මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

6/20/18

-303- ලියුමක්.

2018-06-20
ආදරණීය ගැමුණු,

 ඔයා කොහෙ හරි මාව ඇහෙන මානෙක ඉන්නවා නම් අද දවසටත් හිනා  වෙනවා ඇති .අද පබ් එකේ ඔයාලාව Exhibit කළා. ඊයෙ නුගේගොඩ ආනන්ද සමරකෝන් පීඨෙ ඉඳන් පදික වේදිකාවෙන් මහ පාරට වෙනකල්, ඔයාලා පෝලිමට පින්තාරු වෙලා හිටියා. මට බහින්න හිතුණා. මං බැස්සෙ නෑ. අද මට පබ් එකට ගිහිං ඔයාව බලන්න හිතුණා. මං ගියෙ නෑ. සැමරුමක් පවා දෙකකට බෙදෙන තරමට දැන් ඒවා හරි ප්‍රදර්ශනකාරී. ත්‍රීමා අයියා, සීරු මාරුවට ඇඳපු පෝසටර් වල පරණ කවි අලුත් කරලා rotate කෙරුවට, ඒ අකුරු  වල වේදනාව මැද්දෙන් ගලපු සුන්දර කම මේ පෝස්ටර් එකකවත් මං දැක්කෙ නෑ. ඒ කාලෙ දේශපාලනේ කරපු කවුරුවත් දැන් දේශපාලනය කරන්නෙත් නෑ.

එයාලා ගාව තියන පින්තූරෙට වඩා ඔයාගෙ ගොඩක් පැහැදිළි පින්තූරයක් මං ගාව තියෙනවා. ඒ එකම පින්තූරෙ හැම විරු සමරුවකදිම දකිනවා. ඔයාගෙ පරණ අයිඩින්ටි පින්තූරයක් ඒක. අවුරුදු දාහතක් දහ අටකට වැඩි නෑ. මං හරියටම දන්නෙ නෑ. ඔයාගෙ ඩොකියුමන්ට් ඔක්කොම වූට් ඉන් එකේ මෙට්ටෙ අස්සෙන් අරන් ගිනි තිබ්බාට පස්සෙ, ඉතිරි වුණේ ඔච්චරයි කියලා මට ඔය පින්තූරෙ දුන්න කෙනා කිව්වෙ.

කෝම වුණත් හැම දවසකම ඔයා ගැන පහුගිය කාලෙ මොකක්ම හරි අලුත් ආරංචියක් ලැබුණා. ඔයා ආදරේ කරපු අය ගැන. ඔයාට ආදරේ කරපු අය ගැන. ඔයා කළ කී දේවල් ගැන ටික ටික හරි මතකයට නගා ගන්න තරම් තොරතුරු මට දැන් ලැබෙනවා. මට සතුටුයි ඔයා මැරෙන්න ඉස්සරලා දෙවනි අවුරුද්දෙ විභාගෙ ලියලා ඉවර කළාට. ඒකත් හරියටම මගේ උපන්දිනේ දවසෙ වුණ එකට මං කැමතියි.

ඒ ඉපදුණේ මම ම නොවුණත්, ඒ කාලෙ වගේම මං අදත් ඔයාව දන්න එකට, මට අදත් ඔයාව දැනෙන එකට, මම අදත් ඔයාව දකින එක ගැන මට පුදුමාකාර සතුටක් තියෙනවා. ජීවිතය ගලායනවා. ඒත් අසම්පූර්ණ ගතියක් දැනෙනවා. ඔයාගෙ තත් කැඩුණු ගිටාර් එක ලෝකෙ කොහෙ හරි තැනක මොකක් හරි විදිහකින් පවතිනවා නම්, ඒ අසම්පූර්ණත්වයෙ ඉතිරි ටික එතැන ඇති. අපි ආයෙ හමුවෙන්නෙ කවදාද කියලා නොදන්නවා වුණත්, පුංචි හරි බලාපොරොත්තුවක් එක් කරන්නෙම, අපි කවදා හරි මැරෙනවාය කියන හැඟීම විතරමයි. ඉන්න තැනක හොඳින් ඉන්න. ඔයාට හුඟක් අය පින් දෙනවා.

ධාරා.

9/28/17

-302- "ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"

12 11 10 වැලිකඩ කියවූ පසු ලියමි.
සංස්කෘතිය ආරම්භ වූයේ, තමා තනිව අල්ලා ගත් ගොදුර , ගිල දැමීමට පෙර සිය සමූහය සමඟ බෙදා ගත යුතු යැයි තීරණය කළ පළමු මානවයාගෙනි. එදා සිට අද දක්වා යුග ගණනක්, ගෙවා කාලයද සංස්කෘතියද ඉදිරියට පැමිණ ඇත. අද එම සංස්කෘතිය යනු ආර්ථිකය, දේශපාලනය හා තාක්ෂණය දරා හිඳින වේදිකාවකි. සංස්කෘතිය ගොඩ නැගෙන්නේ සමාජ තලය මතයි. සමාජය නිර්මාණය වන්නේ පොදු එකඟතා සමූහයකිනි. මේ පොඳු එකඟතාවන් බිඳින යමෙක් වේද ඔහු සමාජයෙන් බහිස්කරනය කිරීම සඳහා යුගය අනුව ක්‍රමයක් සොයා ගැනුණි. එය සැම විටම අවාසනාවන්ත වූ ද, කටුක වූද එකක් විය. කෙසේ වෙතත් උපරිමයෙන් බහිස්කරනය කිරීම ඝාතනය විය. මෙය සෑම රටකටම, සෑම යුගයකදීම අප දන්නා ඉතිහාසයේ පොදු කරුණකි. එහෙත් සංස්කෘතිය විසින් කට වහර තුළ එන හිර ගෙවල්, එසේත් නැති නම් ව්‍යක්ත වහරේ "බන්ධනාගාර " නිර්මාණය කළේ වෙනත් අරමුණක් සිහි තබාගෙනය. සමාජයට නොගැලපෙන යමෙක් වේද ඔහු පුනුරුත්ථාපනය කොට නැවත සමාජයට අවශ්‍ය අයෙක් බවට පත් කිරීම බන්ධනාගාර වල අරමුණ විය. එබැවින් වැලිකඩ හිරගෙදර, අපි නිතර පාසල් ආ ගිය සිරිධම්ම මාවත අද්දරට මුහුණ ලූ කොටසේ... "සිරකරුවෝ ද මනුෂ්‍ය යෝ ය." යැයි සටහනක් විය. එහෙත් ගැටුම පැන නගින්නේ මෙතැනිනි. අප සිරකරුවෝ මිනිස් හැඟීම් සහිත අය බව සිතන්නට මැළිවන්නට පටන් ගන්නා තැනිනි. ඔවුන්ට සිදු වුණ අසාධාරණ කම් අප අමතක කරන්නට පටන් ගත් තැනිනි. බල්ලන්ට පූසන්නට ප්‍රේම කරන අපි මිනිසුන්ට ප්‍රේම කිරීම අතපසු කරගත් තැනිනි. එහෙත් එය අතපසු නොකළ කෙනෙක් විය.
2011 වසරේ දින සති මාස අමතක දවසක, මහරගම රාවය කාර්යාලයට තරුණයෙක් පැමිණියේය. මා ඊට පෙර ඔහු දැක තිබුණේ එක වරක් පමණි. ඒ ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රවේශ විභාග දින ප්‍රශ්න පත්‍ර බෙදද්දීය. රාවයේ එදා තිබූ මේස සැකැස්ම දැන් එතරම් මතක නැත. කෙසේ වෙතත් මේ තරුණයා මුල් වරට ඉඳගත් තැන අසල සිටි අපේ මිත්‍රයා ලන්ච් එකේදි ඔහු පිළිබඳව පළමු ප්‍රතිචාරය දුන්නේය.
" ඌ මහ පණ්ඩිත කොල්ලෙක්"

මට රාවය බොහෝ සෙයින් මඟහැරුණි. එහි සගයන්ද යම්තාක් දුරකට මඟ හැරිණි. පණ්ඩිත කොල්ලා මිතුරෙක් වීමටත් පෙරම සම්පූර්ණයෙන්ම මඟ හැරිණි.
12-11-10 වැලිකඩ කෘතිය ලියන ලද්දේ අන්න ඒ පණ්ඩිත කොල්ලා විසිනි.
ඔහු නමින් කසුන් පුස්සෙවෙල නම් විය.
පුර්විකවකින් හා පරිච්ඡේද 42 ක් අතුළු කළ මුළු කෘතිය පුරාම සෑම දෘෂ්ටියකින්ම නිරවද්‍යම සත්‍ය නිරූපණය කිරීමට කසුන් මහත් වෙහෙසක් දරා ඇත. ඔහු 2012 වසරේ සිටම ඒ සඳහා බොහෝ මහන්සි වන්නට ඇත. මේ කෘතිය තුළ ට ඔහු කැප කළ පරිශ්‍රමය කර්තෘ භාගයකින් ලබන සෑහිමට එහා ගිය උත්තරීතර ආත්ම තෘප්තියක් වනු ඇත.
ලොව අසාධාරණය උපරිමයට රජ කරන යුගයක, උපරිම වාරණයට ලක් වූ මිනිසුන් ගැන මුව සොලවන්නටවත් බිය වූ මිනිස් කැල ළඟ, දෙවියන් දෙවොලේ පහන් හොරකම් කරන වග හඬ නගා කීමට සමත් අය ඉපදීම, භයානක භාග්‍යකි. මේ යුගය තවමත් සම්පූර්ණයෙන් කේතුමතියකට පෙරළි නොමැති අන්ධකාර සමයකි. එහෙත් මිනිසුන් නොදුටු, මිනිසුන් යම් දිනක දැනගත යුතු, සත්‍ය හෙළි කිරීම කළ යුතුවම පවතින යුගයකි. මේ යුගයට අනුව ධර්මය කුමක් දැයි මම නිවැරදිව පැවසීමට නොදනිමි. එහෙත් යම් ධර්මයක් පවතීද එය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා, සෑම යුගයක්ම, සෑම දේශයකටම මිනිසුන් ලබා දෙයි. ඒ ස්වභාව ධර්මයේ රීතියයි.
නීතිය යනු කුමක්ද? බන්ධනාගාරයක උපරිමය කුමක්ද? සිදු වූයේ කුමක්ද? අපට පෙන්වූයේ කුමක්ද? ආදී බොහෝ ගැටලු සහ පිළිතුරු මේ කෘතියේ අකුරු අතර වෙයි. ලංකාවේ මෙතෙක් ජීවත් වූ සෑම අයෙක්ම ඒ ලේ ගලන ලද වියරුවේ කතන්දරය දැනගත යුතුයි. කියවිය යුතුයි. මේ කෘතිය හුදු කතන්දරයක් හෝ වාර්තාවක් නොවන, සත්‍ය සිදුවීම් ඇඟට දැනෙන්නට ලියූ සටහනකි. සමාජයට ප්‍රේම කරන මිනිසා නිර්මාණය කිරීමට ජනමාධ්‍යවේදීන් අතින් මෙවන් දෑ උත්ථානය නොවේ නම්, අනාගතය තවත් බියකරු බවට පත්වනු නොඅනුමානය. මේ සමාජය අප්‍රමාණ අධර්මයෙන් ගොඩ නැගුනකි. ධර්මය පිහිටුවන්නට ආයෙ ක්‍රිෂ්ණා නොඑන වග අප සැවොම දන්නා නිසා සත්‍ය හෙළිදරව් කරන්නන්, සාධාරණත්වය පහදා දෙන්නන්, යුක්තිය පෙන්වා දෙන්නන් ආරක්ෂා කිරීම, සත්‍ය සාධාරණය යුක්තිය දැකීම පිළිබඳව ඇති නොතිත් ආශාවට නොදෙවෙනි කළ යුතු සාධකයකි.
...ධර්ම සංස්ථාපනාර්ථාය
සම්බවාමි යුගේ යුගේ......


-301- අපි අපි වගේ වෙමු.

මගෙ හොඳම යහළුවන්ගෙන් කෙනෙකුට උපන්දිනයට සුබ පතන්න මං පහුගිය අගොස්තුවෙ ඔහුට දුරකථන ඇමතුමක් ගත්තා. “ කොහොමද දන්නෙ, අද මගෙ උපන්දිනේ කියලා. මං ෆේස්බුක් එකෙනුත් උපන්දිනේ අයින් කළානෙ.“ 
ඔහු එක් වරම එහෙම පැවසුවා. 

සමාජ ජල වල තමන්ගෙ පුද්ගලික තොරතුරු නිරන්තරයෙන් එහා මෙහා සංසරණය වීම තවදුරටත් අනුවණ ක්‍රියාවක් යැයි සිතූ මගේ මිත්‍රයා සියල්ල ඉන් සඟවා තබන්න කටයුතු කරලා තිබ්බා. අපි අපේ සබඳතා කොයි තරම් දුරට සමාජ ජාල කරණය කරගෙන තියෙනවාද කියලා දැනෙන්නෙ මේ වගේ දෙබස් වලින්. අපි ෆේස් බුක් එකෙන්, ට්විටරෙන්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ ජී ප්ලස් වලින් අපේ තොරතුරු සැඟෙව්වාම සියලු දෙනාටම අපේ තොරතුරු සහ අපිව අමතක වෙලා යාවි කියලා අපේ හිතට සිතිවිල්ලක් එන්න තරමට අපි සමාජ ජාලෙට ඇබ්බැහි වෙලා.. හැබෑටම වෙන්නෙ ඒ විදිහටම නොවුණත්, අපේ හිත් ඒ විදිහට කාලයක් මුළුල්ලේ හැඩ ගැහිලාෙ. මෙහෙම වෙලා තියෙන්නෙ සැබෑ ජීවිතය සහ තත්‍ය අවකාශය එකක් කරගෙන අපි ජීවත අපි ඇදං යන්න පුරුදු වෙලා තියෙන හින්දාමයි.

මේ කාරණාව තහවුරු කරන්න ඔබට කියන්න මට තවත් සිද්දියක් තියෙනවා. මේ ළඟදි මගෙ හිතවන්තයෙකුගෙ ස්ටුඩියෝවකට, මං මුද්‍රණ කටයුත්තකට එහි සිටින අල්ල පනල්ලෙ තරුණ යුවලක් ආවා. ඔවුන්ට අවශ්‍ය කළේ තමන්ගෙ විවාහ දිනය සහ ඒ අදාළ කටයුතු ඡායාරූප ගත කරගන්න. මගේ මිත්‍රයාගෙ පින්තූර ගැන කල් ඉඳන්ම දැකලා හිතේ තබා ගත්ත රෙකමදාරුවකින් අනතුරුව ඔවුන් පැමිණි නිසා, ඔවුන් පැරණි ඇල්බම් ඇරලා බලන්නවත් වද වුණේ නෑ. ඉතින් මගේ මිත්‍රයා ඔහු ගාව තියෙන එක එක ආකාරයේ පැකේජ ටික ඒ දෙන්නාට පෙන්නුවේ, මිල ගණන් දැනුවත් කිරීමටයි. ඒත් යුවල එතරම් සතුටු බවක් පෙන්නුවේ නෑ. අන්තිමේදි දෙන්නා ටිකක් එකෙල මෙකෙල වෙද්දි මගේ මිත්‍රයා ඔවුන්ට තව දුරටත් අවශ්‍ය මොනවාදැයි විමසුවා. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ විවාහය දින හවසම ස්තූති පත්‍රිකාවට අමතරව ඔවුන්ගේ පින්තූර කිහිපයක සොෆ්ට් කොපි ලබා ගැනීමට බව අනතුරුව මනාලිය පැවසුවා. ඒ අවශ්‍යතාවය මගෙ මිත්‍රයාට එකවර තේරුම් ගන්න බැරි වුණාට, මට නම් තේරුම් ගියා. ඇල්බම් සීයක් ගෙදර තිබ්බත්, දැන් ඒවායෙන් ඒ තරම් පලක් නෑ. ෆේස්බුක් එකට, ඉන්ස්ටා එකට පින්තූරයක් දෙකක්ද එදා හවසම දමා ගන්න බැරි වුණොත්, එයයි විශාලම අඩුපාඩුව වන්නේ.

කොටින්ම කෙනෙක්ට සුබ පතද්දි දැන් ඉස්සර වගේ උපන්දින සුබපැතුම් පත් යවන්නෙම නැති තරම්. ඉස්සර ඉඩ කඩ ඇති වෙලාවට දවස් කිහිපයක් පුරා සීරුමාරුවට උපන්දින සුබ පැතුම් නිර්මාණය කරලා, අපි උපන්දිනේ අයිති කාරයාට එය තෑගි කරනවා. ඒත් අද පින්තූරයක් සමාජ ජාලට අප්ලෝඩ් කළාම හොඳටම ඇති. සුබ පැතුම් පතක් කෙනෙක්ට යැව්වත්  එයට වැඩි වලංගු බවක් ලැබෙන්නෙ, එ් සුබ පැතුම්පතේ පින්තූරය සමාජ ජාලෙක ගියොතින් විතරයි. ඉතිං වැරදීමකින් හරි කවුරු හරි සමාජ ජාලයකට, තමන්ට ලැබුණු කිසි තෑග්ගක, කාඩ්පතක පින්තූර දාලා නැත්තම් ඔහු හෝ ඇය අන් අයගෙන් කිසිවක් නොලබන, සමාජයේ කෙළවරකට වූ කෙනෙක් ලෙස අපිට හිතෙන්න පටන් ගන්නවා. ඒ සමාජජාල සංස්කෘතිය දැන් සමාමාන්‍යකරණය වෙලා නිසයි.

තමන්ගෙ සැමියා දරුවා එක්ක එකට ට්‍රිප් ගිහිං , යාළු මිත්‍රයන්ගෙ පාටි වලට ගිහිං, ගෙදර එක එක විදිහට සිටිමින්, කෑම පිඟන් සමඟ, මල් පෝච්චි සමඟ පින්තූර අප්ලෝඩ් නොකරන විවාහක කාන්තාවකගෙ ජීවිතේ ප්‍රශ්න වලින් පිරුණු, කටුක, අසුන්දර එකක් වෙන්නැති  කියලා ඇගේ යහළුවන්ට හිතෙන්න ගන්නවා. සතුට මනින්නෙ පින්තූර වල තරමින්.

ඡායාරූප වල පෙම්වතෙක් පෙම්වතියක් නොපෙනෙන, සෑම ගැහැණු ළමයෙකුටම, සෑම පිරිමි ළමයෙකුටම පෙම්වතෙක් හෝ පෙම්වතියක් නැතිව ඇති කියලා හුඟක් දෙනා හිතන්න ගන්නවා. කලින් කිව්ව විදිහට මේ නිසාම පුද්ගලික ජීවිත අනිසි ලෙස සමාජගත වීමේ ගැටලුව නිසා තමන්ට අදාල නොවී එහෙත්, තමන්ව බලපෑමකට ලක් කළ හැකි ව්‍යාකූලතා සමුදායකට අද තරුණ පරපුර මුහුණ පානවා.

අපි ජෙනරේෂන් විදිහට බෙදා දක්වුවොත් යුගය  මේ බලපෑමෙන් න්‍යායාත්මකව මිදිලා ඉන්නවා. ඒ අය ඩිජිටල් යුගය වැළඳ ගන්න ටිකක් විතර කම්මැලි නිසා.  Y පරපුර තමයි මේ බලපෑමේ, නිර්මාතෘවරු විදිහට සලකන්න පුළුවන්. ඒ කියන්නෙ අපේ පරම්පරාව. Z පරපුර නම්, සමාජජලා ඇතුළෙම බිහිවුණ නිසා ඒ අයට පුද්ගලිකත්වය සහ සමාජීයත්වය පිළිබඳ විශාල ප්‍රශ්නයක් නැති පාටයි. ඉන්පසුව බිහිවෙන පරම්පරාවල් වලටත් මේ සමාජජාලකරණය සාමාන්‍යයක්ම වේවි. ඒත් y පරපුරේ අපි තුළ තවමත්  පැරණි වටිනාකම් වලටත් ආශාවන් තියෙන නිසා අලුත් වටිනාකම් වැළඳ ගනිද්දි ඝට්ටනයක් මතු වෙන එක ඉතාම සාමාන්‍යයි.

ඔබේ පරපුරේ අනෙක් අය, ඔබේ සමාජ ජාල ක්‍රියාකාරකම් හරහා ඔබව මනිනවා නම්, ඉන් මානසික බලපෑමකට කල් නොවී සිටින්නට උත්සාහ කිරීමයි ඔබ කළ යුත්තේ. එවිට ඔබට අනෙක් අය වගේ වීමට වෙර දරන කාලය වගේම අනෙක් අයගෙ සිත් පුහු ලෙස සතුටු කරවීමට ඔබ ඔබේ සතුටෙන් කැප කරන වටිනා කාලය ඉතිරි කරගත හැකි වේවි. ඒත් ඔබ කැමති සහ ඔබ සතුටු වන්නේ ප්‍රදර්ශනකාරී ලෝකයට නම්, අනෙක් අය විදිහටම ජීවත් වීමට නම්, එය ඔබව සතුටට පත් කරනවා නම්, ඒ අයුරින්ම ජීවත් වන්නට ඔබට අයිතිය තියෙනවා. මම නිතරම කියනවා වාගේ කිසිවක් කිසිවකට වඩා උසස් හෝ පහත් වන්නේ නෑ. ඒත් මේ සටහන හරහා ඔබට අලුත් සිතුවිල්ලක් ඇරඹිය හැකි වේවි කියලා මං විශ්වාස කරනවා. 

9/20/17

-300- තටු හොයන සමනළී

වෙලාව හරියටම  පාන්දර දෙකහමාරයි. මාව අන්දන අක්කා එන්නෙ පහට. බ්‍රයිස් මේට්ලා ටික අල්ලපු කාමරේ කෙළ පෙර පෙර නිදි. එයාලා මගෙ යාලුවො නෙවෙයි. මගෙ යාලුවො කවුරුත් මගෙ ස්කින් ටෝන් එකට හරියන්නෙ නැති නිසා, මේ අයව හයර් කළේ අන්දවන අක්කා. එයාට මිනිස්සුන්ගෙ සල්ලි කඩා ගන්න අලුත් අලුත් පොයින්ට් ගේන්න සහජ ඥාණයක් තියෙන්නෙ. ඔව්. මං තමා මනමාලි වෙන්න ඉන්න කෙනා. ඒත් එහෙම වෙනවාද නැද්ද කියලා තීරණයක් අරගන්නවා නම්, තව පැය දෙකහමාරක් ඉතිරියි. සෙනඟ පිරුණාම හුදකලා තීරණ ගන්න ටිකක් අමාරුයි. ඊටත් වඩා බරට ඇඳගත්තාට පස්සෙ හෙල්ලෙන්න වුණත් කාගෙ හරි අත් උදව්වක් ඕනෙ. 

ආදරවන්තයා, ප්‍රේමවන්තයා, සෙනෙහෙවන්තයා කියන නාමපද වලින් හඳුන්වන්න පුළුවන් පිරිමි පරාණයක් ජනේලෙන් ඇවිත්  තමන්ව සදාකල්  ප්‍රාර්ථනා කළ ස්වර්ගීය ලෝකයට එක්ක යයි කියලා මේ වගේ අනපේක්ෂිත වෙලාවක ඕනෙම කෙල්ලෙකුට හිතෙනවා. විශේෂයෙන්ම වෙන්න යන කසාදෙ අකමැතිම ප්‍රපෝසල් එකක් වෙද්දි කොහොමත් එහෙම හිතෙනවා.

ප්‍රපෝසල් කියන්නෙ මම ජීවිතේ කවමදාවත් හතුරෙකුටවත්  ප්‍රාර්ථනා නොකරනම දෙයක්. ඒක මෙලෝ රහක් නැති මිනිස් ගනුදෙනුවක්. කොටින්ම සංස්කෘතියට මුවා වෙලා ගෞරවණිය විදිහට කරන ආත්ම හොරකමක්. ඒත් මාව කසාද බැන්දීම ඥාති සනුහරේ සාමූහික වගකීමක් කියලා, උන්නාද මලාදවත් කියලා හොයලා නොබලන නෑයොත් වද වෙන නිසා, අන්තිමේ මට ගෙදරින් ගෙනාපු, මිනිහෙක්ට කැමති වෙන්න වුණා.

ඒක ටිකක් අමුතු කතාවක්. ඒත් ඒ කතාව මතක් කර කර තලුමරන්න තරම් වටින එකක් නෙවෙයි.

කොහොම වුණත් මොනම හේතුවක් නිසාවත් මාව අරගෙන යන්න ස්වර්ගීය කැඳවුම්කරුවෙක් තියා ලෝකල් පෙම්වතෙක්වත් එන්නෙ නෑ කියලා මේ මොහොත වෙද්දි මං හොඳටම දන්නවා.  ඉතින් තීරණයක් ගන්නවා නම් ඒක ගන්න වෙන්නෙ තනියම. තනියම තීරණ ගන්න එක අමාරු වුණත්, ක්ෂණිකයි. ඒ වගේම වික්‍රමාන්විතයි. ඒත් පෙම්වතෙක් හිටියා නම් තමයි වඩා හොඳ.

මට පෙම්වතෙක් හිටියෙ නෑමයි කියලා කියන්නත් අමාරුයි. ඒක ටිකක් සංකීර්ණ තත්වයක්. එයා හුඟක් බිසී. ඒත් ඇත්තටම එයා බිසී ද කියලා කවුරුවත් දන්නෙ නෑ. උදේ වෙන, රෑ වෙන, කන බොන හැම වෙලේම කතා කරන තොරතුරු කියන විදිහෙ පෙම්වතෙක් නෙවෙයි එයා. මොකද ඒවා හරි බොළඳයි කියන නිසා එයා ඒවා කළේම නෑ. හැබැයි ඒ හින්දා අවුරුදු ගණනකින් එයා කාපු බීපු කරපු කියපු කිසිම දෙයක් හරියටම කියන්න මම දන්නෙත් නෑ.. අඩුම එයා යන්නෙ එන්නෙ කොහෙද, ආස්සරේ කරන්නෙ කාවද  වගේ දෙයක් වත් මම දැනං උන්නෙ නෑ. පම්පෝරිය සහ උජාරුව  එයාට නොවඩුවම තිබ්බ නිසා ඒවා ගැන  කතා බහ කරලා ඉවර වෙන තැනදි එයා ආයෙම බිසී වුණා.

හදිසියෙ එයාටම හිතුණොත් සතියකට දෙසැරයක් විතර   මට කෝල් කරනවා.  සමහර වෙලාවට ඒක සති දෙකකට සැරයක් වගේ කෝල් එන වෙලාවලුත් තියෙනවා. කොහොම වුණත් කතා කළාට පස්සෙ ඉතාම සුමුදුවට කතා කරලා, අලුතෙන්ම සම්බන්ධයක් ආරම්භ කරන ආකාරෙට "ඔයාට කොහොමද? " කියලා අහන්න එයාට තිබ්බ දක්ෂ කම නිසාම අපේ සම්බන්ධෙ ඇල් මැරි මැරී වුණත් එකම තැන පැවතුණා.. බිඳෙන්නෙත් නෑ. හැබැයි පහුගිය කාලෙටම දළු දැම්මෙත් නෑ.

අපි හමුවීමක් ගැන කතා කරන හැම වෙලාවෙම ඒ හමුවීම අවලංගු වෙන්න හැකි තරමෙ සාධාරණ බාධක එන එක පස්සෙ පස්සෙ එයාගෙත් මගෙත් ජීවිතේම කොටසක් වුණා. මේ නිසාම අපි අතරෙ හමුවීම් ඉතාම අඩු වුණා. අවුරුදු තුන හතරකටම කිහිපවතාවක්, පැය කිහිපයක් විතර අපි මුණ ගැහිලා තියෙනවා. ඒ හුඟක් වෙලාවල් වලදිත්, ඔහුට ඉතා දිග දුරකථන ඇමතුම් ආවා. නැත්තම් සෑහෙන කාලෙකින් මුණ නොගැහුණු යාලුවො පෝළිමට හමුවුණා.. ඉතිරි කාලෙ මඟ ඇරුණ ඕප දූප වලට වෙන් වුණා. ඒ අස්සෙ පම්පෝරිත් වැඩියෙන් තිබුණා.ඒ නිසා අපි අපි ගැන පුද්ගලයන් දෙදෙනෙක් වශයෙන් දන්න ප්‍රමාණෙ ඉතාම අල්පයි.

කොටින්ම එයා හදිසියෙ මැරුණොත්, පශ්චාත් මරණ පරීක්ෂණයට මගෙන් කටඋත්තරයක් ගන්න එක කිසිම තේරුමක් නැති ගාණට, අපේ සම්බන්ධෙ අසම්බන්ධිතයි.  කොහොම වුණත් අන්තිමේදි මේ කරුණු ඔක්කොම සලකා බලලා  එයා එක දවසක් ඉතාම වැදගත් තීරණයක් ගත්තා. "මට ඔයාව බඳින්න බෑ..අපි යාළුවො වගේ ඉමු.. හැබැයි ඔයා විශේෂ යාළුවෙක්"

විශේෂ යහලුවෙක් කියන්නෙ බඳින්නෙ නැතිව විනෝදයට ආශ්‍රය කරන කෙල්ලක් කියලා සමාජය කියන නාමපද වලින් ගෑණු පරාණෙ හිත නොරිද්දන්න, පිරිමියා විසින් අවස්ථානුකූලව නිර්මාණය කරපු කපටි වචනයක්. ඒත් අපේ සම්බන්ධෙ බිඳෙන්න ඒ වචනෙ කවදාවත් බලපෑවෙ නෑ. හැබැයි ටික ටික මට තේරෙන්න ගත්තෙ මං එයාට විශේෂ යහලුවෙක් තියා සාමාන්‍ය යහලුවෙක්වත් නොවෙන පිටස්තර කෙනෙක් විත්තිය

ඉතිං මාව අන්දන අක්කා එන්න ඉස්සරින් අරන් යන්න කෙනෙක් එන්නෙ නෑ කියලා සම්පූර්ණෙන් පැහැදිළි වෙන්න මේ හේතු ටික හොඳටම මදිද? ඒ නිසා මම තීරණයක් ගන්න තීරණේ කළා.

ටෙලිනාට්‍යක වගේ අල්මාරිය ඇරලා අතට අහුවෙන ඇඳුම් පුරවගෙන පුරවගෙන ගිහිං රහසෙම පිට වෙන එක, රොමැන්ටික් වුණාට, ප්‍රායෝගික නෑ. හැබැයි දහයාමාරට පෝරුවට නැග්ගාට පස්සෙ ලැබෙන ජීවිතේ ඒ තරම්වත් ප්‍රායෝගික නෑ කියලා දැනෙද්දි පළවෙනි විකල්පෙ ආවස්ථික පිරිවැය සෑහෙන්න අඩුයි.

ඒ නිසා මාව අන්දන අක්කා හා අනෙක් අය ඔක්කොම ඇන්දෙන්න ඉඩ ඇරලා ඕනෙම කරන දේවල් ටික පුංචි මල්ලක හිර අරන් මං බැල්කනියට කකුල තියලා.. ජනේල් පොලු වල එල්ලිලා වහලෙට නැග්ගා. හෙමින් සීරුවෙ වහලෙ දිගේ බඩ ගාගෙන වැහි පිලී අද්දරින් මුනින් තලා වෙලා මං පහළින් පෙනෙන අපේ ගෙදර දිහා බලාගෙන හිටියා. ඒ අය මගෙ කසාදෙට ලෑස්ති වෙනවා. ටෙන්ට් අදිනවා. පුටු ගෙනියනවා. මල් ගේනවා. වාහන වල දොරවල් අරිනවා වහනවා. දැන්මම සාද සභාව පටන් ගත්ත ගාණට පහළ සද්ද බද්ද වහලෙන් ඉහළටත් ඇහෙනවා. මං එහෙම්ම වහලෙට පිට දීලා ඉහළ බැලුවා.

එන්නම ඕනෙ කියලා හැමදාම හිතුවත් කවදාවත් මං මීට කලින් අපේ වහළෙ උඩට ඇවිල්ලා තිබ්බෙ නෑ. වහලෙ උඩ කපුටු බෙටිත්, වවුල් බෙටිත්  දියසෙවෙලත් එකතු වෙච්ච විසාල ගඳක් තිබුණෙ.

අද වැහි අන්ධකාරෙ නිසා තරු වැහිලා ගිහින්. මං හෙමින් සීරුවෙ උලු උඩ හිට ගත්තා. වහලය ටිකක් ලිස්සන්න ගත්තත් අපේ ගෙදර  වහලෙට ආසන්නෙම තිබ්බ අල්ලපු ගෙදර වහලෙ ට මං බැහැලා... එතනින්  ඒ තාප්පෙටත්, තාප්පෙන් බිමටත් පැන්න... මං මම දැනං හිටපු ජීවිතෙන් පැනලා දුවන්න පටන් ගත්තෙ අන්න ඒ විදිහට.