මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

9/9/17

-299- මිනිසුන් ආගමට දක්වන බිය ඇසුරෙන් The Da Vinci Code කියවීම.


The Da Vinci Code නම් සිනමා රුව මා දකින්නේ මීට වසර කිහිපයකට ඉහතදීය. එකල්හී මම එයට ආනුභූති වූ සාහිත්‍ය කෘතිය කියවීමට අවස්ථාව නොලද්දෙමි. එබැවින් මම පෙර දැක්මකින් සහ පූර්ව සිතිවිලි වලින් මුක්තව එම සිනමා පටය නැරඹිමට ඉඩකඩ ලැබුවෙමි. එකල කතෝලික පල්ලිය මෙන්ම මාගේ ඇතැම් කතෝලික හා ක්‍රිසිතියානි මිතුරෝද මෙම චිත්‍රපටය නැරඹීම වර්ජනය කළහ. එමඟින් ක්‍රිස්තියානි ආගමික දර්ශනයේ මූලාරම්භයට කැළැලක් ඇති විය හැකි බව ඔවුහු තදින්ම විශ්වාස කළෝය. සිය ආගම පිළිබඳ වූ ගෞරවය සලකා සිනමා පටය නරඹා නොසිටින්නට ඔවුහු තීරණය කළහ. සිනමාව යනු සත්‍යම නොවන නමුත් අසත්‍යද නොවන බව දැනෙන කල්හි එවැනි සිතිවිලි ඇති වීම ඉතා සාමාන්‍ය දෙයකි. මම ඒ සිනමා කෘතිය රසවින්දෙමි. එබැවින් එය ඕනෑම අයෙකුට නැරඹීමටද නිර්දේශ කරමි.
මා පෙර කී පරිදීම එය ඉතිහාස කාරණා හා විවේචනයක් සමඟින්ම ගොඩ නැගුණත්, එම විවේචනයන් තුළ කුහක බව හෝ නිර්ධය බව කිසිලෙසකින්වත් අඩංගු වී නොතිබිණි. විවේචනශීලි බව තුළින්ම ගොඩ නැගෙන එම කාරණා මඟින් සිනමාව තුළ සිනමාත්මක කතන්දරය අනලස්ව ගලා යාමට ඉඩ කඩ සලසා තිබේ. සිනමාපටය මෙන්ම සාහිත්‍ය කෘතියටද වසර ගණනක් ගත වී ද තවමත් එල්ල වන පක්ෂ මෙන්ම අපක්ෂ විවේචන අතරින් බොහෝමයක් ඉතා කලබලයෙන් කළ ඒකාකාරී ඒවාය.
ඕනෑම නව එළිදරව්වක් යනු ගැටුමකට ඉඩ සදන භයානක අවකාශයකි. The Da Vinci Code ප්‍රස්තුතය නිර්මාණය කළේද එම වේදිකාවයි. ආගමකට සබැඳියාවක් පාන්නා වූ ඕනෑම ප්‍රපංචයක් පිළිබඳව නව එළිදරව්වක් කියා පෑම , සාමාන්‍ය කරුණක් පිළිබඳව හෝ විද්‍යාවක් පිළිබඳව හෝ කෙරෙන නව හෙළිදරව්වකට වඩා සමාජය අතිශයින් කම්පනය කරයි. එය සම්පූර්ණ සත්‍යයක් වුවත්, අසත්‍යයක් වුවත් නිල වශයෙන් ප්‍රත්‍යක්ෂ කරගැනීමට නොහැකි තලයකදී ගැටුම ආරම්භ වෙයි. ඕනෑම ආගමක් සහ දර්ශනයක් ආශ්‍රිතව මිනිස්සු දෙකොටසක් වෙසෙයි. ඉන් එක් කොටසක් එම දර්ශනය ඉස්මුදුනින් පිළිගනී. අනෙක් කොටස එම දර්ශනය සෑම අතින්ම නොපිළිගනී. ප්‍රතික්ෂේප කර දමයි. ආගමක් හෝ දර්ශනයක් සම්බන්ධව සිදු කෙරෙන නව එළිදරව් මේ දෙපිරිසටම එකහා සමානව වැදගත් වෙයි.
එම නව සොයා ගැනීම පැවති තත්ත්වයට එක් කරන වෙනස යහපත් ද, අයහපත් ද, යන සාධකය මෙහිදී එතරම් වැදගත් නොවෙයි. වැදගත් වන්නේ “වෙනස“ යන කාරණාව පමණි. අනාදිමත් කාලයක සිට ගලා ආ ධාරාව වෙනස් වීම සම්බන්ධව මිනිස් වර්ගයා තුළ නිරන්තරයෙන් පවතින අනියත බියක් වෙයි. ආගම් කෙරේ මෙම බිය වැඩි වශයෙන් පවතී. ඒ ආගම් ඉතිහාසයේ සිට ගලා එන්නේ හැඟීම් මූලික කරගෙන වීම කරණ කොට ගෙනය. අපි සරල උදාහරණයක් පිළිබඳව කතා කරමු.
බුදු හාමුදුරුවෝ උපන් දඹදිව බව ඉතිහාසයේ මූලාශ්‍ර ග්‍රන්ථ කිහිපයක මෙන්ම, කට්න් කට ආ පුරාවෘත්ත වලත් ජාතක කතා සාහිත්‍යෙය් පුර්වාපර සන්ධි ගළපන ස්ථාන වලත් සඳහන් වෙයි. ජම්බුද්වීපය නොඑසේ නෙම් මේ බුදුන් උපන් දඹදිව, වචනයක් ලෙස විසන්ධි කළ හොත් ,දඹ+ දිව ලෙස බෙදේ. ඉන් දඹ යන්න ජලයටත්, දිව යන්න ද්වීපයටත් වර නැගිය හැක. එවිට ජලයෙන් වටවූ දිවයින ලෙස සරලවම දඹදිව යන වචනය තේරුම් ගැනීමට හැකියාව ලැබේ. එහෙත් ඉන්දියාව සමස්තයක් ලෙස ජලයෙන් වටවී නොපවතින භූමියකි. අර්ධද්වීපයකි. එවිට දඹදිව යනු ඉන්දියාව විය හැකිද යන්න කාලයක් සමහරු නැගූ පැනයක්ව පැවතිණි. ඉන් අනතුරුව ඔවුහු අලුත් යෝජනාවක් ගොවෝය. ඉන්දියාව හෝ භාරත දේශය නොවේනම්, එවැනි ජලයෙන් සමස්ත ලෙස වට වූ ආසනනයේම ඇති භූමිය ලංකාදීපය නිසා ඒ දඹදිව ලංකාව යයි ගලපා ගත හැකි බවයි. දැනටත් බුදු දහම පවා පවතින හෙයින්, ඇතැම්හු අදටත් මෙම සාධක වලින් තවත් ඉදිරියට කතා නිර්මාණය කර හෝ සොයා ගෙන බුදුන් උපන් දේශය ලංකාව යැයි තර්ක කරති. එහෙත් එම තර්කයට විරුද්ධව ඉන්දියාවෙන් කිසි පැමිණිල්ලක් නොආ නමුත් ලංකා මිනිස්සු තමන්ට ඉබේ පාත් වූ ගෞරවය පිළි නොගෙන හදිසියේම කලබල වූහ. බුදුන් ඉන්දියාවට දීමට වැඩියෙන් වෙහෙස වෙන්නෙ ලංකාවේ මිනිස්සුය. එයට හේතුව කුමක් විය හැකිද?
බුදුන් උපන් දඹදිව ලංකාව යැයි සිතීම ගැන වඩ වඩා බිය වී සිටින්නේ, ඉන්දියාව සහ නේපාල සීමාවේ ලුම්බිණි සල් වනය නරඹන්නට සල්ලි ගෙවාගෙන ගිය බෞද්ධයෝය. තමාගේ විශ්වාසය බිඳී යා හැකියැයි පවතින බිය තරම් විශාල බියක් මිනිසුන්ට තවත් නැත. සියල්ල අතහරින්නට ආගමික ඉගැන්වීම තුළ ඉගැනුම් ලබන බෞද්ධයන්ට එය එසේ නම්, ලෞකිකත්වය පිළිබඳ වැඩි ඉගැන්වීමක් ඇති කතෝලික ප්‍රජාව පිළිබඳව කවර කතාද?
ඔවුහූ දෙවියන් වහන්සේ ගේ පුත්‍රයාගෙන් පසුව ඔහුගේ රුධිර ධාතුව මනු ලොව පැවතීම හා ව්‍යාප්ත වී යාම සම්බන්ධව විශාල බියක් දක්වන බව පෙනේ. එය ස්වභාවිකය. දෙවියන් පරම්පරාවක් ලෙස වර්ධනය වීම මඟින් දෙවියන් ගේ කියුම් කෙරුම් පිළිබඳව කතා කරන පුද්ගලයන් අපහසුතාවයට පත් වීම ඒ බියේ එක් ප්‍රබේදයකි. විශේෂයෙන්ම ආගම කියවන පුද්ගලයන් මත, එනම් පාදිලිවරුන් මත “ලෝක දේශපාලනයේ රැඳීම“ රැඳී පවතී.
ආගමක් පවතින්නේත් ඉදිරියට ගලා යන්නේත් මිනිසුන්ගේ බිය සහ ප්‍රාර්ථනාවන් පිරුණු හැඟීම් මතය. එම හැඟීම් ඉදිරියට අසත්‍ය හෝ සත්‍ය යන්න තහවුරු කළ හෝ නොනළ ඕනෑම දෙයක් ගෙනැවිත් පාවා දුන් කල ඇතිවන ගැටුම කිසිවෙකුටත් පාලනය කළ හැකියයි ඔබ සිතනවාද?
මරියා නැමති කන්‍යාව ගැබ් ගනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ධාතුවකිනි. ඒ ධාතුව ගෙනෙන්නේ ගේබ්‍රියෙල් නම් දේවදූතයාය. බයිබලයේ කියවෙන මේ කතන්දරයත් සෑම ආගමක්ම මිනිසුන්ට පැවසීමට උත්සාහ කරන පූජනීය කතන්දර වලින් එකක් වීමට මෙන්ම සම්පූර්ණ සත්‍ය හෝ අසත්‍යය වීමටත් එකලෙසම ඉඩ ඇත. ශාස්තෘවරයෙකුගේ පූජනීය බව උත්පත්තියේ සිටම කියාපෑමට නිර්මාණය වන කතන්දර ඕනෑම ආගමක වෙයි. උදාහරණයක් ලෙස මහමායාද පිළිසිඳගන්නේ පෙහෙවස් සමාදන් වූ දිනක තනිව සයනයේ සැතපී සිටියදී අනෝතප්ත විල අසල සුදු ඇත් පොව්වා නෙළුමක් සොඬින් ගෙන කුසට පිවිසෙන ලද සිහිනයකිනි. එය මරියා කන්‍යාවට ගේබ්‍රියෙල් ගෙනා ශුභාරංචියට වඩා විශාල වෙනසක් නැත. ආගම හෝ දර්ශනය පමණක් වෙනස් වී ඇත. කෙසේ වෙතත් පෙර කී සේම මිහි බට ශාස්තෘවරුන්ගේ පරම්පරාවන් ආරක්ෂා වීම ආගම් නිර්මාපකයන්ට විශාල තර්ජනයක් වී ඇති බව පෙනේ.
කිසිම ශාස්තෘවරයෙක් කිසිම ආගමක් නිර්මාණය කරන්නේ නැත. ක්‍රිස්තුස් වහන්සේ ක්‍රිස්තියානි ආගම නිර්මාණය නොකළ සේක. ඔහු දේශනා කළ යම් ධර්මයක් සහ ඔහුගේ අසමසම බවට දැක්වූ ගෞරවය නිසා එය නිර්මාණය කළේත් පවත්වා ගත්තේත් ඉන් පසුව පැමිණි අය විසින් ය. බුදුන් වහන්සේ පිළිබඳවත් එය එසේමය. බුදුරජාණන් වහන්සේගේ අසම සම බව පසු කාලීනව ආගමක් ලෙස නිර්මාණය වූයේ එය පවත්වාගෙන යාම සඳහාය. රාජ්‍ය අනුග්‍රහය ලැබීම තුළින් සමාජය සහ සංස්කෘතිය තුළ ඕනෑම ආගමක් මුල්බැස ගන්නා අතර ඉන් අනතුරුව ආගම වටා මිනිස්සු රොක් වෙන බැවින් සංස්තෘතිය දේශපාලනය මෙන්ම සමාජයද ආගමට අවශ්‍ය ලෙස හැසිරීමට පටන් ගනී. පසුව ආගම සියල්ලම වෙයි. එවිට නිර්මාණයකින් හෝ පවතින ධාරාව වෙනස් මඟකට හැරෙන්නට ඉඩක් ලැබෙන, තිබුණු රාමුව බිඳී වැටෙන්නට ඉඩක් ලැබෙන කුමක් හෝ යමක් සිදුවේ යැයි සැක පහළ වුවහොත් ආගම මත යැපෙන්නෝ ඊට බිය වෙති.
ක්‍රිස්තියානි ආගම් නිර්මාපකයන් මරියා මග්දලේනාට බිය වූයේ මේ නිසා විය යුතුයැයි සිය සාහිත්‍ය තුළ Dan Brown විශ්වාස කරයි. සිනමාව තුළින් එළියට පැමිණෙන්නේද එම කරුණමයි. ලියනාඩෝ ඩාවින්සි යනු එක්තරා චිත්‍ර ශිල්පියෙක් නොවේ. ඔහු ගේ නිර්මාණ සියල්ලම වාගේ කතා බහට ලක් වූ, අගය කරන නිර්මාණයන්ය. ඔහු වැන්නෙක් ගේ සිතුවමක් හරහා ගලායන කතාවට උල්පත සදා ගැනීම තුළ මෙම කතාවේ නිර්මාපකයෝ එයට අනභිබවනීය බවක් ළඟා කර දෙයි.
මරියා මග්දලේනා ගෙන් ක්‍රිස්තුස් වහන්සේ ගේ පරපුර තව දුරටත් ඉදිරියට පැමිණි බව, දක්ෂ ලෙස සාහිත්‍ය කෘතියේ මෙන්ම සිනමා පටයේත් කියා පාන්නේ සමහර ඉතිහාස සංසිද්ධි කිහිපයක් එකම සිද්ධියේ පුරුක් ලෙස යා කර ගනිමිනි. එය සාහිත්‍ය කරුගේ සහ සිනමා නිර්මාණකරුගේ දක්ෂතාවය මිස සත්‍ය ඒ ලෙසම පැවතීම නොවිය හැක. සමහර විට එය සම්පූර්ණ සත්‍යම විය හැක. එහෙත් ආගමට, සංස්කෘතියට දක්වන අසීමිත බිය නිසා රාමු ගත වීම තුළින් සිදුවන්නේ මෙවැනි නිර්මාණ පිළිබඳව කතා කිරීම අල්ප වීමයි. තහනමට ලක් වූ සියල්ල කෙසේ හෝ නරඹන මිනිසුන් වෙතත්, සිනමාව පිළිබඳ කියවීමක් නිර්මාණය නොවේ නම්, එයින් සිනමාවට සහ නිර්මාණකරුවන්ට වඩා ප්‍රේක්ෂකයන්ට සිදුවන්නේ අවැඩකි. සිනමාව කියවීම ඇරඹිය යුත්තේම එය සමාජය වෙත බලපෑම් එල්ල කරන්නට උත්සාහ කරන දිශාවට සම්මුඛව සිනමාව නැරඹීමෙනි.

9/7/17

-298- බැරියර් වලින් පැනලා පොත් කියවමු.


කුඩයක් යට හිර වෙන්නට පෙම්වතුන්ට බල කරන පොද වැස්ස  සමඟ තෙත් සහිත වටපිටාවක, නුගේගොඩ ගිලී තිබුණා. වෙලාව හවස හය පහු වෙලා සුළු මොහොතක් ගත වෙන්න ඇති . විසිතුරු කඩ සාප්පු වල හුමාලය බැඳිලා. දුවිලි පෙඟුණ වීදුරු සිපගෙන මහ මඟට ඇස් අයා ඉන්න විවිධ මාදිලියේවිවිධ හැඩතල වල  ඔරලෝසු කාලය ගෙවෙන බව ඇඟෙව්වා. මුළු දවසෙම වෙහෙස මිටියකින් තද කරලා , දහස් ගාණක් ඇණ පහරවල් වලින් හිල් වූ ලොතරයි ලෑල්ලෙන් අවසාන වාසනා පත් උදුරන මැදි වියේ ගැහැණියක්  පොද වැස්සට අත අල්ලන කුඩා දුවට බැන්නා. ඒ හැමෝම අස්සෙන් පාර පැනලා මං පොත් සාප්පුවකට ගොඩ වුණා.

රැජිණ ගෙ භාෂාවට තට්ටු තුනයි. පාඩම් පොත් වලට තට්ටුවයි. සිංහල පොත් වලට තට්ටුවයි. ඒ සිංහල පොත් තට්ටුව.
එකිනෙකා පෙරට එන්ට පොර කනවා වාගෙ පෙනෙන පොත් රාක්ක අතර මැද මඳක් සැඟවී පිහිටි රාක්කයක දෙපස සිදුවන, ඔවුන්ගේ කතා බහ මගේ නොමනා දෙකන්, ග්‍රහණය කර ගත්තෙ මෙන්න මේ වෙලාවෙ. ඔවුන් ඉතාම තරුණ දෙපළක්. සමහර විට පෙම්වතුන් වෙන්නත් පුළුවන්. පිරිමි ළමයා, බර මුහුණක් මවා ගෙන ගැහැණු ළමයා දිහාට හැරුණා.

මල් පොත් කියවන්න එපා.. ඔයිට වඩා හොඳයි පොත් නොකියවා ඉන්න එක
තමාට වඩා මඳක් වැඩිහිටි යැයි, සැලකිය හැකි සිය පෙම්වතා අත තිබූ, මඳක් සුවිසල් පොත් කිහිපය දෙස වරක් ගෑණු ළමයා බැලුවා.  පස්සෙ තමන් අතේ තිබ්බ මල් යැයි සිතිය හැකි පොත රාක්කයේ තිබ්බා.. දැන් ඇය ඔහු පස්සෙ ගමන් කරනවා. ඔහුගේ වචන මට ඇසෙන්නට ඇතැයි,  ඈ අනුමාන කළ නිසාද මන්දා  මා පැත්තෙ හැරිලා ලැජ්ජා සහගත සිනාවක් දීලා ඈ යන්න ගියා.
මල් පොත් වලට, ගැහැණුන්ට වඩා පිරිමින්ගේ විරෝධය දරුණුව නැගෙන යුගයක් මේක. ඒකට හේතුව මොකක්ද කියලා හොයන්න මං කල්පනා කළා. හේතුව දැනගත්ත නිසාම ඒ ගැන ලියන්න හිතුණා. කොල්ලො තරහ වෙයිද මන්දා. ඒත් ඇත්ත කියන්න සහ බිම ඉඳගන්න යං crowd එක බය නැති නිසා අපි කතා කරමු.  

මල් කතා පොත්  කියලා ලේබල් වදින කතන්දර වල ඉන්නෙ පරමාදර්ශී පිරිමියෙක්. ඒ පිරිමියාගේ ෆැන්ටසියට, හුඟක් ගැහැණු හේතුවක් නැතිවම අසීමිතව ආදරේ කරනවා. ඉතින් මේ ආදරය ගැන ඇති වූ ඉරිසියාව හැබෑ පිරිමියාගෙ මල් කතා විරෝධයට එක හේතුවක්. අනෙක් හේතුව තමයි, තමාගෙන් ඒ වගේ පරමාදර්ශී පිරිමියෙක් අත් දකින්නට උත්සාහ දරන සමීප ගැහැණුන් වෙතින් පිරිමියාගෙ මනසට එල්ල වෙන ප්‍රබල කරදරය. මේ කාරණා දෙකම හින්දා බහුතර පිරිමි විසින් මල් කතා පොත් තද බල විදිහට පිළිකෙව් කරනවා. එහෙම නැතිව, ඒ පොත් වල සාහිත්‍ය හරය මදි නිසා රසාස්වාදයෙ නොගැඹුරු කම නිසා තමන්ගෙ පෙම්වතියගෙ, මිතුරියගෙ බුද්ධියට හානි වෙයි කියලා බයට කරන පිළිකුල් කිරීමක්ම නෙවෙයි.

අපි කියන්නෙ නෑ. මල් කතා පොත් වල ඉන්න පිරිමි වගේ, අපේ පිරිමි ළමයි ජීවත් වෙන්න ඕනෙ කියලා.. ඒ පොත් වල පෙම්වතා අරක්කු බොන්නේත් හරිම රොමැන්ටික් විදිහට. හැබැයි  දුෂ්ටයා පිරිත් වතුර බිව්වත්  අන්තිම නරකයි. එබැවින් සමාජ යතාර්ථය හෝ ඉන් එහාට ගිය විදග්ධ සංකීර්ණ කරුණු මේ පොත් වලින් දකින්න අමාරුයි, සමාජයට යම් බලපෑමක් පොත් වලින් කරන්න පුළුවන්. කියවීම මිනිසා සම්පූර්ණ කරනවා කියලා අනාදිමත් කාලයක ඉඳලා කියන්නෙ ඒ නිසානෙ.

කොහොම වුණත්, මල් නවකතා කියන්නෙ, ඉලක්ක කණ්ඩායමක් තෝරගත්ත එක්තරා විකුණුම් ක්‍රමයක්.  විශේෂයෙන්ම අපේ ගාමන්ට් වල වැඩ කරන සොයුරියො, පාසල් සිසුවියො, නිවෙස් වල තනි වූ බිරින්දෑවරු වාගේම, දරුවො ටියුෂන් යවලා පන්තියෙන් එළියෙ කල් මරන අම්මලා මේ මල් නවකතා වල විශේෂ ගැනුම් කාරියන්. ජීවිත වල හිස්තැන් වලට පුංචි සිහිලසක් අරගන්න, අනුන්ගෙ ප්‍රේමයක් තමන්ගෙ කරගෙන අත්විඳින්න තමන්ටම කියලා මොහොතක් හදා ගත්ත මිනිස්සුන්ට ඒකෙන් මිදෙන්න බල කරන එකත් හරි නරකයි. ජීවිත පරිපූර්ණ නෑ. හැම ගැහැණියක්ම පිරිමින්ට වැඩියෙන් ආදරයට හා ආදරය වෙනුවෙන් ලැබෙන දේවල් වලට ආශා කරනවා. ඒත් එකම තැන නොරැඳී ඉදිරියක් දකින්න හැකියාව තියෙනවා නම්, ඕක හොඳ දෙයක්. ඇබ්බැහිය නරකයිනෙ. 



ඉතින් ඔයා දන්නවානෙ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ වසරක් පුරා පැවැත්වෙන, අටෝරාසියක් ප්‍රදර්ශන පොළවල් අස්සෙ, වැඩිම පාරිභෝගික උන්මාදයක් තියෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තව සති දෙකකින් ඇරඹෙනවා කියලා. එක දවසක් හරි ඔතනට ගොඩ වදින්නෙ නැති අය දැන් ලංකාවෙ නැතිම තරම්. හැබැයි මේ පාර  ටිකක් වෙනදා නොකියවන පොත් ටිකක් ගන්න උත්සාහ කරලා බලන්නකො. හැමදාම සංකීර්ණ පොත් කියවනවා නම් මේ පාර මල් පොතක් ට්‍රයි කරන්න. මල් පොත් ම කියවනවා නම් වෙනස් පොතක් ට්‍රයි කරන්න. මං කිසි පොතක් කැටගරි කරන්න කැමති නෑ. ඒත් අඳුනා ගන්න ඔයාට පහසුවටයි එහෙම කිවිවෙ. රසවින්දනය ට උස් පහත් බේදයක් නෑ. හැබැයි එක තැනක පල් නොවී රසවිඳීම අලුත් අත්දැකීමක් වේවි! ඔබට අනෙක් අයගෙ සිත් තේරුම් ගන්නත් එයින් පුංචි උදව්වක් සපයාවි. 

9/5/17

-297- සනම් තෙරි කසම් සහ අපේ ජීවිත


මං හින්දි චිත්‍රපටි පිස්සියක් නෙවෙයි. කොටින්ම ෂාරුක් කාන් ට ආසා කරන, එයාගෙ පින්තූර එකතු කරන කණ්ඩායමේ මං කවදාවත් හිටියෙ නෑ. ෂාරුක් ගෙ චිත්‍රපටි කලාතුරකින් නැරඹුවත් මට ඒවා ආයෙම වතාවක් නරඹන්න තරම් හිතිලාත් නෑ.. කොහොමත් ඉංග්‍රිසි කතා වලට වැඩියෙන් ආසා කරන මම  අතරින් පතර නිකමටවත් හින්දි චිත්‍රපටයක් බැලුවා නම් ඒ ඉතාම අල්ප වශයෙන් කිව්වොත් තමයි නිවැරදිම. සංජේ ලීලා බන්සාලි ගෙ චිත්‍රපටියක් තමයි ආසාවෙන් දෙතුන්වරක් බලන්නෙ. ඒකත් වැඩියෙන්ම බලන්නෙ නර්තනය සහ එහි රූප වල තියෙන ලස්සන නිසා. හැබැයි  දෙදහස් දහසයෙන් පස්සෙ මං දැකපු එක චිත්‍රපටයක් නිසා මං හින්දි චිත්‍රපට දිගටම නොබැලුවත්, මේ බලපු චිත්‍රපටය නම් සති දෙක තුනකට සැරයක් අනිවාර්යයෙන්ම බලනවා. කොයි තරම් බැලුවත් එපා නොවෙන ලස්සනක් සහ  පුදුම වේදනාවක් ඒ චිත්‍රපටයෙ පිරිලා තියෙනවා. මේ චිත්‍රපටය බලපු හැම කෙනෙක්ම ඒක එහෙම බව කියනවා මං අහලා දැකලා තියෙනවා.

චිත්‍රපටයෙ නම තමයි “සනම් තෙරේ කසම්-2016. ඒත් මං අද කතා කරන්න සූදානම් වෙන්නෙ ඒ චිත්‍රපටය ගැන නෙවෙයි. ඒ චිත්‍රපටයෙන් කියැවුණ අපි දකින්න පෙරුම්පුරන හැබැයි වැරදීමකින්වත් අපි නොදැක්ක “ආදරය“ ගැන. ඇයි ඒ ආදරය වැරදීමකින්වත් අපිට මුණ නොගැහුණේ කියන කාරණය ගැන.

ආදරය ගැන පත්තරේ හැම පිටුවක් පුරාම වගේ පිරිලා තියෙනවා. ඒත් එහෙමයි කියලා මේ සටහන තවත් එක ආදරය පිරුණ සටහනක් නෙවෙයි. ඉන්දර් පරිහාර් වගේ කොල්ලො මේ ලෝකෙ නැති කම ගැන වේදනාව හා සංකාව සමඟ සරස්වතී පර්තසාර්ථී වාගෙ කෙල්ලො මේ රටට ඕනෙ කියන අරමුණෙන් ලියන සටහනක් විදිහට මං මේ ලියවිල්ල වර නගනවා.

ලෝකය කියන්නෙ ෆැන්ටසි මායාවක් නෙවෙයි. මං ඒක පිළිගන්නවා. එහෙත් සිනමාව තුළින් ගොඩ නගන දේ ෆැන්ටසියක් කියලා පැත්තකට දාලා, අපි පවතින අයහපත තුළම ගිලෙනවා නම් සිනමාව සදාකාලෙට ෆැන්ටසියක් කියන රාමුවෙ නතර වෙලා අවසාන වෙනවා. ලස්සන ලෝකයක් ෆැන්ටසියක් වෙන්නෙ ඒ ලෝකයට සැබෑවට ළඟා වෙන්න අපිට බැරි වෙන අවස්ථාවේදි මිසක් සුන්දර ලෝකය හැබෑවටම දකින්න බැරි නිසා නොවෙයි.

ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන මිනිස්සු, මේ ලෝකෙ පුරා ඕනෙ තරම් ඉන්නවා. ඉන්දර් පරිහාර් ට නම් අන්තිම මොහොතෙ හරි ඔහුගෙ ආදරේ ඈ දැනගත්ත බව දැන ගන්න ඉඩ ලබා දෙනවා. සරස්වතී එක්ක ඉන්පස්සෙ ඔහුට හුඟකලක් ජීවත් වෙන්න නොලැබුණත්, ඉන්දර් වයසට ගිහිං මිය යන තුරුම සරස්වතී ගෙ ආදරය ඉන්දර් පරිහාර් එක්ක ජීවත් වෙනවා කියලා ඔහු දැනගන්නවා.

ඒත් හුඟක් අයට එහෙම වාසනාවක් ලැබෙන්නෙ නෑ. තමන්ම තනිවම ආදරය කරලා, දුක් විඳලා අන්තිමේ හුදකලාවෙම මැරිලා යනවා. සමහර වෙලාවට කවමදාවත් කාගෙන්වත් ආදරය ලබන්නෙ නැතිවම ජීවිත ඉවර වෙලා යන තුරු තමන් ආදරේ කරන අයගෙ පැමිණීම ඒ අයට බලා ඉන්න වෙනවා.

අපි හුඟ දෙනෙකුට තියෙන්නෙ, සරස්වතීට තියෙන ප්‍රශ්නෙ කියලා වෙලාවකට මට හිතෙනවා. ළඟම හිටියත් ආදරේ කරන අය අඳුනගන්න බැරි ප්‍රශ්නය හරි ලොකු ප්‍රශ්නයක්. සමහර වෙලාවට අපි වෙනුවෙන් කළ හැකි හැම දේම කරන, අපිට හිතා ගන්න බැරි විදිහට ආදරය කරන , සෙනෙහස පතුරවන සමහර අය අපිට මඟ හැරෙන්නෙ අපේම නොදැනුවත්කම නිසා. මං ඔයාට ආදරෙයි කියලා කටින් නොකියන මිනිහෙක්, ජීවිත කාලය පුරාවටම ඔයාට හැබෑවටම ආදරය කරනවා වෙන්න පුළුවන්.
ඉන්දර් සරස්වතීට මනමාලයො හොයන්නෙ, සරස්වතීට ආදරේ වැඩිකමටයි. සරස්වතීව බඳින්න ඉන්දර් තරම් කැමති කෙනෙක් මේ මුළු පෘථිවියෙම නැති බව ඉන්දර් හොඳින්ම දන්නවා. ඒත් සරස්වතී හොයන්නෙ තාත්තා කැමති වෙන විදිහෙ කොල්ලෙක් නිසා ඈට ඉන්දර්ව සෑහෙන කාලයක් මඟ හැරෙනවා.

ආදරේ ළඟට ඇවිත් කෙලින්ම කියන එකෙන් මේ වගේ දේවල් මඟ හැරගන්න පුළුවන් තමයි. ඒත් එහෙමයි කියලා කවදාවත් ඒක ඉස්සරහට ඇවිත් කියාගන්න බැරි විදිහෙ අවස්ථාවක් තියෙන කෙනෙක් නොඉන්නත් පුළුවන් කියලා මතක තබා ගන්න ඕනෙ. ඉතිං අපි කොහොමද අපිට ආදරේ කරන කෙනෙක්ව ඇත්තටම අඳුනගන්නෙ?
හරිම ලේසියි. ඇස් ඇරලා බලන්න වටපිටාව. හැබැයි පාට කණ්ණාඩි ගලවන්න. තමන් වෙනුවෙන් වැඩියෙන්ම වෙහෙසන, නිහඬවම තමන් ගැන සතුටු වෙන අය, තමන් වටේ ඉන්නවාද බලන්න. ඒ අය තමයි ඔයාට හැබෑවටම ආදරේ කරන්නෙ. ඔයා දෙයක් කිව්වාම ඒ දේ කරන්න අමාරු වුණත් යම් කෙනෙක් ඒක කරන්න උත්සාහ කරනවා නම්, ඔයාව අනතුරකින් ආරක්ෂා කරගන්න වෙර දරනවා නම්, ඒ අයගෙ ආදරය හරි ප්‍රබලයි. ඒක ඔයාව රකිනවා.

සමහර වෙලාවට අපි අපිට ආදරේ කරනවා කියලා හිතාගෙන ඉන්න අය එයාලා අපිට දෙන ආදරය ගැන, අපිව ආරක්ෂා කරන විදිහ ගැන ලොකු කතා කිව්වාට, පුංචි කරදරයක් වුණාම ඒ අයගෙ ආදරේ තරම අපි දකිනවා. ආදරය කියන කාරණාවේදි තමන් ආදරය කරන කෙනාට ගරු කරන කෙනෙක් ට විතරයි හොඳින් ආදරය කරන්න පුළුවන්. එයින් කියවෙන්නෙ නෑ ආදරය හංගලා පරිස්සම් කරන්න ඕනෙ කියලා. හැබෑවටම ඔයාට ආදරේ කරන කෙනෙක්, ඔයා එයාට ආදරෙයි කියලා පිළිගත්ත දාට ඒක ලෝකෙටම කෑගහලා කියන එක වළක්වන්න කොහොමත් අමාරුයි. ඒ තරම් ප්‍රීතිමත් මොහොතක් ඒ කෙනාට මුළු ජීවිතේටම නොතියෙන්න පුළුවන්. එහෙම කෙනෙක් හොයාගන්න.


-296- නම්බු පිස්සුවට අහුවෙන ඒ ලෙවල් ආතල්

චී චී චී ලැජ්ජා නැද්ද? අපේ එකෙක් කලාව කරන්න...
කවුද උඹ දිහා බලන්නෙ? විද්‍යාවයි ගණන් ගන්නෙ..
අඩු තරමේ වාණිජවත්...
ඉතිං පුතේ නම්බුවක්නෙ? ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගෙ කරලා..

මේ පේළි හතරෙ තියෙන උපහාසය මට හරියටම අඳුනා ගන්න පුළුවන් වුණේ  හතේ අටේ පන්තියෙදි එක්දවසක, සෝමලතා සුබසිංහ මැඩම් අපේ ඉස්කෝලට ඇවිල්ලා ඇගේ පරිණත හඬින් අපි වටකරගෙන මේ ගීය ගායනා කරපු වෙලාවේදියි. ඒ හඬට අපේ නිහාරි මිස් ගෙ තරුණ ජව සම්පන්න කට හඬත් එකතු වුණාම අපූරු උපහාසයක් අප ඉස්සරහ මැවුණා. සෝමලතා මැඩම් දැන් අපි අතරෙ නෑ. ඒත් ඈ කියූ කතාවෙ තාමත් වැඩි වෙනසක් නෑ. මේ දවස් වල අපි කවුරුත් දන්නවා උසස්පෙල විභාගෙ ජයටම පැවැත්වෙනවා කියලා. හැබැයි ෆේස් බුක් ස්ටේටස් දැක්කම නම් පෙනෙන්නෙ තමන් සතුටු විෂයය අධ්‍යනය කිරීමට තවමත් ගොඩ දෙනෙක්ට අවස්ථාව හිමි නොවෙනා බවයි. තවමත් සංස්කෘතිය හා දෙමව්පියො වගේම බොහෝ බලපෑම් කණ්ඩායම් විෂයයන් සම්බන්ධයෙන් තරුණ පරපුරට කරන බලපෑම නතර කරලා නැහැ. සමහරවිට තවමත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් ගොඩේ ඉන්නෙ, මේ වගේ පටු සිතිවිලි තියෙන මිනිස්සු නිසා වෙන්නත් පුළුවන්. මං උසස්පෙළ හා රටේ සංවර්ධනය ගැන වෙන දවසක කියන්නම්. අද මං කතා කරන්න කැමතියි, අපිව මේ වගේ දේවල් වලට ඇදගෙන යන තත්ත්වය හෙවත් නම්බුව කියන කාරණා ගැන. ඉතිං අපි හොයගෙන යං.
විෂයයකින් විතරක් නෙවෙයි, තමන් ගිය පාසල තුළිනුත් කෙනෙක් නම්බුව ගොඩ නගාගන්නවා. ඉතිං විවාහයක් කරගනිද්දි වුණත් , ආයතනයකට කෙනෙක් ගනිද්දි වුණත් අපේ ඉස්කෝලෙ නම හරි වැදගත් වෙනවා.  අපි ගිය පාසල හෝ එයට හොඳින්ම ගැළපෙන පාසලක කෙල්ලෙක් හෝ කොල්ලෙක් එක්කම අපේ කටයුතු වෙන්න ඕනෙ කියලා සමහරු හිතනවා.

උපාධිය වුණත් ඥාණයට වඩා ලංකාව ඇතුළෙ නම්බුව හා සම්බන්ධ කාරණාවක්. ඒ නිසයි මිනිස්සු බොහෝමයක් දෙනා උපාධි නිබන්ධනය බයින්ඩ් කරන්න, ලාබම තැන හෙව්වට.. උපාධි පින්තූරෙ රාමු කරන්න හොඳම තැන හොයන්නෙ. රස්සාව වුණත් එහෙමයි. ‍‍ලොකු   තැනක රස්සාව කරන කම්කරුවො ලක්ෂ ගණන් පඩි ගද්දි, පොඩි තැනක වැඩ කරන විධායක නිලධාරියෙක් ගන්නෙ විසි දාහක් වෙන්න පුළුවන්. ඒත් තමන්ගෙ රස්සාවෙ ටයිටල් කියද්දි ලබෙන අහංකාරය සලකලා ඔහු හෝ ඇය  සෑහෙන අභිමානයෙන් සූරාකෑමට ලක්වෙමින් ඉන්නවා. 
මිනිස්සු කවුරුත් නම්බුවට ආසයි. ඉස්සර මේවා තීරණය වුණේ කුලය මත. අදටත්  

යාන්තමට එහෙම වෙන බව පෙනෙනවා. ඒක එහෙම නෙවෙයි නම් ඇයි සමහර මිනිස්සු තමන්ගෙ නම් ගම් වෙනස් කරන්න  ඔච්චරට වද වෙන්නෙ නේද? කොහොම වුණත් ආගම කුලය වගේ ඉපදෙනකොටම තිබුණ දේවල් සහ අපි හදා ගත්ත දේවල් එක්ක අපි නම්බු පිස්සුවෙ ඇලෙනවා. ගැලෙනවා.

අපි සමාජ ජාල වල හැසිරෙද්දිත් මේ නම්බුව හරි වැදගත් සාධකයක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නෙ.ඒ අවඩි අස්සෙ අපි කරපු උපාධි, ගිය පාසල් වගේම රස්සාවත් අපි පුරවලා.. අපි අපිටම ටයිටල් එකක් හදාගන්නවා. ඉන්පස්සෙ කැටගරියක් ඇතුළෙ ගුලි වෙනවා. දැන් අපි ආශ්‍රය කරන්නෙ. අපි ලයික් කරන්නෙ, අපි කමෙන්ට් කරන්නෙ.. ඒ කැටගරිය ඇතුළෙ ඉන්න සෙට් එක එක්ක විතරයි. ඒක අපිට හරි නම්බුයි.

ඔය අස්සෙ වැරදිලා හරි ඒ කැටගරියට ඇතුළත් නොවෙන කෙනෙක් එක්ක අපි ආදරෙන් බැඳුනොත් මොකද වෙන්නෙ? අපේ කොල්ලො සෙට් එක නිතර කියනවා වගේ, එහෙම වුණොත් නම් සුදෝ, බඩුම තමයි. අපි අර අහිංසක ජීවියාගෙ සරල ජීවිතේ අපේ කැටගරියට ගන්න පුදුම උත්සාහයක් ගන්නවා. අපි එක්ක ඉන්න, අපිට ළංවෙන්න ඒ කෙනාට තියන අවශ්‍යතාවය මත, එයත් අපි වගේ වෙන්න ගන්නවා. එතනදි ඒ පුද්ගලයාට මුලින්ම එයා වටේ හිටපු, එයාට ගැළපිලා හිටපු අය අහිමි වෙනවා. ඉන්පස්සෙ එයාට එයාවම අහිමි වෙනවා. හැබැයි අපිට මාර සතුටුයි. එයාව දැන් බය නැතුව අපේ යාලුවන්ට අඳුන්වා දෙන්න පුළුවන්. අපේ කෙනෙක් කියලා කියන්න පුළුවන් . මොකද එයා අපේ කැටගරියෙ. දැන් එයත් අපි දානවා වගේ, ටිකක් අයිඩියල් ස්ටේටස් දාලා, තමන්ගෙ කැටගරියෙ අයට විතරක් ලයික් කරලා , අපේ කැටගරියට විතරක් කමෙන්ට් කරලා අපේ කෙනෙක් වගේ හැසිරෙනවා. වැරදීමකින් හරි එයා පරණ වැඩක් කළොත්, අපි වහාම එයාව නිවැරදි කරනවා. කෙටියෙන්ම අපි අපේ තත්වය නිසා ඒ මනුස්සයාගෙ සතුට අහිමි කරනවා.

අපි කෙනෙක්ට ඒ කෙනා පවතින තත්වෙදි ආදරය කළා නම්, ඒක බය නැතිව සමාජය ඉස්සරහ පිළිගන්න හයියක් තියෙන්න ඕනෙ. මහා ප්‍රාඥයෙක් සාමාන්‍ය කෙල්ලකට ආදරය කළා කියලා ඒකෙන් ඒ පුද්ගලයාගෙ ප්‍රඥාවට හානියක් වෙන්නෙ නෑ. ඒත් මිනිස්සු ඒ සාධකයෙන් ප්‍රාඥයාව පහත හෙළනවා නම්, වෙනස් විය යුත්තේ මිනිස්සු මිසක් ප්‍රාඥයා නෙවෙයි. අපේ සිතැඟි වලට තත්ත්වය අපි බාධාවක් කරගන්න තුරුම, නම්බුව බාධාවක් කරගන්න තුරුම අපි ෆේල් කියලා විතරක් මතක තියා ගන්න. රටේ ලෝකෙ මිනිස්සුන් ගැන බය නොවී, තමන් තමන් විදිහට ජීවත් වෙන්න.