මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු
Showing posts with label කෙටි කතා. Show all posts
Showing posts with label කෙටි කතා. Show all posts

9/20/17

-300- තටු හොයන සමනළී

වෙලාව හරියටම  පාන්දර දෙකහමාරයි. මාව අන්දන අක්කා එන්නෙ පහට. බ්‍රයිස් මේට්ලා ටික අල්ලපු කාමරේ කෙළ පෙර පෙර නිදි. එයාලා මගෙ යාලුවො නෙවෙයි. මගෙ යාලුවො කවුරුත් මගෙ ස්කින් ටෝන් එකට හරියන්නෙ නැති නිසා, මේ අයව හයර් කළේ අන්දවන අක්කා. එයාට මිනිස්සුන්ගෙ සල්ලි කඩා ගන්න අලුත් අලුත් පොයින්ට් ගේන්න සහජ ඥාණයක් තියෙන්නෙ. ඔව්. මං තමා මනමාලි වෙන්න ඉන්න කෙනා. ඒත් එහෙම වෙනවාද නැද්ද කියලා තීරණයක් අරගන්නවා නම්, තව පැය දෙකහමාරක් ඉතිරියි. සෙනඟ පිරුණාම හුදකලා තීරණ ගන්න ටිකක් අමාරුයි. ඊටත් වඩා බරට ඇඳගත්තාට පස්සෙ හෙල්ලෙන්න වුණත් කාගෙ හරි අත් උදව්වක් ඕනෙ. 

ආදරවන්තයා, ප්‍රේමවන්තයා, සෙනෙහෙවන්තයා කියන නාමපද වලින් හඳුන්වන්න පුළුවන් පිරිමි පරාණයක් ජනේලෙන් ඇවිත්  තමන්ව සදාකල්  ප්‍රාර්ථනා කළ ස්වර්ගීය ලෝකයට එක්ක යයි කියලා මේ වගේ අනපේක්ෂිත වෙලාවක ඕනෙම කෙල්ලෙකුට හිතෙනවා. විශේෂයෙන්ම වෙන්න යන කසාදෙ අකමැතිම ප්‍රපෝසල් එකක් වෙද්දි කොහොමත් එහෙම හිතෙනවා.

ප්‍රපෝසල් කියන්නෙ මම ජීවිතේ කවමදාවත් හතුරෙකුටවත්  ප්‍රාර්ථනා නොකරනම දෙයක්. ඒක මෙලෝ රහක් නැති මිනිස් ගනුදෙනුවක්. කොටින්ම සංස්කෘතියට මුවා වෙලා ගෞරවණිය විදිහට කරන ආත්ම හොරකමක්. ඒත් මාව කසාද බැන්දීම ඥාති සනුහරේ සාමූහික වගකීමක් කියලා, උන්නාද මලාදවත් කියලා හොයලා නොබලන නෑයොත් වද වෙන නිසා, අන්තිමේ මට ගෙදරින් ගෙනාපු, මිනිහෙක්ට කැමති වෙන්න වුණා.

ඒක ටිකක් අමුතු කතාවක්. ඒත් ඒ කතාව මතක් කර කර තලුමරන්න තරම් වටින එකක් නෙවෙයි.

කොහොම වුණත් මොනම හේතුවක් නිසාවත් මාව අරගෙන යන්න ස්වර්ගීය කැඳවුම්කරුවෙක් තියා ලෝකල් පෙම්වතෙක්වත් එන්නෙ නෑ කියලා මේ මොහොත වෙද්දි මං හොඳටම දන්නවා.  ඉතින් තීරණයක් ගන්නවා නම් ඒක ගන්න වෙන්නෙ තනියම. තනියම තීරණ ගන්න එක අමාරු වුණත්, ක්ෂණිකයි. ඒ වගේම වික්‍රමාන්විතයි. ඒත් පෙම්වතෙක් හිටියා නම් තමයි වඩා හොඳ.

මට පෙම්වතෙක් හිටියෙ නෑමයි කියලා කියන්නත් අමාරුයි. ඒක ටිකක් සංකීර්ණ තත්වයක්. එයා හුඟක් බිසී. ඒත් ඇත්තටම එයා බිසී ද කියලා කවුරුවත් දන්නෙ නෑ. උදේ වෙන, රෑ වෙන, කන බොන හැම වෙලේම කතා කරන තොරතුරු කියන විදිහෙ පෙම්වතෙක් නෙවෙයි එයා. මොකද ඒවා හරි බොළඳයි කියන නිසා එයා ඒවා කළේම නෑ. හැබැයි ඒ හින්දා අවුරුදු ගණනකින් එයා කාපු බීපු කරපු කියපු කිසිම දෙයක් හරියටම කියන්න මම දන්නෙත් නෑ.. අඩුම එයා යන්නෙ එන්නෙ කොහෙද, ආස්සරේ කරන්නෙ කාවද  වගේ දෙයක් වත් මම දැනං උන්නෙ නෑ. පම්පෝරිය සහ උජාරුව  එයාට නොවඩුවම තිබ්බ නිසා ඒවා ගැන  කතා බහ කරලා ඉවර වෙන තැනදි එයා ආයෙම බිසී වුණා.

හදිසියෙ එයාටම හිතුණොත් සතියකට දෙසැරයක් විතර   මට කෝල් කරනවා.  සමහර වෙලාවට ඒක සති දෙකකට සැරයක් වගේ කෝල් එන වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් කතා කළාට පස්සෙ ඉතාම සුමුදුවට කතා කරලා, අලුතෙන්ම සම්බන්ධයක් ආරම්භ කරන ආකාරෙට "ඔයාට කොහොමද? " කියලා අහන්න එයාට තිබ්බ දක්ෂ කම නිසාම අපේ සම්බන්ධෙ ඇල් මැරි මැරී වුණත් එකම තැන පැවතුණා.. බිඳෙන්නෙත් නෑ. හැබැයි පහුගිය කාලෙටම දළු දැම්මෙත් නෑ.

අපි හමුවීමක් ගැන කතා කරන හැම වෙලාවෙම ඒ හමුවීම අවලංගු වෙන්න හැකි තරමෙ සාධාරණ බාධක එන එක පස්සෙ පස්සෙ එයාගෙත් මගෙත් ජීවිතේම කොටසක් වුණා. මේ නිසාම අපි අතරෙ හමුවීම් ඉතාම අඩු වුණා. අවුරුදු තුන හතරකටම කිහිපවතාවක්, පැය කිහිපයක් විතර අපි මුණ ගැහිලා තියෙනවා. ඒ හුඟක් වෙලාවල් වලදිත්, ඔහුට ඉතා දිග දුරකථන ඇමතුම් ආවා. නැත්තම් සෑහෙන කාලෙකින් මුණ නොගැහුණු යාලුවො පෝළිමට හමුවුණා.. ඉතිරි කාලෙ මඟ ඇරුණ ඕප දූප වලට වෙන් වුණා. ඒ අස්සෙ පම්පෝරිත් වැඩියෙන් තිබුණා.ඒ නිසා අපි අපි ගැන පුද්ගලයන් දෙදෙනෙක් වශයෙන් දන්න ප්‍රමාණෙ ඉතාම අල්පයි.

කොටින්ම එයා හදිසියෙ මැරුණොත්, පශ්චාත් මරණ පරීක්ෂණයට මගෙන් කටඋත්තරයක් ගන්න එක කිසිම තේරුමක් නැති ගාණට, අපේ සම්බන්ධෙ අසම්බන්ධිතයි.  කොහොම වුණත් අන්තිමේදි මේ කරුණු ඔක්කොම සලකා බලලා  එයා එක දවසක් ඉතාම වැදගත් තීරණයක් ගත්තා. "මට ඔයාව බඳින්න බෑ..අපි යාළුවො වගේ ඉමු.. හැබැයි ඔයා විශේෂ යාළුවෙක්"

විශේෂ යහලුවෙක් කියන්නෙ බඳින්නෙ නැතිව විනෝදයට ආශ්‍රය කරන කෙල්ලක් කියලා සමාජය කියන නාමපද වලින් ගෑණු පරාණෙ හිත නොරිද්දන්න, පිරිමියා විසින් අවස්ථානුකූලව නිර්මාණය කරපු කපටි වචනයක්. ඒත් අපේ සම්බන්ධෙ බිඳෙන්න ඒ වචනෙ කවදාවත් බලපෑවෙ නෑ. හැබැයි ටික ටික මට තේරෙන්න ගත්තෙ මං එයාට විශේෂ යහලුවෙක් තියා සාමාන්‍ය යහලුවෙක්වත් නොවෙන පිටස්තර කෙනෙක් විත්තිය

ඉතිං මාව අන්දන අක්කා එන්න ඉස්සරින් අරන් යන්න කෙනෙක් එන්නෙ නෑ කියලා සම්පූර්ණෙන් පැහැදිළි වෙන්න මේ හේතු ටික හොඳටම මදිද? ඒ නිසා මම තීරණයක් ගන්න තීරණේ කළා.

ටෙලිනාට්‍යක වගේ අල්මාරිය ඇරලා අතට අහුවෙන ඇඳුම් පුරවගෙන පුරවගෙන ගිහිං රහසෙම පිට වෙන එක, රොමැන්ටික් වුණාට, ප්‍රායෝගික නෑ. හැබැයි දහයාමාරට පෝරුවට නැග්ගාට පස්සෙ ලැබෙන ජීවිතේ ඒ තරම්වත් ප්‍රායෝගික නෑ කියලා දැනෙද්දි පළවෙනි විකල්පෙ ආවස්ථික පිරිවැය සෑහෙන්න අඩුයි.

ඒ නිසා මාව අන්දන අක්කා හා අනෙක් අය ඔක්කොම ඇන්දෙන්න ඉඩ ඇරලා ඕනෙම කරන දේවල් ටික පුංචි මල්ලක හිර අරන් මං බැල්කනියට කකුල තියලා.. ජනේල් පොලු වල එල්ලිලා වහලෙට නැග්ගා. හෙමින් සීරුවෙ වහලෙ දිගේ බඩ ගාගෙන වැහි පිලී අද්දරින් මුනින් තලා වෙලා මං පහළින් පෙනෙන අපේ ගෙදර දිහා බලාගෙන හිටියා. ඒ අය මගෙ කසාදෙට ලෑස්ති වෙනවා. ටෙන්ට් අදිනවා. පුටු ගෙනියනවා. මල් ගේනවා. වාහන වල දොරවල් අරිනවා වහනවා. දැන්මම සාද සභාව පටන් ගත්ත ගාණට පහළ සද්ද බද්ද වහලෙන් ඉහළටත් ඇහෙනවා. මං එහෙම්ම වහලෙට පිට දීලා ඉහළ බැලුවා.

එන්නම ඕනෙ කියලා හැමදාම හිතුවත් කවදාවත් මං මීට කලින් අපේ වහළෙ උඩට ඇවිල්ලා තිබ්බෙ නෑ. වහලෙ උඩ කපුටු බෙටිත්, වවුල් බෙටිත්  දියසෙවෙලත් එකතු වෙච්ච විසාල ගඳක් තිබුණෙ.

අද වැහි අන්ධකාරෙ නිසා තරු වැහිලා ගිහින්. මං හෙමින් සීරුවෙ උලු උඩ හිට ගත්තා. වහලය ටිකක් ලිස්සන්න ගත්තත් අපේ ගෙදර  වහලෙට ආසන්නෙම තිබ්බ අල්ලපු ගෙදර වහලෙ ට මං බැහැලා... එතනින්  ඒ තාප්පෙටත්, තාප්පෙන් බිමටත් පැන්න... මං මම දැනං හිටපු ජීවිතෙන් පැනලා දුවන්න පටන් ගත්තෙ අන්න ඒ විදිහට.

8/26/16

-266- මගේ විජයන්ති | The Smell of lavenders


"කෙල්ලෙක්ට තමන්ට පණටත් වඩා  ආදරේ කරන කොල්ලාව මුණ ගැහෙන්න ඕනෙ නම් කැන්සර් එකක්, බ්‍රේන් ටූමා එකක් නැත්තම් අඩුමතරමෙ නිව්මෝනියාවත් හැදෙන්නම ඕනෙ. "  

කවුද පළවෙනියාටම බස් එකට නගින්නෙ කියන එක කවුරු හරි තෝරලා තෑග්ගක් දෙනවා කියලා එනවුන්ස් කරලා තිබ්බා වගේ ෆිල්ම් එක ඉවර වුණ ගමන් මිනිස්සු එළියට දුවන්නෙ. චිත්‍රපටියෙ නාමාවලිය  විශාල තිරය උඩ බෑඟිරි ගැහුවත්, කාටවත් ඒ දිහා හැරිලා බලන්නවත් වෙලාවක් තිබ්බෙ නැති ගානයි. මිනිස්සුන්ට චිත්‍රපටියක් බලලා ඉවර වුණාම එන මේ හදිස්සිය පටන් ගන්නෙ කොතනින්ද කියලා මට නම් තාම හිතා ගන්න බෑ. ඉතිං ඒ නිසාම මට ඇරෙන්න කාටවත් විජයන්තිගෙ රුවන් වැකිය ගැන හාංකවිස්සියක් තිබ්බා කියලා මං හිතන්නෙ නෑ.

විජයන්ති කියන්නෙ ඔෆිස් එකේ උන් කියන විදිහට අපේ බොස් ගෙ හොර ගෑණි.   හැබැයි විජයන්ති මගෙ හොඳ ගෑණි. ඔෆිස් එකේ උන් කියන විදිහට මගෙ ළමයා බොස් ගෙ. බොස් හිතා ඉන්නෙත් එහෙම. එහෙම හිතන් ඉන්න එකට මම හිත යටින් කැමතියි. මගෙ පඩි පැකට් එකේ බරින් මගෙ කොල්ලට අරන් දෙන්න බැරි ජීවිතේ බොස් හරහා කොල්ලාට ලැබෙන එකට මට හරි සතුටුයි.

විජයන්තිට හතළිස් හයක්. දැන් බොස් ට විජයන්ති ගැන හැඟීමක් නෑ. මේ කාලෙ උන්දැගෙ කරුණාව දැවටෙන්නෙ ඉරෝෂිණි ට. ඉරෝෂිණීට මමත් කැමතියි.  එයා එනකොට පළාතම ලැවැන්ඩර් සුවඳයි. මං අඳුනන ලැවැන්ඩර් සුවඳක් නං නෑ. ඒත් ඒ සුවඳ කුප්පියෙ මං දැක්කා ලැවැන්ඩර් කියලා නම අලවලා තියනවා. මං දන්නෙ නෑ ඉරෝෂිණි වුණත් ලැවැන්ඩර් සුවඳ අඳුනනවාද කියලා. ඒක පිට රටක සුවඳක් නිසා. හැබැයි විජයන්ති ගාව නම්, හවසට එන ඉඳුල් ගඳටයි, උදේට එන කුණු කෙළ ගඳටයි අමතරව මට එන්නෙ දහඩිය සුවඳ විතරයි.

විජයන්ති පුතා ලැබුණාට පස්සෙ රස්සාවෙන් නැවතුණා. මම නම් තාම එතනමයි.  මට ලැජ්ජාවක් නෑ කියලයි අපේ කුඩම්මා නම් කියන්නෙ, අතින් අත ගිය එකියක් කර ගැහැව්වා මදිවට තවත් එතනම ඉන්නවාලු.

මං විජයන්තිව බඳිනවාට ඒ කාලෙ හැටියට බොස් මට ලක්ෂ හතරක් දෙන්න පොරොන්දු වුණා. තාත්තා රේස් සුදූ කෙළලා  උගස් කරපු ගේ සින්න වෙන්න මාසයක් තියෙද්දි ආපු මේ යෝජනාව එක්ක මට විජයන්තිව පෙනුනෙ සංවර්ධන වාසනාව වගේ. ඒ වෙද්දිත් විජයන්තිගෙ කුසේ දරු ගැබක් සංවර්ධනය වෙවී තිබ්බා. එකයි බොස් හදිසි වුණේ. ඒත් විජයන්ති මගෙ ගාවට එද්දි කුස හිස් වෙලා. විජයන්ති කරපු දාහක් ජාති වලින් මොකක් හරි එකක් බලපාලා දරුවා නැතිවෙලා.

ටික කාලයක් විජයන්තිව නොදැක ඉඳලා අවුරුද්දකට දෙහෙකට පස්සෙ දරුවා දැකපු නිසාද මන්දා බොස් ට මේ ඉන්නෙ අපේ දරුවෙක් කියලා නිනව් නැති වුණා. ඒකයි බොස් මගෙ දරුවාට මේ හැටි සලකන්නෙ.

විජයන්ති ඉස්සර හරිම හැඩයි. ඒ දවස් වල විජයන්ති ට කොල්ලෙකුත් හිටියාලු. ඒත් බොස් ගෙ අයුතු බලපෑම් ආරංචි වෙච්ච නිසා ඒ ළමයා මඟ අරින්න ගත්තාලු. විජයන්ති බොස් ළඟ හිටියෙත්, මාව බැන්දෙත්, දැන් ජීවත් වෙන්නෙත් සතුටින් නෙවෙයි කියලා මං හොඳටෝම දන්නවා. ඒත් ඒක විජයන්ති කියන විදිහටම විජයන්තිගෙ කරුමෙ නම්, මං මක් කරන්නද? මොකෝ ඒක වෙනස් කරලා කොටන්ඩ මං බ්‍රහ්මයාද?

ඒත් විජයන්ති කියපු  කතාවෙන් මගෙ හිත කීරි ගැහිලා ගියා. විජයන්ති මැරුණොත් කියලා එකපාරටම බයක් දැනුණා. බොස්ට වගේ සල්ලිත් නැති රූපෙත් නැති මට විජයන්ති නැති වුණොත් වෙන ගෑණියෙක් කොයින්ද.
ගෙයි උගස බේරුවෙ විජයන්ති නිසා. දරුවත් මගෙ ලේ. විජයන්ති මට හැම යුතුකමක් ම ඉස්ට සිද්ධ කරනවා. මං ඒකිට ආදරේ කරන්න ඕනෙ නේද කියලා මුල්ම වතාවට මට හිතුණා.

අවුරුදු පහළවකට පස්සෙ අපි පළවෙනියටම බලපු මේ චිත්‍රපටියෙ අන්තිමට යන නාමාවලියෙ අවසාන හරියත් ඉහළටම යමින් තිබ්බා. ශාලාවෙ බල්බ් ඔක්කොම සුදු පාටින් පත්තුවුණා. මොහොතකට කවුරුවත් ශාලාවෙ හිටියෙ නැති නිසා මං ඈට ළං වුණා. ඈ ළඟින් හමා ආවෙ කොල්ලාගෙ කැන්වස් පොලිෂ් එකේ සුවඳ. ඇඟිලි කරුවල තැවරුණු කලු පොලිෂ් කෑලි සුදු එළියට දිලිසුණා. යන ගමන් විජයන්තිට සුවඳ කුප්පියක් අරන් දෙන්න ඕනෙ කියලා මට එක පාරටම හිතුණා.

-නෙරංජි ඒකනායක -

12/24/15

-261- හීන කාණුව

“වැඩියෙන්ම අමාරු එයා ළඟ නිදා ගන්න එක නෙවෙයි. එයාගෙ පරණ ගෑණු අයගෙ උජාරුව අහන එක“ මේ දවස්වල තමන්ගෙ පෙම්වතා ගැන ශානිකා මට කිව්වෙ එහෙමයි.

ශානිකාව මම අඳුන ගත්තෙ ගාමන්ට් එකේ වැඩට ආපු පළවෙනිම දවසෙ. එදා මා එක්ක මුලින්ම කතා කළේ එයා. මේ වෙද්දි ගාමන්ට් එකේ ගෑණු ළමයි අතර මට අනික් අයට වඩා ටිකක් ඉහළ තැනක් තියෙනවා. ඒ සුපයිසර් මට කැමති නිසා. ගෑණු ළමයි කවුරුත් මට දුක කියනවා. එයාලා හිතන්නෙ මගේ බහට එයාලාට වැඩිපුර ඕ ටී සාලිය සර් ගෙන් හම්බවෙයි කියලයි. ඒත් සාලිය සර් නෙවෙයි ඕ ටී දාන්නෙ, ජානකී නෝනා. ජානකී නෝනාව යාලු කරගන්ඩ කාටවත් බෑ. ජානකී නෝනා හරි උඩයි. එයා දෙවනි බොස් ගෙ ස්පෙයාර් වීල් එකක් කියලා ශානිකාමයි මට කිව්වෙ. ඉතින් මට කරන්න පුළුවන් දෙයක් නැතත්, උන්ට ඕනෙ උන්ගෙ හිත රවට්ට ගන්න නම්, මට මොකෝ..

“බෝඩිමේ කුලිය දීලා දවසට දෙවේල කෑවම ගෙදරට යවන්නවත් කීයක්වත් ඉතිරි වෙන්නෙ නෑ අනූ“ ජයන්ති තේ කෝප්පෙ මේසෙ උඩට තල්ලු කළා. කැන්ටිමේ ෆෑන් එකක් නෑ. ෆෑන් එකක් තිබ්බොත් වැඩි වෙලාවක් එතන රැඳෙයි කියලා, පර්සනල් එක බයයි. ජයන්තිගෙ බඩට දැන් මාස හයයි. ඒ නිසා දාඩිය දානවත් වැඩියි. ජයන්ති පව්!

එයා තාමත් නීතියෙන් බැඳලා නෑ. ජයන්ති යාලු වුණ ත්‍රීවිල් අයියා දැන් ඒකිව මඟ අරිනවා. ත්‍රීවිල් අයියාට සැකලු දරුවා ගැන. පිරිමි ඔක්කොම වගේ ඔහොමයි. කරද්දි කිසි ප්‍රශ්නයක් නැතිවට, එතනින් පස්සෙ ආත්ම ගෞරවය, සංස්කෘතිය, රටේ සංවර්ධනය ඔක්කොම ගැන සෑහෙන හිතනවා. එහෙම නැත්තං ජින්ටෙක් එකටත් වඩා ඩී එන් ඒ ප්‍රශ්න එයාලාට තියෙනවා. ජයන්ති නං දැන් හිතෙන් ඒවා අතෑරලා තියෙන්නෙ. ආවොත් බඳිනවලු. නැත්තං ලබන මාසෙ එකතු කරගත්ත ටිකත් අරන් කොහේ හරි ඈත පළාතකට යනවලු. ආයෙ ගමේ යන්නෙත් නෑලු.

හැමෝටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපේ බෝඩිමම තනිකරම ප්‍රශ්නයක්. පුංචි කොල්ලන්ට විස්ස විස්ස දීලා ලෑලි බිත්තියෙ ගුල් හදවන මාටින්ගෙ සෙට් එක රෑට රෑට අපි ඇඳුම් මාරු කරන කොට ඒ ගුල් වලින් බලා ඉන්නවා . අපි කරන්නෙ පෝස්ටර් අලවලා හවසටම ඇතුළෙන් හිල් වහන එක. එකම කාමරෙන් දෙපාරක් කුලී ගත්තාට මොකද සිරිලා අක්කාටත් අපි ගැන කිසි කැක්කුමක් නෑ. එකම වෙලාවට ෂිෆ්ට් එක මාරු වෙන කට්ටි දෙකකට එකම බෝඩිම රෙන්ට් කරලා ඒ ගෑණි ඩබල් හොයනවා.

මේ ලෝකෙ හරිම පුංචියි. අපි දකින්නෙ ඊටත් වඩා පුංචි ලෝකයක්. ගාමන්ට් එකයි.. කුණු ලේන් එකයි, ලෑලි බෝඩිමයි,කඩ පේළියි විතරයි අපේ ජීවිතේ. දවල් බාගෙට කාලා පිඟන් වල ඉතුරුකරලා ගිය මස් කෑලි, ආයෙ රෑ කොත්තුවෙ ගහලා දවල්ටත් වඩා වැඩි ගාණට විකුණන නානා වගේ අපිත් එකම තැන පල් කරන ජීවිතේ ආයෙ චුට්ටක් සුවඳ ගස්සලා අලුත් දවසකට ගෙනියනවා. කාගෙවත් ප්‍රශ්න ගැන ඕනෑවට වඩා කාටවත් දුක්වෙන්න බෑ. තේරුමකුත් නෑ. මට වඩා පස්සයි පපුවයි තියන කෙල්ලෙක් ආවොත් සාලිය සර් ඒකි එක්ක යාලු වෙයි කියලා මට වුණත් නිතරම හිතෙනවා.

දැන් වහින්න පටං අරං.. කුඩේ අමතක වෙන තැනින් පටන් ගන්න ප්‍රශ්න තමයි හුඟක් භයානක කියලා බැඳපු නැති ලොකු අක්කා ගමේ ගිය දවසක කියනවා මං අහගෙන. මැහුම අස්සෙන් රංගිකා හොරෙන් හොරෙන් ඔඩොක්කුවෙ තියාගත්ත ෆෝන් එකට එබෙනවා. මම මැෂිම පෑගුවා. ජීවිතෙත් හරියට ජුකී මැෂිම වගේ... කොච්චර කැරකුණත් එකම තැන.

අපේ හැම කෙල්ලෙක්ගෙම හීනෙ ලස්සන ෆෝටෝ අරං ෆේස්බුක් යන්න පුළුවන් ෆෝන් එකක්. ඒවායෙ ඉන්න ජාතියෙ රට දැයට ලැදි, එහෙමත් නැත්තං ඒ ඔක්කොටම පලු යන්ඩ බනින තාලෙ හොඳ හැටියට සල්ලිකාර ජේත්තු කොල්ලෙක් පල්සර් එකක නැගලා කවදාහරි එයි කියලා උන් හිතා ඉන්නවා. උන් ඒ ගැන හීන දකිනවා. ඒත් ඒ හීන වලට මේ වැස්ස ඇළ දොළ ගංගා දිගේ මහ මුහුදට තුරුළු කරන වතුර කඳ තරම් ඈතට ඇදිලා යන්න වරම් නෑ.. අපේ හීන වත්තෙ කුණු වතුර කාණුවෙ වතුර වගේ. පල් වෙච්ච ඇල එහා වගුරෙන් හැම දාම නතර වෙනවා.

3/31/15

-255- චානක ගේ උදෑසන

 
හුළං කවුළුවෙන් පෙරිලා එන ඉර එළිය තීරුවක් හැමදාම මේ වෙලාවට හරියටම ඇස් දෙක උඩ හිටගන්නවා.මම හරිම අමාරුවෙන් ඇස් ඇරියෙ.

හෙමිහිට හිරි ඇරලා, පුංචි ඉණිමගෙන් බහින්න කලින්ම  පෙනෙන්නෙ යට නිදියගෙන ඉන්න කනිෂ්කයාගෙ කුණු කෙළ මූහුණ. උගෙ මූණ දකිද්දිත් මට හරි කේන්තියි. ඊයෙ මගෙ බිත්තරේ මම අහක බලනකං ඉඳලා මූ ගිල්ලානෙ. දැන් හොඳට නිදා ඉන්න හැටි විතරක්.  දැක්කම මට උගෙ බෙල්ල මිරිකන්න හිතෙනවා අනිත් පැත්තටම. මම කනිෂ්කට වගේම ජයංග ට කැමතිත් නෑ.

ඒත් මෙහෙදි කාටවත් කැමති අකමැති වෙලා වැඩක් නෑ. මාසෙකට වතාවක් ඇඳන් මාරු කරද්දි අපේ මැඩමම්මා එක එක අතට අපි කට්ටියවම මාරු කරනවා.

තවම උදේ තේ බෙල් එක ගහන්න වෙලාව තියෙනවා.

රංගයා වගේම නුවනුත් ලෑස්ති වෙලා ඉවරයි. දැන්ම ගියොත් වතුර නවත්තන්න කලින් නා ගන්න පුළුවන්. රංගයා තමයි අපේ නිවාසෙ දක්ෂම එකා. ඌ ගිය පාරත් පන්තියෙ 14 වැනියා. ඌ ශිෂ්‍යත්වෙ පාස් වෙයි කියලා තමයි මැඩමම්මා කියන්නෙ. මම කළේ ගිය අවුරුද්දටත් කලින් අවුරුද්දෙ. මම ෆේල්. ලකුණු 67 නෙ තිබ්බෙ. පේපරේකට ලකුණු 30 ට වඩා අරන් නිසා, මට නම් ඒ ඇති. වෙන ළමයින්ට තරම් අපිට ඒ ප්‍රශ්නෙ නෑ. හැම දෙමාපිය රැස්වීමටම මැඩමම්මා එන්නෙ නෑ. එයා එන්නෙ වාරෙකට සැරයයිනෙ. එතකොට ප්‍රින්සිපල් අපි හැමෝගෙම ෆයිල් බලලා කියනවා. ලකුණු අඩු වුණාට ගුටි නොකෑවට, අලාබ හානි ගැන ෆයිල් එකේ තිබ්බොත් නං එදා රෑට කෑමත් නෑ. ඒත් අපි ජනේල් දෙක තුනක් , බංකුවක් පුටුවක් නොකඩපු වාරයක් නැති තරම්.

පිටින් වෙන කවුරුවත් නැති වෙලාවට එයාට අපි මැඩම් කියලා කතා කරනවා. පිට කවුරුවත් ඉන්නකොට, අම්මා කියන්න කියලායි උගන්වලා තියෙන්නෙ. හැබැයි අපි එයා නැති වෙලාවට, දෙකම එකතු කරලා මැඩමම්මා කියනවා.

කුස්සියෙ උයන, බෝධිපාල අයියා මරු පොර. දෙකක් දාගත්තාම තව හොඳයි. රේඩියෝ එකේවත් නොයන සිංදුනෙ කියන්නෙ. ඒත් මේ හැම දේම මම ළඟදිම දාලා යනවා.  අවුරුදු දොළහ සම්පූර්ණ වුණාට පස්සෙ මෙහෙ තියාගන්නෙ නෑ.

අද පෝය දවස. ඉස්කෝලෙ නිවාඩුයි වගේම, අද කොහෙන් හරි දානෙත් ලැබෙන්න ඉඩක් තියෙනවා. දානෙ අපට පිඟානට බෙදලාම යන එකට නිවාසෙ අපි කවුරුත් කැමතියි. බඩු මුට්ටු දීලා ගියාම, ඒවායෙන් කවදාවත් අපේ බත් ඉදෙන්නෙ නෑ. ඒත් දානෙ අරන් එන අය බත් බෙදලා කාලා ඉවර වෙනතුරු කටවල් දිහා බලාගෙන ඉන්න එකට වඩා නම්, හැමදාම කන හොද්දයි බතයි හොඳයි..  රංග තමයි හොඳටම පින් දෙන්නෙ, ඒ නිසා රංගට හාමුදුරු පුටුව වගේ ලොකු පුටුව ලැබෙනවා... රංග වුණත් කොයි කාටත් දෙන්නෙ එකම පින් ටේප් එක.

"අද උපන්දිනය සමරන හිස්තැනක් බබාට,  නිදුක් නිරෝගි සුව ලැබේවා. අපිට දුන් මේ දානයේ බලයෙන්. හොඳින් ඉගෙනීමට හැකි වේවා. පවුලේ සැමගේ සියලු කටයුතු ඉටුවීමට අවශ්‍ය වාසනාව ධෛර්යය ලැබේවා. " හිස් තැනට අදාළ බබාගෙ නම දාලා අපි හැමදාම ඔය ටික තමයි කියන්නෙ. උපන්දිනේට දානයක් දුන්න පලියට විභාග පාස් වෙනවාද කියලා මං දවසක් බෝධි අයියාගෙන් ඇහුවා. ඒ යකා මට තෙල් හැන්දෙන් ඇන්නා.. ඒක අහන්න නරක දෙයක් වෙන්නැති.

අපි ඉස්සරහ අයිසිං කේක් කපලා.. එයාලාට එයාලාම කවාගන්න කට්ටිය එන්නෙ හවස තේ වෙලාවට.. එයාලා අයිසිං කාලා අපිට දෙන්නෙ බටර් කේක් එක්ක තේ. මං එහෙම අයට නම් කැමතිම නෑ. ඇයි අපිට අයිසිං කේක් කෑවොත් කැවෙන්නෙ නැද්ද!! මාව දාලා ගිය අම්මා තාත්තාව මම නොදන්න නිසා මං එයාලට දොස් කියන්නෙ නෑ.. ඒත් මෙහෙම උපන්දින වලට අපේ නිවාස වලට ඇවිත් අපි ඉස්සරහ තමන්ගෙ දරුවන්ගෙ උපන්දින ජයට ගන්න අම්මලා තාත්තලා ගැන මට තියෙන්නෙ තරහක්.

අපිට මොකටද එයාලාගෙ උපන්දින.. එයාලා කරන්නෙ එයාලාගෙ සතුට අපට පෙන්නලා යන එක විතරයි.. අපිව සතුටු කරන එක නෙවෙයි.. ඒත් පිටින් ලැබෙන ඕනෙම කෑමකින්, බෝධි අයියාගෙ කෑම වලට වඩා බඩ සතුටු වෙන නිසා, ලැබෙන ඕනෙම දානෙකට මං කැමතියි...

 කණිෂ්ක ගෙ කුණු කෙල පෙරෙන මූණට පයින් එකක් ඇනලා මං මේ දැන් ඇඳෙන් බැස්සා.. තව ටිකකින් බෙල් එක වදීවි. ඊයෙ රෑ බත් කෝප්පෙන්, බාගයක් ධේනුකයා උදුරගෙන ගිල්ල නිසා මට හරිම බඩගිනියි.



2/28/15

-254- හීන තට්ටුව | Dreamy Floor


වහලෙ ඉඳන් ටයිල් පොළවටම ඈඳුණ වීදුරුවකට හේත්තු වෙලා, ගිනිපෙට්ටි පෝලිමක් වගේ පහල තාර පාර බදාගෙන එහාට මෙහාට යන වාහන බලා ඉන්න එකට වඩා කළ හැකි යමක්, මේ වගේ ග්‍රීස්ම හවස් වරුවකට නැතිම තරම්. හරිම පිළිවෙලට මට ඕනෙ විදිහට අස් කරන්න පුළුවන් ,  ඔහුගෙ පුංචි සාලෙ ලී බඩු වලට තියෙන්නෙ, බොහොම සරල අමුතු පන්නෙ හම් පුටු කට්ටලයකුයි , ටී වී ස්ටෑන්ඩ් එකකුයි විතරයි. එහි දෙවැනි තලය උඩ තියෙන ප්ලේයරය එයා ආසාම සිංදු වලින් එකක් නිස්කලංකෙ වාදනය කරනවා. මගේ සුදු මහත්තයා ආසා, භාෂාව නොතේරෙන හදවතට තේරෙන සිංදු වලට විතරමද කියලා  මට හිතෙන වාර අනන්තයි. මේ වෙලාවෙ එයාගෙ නොතේරෙන භාෂාවෙ ගීය අහන්න මා එක්ක සාලෙ ඉන්නෙ, ගල් වලින් කැටයම් කරපු දෙවිවරු කිහිප දෙනෙක් විතරයි. තාම මගෙ සුදු මහත්තයා මඟ ඇති. මම ඇවිත් ඉඳියි කියලා නිකමටවත් එයා හිතන්නෙ නැති බව මම පුරුද්දෙන් දන්නවා.

සාලෙට පෙනෙන, ඔහුගෙ නිදන කාමරේ පොත් මේසෙ එහෙ මෙහෙ වුණු කඩදාසි, පිළිවෙලක් කරන්න කියලා පාළු හිත කීපවතාවක්ම කිව්වත්, ඕනෑවට වඩා වැඩ කරලා බැනුම් අහගන්න එක පුරුද්දක් කරගන්න නරකයි. පොත් මේසෙ ඉහල බිත්තියෙ එල්ලපු සුදු ලෑල්ලෙ, කපපු නැති හැම පැවරුමක්ම අද රෑ එයා කරන්න හිතාගෙන තියෙන ඒවා නම්, අද මට වෙන්නෙ පැත්තකට වෙලා නිදාගන්නයි. ඒ ගැන හිතද්දිත්, මේ වගේ දවසකම එන්න නිදහසක් ලැබෙන විදිහට වැඩ සිද්ද කරපු එක ගැන මට තරහක් එන්නෙ මගෙ හස්බන්ඩ් එක්ක.

අද හස්බන්ඩ් ගෙදර එන්නෙ නෑ.  හෙට එන එකකුත් නෑ. එයා අවුටිං ගියාම, ගෙදර එන්න ඒ තරම් කලබලයක් ඇති කෙනෙක් නෙවෙයි. එයා හැම වෙලාවෙම පිටට යන්නෙ එයාගෙ සෙකට්‍රි එක්ක. මං එයාව දැකලා තියෙනවා ඔෆීෂියල් පාටිස් වලදි කිහිප වතාවක්ම. මීට සතියකට කලින් මගෙ ෆෝන් එකට කෝල් කරපු නාඳුනන කටහඬින් කියපු විදිහට ඒ ලේඩි කරේ දාගෙන ඉන්න චේන් එක, අපේ හස්බන්ඩ් එයාට දුන්න උපන්දින තෑග්ගක්ලු. එදා පාටි එකේදි මම ඔය කියන චේන් එක ළඟටම දැක්කා. ඒකෙ ලස්සන හාට්ස් දෙකක් එකතු කරපු පෙන්ඩන්ට් එකකුත් තිබ්බා. ඔක්කොම පවුම් දෙකක් විතර ඇති. ඒක කොහොමත් එයාගෙ බෙල්ලට හොදට ගැලපෙනවා. එයාගෙ බෙල්ල කොටයි. කොහොමත්, මම ඒ චේන් එකේ විදිහට නම් කැමතිම නෑ. අපේ හස්බන්ඩ් ඒක මට දුන්නා නම්, අකමැත්තෙන් වුණත්, එයාට පෙන්න වැදගත් තැන් වලදි ඒක දාන්න සිද්ධ වෙන නිසා, සෙක්‍රටි ට දුන්න එකමයි හොඳ කියලා මට නම් කීපවතාවක්ම හිතුණා.

මගෙ සුදු මහත්තයා නම් රත්තරන් බඩු වලට ඒ හැටි කැමත්තක් නෑ. ඒ සල්ලි යන නිසාම නෙවෙයි. එයා ආසා අමුතු එක්සෝටික් බඩු වලට. එයා ආසා ඒවා එහෙම ලේසියට හොයාගන්නත් බෑ. මම දැන් අතේ දාගෙන ඉන්න පබලු වලල්ලත්, එයා මීට මාස ගාණකට ඉස්සර බැටික්ලෝ ට්‍රිප් එකක් ගිය වෙලාවෙ ගෙනත් දීපු එකක්.

මගෙ හස්බන්ඩ්ට ලොකු ගෙයක් තියෙනවා. එයා මාව බඳිනකොටත්, ඒ ගේ හදලා තිබුණෙ. ලී බඩු වලින් පිරුණු, තට්ටු දෙකක ගෙදර ඇතුළෙ උදේ ඉඳන් රෑ වෙනතුරු තියෙන පාලුවට වඩා, මේ පාලුවෙ සුන්දර බවක් තියෙනවා. සමහර විට ඒ මම මඟ බලාගෙන ඉන්න නිසා වෙන්න පුළුවනි.  තාර පාරෙන්, නිවාස සංකීර්ණයට ඇතුළු වෙන ගිනි පෙට්ටි අතරින්, හුරු පුරුදු තද නිල් පැහැ පුංචි කාර් එක මං හොඳටම අඳුනනවා. ඒකෙන් බහින්නෙ මේ ලෝකෙ මගෙ හිත වැඩි පුරම සුවපත් කරන දොස්තර මහත්තයා. දොර අස්සෙ හැංගිලා ඉදලා පුංචි කලබලයක් කරන්න කියලා හිත කිව්වත්, මේ වෙලාවෙ එයා ඉන්නෙ කොහොම  හිතිවිල්ලකද කියලා නොදැන ඒ අවදානම ගන්නත් බයයි. ලිෆ්ට් එක ඇරෙන සද්දෙ ඇහුණා. ඒ හෙමින් තියන බර පා හඬ ඔහුගෙයි. අඩවල් දොර හෙමින් අරින්නෙ,  කවුරු හෝ ඇතුළෙ ඉන්නවා කියන අවබෝධයෙන්මයි. ඒ මට හොඳින් හුරු පුරුදු දොර හැරීමක්.

වීදුරුවට හේත්තු වෙලා ඉන්න මං දිහා එක බැල්මක් බලලා.. හිනාවකුත් නොවන එහෙත් තරහකුත් නොවන හැඟීමකින් හෙමිහිට ඔහු මං ඉස්සරහට ආවා.. මම ඔහු ඉස්සරහ නොදැනීම හිට ගත්තා. ඒ මූණේ කවමදාවත් වෙන් නොවෙන හුදකලාව තරම් මට දුකක් අරන් එන වෙන කිසිම දෙයක් මේ වගේ වෙලාවක නැතිම තරම්.  ඒත් කිසිම අදහසක් නැතිව මගේ ඇස් අල්ලගෙන ඉන්න ඒ තද දුඹුරු පාට ලස්සන ඇස් දිහා බලාගෙන මට නිහඬව ඉන්න බැහැ. 

බාබර් ට කතුර අනිවාර්යයි. ගොවියාට උදැල්ල අනිවාර්යයි. මැකෑනික්ට අර ලොකු අඬුව අනිවාර්යයි වගේ, ආදර කතා ලියන කෙනෙක්ට හුදකලා මූණක් අනිවාර්යයද? ඉතින් මං ඔහුගෙන් ඇහුවා. එවිට ඔහු කවදාවත් නැති තරමෙ බැරෑරුම් මුහුණක් මවාගෙන . “ඇත්තටම මේ හුදකලාව නෙවෙයි. නිදමත. මට හරිම නිදිමතයි. කියලා මගේ උරහිස උඩින් හිස තියා ගත්තා.

හීන පෙනෙන නින්දක් හොයාගෙන ආදර කතා කියවන ලෝකයක, නිදි මරා ගෙන ආදර කතා ලියන කෙනාගෙ නිදිමත ගැන හිතන්න අමතක වෙන එකත් වෙලාවකට ටිකක් විතර කුරිරුයි කියලා ඒ වෙලාවෙ මට හිතුණා. 

ප.ලි

හැම මනුස්සයෙක්ම, තමන්ව නිදහසේ නිදිකරවන්න පුළුවන් අයටත්, නිදහසේ නිදා ගන්න සලස්වන තැනටත් ආදරය කරනවා. ඒ තමයි මනුස්සකම.

8/8/14

-244- ආදරණීය තුවක්කුකරු | Dear Gunman

“අහස“. අකුරු තුනක, හරි පුංචි වචනයක්. ඒත් ඉහළ බැලුවම, පුංචි නෑ කියලා කෑ ගහල අඬන්න හිතෙන තරමට මහා විශාලත්වයක් ඒ අපූර්ව අහසට තියනවා. අහස තරමටම නැතත් පොළවත් ඒ තරම්ම විශාල ඇති කියලා හිතන්න, ලිහිණියන්ට දැනුමක් තිබුණා.

තමන්ට කවදාවත් එකතු වෙන්න බෑ කියලා දැනගෙන හිටි අහසෙයි පොළවෙයි උහුල ගන්න බැරි ආදරයට මොහොතකට එක්වෙන්න ඉඩක් දෙන්න පුංචි වැස්සක්  අහඹු සිප වැළඳ ගැනීමක් අරගෙන සැරින් සැරේ කඩා වැටුණා.

මේ ආදර පණිවිඩය හැමෝටම ඇහෙන්න ගායනා කිරීම , වැහි ලිහිණියන්ගෙ පාරම්පරාවේ රාජකාරිය.

මෙරු පිරිස  ඔය කාරිය  බලෙන් පවර ගන්න නිතරම උත්සාහ කළා. ඒත් සර්ව සාධාරණ දෙවියන් වහන්සෙ තමන්ගෙ තීරණය කිසිම වෙනස් කළේ නෑ.

හැම වැහි ලිහිණියකටම මේ ආදර කතාව කියන්න, සහකාරයෙක් ලැබෙනවා. ඒත් අනුන්ගෙ ආදර කතාවක් තමන්ගෙ කරගෙන ගායනා කරන එක කොයි තරම් අමුතු, එපා කරපු  කම්මැලි වැඩක් ද කියලා ඒ හැමෝටම හිතුණෙ නෑ. සමහරවිට හිතුණත් ඒක ඔල්මොරොන්දං සිතිවිල්ලක් කියලා කාටවත් නොකියා හංග ගන්න ඒ අය පුරුදු වුණා. කුරුල්ලො වුණාම ගී ගයන එක නම් කොහොමත් සිද්ධ වෙන්නම එපැයි.

මුහුදට කිට්ටුව, කිඳුරු ගීත ඇහෙන මානෙ ගල් දෙබොක්කාවෙ පුංචි කූඩුවක හැදුණු සුන්දර වැහි ලිහිණියක් උන්නා. හැම වෙලාවෙම ඇය ගොඩ නැගුවෙ එයාගෙම කතාවක්. ඒවා වැඩියෙන් කිට්ටු සුරංගනා කතා වලටද නැත්තම් ඇත්ත කතා වලටද කියලා හිතන්න ඇයට වගේම වෙනින් කාටවත් උවමනාවක් තිබු‍ණෙත් නෑ. ගල් දෙබොක්කාවෙන් මුලින්ම දොරට වඩපු දවසෙදි ලිහිණි කුරුල්ලො ඇයව වට කරගන්න තුරුම.

කොයි ලිහිණියා එක්කද තමන් පාරම්පරික ගීතය ගයන්නෙ කියලා තෝරාගැනීමක් කරන්න ඇයටත් සිද්ධ වුණා. රසත් එක, ප්‍රමාණයත් එකම වගේ ටොෆි ගොඩකින් කැමති ටොෆිය තෝරනවා වගේ මහ අප්‍රභංශ කම්මැලි එපා කරපුම වැඩක් වුණත්. ඒක නියතියක්. අහඹු ලෙස තෝරා ගත්ත එක ලිහිණියෙක් ඇයට හොඳයි කියලා නිකමට හිතුණා. එක්කො සමහර විට හොඳයි කියලා හිතන්න ඈ උත්සාහ කළා.

කොහොමහරි ටික දවසක් යද්දි ගීත ගයන සෙල්ලම ඉක්මනටම ලිහිණි කිරිල්ලියට එපා වුණා. එකම වගේ අය වුණත්, එක වගේ දේවල් වලින් සතුටු වෙන්නෙ නෑ කියලා දැන ගත්ත පුංචි වැහි ලිහිණිය තනියම කාලය ගත කරන්න පටන් ගත්තා. කාලය කියන්නෙත්, ගත වෙන දෙයක්නෙ. ඉතිං තත්පර, පැය, දවස් අවුරුදු එකතු වෙලා ටික ටික කාලය ගත වුණා. ටිකෙන් ටික පාරම්පරා ගීතයත් වැහි ලිහිණියට අමතක වුනා. එක්කො ඇය අමතක කළා වෙන්නත් පුළුවන්..

මම මේ කතන්දරය කියන ඔයාට කියන දවසෙ, ඉර නිදියනවද නැද්ද කියලා අහසෙ ගැට්ටට වෙලා කල්පනා කරන වෙලාව. අලුත් ගීතයක් හොයාගෙන, නමක් නොදන්න මුහුදු කරයේ ඈත ඈත ගල් පර අස්සෙ, ඉගිල ගිය පුංචි වැහි ලිහිණි කිරිල්ලි, පැතිරුණු විරල රතු පැහැයක් දැක්කා. අහස වතුරට දිය කරන දේදුනු පාටින් මතුවෙන රත් පැහැයට වඩා අමුතු තද පැහැයක් මේ රතු පාට ඇතුළෙ පෙනෙන්න තිබුණා. ළඟට එනවිට ඒ සුන්දර දසුන බොහොම අසුන්දරව ඇගේ ඇස් වෙලා ගත්තා. ලේ වැකුණු පියාපත් ගල් තලාව පුරාම විසිරිලා තිබුණා.

වට පිට විමසිල්ලෙන් බලද්දි, පැත්තක වෙහෙස කාරී මුහුණෙන් ඉන්න තුවක්කු කරුවෙක් දකින්න ඇයට වැඩි වෙලාවක් ගියෙ නෑ. ඈ පියඹා නොගිහින් තුවක්කුකරු දිහා බලා හිටියා.. මුලින්ම පුදුමයෙන්...ඉන්පස්සෙ බියෙන් අවසානයේ කුතුහලයෙන්. මොහොතකින් ඇය ඔහු ළඟටම ගියා.

තුවක්කු කරුගෙ නිශ්ශබ්ද දුඹුරු පැහැති ඇස් වල අප්‍රමාණ නිශ්චලත්වයක් තිබුණා. හැඟීමක් දැනෙන නොදැනෙන සේයාවක ඔහු අතරමං වෙලා හිටියා වගෙයි. ඈත පෙනෙන රළ නැගෙන මුහුද දිහා ඔහු එක එල්ලේම බලං හිටියාද, එහෙම නැත්තං මුහුදත් ඔහුත් පමණක් දන්නා රහසක්, මුහුද සමඟ නිහඬව ම ගිල ගනිමින් හිටියාද කියලා තේරුම් ගන්න ඇයට අපහසු වුණා.

ඔහුගේ තුවක්කුවෙන් පැමිණි එකම උණ්ඩයක්වත් ඒ කිසිම පියාපතක් දැවටිලා තිබුණෙ නෑ කියලා පෙනී යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ ඇයට . එක එක සෘතූන් වලදි වැහිලිහිණියො විහින්ම කොටලා, ඈත ගල් පර අස්සෙ මිහිදන් වුණ වැහි ලිහිණි කිරිල්ලියන්ගෙන්,තවත් කිහිපදෙනෙක් විතරයි මේ. වැහි ලිහිණි කිරිල්ලියන් වෙනුවෙන්, උපන්න කඳුලක්  තුවක්කු කරුගෙ දෙනෙත් වලින් හිර වෙලා ඇතුළට ගිලුණා. ඒ දීප්තිය දිහා රෑ ගෙවෙනකම් බලා ඉන්න තරම් හිතුවක්කාර ආසාවක් ඇයට දැනුණා. රෑ පුරාම එතැනින් පියාඹා යමින් අනතුරු අඟවන ලිහිණියො ගැන තවත් කුමට ඇය විශ්වාසය තියන්නද?

තවත් උදෑසනක් ඉර අරගෙන ආවා. පුංචි වැහිලිහිණි දරුණු වෙඩික්කාරයෙකුට ආදරය කරන්න පටන් අරගත්තා කියලා එදායින් පස්සෙ ධීවර ගම්මාන වල කට කථා ඇති වුණා.

ඇත්තම කතාව ගැන තමන් දන්න බව කියන ගොඩක් අය  කියන්නෙ, වැහි ලිහිණියො මෝඩයි කියලායි.   ඒත් පහුගිය කාලෙ පුරාවටම ඈත මුහුදෙ නගින බහින ඉර ළඟ රෝස පැහැ වලාකුළු මවන රටා දිහා නිවී හැනහිල්ලෙ බලාගෙන ඉද්දි මට හිතුණෙම තුවක්කුකාරයාගෙ තුවක්කු බඳත් වැහි ලිහිණි කිරිල්ලත් අතර කවුරුවත් නොදන්න ප්‍රීතිමත් “ජීවිතය“ තියෙනවා කියලායි. කොහොම වුණත් ආදරය කියන්නෙ මේකමයි කියලා හරි නිර්වචනයක් කොතැනකවත් නැති නිසා, වෛරයක් නොවන ඕනෑම ළෙංගතු කමක් ආදරයයි කියලා හිතන්න කාටවත් බැරි කමක් නෑ කියලා පුංචි කාලෙ ඉඳන්ම මට විශ්වාසයක් තියෙනවා.

3/22/14

-239- සහෝදර කෝපි කොප්පය



ඔහු ආයෙත් ලියන්න පටන් ගත්තා. පැයක් දෙකක් පුරා නිහඬව කඩදාසියක සටහන් කළ පුංචි ඉරි කෑලි කිහිපය ගැන කිසිම අර්ථයක් නොතේරුණත්, ඇය ඒ දිහා බලාගෙන හිටියා. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් ඔහුට නැති බව කියා පාන්නා වගේ, ඔහු එකම සිතිවිල්ලක හිරවෙලා, දිගින් දිගටම ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්. බිඳෙන් බිඳ ලියවෙන අපූරු ලියවිල්ලක්. ඇඳ පසෙක නිදා ඉන්න සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක් ලියනවා. ඔව්! ඒක පෙම් කතාවක්.

***

සුපුරුදු විදිහටම දෙවනි කෝපි කෝප්පයත් ඉවරයි. ඒ එක්කම මේසයට සිහින් තට්ටුවක් සමඟ, නුහුරු බසක හුරු ගීයක මුණු මුණුවක්. තව කෝපි කෝපයක් අවශ්‍යය බව කියනා මෘදු සංඥාව දැන් ඇයට හොඳටම හුරුයි. ශබ්ද නොනැගෙන්නට පියෙන් පිය තබා යහනතින් මිදෙන ඈ, මේසය මත ඇති හුරු පුරුදු සහෝදර කෝපි කෝප්පය අතට ගන්නවා. හඬක් පිට නොවෙන්නට අඩවන් කළ දොරින් එළියට නික්මෙනවා.

දැන් ඇය නිදහස්. අඩිය පොළවෙ තියන්න පුළුවන් පමණට නිදහස්. හුස්ම ළය පුරා පිට කළ හැකි පමණට නිදහස්. දිගැටි පිඟන් ගඩොල් මේසය අද්දර කවුළු තිර, නිල් අඳුරේ පාවෙලා එන සීත සුළං රැලි සමඟ පුංචි පහේ හාද කතාවක. මේසය කෙළවරේ පුංචි තනි ලිප දැල්වෙන්නට ආසාවෙන් මඟ බලාගෙන. තව මිනිත්තු පහකින්, හයකින් යමැස්සේ වෙලෙන මිදෙන කවුළු තිර දික්කසාද කරන හීන් සුළං රැළි කේතලේ දෙයදර සිපගනිමින් ඉහළ නගින බව ඇය හොඳටම දන්නවා.  කේතලේ ප්‍රේමය කවුළු තිරයේ ප්‍රේමය තරම්ම, නිහඬ නැතත්, මේ මොහොතේ විශ්වය මත පවතින හැම දෙයක්ම අතිශයින්ම පෙම්වත් නිසා කෝපි කෝප්පයටත් ආදරය නොඅඩුව ලැබෙනවා. කරාමය කෙමෙන් කෙමෙන් එකම අයුරේ දිය තලයක් මුදාලමින් කෝප්පය පැරණි ප්‍රේමයෙන් මුදාලනවා. තව මොහොතකින් අලුත් ප්‍රේමයක්.. 


කෝප්පය වෙනස් නොවුණත්, මේ අලුත් කෝපි. 


ඔහු තවම ලියනවා.


උණු වතුර සීනි සහ කෝපි. එකම කෝප්පයක තද දුඹුරු පැහැයෙන් තරඟයට කලවම් වෙනවා. මේ ඔහු කැමතිම කෝපි කෝප්පය නෙවෙයි. එහෙත් මේ මොහොතේ කෝපි, ඔහුගෙ අවශ්‍යතාවයක්. කෝපි කෝප්පය ප්‍රාර්ථනාවක් වුණු බොහෝ වෙලාවට ඔහු සුපුරුදු කෝපි අවන් හලට යනවා. අන්තර්ගතය නොදන්නවා වුණත්, ඇය හදන කෝපි කෝප්පයට වඩා ඒ රසට ඇයත් කැමතියි. 


ඒක එහෙම හැඟෙන්නෙ, මේ කෝපි කෝප්පය ඔහුට විතරක් නිසා වෙන්නත් පුළුවන්. 


තුන්වෙනි කෝපි කෝප්පය පිළිගන්වන්න නැවතත් ඇය දොරෙන් කාමරයට එබිකම් කළා. ඇඟිලි තුඩු වලටත් බර නොදී සුපුරුදු තැනින් අංශකයකවත් හෙලවීමක් නොකර කෝපි කෝප්පය ස්ථානගත කෙරුවා. 


ඇත්තටම කෝපි කෝප්පය සුන්දර වන්නෙ ඔහුගෙ දෑත මත ඇගේ දෑත තබා ඔහුගේ නෙත් දිහාවෙ එක එල්ලේ බලා හිඳීමෙන්. ඔහුගේ නොනවතින ආලවන්ත වැකි සීරු මාරුවෙන් දරා හිඳීමෙන්. සුන්දර සහ මෘදු හාදු වැස්සක කිමිදීමෙන්. 


මේ වෙලාව එහෙම කෝපි කෝප්පයකට අයිති නෑ. ඒ බව තේරුම් ගන්න දැන් ඇය දන්නවා. ඇය යහන මත එකම ඉරියව්වක හිඳ ඔහු දෙස බලා ඉන්නවා. ඔහු තවමත් ලියනවා. 


අද රෑ තව හුඟක් දිගයි. එහෙත් හෙට උදෑසන කෙටියි. සිහින තව සෑහෙන දුරයි. ඈ පිළිබඳ සිතිවිලි මාත්‍රයකවත් හැඟීමක් මේ මොහොතේ ඔහුට නැති බව සහෝදර කෝපි කෝප්පයටත් පැහැදිළියි. ඔහු එකම සිතිවිල්ලක ලියනවා. එය ප්‍රේමය ගැන දිගම දිග ලියවිල්ලක්.  සෑහෙන දුරක් නිමා කළ ලියවිල්ල තවමත් බිඳෙන් බිඳ ගළපන්න ඔහු වෙහෙසබර දෙනෙතින් වෙර දරනවා. යහනේ කෙළවර නිදා සිටිනා සිය ආදරිය දෙස බිඳක්වත් නොබලා ඔහු පෙම් කතාවක ලියනවා.


අඳුනන ආදරියකගේ නන්නාඳුනන ප්‍රේමයත්, නාඳුනන ආදරියකගේ දන්න හඳුනන ප්‍රේමයත් සම සමව ඒ සුන්දර ලියවිල්ලේ අවසානයට ගැබ් වන බව ඇය දන්නවා. 


හැම ආදර කතාවක්ම එක වගේ කියලා, නම අමතක ලේඛකයෙක්, කොහේදෝ පොතක පළමුවැනි පරිච්ඡේදයෙ අගම පෙළ ලියලා තිබුණු බව පමණක් සිහිපත් වෙලා, ඇයගෙ මුහුණට සිනා රැල්ලක් වඩිනවා.. ඒ මොහොතෙම, විදුලි පවන් පත් එක්ක හෙමි හෙමින් රෑ ගවුම දඟ කරනවා..


කුමක් කරන්නද? ඔහු තවම ලියනවා.



1/11/13

-202- අම්මේ මම ගෙදර ආවා




හරියටම දවස කියන්න බැරි වුණත් ඒ ඉරිදා නෙවෙයි. අහස ලා දම් පාටින් අඳුරු වෙන්නෙ වහින්න වෙන්න ඇති කියලා මම හැලි වලං ටික ගෙට ගත්තා. පැදුරු කඩමාල්ලෙ නිදා හිටපු පුංචි නංගිව හිරිකඩ නොවදින්න කියලා පැදුර එක්කම ගේ මැද්දට ඇද්දා.

වියලිච්ච පොළවට උඩින් මුතූර් අහස ගැබ්බර වුණාට විළිලන්නෙ කලාතුරකින් වග පොළව එක්ක හැප්පෙන ඕනෙ එකෙක් දන්නවා. තණකොල නැති ඉඩම් වලට උඩින් කොයි තරම් වතුර වක් කළත් තෙතක් ඉතිරි කරගන්න බැරි හින්දාම අහසත් ලෝබ වෙලා.

දර කපන්න ගිය තාත්තා ඇවිත් හිටියෙ නෑ.. මල්ලිවත් ලොකු නංගිවත් පේන්න හිටියෙත් නෑ. මං පාලු ලා අඳුරෙ පිල උඩ ඉඳගත්තා.

ඉහළ බලන කොට  බාගෙට බිමට පාත් වුණ වහලෙ, ඔහේ එල්ලලා තිබුණ මල්ලිගෙ කලිසම ලිස්ස ලිස්ස පහළට ඇවිත්. දැන් කලිසම් කකුල් දෙක හුළං පාරට එහොට මෙහාට යනවා. හරියට මෙහෙ වරෙන්.. ඔහෙ පලයන්... මෙහෙ වරෙන් .... ඔහෙ පලයන්.. කියනවා වගේ.

මං ආසාවෙන් ගිය එකම තැන ඉස්කෝලෙ. මම ඉස්කෝලෙ යන එක නැවැත්තුවෙ නමයෙදි. ඒ මගෙ ඕනකමට නෙවෙයි.. මට උගන්වන්න ගෙදර අයට සල්ලි නැති නිසා. එන්න එන්න පොත් ගණං නිසා.

කොච්චර ඉඳගෙන ඈත බලන් හිටියත් දුප්පත්කම ඇරෙන්න වෙන දෙයක් පේන්නෙ නෑ.. ගෙවල් විතරක් නෙවෙයි. මිනිස්සු විතරක් නෙවෙයි. මෙහෙ සොබාදහමත් හරිම දුප්පත්.

කතා කරන කලිසම අරන් ගේ මැද්දෙ ඇදපු වැලේ එල්ලපු මම එළියට බැස්සා. වේලිච්ච හීතලක් ඇඟ පුරාම දුවනවා... මම ගෙයින් ටිකක් ඈතට ඇවිදගෙන ගියා. සිලි සිලි බෑග් වලින් හදපු සරුංගලයක් මගෙ ඉස්සරහට කඩා වැටුණා. ඉස්සරහට දුවගෙන ආපු පොඩි උන් තුන්දෙනෙක්ගෙ හිනාවෙ උණුහුමින් මට හීතල අමතක වුණා.

සරුංගලයක හරි එල්ලිලා ඈත පේන මූදෙන් එපිටට පැන්නා නම් දිව්‍ය ලෝකෙ ඇති කියලා මට හිතුණෙ සිප්පි කටු ඇහින්ද පොඩි කාලෙ, සුදු මාමලා අපි දිහා ආදරෙන් බලද්දි. ඒත් මුතූර් අහසෙ පාවෙන සරුංගලයකයි, පොළව උඩ වැනෙන මගෙ ජීවිතයෙයි එකම වෙනස හුස්ම ගන්න එක විතරයි. හුස්ම කියන වචනෙ වටිනාකම එදා දැනුණා නම් කවදාවත් මම පහුවදා ඒජන්සියට යන්නෙ නෑ.

ලංකාවෙ මිනිස්සු පැන්ෂන් යන්නෙ පනස් පහෙන්. රජයෙ නම් හැටෙන්. ඒත් තාත්තාට පැන්ෂන් යන රස්සාවක් නෑ.  තවමත් හතළිස් හතයි. මං රට යනකොට තාත්තාගෙ වයස හතළිහයි. අම්මාට නම් තවමත් හතලිහයි. දෙන්නම අපිට කීයක් හරි කොහොමින් හරි හම්බ කරලා කන්න දෙන්න වයසක තාමත් ඉන්නවා. ඒත් නංගිලාටයි මටයි හරියට බඩට කන්න දෙයක් ලැබෙන්නෙ හරිම කලාතුරකින්.
මල්ලිට නම් කොහොම හරි හම්බෙනවා.

කණු හතරක් හිටවපු සෙල්ලං ගෙදරක් වාගේ හතර පැත්තෙන් හිරිකඩ එන ගෙදර අඩුම තරමෙ තරුණ කෙල්ලකට ඇඳුමක් මාරු කරන්න ආවරණය වුණ තැනක් වත් නෑ.. බොහොම ඉක්මනට මේ අපායෙන් ගැලවෙන්නයි මට ඕනෙ කම තිබුණෙ. නංගිලාට උගන්නන්න. එක පාරට පාත් වෙන මිනිහෙක්ගෙ ගෑණියෙක් වෙලා අඩු වයසෙන් දරුවො හතරපස් දෙනෙක් ගෙ බර නොඇද සැහැල්ලුවෙන් ටිකක් ජීවත් වෙන්නයි මට ඕනෙ කළේ.

ඒකටත් මගෙ වයස පරහට හිටියා. වයස අවුරුදු හයකින් ඉහළ දාද්දි, මං හිතුවා ගෙදර අය, උඹ හිටහං..උඹ පොඩියි.. අපි කන්න දෙන්නම්.. උඹ ඉගෙන ගනිං කියයි කියලා. කවුරුවත් එහෙම කිව්වෙ නෑ.. කවුරුවත්ම කිව්වෙ නෑ.  මං පිටවුණා.

දිව්‍යලෝකෙන් වස්තුව ගෙනත් මේ ලෝකෙ මාලිගාවක් හදන හීනයක් නෙවී මට තිබුණෙ. උදේට කිරි ටිකක් බොන්න.. පිගානක් පිරෙන්න බත් කරන්න.. තෙමෙන්නෙ නැති ඇඳක නිදා ගන්න ආසාවක් මට තිබ්බෙ. මම හිතින් පියෑඹුවා. කිරිල්ලියක් වාගේ...

නොදන්න රටේ මං ඇඬුවා. ඔරලෝස් කට්ට නතර වුණා. මම නොවෙන මම .... මට මාව පටලැවුණා. ..ඇඬුවා.. හරියට ඇඬුවා..පෙරේදා හවස ආයෙ ඔරලෝසුවෙ කටු කැරකෙනවා දැනුනා..

දැනුණ සීතල වේදනාව, මාව එළියට ඇද්දා. මං ඉස්සරහ හිටපු උන් හිනා වුණා. උන්ගෙ ආත්මයට මම හිනා වුණා.. මම උන්ව පහු කරගෙන ගියා.. මරණයක් දකින්න කෙළ හලාගෙන එන සෙනඟ අතරෙන් මම ගියා.. ඒ කවුරුත් මාව දැක්කෙ නෑ.. මාව ගෙන්න අගන්න දුක් විඳපු හැමෝටම නොපෙනි, මං ගෙදර ආවා.. අපේ ගෙදර සෙනඟ පිරිලා. කවුරුත් මාව දැක්කෙ නෑ...

හරියටම දවස කියන්න පුළුවන් අද බදාදා.. අහස ලා දම් පාටින් අඳුරු වෙන්නෙ වහින්න කියලා මම දන්නවා. පැදුරු කඩමාල්ල එහෙමමයි. නංගිලා ලොකුයි. හැලි වලං ඒවාමයි. අහස ලෝබ නැතුව වතුර වක්කලා.. පොළව හේදුණා... සරුංගලේ තෙත හුළඟට අහුවෙලා කූරියා ගහනවාද බලන්න මම අහස දිහා බැලුවා. මේ සරුංගල් වාරෙ නෙවෙයි කියලා මට මතක් වුණා. හුස්මක් නැති ආත්මය අරගෙන මං අම්මාගෙ උකුල උඩ ඔලුව තියා ගත්තා..

අම්මෙ මට අලුත් පින්තූරයක් ගන්න ඕනෙ.. අර පින්තූරෙ මම නපුරු පාටයි.

අම්මාට තුන් හතර වතාවක් මං කතා කළා.. අම්මාට ඇහෙන්නෙ නෑ... මං හයියෙන් කෑ ගැහුවා.... අම්මේ...මම ගෙදර ආවා!!!! අම්මාට ඇහෙන්නෙ නැති ගාණට යාඥා කරන ගෑණුන්ට එකතු වුණා...

12/21/11

අවසන් නොවූ සටහනක් අවසන (කෙටිකතාව)

ඇගේ දින සටහන් අතර තිබිණි.පිටපත් කළා පමණි. (ආරම්භයක් නොතිබිණි)
.....................
මම ලිවිය යුතු බව දනිමි. නමුත් ලිවීමට පටන් ගත යුත්තේ කොතනින් දැයි නොදනිමි.මන්දයත් තවමත් මා මගේ ජීවිතයේ අයිතිකාරුවාද,භාරකරුවාද පාර්ශවකරුවෙක් පමණක්ද යන්න තවමත් නොදන්නා බැවිනි.අද වන විට මම ජීවිතය ගැන තේරුම් ගනිමින් සිටිමි..සමහර විට එම තේරුම් ගැනීම නිවැරදි විය හැක.බොහෝවිට ඔබ සියල්ල අවසන මෙතෙක් තීරණය කළ පරිදී එය  වැරදි විය හැක.

කුඩා කළ සිට ම මට වුවමනා කළ දේ බොහෝ වෙතත් අතර ප්‍රමුඛ වූ එකම දෙය නම් මා මෙන්ම සිතිය හැකි සොයුරෙකි.මට වඩා වැඩි මහලු සොයුරෙකි..බාල සොයුරෙක් මිස වැඩිමහල් සොයුරෙක් ගෙන ඒමට මගේ මවුපියන් අපොහොසත් බව එවක මට නොවැටහිණි. අවසන මම සියලු සොහොයුරන්ට වෛර කළෙමි.නමුත් සිතින් මවාගත් සොයුරෙක් සමඟ නිරන්තරයෙන් දොඩමළු වුණෙමි.සෙල්ලම් කළෙමි.ඒ බව තවම සිහිනයක් පරිදී මතකයේ ඇත.. මා වැඩිවිය පැමිණි පසු සහෝදර සිහිනය කෙමෙන් කෙමෙන් වියැකී ගිය මුත් කාලානූරූපීව හමුවන ප්‍රියතම පිරිමි චරිත වලට මම නිරායාසයෙන් මගේ සිහින සොහොයුරා ආදේශ කළෙමි...එහෙත් ඒ ආදේශන මඳක් හෝ සාර්ථක නොවූ අවස්ථා මඳක් හෝ සාර්ථක වූ අවස්ථා වලට වඩා කිහිප ගුණයකින් වැඩිය..

අනතුරුව මම මගේ සිහින සොහොයුරාම මගේ වෛරකරු කර ගතිමි.මා පසු බසින,මා දුක්වන,මා විඳවන,මා බියපත් කරන සියලු අවස්ථාවන්හීදී මට පරාද වීමට හේතුවක්,මට කේන්ති ගැනීමට හේතුවක් නිරායාසයෙන් නිර්මාණය කර දීමට මේ සිහින සොයුරාට හැකි විය.මා ඔහුට ආවේණික රූපයක් මවා ගත් අතරම ඔහුට ආවේණික ගති සොබා ද මවාගතිමි.

වාසනාවකට ඒ රූපය හෝ ඒ ගති සොබා හෝ හිමි මිනිසුන් මිහි මත නොවන බවත්,එය වාසනාවක් බවත්,එවන් සොයුරෙක් සැබවින්ම භයානක විය හැකි බවත්,ඔවුන් එවන් සොයුරෙක් කිසි කළෙකත් නොපතන බවත් මගේ මිතුරියෝ ප්‍රතිඥා දුන් අයුරු සිතට පිවිසෙන විට, මම ප්‍රාර්ථනා කරන ස්වභාවය හා අනෙක් ගැහැණු ළමයින්ගේ වෛතසික මට්ටම අතර ඇති පරස්පර බව ගැන මට අදටත්  මහා ගැටළුවක් මතුව එයි.ඔවුන්ට පෙම්වතුන් අවැසි යුගයක මට සොයුරෙකු අවැසි වූයේ මන්දැයි මම තවමත් සොයන්නෙමි....සමහර විට සොයුරෙක් සිටියා නම් මීට වඩා නිදහසක් මට නිවසින් ලැබෙන වගත්! මට කොල්ලෙකු මෙන් අයියා සමඟ තැන තැන යාමට හැකි වනු ඇතැයි යන හැඟීමත් මගේ යටි සිතින් වරින් වර මතුව ආ නිසා විය යුතුය..

කවුරුන් කුමක් කීවත් මා නිරන්තරයෙන් සිහි කරන  සහෝදරයා වැන්නෙක් ලොව වෙසෙන බව මම ඇදහුයෙමි. එය අසත්‍යක් නොවන බව මට ඔබට සපථ කළ හැක්කේ  මම ඔහු දෑසින් දුටු හෙයිනි.කතා කළ හෙයිනි.. එහෙත් ඒ සොහොයුරා මට සොයුරෙක් ලෙසින් අත්පත් කරගත නොහැකි මට්ටමක නොවීම මගේ හදවතට ඉහිලුම් නොදෙන්නක් විය.සොයුරෙක් අත්පත් කර ගත හැකිද?

මේ ගැටළුව මට පැන නගින්නට සැබවින්ම කල් ගත වූයේ ...මගේ සොයුරාගේ සම්පූර්ණ අවධානය මා කෙරෙහි යොමු වූ නිසා විය යුතුය. සම්පූර්ණ විශ්වාසය මා කෙරෙහි යොමුවු නිසා විය යුතුය.එහෙත් එක් හිදැසකින් ඔහු එම විශ්වාසයෙන් කුඩා ප්‍රමාණයක් බිඳ දමා මා යමෙකු ඉදිරියේ අවතක්සේරු කර ඇති වග  මට දැනගන්නට ලැබිණි.එය එසේ නොවීමට වුව පුළුවන. නමුත් මට දැණුනු ආකාරය එය නම් මා කුමක් කරන්නද? පිළිම කඩා බිඳදැමීම පහසුය.නැවතත් එක් කිරීම අපහසුය.මට විසිරුණු සිතවිලි වල වෛරයට එහෙ යමක් ලිවීමට නොහැකි වූ වග මතකය. මා නොකළ වරදක් අනාගතයේ කරතියි සැක කරමින් මා අවිශ්වාස කරන කෙනෙකුට! ඒ අවිශ්වාසය නැති කරනු වෙනුවට එම වරද සිදු කර, අවිශ්වාසයෙන්ම සිටීමට ඉඩ හැරීමත්, ද්‍රෝහියෙකු වීමේත් වරදත් නැතැයි මට හැඟිනි.

මට නැවතත් මගේ ස්වප්න සහෝදරයා වෛරක්කාරයා ලෙස පෙනෙන්නට පටන්ගති.ඔහුට රිදවන්නට කුමක් කළ යුතුදැයි මම සොයා බැලුවෙමි.මා වරක් නිවැරදිව සිටියදී අවතක්සේරු කළ අයෙක් වෙනුවෙන් ...මා නිවැරදිව සිටිද්දි මා අවිශ්වාස කල එකෙක් වෙනුවෙන් දියයුතු දඬුවම මම විසින්ම මගේ අධිකරණය ඇසුරින් තෝරා ගතිමි. 

ඒ හැකි තරම් රිදවීමයි.ඔහු අකමැතිම දේ කරමින් ඒ උදෙසා ම රිදවීමයි...එයින් මට රිදෙන ප්‍රමාණය,මා අවතක්සේරු වන ප්‍රමාණය ගැන නොසිතාම මම එය ඇරඹීමි..නමුත් එය කළ යුත්තේ කෙසේද යන්න ගැන මට කිසිම ක්‍රමවේදයක් නොතිබූ මුත්,  යම් කෙනෙකුගේ ආගමනය මත ඔවුන් මට හේතුවක් සකසා දුන් බව අද වන විට මතකයේ ඇත..ඉන්පසු තනා දෙන ලද මාර්ගයක අවිඥාණිකව ගමන් කළා මිස,එය මවිසින් කෙසේ කළාදැයි අද වන විටත් නොදනිමි. මා සිටින්නෙ ගැටළුවකය.මා ආපසු හැරී බලද්දී මගේ සොයුරා මා අප්‍රමාණ සෙනෙහසක් දැක් වූ සොහොයුරා , මා නිසාම මා හැරගොස් අවසන්ය. සියල්ල නිවැරදි කළ නොහැකි තරම් දුර ගොස්ය.නමුත් මගේ පළිගැනීමෙන් ඔහු රිදුණු බව පමණක් මම දනිමි.මා සාර්ථකය.එහෙත් අද මට මගේ සොයුරා...පෙර සොයුරා විලසටම වුවමනා කර තිබේ.එය කෙතරම් හාස්‍යජනකදැයි ඔබ මගෙන් අසන බව දන්නා හෙයින් මම මෙසේ කියමි.හාස්‍ය ජනක බොහෝ දේ ඉදිරිපිට බොහෝ අනුවේදනීය කතන්දර සැඟවී ඇත.

අද වන විට මගේ සොයුරා..සමාවන්න. මගේ සිහින සොයුරා මට සමාව නොදෙන බව මම හොඳින්ම දනිමි..නමුත් ඔහු මට සමාව දුන් බවට සිතා මම සිත සනසා ගනිමි.. මට මේ පිළිබඳ දැනෙන්නට වූයේ,මමද යම් අරගලයක පාර්ශවකරුවෙක් වෙමින් සිටි බවත්,ඒ මුලු අරගලයම ඔහු හා ඔහුගේ පාර්ශවය නමින් ක්‍රියාත්මක වන බවත් දැණුනු හෙයින්ම පමණක් වග ඔහු කවදා හෝ දැනගත යුතුය.. 

අද මම එයින් මිදුණෙමි.. මම සැඟවී බලා සිටිමි..තවමත් ඔවුන් ගොදුරට ආසන්න නොමැති බව පමණක් මම දනිමි...නමුත් එය මා සොහොයුරාට ඉලක්ක වූ සැණින් මම හෙළිදරව්වේ පුනරාගමනය ආරම්භ කරමි..මන්ද යත් නොපෙනෙන සතුරෝ බොහෝ ඇති බව ඔහු විසින් දිනක් මට කියාදුන් බැවිනි. පෙනෙන සතුරෝ බහුතරයක් මිතුරෝම විය හැකි බැවිනි..අද මමත් ඔහුට සතුරෙක් වූයේ ද ද්‍රෝහියෙක් වූයේද  ඒ න්‍යායටම අනුව බැවිනි...මම ඔහු සතුරෙකු හා ද්‍රෝහියෙකු  ලෙස සිතුවේද ඒ න්‍යායටම අනුව බැවිනි . නමුත් ඒ සියල්ලටම වඩා මම තවමත් ඒ වාසගම අහිමි, ඒ රුධිරය අහිමි, ඒ ජාන අහිමි, ඒ රූපයට එකඳු සමාන කමක් වත් නොකියන, ආත්මය හා හැඟීම් පරම්පරාව විසින් ඔහුගේ විඥ්ඥාණය උත්පාදනය කළ ඔහුගේම කුඩා සොයුරියම වූ හෙයිනි...

.............................

ඇගේ දිනපොත නැවත රහසේම තිබූ තැන තැන්පත් කළෙමි.. (අවසානය නොදනිමි.)

11/26/11

රික්තය | කඳුළට පෙර (කෙටි කතාව)


ඇස් දෙක ඉස්සරහ මහ දරුණු සීතලක් දැනෙන්න පටන් ගත්තා. පපුවෙ හිර වෙලා ඉන්න දඟලපු අන්තිම හුස්ම ගුලිය බීම බටයක් දිගේ ක්ෂණිකව උඩට ආවා වගේ මට තේරුණා. ඔව් .. මගේ ආත්මය දැන් මම ඉස්සරහ . මගෙ දිහා බලාගෙන ඉන්නවා.. 

 
"වරෙන් මගෙ ඇඟ ඇතුළට" මම හයියෙන් කෑ ගැහුවා.

"මම උඹ ළඟ තවත් ඉන්නෙ නැහැ" ඇය ගේ ප්‍රකාශය හරිම දරුණුයි. එහෙත් අව්‍යාජයි. මට ඒක දැනුණෙ ඇගේ ඇස් වලින්. ඇය මා එක්ක හිටියෙ පුදුම තරහකින්...

"ඇයි උඹ ඩිංගක්වත් මං ගැන නොහිතන්නෙ?" මම ආයාචනා කළේ, කිසිම බලාපොරොත්තුවක් රහිතව.ඇය ඉල්ලපු එක දෙයක් වත් මම ඇයට දීලා නැහැ.  ඒ අතින් ගත්තම මේතරම් කල් ඇය මගෙ ළග හිටිය එක ම  ලොකු දෙයක්...

පුංචි කාලදි  ඇයට ඕනේ වුණා සහෝදරයෙක්.. මම ඇයට කිව්වෙ හිතෙන් එහෙම එකෙක් මවා ගනින් කියලා...
ඇයට ඕනේ වුණා පොඩි කාලෙ යාලුවො එක්ක විනෝද වෙන්න. මම ඇයට කිව්වෙ තනියම විනෝද වීමක් ගැන හිතීම සුන්දරයි කියලා...
ඒ ඔක්කොම එහෙම විය යුතුයි කියලා තීරණය කළේ මම නෙවෙයි.  මගේ වටේ හිටි අය.. මම කළේ ඇයට ඒ බව තේරුම් කරපු එක විතරයි කළේ.. අද වනතුරුම.

මම නිසා ඇයට කාලෙන් කාලෙට විවිධ දේවල් කරන්න සිද්ධ වුණා.. 

හුඟක් දුක් විඳින්නත් වෙන්න ඇති. හදවතින් විඳවන්නත් වුණා.
අවුරුදු බින්දුවෙ ඉඳන් විස්ස වෙනකන් ම ඇය බෝනික්කෙක්....ඇගේ ගෙදරට.
අවුරුදු හයේ ඉඳන් අවුරුදු විසි හතර වෙනකන් ම ඇය රොබෝවරියක් වුණා. ඇගේ ගුරුවරුන් සහ සම වයසෙ ඇයගේම යාලුවො කියලා ලෝකය විසින් නියම කර තිබූ අයට.  
විසි එකේ ඉඳන් මේ වෙනකන් ඇය මෘදුකාංගයක්. (ඒ ඇ ගේ පෙම්වතාට හෙවත් පසු කාලීනව ඇගේ සැමියාට..සැමියාගෙ අඩිපාරෙ ගිය දරුවන්ට.

මම මගේ ආත්මය ඇතුළෙ ගුලිවෙලා දුක් විඳපු අහිංසක ගැහැණු ආත්මෙට එළියට එන්න ඉඩ නොදුන්න "පාපී ගැහැණියක්“  කියලා මට හිතුණා. ඒත් එහෙම වුණා නම්,
මම අවිනීත දැරියක්. අකීකරු සිසුවියක්.චපල පෙම්වතියක්! පති වෘත්තාව කෙළසු ගැහැණියක්, නින්දිත මවක්.. කොටින්ම ගණිකාවක්...

මම මේ ඔක්කොම ඇයට කියා ගෙන කියා ගෙන  ගියා.
ඒත් මගේ ආත්මය මට සවන් දුන්නෙම නැහැ...තුට්ටුවකටවත්..

මම වේදනාව උහුළගෙනම ඇයට කෑ ගැහුවා.


"පලයන් තවත් කලලයක් ඇතුළට. කොහොමත් මම හාට් ඇටැක් එකකින් මැරුණා කියන එක සෑහෙන්න ආඩම්බරයි..

මහත්තයාගෙ තත්වෙට හොඳයි. දරුවන්ගෙ අනාගතේටත් හොඳයි. වහ බිව්වා. එල්ලිලා මැරුණා කිව්වොත් ඒ  අයට නරකයි.  අනික හැමොම කියයි මේ වාසනාවන්ත මරණයක් කියලා. දුක් නොවිඳපු මරණයක් කියලා..

එක අතකට ඔවුන් හරි.


 "මරණය ජීවත් වීමට වඩා පහසුයි".ඇයට මම පහදන්නට පෙර ඇය මගෙන් සමුගෙන ගිහින්. යන්නම ගිහින්.
වෙනත් වෙසකින් ඇය නැවත උත්පත්තිය ලබයි. ශක්ති සංස්ථිති නියමය ට අනුව ඒක එහෙමයි...



මම ජීවිත කාලයක් අඬපු මහන්සිය සදහටම අමතක කරන මොහොතට දැන් ඇවිත් ඉවරයි..සියලුම හැඟීම් අමතක කරන සුන්දරම මොහොත.මම රික්තයක්..
_________________________________________________________________________________
ප.ලි
සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා...  අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)

11/4/11

අඳුරුය | ඉර පායා ඇත ( කෙටි කතාව)


ජනේලය ඇරියාම උදේ පාන්දරම එන හීතල සුළඟින් හිත පිරුණා කියලා ස්ටේටස් අප්ඩේට් කළාට බෝඩිං කාමරයටම තිබුණෙ එකම එක දොර පලූවක් විතරයි. හරහට වැටිච්ච රීප්ප හිල් අස්සෙන් හිරු එළිය ඇවිත් ඇඳටත්, සිමෙන්ති කැඩිලා පුංචි වලවල් හැදුන පොළවටත් පාත් වුණේ හීන් ඉරි කෑලි වගේ..

ඊයෙ රෑ බත් කද්දි සිමෙන්ති කුහර අස්සට වැටුණු බත් ඇට තුන, හතරක්, නිදි මතේ කොස්සට මඟ ඇරිලා..
දිග කූඹි පෝළිමක් හෙමින් හෙමින් බත් ඇටය උස්සගෙන යන්න ඇවිත්. කුහරයට උඩින් වැටෙන රවුම් හිරු ලපය නිසා දැන් උන් පේන්නෙ රත්තරං පාටට..

මම දැන් තව ස්ටේටස් එකක් අප්ඩේට් කළා.. අඩු ගාණට ගත්ත චයිනීස් ෆෝන් එකත් නැති වෙන්න, ජීවිතේම මහා පාලූවක් වෙන්න ඉඩ තිබ්බා.. මම මම නෙවෙයි වගේ මුහුණු පොතේ හැසිරුණා අවුරුදු දෙකක්... ඇත්ත නම ශ‍්‍රීමා වුණාට , මම එතන ඉන්නෙ සමනළී කියලා.. මේ දවස් වල ජනප‍්‍රියම නමක් නිසා රික්වෙස්ට් කෝටියයි..

වැඩ කරන්නෙ ගාමන්ට් එකක බව ඒකෙ ෆ්‍රෙන්ඩ්ස්ලා කවුරුත් දන්නෙ නැහැනෙ... දාලා තියෙන ප්‍රොෆයිල් පින්තූරෙ නිසා මඟුල් යෝජනා තුනක්ම ආවා....

අක්කටත් ගමේ ගියාම කියන්න  ඕනේ, මෙයින් එකක් හදා ගන්න කියලා ....
ඇයි දෙයියනේ නිකන් ගෙදෙට්ට නාකිවෙන එකේ කොල්ලෙක්ව බයිට් කරලා ආතල් එකක්වත් ගන්න බැරියෑ.....අනික හරියට කාව හරි අල්ලගත්තොත් පරම්පරාවම ගොඩ... මේකෙ ඉන්නෙ ඔක්කොම ලොක්කොනෙ.. එක සොක්කෙක් වත් නැහැ... මාර වැඞ්ඩො

අද හවසට කෙනෙක් වෙලාවක් ඉල්ලූවා. මාව දකින්න ආසලු . කටුනායකදි හම්බවුණොත් ඔක්කොම ඉවරයි. මම ඒ හින්දාම ලයිබ්‍රියට එන්න කිව්වා..අද නම් තියෙන හොඳම ඇඳුම ඇඳගෙන යන්න වෙයි.. හිතයි මම තාම ඉගෙන ගන්නවා කියලා.. හාඩ් වෙයාර් ඉන්ජිනේරුවෙක්ලූනෙ...පෙනුමට බර අත්තක්


මම නැගිට්ටා. දොර අගුල පැන්නුවා.. පයිප්පෙ ළඟ පෝළිමට ටින් බෙලෙක්, තීන්ත බාල්දි, කෑන්..

කපුටො රංචුවක්  ෂම්මාගෙ සයිවර් හෝටලේ ඉස්සරහ විසි කරපු පිලූණු වඩයකට පොර කනවා.... අනේ මුන් කොයි තරම් මෝඩද?

අර හවසට එනවා කීව කෙනා හාඞ්වෙයාර් ඉංජිනේරුවෙක් නොවී ත‍්‍රීවිල් ඩ‍්‍රයිවර් කෙනෙක් වෙනවා නම් කියලා මට හදිස්සියෙ ම හිතුනා...

ඒ හිතිවිල්ලත් එක්කම විසාකා ගෙට ගොඩ වුණා.. ඊයෙ රෑ  නයිට් ශිෆ්ට් එක ඉවර වෙලා උදේ කෑමත් නැතිව ගාටපු  ඒකීගෙ ඇස් ආවේ සිංගල් ඇඳ බදාගෙනමයි.

”අන්න ඉක්මනට ලෑස්ති වෙලා පලයන්. සුපයිසරය කිව්වා.. අද උඹට හත වෙනකන් වැඩ කියලා.. අපේ වැඩ තමා පහට ඉවර”

ඇගේ මුහුණෙ තිබ්බෙ අනුකම්පාවක්ද, ඉරිසියාවක්ද කියලා හිතා ගන්න බැරි වුණත්, අද මට හිතපු ගමන යන්න වෙන්නෙ නැති වග විතරක් තේරුම් ගියා.සිද්ධ වෙන්නෙ එකම දේ නම් පාර්ක් එකද, ගාමන්ට් එකද කියලා හිතන කුහක සිතිවිල්ල මම අත් හැරියෙ අම්මා බාප්පාව බැන්ද දාට පස්සෙන්දා.

මම ආයෙත් උලූවස්සෙන් එපිට බැලූවා.. ටැප් එකේ වතුර නිදහසේ ගලා ගෙන ගිහින් කොන්ක‍්‍රීට් පීල්ල දිගේ කුණු කාණුවට වැටුණා. කාණුවට ඉහලින් ඉර පායනවාද කියලා බලන්න මට අමතක වුණා.



--------------------------------------------------------------------------------------------

ප.ලි

සාෂාගෙ සටහන් වලත් මෙහෙම කෙටිකතාවක් ගියා...  අවුලක් නැහැ....මම මේක ටිකක් සංවර්ධනය කළා....අදහස් කියන්න....දැන් සාෂා වගේ ඇවිත් කට්ටිය මට නඩු දාන නෙවී. මම තමා සාෂා... :)

8/26/11

ලොකු අයියා එනතුරු




ටයර් කැබලි අතර පිච්වෙන මල සිරුරු බලමින් ඉදිරියට ගියෙමි. මට හොඳ හැටි මතක මුහුණක් කම්බි වැටක එල්ලී තිබිණි... එය අර්ධයක් පිලිස්සී ඇත.
සිරුර නග්නව පසෙක මැස්සන් වසමින් තිබිණි...
වීරෙ අයියා... මට ඔහු හොඳින් මතකය...නිතර සිනාසෙන, තේ ඉල්ලන මුහුණ මට හොඳින්ම මතකය..
සිසිලි නැන්දා දුටුවොත් ඇගේ පපුව පැළේවි...සිසිලි නැන්දා දින දෙකකින් නොදුටු බව මතකය..
ලොකු අයියාගේ කාමරය තුළට වී ඔවුනොවුන්‍ තැනූ සිහින මට තවම ඇසේ...හොරෙන් එක්වුණු යහලුවෝ වෙනසක් ගැන සිතූහ...එම පාර නිවැරදිදැයි මම අදටත් හමුවණ සියල්ලන්ගෙන් ප්‍රශ්න කරමි..
දැන් සිහින සියල්ල බොඳවී අවසන්ය..... තවත් සිහින තැනීමට ලොකයක් ඔවුන්ට ඉතිරිවී නැතැයි ද සිතමි...මන්ද බහුතරයක් ම එම ලොකයේදීම සමුගත් බැවිණි.
මම ඔහු සෙව්වෙමි... අම්මා ගිනි අවි අමෝරා ආ නිලදරුවන් දැක කම්පනයට මියුණු බව කියන්නටද, අප්පච්චී සිහි මද ගතියෙන් අයියා සොය සොයා ගොස් ආගිය අතක් නොමැති වූ බව කියන්නට ද මම ඔහුව සොයාගත යුතුය....
ටයර් කැබලි අතරිනුත්... කටු කම්බි අතරිනුත්...මිනීකන්නන් අතරිනුත්... ඔහු සැඟවෙන්නට ඇතැයි අනුමාන කරන්නෙමි... මහවැස්සෙන් ද ගිනි අවුවෙන්ද සෑහෙන්න පීඩාවක් නොවෙන තැනක ඔහු ඔවුන් සමඟ සිටිනවා විය හැක...
ඔහු සොයා ගනිමි යන අදිටන පමණක් හදවත තුළ පෙරළි කරයි...නමුත් අවිනිශ්චිත බව සැමවිටම හදවතේ පතුළෙන් අවි අමෝරා නැගෙයි..
මම ඔහුට ලොකු අයියා කීවේ පොඩි අයියලා සිටි නිසා නොව, ඔහු මට වීරයෙක් වූ හෙයිනි... අප්පච්චී නිතර කියන පරිදී ඔහු තමා ගැන පමණක් සිතන්නෙක් නොවූ හෙයිනි... එහෙත් ඔහු අප්පච්චී කී දේ බිඳක් හෝ ඇසුවා නම්, තමන් ගැන පමණක් සිතුවා නම් කෙතරම් හොඳ දැයි මට අද සිතේ...
ඇවිදීම කෙළවර වූ තැන විවේකය ලැබිය යුතුය... මරණය හෙවත් බොහෝ ජීවිත වලට සැනසුම ගෙනෙන වචනය ඔවුහු මට ලබා දුන්හ... ගිනි අවියක ගින්දර පහර රාගයෙන් තව තවත් දවා... ඔවුහූ මගේ ආත්මය හා ශරීරය ඝාතනය කළහ..... සුහුනෙක් සද්ද කරනු පමණක් අවසන් මොහොතේ මගේ මතකයේ ඇත.....
ලොකු අයියා කොහේ හෝ යහතින් ජීවත් වෙනවා ඇතැයි සිතමි... මා ඔහු නුදුටුවද.., ඔහු මා නුදුටුවද .., පාරේ ,මග තොටේ, බස් රියේ, පාසලේ,පන්තියේ, බොහෝ මුහුණු අතරින් මම ඔහු දකින්නට අසාර්ථක උත්සාහයක් දරමි...
වෙනත් පළාතක වෙනත් නමකින් උත්පාද වන තුරුත්.... මට ඔවුන්ගේ වියරු සිනා හඬ ඇසෙන්නට විය... මගේ ගන්ධබ්බ ආත්මය තුළම මගේ අදිටනට යන්නට නොදුන් බැතිමතුන් හට වෛර කරමින් තැවෙන්නට වීමි. අලුත් උපතේදීද මම එම අදිටනම සිත් රුවා ගතිමි...
අදත් මම අපරිමිත ලෝකයේ අතරමංව හිඳිමි....තවමත් බාහිර ලෝකයෙන් පෙළෙමන් සිටිමි...සිනාව,ගැරහුම,නොසැලකීම, මේ සියල්ලෙන්ම පීඩා විඳිමි. ලොකු අයියා හිටියා නම් මා බේරා ගනීවී යැයි මට නිරන්තරව සිතේ...... ඔහු මා සුන්දර යයි පෙනෙනු සියලු රකුසන්ගෙන් ආරක්ෂා කරාවී යැයි වරෙක සිතේ... ලොකු අයියා කොහේදැයි අද සෙවිය නොහැක...නමුත් මට ඔහුගේ දෙනෙත් වල හැඩ රුවක ඡායාව මතකය.
ලොකු අයියා....මම තවමත් සොයමි..හමුවනතුරුම සොයමි.. ඔබ සියලු දෙනාගේ දෙනෙත් අතර මම ඔහු සොයමි..
එදා මට සිටි මගේ ලොකු අයියා තවම ලෝකය තුළ ජීවත් වනවා නම් අනිවාර්යයෙන්ම ඔහු මා සොයාගනු ඇත...
කවුරුන් කුමක් කීවද , කුමන අවඥාවක් කළද, ඔහු මා පිළිගනු ඇත...
උන් ඔහුව කෙතරම් දුකට පත් කළද ඔහු මා සොයා ගනු ඇත...
පොඩි කාලේ සිට අද වෙන තෙක් එකතු කළ පොත් ද පත්ද, වෙසක් කාඩ් ද, පාට කොළද, සිප්පි කටුද,පින්තූරද, එකතු කර තබා මේ ආත්මේ මගේ අම්මාගෙන් බැනුම් අසා විසි කළ නරක් වූ ආහාර වල සුවඳ මතකය ද සමඟ මම ලොකු අයියා එනතුරු මග බලා සිටිමි. එදිනට කිරිබත් හදන්නට පෙරුම් පුරමි..
මම සුහුනන්ට තවමත් කොතරම් බියදැයි ඔහු හමු වූ දිනට පවසමි.....