාශයට පත් කළ දිනම ඉතා වේගයෙන්  අලෙවි වීමත්, තවමත් සැලකිය යුතු ලෙස අලෙවි වෙමින් පැවතීමත් ය. බොහෝ සමාජ සංවේදනා සහ මිනිස් දුරුවලකම් ගැන ලියවුණු මෙවන් පොත්, නිරන්තරයෙන් ජනප්‍රිය වීමත්, ඒවා පාඨකයන් සමඟ ගෙදර යාමත් හා එවන් පාඨකයන්ගේම සමාජ ක්‍රියාකරකම් ද, දෘෂ්ටිකෝණයන්ගේද, ඇති විපරීතභාවය මට පුදුමයකි. එබැවින් පොත් කියවීමක් සිදු වී නැති බවත්, පොත් රැගෙන යාම පමණක් සිදු වෙමින් පවතින බවත්, මට හැඟෙයි.

මා අවට සිදුවන සෑම දෙයකම බලෙන් පටවාගත් විලාසිතාවක් ඇත. පොත් කියවීම පමණක් නොව ගීත ඇසීම, චිත්‍රපට විඳීම මෙන්ම අද පෙම් කිරීම ද විලාසිතාවකි. විලාසිතාවන් තමන්ගේ හදවතින් පැමිණෙන්නේ නම් ඒවා ඉතාම සොඳුරුය. එහෙත් බලහත්කාරයෙන් විලාසිතාවන් බැඳ දැමූ අධ්‍යාත්මයන් තමා තුළම සිරගතව දුක් විඳින අයුරු ඉතාම ශෝචනීය ය. බලහත්කාරයෙන් කිසිවකට අනුගත නොවී, එය ඔබේ හදවතට ම ඇතුළු වූ පසු එයට ඇබ්බැහි වුවහොත් ඒ ඇබ්බැහිවීමේත් සුන්දරත්වයක් ඇත. අවසානයේ කිව යුත්තේ, තම විලාසිතවන්ගේ නිර්මාණකරු තමා ම විය යුතු බවයි. එවිට විලාසිතාවට පැවැත්මක් තිබේවී. ජීවිතයටත් අර්ථයක් තියේවි. අඩුම තරමේ, ඔබට ඔබව හමු වේවී. අනෙකා සෙවීමට පෙර විය යුත්තේ එය යැයි, මම සිතමි. එබැවින් මම වාසනාවන්තයෙක්මි.






6/19/14

-242- ස්නේහයේ නගරය


ඒ ඇයගෙ සොභාවික කොණ්ඩය නෙවෙයි. මම එහෙම කියන්නෙ කොණ්ඩෙ කොටසක් පාට කරලා තිබුණ හින්දාම නෙවෙයි. ඕනෑවට වඩා පිළිවෙලට තිබ්බ හින්දා. ඇය කතාකරන කොට ඇගේ කොණ්ඩය දෙපසට පැද්දුණා. පෝනි ටේල් කියන වචනය ඒ විලාසිතාවට කොයි තරම් ගැළපෙනවාද කියලා මට දැනෙන්න පටන් ගත්තා. ඇය වේගයෙන් කතා කළා. සැරෙන් කතා කළා. හැමෝටම ඇහෙන්න කතා කළා. ඇය ඉදිරිපිට හිටිය පිරිමි ළමයාට කඩාගෙන පැන්නෙ පුදුම තරහකින්.

ප්‍රේමය වෙලාවකට හරිම දරදඬුයි. ඉල්ලීම් වලින් පිරිලා. තහංචි වල ගිලිලා. නීති වලින් යට වෙලා. හේතුව මොකක්ද කියලා හරියටම නොදන්නවා වුණත් පිරිමි ළමයා තමයි මේ වෙලාවෙ නම් චූදිතයා. දැරිවි ගෙ වචන බ්‍රසීල ටීම් එකේ ෆුට් බෝලයක් වගේ වේගයෙන් ඉලක්කය හඹා ගියා. පිරිමි ළමයා සෑහෙන්න අසාර්ථක ගෝල් කීපර් කෙනෙක් වුණු නිසා ම, පැය භාගයෙන් ඒ අයගෙ කතාව නිමා වුණා. ලවර් එකේ විකුණන රුපියල් එකසිය අනූ නවයයි සත පනහෙ මුද්දක් වේගයෙන් ළඟ පාත ඩෝනට් එකක් කමින් හිටි මගේ දෙපා මුලට රෝල් වුණා. රත්තරං නෙවෙයි නිසාද මන්දා පිරිමි ළමයාවත් ඒ දිහා බැලුවෙ නෑ. මේ මොහොතෙ ඒ ප්‍රේමය එතැනින් ඉවර වුණා.මම ඔවුන් දිහා වගේම මගේ දෙපතුල ළඟ තිබුණු මුදුව දිහා බැලුවා. ඒක ඇගේ සිහින් සුදු අතට දාපු දවස කොහොම එකක් වෙන්න ඇතිද කියලා මම හිතන්න උත්සාහ කළා.

මම කාර්යබහුල නුගේගොඩ නගරය දිහා ටික වෙලාවක් බලාගෙන හිටියා. මට රෑ වෙන්න තව ටිකක් වෙලාව ඉතිරියි. හිත ඩිංගක් හිතුවක්කාර වුණු නිසාම අසනීප සිතිවිලි මොහොතකට පැත්තක තියලා මම නුගේගොඩ ඉඳන් රාජගිරිය පැත්තට හෙමින් පයින් ඇවිදගෙන ගියා. නාන කාමර කට්ටල තරඟයට විකිණෙන්න බලාගෙන විදුරු කාමර වලින් එබීගෙන ඉන්න පාර දිගේ දවස් ගණනකින් හිසට දියපහරක් නොලද දූවිලි වැකුණු කොණ්ඩයක් ඇති මනුස්සයෙක් මාව පහු කරගෙන ගියා. වයස හැටකට එහා සීමාවෙ හිටිය ඒ මනුස්සයාත් කවදා හරි දවසක කාට හරි ආදරය කරලා ඇති කියලා මට හිතුණා. ඇය කොහොම වෙන්න ඇතිද? අද බුලත් කෙළ කහටින් වැහැරුණු නිකටකින් දිරච්ච දත් වලින් හැදුණු ඔහුගෙ රූපය එදා මීට කඩවසම්ව තියෙන්න ඇති කියලා මට හිතුණා.

පන්තියක් ඇරුණු තරුණ නංගිලා මල්ලිලා ටිකක් මා එක්කම වාගෙ යමින් හිටියා. ඒ රංචුවෙ උන්නු ගෑණූ ළමයෙක් හුරුබුහුටි පිරිමි ළමයෙක්ව තද කරගෙන අල්ලගෙන ඔහුගෙ උරහිසේ හිස තියා ගෙන යන්න වෑයම් කළා. ඒත් ඔහුගෙ ඇස් තිබු‍ෙණ කටවුට් එකක හිටපු නතාෂාගෙ වීදුරු ඇස් දිහාවට. මට ඒ නංගි ගැන වගේම මල්ලි ගැනත් මොහොතකට දයාවක් ඇති වුණා. හිනා නොයන හිනා යන කතන්දර වලට හිනාවෙමින් හිටි ඔවුන් ගෙ යහළු පිරිසට ව ඔවුන් ගැන ලොකු අවධානයක් තිබ්බෙ නෑ. මම ඒ අය පහු කරගෙන උයන පැත්තට ආවා.

මහත ඇඟ කෙට්ටු කරන්න කියලා හිතාගෙන දුවන ඇන්ටිලාට වඩා මට මේ උයන් වල සතුට අරන් එන්නෙ හුඟාක් වයසක ජෝඩු. ඒ සමහර වෙලාවට ඒ අය මට ක්‍රීම් ක්‍රැකර් කන්න ආරාධනා කරන නිසාම ම නෙවෙයි. ඒ අය තරුණයි වගේ එකිනෙකාට තුරුළු වෙලා ඇහෙන්න නෑහෙන්න කතා කරන හැටි දකින කොට මගෙ හිතට දැනෙන සතුට නිසා.

එකා පසු පස එකා දුවන මන්තීරුවක, පැත්තක තිබුණු එකම හිස් සිමෙන්ති බංකුවෙ මම ඉඳගත්තා. තද දුඹුරු ඇස් ඇත්තියක් මගේ ළඟ පාතින්ම ඉඳගත්තා. ඈ අතේ කලු කවරයක් දාපු මහත පොතක් තිබ්බා. ඇගේ ගවුමෙ ලස්සන මල් වැලක් තිබ්බා. එහෙත් වැදගත් ම දේ ඇගේ ඇස්වල හිර වෙච්ච කඳුළු ගුලියක් තිබ්බා.  මම උත්සාහ කළා ඇය එක්ක හිනා වෙන්න. ඇයට නම්  එයට වුවමනාවක් තිබ්බෙ නෑ. ඇය පුංචි පෑනක් ගවුම් සාක්කුවෙන් අරන් එළියට ගත්තා. ඈ මේ කිට්ටු පාත කෙනෙක් වෙන්න ඕනෙ කියලා මට නිකමට හිතුණෙ, එයා අතේ පෑනටත් පොතටත් අමතරව කිසි දෙයක් නොතිබුණු නිසා.  ඈත බිල්ඩිං ඇස් දෙකෙන් ගිලගන්න වගේ බලාගෙන හිටිය ඈ ඉන් ටිකකට පස්සෙ මගේ දිහා සුහද විදිහට බැලුවා.
" බය වෙන්න එපා ඔයාගෙ එක්කෙනා ආවාම මම මෙතන ඉඩ දෙන්නම්"
ඇගේකතාවට මට ඇත්තටම හිනා ගියා.
" මම ගන්න හුස්ම හැර මෙතෙැනට මම වෙනුවෙන් එන්න කිසිම කෙනෙක් නෑ. නංගි කැමති තරම් වෙලා ඉඳලා යන්ඩ."
මම ඇහෙන නෑහෙන ස්වරයෙන් ඇයට කිව්වා.

අගේ මුහුණෙ ආයාසයෙන් රඳවාගෙන හිටි සිනහව වියැකිලා ගියා. ඒත් ඒ එක්කම පහලට ගලන්න ඔන්න මෙන්න වගේ කඳුළු ගුලි පිරුණු ඇස් ඇතුළට ගිලිලා වේලිලා ගියා. ඈ දිහාවෙ අවසාන වතාවට හිනාවක් පා කරලා මම එතැනින් නැගිට්ටා. ඒ වෙද්දි මට රෑවෙන්න පටන් අරන් තිබුණා. 176 බස් කිහිපයක් වේගයෙන් ඇදී ගියා. ගුණදාස කපුගේ මහත්තයාගෙ හඬින් ඒ මොහොතෙත් දවසේ ඉතිරි ස්විප් ගලවා ඇණ එකතු කරමින් හුන් ලොතරැයි කූඩුවක් ගීතවත් වුණා.

“ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ! “


5/11/14

-241- මට ඔබේ හඬ ඇහෙනවා!



රත්නපුර ඉඳන් පලාබද්දල වෙනතුරු මහා මාර්ගයෙන් පැමිණෙන බැතිමතුන් එහි පිහිටා තිබෙන කීර්ති ශ්‍රී රාජසිංහ රාජ මහා විහාරස්ථානයේ ඉඳන් පටන්ගන්න රජ මාවත දිගේ පාගමනින් ම සිරිපාදය  කරුණා කරන්න පටන් ගන්නවා. ඒ අයට මුලින් ම මුණගැහෙන්නෙ පවනැල්ල. එතන අම්බලමක් තියෙනවා. ඊළඟට ලිහිණියා හෙළ. 

ලිහිණියා හෙළේදී ලිහිණි අක්කාට ඩිංගක් කථාකරලා ඇයව සිහිපත් කරන්න කවුරුවත් අමතක කරන්නෙ නෑ. ඒ වගේම ලිහිණියා අම්බලමෙත්, හැම කෙනෙක් ම වාගෙ තවමත් ඩිංගක් හරි නවාතැන් ගන්නවා. ලිහිණියා හෙළට හයියෙන් කෑ ගැහැවුවාම නැවත හෙළෙන් උඩට විසි කරන සද්දය තමන්ගෙ කට හඬේ දෝංකාරය බව දැන දැනත් 

“ ලිහිණි අක්කේ අපි යනෝ.. ගියාට ආයෙත් එනෝ“ 

කියලා බාල තරුණ මහලු , කිරිකෝඩු දඬුකෝඩු ඇතුළු සියලු නඩ වල ඈයො කෑ ගහනවා සිරීපාදෙ නගින අය දැකලා ඇති. කොයි කවදා ඉඳන් හරි ඒක සම්ප්‍රදායක් වෙලා

ලිහිණි අක්කා ජනප්‍රවාදයක්. මෙතෙක් ඇයව දුටුව කවුරුවත් නැහැ. ඒ කියන්නෙ, ඇය හිටියෙ මීට ගොඩක් අතීතයෙ කියන එකද, නැත්තම් කවමදාවත් නොහිටි කෙනෙක් කියන එකද, කියලා කවුරුවත් ම හොයන්න වෙහෙසිලා නැතත්  මේ තරමට කතන්දරයක් හැදෙන්න මොනා හරි වෙන්නත් එපැයි කියලා හිතන්න පුළුවනි. 

එක්කො ලිහිණි අක්කා හෙළට වැටුණාද? නැත්තම් කවුරු හරි ඇයව තල්ලු කළාද? ඒ දෙකම නෙවේ නම්, ඇය හිතාමතාම හෙළට පැන්නාද?  ලිහිණි අක්කා සහ හෙළ අතර කතාව සම්පූර්ණ බොරුවක් නොවේ නම් මේ තුනෙන් එක් සිද්ධියක් අනිවාර්යයෙන් ම වෙලා තියෙනවා.  මට හිතෙනවා, වෙන්න ඇත්තෙ තුන්වෙනි එක. ඒත් ඒකට බොහෝ අය බල පාලා ඇති.

ජීවිතය සමනළ කන්ද නම් ලිහිණි අක්කාගෙ ජීවිතය අතරමං වූයේ මහ ගිරි දඹේ දී. අවසානය සහ සැනසීම පෙනි පෙනී අතර මගදී .ඇත්තමයි. මහ ගිරි දඹය කාටත් අමාරුයි. එහෙත් එහිදී මං මුලා වෙන අය නැති තරම්. ඒ පාර කෙලින් නිසයි. එහිදීත් අතරමං වෙනවා නම් එය මහා පවක්. බොහෝ විට සංසාරික පවක්. එසේ අතරමං වූ ඇගේ ශෝකී රාවය අනන්තය තෙක් විහිදෙන හෙළ පතුළෙන් නිකමෙන හැටි, සිරිපා කරුණා කරන ඔබට ඔබ තුළින්ම ඇහෙනවා. ඒත් ඒ වේදනාව මැන ගන්න ඔබ ළඟ මිම්මක් නැහැ.

ඇය කාන්තාවක්. ඇගේ පාර වැරදුණා. සංස්කෘතිය තුළින් හෝ පවුල තුළින් හෝ ඇයට සිදු වූ‍ණේ කුමක් වෙන්න පුළුවනිද? අපි හරියටම දන්නෙ නැහැ.

ලිහිණි අක්කා හෙළ සමඟ තනිවන්නේ, අපේ සංසාරයේ මුලදී . දැන් යුග ගණනාවක් ගෙවිලා... ආත්ම ගණනක් ගිහිං. ලිහිණි අක්කාගෙ කාලෙ හිටපු අපි මැරිලා, අලුත් අපි ඉපදිලා. දැන් ලිහිණි අක්කා කතන්දරයක් විතරයි. ඇය දන්න කියනා අය යනවා ඇති දැනුත් මේ සිරිපාදෙ කරුණා කරමින්. ඒ වගේම ලිහිණියා අම්බලමේ ගිමන් නිවා ගන්නවා ඇති මේ දැනුත්. හැබැයි ලිහිණි අක්කා තවමත් හෙළ පතුලෙ. ලිහිණි අක්කා හිටපු අතීතයේ සමහරවිට, මෙතැනට එන අයගෙ තව තව වෙහෙසවල්, නිවන්න ලිහිණි අක්කාට සිද්ධ වුණා වෙන්න ඇති. හෙළ සහ ලිහිණි අක්කා අතර කතන්දරයට, මෙතැනට ආපු කෙනෙක් සම්බන්ධ නැහැමයි කියන්න අපිට බැහැ. සමහර විට එහෙම නොවෙන්නත් ඇති. දැන් ඒ ගැන මොනවා කරන්නද? 
සිරිපා කවි කියද්දි, හිතට නිවනයි. ලිහිණි අක්කාටත් ආයෙ අපි එක්ක කවි කියන්න පුළුවන් නම් හොඳයි.
සීත ගඟුලේ දිය වැල් ගලන්නේ හිමේ වරුණාව කියන්න වගේ. ඒත් එදා මහගිරි දඹේදී වූණු වේදනාත්මක මං මුලාවීම නිසා ලිහිණි හැලූ කඳුලු සීත ගඟුලට දියවෙලා ගියෙ නැහැමයි කියලා කෙනෙක් කොහොමද තර්ක කරන්නෙ.. අද සබරගමුව පතලෙන් ඔබ ගොඩ ලන නිල් මැණික් ඇගේ වේදනාවේ උත්කර්ෂයෙන් උපන් ත්‍යාගයන් නෙවෙයි කියලා හරියටම කියන්න පුළුවන් කාටද? නුඹ ඒ වේදනාවෙන් පල දැරූ මැණික් ගොඩගත්තත්, ඇය තවමත් ගොඩ නොඑන මහ දුකක ගිලිලා ඉන්නවා.
මහගිරි දඹේදී අතරමං වුණාම, පෙනි පෙනිත් සිරීපාදෙ මඟ හැරෙනවා. සිරිපතුලට හිස තියන්නෙ නැතිවම ඇය හෙළට පැන්නා වෙන්න ඇති.
සිය දිවි හානි කරගැනීම සතර අපා දුක් විඳිනා පාපයක් බව ඒ දවස් වල ලිහිණි අක්කා දැන නොහිටින්ට ඇති..
.
තුමුල සමනොළ පෙනි පෙනී පෙනී
ජීවිතේ මහ ගිරි දඹේදී
පාර වැරදි මං මුලා වුණ 
ලිහිණි අක්කේ
හෙළ අනන්තේ තනි වෙලා ඔබ
මට ඔබේ හඬ ඇහෙනවා...

හිමේ කරුණා කරන්නට යන
දෙනෝදාහක් පින්වතුන් අතරේ
දන්න කියනා උදවියත් ඇති
උන් ගමන ගිම් නිවා ගන්නැති 
ලිහිණි අම්බලමේ...
වරෙන් සිරිපා කවි කියන්නට
ලිහිණියේ ආයේ...

හිමේ වරුණා කියන්නට එන
සීත ගඟුලේ දිය කඳුරු දහරේ
ඔබේ කඳුළුත් දිය වෙලා ඇති
ඒ කඳුළු නිල් මැණික් වෙන්නැති
සබර ගං පතලේ ..
හෙළෙන් පැන්නද ඇත්තටම ඔබ
නොවැඳ සිරි පද්මේ....

පද රචනය - අසංක රුවන් සාගර
සංගීතය - ජානක ෆොන්සේකා
ගායනය - ඉන්දිකා උපමාලි.

4/2/14

-240- සිසිලියාගේ ශිශිර තරණය

JOSTEIN GAARDER ගෙ THROUGH GLASS DARKLY හී
සිංහල පරිවර්තනය වන රාණි සේනාරත්න ගේ “අඳුරු පළඟු තල මැදින් “
කියවා නිම කළෙමි.



ඒරියල් කවදාවත් නොඑන්න මම හැමදාම අසනීප වෙලා ඉන්න ඉඩ තිබුණා. වෙන කවුරුවත් ළඟදි නොදැනෙන සනීපයක් එයා ළඟදි මට ඇත්තටම දැනෙනවා. අම්මා, තාත්තා, අත්තම්මා විතරක් නෙවෙයි හුඟක් අය  හැම වෙලාවෙම හිතුවෙ මම අසනීපෙන් කියලා. ඒ අය හිතුවා මම එක තැනකම ඉන්න ඕනෙ කියලා. ඒත් මට හැමවෙලාවෙම ඕනෙ කළේ ඇවිදින්න. ලස්සන හිම කඳු වල, තණ බිමි වල, පිණි පිරුණු සුන්දර මිටියාවත් වල ඇවිදින්න. දුවන්න. පනින්න.

මම ආසා කරන හැම තැනකම ඇවිදින එක තරම් ප්‍රීතියක්, දේවල් අත්විඳලා දැනගන්න, ඉගෙන ගන්න එක තරම් සන්තෝසයක් මේ ජීවිතේ තවත් නැහැයි කියලා හැම වෙලාවකම මම හිතුවා. ඒරියල් ආවෙ මට එයා වගේ කෙනෙක්ව ඕනෙම කරපු ඒ වාගේ හේමන්ත නත්තල් රාත්‍රියක.

එයා හුඟක් දේවල් දන්නවා. හැබැයි මට වෙලාවකට තරහ යනවා එයා පණ්ඩිත වැඩිද කියලා. මොකද සමහර දේවල් එයා ඕනෑවට වඩා පහදගෙන කලකිරෙන එකට මම අකමැතියි. ආරක්ෂක දූත මෙහෙය කරන හැම සුර දූතයෙක්ම එයා වගෙයි කියලා මට හිතෙන්නෙම නැහැ. ඒත් එයා හැම වෙලාවෙම කියනවා. දෙවියන්ගෙ මැවිල්ලෙ හොඳම දෙයක් තමයි මම කියලා. එයා “මම“ කියන්නෙ, ඇත්තටම මේ මම ගැන.

කොහොම වුණත්, ජීවිතේ පුරාම ඒරියල් මහ ලොකු පෙරළියක් කළා. අපි හුඟක් දේවල් ගැන කතා කළා. ජීවත්වීම ගැන, මරණය ගැන, විශ්වය ගැන, ඉන්ද්‍රීන් ගැන, මිනිස්සු ගැන, මතකය ගැන, අපි මේ හැම දේ ගැනම කතා කළා. ඔව් අපි දැනුත් කතා කරනවා. කතා කරලා ඉවර කරන්න බැරි තරමට, අපිට කතා කරන්න දේවල් තියෙනවා. මම එයාගෙන් ප්‍රශ්න අහනකොට එයා මට උත්තර දෙනවා. එයා මගෙන් ප්‍රශ්න අහනකොට මම එයාට උත්තර දෙනවා. වෙනස තියෙන්නෙ, මම උත්තර දෙනකොටත් එයා කොහොම හරි ඒවා දැනගෙන ඉඳලා තියෙන එකයි. ඒක අමුතු නැත්තෙ, එයා මට වඩා ගොඩක් කල් ජීවත් වෙලා තියෙන නිසයි.

මම දන්නවා එයා කවදාවත් නොමැරෙන බව. ඇත්තටම මම එහෙම හිතන්නෙ එයා මැරෙනවාට මම කොහෙත්ම කැමති නැති නිසා වෙන්න පුළුවන්. එයා සුර දූතයෙක් නිසා මට ඒ ගැන බය නැහැ. ඒත් මම හැමවෙලාවෙම කැමතියි එයා සාමාන්‍ය මනුෂ්‍යයෙක් වෙනවාට. හරියටම කිව්වොත්, අර සයිකල් පදින වෛද්‍යවරියට පෙම් කරන, City of Angels චිත්‍රපටියෙ සුරදූතයා වගේ. මනුෂ්‍යයෙක් වීමේ දැනීම සහ හැඟීම කොයි තරම් මිහිරිද කියලා ඕනෑම සුර දූතයෙකුට හිතෙන්න නම්, එයාට ඒ චිත්‍රපටයෙ විදිහටම පීච් ගෙඩි කන්නත්, මුහුදෙ සර්ෆිං කරන්නත් සිද්ධ වෙනවාමයි.

ඇඳක් උඩ නිදියගෙන ඉන්නකොට බඩ උඩින් ගෑණු ළමයෙක් කකුලක් දාලා තුරුළු වෙනකොට දැනෙන කිතිය නොදැනෙන එක සුර දූතයන්ට දෙවියන් වහන්සෙ මැවිල්ලෙදි කරපු අසාධාරණයක්.
ඒත් දෙවියන් ඉන්නෙ මම තුළ නම්, මගේ මැවීම මම යි. එතකොට.. ඒරියල්?

ඒරියල්ට මනුස්සයෙක් වෙන්න කියලා මම හෙවත් සිසිලියා ආරාධනා කළොත්, සමහර විට එයා නොකර ඉන්න එකකුත් නෑ. ඇත්තටම කියනවා නම්, වල්ග තරුවක එල්ලිලා වේගයෙන් රොකට් පදින එකටත්, ග්‍රහයක ඉඳගෙන මහන්සි අරින එකටත් වඩා, මුහුදෙ ලවණ මිශ්‍ර වතුරෙ වේගයෙන් එහාට මෙහාට ඇදෙනකොට දැනෙන හැඟීම පුදුම සහගතයි කියලා වගකීමෙන් කියන්න පුළුවන්නෙ.

ඇහැ දකින දේවල් වල ලස්සන විඳගන්න තරම් ප්‍රීතිමත් මනසක් අපිට තියෙනවා නම්, ඒක තමයි මේ ලෝකෙ දෙවියන් විසින් අපිට ලබා දුන්නු හොඳම තෑග්ග. හැම කෙනෙකුටම මනසින් සුරදූතයෙක් එක්ක සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නෙ, බිත්ති හරහා යන්න පුළුවන්.. අහසෙ පාවෙන්න පුළුවන්, නොදැක්ක ඕනෙම දෙයක් ඒ මොහොතෙම දැක බලා ගන්න පුළුවන්, අවශ්‍ය ඕනෙම දෙයක් කරන්නත් පුළුවන්. හැම වෙලාවෙම දුකින් නොඉන්න අපිට ලස්සන හීන පෙන්වන්න, නින්ද ලබා දෙන්නෙ ඒ නිසා වෙන්න බැරිද? ඒක තමයි දෙවියන්ගෙ සුන්දරම මැවීම.

මම කැමතියි ඒරියල් හැම වෙලාවෙම මගෙ ළඟ ඉන්නවාට. ඒත් එයා ඉන්නෙ කණ්ණාඩියෙන් එහා පැත්තෙ නිසා, මෙහා පැත්තට එන්නෙ සහ එයාව දකින්න සලස්වන්න ඕනෙම කරන වෙලාවට විතරයි. හරියටම කිව්වොත් ඉන්ද්‍රජාලිකයෙක් මවන මායාවී සිහිනයක් වගේ. ඇහැරෙන්න බල නොකරන දිග හීනයක් වගේ. ඒ ආරක්ෂක දූත මෙහෙයෙ හැටි. සමහර විට ඒ ආදරයෙ හැටි වෙන්නත් බැරි නැහැ.

නැත්තම් ඔහු හැම වෙලාවෙම කියන්නෙ නැහැනෙ, මම දෙවියන් වහන්සෙගෙ අතින් පියාඹගෙන ආව ලස්සන සමනළියක් වගෙයි කියලා..




ප. ලි

සුරදූතයෙකුට ආදරය කරන්න උත්සාහ කරන්න. එතකොටයි දැනෙන්නෙ පරිපූර්ණත්වය. ඒක හරියට සතුටත් දුකත් අතර ඉගිල්ලෙනවා වගේ බොහොම වින්දනීය හැඟීමක්.