ඊයෙ පටන් ගත්තු research එකක අන්තිම කොටස ලියලා ඉවර වුණාම දැනෙන්න පටන් ගත්තෙ හිස් කමක් එක්ක එකතු වුණ අමුතු පාලුවක්. පුංචි පහේ හැන්දෑ රසිතියාදුවකට හිත දෙන මේ වගේ අපූරු අවස්ථාවක් මඟ හරින එක අපරාධයක් නිසා, සැහැල්ලු ඇඳුමකුත් ඇඳගෙන මම කණ්ණාඩිය ළඟට ආවා.
කණ්ණාඩියෙන් දකින මගේ මුහුණේ වෙහෙස, මට මාවම ඉක්මනට එපා කරපු නිසා අරමුණක් නැති හැන්දෑ සවාරියට හදිස්සියෙම අරමුණක් එකතු වුණා. සැලෝන් එකට යාම නිසා මගෙ මූණ ලස්සන වීම කොහොම වෙතත්, මගෙ හිතට ඒවායෙන් සැනසීමක් දෙනවා කියලා දවසක් ඔහු කියපු දේ සිතට නැගිලා ආපු හිනාවත් එක්කම මම එළියට බැස්සා.
හන්දියෙන් හැරෙන මොහොතෙ, වයස අවුරුදු දහයක විතර දරුවෙක්, බස් රථයෙන් බැස්සා. පාසැල් ඇඳුම පිටින්. ඒ මොහොතෙ ඔහු ජංගම දුරකථනයෙන් ගේම් එකක් ගහනවා. පාරේ ගලක්, ගහක් වැලක් මනුස්සයෙක් ගැන කිසිම අවධානයක් යොමු නොකර තමන්ගෙ ජංගම දුරකථනය දෙස බලාගෙනම ගමන් කළත්, කිසි අතුරු ආන්තරාවක් නැතුව ඔහු පාර දිගේ යනවා. සෙසු දරුවන් කිහිප දෙනෙක් ඔහුව පසු කරගෙන ගියත්, ඔවුන් ගැන කිසිම තැකීමක් මේ දරුවාට තිබුණෙ නෑ. ජංගම දුරකථනය ඔහුගේ අවධානය ඒ තරම්ම ග්‍රහණය කරගත්තා. නොපෙනී යන තෙක් ඔහු දෙස බලා සිටිව මම, නැවත මගේ ගමන ආරම්භ කළා.
සැලෝන් එකේ පඩිපෙළ ළඟදි, මම වේගයෙන් ආපු දෙදෙනෙකුට ඉඩ දුන්නා. මැදිවියේ මවක් සහ වයස අවුරුදු අටක පමණ දැරියක්, හීනි පඩිපෙළේ මාව පෙරළගෙන ඉහළට ගියා. ඔවුන් පසු පසින් ගිය මමත් සැලෝන් එකට ඇතුළු වුණා.
ඒ දැරියට පාසලෙන් කොණ්ඩෙ ගොතන්න කියලා ගැමි ළඳකට ඇය අද රඟපානවලු.. කොස්ටියුම් එක ගෙදරින් එනකොට ඇඳගෙනම එන්න කියලා. ජාත්‍යන්තර පාසල් එහෙමයි තමයි. මොකද එක ළමයෙක්ව එක Item එකකට වඩා තියන්නෙ නෑනෙ. අනික ඇඳුම කලින් නිර්මාණය කරලා දුන්නාම අම්මාට තියෙන්නෙ අන්දාගෙනම එක්කගෙන එන්න.
මේ අම්මා කොණ්ඩෙ ගොතන්න දන්නෙ නැති නිසා දරුවාගෙ කොණ්ඩෙ ගොතා ගන්න සැලෝන් එකට ඇවිල්ලා. කොහොම වුණත් එහෙන් මෙහෙන් කෑලි කැපූ දැරියගෙ කොණ්ඩය සෑහෙන ප්‍රරිශ්‍රමයකින් එකතු කළ අයුරු පෙන්වලා, කොණ්ඩෙ ගොතලා රුපියල් පන්සියයක් ගන්න සැලෝන් අක්කා දිහා මම උපේක්ෂා සහගතව බලාගෙන හිටියා.
කොණ්ඩෙ ගොතන්න ඉගෙන ගැනීම ජාත්‍යන්තර පාසල් සිසුවියන්ට අත්‍යාවශ්‍ය නැති නිසා, මෙහෙම අවස්ථාවකට රුපියල් පන්සියයක් වියදම් කිරීම කොණ්ඩෙ ගොතන්න ඉගෙන ගන්නවට වඩා ලෙහෙසි ඇති බව මට හිතුණා. සල්ලිකාර මවකට, ඒක අනික සුළු දෙයක්.
ඉතින් තමන්ගෙ වැඩේ කරගෙන ඔවුන් පිටවෙලා ගියා. ඉන්පස්සෙ මට අවශ්‍ය දේවල් ටිකත් හෙමින් සීරුවෙ කරවාගෙන පැයකට දෙකකට පස්සෙ මමත් නැවත පාරට ආවා.
ගෝ එකක් ගන්න ඕනෙ කමටයි රස්තියාදු ගැසීමටයි ඇති හොඳම තැන් වලින් එකක් වෙච්ච ෆුඩ් සිටි එක ඇතුළට ඉන්පස්සෙ මම රිංගුවා.
භාණ්ඩ අතර ඇවිදිමින් එහෙත් ඒ කිසිදු දෙයක් නාල්ලමින් සිටි දරුවෙක් මගෙ ඇසට හමුවුණා. ඔහු දෙස මඳ වෙලාවක් බලා සිටිය මම , මට අවශ්‍ය මැගසින් එක අරගෙන පිට වෙනකොට..ඔහු තනියම ෆුඩ් සිටියෙන් පිට වුණා දැක්කා...වයස අවුරුදු දහයක් පමණ වූණු ඒ දරුවා මගේ පාරෙම මට සමාන්තරව දැන් මා හා ඇවිද යනවා. අවට පෝස්ටර් කියවමින්, කඩ ලෑලි අතර නවතිමින් ඉතාම විමසිල්ලෙන් එහෙත් හෙමින් ඔහු ඔහුටත් නොදැනී ඉදිරියට යනවා...
මේ මොහොතේ මගේ මග ඔහු යන මග නොවූ නිසා මම හන්දියෙන් හැරුණා. ඔහු තවත් ඉදිරියට ගියා.. ඒත් මම ඒ පාර දිගේ ගියොත් නිතරම නවතින හාවො විකුණන කඩේ ළඟ ඔහුත් බාග වෙලාවට නවතින්න ඇති කියලා මට හිතුණා.
මගේ ළමා කාලය පටන් ගත් අවධියේ ම වෙන්ව ගිය වෙල් යාය, පිණි කැකුළු, නෙළුම් පෙති, මදටිය ගාල හෝ නීල කොබෙයියන් ඔහු මෙන්ම පසු පරම්පරාද කිසි දිනෙකත් නොදකින බව ප්‍රත්‍යක්ෂ නිසාවෙන් එම ගීයෙන් මෙපමණක් ලියා තබමි.
ඔහුට මුවාවී...පාසල් යන්නේ.......
මා දැයි නිකමට මට සිතුනා.........