7/29/13
-220- පැහැසර හිරුවර
අපි ගුරු ගීතය පොතට ආදරය කරන්නෙ, එහි ගුරුවරයාගේ අපූර්වත්වයට. චිංගීස් ගෙන් පසුව, ලෝකය නිරන්තරයෙන් ගුරුවරයා කොහොම කෙනෙක් විය යුතුද? ගුරුවරයා ගේ ආකෘතිය කුමක් විය යුතුද යන්න කතා කළා. පාසල් සම්බන්ධව ගුරුවරු සම්බන්ධව යුරෝපීය රටවල් වල විසි වන සියවසේ සාහිත්‍යක් පවා බිහි වුණා. ඒත් අති බහුතරයක් ගුරුවරු, ගුරුවර රූපය නවකතාවටම සීමා කළා.
ලංකාව තුළත් බොහෝ ගුරුවරු නියම ගුරුවරයා කියන සංකල්පය හඳුනා ගත්තෙ, පැන්ෂන් යන දවසෙ කරන කතාවෙදි කියලායි මට නම් හිතෙන්නෙ. සමහරු එහෙමවත් හඳුන ගන්නෙ නෑ. හැබැයි අද මම කතා කරන්නෙත් ගුරුවරයෙක් ගැන. මේ වාර්තාමය වැඩසටහන හැදුවෙ මම. ජයවර්ධනපුර සරසවියේ ජනසන්නිවේදන විෂයෙහි, රූපවාහිනී විෂය වෙනුවෙන්.
මට මේකට එදා උදව් කළා. උෂාන්, උමන්ද අයියා, තිෂාරා අක්කා, සහ තාරක අයියා. ඒ හැමෝටම බොහොම ස්තූතියි. මේ වීඩියෝව නිර්මාණය කළේ 2012 වසරෙ මුල් භාගයෙ. ඔබට පෙන්වන්නට කල් ගියෙ, ලකුණු ලැබෙන්න පමා වුණ නිසා. ඉතිං විශිෂ්ට ලෙස මෙයට ලකුණු ලැබුණා වාගේම, මේ සඳහා තිබුණ කථන පරීක්ෂණයටත්, මට විශිෂ්ට සාමාර්ථයක් ලැබුණු බව කියන්නෙ හරිම සතුටින්.
මේ වාර්තා වැඩසටහන ගැන තවත් විශේෂ දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි, අද වන විට එදා මෙම වැඩසටහනේ සිටින ගුරුවරයා, සසර කලකීරී පැවිදි දිවියටත් ගිහින්. වසරක් ඇතුළත හුඟක් දේවල් වෙනස් වෙලා. වුණත්, ඔහු කළ සේවය සදාකාලිකයි. ඔහුගෙන් පසුවත් මෙවන් තරුණ ගුරුවරු බිහි වේවා යන්න අපේ පැතුමයි. ගුරුවරයා යනු සදාකාලික නාමයක්. අදටත් මේ දරුවන්, ඔහුව හොයනවාලු. ඔවුන්ට ගුරුවරයෙක් අවශ්‍යයි. ඔහුට වඩා හොඳ ගුරුවරයෙක්.
පළමුවන කොටස
දෙවන කොටස
තෙවන කොටස
බලලා ඉවර වෙලාම කියන්න සාර්ථකද කියලා.
7/10/13
-219- කජු ගහේ ජීවිත
මම මෙය ලියන්නේ කජු ගහක් ගැනම කීමටදැයි. මම නොදනිමි. නමුත්, අද දවස මතක හිටින්නට කුමක් හෝ ලියා තබන්නට සිත බල කරයි. අල්ලපු වත්තේ කජු ගහ ඊයේ එක වරම කතා දැම්මේය. එය නිවස කරගත් කුරුලු ගහණයට යන එන මං නැතිව අපේ අඹ ගසේ , සහ රණවරා ගසේ සරණාගත කඳවුරු ඉදි කරගෙන සිටිති. පූස් දුෂටයන්ද නො අඩුව, ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා දේශපාලකයන් සේ, ගස් යට බලා සිටිති. කුරුලු පැටවෙක් හෝ බිම වැටුණොත්, එය හොඳ ගොදුරක් බව දන්නා පූසෝ තනිව නොව මිතුරන්ද කැටුව එති.
කොහේදෝ සිට පැමිණි ඇන් ජී ඕ වඳුරු රැලක්, අඹගසට පැමිණ අතු හොළවමින්... අනෙකුත් ගස් වලටද පනිමින්, පළාතම දෙවනත් කරති. ඒ කලබලයට පූස් දේශපාලුවෝ ප්‍රදේශයෙන් ඉවත් වුවද, ගසට හානි වූ හෙයින් කුරුලු සරණාගතයන් සිටින්නේ ඉතා කටුක අවදානමකය.
මම ඔවුන් දෙස බලා සිටිමි. සමහර දේවල් මත අපි ශාරිරිකව හෝ මානසිකව යැපෙන්නෝ වෙමු.
ශාරීරික යැපීමට වඩා මානසික යැපීම ප්‍රබලය. ඉන් එහාට කිසිවක් කීමට මට නොහැකිය. මේ ලිපිය ලියුවේ අද දිනය සිහිපත් කිරීමට සටහනක් තබනු පිණිස මිස, කජු ගස ගැන ශෝකය පල කිරීමට නොවෙයි.
මෙතනින් එහාට නොතේරෙනවා නම් නොකියවා ඉන්න.
ඔබ කිසි දිනක සිනාසුණේ නැත. නමුත් මම සිනාසෙන හැටි බලා සිටි බව මම දනිමි. නුඹ කිසි දින දොඩමලු වූයේ නැත. නමුත් මා දොඩමලු වෙමින් සතුටු වෙන අයුරු ඔබ බලාසිටි බව මම දනිමි.
මම මිනිසුන්ට ආදරය කළෙමි. බොහෝ මිනිසුන්ව විශ්වාස කළෙමි. එය භයානක බව මට කීමට එඩිතර වූයේ නුඹ පමණි. අවසන මම නුඹ සතුරෙකු සේ දුටුවෙමි.
මම කවි ලිවීවෙමි. නමුත් නුඹ කිසි දිනෙකත් ඒ කවි නොවිඳි වග මම දනිමි. නමුත් බොහෝ අය මෙන්, ඒ පිළිබඳ බොරු කියා මා පසසන්නට නුඹ පැමිණියේ නැත. ඔබට කවි ලියන්නට පුලුවන් බවට පුරසාරම්ද ඔබ කිස දිනක දෙඩුවේ නැත. ඔබ උත්සාහ කළේ ද නැත. මම කැමති දේට අකමැති වූ නුඹ සතුරෙකු සේ දුටුවෙමි.
නුඹ ගැන තව බොහෝ දේ ලිවිය හැකිය. නමුත් මම කිසිවක් නොලියමි. මන්දයත් නුඹ මෙය කියවන්නේ නැති වග මම හොඳින්ම දන්නා නිසාය. තවද අදාළ නැති සමහරෙක්, මෙය තමන් වෙත කියන වග සිත ගන්නට ඉඩ ඇති නිසාය. එහෙත් මම මේ දේ මෙතැන ලිබා තබමි.
නුඹ මට කිසිදිනක බොරු කීවේ නැත. ලබැඳි ස්වරයෙන් තබා, කට හඬ ඇසෙන්නටවත් කතා කළේ නැත. නමුත් නුඹ මට ලියූ හැම අකුරකම සත්‍ය ගැබ් වී තිබිණි. නමුත් මම නුඹට ලියූ අකුරු වල අර්ධයක අතිශෝක්තිය ඇති බව මම පිළිගනිමි. දේශන ශාලාවේ මධ්‍යයේ හිඳ මා දෙස බලනා නුඹ මවා ගන්නට උත්සාහ කරමි. දැන් මම නුඹට ආදරය කරමි.
නමුත්, අද නුඹ දුර ඈතකට යන වග මම දනිමි. මතු දිනක හමු වීමට හැකිවේදැයි මම නොදනිමි. එහෙත් මම එක දෙයක් සක්සුදක් සේ දනිමි. මම වෙනස් වන මුත්, නුඹ වෙනස් නොවන බවය. ඉතින් සුබ ගමන්!!
6/19/13
-218- කැමරා හාමුදුරුවෝ
එකසිය හැට තුනේ බස් එක ඇතුල් කෝට්ටෙන් බත්තරමුල්ල පාරට දානවා.. හැමදාම එකම වංගුවෙන්. එතකොට දියවන්නා ඔය ඉදරියෙන් පෙනෙනවා. රෑට නම් ඒ වෙලාවට ඕනෙම වාහනයක ජනේලෙ ඇරලා තිබුණොත් කපාගෙන පිළි ගඳ ඇතුළට එනවා. ඒ ගඳට මම ආසා කරනවා. දවල්ට නම් දැනෙන්නෙම නැති තරම්.
දැන් ඉස්සර වාගෙ නෙවෙයි. කොළයක් හැඩේට ලක්ෂ ගාණක වීදුරු දාලා හදපු, බස් නැවතුමයි. පුටු පෙළයි නිසා, එහෙ හරියට සෙනඟ ගැවසෙනවා. උදේට නම් ඇවිදින මං තීරුවෙ දුවන අය. හවසට පෙමිවතුන්. දවල්ට පාසල් පෙමිවතුන්. බෙහෝවිට ක්ලාස් කට් කළ අය. සමහර සති අන්ත වල පවුල් පිටින් පික් නික් එනවා. මිනිස්සු සතුටින් ඉන්න දර්ශනයක් ඕනෙම තැනකදි හරිම ලස්සනයි.
සිකුරාදාට එතන පටන් ගන්න මල් ප්‍රදර්ශනය නිසා දියවන්නාවට සති අන්තය හරිම කාර්ය බහුලයි. දැන් එහා පැත්තෙ නිදහස් චතුරස්‍රය හැඩේට මොකක්ද හදලා.. වතුර මල්.. රෑට හරිම ලස්සනයි.
තව මාලු ටැංකියකුත් තියෙනවා ලොකු. කොහොම කොහොම හරි මේ දවස් වල පාර හදන නිසා, බන්ට් එක මැද්දෙන් කඩලා.. පස් තට්ටු වැහි වතුර නිසා මඩ වෙලා. දියවන්නාවත් පිරිලා.. මං කියපු පරිසර විස්තරය පැහැදිළි ද මන්දා නොදකින කෙනෙකුට.
එකසිය හැට තුනේ බස් එක ඊයෙ පාරට දානකොටත්, මේ වාගෙමයි පරිසරය. ඒ වෙලාව මං දැකපු දේ තමයි, මේ ලිපියෙ අනුභූතිය.
දියවන්නාව දිහා බලාගෙන පෙනුමෙන් තරුණ වියේ හාමුදුරු නමක් ටිකක් ලොකු දුරකථනයකින් කතා කරනවා. පෙනුමෙන් ටැබ් දුරකථනයක් කියලා කියත හැකි. දැන් මට පෙනෙනවා හාමුදුරුවන්ව පැහැදිළිවම. බස් රිය නවත්වනවානෙ.. ලක්ෂ ගාණට හදපු කොස් කොළ හෝල්ට් එකේ. හාමුදුරුවන්ගෙ බෙල්ලෙ අරවින්ද ගාව තියෙන ජාතියෙ කැමරාවක් තිබුණා. කැමරාව DSLR වුණාට මම දන්නෙ නෑ ඒ තරම් දිග ලෙන්ස් ගැන කියන්නෙ කොහොමද කියලා. සයිඩ් බෑග් එකක් උරහිසෙ තිබුණා. හැබැයි ඒ උමන්දා අයියා අපිව එක්ක ගෙන ගිහින් පෙන්වපු ඇල්පිටිය පිරිවෙනේ පොඩි සාදුලාගෙ ළඟ තිබුණු රෙදි මලු වාගෙ එකක් නෙවෙයි. මේ උෂාන් කැම්පස් ගෙනියන බෑග් එක වාගේ එකක්. කොහොමත් ඒ ටික එක්ක හාමුදුරුවන්ට වඩින්න අමාරුයි. ඇවිදින්නම වෙනවා.
මේ දර්ශනය දැක්කෙ මම විතරක් නෙවෙයි. බස් රියෙ ගොඩක් දෙනා දැක්කා. දැන් හැම කෙනාගෙම කතාව බෞද්ධ ධර්මය, භික්ෂු ඇවැත්, සම්ප්‍රදාය, සංස්කෘතික සෝදාපාලුව වාගෙ බර මාතෘකා ගැන.
දැන් අපිට හාමුදුරුවන්ව පෙන්නෙ නෑ. හැබැයි බස් රථය තවමත් දොඩමලුයි.
මේ සිදුවීමට පක්ෂ විපක්ෂ සිතිවිලි සමුදායක් දැන් ඔබේ හදවතේ ගොඩ නැගෙනවා. ඒවා එක්ක මං ඔබට ආරාධනා කරනවා. මේ යතාර්ථය තේරුම් ගන්න.
ස්ව කැමැත්තෙන් කුඩා කාලේ කෙනෙක් මහණ වුනා නම්, ඒ සංසාර පුරුද්දට. නමුත් හුඟක් දරුවො මහණ වෙන්නෙ, අනික් අයගෙ වුවමනාවට. කේන්දරේට. තරුණ වෙනකොට, තමන් තුළ ගොඩ නැගෙන ස්වාධීන චරිතය ආත්මය හොයාගෙන එනවා. එතකොට ඔවුන්ගෙ ආසාව ඉදිරියට එනවා. එතකොට සම්ප්‍රදාය සංස්කෘතියට කලින් ආත්මානුකම්පාව වෙලා ගන්නවා. ඉන් පස්සෙ, තමන්ගෙ ආශාව පස්සෙ දුවනවා. ආශාව නැති කරන ගමන් මග තෝරාගත් අයම ආශාවන් පසුපස දුවනවා.
සාසනය පිරිහීම, භික්ෂු ඇවැත් සිදු වෙන්නෙ මේ විදිහට. කුඩා කාලෙ බලෙන් හෝ නොදැනුවත් කමන් අන් අයගෙ උවමනාවන් මත මහන කළත්, පස්සෙ තේරුම් ඇති කාලෙ තමන්ගෙ ජීවිතය වෙනස් මගකට ගන්න ජීවිතය වෙනස් කරගන්න චීවර ධාරී සාමනේරවරයෙක්ට හෝ හිමිනමකට වුවමනා නම් එය ඉටු කරගන්න ඔහුට තියෙන ඉඩ ප්‍රස්ථාව කොහොම එකක්ද?
ඇමති තනතුරෙන් අයින් වුණාම හිටපු ඇමති. විදුහල් පති තනතුරෙන් අයින් වූණාම හිටපු විදුහල්පති. හාමුදුරුවො?? හිටපු හාමුදුරුවො වෙනවාද?
6/13/13
-217- සෙනෙවි | Best of Me
ඒ මම ජයවර්ධනපුර ගිය පළවෙනි දවස නෙවෙයි. මං පත්තරේට සම්බන්ධ වුණේ සරසවි ප්‍රවේශය ලබන්න ඉස්සර නිසා උද්ඝෝෂණයක විස්තර ගන්න, මං දවස් කීපයක්ම රාවය පත්තරෙන් එහෙ ගියා. ඒත් මේ දවස තමයි මම සරසවි ශිෂ්‍යයෙක් බව මට දැනුණ දවස.
පිළිගැනීමේ කතා අටෝරාසියකට පස්සෙ දහවල් විවේකය ලැබුණු තැනින් තමයි, හරි නම් මේ කතාව පටන් ගන්න ඕනෙ. ඒත් මං කවුද කියලා නොකියා කතාව කියං යන එකේ තේරුමක් නෑ. කොහොම හරි දවල් දොළහට ආසන්න වෙලාවක මමත් අනික් පිරිවර එක්ක තල්ලු වෙලා ශ්‍රී සුමංගල ශාලාවෙන් එළියට වැටුණා.. මමයි , ඒ මොහොතෙ අඳුන ගත්ත ගැහැණු යහළුවො කිහිප දෙනෙකුයි එකටම ඕපන් කැන්ටිම පැත්තට ආවා.
ඕපන් කැන්ටිම තියෙන්නෙ සුමංගල ශාලාවෙන් දකුණු පැත්තෙ. එ්කෙ ඉහළ තට්ටුවෙ තියෙන්නෙ මහා ශිෂ්‍ය සංගම් කාමරය. පහළ තියෙන්නෙ අපි පාඩම් කරන්නයි කන්නයි හදපු කැෆටේරියා එක. ඒවා හැම දේම පස්සෙ දැන කියාගත්ත දේවල්.
එදා එතෙනදි මම මුලින්ම දැක්කෙ කොන්ක්‍රීට් බිත්තියෙ, පාට ගිය තීන්ත උඩ මුණිවත රකින රූප පේළියක්.

ඒ රූප පෙළ හරි මැද, සරසවියෙ ඈතම කොනට ඇස් යොමාගත්ත කෙනෙක් මුල්ම වතාවට මගේ ඇස් තුරුළු කරගත්තා. මුල්ම වතාවට මම මේ ලෝකෙ ලස්සනම මන්දස්මිතය ඔහුගෙන් දුටුවා.
එතකොටත් මගෙ පිටිපස්සෙ හිටපු මං වගේම අලුත් කෙල්ලො මට හිනා වුණා. ඔවුන්ට ඒ පින්තූර ගැන කිසිම හැඟීමක් නැති නිසා වෙන්න ඇති. ඒත් ඒ මොහොතෙ ඈත ඉඳන් කෙනෙක් මගෙ ළඟට ආවා. පිරිමි ළමයෙක්. පස්සෙ එයා තමුන්ව අඳුන්නා ගත්ත විදිහට ජේෂ්ඨ උත්තමයන්ගෙන් කෙනෙක්.
" අඳුනන කෙනෙක්ද?" ඔහු ප්‍රශ්නය අහපු විදිහම, මාව රතු කළා. ඒත් ඔහු මඳක් කරුණාවන්ත හඬකින් මම උත්තර නොදුන් ප්‍රශ්නයට, පුංචි පිළිතුරක් එක් කළා.
"එයා ඔයාට කලින් ජීවත් වුණ කෙනෙක්" මඳ සිනාවක් පා ඔහු කැන්ටිමෙන් පිට වුණා. අදටත් හිනාවෙන්න තරම් කාරණාවක් මගේ සරසවි ජීවිතයෙන්, මගේ යහළුවන්ට ඉතිරි වුණේ එහෙමයි.
ඒත් එදා ඒ වෙලාවෙන් පස්සෙ මම ඒ පින්තූරෙ ඉන්න කෙනා ගැන ගොඩක් කල්පනා කළා. හැබැහින් කිසි දාක නුදුටු ඒ හුරුපුරුදු තරුණයාට හැම උදේ පාන්දරකම මං ගුඩ් මෝර්නිං කියන්න පුරුදු වුණා. කවදාවත් මට උත්තර නොදුන්නත් එයා මා එක්ක කතා කරන බව ටික කාලයක් ගත වෙනකොට මට දැනෙන්න ගත්තා. බකට් එකට ඉස්සර කොකු ගහන කාලෙ එයා මගෙ හිත කවුරුවත් ළඟට යන්න ඉඩ නොදී රැක බලා ගත්තා. ඒත් බකට් එක දවස් වල ඔය පාට ගිය බිත්තියෙ එල්ලා තියෙන්නෙ විරු සිසු පින්තූරෙ කියලා දැන ගත්ත දවසෙ, මම එයා එක්ක තරහ වුණා. මම ටික දවසක් එයා දිහා නොබලාම හිටියා. මං අන්තරේ එක්ක තරහින් හිටියෙ. ඉතිං එයා එක්කත් මං තරහ වුණා.
අපි ආයෙත් යාළු වුණේ, මම හුඟක් කැමැත්තෙන් හිටපු කෙනෙක් මගේ හිත හොඳටම රිදවපු දවසක. එයා ආයෙම හිනා වුණා. ඔයාට කවුරුත් මං තරම් ආදරය කරන්නෙ නෑ කියනවා වගේ, එයා හිනා වුණා. අපි තීරණය කළා දේශපාලනය ගැන කතා නොකරන්න.
එයා මිනිස්සුන්ට හුඟක් ආදරේ කළා. හිතාගන්න බැරි තරමට, එයා විශ්වාස කළා හැම මනුෂ්‍යයෙක්ම යදම් නැති ලෝකයක ජීවත් විය යුතු බව. එයා බය වුණේම, හිත් හිර කරන ඇඩ්මන්ටයින් දම්වැල් වලට. එයාට මිනිස්සු වෙනුවෙන් කරන්න හුඟක් දේවල් හිතේ තිබුණා. එයා කිව්වෙ හැම වෙලාවකම, එකම දෙයක්. " මට වෙලාව මදි වුණා" කියලා. සරසවි කාලෙ ඉවර වුණා. මට එයාගෙන් සමුගන්න වුණා. ඒත් සතියකට දවසක් හරි හීනෙන් එන විත්තියට එයා පොරොන්දු වුණා. එයාගෙ මන්දස්මිතය නිතර හමු නොවුණත්, එයයි මමයි හැමදාම හීන වලදි මුණ ගැහුණා.
ඒත් දෙදහස් එකොළහේ නොවැම්බර් මාසෙ අන්ධකාර එක දවසක උදේ පාන්දර අසුබ ආරංචියක් ආවා. අපි සරසවිය ළඟට යනකොටත්, වීර ඇස් අයාගෙන දම්වැල් බිඳින්නට තැත් කළ, විරු සිසු ප්‍රතිමාව විනාශ කරල තිබුණා. මහා ශිෂය කාමරේ කඩා දාලා... පාට ගිය මකුළු දැල් බැඳිච්ච පින්තූර අලු කරලා තිබුණා. එයාව ඒ අලු අතරින් අඳුන ගන්න මට බැරි වුණා. දෙවනි වතාවටත් එයාව මරා දාලා තිබුණා.
එයා මගේ හිතෙන් නොමැරුණ නිසා, මං එයාව හෙව්වෙ නෑ.. ඒ නිසාම හමුවුණෙත් නෑ.. හීනෙක ඇරෙන්න පින්තූරයක්වත් හොයාගන්න තිබ්බෙ නෑ.
හැබැයි එයාව දෙවනි වතාවට මරපු දා ඉඳන් මම දේශපාලනය ගැන සහ දේශපාලකයො ගැන හිතන්න පටන් ගත්තා. ඒ ගැන විස්තර හොයන්න පටන් ගත්තා.. කාලය ගෙවිලා ගියා.
මම විවේකයෙන් හිටපු ඊයෙ, අවුරුදු එකහමාරකට විතර පස්සෙ, ආයෙත් මට එයාව මුණ ගැහුණා. පුංචි වීඩියෝ කෑල්ලකින්. මං එයාව කවදාවත් නොයන්න, මගේ ළඟට ගත්තා. කාලෙකට පස්සෙ අපි ඇත්තටම හිනා වෙනවා කියලා මට හිතුණා. ආයෙ කවමදාවත් එයාට මැරෙන්නෙ දෙන්නෙ නෑ කියලා මං පොරොන්දු වුණා. දැන් අපි සතුටින් ඉන්නවා.. අපි තවමත් හිනා වෙනවා. ජීවත් වෙනවා.

Subscribe to:
Posts (Atom)