මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

5/10/11

ගිලන් පස ගිලන් විය |2600 සම්බුද්ධත්ව ජයන්තියට පෙර



මේ දවස් වල බෞද්ධ ආගමේ අය බොහෝ දෙනෙක් 2600 බුද්ධ ජයන්තියට සූදානම් වෙනවා.ඉතින් මේ සුපින්වත් බෞද්ධයන් එක්ක මට පොඩි කතාවක් තියෙනවා. හැමෝටම මේක අදාල නැතත් බොහෝ දෙනෙකුට අදාළ නිසා මම කෙළින්ම කාරණාව කියන්නම්.ඔබ මේ වෙනකොට කී පාරක් පන්සල් ගිහින් තියෙනවාද?කී පාරක් මල් පූජා කළාද?කී පාරක් ගිලන් පස පුජා කළාද?

මම කතා කරන්නෙ ඔබ පූජා කළ දේ ඇති විද්‍යාත්මක හෝ අවිද්‍යාත්මක පසුබිම් ගැන නෙවෙයි..ඔබ බුදු හාමුදුරුවන්ට එය පූජා කළේ කෙසේද යන්නයි...

බුදු කෙනෙක් යනු ශාස්තෲවරයෙක්,ලෝකයේ ඕනෑම ශාස්තෲවරයෙක් ගරු කටයුතුයි.ඉතින් අපි ශාස්තෲවරයෙකුට යමක් පූජා කරන්නෙ කොහොමද?

හරි ශාස්තෲ වරු නෙවෙයි, ඔබේ ගෙදරට එන මිතුරෙකුට, අඩුම තරමෙ හිඟන්නෙකුට ඔබ හිස් යෝගට් කෝප්පෙක, නැත්තම් පැලිච්චි කඩදාසි කෝප්පෙක බීමක් දෙනවාද?

සිලිසිලි බොලිතින් උර හතරට නවලා කන්න දෙනවාද?සත්තුන්ට, තිරිසන්නුන්ට මීට වඩා හොඳින් සලකනවා...

කාලා ඉවත් කරන දෙයක බුදුන්ට පූජා තියන්න තරම් ඇයි ඔබ පහත් වෙන්නෙ? කිසිම ශාස්තෲවරයෙකුට මෙවන් දේ කරන්න එපා.

ආගන්තුකයෙකුට වඩා අපි අපේ ආගමට ගරු කළයුතුයි.දර්ශනයට ගරු කළ යුතුයි.මේ විදිහට කරනවාට වඩා හොඳයි..නොකර ඉන්නවා.

බුදුන් තෙවැනි වර වැඩි බවට අදත් විශ්වාස කරන කැළණි මහ මලුවේ බෝධිය අභියස සිට මෙය සිතූ නෙරංජි සුලක්ඛනා වන මම මේ ගැන හිත රිදුණු සියල්ලන්ගෙන් සමාව අයදිමි.

ආදරණීය වැඩිහිටියනි.මම ඔබෙන් පැනයක් අසමි.අපි ඔබේ අනාගතයයි .ඔබ අපිට දෙන ආදර්ශ මේවාද?

22 comments:

  1. හ්ම්ම්.. පුදුමාකාර මිනිස්සු ඉන්නේ දැන් කාලේ.. මෙහෙම දේවල් කරලා ලබා ගන්නේ මොනාද? පින් කරන්න ඇවිත් තව තව පවු කරගන්නවා

    ReplyDelete
  2. ඒක නම් සහතික ඇත්ත හසී....

    ReplyDelete
  3. මේකනේ දැන් වැඩිහරියක් මිනිස්සු පන්සල් යන්නේ ශ්‍රද්ධාවට වත් බුද්ධ ධර්මය තේරුම් ගන්න වත් නෙමේ. ගොඩක් වෙලාවට යන්නේ එක්කෝ ගියේ නැත්තන් බවුද්ධාගමිකයෙක් කියල පිළිගන්නේ නැති වෙයි කියන බයට , නැත්තං පන්සල් ගිහින් මොකක් හරි පූජා කරලා ගාථා ටික කියල ( තේරුම දන්නෙත් නෑ) ආවේ නැත්තං අපායේ යයි කියල බයට. නැත්තං ෂෝ එකට. ඉතාම සුළු පිරිසක් තමා යන්නේ ඇයි කියල තේරුම් අරන් යන්නේ. ඉතින් මේ වගේ දේවල් වෙනවා. දැන් බහුතරයක් දෙනාගේ බුද්ධාගම උප්පැන්න සහතිකේට සිමා වෙච්ච එකක්.

    ReplyDelete
  4. මං නම් හිතන්නෙ.. පින් සිතුවිලි ඇතිවෙන්නෙ, ඒකට අදාල බාන්ඩෙ නෙවේ.. තමන්ගේ හිත් තුලයි.. මොකද කෝප්පේ දිහා බලලා. නෙවේනේ පින් සිතුවිලි අපි ඇති කරගන්නෙ ?
    අපි සාමාන්‍යයෙන් ලස්සන වීදුරු කෝප්ප වල ගිලන් පස තියනවා.. නමුත් ඔය දුප්පත් මනුස්සයෙක් නම් ඕක කරලා තියෙන්නෙ ?

    සාමාන්‍යයෙන් මේ ක්‍රියාව ගැල පෙන්නැ වගේ තමා.. නමුත් මොලේ තියෙන කෙනෙක්ට පින ඇති වෙන්න නම්. ඔය කොප්ප හොදටම ප්‍රමාණවත් ඇති.. :-)

    ReplyDelete
  5. බොහෝ බක පංඩිතයින්ට මෙන් ඔබටත් බුදුදහම කියන්නෙ ඇඩ් නැති මනස මූලික කොටගත් එකක් බව අමතක වෙලා...
    ධර්මයේ හැසිරෙන්නා ධර්මට දකී...
    ලොකුවට මල් තෙල් තියෙන කෙනා නෙමෙයි බෞද්ධයා කියන්නෙ..

    ReplyDelete
  6. මෙහි දෙපැත්තක් තියෙනවා. මේ කමෙන්ටි වලිනුත් ඒක මනාව පැහැදිලි වෙනවා. කොහොම වුනත් ආගමික ශාස්තෘවරයෙකුට නිසි ගෞරවය ලැබිය යුතුමයි. මේ වගේ දෙයක් බොහොවිට සිදුවන්න ඉඩ තිබෙන්නෙ මේ ඉහත ශේන්යා කිවුව ආකාරයේ ගතිගුණ තිබෙන කෙනෙකු අතින්. හැබැයි නිවැරදි බුදු දහම තේරුම් ගත් කෙනෙකු බොහෝ විට ආමිස පූජාවට වඩා ප්‍රතිපත්තී පුජාවෙන් කරන ගරු කිරීම නිවැරදිව කරනවා. එසේම ඔවුන් අතින් මෙවැනි දේවල් වුනත් සිදුවීමට කෙහෙත්ම ඉඩක් නෑ.

    (කොහොම වුනත් වුවමනාවක් පැන් පුජා කර පුංචි බඳුන් දෙකක් තුනක් ගන්න මහා ලොකු වියදමක් යන්නෙත් නෑ. ඒහැටි අමාරුවකුත් නෑ. මේක කමිමැලිකම සහ කරන්නන් වාලෙ කිරීමක් හැටියටයි මම දකින්නෙ.)

    ReplyDelete
  7. ඇත්ත... අපි කරන හැම පුජාවක්ම පිරිසිදු සිතින් පිරිසිදුව පුජා කරන්න ඕනේ එහෙම කරන්න බැයිනම් නොකරන එක තමා හොඳ :/

    ReplyDelete
  8. මෙය සිදු කර තියෙන්නේ භක්තිසිතකින් මිස, ඔබතුමිය සඳහන් කරන්නවූ අදහසට සමානව නොවෙයි. වඩා වටින්නේ චේත්නවයි.

    ReplyDelete
  9. මම දකින දේ නම් ක්‍රියාව තමා වැදගත් ක්‍රියාවට භාජනය වන ද්‍රව්‍යයට වඩා. ඒ ගිලන්පස තිබූ පුද්ගලයා එයාට කරන්න පුළුවන් විදිහට කරල තියෙනව. ඒ ගැන සතුටු වෙනව මිස අද සමාජයේ ආගම දහමත් විකුනන් කන දේවල්, බොරුවට ලොකු කම ප්‍රදර්ශණය කරන දේවල් වගේ දේවල් වලට අනුබල දීම මම නම් අනුමත කරන්නෙ නෑ. තමන් ආගමක් අදහනවනම් තමාට කරන්න පුළුවන් දේකින් පුද පූජා පැවැත්වීමට නිදහස තිබිය යුතුයි.

    ReplyDelete
  10. නිනූගේ කතාව හරි.කෙනෙකුට දෙයක් දෙද්දි ඒ ගැන අපි දෙවතාවක් හිතන්න ඕනේ.මෙහෙම කලාම පිනක් නෙමේ පව් සිද්ධ වෙන්නේ.

    ReplyDelete
  11. සහොදරි මම ඔබේ කතාවට එකග නෑ,මොකද එකග වෙන්න බෑ.මේ කතාව සම්පුර්නයෙන් පිලිගන්න බෑ.ඔයා බෞද්ධ ආගමේ කෙනෙක් නම් ඈයි ඔහොම කියන්නේ..

    ReplyDelete
  12. මේ කතාවේ 50% හරි 50% වැරදී...ඉස්සරනන්
    ඒත් අද සමාජයත් එක්ක බලනකොට
    90% හරි 10% වැරදී

    ReplyDelete
  13. දුප්පත් කෙනෙක් මුනිදුන් වෙත සිත පෑ දී..
    එක්දා ගැබක දිය බෙරලිය මලක් පිදී
    සක්විති සැපත් ඉන් පන්සිය වරක් ලදී..
    දුක් නැත මෙපුර කලොතොත් අකුසලින් මිදී

    මාව දහම්පාසෙලෙන් ආයින් කොර දවසෙ අපිට ගෙදරවැඩට මේ කවිය පාඩම් කොරන්න දුන්න... :D :D මගේ මතයන්ම් ඕකයි අක්කෙ..

    ReplyDelete
  14. ඔබේ අදහස් වලට ස්තූතියි.. විශේෂයෙන් මෙයට විරුද්ධ අයට මම ගරු කරනවා..ඔබ පින හා පව පිළිබඳ හොඳ අර්ථකථන දෙනවා. මේවා පූජා කළේ නැති බැරි අයම කියලා අපිට කියන්න බැහැ.මම ගත්තෙ එක පින්තූරයක් විතරයි..

    පෝසත් ඇති හැකි නෝනා මහත්තුරු,මේ වගේ දේවල් කරනවා අපේ පන්සලේදී මම දැකලා තියෙනවා..වීදුරු දෙකක් ගන්න බැරි අය නෙවෙයි ඒ.. මම කියන්නෙ මහ ලොකු පූජාවක් ගැන නෙවෙයි...

    බොන්න පුළුවන් වීදුරුවක පූජාවක් කරන්න.මේ පූජාවට වඩ ඔබට පින් ලැබෙන්නෙ මේ ගිලන් පස පිරිසිඳුව ගිලන් වූ අයෙකුට දුන්නොත් කියලා මම හිතනවා..බුදු හාමුදුරුවො මේ ගිලන් පස අද වළදන්න වඩින්නෙ නැහැ..

    ReplyDelete
  15. ලොල්ය.. ඒ කතාවටනම් මම එකගයි අක්කෙ... :D :D

    ReplyDelete
  16. එහෙම කියන්න බෑ සහෝදරි,ඔයා හදන්නේ ඔයා ලියපු දේ හරිය කියන්න.මට පේන ව්දියට ඔයා බෞද්ධ ආගම ගෑන දන්නෙ නෑ.....

    ReplyDelete
  17. මම ලියන්නෙ මට හරියි කියලා හිතෙන දේ තමයි මලේ... ඔයාට හරි කියලා හිතෙන දේ ලිව්වොත් මම උඹ වෙනවානෙ...

    ReplyDelete
  18. නුඹ නුඹව ඔප දමයි.මා මගේ දේ වෙනුවෙන් හඩ නගයි..........

    ReplyDelete
  19. මම උඩ කමෙන්ට් බැලුවෙ උඩින් පල්ලෙන්,
    ඒත් කියන්න තියන්නෙ මෙය ඕනවට එපාවට කළ වැඩක ප්‍රතිඵලයක් විම්මට වැඩි ඉඩක් ඇති බවයි.
    මටද මෙයටම අදාල වැඩක් ඔතනම සිද්ද වුනා...

    ReplyDelete
  20. හ්ම්ම්...
    ඒවා ඉතින් කියල වැඩක් නෑ,
    මම වැඩේ කරපු කෙනාට කියන්න ගියේ,
    ඒත් හොයාගන්න බැරි වුනා,
    මම බලං හිටියෙ කැත වැඩක් කරයිද කියලා.
    දැන් තියන ලොකුම ප්‍රශ්නෙ මිනිස්සු බෝධි පූජා කරන්නෙ ශ්‍රද්ධාවට නෙවේ මන්තරකාරයො කියන නිසා වීම,
    ශ්‍රද්ධාවෙන් කරන කෙනා කවදාවත් වැරද්දක් කරන් නෑ.

    ReplyDelete

සෑම අදහසක්ම එක සේ වටිනවා..ඕනෑම විදිහකට විඳගන්න...මේ කාටත් අයිති අකුරු. කාගෙ කාගෙත් සිතිවිලි.