මහ පොළවේ ඉඩ නැති නම් වලාකුළකට යමු

1/25/14

-236- ආදර ගෝතමීය



ජීවිතේ ලස්සනම කාලය මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත් අදටත් හෙටටත් මට දෙන්න තියෙන එකම සහ හැබෑම උත්තරය, නවය වසරෙ ඉඳන් උසස්පෙළ නිම වනතුරු ඉස්කෝලෙ ගත කළ කාලය කියලා කියන එක. අදටත් කෙරෙන සමහර විහිලු, ඔච්චම්, රැවිලි ගෙරවිලි වල ඉස්කෝලෙ අලගිය මුලගිය තැන් වල ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන නොසෑහෙන්න තියෙනවා. තාමත් පරණ කරපු වැඩ වලට හිනා වෙන අතරෙම, එදා දැකපු දඟකාර ඇහැට වඩා මව්වත් ඇහැකින් ඉස්කෝලෙ පෙනෙන්න අරන්.

අපේ ආරම්භක දිනය සිහිපත් කෙරෙන්නෙ, ජූනි මාසෙ 17 වෙනිදා. මීට අවුරුදු 67 කට කලින් 1946 අවුරුද්දෙ නිදහස් අධ්‍යාපනයේ පියා වුණු ඩබ්ලිව් ඩබ්ලිව් කන්නංගර මහත්මයාට කාන්තා පාසල් පටන් ගන්න වුවමනා වුණා. මුලින්ම මේ භූමියෙ රාජකීය කාන්තා පාසල ආරම්භ කරන්න කතිකා කෙරුණත් එවකට තිබුණු ඉංග්‍රීසි ප්‍රමුඛ අධ්‍යාපනය සලකලා, රජයේ ඉංග්‍රීසි බාලිකා විදුහල යන නමින් අපේ පාසල ආරම්භ කළා. ග්ලැඩියස් පෙරේරා නෝනමහත්තයා සමඟ, ගුරුවරු තුන්දෙනෙකුත් , ගැහැණු ළමයි පහළොවකුත් මුලින්ම ඉස්කෝලෙ හිටියාලු. ඉස්සරම පාට පාට ඇඳුම් ඇඳන් ආවාට පස්සෙ ටයි පටියක් සහිත යුනිෆෝම් එකක් තිබුණූ බව, අතීත කතා පුවත් වල අහන්න ලැබෙනවා. සෝමා ප්‍රේමරත්න මැඩම් හිටපු කාලෙ තමයි, අපේ ඉස්කෝලෙ සිංහල මාධ්‍යට හැරෙන්නෙ..එදා ඉස්කෝලෙ නම වෙනස් කරනවා. ඒ වගේම වර්තමාන පවතින නිල ඇඳුමටත් වෙනස් වෙනවා.. ඒ ඉස්කෝලෙට තෝරාගැනුණ නම තමයි.. ගෝතමී.



ගෝතමී කියන වචනය සිංහල වචනක් ලෙස අපේ භාෂාව තුළ භාවිතා නොවෙන තරම්. ගෝතමී යනු ඉන්දියානු වචනයක්. එහි අර්ථය බාලිකාවන් යන්නයි. කොහොම වුණත් ඉතිහාසයේ අමතක කළ නොහැකි ගෝතමියන් දෙදෙනෙක් නාමිකව සිටිනවා. එක් අයෙක් මහා ප්‍රජාපති ගෝතමි. අනෙකා කිසා ගෝතමී. ඒ නම් දෙක සිහිකරන වාරයක් පාසා යටි හිතට ආරෝපණය වන්නේ පුදුමාකාර ආඩම්බරයක්.

මහා ප්‍රජාපතී ගෝතමිය, අනුන්ගේ දරුවෙකුට මවක් වූ තැනැත්තියක්. බුද්ධ මාතා ලෙස ලොවම පිළිගත් තැනැත්තියක්. නොසැලෙන වීර්යෙන් අන්තිම මොහොත දක්වාම උත්සාහය අත් නොහළ තැනැත්තියක්. තම අවශ්‍යතා වෙනුවෙන් සියල්ල කැපකළ කාන්තාවක්. අවසන බුදුන්ගෙන්ද පසු ගමන් ලත් කන්තාව සහ එකම කාන්තාව.

කිසා ගෝතමිය, මහා පුරුෂයෙකුට අරමුණක් දෙනු පිණිස නිබ්බුත පද කී ගැහැණියක්, අප්‍රමාණ මාතෘ ස්නේහය උදෙසා දරුවාගේ මලකුණ පවා රැගෙන බෙහෙත් සොයා ගිය ගැහැණිය. උපරිම වීර්යෙන් අවසන් මොහොතේ සත්‍ය පසක් වන තුරු බලාපොරොත්තු අත් නොහැරි මවක්. කාන්තාවකගේ සිතක පවතින ශක්තිය පෙන්නූ අපූර්ව ස්ත්‍රියක්.

ඉඳින් දයාබර ගෝතමිය, ඔබට ආදරය නොකර කොහොමද?

ගෝතමියෙ අපි හැමෝම ගොඩක් දුරට එක වගෙයි. හුඟක් ගති ගුණ සමානයි. එහෙම වුණේ කොහොමද කියලා හිතා ගන්න බැරි වුණත්, ඒක එහෙම තමයි. ඒ සමහරවිට අපිව හැදු වැඩූ හර පද්ධතිය වෙන්න පුළුවනි. අපි අපේ ඉස්කෝලෙ තියෙන තැන ගැන හිනාවුණු සමහර අයට,
“අපි මරදානෙ තමයි“ කිව්වෙ හරි ආඩම්බරයෙන්. ඒක එදාට අදට වාගෙම හෙටටත් එහෙමයි. අපි මරදානෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තිබුණා. ඒ දේවල් වෙන තැනක හිටියා නම් අපිට ඉගෙන ගන්න ඉඩ නොලැබෙන්න තිබුණා. අපි ඉතිරි කරන්න පුරුදු වුණේ, ලෝකයටම ආදරය කරන්න පුරුදු වුණේ, සරළ ජීවිතය පුරුදු වුණේ අපේ ඉස්කෝලෙන්. ගින්දර මහ පොළව උඩ පැවතෙන්න ඉගෙන ගත්තෙ, වේදනාව දරන්න ඉගෙන ගත්තෙ අපේ ඉස්කෝලෙන්.


මුළු ලෝකෙටම වුණත් ගුරුවරියක්, මවක් වෙන හැටි, දුරුවලයන්ටත්, වැඩ්ඩන්ටත් සමානව ආදරය කරන හැටි අපි ඉගෙන ගත්තෙ මේ අපූරු ඉස්කෝලෙන්. සොබාදහම අහස පොළව එක්ක අපිත් හිනාවෙනවා අපිත් අඬනවා කියලා අපි දැනගත්තෙ ඉස්කෝලෙන්. මුළු ලෝකෙම තමන් ඉස්සරහ රඟපානවා නම් ඒ හැමෝටම වඩා හොඳට රඟපාන්න අපි තේරුම් ගත්තෙ ඉස්කෝලෙන්. ඒකයි මම මගේ ඉස්කෝලෙට මෙච්චරටම ආදරේ.

කවදාහරි මට දුවක් උපන්නොත් ඇය මේ ලෝකෙ හොඳමයි කියලා නම් දරණ පාසල් සියයක් ඉස්සරහදි වුණත්, ගෝතමිය තෝරාගන්නා බවට මහා අධිතක්සේරුවක් මට තියෙනවා. මම ඇයට බල කරන්නෙ නෑ. නමුත් ඇය එහෙම කරාවි. ඔබ ඒ ගේට්ටුවෙන් එක වරක් ඇතුළට ගිහින් තියෙනවා නම්, එකම එක දවසක් හරි, එහෙම කරන්න ඇයට ඇති හේතුව හොයා ගන්න පුළුවන්..



ටැම්පිට පිහිටි වැඩ හිටින බුදු හාමුදුරුවන්ගෙ සිවුරු එළියෙන් නික්මෙන රන් පැහැයත්, මරදන් අහසේ වලාකුළක පහසක් වත් සිඟා නොයදින හිරුත් එක් වර ඒ බිමට අරුණෝදය ගෙන එනවා. රළු බොරළු වැල්ලේ එක්වර පිපෙන තුන්දහසකට ආසන්න දැරියන්ගේ පුංචි පා සලකුණු  ඇහැල මල් සුවඳින් සහ නොනිමි සෙනෙහසකින් හැමදාම දිලෙන හැටි ඔබ එක් වරක් හරි දකින්නම ඕනෙ. ඔව් ඔබ ඒ සුන්දරම පාසල දකින්නම ඕනෙ.

She always produce well mannered young ladies who are enriched with wisdom and knowledge for the well being of motherland.

හිමගිර දැහැනට සම වැදිලා මෙනි
කලබලයක් නැත දිස්වන්නේ...
මේ මගෙ පාසල මට මගෙ පුදබිම
භක්ත්‍යාදරයෙන් නමදින්නේ...



12/31/13

-235- උඳුවප් අහසට හංස ගී ගයමි.



මම ගීතවත් වෙමින් සිටිමි. Skitzo කණ්ඩායමේ “අහස දිහාවට“ ගීතය සිව්වන වරටත් නොකඩවා සවන් පුරා පිරී යයි.

නුඹ අහස නිරන්තරයෙන් දැක ඇතුවාට සැක නැත. එහෙත් එකිනෙකා වෙනුවෙන් නම් කළ තාරකා පිරි සොඳුරු සුසාන භූමියක් සේ නුඹ කිසියම් දිනක අහස දැක තිබේද? කුඩා දරුවෙකුගේ අතින් බොඳවුණු අපූරු සිතුවමක් සේ ඔබ අහස දකින්නට උත්සාහ කර තිබේද? අඩුම තරමේ තමා වෙනුවෙන් තරුවක් නම් කරන්නට ඔබ අහස දෙස නෙත් යොමා තිබේද? මෙවැන්නකින් තොරව, හඳ දකින්නට, අවුවේ වේදනාවට දෙස් තියන්නට පමණක් මෙතෙක් ඔබ අහස දෙස බැලුවා නම්, ඔබ අහස දැක නැත්තෙකු බවට මතකයෙහි තබා ගන්න. 

පෙරලෙන රළ පිඬු පාසා එකිනෙකා පරයා නැගෙන ශබ්ද තරංග වල උච්චාවචනය මහා වේදනාවක ඉකිබිඳුම බව ඔබ සිතා තිබේද? සොබා දහම නම් වෛශ්‍යාව සියතින් සිදුව ඇති සියලු වැරදි මහ ශක්තියක් සේ පෙන්වමින් පස් කඳු කඩා දමන බවද, ගිනි කඳු පුපුරුවා හැර ලෝදිය මුදාලන බවද, වැහි දිය උරා ගත නොහී, තම සිරුරම විනාශ කරවමින් දිය කර හරින බවද සිතන්නට ඔබට ඉස්පාසුවක් විණිද? 

නුඹ පසු ගිය වසරේ නුඹට කුසගිනි දැනුණු විට ආහාර ගත් වාර ගණන මතකද? නුඹට නිදිමත හැදුනු විට නිදිගත් වාර ගණන මතකද? ශරීර කෘත්‍ය සඳහා එය දැනුණු විගස විසිකිලියට ගිය වාර ගණන මතකද? නුඹ එවැනි කිසිවක් කර නැති බව මට ස්ථීරව පැවසිය හැක. මන්දයත් අපි හැමෝම වැඩ කරනුයේ අනුන්ගේ ඔරලෝසුවකට බැවිනි.

සුමනදිසි බේකරියේ උණු සොසේජස් බනිසක, තැවරුණු සෝස් සහ මයෝනීස් තොල ගාමින් මම වේගයෙන් ඇදෙනා වාහන දෙස බලා සිටිමි. හැල්මේ දුවන ලෝකයේ පසෙකට වී, එය දෙස බලා සිටීමේ ප්‍රීතිය වෙනමම හැඟීමකි. කලින් දින වලදි කළ රස්තියාදු ගැසීම් වල ප්‍රීතිය තවත් එකකි.

අතීතය වෙනුවෙන්, එල්ලී මැරෙන්නට දඟලන ලෝකයක අනාගතය දෙස බැලීමම වීර ක්‍රියාවක් හෙයින්, මම දෙනෙත් දල්වා නොබියව අනාගතය දෙස බලමි. සුන්දරත්වය මා වටා කැදලි තනයි.
සංසාරයේ සියලු හමුවීම් ළඟ වේදනාව මෙන්ම නික්මීම ඇතත්, සදාතනික සොඳුරු දඩයක්කරුවන්ද හමුවන්නේ ඒ සංසාරයේදීම බව පසක් වන්නට තරම් ජීවිතය ප්‍රබල බව ඉගෙන ගත යුතුයි. 

ඉදින් මම තව ඉගෙන ගත යුතුයි.. මගේ අකුරු වල ඇමිණෙන සුවඳ හොයනා මගේ පැටි වරුන්ට ඉගැන්විය යුතුයි. හෙට ලොව දිනන අයුරු මම ඔවුන්ට ඉගැන්විය යුතුයි.. ජීවිතය සොයාගත යුතුයි. සැමවිටම අයෙක් පැවසූ පරිදි වයස යනු අවුරුදු නොවන බැවින්, මම මා සොයා ගැනීමට තවත් කල් ගත යුතුයි. 

චිත්‍රපටි, පොත් පත්, රස්තියාදුව, චොක්ලට් , සෙට් වීම් සහ අයිස්ක්‍රීම් සපිරි ඔබට ඔබ ආදරය කරන, සුන්දර නව වසරක්..

ඉතින් ඒක තමයි අවුරුද්ද කියන්නෙ.. පායන්නෙ එකම ඉර , එකම අහසෙ නම් වෙනස් වෙන්නෙ අපිම විතරයි..

ඔබේ වියන යට
ඔබේ නිවන යට
හැර යන්නද කාව
තරහ අවසරයි
අපේ අහස යට
අපි අපිමයි තාම..................





12/29/13

-234- හුදකලා රස්තියාදුවේ ආනිශංස


ඇවිද්ද පය දහස් වටී කියලා කවුදෝ බර පොතක කියලා තියෙනවා කියලා මම ඉගෙන ගත්තෙ තුනේ පන්තියේ වාක්‍ය හයේ රචනාව ලියන්න පටන් ගත්ත මුල්ම දවස් වල. කොහොම වුණත්, ඇවිදීම.. තරම් සතුටක් ජීවිතේ නැතිම තරම්. ඇවිදීම කියන දේ ප්‍රධාන කැටගරි තුනක් තියෙනවා. එක අවශ්‍යතා පිණිස ඇවිදීම, දෙක ව්‍යායාමයට ඇවිදීම. හැබැයි වැදගත්ම ඇවිදීම තමයි රස්තියාදුවට ඇවිදීම. ජීවතේ අරමුණු තියෙන්නෙ අවශ්‍යතා වලට ඇවිදීමේදී, ජීවිතයේ පැවැත්ම තියෙන්නෙ ව්‍යායාමයට ඇවිදීමේදී.. එහෙත් ජීවිත් වීම කියන කාරණාව තියෙන්නෙ රස්තියාදුවට ඇවිදීමෙදී. අන්න ඒ නිසයි ගැටවර වයසේ සිට මිය යනතුරුම රස්තියාදු ගැසීම ලිංග බේදයකින් තොරව කළ යුතු දෙයක් බව මම තරයේ විශ්වාස කරන්නෙ.

රස්තියාදුවෙදි, ඕනෙම තැනක ඔබට නතර වෙන්න පුළුවන්. ඕනෙම තැනකදි ආයෙත් ඔබට හැරෙන්න පුළුවන්.. සෑම වැසුණු දොරක් ළඟදිම සිකුරුටිවරුන් සහ වරියන් සමඟ දොඩමළු වෙන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් වැසුණු දොර ගැන තරහ නොගෙන ඉන්න පුළුවන්. ක්ෂණිකව සිතුණු විගස අලුත් තැනකට යන්න පුළුවන්..

ට්‍රැෆික් එකක පවා රසය විඳින්න පුළුවන් දෙයක් තිබෙන බව ඔබ සමහර විට නොදන්නවා ඇති. නැවතුමක හිඳගෙන යන එන කාන්තාවන් සහ පිරිමින් දෙස බලා සිටීමේ ප්‍රීතිය ඔබ සමහර විට නොදන්නවා ඇති. පළතුරු කඩයක වේගයෙන් සිදුවන වෙළඳාම අතර, හුවමාරු වෙන කුණු පළතුරු ඈත සිට ගණන් කිරීමේ ප්‍රීතිය ඔබ නොදන්නවා ඇති. උයනක ලිය ගොමු වල තුරුළුව සිටින සෑම පෙම්වතුන් ජෝඩුවකටම ගීතයක් බැගින් නම් කිරීමේ ප්‍රීතිය විඳලා නැතිව ඇති.

රස්තියාදුවෙදි මේ හැම දේම ඔබට නොමිලේ ලබා ගන්න පුළුවන්.

අරමුණක් පිණිස ඇවිද්දොත්, වසා ඇති දොරවල් , ට්‍රැෆික් , දිග පෝලිම් ඔබව නිරන්තරයෙන් තරහ ගස්සනවා. කොහොම වුණත් හුදකලාවේ රස්තියාදු ගැසීමේ ආනිශංස දන්නෙ එහෙමත් කෙනෙක්ම විතරයි. කොහොම වුණත්, අද දවසේ ශේෂය ඉදිරියට ගෙනයන්න.. තැන් කිහිපයකින් සිද්ධියක් දෙකක් ඔබට කිව යුතුමයි කියලා හදවත යෝජනා කරනවා. ඒවා සුන්දර සහ අසුන්දර කියන අන්ත දෙක අතරෙ තියෙන පුදුමාකාර සිද්ධි.

පළමුවැන්න සිදුවුණේ 154 බස් රථයක් තුළදි..

ඇය මධ්‍යම පන්තියෙ, තරමක් නවීන පෙනුමක් ඇති කාන්තාවක්. මැදි විය ඉක්මවා යාමට ආසන්නව තිබුණත්, සුන්දර භාවයේ නටබුන් මුහුණේ තිබුණා. සැහැල්ලු මළු දෙකක් අතේ තිබුණත්, බසයට නැග්ගාට ඇයට එය පාලනය කරගන්න හැකියාවක් තිබුණෙ නෑ. බසයේ අසුන් සියල්ල පිරී තිබුණා. නමුත් රථය තුළ කිසිවෙක් සිටගෙන හිටියෙ නැහැ.

සැහැල්ලු ටී ෂර්ට් එකක් සහ ඩෙනිමක් ඇඳලා, අයි පොඩ් එකක් කනේ ගහගෙන හිටි මා අද්දර අසුනක හිඳ සිටි යුවතියක් ඇය කියවමින් සිටි පොත ඇගේ බෑගයට දැම්මා. අඩුම තරමේ ලිප්ස්ටික්වත් ගාලා නොහිටියත්, නාගරික බව පෙනෙන්න සාධක ඇය ළඟ තිබුණා. ඇය මේ කාන්තාව දිහා බලනවා කිසිවෙක්වත් දකින්න නැතිව ඇති. මොකද ඇය දිහාවෙ ඇහැක්වත් මේ යුවතිය නොහෙලූ නිසා. හැබැයි අනික් හැමෝම මේ මැදි වියේ කාන්තාවගේ අසමබරතාවය දෙස දිහා බලා හිටියා. තත්පර තුන හතරකින් පමණ, යුවතිය අයි පෝඩ් එක ගලවලා බෑගයට දමා ගත්තා. එක වරම නැගිටලා බසයේ හිට ගත්තා. දැන් ඇය හිඳ සිටි අසුන හිස්.. ඉතින් මැදිවියේ කාන්තාව වහාම හිස් වූ අසුනේ හිඳ ගත්තා..

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ළඟින් බොහෝ දෙනෙක් බැස ගියා. එහෙත් යුවතිය බැස ගියේ නෑ. හිස් වූ ඉදිරි අසුනක නැවත ඇය  හිඳ ගත්තා. එවිට බසයේ සියලුම දෙනාගෙ අවධානය ඇයට යොමු වුණත්, කිසිවක් නොකළ ඈ යළිත් අයි පොඩ් එක කනේ ගහගත්තා.

මැදි වියේ කාන්තාව ඉදිරියට නැවී යුවතියට තට්ටු කළා.

 “ මම හිතුවෙ ඔයා බහින නිසා නැගිට්ටා කියලා. අනේ ස්තූතියි මට මේ සීට් එක දුන්නාට.“

කාන්තාව එහෙම කිව්වා. ඉදිරි අසුනෙහි සිට මඳක් පිටිපස හැරුණු යුවතිය දෙනෙත් දල්වා හරිම හැඩට සිනාසී යළිත් ඉදිරිය බලාගත්තා.

මැදිවියේ කාන්තාව දෙනෙතේ කඳුළු පුරවා ගනුත්, අනතුරුව දෑස් පිසදමන අයුරුත් දකින්න තිබුණා. කඳුලට හේතුව සිතන්නටත් ‍පෙර ටොරින්ටන් වෙත බසය පැමිණියා. මම වගේම, යුවතියත් බසයෙන් බැස්සා. මම හීලෑ අශ්වයෝ සහ හිමාලි අක්කා හොයාගෙන යන්න අවශ්‍ය බව සිහිපත් වීමෙන්, යුවතිය ගැන සිතීම අත්හැරියා. මැදිවියේ කාන්තාවගේ කඳුළු සහ අසුන අතර සම්බන්ධයක් නැතත්, යුවතියගේ සිනහව සහ ඇගේ කඳුළ අතර සම්බන්ධයක් ඇති බව සිතන්නට මේ මොහොතේ පවා සිතිවිලි පරම්පරාව බල කරනවා.




ආර්ෆිකෝ කියන්නෙ රස්තියාදුවෙදි, නොවරදින තැන් දෙකෙන් එකක්. අනික තැන තමයි සරසවිය. මේ දවස් වල නත්තල් සිරියෙන් ඇලලිලා ගිය ආර්ෆිකෝ එකේ, චොක්ලට් අංශෙන් පොත් කියවීම වඩවන චොක්ලට් දෙකකුත් නිරායාසයෙන්ම අරගෙන මම උඩට ගියෙ ලස්සන භාණ්ඩ අතර ටිකක් තනි වෙන්න හිතාගෙනමයි.

උඩ සෙල්ලම් බඩු අංශයේ බාබි ඩෝල් කෙල්ලන් අතර එකෙල මෙකෙල වෙන අංකල් කෙනෙක් මගේ ඇස් මායිමට වැටුණා. මගේ රස්තියාදුව නිමා කරලා නැවත පහළ මැගසින් කොටසට මම එනකොට ඔහුත් එතැන ඉන්නවා මම දුටුවා.. මැගසින් එකින් එක අල්ලමින්, සුන්දර නිරූපිකාවන්ගේ රූප ඇසින් කටපාඩම් කරනවා ද කියලා හිතෙන තරමට ඔහු ඒවාගෙ ඇලී ගැලී සිටියා. එතනම ආසාන්නයේ තිබූ මුදල් අයකැමි කොටසේ යුවතියන්, වරින වර ඔහු දෙස බැලුවෙ සල්ලාලයෙක් දිහා බලන ගාණට.

කොහොම වුණත් ටික වෙලාවකට පස්සෙ එක මැගසින් එකක්වත් නොගත්ත ඔහු ස්වයංක්‍රීය දොරින් පිට වුණා.. ඒ අංකල් එහෙම කළේ ජීවීතේ සුන්දර රාත්‍රීන් සදාකාලයටම මඟ හැරුණ සොවින්ද, කලින් තිබුණත් දැන් එහෙම ලස්සන දේවල් නොපෙනීම නිසා ඇති වේදනාව හේතුවෙන්ද, නැත්තම් ඇත්තටම එහි හරය තේරුම් ගැනීමේ ඕනෙ කමින්ද කියන්න දන්නෙ නැතත්, කාන්තා රසකාමියෙක් බව නම් පෙනෙන්න තිබුණා.

අංකල් ගෙ ප්‍රශ්නෙ මොකක් වුණත්, හෙට දවසෙත් ශෘංගාරය පිළිබඳව රික්තයකින් පිරි හදවත් වල නිමාවක් නැති බව නම් අදම අවටම පෙනෙන්න තිබුණා. ටොරින්ටන් චතුරස්‍රය හරහා ඇවිදගෙන යද්දි, ලංකාවෙ ප්‍රේමණීය යෞවනයේ සාම්ප්‍රදායික වර්තමානය ගැන කියා ගන්න බැරි වේදනාවක් හදවතට කාන්දු වෙනවා. කාමරයක් සහ උද්‍යානයක් පටලා ගැනීම ට ප්‍රධානම හේතුව මුදල් ද , ආරක්ෂාවද,  පෞරාණික චාරිත්‍ර වල ප්‍රගමනය කියලා හරියට වටහාගන්න විසි හතරෙ මොළයට බැරි වුණත් ඒ හැම මුහුණකම තිබුණෙ ආදරය බලෙන් පවරාගත්තු බවක්. මහ පොකුණ අසල හිටියා මහළු වියේ කෙළවරක දෙදෙනෙක්. එවන් දෙදෙනෙක් මෙවන් තැනක දැකීමත් ප්‍රීතියක්. එහෙත් ඔවුන්ගෙ මුහුණේ තිබුණේ තෘප්තියකටත් වඩා විශාල විඩාවක්. සමහරවිට ස්වර්ණ ජුබිලියකට පෙර බලෙන් පවරාගත් ප්‍රේමයේ වේදනාව වෙන්නත් බැරි කමක් නෑ.



For once you have tasted flight you will walk the earth with your eyes turned skywards, for there you have been and there you will long to return.

Leonardo da Vinci 



12/24/13

-233- ඒක එහෙම වෙන්න ඕනෙ..

ගොඩක් මිනිස්සු ගොඩක් දේවල් කරන්නෙ ඒක එහෙම වෙන්න ඕනෙ හින්දා. එහෙම නැතිව තමන්ට ඒක කරන්න ඕනෙ නිසාම නෙවෙයි. ඒක මොකක් වුණත් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නෙ එහෙමයි. අපේ ලොකු අයට එයාලාගෙ ලොකු අයත්, එයාලාගෙ ලොකු අයට එයාලාගෙ ලොකු අයත් කියලා දීලා තියෙන්නෙ එහෙමයි. ඒකට තමයි සම්ප්‍රදාය කියන්නෙ.

තව අඩ පැයකින් නත්තල ලබනවා. එක, එක රටට රෑ දොළහ වෙන, වෙන, වෙලාවට ඒ  ඒ රටවල් වල ඉන්න කාට කාට වුණත් ළඟම පල්ලියෙ ඝාන්ඨාරය නාද කරනවා අහන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි රතිඥ්ඥා පත්තු වෙන හඬත් අහන්න පුළුවන්. ඒවා හැම නත්තලටම  එහෙම වෙනවා. කවදාවත් වෙනස් වෙන්නෙ නෑ.. හැම නත්තලටම නත්තල් ගහ වුණත් එහෙමයි... ගව ලෙනත් එහෙමයි.. වෙනස් වෙන්නෙ, විලසිතා විතරයි.

කොහොම වුණත් නත්තලට තෑගි ලැබෙන එක හොඳ දෙයක්. නුගේගොඩ බොරැල්ල කොටුව පිටකොටුව වගේ නාගරික තදාසන්න ඉසව් වල ඇවිද්දා නම් තමන්ටම පුළුවන් තමන්ට ඕනෙ කරන තෑගි මිලට ගන්න. මොකද කියනවා නම්, හරියටම වෙනින් කවුරුවත් දන්නෙ කොහොමද හරියටම අපිට ඕනෙ කරන්නෙ මොනවද කියලා. 

ඒත් අනුන් මත පවතින දේවල් වලත් සුන්දරත්වයක් නැතුවාම නෙවෙයි. මිනිස්සු ගොඩක් දෙනෙක්ගෙ අත්‍යාවශ්‍යම දෙයක් තියෙන්නෙ, අනුන් මත. මොකක්ද මේ අත්‍යවශ්‍යම දේ කියලා ඔයා දැන් හිතනවා ඇති. ඒ තමයි ප්‍රහර්ෂය. සතුට, ප්‍රීතිය ,උද්දාමය , තෘප්තිය වගේ නොයෙක් වචන දුන්නත්, ඒ හැඟීම නිර්වචනය කරන්න.. සද්ද කරන්න තියෙන ලස්සනම වචනය ප්‍රහර්ෂය.
ඒක තියෙන්නෙ ගොඩක් වෙලවට වෙන අය මත. හැබැයි පුදුමය කියන්නෙ හැඟීම අයිති අපට.

මට හැම වෙලාවෙම ඒක දැනෙන්නෙ පුංචි නිදිකුම්බා මලක් වගේ. පොළවට ඉතාම කිට්ටුවෙන් පොළවට නොගැවී.. මුලෙන් විතරක් පොළවට සම්බන්ධ වුණ .. හැම වෙලාවෙම විසිරිලා යන්න බලාගෙන ඉන්න, පුංචි ගැස්මකටත් අවිනිශ්චිත වෙන, කොළ අතර හැංගුණ පුංචි නිදිකුම්බා මලක් වගේ. 

ඒත් ඉතින් වේදනාව හරියට ඉහළ අහස වගේ.. වැඩිපුරම පේන්න තියෙනවා. මිදෙන්න අමාරු තරමටම හැම තැනකම පැතිරිලා තියෙනවා.

දැන් පුංචි ප්‍රශ්නයක් මතු වෙනවා. පුංචි නිදිකුම්බා මල් කොහොමද, මහ පොළවත් අහසත් අතර ඉඳගෙන අහසින් මහ පොළව ආවරණය කරන්නෙ කියන එක ගැන. ඇත්තටම කවදාවත් ඒක කරන්න බෑ. ඒත් අහසට වඩා සමීපයෙන් තියෙන්නෙ නිදිකුම්බා මල් බව පොළව හොඳාකාරවම දන්නවා. අනනුකම්පීය අහස කොයි තරම් විශාල වුණත්, නිදිකුම්බා මල් වල හදගැස්ම සමීපවම මහ පොළවට සදාකාලිකව දැනෙනවා..

මම දන්නවා ඒරියල් සුරදූතයා කවදාවත්, මගේ ජනේලයෙ පඩිය උඩ ඉඳගෙන මට ජීවිතේ ගැන ඔය විදිහට කියාදෙන්නෙ නැහැ කියලා. එහෙමයි කියලා ඒ ගැන දුක් වෙන්න කිසිම හේතුවක් මට පේන්න නැහැ. නත්තල් සුවඳවල් නැතත්, නත්තල් ගහක් ගෙදර නැතත්, මට තව ටිකකින් පල්ලියෙ ඝන්ඨා සද්දය අහන්න පුළුවන්.. ඒ එක්කම මට පුළුවනි, ගෝඩර් ලියපු සිසිලියාගෙයි ඒරියල් සුරදූතයාගෙයි කතන්දරය කියවන්න. ඒක හොඳ තෑග්ගක් නෙවෙයිද? නත්තලත් උපන්දිනයත් අතර ලැබුණ හොඳම පොත නිසා, ඒක උපන්දින තෑග්ගක් කියලා සතුටු වෙන්න පුළුවන් වගේම නත්තල් තෑග්ගක් කියලා සතුටු වෙන්නත් පුළුවන්... බලන්න ප්‍රහර්ෂය කොයි තරම් සැහැල්ලුද කියලා. හරියට සමනළ තටුවක් වගේ. 


“ The inner fire is the most important thing mankind possesses.” 
-Edith Sodergran-