මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු
Showing posts with label යළි කියවනු පිණිස. Show all posts
Showing posts with label යළි කියවනු පිණිස. Show all posts

9/28/17

-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"

12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි.
සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. එදා සිට අද දක්වා යුග ගණනක්, ගෙවා කාලයද සංස්කෘතියද ඉදිරියට පැමිණ ඇත. අද එම සංස්කෘතිය යනු ආර්ථිකය, දේශපාලනය හා තාක්ෂණය දරා හිඳින වේදිකාවකි. සංස්කෘතිය ගොඩ නැගෙන්නේ සමාජ තලය මතයි. සමාජය නිර්මාණය වන්නේ පොදු එකඟතා සමූහයකිනි. මේ පොඳු එකඟතාවන් බිඳින යමෙක් වේද ඔහු සමාජයෙන් බහිස්කරනය කිරීම සඳහා යුගය අනුව ක්‍රමයක් සොයා ගැනුණි. එය සැම විටම අවාසනාවන්ත වූ ද, කටුක වූද එකක් විය. කෙසේ වෙතත් උපරිමයෙන් බහිස්කරනය කිරීම ඝාතනය විය. මෙය සෑම රටකටම, සෑම යුගයකදීම අප දන්නා ඉතිහාසයේ පොදු කරුණකි. එහෙත් සංස්කෘතිය විසින් කට වහර තුළ එන හිර ගෙවල්, එසේත් නැති නම් ව්‍යක්ත වහරේ "බන්ධනාගාර " නිර්මාණය කළේ වෙනත් අරමුණක් සිහි තබාගෙනය. සමාජයට නොගැලපෙන යමෙක් වේද ඔහු පුනුරුත්ථාපනය කොට නැවත සමාජයට අවශ්‍ය අයෙක් බවට පත් කිරීම බන්ධනාගාර වල අරමුණ විය. එබැවින් වැලිකඩ හිරගෙදර, අපි නිතර පාසල් ආ ගිය සිරිධම්ම මාවත අද්දරට මුහුණ ලූ කොටසේ... "සිරකරුවෝ ද මනුෂ්‍ය යෝ ය." යැයි සටහනක් විය. එහෙත් ගැටුම පැන නගින්නේ මෙතැනිනි. අප සිරකරුවෝ මිනිස් හැඟීම් සහිත අය බව සිතන්නට මැළිවන්නට පටන් ගන්නා තැනිනි. ඔවුන්ට සිදු වුණ අසාධාරණ කම් අප අමතක කරන්නට පටන් ගත් තැනිනි. බල්ලන්ට පූසන්නට ප්‍රේම කරන අපි මිනිසුන්ට ප්‍රේම කිරීම අතපසු කරගත් තැනිනි. එහෙත් එය අතපසු නොකළ කෙනෙක් විය.
2011 වසරේ දින සති මාස අමතක දවසක, මහරගම රාවය කාර්යාලයට තරුණයෙක් පැමිණියේය. මා ඊට පෙර ඔහු දැක තිබුණේ එක වරක් පමණි. ඒ ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රවේශ විභාග දින ප්‍රශ්න පත්‍ර බෙදද්දීය. රාවයේ එදා තිබූ මේස සැකැස්ම දැන් එතරම් මතක නැත. කෙසේ වෙතත් මේ තරුණයා මුල් වරට ඉඳගත් තැන අසල සිටි අපේ මිත්‍රයා ලන්ච් එකේදි ඔහු පිළිබඳව පළමු ප්‍රතිචාරය දුන්නේය.
" ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"

මට රාවය බොහෝ සෙයින් මඟහැරුණි. එහි සගයන්ද යම්තාක් දුරකට මඟ හැරිණි. පණ්ඩිත කොල්ලා මිතුරෙක් වීමටත් පෙරම සම්පූර්ණයෙන්ම මඟ හැරිණි.
12-11-10 වැලිකඩ කෘතිය ලියන ලද්දේ අන්න ඒ පණ්ඩිත කොල්ලා විසිනි.
ඔහු නමින් කසුන් පුස්සෙවෙල නම් විය.
පුර්විකවකින් හා පරිච්ඡේද 42 ක් අතුළු කළ මුළු කෘතිය පුරාම සෑම දෘෂ්ටියකින්ම නිරවද්‍යම සත්‍ය නිරූපණය කිරීමට කසුන් මහත් වෙහෙසක් දරා ඇත. ඔහු 2012 වසරේ සිටම ඒ සඳහා බොහෝ මහන්සි වන්නට ඇත. මේ කෘතිය තුළ ට ඔහු කැප කළ පරිශ්‍රමය කර්තෘ භාගයකින් ලබන සෑහිමට එහා ගිය උත්තරීතර ආත්ම තෘප්තියක් වනු ඇත.
ලොව අසාධාරණය උපරිමයට රජ කරන යුගයක, උපරිම වාරණයට ලක් වූ මිනිසුන් ගැන මුව සොලවන්නටවත් බිය වූ මිනිස් කැල ළඟ, දෙවියන් දෙවොලේ පහන් හොරකම් කරන වග හඬ නගා කීමට සමත් අය ඉපදීම, භයානක භාග්‍යකි. මේ යුගය තවමත් සම්පූර්ණයෙන් කේතුමතියකට පෙරළි නොමැති අන්ධකාර සමයකි. එහෙත් මිනිසුන් නොදුටු, මිනිසුන් යම් දිනක දැනගත යුතු, සත්‍ය හෙළි කිරීම කළ යුතුවම පවතින යුගයකි. මේ යුගයට අනුව ධර්මය කුමක් දැයි මම නිවැරදිව පැවසීමට නොදනිමි. එහෙත් යම් ධර්මයක් පවතීද එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා, සෑම යුගයක්ම, සෑම දේශයකටම මිනිසුන් ලබා දෙයි. ඒ ස්වභාව ධර්මයේ රීතියයි.
නීතිය යනු කුමක්ද? බන්ධනාගාරයක උපරිමය කුමක්ද? සිදු වූයේ කුමක්ද? අපට පෙන්වූයේ කුමක්ද? ආදී බොහෝ ගැටලු සහ පිළිතුරු මේ කෘතියේ අකුරු අතර වෙයි. ලංකාවේ මෙතෙක් ජීවත් වූ සෑම අයෙක්ම ඒ ලේ ගලන ලද වියරුවේ කතන්දරය දැනගත යුතුයි. කියවිය යුතුයි. මේ කෘතිය හුදු කතන්දරයක් හෝ වාර්තාවක් නොවන, සත්‍ය සිදුවීම් ඇඟට දැනෙන්නට ලියූ සටහනකි. සමාජයට ප්‍රේම කරන මිනිසා නිර්මාණය කිරීමට ජනමාධ්‍යවේදීන් අතින් මෙවන් දෑ උත්ථානය නොවේ නම්, අනාගතය තවත් බියකරු බවට පත්වනු නොඅනුමානය. මේ සමාජය අප්‍රමාණ අධර්මයෙන් ගොඩ නැගුනකි. ධර්මය පිහිටුවන්නට ආයෙ ක්‍රිෂ්ණා නොඑන වග අප සැවොම දන්නා නිසා සත්‍ය හෙළිදරව් කරන්නන්, සාධාරණත්වය පහදා දෙන්නන්, යුක්තිය පෙන්වා දෙන්නන් ආරක්ෂා කිරීම, සත්‍ය සාධාරණය යුක්තිය දැකීම පිළිබඳව ඇති නොතිත් ආශාවට නොදෙවෙනි කළ යුතු සාධකයකි.
...ධර්ම සංස්ථාපනාර්ථාය
සම්බවාමි යුගේ යුගේ......


9/9/17

-299- මිනිසුන් ආගමට දක්වන බිය ඇසුරෙන් The Da Vinci Code කියවීම.


The Da Vinci Code නම් සිනමා රුව මා දකින්නේ මීට වසර කිහිපයකට ඉහතදීය. එකල්හී මම එයට ආනුභූති වූ සාහිත්‍ය කෘතිය කියවීමට අවස්ථාව නොලද්දෙමි. එබැවින් මම පෙර දැක්මකින් සහ පූර්ව සිතිවිලි වලින් මුක්තව එම සිනමා පටය නැරඹිමට ඉඩකඩ ලැබුවෙමි. එකල කතෝලික පල්ලිය මෙන්ම මාගේ ඇතැම් කතෝලික හා ක්‍රිසිතියානි මිතුරෝද මෙම චිත්‍රපටය නැරඹීම වර්ජනය කළහ. එමඟින් ක්‍රිස්තියානි ආගමික දර්ශනයේ මූලාරම්භයට කැළැලක් ඇති විය හැකි බව ඔවුහු තදින්ම විශ්වාස කළෝය. සිය ආගම පිළිබඳ වූ ගෞරවය සලකා සිනමා පටය නරඹා නොසිටින්නට ඔවුහු තීරණය කළහ. සිනමාව යනු සත්‍යම නොවන නමුත් අසත්‍යද නොවන බව දැනෙන කල්හි එවැනි සිතිවිලි ඇති වීම ඉතා සාමාන්‍ය දෙයකි. මම ඒ සිනමා කෘතිය රසවින්දෙමි. එබැවින් එය ඕනෑම අයෙකුට නැරඹීමටද නිර්දේශ කරමි.
මා පෙර කී පරිදීම එය ඉතිහාස කාරණා හා විවේචනයක් සමඟින්ම ගොඩ නැගුණත්, එම විවේචනයන් තුළ කුහක බව හෝ නිර්ධය බව කිසිලෙසකින්වත් අඩංගු වී නොතිබිණි. විවේචනශීලි බව තුළින්ම ගොඩ නැගෙන එම කාරණා මඟින් සිනමාව තුළ සිනමාත්මක කතන්දරය අනලස්ව ගලා යාමට ඉඩ කඩ සලසා තිබේ. සිනමාපටය මෙන්ම සාහිත්‍ය කෘතියටද වසර ගණනක් ගත වී ද තවමත් එල්ල වන පක්ෂ මෙන්ම අපක්ෂ විවේචන අතරින් බොහෝමයක් ඉතා කලබලයෙන් කළ ඒකාකාරී ඒවාය.
ඕනෑම නව එළිදරව්වක් යනු ගැටුමකට ඉඩ සදන භයානක අවකාශයකි. The Da Vinci Code ප්‍රස්තුතය නිර්මාණය කළේද එම වේදිකාවයි. ආගමකට සබැඳියාවක් පාන්නා වූ ඕනෑම ප්‍රපංචයක් පිළිබඳව නව එළිදරව්වක් කියා පෑම , සාමාන්‍ය කරුණක් පිළිබඳව හෝ විද්‍යාවක් පිළිබඳව හෝ කෙරෙන නව හෙළිදරව්වකට වඩා සමාජය අතිශයින් කම්පනය කරයි. එය සම්පූර්ණ සත්‍යයක් වුවත්, අසත්‍යයක් වුවත් නිල වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට නොහැකි තලයකදී ගැටුම ආරම්භ වෙයි. ඕනෑම ආගමක් සහ දර්ශනයක් ආශ්‍රිතව මිනිස්සු දෙකොටසක් වෙසෙයි. ඉන් එක් කොටසක් එම දර්ශනය ඉස්මුදුනින් පිළිගනී. අනෙක් කොටස එම දර්ශනය සෑම අතින්ම නොපිළිගනී. ප්‍රතික්ෂේප කර දමයි. ආගමක් හෝ දර්ශනයක් සම්බන්ධව සිදු කෙරෙන නව එළිදරව් මේ දෙපිරිසටම එකහා සමානව වැදගත් වෙයි.
එම නව සොයා ගැනීම පැවති තත්ත්වයට එක් කරන වෙනස යහපත් ද, අයහපත් ද, යන සාධකය මෙහිදී එතරම් වැදගත් නොවෙයි. වැදගත් වන්නේ “වෙනස“ යන කාරණාව පමණි. අනාදිමත් කාලයක සිට ගලා ආ ධාරාව වෙනස් වීම සම්බන්ධව මිනිස් වර්ගයා තුළ නිරන්තරයෙන් පවතින අනියත බියක් වෙයි. ආගම් කෙරේ මෙම බිය වැඩි වශයෙන් පවතී. ඒ ආගම් ඉතිහාසයේ සිට ගලා එන්නේ හැඟීම් මූලික කරගෙන වීම කරණ කොට ගෙනය. අපි සරල උදාහරණයක් පිළිබඳව කතා කරමු.
බුදු හාමුදුරුවෝ උපන් දඹදිව බව ඉතිහාසයේ මූලාශ්‍ර ග්‍රන්ථ කිහිපයක මෙන්ම, කට්න් කට ආ පුරාවෘත්ත වලත් ජාතක කතා සාහිත්‍යෙය් පුර්වාපර සන්ධි ගළපන ස්ථාන වලත් සඳහන් වෙයි. ජම්බුද්වීපය නොඑසේ නෙම් මේ බුදුන් උපන් දඹදිව, වචනයක් ලෙස විසන්ධි කළ හොත් ,දඹ+ දිව ලෙස බෙදේ. ඉන් දඹ යන්න ජලයටත්, දිව යන්න ද්වීපයටත් වර නැගිය හැක. එවිට ජලයෙන් වටවූ දිවයින ලෙස සරලවම දඹදිව යන වචනය තේරුම් ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ඉන්දියාව සමස්තයක් ලෙස ජලයෙන් වටවී නොපවතින භූමියකි. අර්ධද්වීපයකි. එවිට දඹදිව යනු ඉන්දියාව විය හැකිද යන්න කාලයක් සමහරු නැගූ පැනයක්ව පැවතිණි. ඉන් අනතුරුව ඔවුහු අලුත් යෝජනාවක් ගොවෝය. ඉන්දියාව හෝ භාරත දේශය නොවේනම්, එවැනි ජලයෙන් සමස්ත ලෙස වට වූ ආසනනයේම ඇති භූමිය ලංකාදීපය නිසා ඒ දඹදිව ලංකාව යයි ගලපා ගත හැකි බවයි. දැනටත් බුදු දහම පවා පවතින හෙයින්, ඇතැම්හු අදටත් මෙම සාධක වලින් තවත් ඉදිරියට කතා නිර්මාණය කර හෝ සොයා ගෙන බුදුන් උපන් දේශය ලංකාව යැයි තර්ක කරති. එහෙත් එම තර්කයට විරුද්ධව ඉන්දියාවෙන් කිසි පැමිණිල්ලක් නොආ නමුත් ලංකා මිනිස්සු තමන්ට ඉබේ පාත් වූ ගෞරවය පිළි නොගෙන හදිසියේම කලබල වූහ. බුදුන් ඉන්දියාවට දීමට වැඩියෙන් වෙහෙස වෙන්නෙ ලංකාවේ මිනිස්සුය. එයට හේතුව කුමක් විය හැකිද?
බුදුන් උපන් දඹදිව ලංකාව යැයි සිතීම ගැන වඩ වඩා බිය වී සිටින්නේ, ඉන්දියාව සහ නේපාල සීමාවේ ලුම්බිණි සල් වනය නරඹන්නට සල්ලි ගෙවාගෙන ගිය බෞද්ධයෝය. තමාගේ විශ්වාසය බිඳී යා හැකියැයි පවතින බිය තරම් විශාල බියක් මිනිසුන්ට තවත් නැත. සියල්ල අතහරින්නට ආගමික ඉගැන්වීම තුළ ඉගැනුම් ලබන බෞද්ධයන්ට එය එසේ නම්, ලෞකිකත්වය පිළිබඳ වැඩි ඉගැන්වීමක් ඇති කතෝලික ප්‍රජාව පිළිබඳව කවර කතාද?
ඔවුහූ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයාගෙන් පසුව ඔහුගේ රුධිර ධාතුව මනු ලොව පැවතීම හා ව්‍යාප්ත වී යාම සම්බන්ධව විශාල බියක් දක්වන බව පෙනේ. එය ස්වභාවිකය. දෙවියන් පරම්පරාවක් ලෙස වර්ධනය වීම මඟින් දෙවියන් ගේ කියුම් කෙරුම් පිළිබඳව කතා කරන පුද්ගලයන් අපහසුතාවයට පත් වීම ඒ බියේ එක් ප්‍රබේදයකි. විශේෂයෙන්ම ආගම කියවන පුද්ගලයන් මත, එනම් පාදිලිවරුන් මත “ලෝක දේශපාලනයේ රැඳීම“ රැඳී පවතී.
ආගමක් පවතින්නේත් ඉදිරියට ගලා යන්නේත් මිනිසුන්ගේ බිය සහ ප්‍රාර්ථනාවන් පිරුණු හැඟීම් මතය. එම හැඟීම් ඉදිරියට අසත්‍ය හෝ සත්‍ය යන්න තහවුරු කළ හෝ නොනළ ඕනෑම දෙයක් ගෙනැවිත් පාවා දුන් කල ඇතිවන ගැටුම කිසිවෙකුටත් පාලනය කළ හැකියයි ඔබ සිතනවාද?
මරියා නැමති කන්‍යාව ගැබ් ගනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ධාතුවකිනි. ඒ ධාතුව ගෙනෙන්නේ ගේබ්‍රියෙල් නම් දේවදූතයාය. බයිබලයේ කියවෙන මේ කතන්දරයත් සෑම ආගමක්ම මිනිසුන්ට පැවසීමට උත්සාහ කරන පූජනීය කතන්දර වලින් එකක් වීමට මෙන්ම සම්පූර්ණ සත්‍ය හෝ අසත්‍යය වීමටත් එකලෙසම ඉඩ ඇත. ශාස්තෘවරයෙකුගේ පූජනීය බව උත්පත්තියේ සිටම කියාපෑමට නිර්මාණය වන කතන්දර ඕනෑම ආගමක වෙයි. උදාහරණයක් ලෙස මහමායාද පිළිසිඳගන්නේ පෙහෙවස් සමාදන් වූ දිනක තනිව සයනයේ සැතපී සිටියදී අනෝතප්ත විල අසල සුදු ඇත් පොව්වා නෙළුමක් සොඬින් ගෙන කුසට පිවිසෙන ලද සිහිනයකිනි. එය මරියා කන්‍යාවට ගේබ්‍රියෙල් ගෙනා ශුභාරංචියට වඩා විශාල වෙනසක් නැත. ආගම හෝ දර්ශනය පමණක් වෙනස් වී ඇත. කෙසේ වෙතත් පෙර කී සේම මිහි බට ශාස්තෘවරුන්ගේ පරම්පරාවන් ආරක්ෂා වීම ආගම් නිර්මාපකයන්ට විශාල තර්ජනයක් වී ඇති බව පෙනේ.
කිසිම ශාස්තෘවරයෙක් කිසිම ආගමක් නිර්මාණය කරන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ආගම නිර්මාණය නොකළ සේක. ඔහු දේශනා කළ යම් ධර්මයක් සහ ඔහුගේ අසමසම බවට දැක්වූ ගෞරවය නිසා එය නිර්මාණය කළේත් පවත්වා ගත්තේත් ඉන් පසුව පැමිණි අය විසින් ය. බුදුන් වහන්සේ පිළිබඳවත් එය එසේමය. බුදුරජාණන් වහන්සේගේ අසම සම බව පසු කාලීනව ආගමක් ලෙස නිර්මාණය වූයේ එය පවත්වාගෙන යාම සඳහාය. රාජ්‍ය අනුග්‍රහය ලැබීම තුළින් සමාජය සහ සංස්කෘතිය තුළ ඕනෑම ආගමක් මුල්බැස ගන්නා අතර ඉන් අනතුරුව ආගම වටා මිනිස්සු රොක් වෙන බැවින් සංස්තෘතිය දේශපාලනය මෙන්ම සමාජයද ආගමට අවශ්‍ය ලෙස හැසිරීමට පටන් ගනී. පසුව ආගම සියල්ලම වෙයි. එවිට නිර්මාණයකින් හෝ පවතින ධාරාව වෙනස් මඟකට හැරෙන්නට ඉඩක් ලැබෙන, තිබුණු රාමුව බිඳී වැටෙන්නට ඉඩක් ලැබෙන කුමක් හෝ යමක් සිදුවේ යැයි සැක පහළ වුවහොත් ආගම මත යැපෙන්නෝ ඊට බිය වෙති.
ක්‍රිස්තියානි ආගම් නිර්මාපකයන් මරියා මග්දලේනාට බිය වූයේ මේ නිසා විය යුතුයැයි සිය සාහිත්‍ය තුළ Dan Brown විශ්වාස කරයි. සිනමාව තුළින් එළියට පැමිණෙන්නේද එම කරුණමයි. ලියනාඩෝ ඩාවින්සි යනු එක්තරා චිත්‍ර ශිල්පියෙක් නොවේ. ඔහු ගේ නිර්මාණ සියල්ලම වාගේ කතා බහට ලක් වූ, අගය කරන නිර්මාණයන්ය. ඔහු වැන්නෙක් ගේ සිතුවමක් හරහා ගලායන කතාවට උල්පත සදා ගැනීම තුළ මෙම කතාවේ නිර්මාපකයෝ එයට අනභිබවනීය බවක් ළඟා කර දෙයි.
මරියා මග්දලේනා ගෙන් ක්‍රිස්තුස් වහන්සේ ගේ පරපුර තව දුරටත් ඉදිරියට පැමිණි බව, දක්ෂ ලෙස සාහිත්‍ය කෘතියේ මෙන්ම සිනමා පටයේත් කියා පාන්නේ සමහර ඉතිහාස සංසිද්ධි කිහිපයක් එකම සිද්ධියේ පුරුක් ලෙස යා කර ගනිමිනි. එය සාහිත්‍ය කරුගේ සහ සිනමා නිර්මාණකරුගේ දක්ෂතාවය මිස සත්‍ය ඒ ලෙසම පැවතීම නොවිය හැක. සමහර විට එය සම්පූර්ණ සත්‍යම විය හැක. එහෙත් ආගමට, සංස්කෘතියට දක්වන අසීමිත බිය නිසා රාමු ගත වීම තුළින් සිදුවන්නේ මෙවැනි නිර්මාණ පිළිබඳව කතා කිරීම අල්ප වීමයි. තහනමට ලක් වූ සියල්ල කෙසේ හෝ නරඹන මිනිසුන් වෙතත්, සිනමාව පිළිබඳ කියවීමක් නිර්මාණය නොවේ නම්, එයින් සිනමාවට සහ නිර්මාණකරුවන්ට වඩා ප්‍රේක්ෂකයන්ට සිදුවන්නේ අවැඩකි. සිනමාව කියවීම ඇරඹිය යුත්තේම එය සමාජය වෙත බලපෑම් එල්ල කරන්නට උත්සාහ කරන දිශාවට සම්මුඛව සිනමාව නැරඹීමෙනි.

8/10/17

-281- රටක් වටින කෙනෙක්

ඉස්කෝලෙ ගිහින් ඉවර වෙනකොට හැමෝගෙම හිතේ ඊළඟට වද දෙන්නෙ රස්සා ප්‍රශ්නය. සමහර අයට උසස් අධ්‍යාපනයට පූර්ණ කාලීනව යන්න වරම් ලැබුණත්, ගොඩක් අයගෙන් ඒ අවස්ථාව මඟ හැරෙනවා. ඒත් අද නම් බොහෝ දෙනා රස්සාව එක්ක අධ්‍යාපනයත් සමබරව කරනවා. අපි කතා කරන්න සූදානම් වෙන්නෙ young අපිට කැමති රස්සාවල් හොයා ගන්න තියෙන අමාරුව ගැන නම් නෙවෙයි. හොයා ගත්ත රස්සාව හිතේ සතුටින් කරගෙන යන්න තියෙන බාධාවල් ගැන අපි අද කතා කරමු.

රස්සාවක් කියන්නෙ ජීවිතේ ප්‍රධාන සාධකයක්. ඒ හින්දාමයි සිංහල භාෂාවේ "ජීවනෝපාය" කියන වචනය ඒ වෙනුවෙන් යොදන්නෙ.රස්සාවෙ අපිට ලැබෙන ශ්‍රේණිගත කිරීම මේ මොහොතෙදි ලොකු එකක් වෙන්නත් පුළුවන්. පොඩි එකක් වෙන්නත් පුළුවන්. ඔයා මැනේජර් කෙනෙක් වෙන්නත් පුළුවන්.    පුංචි ලිපිකරුවෙක් වෙන්නත් පුළුවන්. ඒත් ඔය කාට වුණත් මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ එකම විදිහෙ ජීවිත සමූහයකට. 

බඩගෝස්තරවාදී ආර්ථික රටාවක ජීවත් වෙන අපේ සමාජෙ බොහෝ දෙනා රස්සා කරන්නෙ, එදා වේල පිරිමහගන්නයි. ඔයා වුණත්, මම වුණත් එහෙම වෙන්න පුළුවන්. ඒ අපේ වැරැද්දද? System එකේ වැරැද්දද කියලා බැණ අඬගහගෙන නම් තේරුමක් නෑ. පවතින System එක ඇතුළෙ ඉන්න ජීවින් වෙන ආයතන ප්‍රධානියාගේ සිට සුළු කම්කරුවා දක්වා ඔයත් ඇතුළත්ව හැදුණු මේ දැල ඇතුළෙ නොරිස්සීමි, තාඩන පීඩන, කැපිලි කෙටිලි, අමනාපකම්, දුෂ්ටකම්, එකට එක කිරීම් වගේම තමන්ගෙ වැඩක් බලං පාඩුවෙ ඉන්න එක සහ හිතුවක්කාරකම් කරලා සේවයෙන් පහ කරන තැන දක්වා දේ සිද්ධ වෙනවා. හිතන්න. මේ හැම දෙයක්ම රස්සාව කරන කාලෙ ඇතුළෙ ඔයාව අපිරිසිදු කරනවා. ලේ පුච්චනවා. නිහතමානීව, සහයෝගයෙන්, හැමකෙනෙක් වෙනුවෙන්ම සිහිනුවණින් යුතුකම් ඉටු කළොත්  ඔයාගෙ ලේ පිරිසිදු වෙනවා වගේම system එකත් ටිකෙන් ටික ක්‍රමානුකූල වෙන්න පටන් ගනීවි. සමස්ත රැකියා පද්ධතියම යහපත් තැනක් වේවි. 

මුල් බැහැගත්ත හුඟක් අදහස් අපිට වෙනස් කරන්න හරි අමාරුයි කියලා දැන් ඔයා හිතනවා ඇති. ඊටත් වඩා, වෙනස් කරනවා නම් වෙනස් කරන්න තියෙන දේවල්  ගැන හිතද්දි ඔයාට කොහෙන් පටන් ගන්න ඕනෙද කියලා හිතා ගන්න බැරුවත් ඇති. ඒ හින්දා අපි ඔයාගෙ පැත්තෙන් පුංචියට වෙනස් වෙන්න පටන් ගනිමු. පළවෙනියටම ඔයා සහයෝගයෙන් සිටීමේ හැකියාව දියුණු කරගන්න.

අවිවේකී, විවෘත බවක් නැති, හැමතිස්සෙම භූත තර්ක අරන් එන මිනිස්සු එක්ක රැකියාවක් කරන තැනදි සහයෝගයෙන් ඉන්න එක වෙහෙසක් කියලා ඔයාට හිතෙනවා ඇති. ඒත් අපි හිතන තරම් ඒක අමාරු නෑ. ඔයයි, මමයි දෙන්නම අයිති වෙන අපේ පරම්පරාවට මඟ ඇරිච්ච ඇහුම්කන් දීමේ ගුණය ටිකක් දියුණු තියුණු කරගත්තොත්, මේ අය එක්ක සහයෝගෙන් වැඩ කරන එක, හරිම ලේසියි. අපේ පුරාජේරු කතා එළිදක්වන්න ඉස්සර, අනෙක් පාර්ශවයට කියන්න වුවමනා දේ මුදා හරින්න ඉඩදෙන්න පුළුවන් නම් අපි වෙනස් වෙන්න පටන් අරන් ඉවරයි.

ඔවුන් කියන දේ අහගත්තාට පස්සෙ ඔයාගෙ අදහසත් කියන්න. හෙමින් සීරුවෙ තීරණයකට එන්න. එතකොට නිරන්තරයෙන් තීරණ එහාට මෙහාට කිරීමේ කරදරය ඔයාට ඇති වෙන්නෙත් නෑ. හොඳ අදහස් හුවමාරුවක් පවතින තරමට කාර්ය සාධනය ඉහළ යනවා. පාරිභෝගිකයා සහ සේවාදායකයා අතර හොඳ අදහස් හුවමාරුවක් තිබේ නම්, පාරිභෝගිකයා සතුටු වෙනවා.  සමාජ ජාල comment තීරු වල customer care  නිලධාරීන් බැනුම් අහන විදිහ ඔයා දැකලා ඇති. එහෙම ගැටලු වලට සම්පූර්ණ හේතුව හොඳ අදහස් හුවමාරුවක් නැති කමයි. සේවා ප්‍රධානියා හා සේවකයන් අතරෙ වුණත් නිතරම ගැටුම් ඇති වෙන්නෙ මේ කාරණාව නිසාම තමයි. 

අදහස් හුවමාරුවක් සාර්ථක කරගන්න හරිම ලේසියි. පළවෙනියටම ඔයාට තියෙන්නෙ ඕනෙ නිවැරදි කල්පනාවක්. ඒ කියන්නෙ, එලෝ විකාරෙන් පොළෝ අතු ගානවා වගේ නොසිටීම ගැනයි. නියම සවන්දෙන්නෙක් විදිහට, කතා කරන කෙනාට තමන්ගෙ අවධානය දෙන්න තරමෙ හැකියාවක් ඔයාට තියෙන්න ඕනෙ. ඔහුගෙ හෝ ඇයගෙ අදහසට හූ මිටි තියන්න. හැබැයි අනවශ්‍ය විදිහට බාධා කරලා, ඔයාගෙ අදහස ඒ වෙලාවෙ කියන්න යන්න නම් එපා. එයා කියන දේ මතක තියාගන්නත්, එයාට කියන්න අවශ්‍ය දේ හරියට කියන්නත් ඔයාගෙ අදහස් දැක්වීම බාධාවක් වෙන්න පුළුවන්. එහෙමයි කියලා කෙනෙක් පවසන දේ ගණන් නොගෙන ඉන්න එපා. වචන වලට වැදගත්කමක් දෙන්න. කාරණාවක් පැහැදිළි කරගන්න වෙලාව ගන්න ලෝබ නොවී ඉන්න. ප්‍රධානියාගෙ බැනුම් වලට පවා සාවධානව සවන් දෙන්න. මොහොතක් හිතන්න. වැරැද්දක් තිබේ නම් හදාගන්න. ගැටලුවක් නැත්තම්, ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරන්න. ඒ මත රැඳිලා වෛරයෙන් පැසවන්න එපා. සතුටින් ඉන්නම බැරි නම් වෙන ආයතනයක් තෝරගන්න. ඒක ඔයාගෙ අයිතියක්.

ඔයාගෙ යටතේ ඉන්න අය ගැන, කාරුණික වන්න. වැරදි ඇතොත් පැහැදිළිව කියාදෙන්න. කෑගහනවාට වඩා, සරලව සෞම්‍යව පැහැදිළි කිරීමෙන් ඔවුන්ට තේරුම් ගන්න පහසුවක් වේවි. සෘජුව විමසන්න. සෘජුව පවසන්න. හැමෝම එක වගේ නොවයි. කෙනෙක්ගෙ මානසික තත්ත්වය වටහා ගන්න උත්සාහ කරන්න. රැකියාව රියැලිටියක් බව මතක තියා ගන්න. සමහර නවකතා පොත් වල තියෙන ආයතන වගේ ෆැන්ටසිමය ස්වභාවයක් රියැලිටිය ඇතුළෙ නැති නිසා, ගනුදෙනු හා ලිපි ලේඛන වලදි වෘත්තීමය ස්වභාවය රැක ගන්න හැමවිටම උත්සාහ කරන්න. ඕනෙම වෘත්තිය කරුණකදි ලිඛිත බවට මුල් තැන දෙන්න. නමුත් ආයතනය තුළ හුදකලා නොවී ඉන්න.

අපි මිනිස්සු නිසා හැමදෙයක්ම කතා බහ කරන්න පුළුවන්. යහපත් සන්නිවේදනයකට අපි කැපවෙන තරමට රැකියාවත්, ආයතනයත්, අපිත් දියුණු වෙනවා. ආයතන සංවර්ධනය වෙද්දි සමාජයත් සංවර්ධනය වෙනවා. සමාජය දියුණු වෙද්දි රටත් ඉහළට යනවා. මතක තියාගන්න. ඔයා පුංචි තිතක් නෙවෙයි. ඔයා රටක් වටිනවා. ඔයාට රටම වෙනස් කරන්න පටන් ගන්න පුළුවන්.



1/28/17

-275 - තාරුණ්‍ය වීදියේ ගොදුරක් නොවන්නට.

අපේ young ‍generation එක ඒ තරම්ම සැලකිළිමත් නොවන, එහෙත් දැනගෙන සිටිය යුතුම තේමාවන් ගැන කතා කරන්න අපි අමතක කරන්නෙ නෑ. අදත් අපි සූදානම් වෙන්නෙ ඒ වගේ වැඩකට. රැකියාවට යන්න, කැම්පස් යන්න, ඉස්කෝලෙ යන්න හෝ ටියුෂන් යන්න ආදී එකී මෙකී නොකී ඕනෑම කටයුත්තකට මහ මඟට බහින්න වෙන ඔබට උදෑසන පටන් රාත්‍රිය වනතුරු විවිධ වෘත්තිකයන් හමුවෙනවා. වෛද්‍යවරු, හෙදියො, ගුරුවරු, ව්‍යාපාරිකයො, රියදුරුවරු, කොන්දොස්තරවරු, කම්කරුවන් ආදී ලෙස අපට මේ සියලු වෘත්තිකයන් සඳහා නමක් ලබා දෙන්න පුළුවන්. ඒ සඳහා අපි යොදාගනු ලබන්නේ ඔවුන් සමාජයට ලබාදෙන ශ්‍රමයේ ස්වරූපයයි. බොහොම මෑත කාලයක් වෙනතුරු සංස්කෘතික කාරණා නිසා ග්‍රාම්‍ය ව්‍යවහාරයේ හඳුන්වා දීම් වලින් පීඩාවට පත් වුණත්, අද වන විට පිළිගත් හඳුන්වදීමක් ලබන වෘත්තිකයන් කොටසකුත් අපේ රටේ ඉන්නවා. ඔවුන් තමයි ලිංගික ශ්‍රම සපයන්නන් සහ සපයන්නියන්. ඔවුන් ගැන පුවත් පත් වල පිටු ඇති තරමට පිරෙනවා. නමුත් අද අපි කතා කරන්න සූදානම් වන්නෙ ඉන් මඳක් ඔබ්බට පියවරක් තබමින්. කොහොමද මේ ලිංගික ශ්‍රම සපයන්නෝ ලංකාවේ තාරුණ්‍යට බලපාන්නේ යන්න පිලිබඳව.

බොහෝ අවස්ථා වලදි මෙම ලිංගික ශ්‍රම සපයන්නන් තමන්ගෙ වෘත්තියට පැමිණෙන්නෙ සිය කැමැත්තෙන් නෙවෙයි. ඉතාම අසරණ තත්වයට පත් වූ විටක හෝ අහම්බයකින් හෝ මෙම රැකියාව ඔවුන් තෝරාගත්තා වෙන්න පුළුවන්. ගමක සිට නුහුරු නුපුරුදු කොළඹට රැකියාවකට එන තරුණියක්, නාඳුනන පිරිමි ඇසුරක් දුරදිග යෑමෙන් මෙවන් තත්වයකට පත්වෙන්න පුළුවන්. දුප්පත්කම විසින්, අධ්‍යාපන මට්ටම පහළ තිබීමෙන්, රැකියාවක් නැති කම නිසා මෙවැන්නකට පත්වෙන්න පුළුවන්. රැවටීමක් නිසා මෙවන් තත්වයකට පත්වුණා වෙන්නත් පුළුවන්. අධ්‍යාපන වාසි වැඩියෙන් ලබා ගැනීමේ අල්ලසක් ලෙස මෙය ආරම්භ වුණා වෙන්නත් පුළුවන්. ඒ ආරම්භය කුමක් වුණත්, ඉන් සමාජයට වන බලපෑම කතාබහට ලක්නොකර බැහැ.

ශ්‍රී ලංකාව තුළ ලිංගික ශ්‍රම සපයන්නන් ප්‍රධාන කොටස් තුනකින් අපට හමුවෙනවා. ඉන් එක් වර්ගයක් සුපිරි වර්ගයේ ලිංගික ශ්‍රම සපයන්නියන්. මොවුන් මෙම වෘත්තිය සඳහා යෙදෙන්නෙ අර්ධකාලීනව. ඔවුන් යම් ආයතනයක රැකියාව කරමින්, ඒ අතරතුර සිය සේවාදායකයන් සමඟ කටයුතු සිදුකරනවා. ඔවුන් සම්බන්ධ කරගැනීම සඳහා වෙහෙසක් දැරිය යුතු අතර, වගකීම් සහගත බවක් පාර්ශව දෙක අතරම රැඳී තිබෙනවා. සෞඛ්‍ය මෙන්ම පිරිසිදු කම අතින් ඔවුන් පිළිබඳව ඔවුන්ගේ තැරැව්කරුවන් රෙකමදාරු කරනවා. ඔවුන් ඉතා ඉහළ මිලක් අය කරන අතර, ඔවුන් සපයන තැරැව්කරුවන් ද අතරමැද සිට විශාල ආදායම් ලබනවා. මොවුන් සිය සමාජ ජීවිතය කිසිම ගැටලුවකින් තොරව ගෙවා දමනවා. සාමාන්‍ය ලිංගික ශ්‍රම සපයන්නියන් අයත් වන්නේ දෙවැනි කොටසට. ඔවුන් තැරැව්කරුවන් සමඟ සිය සේවාදාකයා හමුවට ගොස් සිය කාර්යය ඉටුකර මුදල් ලබාගන්නවා. මෙවන් කාන්තාවන් සඳහා පැයකට දෙකකට යම් මුදලක් අය කර කාමර ලබාදීමට කැමති හිමිකරුවන් බස්නාහිර පළාත තුළ බොහෝ සෙයින් සිටිනවා. මේ අතර අපට හමුවෙන තෙවන කොටස වීදි ලිංගික ශ්‍රම සපයන්නියන්. ඔවුන් මේ දෙපාර්ශවයටම වඩා වෙනස්. ඔවුන් සිටින්නෙ වීදියේ වාගෙම සේවාදායකයා හමුවන්නෙත් වීදියෙන්මයි.

වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ඔබ නිරන්තරයෙන් දැක ඇති. එක් එක් කාල වලදී ඔවුන් සෙසු කාන්තාවන් අතරින් තමන් විශේෂ කර හඳුන්වාදීම සඳහා විවිධ ක්‍රම භාවිතා කරනවා. එක් අතක සුළැඟිල්ලට පමණක් තද රතු නිය ආලේපන භාවිතා කිරීම, එක් පයකට සළඹක් පැළදීම, කුඩය පටියෙන් පහලට එල්ලා කරකවමින් සිටීම, විශාල වශයෙන් පුයර ගෑම මින් කිහිපයක්. අද ඔවුන් තමන් පිළිබඳව සේවාදායකයන්ට සන්නිවේදනය කරන්නේ විනිවිද පෙනෙන හෝ යට ඇඳුම් කැපී පෙනෙන ආකාරයේ ඇඳුම් වලින්. මේ හේතුව නිසාම වර්තමානයේ තරුණියන් සිය ඇඳුම් තෝරා ගනිද්දි මඳක් සූක්ෂ්ම විය යුතු වෙනවා. එවන් ඇඳුම් ඇඳ වීදි වල සිටීම නිසා නිසා ලිංගික ශ්‍රම සපයන්නියන් සොයා එන සේවා දායකයන්ගෙන් සාමාන්‍ය කාන්තාවන් පවා අපහසුතාවයට පත් වූ අවස්ථා අප දැක තිබෙනවා.

එමෙන්ම, මෙම වීදි ලිංගික ශ්‍රමික කාන්තවන් තරුණ පිරිමි ළමයින් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වනවා. එයට හේතුව දිගු කාලයකට නිරෝගී සේවාදායකයන් සොයාගැනීම සහ කුඩා කල ඇබ්බැහි කර ගැනීමට ඇති පහසුවයි. එනිසා ඔබට එවැන්නන්ගේ සේවය අනවශ්‍ය නම්, වෙනස් ආකාරයේ වැඩිමහල් කාන්තාවක්, වීදියකදී ඔබ අසලට අනපේක්ෂිතව වැඩි වාර ගණනක් ළංවේනම් මඳක් කල්පනා කාරී විය යුතු වෙනවා.

තව දුරටත් මෙම වෘත්තියේ යෙදෙන අනෙක් කොටස් වලට වඩා සමාජ රෝග වාහකයන් ලෙස වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් දස ගුණයක් වේගයෙන් ක්‍රියා කරනවා. අරපරිස්සමක් නොමැති, ලිංගික කටයුතු සහ තෝරා බේරා ගැනීමක් නොමැතිව යහන් ගත කරගන්නා සේවාදායකයන් මෙම ගැටලුවට හේතු සපයනවා. ඔවුන් සමහර අවස්ථා වල සාමාන්‍ය සමාජ පද්ධතියටත් බාධා කරනවා. පිරිමි ළමයෙක් වැරදීමකින් හෝ වීදියේදී සිරුරක ගැටුණොත්, ඔහුට ඉතා අශික්ෂිත වචන වලින් බැණ වදිනවා. එයට එකතු වීමටම ඇයට පදික වේදිකා වෙළඳ මිතුරු සමූහයක් සිටින බවත් අමතක කරන්න එපා. වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ක්‍රියාත්මක වෙන්නේ ජාවාරම් ස්වරූපයෙන්. ඔවුන්ට ඉහළින් මේ කටයුත්තේ පළපුරුදු, තලතුණා ප්‍රාග්ධනය හිමි කාන්තාවක් හෝ පුරුෂයෙක් සිටිනවා. මෙවැනි ජාවාරම් කරුවන් තම තමන්ට අයත් ප්‍රදේශ බෙදාගනිමින් සිය සේවක සේවිකාවන් මෙම වෘත්තියේ යොදවනවා.

බස්නාහිර පළාත තුළ පසුගිය දශක තුන තුළ ඉතා වේගයෙන් වීදි ලිංගික ශ්‍රම සපයන්නියන් ව්‍යාප්ත වී තිබෙනවා. එයට හේතු කිහිපයක් බලපෑවා. 1987 න් පසු බස්නාහිර පළාතේ සාමාන්‍ය සමාජ ශාලා බොහෝමයක් නොයෙක් හේතු නිසා වැසී යාම නිසා ඒවායේ සිටි කාන්තාවන්ට ස්ථාවර තැන් නැතිවීම ඉන් එකක් . තවත් හේතුවක් ලෙස ආර්ථික මධ්‍යස්ථාන හා වෙළඳ කලාප බිහිවීම නිසා ඒවාට ගම් වල සිට පැමිණි කතුන් මෙම වෘත්තියට පැමිණීම හඳුන්වන්න පුළුවන්. තවද, වීදි ආශ්‍රිතව සිය ජීවන වෘත්තියේ යෙදෙන සමහර වෘත්තිකයන් තම සේවාදායකයන් ලෙස යොදා ගැනීමේ පහසුවත් මෙහිදී විශේෂයි. වැඩියෙන්ම කාර්ය බහුල පදික වේදිකා ඔබට දැකිය හැක්කේ බස්නාහිර පළාත තුළයි.


මේ ලිපිය අරමුණ , තරුණ ඔබ මේ කරුණ පිළිබඳ දැනුවත් කිරීමයි. මෙම වෘත්තිය කිසිසේත් පහත් කොට සැලකිය යුතු නැහැ. ලොව ඉතාම පැරණි වෘත්තීන්ගෙන් එකක් වන මෙය, එක්තරා ආකාරයකින් අපට තේරුම් ගත නොහැකි මානුෂික ස්පරූපයකින්ද යුක්තයි. සේවාදායකයාද, සේවා සපයන්නාද අනාරක්ෂිත බව දැන දැනම සේවාදායකයාගේ මොහොතක සතුට මුදල් කරගැනීමට වෙහෙසන ඔවුන් ද මේ සමාජයේ යම් පවුලක කොටසක්. ඔවුන්ගේ වෘත්තිය නිසා ඔවුන්ටම අවසානයේ අත්වන කායික මානසික ගැටලු වෙනස්ම සමාජ කතිකාවක්. එහෙත් ඔබේ තාරුණ්‍ය ආතතීන්ගෙන් අනාරාක්ෂිත කිරීමටත්, කායිකව රෝගී කිරීමටත් කිසිවෙකුටත් අයිතියක් නැහැ. එනිසා පරීක්ෂාවෙන් සිටින්න. අනාරක්ෂාවෙන් දුරස් වන්න. 


1/12/17

-274- හරි හපන් පෙම්වත්තු

විශ්වයකට එක්වරක් පහළ විය හැකි ගණයේ අසහාය නිර්මාණකරුවකු වන විලියම් ෂේක්ස්පියර්  රෝමියෝ ජුලියට් ජීවිතේ එක් වතාවක් හරි ඔබ කියවලා තිබෙනවා නම්, රෝමාන්තික ප්‍රේමය ගැන ඔබට අමුතුවෙන් කියාදෙන්න දෙයක් නෑ. රෝමියෝ ජුලියට් කතාව පුරාම රෝමාන්තික හැඟීම් ඉපදෙන දෙබස් වලින් පිරිලා. ආදර හසුනක් කියන්නෙත් හරියටම රෝමියෝ ජුලියට් පිටපත වගේ හැඟීම් පිරුණු කඩදාසියකට

Technology එක බදා ගෙන ජීවිතේ ගෙවෙන විට, සමහර සියුම් ප්‍රහර්ෂයන් අපෙන් නොදැනීම මිදෙන්න පටන් ගන්නවා. අලුත් පරම්පරාවක තත්‍ය අවකාශික බැඳිම් අතරෙ ජීවත් වෙන අපිට අතීත කාමයට බැඳී මිඩංගු කරන්න කාලය ඉතා අල්පයි. ඒත්  සුන්දර තාරුණ්‍ය අපේ ජීවිත වලින් සදහටම මැකිලා යන්න ඉස්සරින් අප එය විඳගත යුතුයි. සමාජ ජාලා වලට හිර වීම එක්කම අපෙන් ගිලිහිලා ගිය චමත්කාර ජනක බොහෝ දේවල් තිබෙනවා. ඉන් එකක් තමයි අද young අපි කතා කරන්න සූදානම් වෙන ආදර හසුන්.

වික්ටර් රත්නායක මහත්මයාගේ තරු අත් අකුරින් ලියන පෙම්පත පිළිබඳ ගීය, මිල්ටන් මල්ලවාරච්චි මහත්තමයාගෙ කොහොම පටන් ගෙන, මොනවා ලියන්නද කියා නොවැටහෙන පෙම්පත ගැන ගීය අහන වෙලාවට මීට දශක කිහිපයකට එහා ගීත වලට  නිරතුරුව වස්තු විෂය වුණු මේ ආදර හසුන් පිළිබඳ පුංචි අවබෝධයක් ලබන්න පුළුවන්. සෙනෙහෙ කොළයක් කියන්නෙ එකිනෙකාගේ ප්‍රේමය කියාපාන ආඩම්බරකාර සැමරුම් විශේෂයක්. ප්‍රේමයක අනුරාගය, ප්‍රේමයක ප්‍රාර්ථනා, ප්‍රේමයක සිහින මෙන්න අනාගතය මේ ලියුම් වල සැඟවෙනවා.

තම ළබැඳියන් වෙනුවෙන් කාලය, සහ හැඟීම් මිඩංගු කර කරන මෙම ආදර අකුරු හුවමාරුව සැබවින්ම යම් මට්ටමක සාහිත්‍ය නිර්මාණයක්.
සුවඳ ගැල්වූ කොළයක, රෝස පෙති හෝ ඕකිඩ් පෙති අතුරලා තමන්ට පුළුවන් ලස්සනම අත්අකුරෙන්, සුවඳ පෑන් තුඩකින් හැඩ මවලා ලියන ආදර ලියුමක් කියවපු කෙනෙක් අපේ පරම්පරාවෙන් නම් හොයා ගන්නත් නැති තරම්. අද වන විට ඉතා වේගවත් පණිඩිඩ හුවමාරු ක්‍රම ජංගම දුරකථන, අන්තර්ජාල හා සමාජ ජාලා නිසා ලැබිලා තිබුණත් ඒ කිසිවක් මෙවන් හසුනක ඇති ශක්තියට  සමාන කරන්න බැහැ. සමාජ ජාල පණිවිඩයක් වගේ ටයිප් කළ සැණින් යැවිය හැකි මට්ටමක් නොමැති නිසා, ආදර ලියුම බොහෝ විට කඳුලු වියලාගත් කඩදාසියක්. කෝපය නිවා ගත් අකුරු පෙළක්. ප්‍රේමණිය වදන් වැලක්.

ආදර  ලියුම් සාමාන්‍ය පුද්ගලික ලියුමකින් එහා ගිය නිර්මාණ හරඹයක්. සුන්දරම ආදර හසුනක් නිර්මාණය වෙන්නෙ අත්දැකීම් බහුලම ප්‍රේමවන්තයන් අතින්. පුංචි ගීත ඛණ්ඩ , තමන් විසින්ම කුරුටු ගෑ  කවි, එක් එක් ලෝ ප්‍රකට සාහිත්‍යධරයන් ආදරේ පිළිබඳ පෑ කියමන් තමන්ගෙ පෙම්බර නිර්මාණයට එකතු කරන්න  සමහරු ආසා කළා. තවත් අය එය වෙනම සාහිත්‍ය නිර්මාණයක් ලෙසම ගොඩ නැගුවා.
හැම මොහොතකදිම, තමන් ආදරණීයයාට, තම හැඟීම උපරිමෙන් සංජානනය කරවීමයි ලියුම ලියන්නාගේ සැබෑ අරමුණ. කවුරුවත් මේ ආදර ලියුම් කියවලා විසි කළේ නම් නෑ. ඔබට මතකද ගම්පෙරළියෙ නන්දා? ඇය පියල් දුන් ලියුම් විසි කළේ අල්මාරියට. අල්මාරියක් කියන්නෙ කෙතරම් වටින තැනක්ද? අලුමාරියට විසි කළ වචනයෙන් කියවෙන්නෙම එය ආරක්ෂා කළ බව. තම ආදරණීයයා තමාට එවන ලද මේ සෙනෙහෙ කොළ  යුග ගණන් පුරා පෙම්වතුන් අතින් එකතු වුණා. වයසට ගිය දවසක, දරු මුණුපුරන් සමඟ රසවිඳින්න තරම් පෙම්බර බවක්, ගෞරවණීය බවක් ඒ ලියුම් තුළ එකතු වී තිබුණා. තමන්ගෙ පෙම්වතා පෙම්වතිය ගැන අනෙකාට ආඩම්බරයෙන් පෙන්විය හැකි ප්‍රාකිහාර්යයක් ආදර ලියුම් අස්සෙන් නිර්මාණය වුණා. ඒ නිසාම ඒ යුග වල ආදරයත් ශක්තිමත් වුණා. අද අපි දකින බොහෝ ප්‍රශ්න එදා නොතිබ්බෙ, නිවී සැනසිල්ලෙ අදහස් ප්‍රකාශ කරගත්ත පරම්පරාවක් හිටිය නිසා.

ආදර හසුන් නිසා සංකේත භාෂාවන් පවා නිර්මාණය වී තිබුණා. ඉතා රහසිගතව ලියුම් හුවමාරු කරගන්න එකල පෙම්වත්තු හරි හපන්නු.  තමන් කියවපු පොත පත, තමන් ආ ගිය තැන්, තමන් බලන්න ආසා කරන චිත්‍රපට, තමන්ගෙ විනෝදාංශ ආදී දේවල් තමන් ආදරය කරන කෙනා එක්ක බෙදා ගන්න ආදර ලියුම් පහසුවක් වුණා.

මේ සෙනෙහෙ කොළ වළ බාහිර ස්වරූපය යුගයෙන් යුගයට පුංචි වෙනස් කම් එක්කම සුන්දර වුණා. යම් යුගයක තාරුණ්‍යය එම යුගයේ නිර්මාණ වලින් සංකේතවත් වෙන ආකාරයෙන් ආදර හසුන් තුළිනුත් පෙනෙන්න තිබ්බා. අසූව දශකයේ අවසන් භාගයේ ආදර ලියුම් සාමාන්‍ය සිංදු කෑලි වලින් අත්මිදුණෙත් මේ හේතුව නිසා. එකල තිබුණු දේශපාලන වාතාවරණය සමඟ එම ලියුම් මඳක් රැඩිකල් පැත්තට බර වුණා. ඒවායේ කැටි වුණු පුංචි පුංචි කරුණු තුළින් තමන්ගෙ මතයට තමන් ආදරය කරන අය නම්මා ගන්න මේ ආදර හසුන් උපකාරි වුණා.

අනූව දශකය විසින් අපේ තරුණයන් අතට ජංගම දුරකථන ගෙනවිත් දුන්නා. වෙහෙස විඳලා ලියන ආදර ලියුම් යල්පැන ගිය දෙයක් බවට පත් වුණා. අද වෙන විට අතිමහත් ජනප්‍රිය ප්‍රේමය හුවමාරු කෙරෙන මාධ්‍යයක් වන සමාජ ජාල  පසු ගිය යුග ගණනක් සාහිත්‍ය නිර්මාණයට ආනුභූතින් සැපයූ  ආදර ලියුම් තරම් කවමදාවත් ඉහළට ආවේ නැහැ. කඩදාසියක හැඟීම් ගොනු කිරීමේ පුරුද්ද දැන් අපෙන් දුරස්වයි තිබෙන්නෙ. වින්දනීය මිනිසෙක් නිර්මාණය කරන්නට, පිරුණු තාරුණය්‍යක් ගොඩ නගන්නට, ප්‍රේමය රසකාමී කරන්නට නැවත වරක් නිවාඩු පාඩුවේ ප්‍රේමණීය තෙලි තුඩකින් ලියුම් කැබැල්ලක් ලියන්න හැකි නම්, එය ඉතා ප්‍රීතිමත්  දෙයක් වේවි. බොහෝ මහානාර්ඝ සාහිත්‍යකරුවන් ගේ මුල් අත්තිවාරම, ඔවුන් සිය ආලවඩන්නන්ට ලියූ පෙම් ලියුම් බවයි ලෝකයේ බෝහෝ සාහිත්‍ය විශ්ලේෂකයන් පවසන්නේ.


12/25/16

-273- ජිවීතේ උතුරන්න ඉඩ දෙන්න.

තුරුලතාවෝ මහ පොළවට ප්‍රේම කරති. මහපොළොව තුරු ලතාවන්ට ප්‍රේමකරයි. තුරුලතා සියොතුන්ට ප්‍රේම කරයි. සියොත් කැළ තුරුලතාවන්ට ප්‍රේම කරයි. පොළව සැම විටම අහස ගැන ආල ලීලාවෙන් පසුවෙයි. අහස නිරතුරු පොළව ගැන ප්‍රේමයෙන් වෙලෙයි. වැස්සක් සේ මහපොළොව මතට වසින්නේ එයයි. එපමණක් නොව නීල ජල කඳක් දරා හිඳින මහ මුහුද කිසිවකට නොදෙවෙනි උපරිම ප්‍රේමයකින් සියලු මහද්වීප බදා වැළඳ සිටියි. ඒ මහද්වීප මහ මුහුද ගැන අපරිමිත විශ්වාසයෙන් ලෝකය දරා හිඳි. සොබාදහම  මෙතරම් ප්‍රේමයෙන් ඇලලෙන්නේ නම්, එය වන්දනාවක් විය නොහැකිද? එය පිරිතක්, ගීතිකාවක් සේ පූජනීය විය නොහැකිද? ආදරය යනු මෙලොව පවතින ඉසියුම්ම දර්ශනය නොවන්නේද?

ඕෂෝ කියන විදිහට, ආදරය තුළින් එක් පාර්ශවයක් පමණක් පිරී ඉතිරෙන්නෙ නැහැ. ආදරය කලාවක් නම් එය එහෙම වෙන්න ඉඩක් පවතිනවා. හිතන්න. මම ඔබ වෙනුවෙන් කවියක් ලියනවා. ඔබ එය විඳිනවා. මම කතාවක් කියනවා. ඔබ එය අසා සිටිනවා. කලාවක් කියන්නෙ ඒක පාර්ශවික පරිශ්‍රමයක්. අනෙකා උදෙසා නිර්මාණය කරන විස්මය ජනක පරිශ්‍රමයක්. නමුත් ආදරය කලාවක් නොවෙයි. ආදරය මැවෙන්නෙත් ගොඩනැගෙන්නත් කිසිම වෙහෙසකින් තොරවයි . ආදරය කියන්නේ හදවත් පිරී ඉතිරී යාමයි. කුසලානයක පිරවූ රතු වයින් වගේ චමත්කාර මිහිරකින් පිටාර ගැලීමයි. ඔබේ සිතිවිලි මාළිගාව ඔබ නොදැන සිටින අරුම මොහොතකදී ඔබ ඉදිරියේ ආඩම්බරයෙන් විවර වීමයි.

ඔබ ආදරයට ආදරය කරන තරමට, ආදරය විසින් කවදාවත් ඔබ පය නොතැබූ සුන්දර ඉසව් ඔබ ඉදිරියට රැගෙන එනවා. ඒ මොහොතේ ඔබට රැස් වළල්ලක් ‍ඔබ වටා මැවෙන අයුරක අරුම පුදුම ප්‍රහර්ෂයක් දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ආදරය සැමවිටම ප්‍රීතියට පමණක්ම ඉඩ තියන්නෙ නැහැ. එය එක් අතකින් වේදනාව මිට මොළවා ඔබ සමඟම ඇවිද එනවා. ඔබට ඉන් මිදෙන්නත් බැහැ.

සමහර ප්‍රීතිමත් මොහොතවල් ජීවිතය ඔබෙන් උදුරාගන්නවා. ඉතින් ඔබ කඳුළු සලන්නෙ ඇයි? යමෙක් ඔබේ ප්‍රීතිය ‍ඔබෙන් සොරාගත්තා නම්, ඔබ එයට ස්තූතිවන්ත විය යුතුයි. ජීවිතය සිනමාපටයක් නොවන වග ඔබට පහදා දෙන්නේ එවන් අයයි. ඒ සොඳුරු සතුට සොරාගත් අය ගැන  අනුකම්පා කරන්න. එය ආදරයකට හරවන්න උත්සාහ කරන්න. ඔවුන් වේදනාවෙන් ලෙඩ වුණ අය. ජීවිතය මඟ ඇරුණ අය. ජීවත් වෙන අතරෙදිම හදවත් වලින් මිය ගිය. ප්‍රීතිමත් හැඟීම් වලට ඉතාම ආගන්තුක අය. ඔවුන් ඔබ ලද ජීවිතය ගැන ඉරිසියාවෙන් මිරිකිලා. ඔවුන් හදවතට හොරෙන්ම විඳවන ජීවිත තෝරගෙන.

ඔබේ මිහිර, ඔබෙන් හොරාගන්න අමානුෂික, කුහක අදහස් වලින් ආදරය කැටගරි කරන්න ඔවුන් පෙළඹෙනවා. මේ ඔබේ පවුල. මේ අය පවුලෙන් පිට. මේ අයට ආදරය කරන්න. මේ අයට ආදරය නොකරන්න. මේ අය ඉවත් කරන්න. මේ අය වැළඳගන්න. ආදරයට කොහේ තියෙන කැටගරියක්ද? ආදරය කියන්නෙම ආදරයටයි. සංස්කෘතිය විසින් සමහර වෙලාවට ආදරය මරලා දානවා. ඔබත් මමත් සංස්කෘතිය නාමයෙන් ආදරය ඝාතනය කරන්න එකතු වෙන්නෙ ඇයි?

ආදරය සීමා මායිම් දමා බැඳ දමන්න පුළුවන්ද? ආදරය යන හැඟීම උපදින තැනවත් නොදැන හිර කරන්නෙ කොහොමද? සීමා නැතිවූ තැන ගොඩනැගෙන සහෘදත්වයට ලෝකය ඉතා බියක් දක්වනවා. ඒනිසයි මෙතරම් සීමා පනවන්නේ. ආගමික සීමා, දේශ සීමා ආදී සියල්ල අතර පවුල තුළ පවා සීමා නිර්මාණය වෙනවා. ඒ නිදහසට ඇති අප්‍රමාණ බිය නිසා නේද?

ඔබ ආසයි නටන්න. ඒත් අනෙක් අය කැමති නෑ ඔබ නටනවාට. සමහරවිට ඒ ඔවුන්ට නැටුම් බැරි නිසා. නැත්නම් ඔවුන් නැටුම් නොදන්න නිසා. සමහරවිට හැබෑවටම ඔවුන් නැටුම් වලට අකමැති නිසා. මේ හේතු තුනෙන් නිවැරදි හේතුව කුමක් වුවත් ඔවුන් ඔබේ නැටම නවත්වන්න උත්සාහ කරාවි. ඔබ නටන අවස්ථාව පිළිබඳ, ඔබේ සිත තුළම වරදකාරී සිතුවිල්ලක් මවන්න වෙරදරාවි. ආදරය කරද්දි ලොව එරෙහි වන්නේ මේ ආකාරයෙන්මයි. ඔබට ඔබ ආශා කරන විදිහට ආදරය කරන්නට ඔවුන් ඉඩ නොදේවි. ආත්මය විසින් රෝගී වූ ඔවුන්ට ඉන් එහා යමක් කළ හැකිද? ඔවුන්ට අවශ්‍ය ලෙස ඔබේ ආදරය පුරන්නට ඔවුන් බලකරාවි. ඉතින් මෙවන් පරිසරයක් ඉදිරියේ ශක්තිමත්වම සිටිය යුත්තේ ඔබයි.

ඔබේ ජීවිතය ඔබ විසින් අල්ලාගන්න. සෑම මොහොතකම ජීවිතය සාදයක් සේ සිතා ප්‍රීතිමත් වෙන්න. ඔබට සැමවිටම උගන්වන්නට බලා සිටින සමාජය ඔබට ගෙන එන්නේ වේදනාව නම්, එවන් දේ නොතකා සිටින්නට පුහුණු වෙන්න. ඔවුන්ටත් ආදරය කරන්න. ආදරය බෝවන රෝගයක් වගේ. වේගයෙන් පතුරන්න පුළුවන් දෙයක්.

බලන්න, මේ අවට ඇති ගහකොළ දිහා. ඔවුන් බුම්මාගෙන ඉන්නවා කවදාවත් දැක තියෙනවාද? මඳ සුළඟට ඔවුන් ගීත ගයනවා. බලන්න, මේ පුංචි කුරුලු රංචු දෙස, ඔවුන් නිහඬද? ඔවුන් සුන්දර ගීතයක් සොයනවා. ඒ ගයන්නෙ ඔබටයි. ගංගා වල සරැළි අතර, ඇළ දොළ මැද ගලන පෙණ කැටි අතර හැම තැනකම රැඳී ඇත්තේ සතුටයි. විනෝදයයි. ජීවිතයේ ආලෝකයයි. ඔබත් මේ හැම දෙයකම කොටසක්. ලෝකයට ඔබ පිවිසියේ ලොවට ආදරය කරන්නයි. ජීවිතය විඳින්නයි. උත්තරීතර ආදරය, ප්‍රීතිය ඔබ තුලින්ම හොයාගන්නට වාසනාවන්ත වෙන්න. ජීවිතය මෙන්ම ආදරය තියෙන්නෙත් ඔබේ දෙපා පාමුල.


12/20/16

-272- වේදනාවේ උල්පත් පෑන

ප්‍රීතියට පත් වෙච්ච මිනිස්සු ඉන්න යුග වලදි සාහිත්‍ය සහ කලාව ඉතා ඉහළින් දියුණු වුණා කියලා, යුරෝපීය ඉතිහාසය සහ ආසියානු ඉතිහාසය ගැන මුලාශ්‍ර වලදි කරුණු පෙනෙන්න තියෙනවා. ඒ වුණත් බොහෝ අග්‍ර කෘතින් බිහි වෙන්නෙ වේදනාව පිරුණ යුග වලදි. මැක්සිම් ගෝර්කි, නිකොලයි ගොගොල් , අර්නස්ට් හෙමිං වේ වගේ ලේඛකයො ගැන අදටත් මුළු ලෝකයම කතා කරන්නේ ඔවුන් මනුෂ්‍ය වේදනාවේ උල්පත් තමන්ගෙ පෑනෙන් අකුරු කරපු නිසයි.
පුද්ගලයො වශයෙන් ගත්තත්, ඉතා සුරම්‍ය කලා නිර්මාණ මේ ලෝකෙට දායාද කරපු බොහෝ දෙනා තමන්ගෙ හදවතේ වේදනාව හිර කර ගත්ත අය. සමහර වෙලාවට නිර්මාණ කියලා එළියට ආවෙම ඔවුන්ගේ හදවත් වලින් පිටාර ගලපු මහා වේදනාවේ නිවිච්ච කඳුළු බිංදු කියලා, ඔවුන්ගෙ පුද්ගලික ජීවිත ගැන දන්න කියන කෙනෙකුට තර්ක කරන්න පුළුවන්.
අපි උසස්පෙළට ඉගෙන ගන්න මළවුන්ගේ අවුරුදු දා නවකතාවෙ, දෙවෙන්දරෝ සං මනංකල්පිත කෙනෙක්ද? සැබෑ කෙනෙක්ද? එහෙමත් නැත්තම් මහාචාර්ය එදිරිවීර සරච්දන්ද්‍රයන්ගෙ පෑන නිර්මාණය කළ මායාවක්ද? ඒ මුකුත් නෙවෙයි නම්, ඇත්තෙන්ම ජපන් තරුණියකට පෙම් කළේ අපේ එදිරීවීර සරච්චන්ද්‍රයන්ද? ඔයාට කවදාවත් මෙහෙම හිතිලා නැද්ද?
ලේඛකයෙක් කියන්නෙ ඕපපාතිකයෙක් නෙවෙයි. ඔහු මේ සමාජයේ අපිත් එක්කම ගැටෙන, කතා බහ කරන තවත් එක මනුස්සයෙක්. අපි දකින ලෝකයම, අපි විඳින සතුටම අපි විඳින දුක ම විඳින කෙනෙක්. ඔහුගෙ හෝ ඇයගේ සැබෑ ජීවන දැක්ම, අත් දැකීම් සහ ඒ වයේ පිරුණ වේදනාව සහ සතුට ඔවුන්ගෙ නිර්මාණයන් විදිහට එළි දකිනවා.
අපි තව දුරටත් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සාහිත්‍ය භාවිතාවට දෙසටම හැරුණොත්, ඔහුගේ අග්‍ර නාට්‍ය යුගලය වන මනමේ සහ සිංහබාහු හුදු ඓතිහාසික කතා දෙකක් නාට්‍ය වලට හැරවීම නෙවෙයි කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ජීවිතයේ තමන්ගේ පහසේ රැඳුණ ස්ත්‍රී ජීවිත තමන්ගෙන් වෙන්ව යාමේ විප්‍රයෝගය සාධාරණීකරණය කරන්න ඔහු නිර්මාණ කළා වෙන්න බැරිද? "නොදනිමි කාගේ දෝසා" ඔහු මනමේ අවසාන කරන සැටි බලන්න. සාමාන්‍ය මිනිසා සහ සාහිත්‍යකරුවා අතර වෙනස එයයි. සාහිත්‍යකරුවා , කලා කරුවා ප්‍රකෝපයට පත්වන්නෙ නෑ. වේදනාව නිසා කඳුළු වගුරන්නෙ නෑ. ආදර ලියුමක් ලියන, ඔයාට ඒ ලියුම ඇතුළෙ බනින්න පුළුවන්, කේන්ති ගන්න පුළුවන්. හඬන්න පුළුවන්. ඒත් කලා නිර්මාණයක් කියන්නෙ, කඳුලු වියලාගත්, කේන්තිය නිවාගත් හදවතක් වගේ තැනක්. මේ කාරණාව ගැන කතා කරන්න තවත් හොඳම කෙනෙක් තමයි "සේකර".
මහගමසේකර කියන්නෙ ලංකාවේ හිටිය විස්මකර්ම කලා කාරයෙක්. ඔහු කවි, නවකතා, චිත්‍රපට, චිත්‍ර ආදී බොහෝ ක්ෂේත්‍ර වල විවිධ පරාසයෙන්ගෙන් දක්ෂකම් පෑවා. ඒ හැම කලා නිර්මාණයක් තුළම ඔහුට අනුභූතිය සැපයුවේ ඔහුගේම ජීවිතය. මිනිහෙකුගේ ජීවිතේ ඇදවැටීම්, බිඳ හෙලීම්, හැරයාම් ඒ මනුෂ්‍යයාව වෙනස් කෙනෙක් බවට පත් කරනවා. ඒ වෙනස් වෙන පුද්ගලයා විසින් නැවත සමාජය වෙත ඔසවන්නේ ආයුධයක්ද, පෑනක්ද කියන කාරණාව ඉතාම වැදගත්.
බොහෝ කලා කරුවො වගේම, බොහෝ දුෂ්ට ත්‍රස්තවාදියො බිහිවන්නෙත් වේදනාව තුළින්මයි. කලාව තුළ ඉහළම නිර්මාණය කරන්නෙ වේදනාව සමඟම ජීවත් වෙන මිනිස්සුයි. ඒ අය අවුරුදු ගණනක අනාගතය එක මොහොතකින් සිහිනයක දකින්නට තරම් දක්ෂ වෙනවා. ඔවුන්ගෙ වේදනාවත්, සොබා දහමත් දෙකක් නොවී එකක් බවට පත් වෙනවා. සේකරයන් අතින් "සත්සමුදුර" චිත්‍රපටයට මෙම ගීය ලියවෙන්නෙ ඒ නිසයි.
"සිනිඳු සුදු මුතු තලාවේ පිපෙන පෙණ පිඬු සිනා සේ සැලෙන රළ මත ගිලී ඉපිලී ගලන සිතුවිලි මුලාවේ
ගැඹුරු සත් සමුදුර පතුල බිඳ ඇඹරි ඇඹරී වියරු දළ රළ තුමුල මහ මෙර දෙදරවයි බුර බුරා නැගි කුරිරු ජල කඳ දෙරණ සම්පත ගිල ගනී"
මිනිසෙකුගේ මුලා වූ සිතුවිලි සමුදායක්, උඩු හිත සහ යටි හිත කළඹවන ආකාරය කිසි දවසක හැබැහින් ඔහුට දකින්නට නොලැබුණු සුනාමියක් සමඟ එකතු කරලා ඔහු මේ පද වැල අමුණනවා. මේ ස්වභාවික ව්‍යසනය සිද්ධ වෙන හැටි ඔහු කවදාවත් ඇසින් දැකලා දැනගෙන හිටියෙ නෑ. ඔහු සොබාදහම තමන්ගේ මුලා වූ සිතිවිලි හරඹය අකුරු කරන්න සංකේත විදිහට යොදාගත්තා විතරයි. සිංහල සාහිත්‍යයේ දි අපි මේ කාරණාව "උත්ප්‍රාසය" කියන නමින් හැඳින්නුවත් සේකර වගේ සාහිත්‍යධරයො හදවතේ ඒ මොහොතෙ පැවතිච්ච නිර්ව්‍යාජ රටාවයි අකුරු කරන්නෙ. ඒ නිසයි මේ නිර්මාණ යුග ගණනාවක් එළිය කරන්නෙ.
වේදනාව තුළින් බිහි වුණ මේ වගේ අග්‍රගන්‍ය කලාකරුවො සෑම රටකම පාහේ ඉන්නවා. අපි ප්‍රධාන වශයෙන් කතා කළේ දෙදෙනෙක්ට ආනුභූතීන් වුණා කියා සැක කළහැකි තැන් ගැන පමණයි. දැන් අවස්ථාව තියෙන්නෙ young ඔයාටයි. එක රැල්ලට පහු ගිය කාලෙ පොත් ප්‍රදර්ශන වලට එහෙම ගිය හින්දා, ගෙදර ගොඩගැහුණ පොත් පත් ටික මුලින්ම අපි කියවන්න පටන් ගමු. නත්තලට පොඩි නිවාඩුවකුත් ලැබෙයිනෙ. ඔය අතරෙ facebook අස්සෙ, Social Media පැත්තෙ රවුමක් යනකොට share වෙන කවි කුරුටු දිහාත් පොඩ්ඩක් අවධානයෙන් බලන්න අමතක කරන්න එපා. වේදනාව අකුරු කරන්න පුරුදු වෙන අංකුර නිර්මාණකරුවො වගේම විශිෂ්ටයොත් ඔයාට මුණ ගැහේවි. නිර්මාණය දෑස මානෙට ගෙනෙන මාධ්‍ය මොකක් වුණත් එය බිහි කරන්න නිර්මාණ කරුවො වින්ද වේදනාව අම්මා කෙනෙක් දරුවෙක් බිහිකරන්න විඳින ශාරීරික වේදනාවට සමාන මානසික වේදනාවක් කියලා එතකොට ඔයාට දැනෙන්න පටන් ගනීවි. අන්න එතනදි ඔයා කලාවේ ස‍හෘදයෙක් වේවි. කලාකරුවෙකුට සමාන හදවතක් ලැබෙනවා කියන්නෙ ලේසී පහසු වැඩක්ද?


9/4/16

-268- The Narrow Road to the Deep North | උතුර දකින පටු පාරක්


The Narrow Road to the Deep North is the title of both Flanagan's Booker Prize-long listed sixth novel and a book by seventeenth-century Japanese poet Basho. The Narrow Road to the Deep North is the novel in an advanced and showy state of dissolution. It is as though the contemporary novel, like as movie.
- Back Cover- 
In the despair of a Japanese POW camp on the Burma Death Railway, surgeon Dorrigo Evans is haunted by his love affair with his uncle's young wife two years earlier. Struggling to save the men under his command from starvation, from cholera, from beatings, he receives a letter that will change his life forever.
This is the story about the many forms of love and death,of war and truth, as one man comes of age, prospers, only to discover all that he has lost.
----
This novel will tell you a story and give you some sense of what it might be like to see a different cut-out and perspective of the world. You might be like it. So you should read. 
Somehow I want to thank one handsome young man who took this book for me 
ආදරය මෙන්ම මරණයද බොහෝ භූමිකාවන් ස්පර්ශ කරමින් අප කරා පැමිණිය හැක. සත්‍යය සැම විටකම යුද්ධයකට සමානය. ලෝකය දකින්නට ඔබට අවශ්‍ය නම් ඔබ විවිධ මානයන් ස්පර්ශ කළ යුතුමය. රසවීඳීම ඇත්තේ ඔබ තුළමය.
මෙම නවකතාව Man Booker සම්මානයෙන් පිදුම් ලබද්දි, එහි විනිශ්චය මණ්ඩලයේ හිඳ ගත් A.C Grayling මෙසේ උදානයක් කර සිටියි.
“ සමහර වසර වල ඉතා හොඳ කෘතිහු සම්මානීය වෙති. එහෙත් මෙවර අග්‍රකෘතියක් පැමිණ එය අත් පත් කර ගති."


8/31/16

-267- මාකේස් සහ සේළරුවා

GABRIEL නැමැති ඔහුගේ නමින් මට සිහිපත් කරන්නේ දේවදූතයාය. MARQUEZ යන්න ඇසූ පමණින් මා සිතට නැගෙන්නේ ඉන්දජාලික පන්හිඳයි. මේ නම් ද්විත්වයම එකතු පහදු කිරීමෙන් හැදෙන ඒ අද්විතීය නාමය හිමි මායාවී ලේඛකයෙකි.ඒ GABRIEL GARCIA MARQUEZ ය. ගබිරියෙල් ගර්ෂියා මාර්කේස් මනුෂ්‍යත්වයේ සිතිවිලි හා හැඟීම් අතැඹුලක් කොට අකුරු වලින් චිත්‍රයට නගන්නෙකි. ඔහුගේ පන්හිඳක් යැයි පෙන්වන මායාවී තෙලිතුඩින් චිත්‍රණය කළ ඉතා සුන්දර කතා පුවත් වලින් එකකි The Story of a Shipwrecked Sailor. 

එය 1982 දී නොබෙල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලද ඔහුගේ නිර්මාණාවලියේ චූල කෘතියක් ලෙස හැඳින්විය හැකිය. එහෙත් මුල සිට අග දක්වාම බොහෝ ජීවන යතාර්ථයන් සියුම්ව මෘදුව පෙන්වීමට එම කෘතිය සමත්වේ. විදර්ශන ප්‍රකාශකයන් විසින් මුද්‍රණය කළ පියල් ජයරත්න ගේ සිංහල පරිවර්තනයද මාර්කේස් ගේ ඉන්ද්‍රජාලික බව නොනසා පවත්වා ගැනීමට සමත් වීම පිළිබඳව සැබවින්ම කෘතඥවිය යුතුය. 


Caine Mutiny සිනමා පටය බලපු මොහොතෙහි පටන් ඔහු සිටියේ ඉතා නොසන්සුන්වය. බොගෝටාවේ කුඩා දරුවෙකුව වෙසෙන කාලයේ කොතරම් පින්තූර පොත් කියවා තිබුණත්, කිසිවෙකුටත් මරණය මහ මුහුදේදී හමුවිය හැකි බව විශ්වාස නොකළ අයෙකි ඔහු. එහෙත් ඒ සිනමාපටය නැරඹු දා පටන් ඔහු මුහුදු සංචාරයට බියවූයේය. මේරි ඇඩ්රස් හෙවත් ඇල්බාමා හී මොබීලේ නුවර මුණගැසුණු සුන්දරිය මාස අටක් ඔහු හා පෙමින් වෙලුණු ආදරිය, බාගෙට ස්පාඥ්ඥ තේරෙන පෙම්වතිය වූ ඇගෙන්  සමුගෙන යළිත් ගම් රට එන්නට නැව් නගින දා ඔහු දරදඬු තීරණයක් ගෙන සිටියේය. කිසිවිටෙකත් සේළරුවෙක් ගන්නට ඉඩක් නැතැයි සිතිය හැකි තීරණයක් ගෙන සිටියේය.

ඔහු නැවත මුහුදු නොයන්නට තීරණය කළේය. චිත්‍රපටයකට මේතරම් දෙයක් කළ හැකිද යන්න ඔබ විශ්වාස නොකරනු ඇත. එහෙත් එය සිදුවී තිබුණි. සැබෑ ජීවිතය තුළ සිදුවූ කතා පුවත් වුවද සාහිත්‍යට නැගෙද්දී එයට ගැබ් වන මායාවී රටාවන් ගැන කාට නම් අනාවැකි කිව හැකිද? ඒවා ඇත්තේ ලියුම්කරුවාගේ හෝ සාහිත්‍යධරයාගේ අභ්‍යන්තරයේම නොවේද?

කෙසේ වෙතත් එය ඔවුන්ගේ අවසාන මුහුදු ගමන බවට පත් කළ යුතු බැව්  කැරබියන් මුහුද , සුළඟ සමඟ කලින් කථිකා කොට සිටියේය. කැරබියන් මුහුදේ ප්‍රචණ්ඩ කුණාටුවකින් සිය නෞකාව එහි සිටි සගයන් සමඟ සාගර ගැඹුරේ ගිලී යන අයුරු බලා සිටින්නට ඔහුට නියමිත විය. ඉච්ඡාභංගත්වයේත්, වේදනාවෙත්, සා පිපාසාවේත් නෙැගැණිය හැකි තරම් සංකාකූල දීර්ඝ හෝරා ගෙවා දැමීමට ඔහුට නියමිත විය. සියල්ල හා සටන් කිරීමට ඔහු සතු ධෛර්යය දෛවය විසින් මැන බැලීමට එතැන් සිට නියමිත විය. මේ නවකතාව එක්තරා ආකාරයක හුදකලා ප්‍රීතියක් සිතට රැගෙන එයි. එමෙන්ම අප්‍රාණික ජීවිතයක් සප්‍රාණික කිරීමට මෙවන් සාහිත්‍යකරුවන්ගේ පොත් වලට හැකියාව ඇත. මාර්කේස් නොබෙල් ත්‍යාගය ලැබීම ගැන ආඩම්බර වෙමි. ඔහුගේ ලිවීමට පෙම් බඳිමි. 

8/22/16

-264- හිතනලන්තයෙන් පියාඹා ආ ගම්බිරිස් කුරුලු වස්තුව

- Stressed සහ Desserts අතර ඇත්තේ අකුරු පිළිවෙලේ වෙනස පමණක්ය -

පොත ලියූ කාංචනා අමිලාන්ට තුති ය.
“තනිකරම ඔයාගෙ නොහොබිනාකමට මං ගැන අකුරක්වත් නොලියා හිටිය එක වැරදියි“. පොත් රාක්කයෙන් එළියට පැන පොතක් බැන අඬ ගහන කෘර මොහොතක් ඔබ අසා තිබේද? ඒ දවස් වලම මේ ගැන කතා කළ යුතු වුවද නොයෙක් ප්‍රශ්න වලට මුහුණ දී , අමනාපයට පත් මිසිස් සමරසිංහ අවසානයේ ප්ලාස්ටික් සර්ජරියක් කර ගැනීම නිසා සමාජයට මුහුණ දීම නතර කළ බව දැනගැනීමෙන් ඇරඹුමම කඳුලක් විය.
කෙසේ වෙතත් එළියට පැන කෑ ගසීමේ අසංවරකම ගැන පසුතැවිලි වෙමින් අසමජ්ජාති “ගම්මිරිස් කුරුල්ලා “ ගැන ලිවීම මම මෙසේ අරඹමි.
ගම්මිරිස් කුරුල්ලා පොත උපදින්නේ කාංචනාගේ හිතන ලන්තයේ බව නොදන්නා කෙනෙක් සිටීනම්, මුලින්ම හිතන ලන්තය කියවා පැමිණිය යුතුය. හිතනලන්තය ඇත්තේ, ග්‍රීන්ලන්තයට නුදුරු ආක්ටික් සාගරයේ මුහුදූ සීමාවෙන් කිලෝමීටර් එකසිය පනස් හයක් දකුණට වන්නට පිහිටි තැනක බව මගේ පුද්ගලික විශ්වාසය වේ. කාංචනාගෙන් ඇසුවොත් ඇය වෙනත් තැනක් කියන අතර, ඇගේ කුරිරු අරමුණ ආයෙ නොඑන්නට එහි ඔබව අතරමං කිරීමය.
ගම්මිරිස් කුරුල්ලා දුඹුරු පාට කවරයක් සහිත පොතකි. එය හරිම ගොරහැඩිය. හරියටම ගම්මිරිස් කුරුල්ලෙක් ගේ පිටක් වගේය. එහෙත් කාංචනාගේ අකුරු පුදුම විදිහට මටසිලිටිය. කාංචනාගේ අකුරු තුළ මැජිකල් රියැලිසම් වල පීක් එක ඇති බව ට ඒ දවස් වල ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් ගියේය. ඒ දවස් වල මැජිකල් රියැලිසම් ගැන මෙලෝ දෙයක් නොදත් මා, මුලින්ම ඒ මොනාදැයි ඉගෙන ගන්නට විය. ඒ අතරමග දවසක කාංචනා අපේ අතට මේ පොත දුන්නාය. ඇයගේ සිත තුළ උපන් මායාවී කෙටි කතන්දර දහයක් මේ පොතේ තිබිණි. ඉන් පළමු වැන්න නිරුවත් වීමේ භීතිකාව සහ ආසාව අතර දෝලනය වන සිහින දකින්නන්ගේ කතන්දරයයි.
එතැන් සිට එකකට එකක් වෙනස් අමුතු විදිහේ මුල මැද අග හිතා ගන්නට බැරි මයා ලෝකයෙන් ගෙනා එහෙත් ඇත්තට සමාන කතා දහයක් එක පෙළට කියවීමි. කිසිම මහන්සියක් අවසානයේ නොදැනුණු අතර, බරක්ද නොවීය. මේ පොත අධික රුධිර පීඩනයට, හදවත් අමාරුවලට මෙන්ම කුඩා හෙම්බිරිස්සාවකට පවා ලබා ගත හැකි වටිනා බෙහෙතක් ලෙස වෛද්‍යවරු නිර්දේශ කළ යුතුය. කාංචනාගේ ගම්මිරිස් කුරුල්ලා එලිලිය යුත්තේ පොත් කඩයක නොව ෆාමසියකය. එසේත් නැත්තම් අතුරුපස වෙළඳ සැලකය. එය ඒ තරමට රසවත් ය.
ඇය හොඳම වචන හොඳ පෙළට යෙදීමට උපන් හපනියකි. මුල මැද අග හැම තැනක්ම චොක්ලට් අයිස්ක්‍රීම් මෙන් පුදුමාකාර රසය. මස්කට් කෑල්ලක් මෙන් මෘදුය. ඉතිහාසය පවා අලුතින් ලියන්නේ මේ වැනි ලියන්නියෝය. මෙතෙක් ඔබ යම් යම් දර්ශන වලට එළැඹෙමින් එක් එක් පොත් කියවන කෙනෙක් නම්, ඒ සමඟ කාංචනාගේ පොත නොකියවිය යුතුයැයි මම ඔබෙන් දණගසා වැඳ ඉල්ලා සිටිමි. ඔබ ඇඳ සිටින්නේ සාරියක්ද, ලුංජියක් ද, ඇලඩින් කලිසමක්ද, යන්න මායාවක් අතපත ගෑමට අදාළ නොවන්නේ යම් සේ ද, ඔබ එළැඹි දර්ශනයද මෙකී මායාවන්ගේ පහස විඳීමට නොවැදගත්ය. අවැසි වන්නේ ඔබට ඇති කියවීමේ හා දැකීමේ නොතිත් ඕනෑකමයි. කාංචනාගෙන් ගම්මිරිස් කුරුල්ලා අඳුනාගත් අයද, ගම්මිරිස් කුරුල්ලාගෙන් කාංචනා අඳුනා ගත් අයද යන දෙගොල්ලෝම මේ කෘතියේ සමාන අයිතිකරුවෝ වන්නේ ඒ හින්දාම විය යුතුය. ආතතියෙන් පෙලෙනා හැම කෙනෙක් වෙනුවෙන්ම ඉදිරියටත් සීතල පැණිරස අතුරුපස අකුරු වලින් මවන්නට කාංචනාට හැකි වීම අපේ ප්‍රාර්ථනයක් විය යුතුය.
-නෙරංජි ඒකනායක-
[පීන්තූරය ලේඛිකාවගෙන්ම නොඅසා ගත් එකකි]

8/21/16

-263- රැජිණ කියවීමි!

නවකතා යන්න විග්‍රහ කිරීමේදි, එය තව දුරටත් දිග කතාවක් නොවන බව අපි දනිමු. එය යම් සමාජයක පැති කඩක් , මිනිස් චරිත හා මනෝභාවයන් විග්‍රහ කරමින් දිගහැරෙන සෞන්දර්යාත්මක වදන් හරඹයකි. එය කතන්දරයක් කීමකට වඩා වෙනස් වන්නේ එබැවිනි. කෙටියෙන්ම එය යතාර්ථයට වැඩි නැඹුරුවක් ඇති, එහෙත් අවශ්‍ය මොහොතක අරුමැසියද යහමින් ස්පර්ශ කළ හැකි සාහිත්‍ය ශානරයකි. 
මම රැජිණ නවකතාව කියවීමි. ඉන් තෘප්තිමත් නොවූ පාඨකයන්ගේ කුලකයේ සිටිමි. මොහාන් රාජ් මඩවල මහතාගේ පෙර ලියන ලද නවකතාද කියවා අසංතෘප්තියට පත් වූ අයෙක් වූණ මුත්, මා මෙම නවකතාව ඉක්මනින්ම මිලදී ගන්නට පෙළඹෙන්නේ එය කියවා ඇතැයි සියත්ව ප්‍රකාශ කළ පාඨකයන්ගේ ප්‍රකාශයන් කෙරෙහි පැවති හුදු විශ්වාසයෙනි. 

යම් කාලයක් නිහඬව සිට කරන ලද නිර්මාණයක් ලෙස මෙම නවකතාව හරහා ලේඛකයා සිය ලිවීම කාර්යය තුළ මහා වෙනසක් සිදු කර ඇතැයි සමහරු කියා තිබෙනු මම දුටිමි. එහෙත් නවකතාව කියවා අවසානයේ මා ඒ ලේඛකයා තුළ අංශක එකසිය අසූවක් අනිත් පැත්ත ගැසූ ආඛ්‍යාන වෙනස නම් නොදිටීමි. 
සැබවින්ම නවකතාව තුළ මායාවී කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබුණත් එය පරිකල්පනයකට එහා ගිය ව්‍යාජත්වයක නතර වී තිබිණි. සිද්ධි ප්‍රතිනිර්මාණය කිරීමේදී ඔහු වඩාත් අදක්ෂ වන්නේ, ඔහු සතුව ඇති දිළිඳු වාග් කෝෂයේ ශාපයෙනි. එකම ආකාරයේ ඡේද ගණනක් පිටු 300 කට අඩු මේ පොත තුළ මම දකිමි.
අභය සහ නාගවර්ණ දෙදෙනා ගැන සිදු කළ පිටු ගණන් විස්තර කතාවට විශාල අගයක් ගෙන එන්නේ කොතනින්ද යන්න පාඨකයෙක් ලෙස මට අපැහැදිළිය. ඔවුන් දෙදෙනා දොරටු පාලයන් ලෙස මැරී වැටෙන්නට පෙර වුවද දෙවොල තැනීමේ කාර්යයයේ දි හා දර කැටි තිස්ස යුව රජ ව මමියක් බවට පත් කරන කාර්යයයේදී ද ඔවුන් මහා මෙහෙයක් කරන්නේ නැත. මෙවැනි නවකතාවකට එතරම්ම බලපෑම් නොකරන චරිත කෙරෙහි හා ඔවුන් මෙන්ම ඔවුන්ගේ කතා ගැන වචන නාස්තිය නවකතාව සැහැල්ලු කරන්නක් නොවේද? ඔවුන්ට වඩා වාසුකී පිළිබඳ මීට වඩා චරිත හා මනෝභාව නිරූපණයකට ඉඩ පාදා ගත්තේ නම් කර්තෘ තරමක් දුරට හෝ සාර්ථක වන්නට ඉඩ තිබිණි. 
එමෙන්ම නවකතාවේ ආරම්භය එතරම් සිත් අදනා එකක් නොවන අතර, පාඨකයා සිය ක‍ෘතිය කියවීම උදෙසා ග්‍රහණය කර ගැනීම ලේඛකයාගේ අරමුණ වී නොමැතිදැයි සැකයක් මතුවේ. පොත මිලදී ගැනීම කෙරෙහි සිය ග්‍රාහකයාට ප්‍රබල බලපෑමක් කරන කර්තෘවරයා, පොත අතට ගත් තැන සිට සිය ග්‍රාහකයා වන පාඨකයාව අත්හැර දමයි.

ස්ත්‍රිය නිරූපණය කිරීමේදි සිය පෙර නවකතා වලට සාපේක්ෂව කර්තෘවරයා දක්ෂ වී ඇති බව පැවසිය හැකිය. ස්ත්‍රී චිත්තය හදිසියේ වෙනස් වන ආකාරයන් පිළිබඳව ඔහු නිරූපණයට උත්සාහ ගෙන ඇතත්, එය මනාව නිරූපණය වී නැත්තේ, ඔහු චරිත හා මනෝ භාව නිරූපණය කෙරෙහි අවධානය යොමු කර නොමැති නිසා විය යුතුය.
තව දුරටත් පෙර නවකතා හා සැසඳීමේදී මෙවර ලිංගිකත්ව නිරූපණය වහල සහ බිත්ති කඩා වැටෙන තරමට නැතත්, අනවශ්‍ය සුන්දරත්වයන් බලෙන් එක් කරන්නට ගොස් විනාශ කර දමා ඇත.
මෙය හුදෙක් තනි පුද්ගල විචාරයක් වන අතර, එය කියවන්නාගෙන් කියවන්නාට වෙනස් විය හැක. එබැවින් ඔබ රැජිණ මිලදී ගෙන කියවීමේ කිසිඳු ගැටලුවක් නැත. හොඳ පොත් ලියැවීම අඩු යුගයක, මෙවන් පොතක් හෝ පළ වීම අගය කළ යුතුය. එමෙන්ම මොහාන් රාජ් මඩවල මහතාට සිය නිර්මාණ කිරීම සාර්ථක කරගැනීම සඳහා පරිකල්පනය මෙන්ම අභ්‍යාසයද භාවිතා කළ යුතු බව විශ්වාස කරමි. තවද සිය ක‍ෘතියෙන් තමන් මුදවා ගැනීමට නිර්මාණකරු උත්සාහ නොකරන තෙක්, ඔහු කෙතරම් අලුත් චරිත පිළිබඳ ලිවීමට උත්සාහ කළද කැරකෙන්නේ තමා වටාමය. එවිට චරිත නිරූපණය තුළින් පරිකල්පනයට වඩා ව්‍යාජය මතුවීම ද නොවැලැක්විය හැකිය.
මොහාන් රාජ් මඩවල මහතාගේ අනාගත නිර්මාණ කාර්යයන්ට සුබ පතමි.
2016 -08-09 

12/27/15

-262- කෙටි කලබල සිහින සහ පුම්බන ලද සබන් බෝල

මම ඒ තරම් කවි ලියන්නට රුසියෙක් නොවෙමි. එහෙත් කවි කියවීමට මා රුසියෙකි. එබැවින් ඉතා කෙටි කලබල සිහින කියවමි. මට ඒ සුන්දර කවි උත්සවය මඟහැරිණි. බසු වෙස් මුහුණද, බුක් මාර්ක් ද අහිමි විණි. කෑමට දුන්නේ මොනවාදැයි මම මෙත්මලීගෙන් අසමි. මෙත්මලී සිටින්නේ බෙර ගසන තැනක බැවින් ඇයට මා කියන දේ ඇසෙන්නේ නැත. කෙසේ වෙතත් පොත සජීව ලෙස පිටුවෙන් පිටුව පෙරළීමේ ශංගාරාත්මක අවස්ථාව මඟහැර ගැනීම ගැන මට මා ගැන ඇත්තේ සියුම් කෝපයකි. එහෙත් නොමිලේම රචිකාවගෙන් ම විද්‍යුත් කොපිය ලැබීමට තරම් භාග්‍යවන්ත වීමි. නීතිවිරෝධී දේ කවදත් ප්‍රිය කරන මම ජංගම දුරකථනයෙන් කෙටි කලබල සිහින මේ මොහොතේ රසවිඳිමින් සිටිමි. සහන් පද්ම සංඛ ඇඳපු පිට කවරයෙන් පටන් ගනිමි. මම පිට කවර කියවීමට කැමැත්තෙමි. රැළි ගහන මුහුද අනිත් පැත්තට හරවා ඒ මත සවිකළ මලකඩ කෑ දම්වැල් ඇති වික්ටෝරියා පාර්ක් සම්ප්‍රදායේ ඔන්චිල්ලාවක් පදින මේස් සපත්තු දැමූ මොන්ගෝලියානු නව යොවුන් දැරියකි. ඈ වට පහලින් ගොඩනැගිලි හා මහාමාර්ග වලින් ගහණය වූ වෙරළබඩ නගරයකි. ඒ කොළඹ දැයි, මට කුඩා පින්තූර වලින් තේරුම් ගත නොහැක. එය කොළඹ වුවත්, වරායේ උඩින් චෛත්‍ය නොපෙනේ නම් මම එය කොළඹ යැයි පිළි ගන්නේ නැත. ඉතින් කෙසේ වෙතත්, එය සංවර්ධනයේ උත්කර්ෂයට පත් නගරයකි. සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි නම්, මහ මාර්ග සහ යටිතල පහසුකම් නම් එවන් සංවර්ධනයක ඉහළම හිනි පෙත්තේ, සාගරය කණපිට හරවා ඔන්චිලි පදින යුවතිය කුමක් බලාපොරොත්තු වෙනවා විය හැකිද? ඒ බලාපොරොත්තු “කෙටි කලබල සිහින “ වන්නට ඇත. රළ පෙළ මෙන් කලබලෙන් , කෙටි වෙලාවකින් ස්වේත රේඛාවක කිමිද නොපෙනී යනවා විය හැක.

පින්තූරය ගත්තේ Asian Mirror අඩවියෙනි.

නමින් “කෙටි“ යන වචනය දුන්නාට, ඒවාට ගැළපෙන්නට තරම් “කෙටි කවි“ අඩු යැයි මට සිතේ. නමුත් බොහෝ කවි කලබලෙන් ලියා ඇති බව නම් දැනෙයි. සමහර කවි කූඨප්‍රාප්තියෙන් එහා බොහෝ දුර යාම නිසා කවියේ රසය අඩු වී තිබේ. හැඟීම් වලට ලෝබ වීමෙන්, කවි අනවශ්‍ය තරමට ගලාගෙන යාමට ඉඩ දීම බොහෝ හොඳ කවියෝ කරන වරදක් යැයි මම සිතමි. කවිය ලියන්නේ ඔබ නම්, නරක ලෙස, දරුණු ලෙස ඔබේ කවියට විරුද්ධ වී කවිය නතර කරන්නට කවි කාරයන්ට බැරි ඇයිදැයි මම අසමි. කවියන් වචන වලට බය විය යුතු නැත. කවියන් හැම විටම තාලය ගැන සිතා වද විය යුතු නැතැයි මම සිතමි. කවි ලස්සන වන්නේ හොඳම පිළිවෙලට වචන යෙදීමෙන් මිස, තාලය අල්ලා ගැනීමට අකුරු හා සක්ක පද යෙදීම තුළින් නොවේ. බස්සි ලස්සනට ලියයි. එහෙත් මෙවැනි දේ මට අනුව ඒ ලස්සන මඳක් නතර කරයි.

උපුටා ගැනීම 1 - (පිටුව 24)
පෙරදිගම මුතු ඇටය මේකය.
උපුටා ගැනීම 2 - (පිටුව 23)
මහත කොන්දොස්තරා වරක් දෙවරක් උඩ පැන

“මුතු ඇටේ දැන් කාකි පාටය“ කවිය, මම බස්සිගේ ඉතා කැමති කවි අතර වෙයි. එහෙත් ඒ කවිය ඉවර විය යුතු තැනින් එහාට බස්සි දන්නා සම්පූර්ණ සිද්ධිය කවියෙන් කියන්නට යෑමේ වරද බස්සි කරයි. සමහර වචන වලින් ඒ වචන වලින් දනවන තරම් දෙයක් හදවතට නොදැනෙයි.

උපුටා ගැනීම 3 -(පිටුව 25)
“ අන්න ඒක (ලු) ලොකුම පාපය“

මෙහි “ලොකුම“ යන වචනය නැති වුණා නම්, මාගේ හදවත මීට වඩා රිද්මයානු කූලව කම්පනය වනු ඇත. මේ සෑම දෙයක්ම මා පවසන්නේ මට අනුවය. එය තව කෙනෙකුට වෙනස් විය හැක. “පාපය“ යන වචනය බයිබලය ආශ්‍රය කරගෙන වර නැගෙන ආකාරය තුළ මට “බට්ටී“ ගෙන් කුසලානය දරන මේරි මැග්ලන්ඩ් ව පෙනෙයි. මට පුදුම අපේ බස්සී රිද්මය නිසඟයෙන් එන තැන් බලහත්කාරයෙන් විනාස කර, රිද්මයක් නැති තැන් වලට බලයෙන් රිද්මය ඔබ්බවන්නේ ඇයි කියා ය. ඒ බස්සිගේ හුරුබුහුටි කම විය හැකිය.

“කොමන්ඩෝ පෙම්වතා ගේ සුරතාන්තය “ ගැන බසු ඇස දකින වෛරයට මම අකමැත්තෙමි. එහෙත් බස්සී කැමති ලෙස දකින්නට බස්සීට හැකිය. මම වෛරයට අකමැති, වෛරී කවි වලට අකමැති කෙනෙක් නොවෙමි. මේ මොහොතේ මම වෛරයට අකමැති වෛරය විසින් එකී කවියේ කවිත්වය යටපත් කරන නිසයි. මේ කවිය වෛරය පසෙක දා ලිව්වා නම්, බස්සී මීට වඩා වෙනස් ප්‍රවේශයක් සහිතව ලියන බව මට සහතිකය.

රබන් තලන ආච්චිලාගේ කවි නිමිත්ත, මම බස්සි ගැන ආඩම්බර වන කවි නිමිත්තකි. එහෙත් ඒ වචන පිළිබඳව මීට වඩා කල්පනා කාරී විණි නම්, බස්සි අනර්ඝ කවියක් බිහි කරනු ඇතැයි මම විශ්වාස කරමි. බස්සි තවත් බොහෝ මුවහත් විය යුතුය. බස්සිට මට වඩා සිහින ඉපදෙන්නට තරම් වාසනාවන්ත නිසා බස්සි අක්කා මුවහත් විය යුතුය. බස්සිගේ කවි වල වෙන කවියන්ගේ සුවඳ මට සමහර තැන් වලදී දැනුණත් එය මම ගණනකට නොගනිමි. කවියන් ආභාසය ලද පමණින් කුකවියන් යැයි කිව හැකි නොවේ. අපි දොහොත් මුදුන් තබන කවියන් පවා, සිය මුල් කවි වලදී තමන් අදහන කවියන්ගේ ආදරය කවි තුළට එබීමට ලෝබ වෙයි. මම එය කවියන්ගෙන් කවියන්ට ආත්මීයව ප්‍රේරණය වන ආදරය යැයි අදහමි.

බස්සි අක්කා තාමත් හත් පෙති මල අදහයි. සමනළයන් විශ්වාස කරයි. එබැවින් ඇයගේ ලෝකය ට බර සාර විචාරයන්ට වඩා සහෘද විචාර ඕනෑ කරයි. බස්සිට නිතර තර්ජනය කරන, බනින මෙන්ම ආදරේ කරන මම කියූ දේ බස්සිගේ කවි ලෝකයට හොඳක් කරත්වායි මම පතමි. බස්සි තව බොහෝ දුර යන්නට නම්, බොහෝ කවි කියවිය යුතුය. බස්සිගේ ආත්ම ප්‍රකාශනය කවිය නම්, කවි ලියන්න බස්සි උගත යුතුය.

හදිසි සුන්දරත්වයකින් එකවරක් හෝ ඔබ මුසපත් කිරීමට තරම් බසු කවියට හැකියාව ඇති බව ඔබ තේරුම් ගත යුතුයි . එය හරියටම පුම්බන ලද සබන් බෝලයක් වැනිය. ඔබ වටා දෝලනය වෙමින්, ඔබව ඒ තුළට ගනිමින් පවතින ලෝකය පුංචි සුන්දරත්වයකින් පෙන්වා අවසානයේ පුපුරා යයි. බසු කවිය කියවන්න. සුබ අනාගතයක් බස්සි අක්කේ.






මීට,
ස්ටෝබේරි කිරි සහ කෝන් ෆැලැක්ස් සමඟ
රෝස වලාකුළු වල සිටින මම
2015-12-21

10/16/14

-247- කවුළු වලින් එබීමේ විපාක

 සමනල්ලු පස්සෙ දුවන කෙල්ලෙක්ව කිඹුලෙක් අරන් යයි කියලා කවුද හිතන්නෙ. ඒ වචන ටිකට මම පුදුම විදිහට බැඳිලා. 


මේ කතන්දරේ කොහොම තොතැනින් පටන්ගන්නවාද කියන එක ටිකක් විතර ප්‍රශ්නයක් තමයි. ඒත් ඉතින් කොතැනින් හරි පටන් ගන්න වෙනවා. මේ ලියාගෙන යන විදිහ වුණත් කෙනෙක්ට විදග්ධ  නෑ කියලා හිතෙනවා නං මම කියන්නෙ මින් එහාට කියවන එක ඇත්තටම එහෙම හිතන කෙනෙක්ගෙ කාලය නාස්ති කිරීමක් කියලායි. කොහොම වුණත් මම තීරණය කරනවා මෙන්න මේ විදිහට පටන් ගන්න.

මුලින්ම කියන්න කැමතියි. මේ මම ලියන්නෙ විචාරයක් නෙවෙයි. රසාස්වාදනයක් ? නෑ.. එහෙම එකක් වෙන්නත් බෑ. මම ලියනවා දෙයක්. ඒක කිට්ටු මොකකටද කියලා මට මේ වෙලාවෙ කියන්න බෑ. සමහරවිට ඉවර වෙද්දි කියන්න පුළුවන් වෙයි. ඒත් ඒක එච්චර වැදගත් නෑ. මේ පොත මම ගත්තෙ සැප්තැම්බර් 11 වැනිදා. බුක්ෆෙයාර් එකෙන්. B-100 ස්ටෝල් එකේ හිටිය හුරුපුරුදු විදර්ශන කවුන්ටර් එකේ සොහොයුරිය
( මම දන්නෙ නෑනෙ අක්කාද නංගිද කියලා) මට මේ පොත ගන්න කිව්වා. එහෙම කිව්වෙ ඒක හරියට මම ගත්තෙ නැත්තං මම අපරාධකාරියක් ගාණට වැටෙනවා වගේ මූඩ් එකකින්. “ ඔයා හැමදාම අලුත් පොත් ඉල්ලනවා. දැන් ඔන්න අලුත් පොතක් තියෙනවා අරගන්න.“   ඒකෙන් එයා අදහස් කළේ අනිවාර්යෙන්ම මම පොත ගන්න ඕනෙ ක‍ියන එක. ඔව් ඒක පිටු ගොඩක් තියෙන පොතක්. ඇත්තනේ අපි දැන් කියවන්නෙ ලොකු පොත්.

ඒත් මුලින්ම මම දැක්කෙ කවරය.

කවරෙ මඩ පාට ලේ තැවරිච්ච ගතියක් එක්ක පාවෙන ඉරිච්ච සළුවක් තිබ්බා. ඒ සළුවෙන්ම දුමාරයක් වගේ සමනල්ලු පා වුණා. ඇත්තටම උන් ලේ පාටයි. ඒ සමනල්ලු කුරුල්ලො වෙලා ඉගිලිලා ගියා. හැබැයි කුරුල්ලො ඒ පාට නෙවෙයි. නිම්නයක අහසට දෑත විහිදලා නිදහස් මුද්‍රාව තුළ ගිලුණු පිරිමියෙක්. කොපුලට කොපුල තියාගෙ සැනසිල්ලෙ ඉන්න කපල් එකක්. රතු සලුවක් දෙපා වල පැටලිච්ච කලු ඇඳුමක් ඇඳපු ගැහැණු කෙනෙක්ගෙ පසු ඉරියව්වක්. හැබැයි ඇයට උඩින් අතක් ඈතට දික් කරපු ප්‍රතිමාවක්. හරියට සැබෑ ගැහැණියක් ක්‍රමයෙන් ප්‍රතිමාවක් වෙනවා වගේ. ඒ ගෑණු ප්‍රතිමාවෙ අතේ තිබ්බ කවාකාර වලල්ල අස්සෙන් අර කුරුල්ලො පියඹලා යයි කියලා නිකමට හිතෙනවා. හැබැයි ඒකට ටික වෙලාවක් බලා ඉන්න ඕනෙ. ඒ එක්කම තව ප්‍රතිමාවක් තිබ්බා.  ඒකෙ සර්පයෙක් එතිලා. ඒ පත්තිනිද, මරිය මව්තුමීද, ඇත්තටම මම දන්නෙ නෑ. කොහොම වුණත් අර වලල්ල සළඹක් වෙන්න බැරිකමක් නෑ.

පොතේ නම කම්පියුටර් අකුරෙන් හදලා දුවනවා වගේ ඇදලා තිබ්බා. ඒ නමෙත් කුරුල්ලො පියෑඹුවා. ඒ වගේම ර අකුරෙන් ගැහැණියකට තිලක තියලා.එතන රේන්ද සමනළයෙක්. අර නිදන ඇඳුම් වල තියෙන්නෙ.  ඕක තමයි මුල් කවරෙ.

පොත ලියලා තියෙන්නෙ කෞෂල්‍ය කුමාරසිංහ. එයා තමයි කර්තෘ.  පිටිපස්ස බැලුවෙ ටික වෙලාවයි. රතු නිල් ක්ලිප් දෙකයි. කරාබු දෙක ගාණෙ දාලා පිට හරවගෙන ඉන්න ගෑණු ළමයයි. පරණ වලව් ගතිය තියෙන පිත්තල දොර අඟුලයි, උඩ යට ගහපු ටවර්ස් දෙකයි, මුහුද දිහා බලං ඉන්න කාල තුවක්කුවයි හැරෙන කොට...   නැහැ ඇයි අර කාන්තා රෑ ඇඳුම සහ ඒ අසල උන්න අනෙක් ජෝඩුව. එහා පැත්තෙ ජනේලය.. ඒ ජනේලයෙන් පෙනෙන පිටත..මම ඒ ටිකත් හොඳින්ම දැක්කා.

කතාවක් ගැන හිතන්න පිටින් පටන්ගන්න තරමට කතාව අවබෝධ වෙනවා වැඩියි. මම පොත ගෙදර ගෙනාවෙ නිකමට. තාරා මගේ දෙව්දුව කියවලා, මේ පොත කියවන්න ගත්තෙත් නිකමට. ස්තූතිය මිසක් පෙරවදන දැක්කෙ නැති නිසා කෙලින්ම මට සිද්ධ වුණේ පොත කියවන්න. ඇත්තටම සමහර පෙරවදන් කියෙව්වාට පස්සෙ කියවන්න නොහිතෙන පොත් වුණත් නැතිවම නෙවෙයිනෙ.

මේ රහස් කවුළුවෙන් එබෙන්නෙ කෞෂල්‍ය. මම හරිම කැමතියි එයා බොහොම පරාර්ථකාමී විදිහට අපිත් එක්කම එබෙන එක ගැන. එයා දකින දේ අපිට කියනවාට වඩා, අපිත් එයා එක්කම යන එකේ ගතිය වැඩියි. පොත පටන්ගත්ත විදිහට මම ඇත්තටම කැමති වුණා. ඒකෙ මම හොඳට දන්න තැනකින් පටන්ගත්ත නිසා මට කතාව දිගේ ඇවිදින්න ලේසි වුණා. ඒ වගේම මං ඇත්තට දැකපු දේවල් එකක්වත් බොරු කරන්නෙ නැතිව ලියපු එකට මම කෞෂල්‍ය ගැන පැහැදිලා හිටියෙ. එහෙම වුණාම එයාව විශ්වාස කරන්න සිද්ධ වෙනවානෙ. පොත ලියපු කෙනා විශ්වාස කළාම එයා අපේ කෙනෙක් වෙනවා. හොඳම වැඩේ තමයි එහෙම වුණාම එයා අන්තිමට මොනා කළත්, අපි හිතන දේම කරයි කියලා ඇතිවෙන හැඟීම. එහෙම වුණාම පොතේ අන්තිම හොරෙන් වත් බලන්න හිතෙන්නෙ නෑ.  මම වෙන හැම පොතම එහෙම කළා එකක් දෙකක් හැරෙන්න. කෞෂල්‍ය තමන්ට හම්බවෙන එක්කෙනෙක්වත් අත අරින්නෙ නෑ. හැම කෙනෙක් ගැනම අපි එක්ක කතා කරනවා. හැබැයි එක්කෙනෙක්ගෙවත් මනස ගැන එයා අපි එක්ක කතා කරන්නෙ නෑ. එයා කතා කරන්නෙ පිට ඉඳන්. සමහරවිට ඇත්තටම ඇතුළ හිස් නිසා වෙන්නත් බැරි කමක් නෑ.

මේ පොතේ චරිත ගොඩක් ඉන්නවා. තිවංක, කේෂානි, අසී , උවනි, නේත්‍රා, පද්මි , සඳා , කමල්, කමල්ගෙ ගෙදර අය (විශේෂයෙන් පොඩ්ඩි සහ අම්මා තාත්තා ), ටානියා, උඩින් වැටෙන ආච්චි, එයාගෙ මිණිබිරි, දසුන්, සිගරට් අහුලන ගෑණු කෙනා රාලියා , ත්‍රීවිල් කාරයා. ඇයි ටානියාගෙ මිස් ශ්‍රී ලංකා වෙන නංගි, ලෝයර් ඩිලාන්, තිවංක ගෙ නංගි, හරිනි..ටානියාගෙ මොංගල් අක්කා.. ඔව් එක සැරේ පෝලිමට හිතට එන්නෙ ඔය අය.. මේ හැමෝම එක්කෙනෙක්ට එක්කෙනෙක් මුණ ගැහි ගැහි අපූරු කතාවක් ඇතුළෙ එහාට මෙහාට පෙරලෙනවා. කතාව කියන එකෙන් කෙනෙක් පොත නොකියවන්න හිතුවොත් ඒක අපරාදයක් නිසා මම කතාව කියන්නෙ නෑ. ඒත් මට හිතෙන දේවල් කියන්න මට හරි හදිස්සියක් දැනෙනවා.

මේ කතාව අපේ වර්තමාන නාගරික සමාජය එක්ක කෙලින්ම සම්බන්ධ වෙනවා. මේ තනිකරම කොළඹ. කොළඹ කියන්නෙ හැම තැනින්ම එකතු වුණ මික්ස්චර් එකක්. ඒත් මේ හැම සමාජ සම්බන්ධයක්ම එකින් එක මුණ ගැහි ගැහි මකුළු දැලක් වගේ අපි වටේම පැටලෙනවා. . ඒ වගේම පන්තීන් අනුව අවශ්‍යතා හා වුවමනා, ප්‍රශ්න සහ ගැටලු එකිනෙකට වෙනස්. හැබැයි හැම කෙනෙක්ම අනෙකා එක්ක කොතනින් හරි සම්බන්ධ වෙලා.

දරුවන් නැති තරුණ න්‍යෂ්ටික පවුල් වටා ප්‍රධාන වශයෙන් කැරකෙන මේ කතාව ගමෙන් කොළඹට එන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ ගැටලුත් ඒ අස්සෙන්ම පෙන්වනවා. නගරයේ තරුණ කාන්තාවක් තුළ නැති හැඟීමක්  ගමේ තරුණ කාන්තාවක් තුළ ගලා යනවා. ගමට නගරයට වඩා හීන තියෙනවා. ගමේ වතු වල පියා සලන සමනල්ලු, නගරයේ ඉන්නෙ පත්තර බරු අස්සෙ හිර වෙලා. නැත්තං ටීවී ඇතුළෙ. ඒත් ගමෙන් ආපු කෙනෙක්ට නගරයෙත් පියාඹන සමනළයෙක් බැලිය හැකි විරලමය ඉඩක් තියෙනවා.

අපි නොහිතන පුංචි දෙයක් හෝ කෙනෙක් අපේ ජීවිතය තුළ කොයි තරම් කලබැගෑණියක් ඇති කළ හැකිද කියන දේ මේ නවකතාව පුරාම ඇදිලා යනවා. කමල්, දසුන් වෙනුවෙන් තිබ්බ ප්‍රොටෙස්ට් එකට කඳුළු ගෑස් නොගැහැව්වා නම්, අසී හෝ කේෂුට සීඩී යන එකක් නෑ. කමල් පෝස්ටර් අලවන්න නොගියා නම්, සුදු වෑන් නොඑන්න තිබ්බා. ඔහොම ගොඩක් දේවල් මේ පොත කියවද්දි දැනෙනවා. 

කතාව ඇතුළෙ විශාල අවසානයන් නෑ. ඒත් ජීවතුන් අතර ඉන්න චරිත ඉන් එහාට මොනවා කරයිද කියලා අපි දන්නෙ නැති නිසා අවසාන කළා නම් ඒක සාධාරණයි. අනික සුදු වෑන් එකකින් අරන් ගිය  කමල්ගෙ චරිතෙ වගේ දෙයක් ගැන ඉන් එහාට කතා කරන්න බෑ කියලා  බව අපි අත්දැකීමෙන් දන්නවාන‍ෙ. කොහොම වුණත් ඉහළ හෝ පහළ මධ්‍යම පාන්තික ජීවිත ගැන කතා කරන එක තමයි මේ ලෝකෙ තියෙන අමාරුම වැඩේ. ඒ වගේ දේකට අතගහපු එක ගැන කෞෂල්‍ය නැමති ලේඛකයාට ස්තුති කරනවා.

පොත අවසන් වෙන විදිහට නම් අනිවාර්යෙන් කෞෂල්‍ය අපිට වෙනස්ම සමාජයකට ආරාධනා කරනවා කියලා මට දැනෙනවා. ආගමක් නැති සමාජයකට හෝ සර්ව ආගමික සමාජයකට. මට ඒක තේරෙන්නෙ නෑ. ඒත් දේශපානමය වශයෙන් ගෝත්‍රික සමාජයට කිට්ටු පශ්චාත් කොමියුනිස්ට් සමාජයක් වගේ එකක්ද කියලාත් හිතෙනවා. තමන්ට තමන්ගෙ බිරිඳ ගැන වුණත් අයිතියක් නොපතන විදිහෙ සමාජයක්. ඒක කිට්ටු ගෝත්‍රික සමාජයකටද කියලාත් හිතෙනවා. මොනා නමුත් ඔහු අපිට අලුතින් හිතන්න ආරාධනා කරනවා.

කොයි කොහොම වුණත්, මේ පොත කියවන්න ආසා හිතෙනවා එක හුස්මට. තව පාරක් සෝදු පත් බැලුවොත් හොඳයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒත් මේ පොතේ නීලංකාර දර්ශන ඕනෙවට වැඩියිද  කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් ඒක කියවගෙන යද්දි නම් එහෙම දැනෙන්නෙ නෑ කියලා ස්ථිරෙට කියත හැකි. මේ පොතේ අනවශ්‍ය දේවල් නැතිම තරම්. එකකට එකක් බැඳගෙන ඉන්නෙ ජීවී අජීවි සමනළුන්ද කියලා හිතෙන තරමට මේ සොඳුරු වියමනක්. පද්මිගෙ ලිව්වා කියන කවියක් ගැන පොතේ තිබුණාට, ඒ කවියෙ එකපදයකට වඩා පොතේ තිබුණෙ නෑ. ඒ නිසා, මම ඒ කවිය සම්පූර්ණ කළා. කොහොම වුණත් මේක කියවද්දි මට බාබෙල් කියන චිත්‍රපටිය සෑහෙන වතාවක් මතක් වුණා. හනේ මංදා!

බොහොම දුර පියඹද්දි
වෙහෙසයි
මඳ සුළඟ වුණත්
හරි කටුකයි
අප දුටුව අප ද
හරි අමුතුයි
හිතට පාවෙන්න
බැරි ඒකයි!
වැස්ස දැක රඟන
තුණු මොණරු
ගල් තලා මත
සොයන නුහුරූ
ආනන්දයෙන්
පොවා මියුළු
කොහාටද යන්නෙ 
සමනල්ලු!!


4/2/14

-240- සිසිලියාගේ ශිශිර තරණය

JOSTEIN GAARDER ගෙ THROUGH GLASS DARKLY හී
සිංහල පරිවර්තනය වන රාණි සේනාරත්න ගේ “අඳුරු පළඟු තල මැදින් “
කියවා නිම කළෙමි.



ඒරියල් කවදාවත් නොඑන්න මම හැමදාම අසනීප වෙලා ඉන්න ඉඩ තිබුණා. වෙන කවුරුවත් ළඟදි නොදැනෙන සනීපයක් එයා ළඟදි මට ඇත්තටම දැනෙනවා. අම්මා, තාත්තා, අත්තම්මා විතරක් නෙවෙයි හුඟක් අය  හැම වෙලාවෙම හිතුවෙ මම අසනීපෙන් කියලා. ඒ අය හිතුවා මම එක තැනකම ඉන්න ඕනෙ කියලා. ඒත් මට හැමවෙලාවෙම ඕනෙ කළේ ඇවිදින්න. ලස්සන හිම කඳු වල, තණ බිමි වල, පිණි පිරුණු සුන්දර මිටියාවත් වල ඇවිදින්න. දුවන්න. පනින්න.

මම ආසා කරන හැම තැනකම ඇවිදින එක තරම් ප්‍රීතියක්, දේවල් අත්විඳලා දැනගන්න, ඉගෙන ගන්න එක තරම් සන්තෝසයක් මේ ජීවිතේ තවත් නැහැයි කියලා හැම වෙලාවකම මම හිතුවා. ඒරියල් ආවෙ මට එයා වගේ කෙනෙක්ව ඕනෙම කරපු ඒ වාගේ හේමන්ත නත්තල් රාත්‍රියක.

එයා හුඟක් දේවල් දන්නවා. හැබැයි මට වෙලාවකට තරහ යනවා එයා පණ්ඩිත වැඩිද කියලා. මොකද සමහර දේවල් එයා ඕනෑවට වඩා පහදගෙන කලකිරෙන එකට මම අකමැතියි. ආරක්ෂක දූත මෙහෙය කරන හැම සුර දූතයෙක්ම එයා වගෙයි කියලා මට හිතෙන්නෙම නැහැ. ඒත් එයා හැම වෙලාවෙම කියනවා. දෙවියන්ගෙ මැවිල්ලෙ හොඳම දෙයක් තමයි මම කියලා. එයා “මම“ කියන්නෙ, ඇත්තටම මේ මම ගැන.

කොහොම වුණත්, ජීවිතේ පුරාම ඒරියල් මහ ලොකු පෙරළියක් කළා. අපි හුඟක් දේවල් ගැන කතා කළා. ජීවත්වීම ගැන, මරණය ගැන, විශ්වය ගැන, ඉන්ද්‍රීන් ගැන, මිනිස්සු ගැන, මතකය ගැන, අපි මේ හැම දේ ගැනම කතා කළා. ඔව් අපි දැනුත් කතා කරනවා. කතා කරලා ඉවර කරන්න බැරි තරමට, අපිට කතා කරන්න දේවල් තියෙනවා. මම එයාගෙන් ප්‍රශ්න අහනකොට එයා මට උත්තර දෙනවා. එයා මගෙන් ප්‍රශ්න අහනකොට මම එයාට උත්තර දෙනවා. වෙනස තියෙන්නෙ, මම උත්තර දෙනකොටත් එයා කොහොම හරි ඒවා දැනගෙන ඉඳලා තියෙන එකයි. ඒක අමුතු නැත්තෙ, එයා මට වඩා ගොඩක් කල් ජීවත් වෙලා තියෙන නිසයි.

මම දන්නවා එයා කවදාවත් නොමැරෙන බව. ඇත්තටම මම එහෙම හිතන්නෙ එයා මැරෙනවාට මම කොහෙත්ම කැමති නැති නිසා වෙන්න පුළුවන්. එයා සුර දූතයෙක් නිසා මට ඒ ගැන බය නැහැ. ඒත් මම හැමවෙලාවෙම කැමතියි එයා සාමාන්‍ය මනුෂ්‍යයෙක් වෙනවාට. හරියටම කිව්වොත්, අර සයිකල් පදින වෛද්‍යවරියට පෙම් කරන, City of Angels චිත්‍රපටියෙ සුරදූතයා වගේ. මනුෂ්‍යයෙක් වීමේ දැනීම සහ හැඟීම කොයි තරම් මිහිරිද කියලා ඕනෑම සුර දූතයෙකුට හිතෙන්න නම්, එයාට ඒ චිත්‍රපටයෙ විදිහටම පීච් ගෙඩි කන්නත්, මුහුදෙ සර්ෆිං කරන්නත් සිද්ධ වෙනවාමයි.

ඇඳක් උඩ නිදියගෙන ඉන්නකොට බඩ උඩින් ගෑණු ළමයෙක් කකුලක් දාලා තුරුළු වෙනකොට දැනෙන කිතිය නොදැනෙන එක සුර දූතයන්ට දෙවියන් වහන්සෙ මැවිල්ලෙදි කරපු අසාධාරණයක්.
ඒත් දෙවියන් ඉන්නෙ මම තුළ නම්, මගේ මැවීම මම යි. එතකොට.. ඒරියල්?

ඒරියල්ට මනුස්සයෙක් වෙන්න කියලා මම හෙවත් සිසිලියා ආරාධනා කළොත්, සමහර විට එයා නොකර ඉන්න එකකුත් නෑ. ඇත්තටම කියනවා නම්, වල්ග තරුවක එල්ලිලා වේගයෙන් රොකට් පදින එකටත්, ග්‍රහයක ඉඳගෙන මහන්සි අරින එකටත් වඩා, මුහුදෙ ලවණ මිශ්‍ර වතුරෙ වේගයෙන් එහාට මෙහාට ඇදෙනකොට දැනෙන හැඟීම පුදුම සහගතයි කියලා වගකීමෙන් කියන්න පුළුවන්නෙ.

ඇහැ දකින දේවල් වල ලස්සන විඳගන්න තරම් ප්‍රීතිමත් මනසක් අපිට තියෙනවා නම්, ඒක තමයි මේ ලෝකෙ දෙවියන් විසින් අපිට ලබා දුන්නු හොඳම තෑග්ග. හැම කෙනෙකුටම මනසින් සුරදූතයෙක් එක්ක සමාන වෙන්න පුළුවන්. ඒ කියන්නෙ, බිත්ති හරහා යන්න පුළුවන්.. අහසෙ පාවෙන්න පුළුවන්, නොදැක්ක ඕනෙම දෙයක් ඒ මොහොතෙම දැක බලා ගන්න පුළුවන්, අවශ්‍ය ඕනෙම දෙයක් කරන්නත් පුළුවන්. හැම වෙලාවෙම දුකින් නොඉන්න අපිට ලස්සන හීන පෙන්වන්න, නින්ද ලබා දෙන්නෙ ඒ නිසා වෙන්න බැරිද? ඒක තමයි දෙවියන්ගෙ සුන්දරම මැවීම.

මම කැමතියි ඒරියල් හැම වෙලාවෙම මගෙ ළඟ ඉන්නවාට. ඒත් එයා ඉන්නෙ කණ්ණාඩියෙන් එහා පැත්තෙ නිසා, මෙහා පැත්තට එන්නෙ සහ එයාව දකින්න සලස්වන්න ඕනෙම කරන වෙලාවට විතරයි. හරියටම කිව්වොත් ඉන්ද්‍රජාලිකයෙක් මවන මායාවී සිහිනයක් වගේ. ඇහැරෙන්න බල නොකරන දිග හීනයක් වගේ. ඒ ආරක්ෂක දූත මෙහෙයෙ හැටි. සමහර විට ඒ ආදරයෙ හැටි වෙන්නත් බැරි නැහැ.

නැත්තම් ඔහු හැම වෙලාවෙම කියන්නෙ නැහැනෙ, මම දෙවියන් වහන්සෙගෙ අතින් පියාඹගෙන ආව ලස්සන සමනළියක් වගෙයි කියලා..




ප. ලි

සුරදූතයෙකුට ආදරය කරන්න උත්සාහ කරන්න. එතකොටයි දැනෙන්නෙ පරිපූර්ණත්වය. ඒක හරියට සතුටත් දුකත් අතර ඉගිල්ලෙනවා වගේ බොහොම වින්දනීය හැඟීමක්.

10/14/13

-228- සුදු අප්පොගෙන් විකටර් සුරතිස්සට ලියුමක් (සෙංකොටිටං)

සෙංකොට්ටං අයිති කරු වන මහින්ද ප්‍රාසාද් මස්ඉඹුල මහතා මැවූ රිදී විට චරිත අතරින් භෞතිකව පලා ගොස් කොළඹ මුල් බැසගත් බබා හේනයා සඟවා ගත් අසූ වියැති වික්ටර් සුරතිස්සට සුදු අප්පොගෙන් ලියමනක්. 

.................

2006 සැප්තැම්බර් 30 වනදා නාගොල්ල වලව්වේ සිට,

කිඹොල්කැටියේ ඥාණවිමල හිමිගෙන් ලද තොරතුරකට ලියමි.

මේ ලිපිය ලියන මගේ නම, රවින්ද්‍ර සිරිවර්ධන යැයි පැවසුවහොත් ඔබට එය බොහෝ නුහුරු වන බැවින් නාගොල්ල වලවුවේ සුදු අප්පු ලෙස මම ඔබට පළමුව මා හඳුන්වා දෙන්නෙමි.

මම උපන්නේ නාගොල්ල වලව්වේ ය. මාගේ පියා පිල්ප් සිරිවර්ධනය. එය මගේ පියාගේ, හැබෑ නම නොවන බව දන්නා අය සියල්ලෝම පාහේ දැන් මිය පරලොව ගොස් ය. හදිසි හෘදයාබාධයකින් සැට හැවිරිදි වියේදී ඔහුද කලුරිය කළ ඇවෑමෙන්, සිරිවර්ධනවරු මිස, වහුම්පුරය පරම්පරාවේ, පෙබානිස් ගැන දන්නා අයෙක් සිටිති යැයි, මම නොඅදහමි.

මගේ පියා පෙබානිස් ය. දැන් ඔබට ඒ කවුදැයි ගැටලුවක් මතුවී ඇතැයි මම සිතමි. ඔබගේ මෑණියන්ගේ එකම නැඟණිය වන හීං රිදී හෙවත් මහ හාමිනේ පිලිප් සිරිවර්ධන වූ පෙබානිස් ගේ මව් ය. බාබානිස් හෙවත් අපේ සීයා තරුණ වියේදීම මිය පරලොව යාමෙන් පසු, මගේ අත්තම්මා වන හී රිදී තම එකම පුතු දුක සේ හදා වඩා ගත් බව මට අත්තම්මා කුඩා කල පවසා ඇත.

මගේ පියා වන පෙබානිස් වයස අවුරුදු පහළවක් තරම් කාලයේ කොළඹට පැන ගොස්, වෙළෙන්දෙක් වී ගමට පැමිණි බවත්, සින්න වීමට යමින් තිබූ නාගොල්ල වලව්ව, සිනක්කර මුදලට ගත් බවත්, වර්තමානයේ මෙහි සිටිනා බොහෝ අය නොදනිති. නාගොල්ල අප්පොලාට සිදුවන අවනම්බුවෙන් බේරීමට, ඔවුන්ගේ ඉල්ලීම පිටම, එම පවුලේ, බාල දියණිය විවාහ කරගත් මගේ පියා, පිලිප් සිරිවර්ධන වූයේ එතැන් පටන් ය. තරුණ කල නොවිදිනා දුක් විඳි හීං රිඳී අත්තම්මාද මිය පරලොව ගියේ රන් සිවි ගෙයකින් මහ හාමිනේ ලෙසය.

දැන් මට ඔබට මහප්පා කිව හැකියැයි මම සිතමි. වික්ටර් මහප්පේ මී මුත්තා ගෙනා කුඩා බෝ පැලය අද මහා වෘක්ෂයකි. නම් ගම් වෙනස් වුවද, ඒ ආවතේව කරනුයේ අපේම රුධිර ජාන මිස අන් පරම්පරාවක් නොවන බව දැන ගැනීමෙන්, ඔබ සතුටු වෙනු ඇතැයි සිතමි.

මිනිසුන් ගෙන් ගැහැට විඳගෙන , අහු කොන් වල දුක් විඳ විඳ, අනුරාධපුරයෙන් ගෙනා වීරප්පුලි හේනයාගේ බෝ පැලයට, අද තම දරුවන්ගේ විභාග සමත් කර දෙන ලෙස අඬා හැපෙනුයේ , එදා ඔබ මෙන්ම මගේ පියාටද පාසලේ දෘෂ්ටි මාත්‍රය පවා අහිමි කළ මිනිසුන්ගේ පසු පරම්පරාව මහප්පා මතක තියා ගනු ඇතැයි සිතමි.

එහෙත්, මගෙන් පරම්පරා දෙක තුනකට පසුව මෙන්ම, ඔබෙන්ද පරම්පරා කිහිපයකට පසුවද අපේ මුල් ගැන වෙනත් උන් නොව අඩුම තරමේ අපේ අය හෝ දැන ගනු ඇතැයි මට විශ්වාස කළ නොහැක.

එහෙත්, ඔවුන්ගේ ජාන වල පවතින අවිඥාණික හැඟීම් සමුදායක් ඒ අපුරු වූ සුවඳේ කතන්දරය ඔවුන්ගේ යටි හිතට ස්පර්ශ කරවනු ඇත.

මම
පුත්,
රවින්ද්‍ර සිරිවර්ධන
(නාගොල්ල වලව්වෙ සුදු අප්පො)



2/19/13

-205- සිද්ධාර්ථ සහ ලාංකීය සිනමාවේ රජ කතා අනර්ථය




සිද්ධාර්ථ බලන්න සැලකිය යුතු සෙනඟක් ඇවිත් හිටියා.. ආච්චිලා ටිකට් ගන්නෙත් ඇස්වල කඳුළු පුරෝගෙන. චිත්‍රපටය පටන් ගන්න කලින් සමනළ සංධ්වනිය ටෙලර් එක පෙන්නුවා...ප්‍රේක්ෂකයො ඒක දැකලා..ටිකක් සුපර් ඊගෝ තැනට ආවා.. ඉන් පස්සෙ සිරි පැරකුම්.. දිගුදෑස පාර්ට් ටූ හැඟීම ආපු නිසාම  මම වාගෙම හුඟක් ආයෙ සීට් එක උඩටම වැටුණා..දෝණි කියලා එකකුත් පෙන්නුවා.. මට ඇලුලුවෙම නෑ.කමල් අදරආරච්චි නම් ඉන්නවා... ඔන්න දැන් ශ්‍රී සිද්ධාර්ථ ගෞතම පටන් ගන්නවා.
සිදුහත් කුමාරයා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත කෙනෙක් කියලා අපි බුද්ධාගම ඉගෙන ගන්න පටන්ගත් දා පටන්, දහම්පාසලයි ඉස්කෝලෙයි අපිට පොවනවා.. ඒ මොනාද කියලා එක සැරේ කෙනෙක්ට අමතක වුණත්, ඔයිට වඩා ටිකක් තේජවන්ත පාටක් සිදුහත් කුමරුට තිබිය යුතුමයි කියන පුද්ගලික මතය උඩ මම තවම ඉන්නවා.

අනික දේවදත්ත ගේ රූපකාය සාපේක්ෂව ගත්තොත් සිදුහත්ගෙ පුරුෂ ලක්ෂණ එක ඉරකින් පේන්නම කපලා දැමිය හැකි මට්ටමක් තියෙනවා.. මම දේවදත්තයාත් සුපිරි දේහයක් කියලාකියන්නෙ නෑ.. හැබැයි, සිදුහත් ට වඩා මොකද්ද ගැම්මක් තිබ්බා. රඟපෑම අසාර්ථකයි හැමෝගෙම වාගෙ..පිට රට හොඳ ඒවා අතරිමු .. හැබැයි අබා ත් ඔයිට හොඳා.. සාමාන්‍ය හින්දි චිත්‍රපටයක් බලලා අවසානෙ දැනෙන හැඟීම තමා මට නම් දැනුනෙ.

යශෝදරා නම් කෙල්ලෙක් විදිහට හරිම ලස්සනයි.. රගපෑම, නම් එකෙන්ම අසාර්ථකයි. සාරංග සහ රණවන තම උපරිමය දක්වා තිබුණා.. හැබැයි ඔවුන් නලුවෙකුගේ උපරිම රංගනය වෙනුවෙන් තව හුඟක් ඉගෙන ගන්න වෙයි.) සුද්ධෝදන චරිතය රඟපෑ රන්ජන්, ගෙ ඉස්සරහ ෆිල්ම් හෝල් එකේ තියෙන කටවුට්, ඇතුළු, සියල්ලම අමතක කළත්, සුද්ධෝදන ඇතුළෙ වන් ෂොට් විනිරිමුක්ත කළ නොහැකි පරිදි ඇලවිලා ඉන්නවා..

කැමරාව ගැන කතා කළොත්, සිනමාත්මක කොටස් එකතු කරපු, ඩොකියුමන්ට්‍රි ස්වරූපයක් තිබුණෙ.. පරිගණක නිර්මාණ පවා හරිම අසාර්ථකයි. ඉන්දියාව එක්ක සහයෝගෙන් කරලත්, ඒ තාක්ෂණයෙන්,දශමයක්වත් උකහාගෙන නෑ.. තිර පිටපත ඇතුළෙ ලොකු අඩුපාඩු තිබුණා..සංස්කරණය.. මැද ඉඳන්, අගට.. අග ඉඳන්  මුලට ඇවිත් නැවත මැදට ගියා... පෙන්වූ මැද නැතිව නොපෙන්වූ මැද පෙන්නුවා...

ඒ කිව්වෙ, මෙහෙමයි. මුලින්ම පටන් ගන්නෙ, සිදුහත් කඳුලු පුරවන් යශෝදරා සහ රාහුල දෙස බලා, ඡන්නගේ කාමරයට තටිටු කරන තැනින්. ඔවුන් දෙන්නා යනවා....රජ මාලිගාව කලබල වෙනවා..  අනෝමාවෙන් කුමරු එගොඩ වෙන්නෙ නම් දහම්පාසලේ විදියට නෙවෙයි. අශ්වයයි. ඡන්නයි තියලා, කූමාරයා වතුරට බැහැලා එගොඩ වෙන්නෙ... එතැන ඉඳන් බුද්ධත්වයට යන තෙක් කතාව පෙන්වනවා.  කාලම සහ උද්දක පෙන්වනවා. භාර්ගව නම් නෑ... පස්වග මහණුන්ගෙ උපස්ථානත් පෙන්වනවා. දුෂ්කර ක්‍රියාවෙ වේශ නිරුපණය අති අසාර්ථකයි.  විශාකා ඕෂදී.. ඒ ටික හොඳයි.. මර දූවරු හොඳායි... චන්නගෙ කෙල්ලො ටිකක් ද කොහෙද? මාර පරාජය ඇතුළෙ මම 3D සිනමාව සහ පරිගණක බලාපොරොත්තුම වුණා.. අනේ නිකං max දුමක් විතරද මන්දා... හරියට key කරලාවත් නැහැ අප්පා..

දැන් බුද්ධත්වයෙන් පස්සෙ කතාවෙ මුලට යනවා.. මායා දේවිට ට ළමයි නෑ.. මායා දේවි ප්‍රජාපතීව ගත්තාට කමක් නෑ තියලා සුද්ධෝදන රජතුමාට කියනවා. රජතුමා ඉතින්, ඒක භාර්යා සංකල්පයෙ කෙළම පැමිණිලා ඉන්නෙ.. කෝම හරි රෑ හීනෙ පේනවා... අනෝතත්ත විලක් නම් නෑ... පට්ට දුමකින් හොඳ කලු ඇතෙක් එනවා.. පැටියෙක් නෙවේ නාඹර ඇතෙක්.. මල් වැල් එහෙම ඔලුවෙ දාගෙන එන්නෙ...මායා දේවිට සුදු නෙලුම දෙනවා. ඉන්පස්සෙ සුපුරුදු ටිකම වෙනවා.. ලුම්බිණියෙදි... මල් නැති සල් ගහක් දේවිය අල්ලන්නෙ... විළි රුදාව මායා දේවියට හිනා යනවා.. ඒක නම් ටිකක් විතර, මට අවුල්.. වට තිර අදිනවා.. දේවියට ළමය ලැබෙනකං හිනායනවා.. ලුම්බිණියෙ කිසිම දෙයක් වෙන පෙන්නුවෙ නෑ.. ඒ ටිකේ ගෞරවය නොකෙළසීම හැබෑ සතුටක්..  ඉන්පස්සෙ ආයෙ මාළිගාවට ආවාම දරුවා රජතුමාට දෙනවා.. ඉන්පස්සෙ හැරිපෝටර් වාගේ තමා..

එඩ්වින් ආරියදාස මහත්තයා තමා සිද්ධාර්ථ කුමාරයාට නම් තියන්නෙ... බුදු වෙන කතාව කියපු ගමන් රන්ජන්ගෙන් සුද්දෝධන ඇතුළෙන් වන් ෂොට් එලියට පනිනවා....මහමායා කලුරිය කරනවා.
ඒකත් ලොකුවට පෙන්නුවෙ නෑ..ගිනි ගොඩ එක්ක ඉන්ටර්වල් දෙනවා.. චොක්ලට් වොන්ඩබාර් එකක් කෑවා.. ඒක තමා අද දවසෙ ලොකුම සතුට...

කො‍හොම හරි, කුමාරයා මාළිගාවෙමයි ඉන්නෙ.. ඔන්න දැන් දේවදත්ත සිද්ධාර්ථ වලි තැන හතරක් තියෙනවා. දේවදත්ත ගෙ ප්‍රශ්න හරි සාධාරණයි. තොහොම නමුත් ඕවා කතා කරලා අපායෙ යන්න බෑ. දැන් සිදුහත් කුමාරයා ඔය අස්සෙ අපේ ලංකාවෙ කලු කෙල්ලො ගොඩක් අස්සෙන්, සුදු ඉන්දියන් යශෝදරාව තෝරාගන්නවා. ඒක නම් ෆෙයාර් ඇන්ඩ් ලවුලි ඇඩ් එක වගේමයි..  ඒ දෙන්නාගෙ ලව් තමා ඉවර වෙනකං තියෙන්නෙ.. ඊට පස්සෙ අන්තිම වීර් සාරා වාගේ... කුමාරයා ආයෙ එන බව කියලා යනවා. යශෝ කියනවා, එයා දොයි වෙලාවක යන්න කියලා... ඒත් හොරාට ඇහැරිලා ඉන්නෙ.. මේ සිදුහත් ගිය බැල්මෙන්, නම් බුදුවුණා කියලා හිතන්න බෑ... ආයෙ එන මූඩ් එකමයි තිබ්බෙ.. ශිල්ප දක්වලා නේද කෙල්ලො තෝරන්නෙ.. මේකෙ දේවදත්තගෙ වුවමනාවටයි ශිල්ප දැක්වුවෙ..දේවදත්ත එක්ක.. කොහොම හරි.. මට දැනෙන විදියට, මවුස්ට වඩා ඉදිරියෙන් තියෙනවා... මොකද ඒක උගත් දෙමව්පියන්ටයි.. ඉගෙන ගන්න ළමයින්ටයි හදපු එකක්නෙ.. අපි ඒම නෑනෙ.. මේක බැලුවාම බුද්ධාලම්භන ප්‍රීතියක් නම් මට ආවෙ නෑ.. ඇත්තම කියන්න එපැයි. සිතුවම්පටය මට නම් වැඩක් නෑ..  හැබැයි.. බුදුහාමුදුරුවන්ගෙ අගය මේකෙන් අඩුවෙන්නෙ නෑ.. ඒ ලොකු දෙයක්.

අබා ආවා..කුස පබා ත් ආවා.. විජය කුවේණිත් ආවා... දැන් සිද්ධාර්ථත් ආවා.. හෙට අනිද්දාට පරාක්‍රමබාහුත් එනවා...මට ඒක ඇතුළෙ ජයන්ත චන්ද්‍රසිරි සර් මවපු  මහරජ ගැමුණු සිද්ධි මාලාවක් පේනවා.. මේ ඇත්තට පරාක්‍රමබාහු කසාඳ බැන්දෙත් ගමේ කෙල්ලෙක්ද? ..මනමේ තවම දුනු දිය අදිනවලු..පැරකුම් රජතුමාම කමා මනමේ කුමාරයත්.. දුටු ගැමුණු මඟ නවත්තන් ඉන්නවා..ජයන්ත චන්ද්‍රසිරි සර්..තවම මොළෙන් වැඩ ගන්න මනුස්සයෙක් නිසා..හැබැයි මර්වින් මහත්තයා රඟපාන ගැමුණු චරිතයක් තියෙන චිත්‍රපටයකුත් තියෙනවාලු... .අනේ බුදුහාමුදුරුවනේ... තව ඉතුරු වෙලා ඉන්න රජවරු ඉන්නවා... විමලධර්ම සූරිය රජ්ජුරුවො, රාජසිංහ රජ්ජුරුවො, විජය බාහු රජ්ජුරුවො.. වළගම්භා මහසෙන් රජවරු... තව ඉන්නවා.. ඒ අයට මහා වන්සෙන් කළ දේවල් හොඳටම ඇති. හරි සිනමාවක් සහ හොඳ නලුවො නිළියො එනකං අපිට ඒ අයගෙ ෆිල්ම් එලා...

මම අවසානෙටම කියන්නෙ, ඒ අයව ගත්තත් කමක් නෑ.. රාවණ රජජුරුවන්ට අත තියන්න දෙන්න එපා... අපි එතුමාට ගොඩක් ආදරෙයි.. ඒ අහිංසකයා මහා වංශෙත් නෑ... ඉන්දියාවෙන් කළ ටික හොඳටම ඇති..

එහෙනම් මිත්‍රවරුනි රැඳි සිටින්න..
ලොක්කා කුස පබා
චූට්ටා පඬු අබා
මද්දු පැරකුම්බා...